leader s

''මෙහේ ඉන්න ඇහැකි, කන්න බොන්නත් ඇහැකි, හැන්දෑවට එද්දි එහෙං නාගෙන එන්න. මොකෝ දන්නවයි... දැං මෙහේ එවුන් උනත් ඔයි ඩිංගක් ඇඟ පත හේදුවට නාන්නෙ රෙදි හෝදන්නෙ අර ලොකු බිල්ඩිං එකෙන්නෙ... ඒ හංද වැඩට යන දවස්වලට එහෙං ම නාගෙන එන්න. ආයි මක්කයෙි අපි වචනයක් අහන්නෙ... මං කිව්වෙක තේරුණයි...?''


සුසන්ත කියපු දේ නොතේරෙන්න තරම් මම පොඩි බබෙක් නොවන නිසා මම ඔළුව වැනුවෙ තේරුණ විත්තිය අඟවන්න.

*          *          *

කාලය ගෙවිල යන්නෙ හරි ඉක්මනට නේද කියල හිතෙන්නෙ සුසන්ත වැඩ කරන ගොඩනැගිල්ල ටිකෙන් ටික උස යනකොට; මම වැඩ කරන ගෙදර වැඩ ටිකෙන් ටික ඉවර වෙනකොට. කොහොමටත් සුසන්ත වැඩ කරන ගොඩනැගිල්ලෙ වැඩ ඉවර වෙන්න කලින් මම වැඩකරන ගෙදර වැඩ ඉවර වෙන එක ෂුවර්. ඒ ගැන සුසන්ත එක්ක කතා කරපු වෙලාවක සුසන්ත ඒකට උත්තර දුන්නෙ හරි ම සැහැල්ලුවෙන්.

''එව්ව එහෙම තමයි... මේ මහත්තෙය වෙන කොන්තරාත් එකක් නොගත්තොත් ඉතිං වෙන මක්ක හරි හොයාගන්න වෙයි. හැබැයි අපි වැඩ කරන බිල්ඩිං එකේ වැඩ නං දැංම අහවර වෙන එකක් නෑ. ඒ හිංද ඔයැයි බයවෙන්නෙපා. අපි නිමල් අයියට කියල මක්ක හරි කරන්න බලමු.''

මමත් එතනින් එහාට කිසිම දෙයක් අහන්න ගියේ නෑ. මොකද දැන් මෙතනට ඇවිත් මාස තුනක් විතර වුණත් මම තවම දන්නෙ පිටකොටුවට යන්නයි පිචර් හෝල් තියෙන දිහාවලට යන්නයි විතරයි. පිචර් හෝල්වලට කියන්නෙ ඉතිං: මයිලන්, මුරුගන්, කැපිටල්, රියෝ, සෙන්ට්‍රල්, නවාස්, රීගල්, ඔලිම්පියා, එල්ෆින්ස්ටන්, ක්‍රවුන්, රූබි කියන ඔය හැම හෝල් එකක ම පිචර් බලන්න යන්න අවස්ථාව ලැබුණා.

මේ අතර කනගාටුදායක දේකුත් සිද්ධ වෙලා තිබුණා.

*          *          *

මට සාගරසිරියට යන්න බැරි වුනත් සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර සුසන්ත ඒ පැත්තෙ රවුමක් ගහල අම්පිටිය අයියත් එක්ක ෂේප් එකේ පොඩි කයියක් ගහල එන්න පුරුදු වෙලා හිටියා. නමුත් දැන් සුමාන දෙකකට විතර කලින් සුසන්ත ගිය වෙලාවක අම්පිටිය අයිය පේන්න හිටියෙ නැති නිසා සුසන්ත වේටර් කෙනෙකුගෙන් එයා ගැන අහල තිබුණ. වේටර් දීපු උත්තරෙන් සුසන්ත අන්ද-මන්ද වුණා කිව්වා.

''ආ... අම්පිටිය අස්වෙලා ගියානෙ... ඔය මල්ලි එයාගෙ කවු ද...?''

