''අම්පිටිඅයිය කියන එක හැබෑව. ඌ පොලිසිය අඳුරනව නං අහල පහල හොටලවල හොයන්න ඇහැකි. ඒ කිව්වහෙ හොටලෙක ඉඳල අහුඋනොත් ඉංතේරුවෙං ම පොලිසියට අරං යයි. ඒකල්ල ඔහේට හොඳට ම නෙළයි. ඌ දැං ඔයැයි එක්ක ජම්මාන්තර වයිරෙන්නෙ ඇත්තෙ... දැං ඔව්ව කල්පනා කරන්නෝන්නෑ... හෙට දිහට්ට බලමුකො... අපි නිමල් අයියට කියල බලමු...''
''ඒත් සුසා...''
මම එහෙම කියද්දි ම සුසන්ත ''මං දන්නෝ... ඔහේට කුලී වැඩ කරන්න බැහැ තමයි... එහෙමනං...'' කියද්දි ම මම ඉතුරු ටික කිව්වා.
''නෑ නෑ... මං දන්නෝ ඔහේ මක්කයි කියන්න හදන්නෙ කියල... ආයි ගාලු නං යන්නනං බෑ...''
''මං නං කියන්නෙ ඔයැයි ආයි ගාලු යන්න. ඔ්නෙනං මැනේජර් මහත්තෙය ඔයැයිට ඩිංගක් දොස් කියයි. ස්ටිවන් සර් උනත් ඩිංගක් කෑ ගහයි. ඒත් මට ඉංතේරුවෙංම කියතැකි ඔයැයිට ආයි වැඩ කරන්න කියයි."

'සුසන්තගෙ අදහස ආයි මාව ගාලු යවන්න. ගාලු යන්නත් බෑ... ගියත් ආයි හැව්ලොක් එකේ නං වැඩ කරන්න බෑ. මොන ලජ්ජාවක් ද ඒ...? එතන කිසිම වැරැද්දක් නැතිව මායි සුසන්තයි කොළඹ ආවෙ... එහෙව් එකේ මං කොහොමෙයි කලිසමක් ඇඳං ආයි හැව්ලොක් එකට යන්නෙ...?'
''මක්කයි කල්පනා කරන්නෙ... ඔයැයිට මේ අවට හොටලෙක රස්සාවක් කරන්න ඇහැක්කමකුත් නැහ්නං... කුලී වැඩ කරන්නත් බැහැයි නං... මක්කයි කරන්නෙ කියල ඔයැයි ම කල්පනා කරන්නකො. මං ඇඟ ඩිංගක් හෝදං එන්නං.''
'සුසන්ත ගෙ කතාව ඇත්ත. ඒත් මේ වෙලාවෙ හැටියට එයැයි අමාරුවෙ දාන්නත් බෑ. මොකෝ එයැයිත් හැව්ලොක් එකට නොකිය ම ආවෙ මං හිංද... අනේ මංදා... මට නං හිතාගන්නත් බෑ... මහ නරක කාලයද්ද කොහෙද...? නැහ්නං මෙහෙම වෙයි ය...? කමක් නෑ... ඔ්න එකක් වෙන්න කියල සුසන්තත් එක්ක වැඩ කරනෝ... නොදන් මක්ක හරි තිවුනොත් එයැයිගෙං අහගන්නැහැකි නෙ...'
* * *
සුසන්ත

මම ඇඟ හෝදගෙන එද්දි රොහාන්ට මැස්සෙ ම නින්ද ගිහින් තිබුණ නිසා මං එයාට කතා කරේ නෑ. මමත් බූරු ඇදෙන් නිදාගත්තා. ආයෙ ඇහැරුණේ පහට විතර. ඒ වෙද්දිත් කුස්සියෙ උයන සද්දෙ ඇහුණ නිසා මම නැගිටලා ලයිට් එක දැම්මා. එතකොට තමයි මම දැක්කෙ රොහාන් අවදි වෙලා බිත්තියට හේත්තු වෙලා කල්පනා කරන බව.
''ඔයැයි කොයි වෙලාවෙයි ඇහැරුණේ...?''
''දැං ටිකක් වෙලයි... ආයි බුදියගන්න හැදුවට නිංද ගියේ නෑ. ඊටත් ඩිංග වෙලාවකට පස්සෙ ඔයි කිප දෙනෙක් ඇහැරෙනව දැනුණා. ඒ හිංද මං ඔහේ බිත්තියට හේත්තු වෙලා හිටියා.''
''මං ඇඟ හෝදං එද්දි ඔයැයිට නින්ද ගිහිං. ඒ හිංද මං ආයි අවදි කරේ නෑ... මොකෝ දැං තත්ත්තෙ... ආයි ගාලු යනවයි? ඉන්නෝ... මං ප්ලේටියකුත් හදාන එන්නං...''
'ඇත්තට ම මට වුවමනාව තිබුණෙ ප්ලේන්ටියක් හදන එක ම නෙවෙයි. රොහාන්ට තව ඩිංගක් කල්පනා කරන්න දෙන්න. එයැයි ආයි ගාලු යන්න කැමති නං මට ඇහැකි මෙතනිංම බස් එහෙකට නග්ගන්න. ඒතකොට මගෙත් හිත නිදහස්. ගාල්ලට ගියාට පස්සෙනං ඉතිං එයැයිට ගෙදර වගේ නෙ...'
මං ප්ලේන්ටි හදාගෙන එද්දිත් රොහාන් කල්පනාවෙ.