''මං එයැයි දන්නවා. එයැයි අපේ ගම් පැත්තෙ නෙ..."

ඒ පාර වේටර් සුසන්තත් එක්ක කතාවට පැටලිලා.

''ඒ කිව්වෙ... නුවර වෙන්නැති...''

 

water speech

සුසන්ත නුවර ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ. ඒත් වේටර් ගෙන් බේරෙන්න හිතාගෙන සුසන්ත වෙන බොරුවක් කියල.

''නෑ අයියෙ... මං වැල්ලවායෙ... එයැයිගෙ නෑයො ඉන්නෙ එහේනෙ...''

අම්පිටිය අයිය ගැන විස්තර මම සුසන්තට කියල තිබුණු නිසා තමයි මිනිහ එහෙම බොරුවක් කියල තිබුණෙ.

''ආ... හරි හරි... ඒ පැත්තෙ නෑයො ඉන්නව කියල අම්පිටිය කියල තිබුණ.''

ඒ කියන්නෙ වේටර්, සුසන්ත කියපු බොරුව පිළිගත්තා කියන එක නෙ... මෙන්න මේ වෙලාවෙ තමයි අම්පිටිය අයිය ගියේ ඇයි කියල දැනගන්න ඔ්නෙ කියල සුසන්තට හිතිල තිබුණෙ.

ඒකට වේටර් දීපු උත්තරෙන් සුසන්ත තවත් අන්දමන්ද වුණා කිව්වා.

qurrie

''පහුගිය කාලෙ ඔය කෑම පැන්ට්‍රියෙ එකෙක් වැඩ කරා; අම්පිටිය මිනිහගෙ ගජය. අම්පිටිය ඔයි කැම පැන්ට්‍රියෙ එහෙම වැඩ කරන්න යන්නෙ ඒ කොල්ල ඔ්‌ෆ් උනාම. ඔයි පහු ගිය දවසක දෙන්න ම පැන්ට්‍රියෙ ඉන්න වෙලාවෙ අපේ මුදලාලිගෙ මස්සිනා අරූට බැණල; ඒවෙලාවෙ වෙච්ච මොකක් හරි හුටපටයක් නිසා පැන්ට්‍රියෙ හිටපු එකා ගුණපාල මහත්තෙයට ගහල.''

''අප්පටසිරි... ඉතිං... ඒ වෙලාවෙ අම්පිටියත් ඔයි කියන ගුණපාල මහත්තෙයට ගහලයි...?''

කට පියාගෙන ඉන්න බැරිකමට සුසන්ත වෙටර්ගෙන් එහෙම අහල.

''පිස්සුයැ... ඌ මොනවත් කරල නෑ...''

''එහෙනං...?''

''ඌ සද්ද නැතුව ඉඳල... ගුණපාල මහත්තෙය වැටුණට පස්සෙ අම්පිටිය තමයි අර කොල්ලව... මොකද්ද මේ... උගෙ නම මේ... ආ... යසේද ‌මොකද්ද... මේ... මහත්තෙය වැටුණට පස්සෙ අම්පිටිය තමයි ඒ කොල්ලව කඩෙං පන්නල තියෙන්නෙ...''

''ඉතිං...!''

''පස්සෙ කොහොමත් මාසයක් විතර යනකන් ගුණපාල මහත්තෙය වැඩට ආවෙ නෑ... මේ ළඟකදි ආරංචි වුණා දවසක් රෑක අම්පිටිය අරූගෙ ඇඳුං වගයක් උඩ තට්ටුවෙන් එළියට විසි කරා කියල. සිද්ධිය වෙලත් හුඟක් කල්... කොහොම හරි දැං මාසෙකට විතර කලිං තමයි වැඩේ ආරංචි වුණේ...''

දැන් දැන් සුසන්තට ඉවසගෙන ඉන්න ම බැරිලු.

''ඉතිං... ඔයි කියන මහත්තෙය අම්පිටයටත් ගහලයි...?''

 

bringing parsal

''නෑ නෑ... ඔයි සිද්ධියෙං පස්සෙ ගුණපාල මහත්තෙයා ටිකක් සයිලන්ස්. මං හිතන්නෙ මිනිහ ඔයි ඇඳුං කතන්දරේ ආරංචිය අපේ මුදලාලිට කියල; ඊට පස්සෙ මුදලාලි අම්පිටියට යන්න කිව්ව...''

''හම්මේ... ඇති යංතං එයිං ගියා..."

සුසන්තට එහෙම කියවිලා තියෙන්නෙ නිකමට ව‌ගේ.

''ඇයි මල්ලි එහෙම කිව්වෙ...?''

සුසන්තගෙ හැසිරීම දැකපු වෙටර් එක පාරට ම එහෙම අහල. සුසන්ත ඉක්මනට ම දීපු උත්තරය නිසා ආයෙ වේටර් මොනවත් ඇහුවෙ නැතිලු.

''නෑ මං මේ කල්පනා කරේ... මෙ... මේ කොහෙවත් යන එකෙක් හිංද අම්පිටිය අයියටත් ගුටිකන්න උණානං කියල.''

''නෑ නෑ... ගුණපාල මහත්තෙය නං ආයි වැඩ කරන එවුන්ට පාට් දානෙකක් නෑ. හැබැයි ඒ යසේ ද මොකාද කියන එකා අහු වෙනකං කිය කියා තමයි ඉන්නෙ...''

''ඒ මක්කටෙයි...?''

සුසන්ත එහෙම අහල තියෙන්නෙ හිතට බයක් දැනුණ නිසා.

police eat

''ඒ මක්කටෙයි කියන්නෙ... අහු උනොත් එහෙම උගේ කකුල් කඩයි... ගුණපාල මහත්තෙය මෙහෙ පොලිසියෙ එවුන් එහෙම හොඳට අඳුරනව නෙ. එයා ඉන්න වෙලාවට පොලිසියෙ එවුන් ඇවිල්ල කෑව බිව්වට ඒවට සල්ලි ගන්නෙත් නැහැ නෙ..."

''මේ... ඉතිං තවම ඔයි කියන කොල්ලව අහු වෙලා නැතෙයි...?''

''නෑ මං හිතන්නෙ... පහුගිය කාලෙ ම ඔය හැම තැන ම තියෙන හොටල්වල එහෙමත් හොයල තිබුණ.. හිටියෙ නැහැල්ලු... මයි හිතේ මිනිහ ගමට පනින්න ඇති. මෙහේ හිටියනන් මෙලහටත් අහු වෙලා...''

''හම්ම්ම්... ඒකත් එහෙමෙයි... මේ... අම්පිටිය අයිය ඉන්න තැනක් ඔහෙලවත් දන්නැතෙයි...?''

''නෑ... තවම ආරංචියක් නෑ... කොහෙද ඉතිං... අපිත් යකා බැඳගත්ත වගේ වැඩ නෙ... නිවාඩුවක් ගත්තත් ඉතිං එහෙම හොයන්න යන්නෙයි කියල කාලයක් නැහැ නෙ...''

මේ වෙද්දි නං සුසන්තට හිතිල තියෙනවා ඉක්මනට ම එතනින් යන්න ඔ්නෙ කියල.

 

Mama Ji oiloncanvas 30x40 1000 addtobothculturalandportraitcollections 492x700

''අයියෙ... හදිසියෙවත් ඔහේට අම්පිටිය අයිය හම්බුනොත් මං ඇවිත් ගියා කියල කියන්න. ඉන්න දිහාකුත් අහගන්න. මං ආයි එන්නං අයියව හම්බෙන්න...''