''ඔයි යට බෝතලේ වතුර ඇති... කට හෝදං මේ තේක බොනවකො...''
'මං හිතුවෙ තේකත් බොන එකක් නෑ කියල. මිනිහ මොකක් හරි තීරණයක් අරගෙන වගේ. සත්තකිං ම රොහාන් ගාලු යන්න තීරණේ කරානං මරු...'
හැබැයි මගේ ඒ සිතුවිල්ල කනපිට හැරවෙන්න විනාඩි පහක්වත් ගෙවුණෙ නෑ.
''සුසා... මං ඔහෙත් එක්ක වැඩ කරනවා..."
රොහාන් එයාගෙ අවසාන තීරණය මට කිව්වෙ එහෙම.
''ඔයැයි හොඳට හිතල බලලයි ඔයි තිරණේ ගත්තෙ...?''
මම රොහාන්ගෙන් ආයෙත් වතාවක් එහෙම ඇහුවෙ එයාට එහෙම මහන්සි වෙලා වැඩ කරන්න බැරි නිසා; එයා එහෙම වැඩ කරල නැති නිසා.
''ඔවු... මං හොඳට හිතල බැලුව... මේ වෙලාවෙ කරන්න වෙන මක්කවත් නෑ.''
''ඔයැයිට හොඳයි කියල හිතෙනෝනං මං මක්ක කරන්නෙයි... හරි... මං නිමල් අයියගෙං අහල බලන්නං.''

'නිමල් අයියගෙං ඇහුවොත් නං රොහාන්ට අත්වැඩකාරයෙක් හැටියට වැඩ කරන්න ඇහැක් වෙයි... දැං මං රොහාන්ට කියපු හිංද අහන් නැතුව ඉන්නත් බෑ... බලමු. එයැයිගෙ කැමැත්ත නෙ... මට නං ඔයි කොයිකත් එකයි.'
වැඩට නං කට්ටිය ගන්නවලු. හැබැයි බාස්උන්නැහේ එන්නෙ හවස නිසා මට අදත් වාඩියෙම ඉන්න වෙනවා. අද නං එහෙම ඉන්නත් කම්මැළියි. ඒ නිසා මම සුසන්තට යෝජනාවක් කරා.
''මෙහ්... මං එන්නෙයි ඔහෙත් එක්ක... ඔහේට උදව්වට. වැඩ හම්බුනත් නැතත් කමක් නෑ. මට මේකට වෙලා ඉන්න කම්මැළියි සුසා.''
ඒත් සුසන්තගෙන් ලැබුණෙ මම කවදාවත් හිතපු නැත් උත්තරයක්.
''ඔහේට පිස්සුයැ රොහාන්... ඒ මොන විලිලැජ්ජ නැති වැඩක් ද...? නෑ නෑ... එහෙම පීචං වෙන්නෝන් නෑ... වාඩියට වෙලා ඉන්න කම්මැළි නං මේ ළඟ ළඟ හෝල් හතරක් තියෙනෝ නෙ... පිචර් එකක් බැරිනං දෙකක් හරි බලනෝ... මං සල්ලි දෙන්නං... යන විදහත් කියන්නං... කොහොමටත් බාස්උන්නැහේ එද්දි තුන විතර වෙනෝ... ඔයැයි දහයයි තිහ බලල ඇවිත්, කාල ඩිංගක් නිදාගන්නෝ... බාස්උන්නැහේ ආවම නිමල් අයිය අහයි; ඔ්නෙ උනොත් මං ඔහේට කතා කරන්නං...''

සුසන්ත කියපු පාරෙ ටික දුරක් ගියාම හම්බ වුණේ සැෆයර් කියන හෝල් එක. සුසන්ත කියපු විදියට ම ඒ හෝල් එකේ තිබුණෙ ජයලලිතයි එම්ජීආරුයි රඟපාන ''රිවෝල්වර් රිටා'' කියන දෙමළ පිචර් එක. මං ඊට කලිං දෙමළ පිචර් බලල තිබුණට ජයලලිතගෙ පිචර් බලල තිබුණෙ ම නෑ. වැඩි පුර ම බලල තිබුණෙ ශිවාජි ගනේෂන් හිටපු පිචර්.
සුසන්ත කියපු විදියට ම පිචර් එක බලල වෙන කොහේවත් යන්නෙ නැතුව ආපහු වාඩියට ම ආවා. ඒ පිචර් එක පැය තුනක් විතර දිගයි. ඒ නිසා මම එද්දි කට්ටිය කාල ආයෙත් වැඩටත් ගිහින් තිබුණා. හැබැයි සුසන්ත මට කෑම එකක් වහල තියල තිබුණා. ඇඟපත ටිකක් හෝදගෙන බත්කාල ටිකක් නිදාගත්තෙ හිතේ තියෙන බර ගතිය ටිකක් අඩුවෙයි නෙ කියන අදහසින්.
''රොහාන්... රොහාන්... නැගිටිනෝ... නැගිටල එනෝ තේකක් බොන්න යන්න...''
මට ඒ සද්දෙ ඇහුණෙ හීනෙන් වගේ. ඇහැරිලා බලද්දි සුසන්ත මගේ ළඟ.
''සුසා... බාස්උන්නැහේ ආවයි... මක්කයි උණේ...?''
මම නිදිමත විකාරයෙන් ම වගේ එහෙම ඇහුවෙ වැඩ හම්බ වුණාද කියල දැනගන්න.
''හරි හරි... ඔයි කමිසයක් දාගෙන එනෝකො... මං විස්තරේ කියන්නං..."
* * *
''ඒ කියන්නෙ මට හෙට ඉඳල ඔයැයිත් එක්ක ම වැඩ කරන්න ඇහැකිය...?''

හෙට ඉඳල වැඩ කරන්න පුළුවන් කියල බාස්උන්නැහේ කියපු විත්තිය සුසන්ත මට කිව්වෙ තේ බොන අතර තුර. ඒ සතුටට ම තමයි මං එහෙම ඇහුවෙ. හැබැයි සුසන්තගෙ උත්තරේ ඇතුළෙ සතුට වගේ ම දුකකුත් තිබුණා.
''වැඩ කරන්න නං ඇහැකි. හැබැයි මාත්තෙක්ක නෙමෙයි..."
''එහෙනං...!"
''මේ මහත්තයෙ ම හදන තව ගෙයක් තියෙනවලු ඇලෙක්සැන්ඩර් රෝඩ් එකේ. බාස්උන්නැහේ කිව්ව ඔයැයි හෙට උදෙංම එහෙට්ට යවන්නෙයි කියල.''
''එතකොට ඔහේ...?"
මං ඇහුවෙ මෝඩ ප්‍රශ්නයක් කියල තේරුණේ සුසන්ත උත්තර බැන්දට පස්සෙ.

''මං හිටියයි නැහැයි කියල අවුලක් නෑ... ඔයැයි වැඩ කරන්න. කොතන වැඩ කරත් පඩිය එකයි. මේ ඉස්සරහ තියෙන මුස්ලිම් පල්ලිය ගාවින් මුහුද පැත්ට තියෙන පාරෙ තමය් වැඩපළ තියෙන්නෙ. ඒක මේ බිල්ඩිම හදන මහත්තය ගත්තු කොන්තරාත් එකක්. ඒ ගේ හදනවයි කියන්නෙ දෙමළ ඉංජිනේරුවකුටලු. එතන වැඩ කරන දෙන්නෙක් මෙහේ වාඩියට එනෝ. ඔයැයි ඒ දෙන්නත් එක්ක යන්න. කෑම කොහොමද කියල අහල බලමු.''
මගේ කැමැත්ත මොනවා වුනත් දැන් සුසන්ත හැම දෙයක් ම තීරණය කරල ඉවරයි. ඒ නිසා මට දැන් ඉතුරු වෙලා තියෙන්නෙ හෙට ඉඳන් වැඩට යන එක විතරයි. හැබැයි මම කවදාවත් මෙහෙම වැඩ කරල නෑ. ගමේ ඉන්න කාලෙ වුනත් ඔය පොළොව කොටන වැඩවලට එහෙම මම එච්චර කැමැත්තක් තිබුණෙ නෑ. අඩුම ගානෙ අපේ ගෙදර හදන වෙලාවෙ හරි මම උදව්වක් කරල නෑ. හැබැයි මට මතකයි මම පුංචි ම කාලෙ සීයලගෙ, ඒ කියන්නෙ කුඩම්මලාගෙ මහ ගෙදර හදන දවස්වල ඒ බාස්ල වැඩකරපු විදිය; ඒ දවස්වල තරුණ වයසෙ හිටපු මාමාල බාස්ලට අත් උදවු කරපු විදිය. දැන් ඉතිං තියෙන හොඳම දේ තමයි එයාල කරේ මොනව ද, එයාලට බාස්උන්නැහේලා පවරපු වැඩ මොනව ද කියල ටිකක් මතක් කරගන්න එක.
''හරි හරි සුසා... මං යන්නං. ආ සුසා... ඔහේ කිව්ව නේ ද එහේ වැඩ කරන දෙන්නෙක් මෙහේ එනව කියල.''
''ඔවු... ඇයි...?''
සුසන්ත ඇහුවෙ ටිකක් පුදුමයෙන් වගේ.
''එයැයිලට කියල තියනවයි 'මම මේ වැඩ මක්කවත් දන්නැතෙයි මට ඒ වැඩ හුරු කරන්නෙයි' කියල.''
''හරි හරි... මං හැන්දෑවට එයැයිලට ඩිංගක් මතක් කරන්නං... අපි දැං යං... දැං අපි ඇවිත් විනාඩි විස්සකටත් වැඩියි. අහරෙ මාව හොයනව ඇති.''
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 10/ 04
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්