''හරි හරි මල්ලි ඔයා ඔ්න වෙලාවක එන්න... මං නොහිටියොත් මේ කාගෙන් හරි අහන්න. මොකද අපි කාටහරි අම්පිටිය අයිය හම්බුනොත් අනිත් අයටත් කියනවා. කොහොම උනත් ඌ හිත හොඳ එකා. ඒ හිංද තමයි මයි හිතේ මිනිහට කරදරයක් නොකර යන්න කියල කිව්වෙ. මොකද මුදලාලිත් මිනිහට ආදරෙයි. ඒත් මුදලාලිටත් මස්සිනාගෙ කීම අහක දාන්න බැරි වෙන්නැතිනෙ... ආරංචි විදිහට තුංමාසෙක පඩිත් දීලලු අස් කරේ...''

ඔන්න ඔ්ක තමයි දුක හිතෙනව වගේ ම අලුත් ම ආරංචිය.

මේ සිද්ධිය ආරංචි වෙලා දැන් සතියක් දෙකක් ඇති. ඒ අතර ඇලෙක්සැන්ඩ්‍රා පාරෙ ගෙදර වැඩත් ඉවර වුණා; මට සුසන්ත වැඩ කරන බිල්ඩින් එකේ ම වැඩ හම්බ වුණා. දැන් මේ බිල්ඩිමේ තට්ටු පහක් ඉවරයි. ඒ කියන්නෙ තව තට්ටු දෙකක් තියෙනවා. තව තට්ටු දෙකක් තියෙනව කියන්නෙ කොහොමත් බිල්ඩින් එකේ සම්පූර්ණ වැඩ ඉවර වෙන්න අඩුම ගාණෙ තව අවුරුද්දක්වත් යාවි කියල තමයි සුසන්ත නම් කිව්වෙ. ඒ නිසා අපි දෙන්න ම ආයෙ වෙන දෙයක් ගැන හිතුවෙ නෑ.

හැබැයි ඉතිං කොච්චර වැඩ කරත් හරියකට කෑම වේලක්වත් කන්න නැහැ.ඒ වෙද්දි අපි දෙන්නට ම වාඩි කෑමත් එපා වෙලා තිබුණෙ. පිටින්, ඒ කියන්නෙ කඩෙන් කෑවොත් ඉතිං තෝසෙ හරි ඉඳිආප්ප හරි තමයි. පාං කැල්ලක් කන්න ආස හිතුණ ම කට්ටියම කතා කරගෙන රෑට පාන් ගෙනල්ල මොනව හරි හොද්දක් හදාගෙන කනවා. ඒ හොද්දත් ඉතිං එහෙමකට කියල රසක් නෑ. නිකම්ම ගිලින්න බැරි පාන් කැල්ල: ලුණු, මිරිස් සහ කිරි කවළං කරපු හොද්දක ඔබාගෙන කනව වගේ තමයි. එහෙම නැතුව සිංහල හරි මුස්ලිම් හරි හොටලෙකට ගිහින් බත් වේලක් කාපු කාලයක් අපිට මතක තිබුණෙ නැති තරම්.

 

pitakotuwa

ඇත්තට ම අපිට එහෙම කන්න ආසාව තිබුණත් වියදම් කරන්න සල්ලි තිබුණෙ නැහැ. හැබැයි අපි දෙන්න ම පිචර් බලන්නයි, සිත්තර පත්තරයි අර අනිත් පත්තරයි ගන්න නම් සල්ලි වියදම් කරා. තව ඇඳුම් ගන්නත් සල්ලි වියදම් කරා. හැබැයි ඉතිං ඒ හොඳ ම ඇඳුම් නෙවෙයි; ඇඳුමක් ගන්න වුවමනා වුනාම සුසන්තයි මායි දෙන්න ම පිටකොටුව පැත්තට යනවා. සුසන්ත පිටකොටුවෙ ජනරංජන හොටලෙ වැඩ කරද්දි හිතවත් වෙච්ච පේමන්ට් බිස්නස්කාරයො කිප දෙනෙක් ම හිටියා. එයාල තමයි අපිට පේමන්ට් එකෙන් ඇඳුම් ගන්න උදවු කරේ. එහෙම නැත්නම් ඉතිං පේමන්ට් එකේ එවුන්ගෙ කපටිකම්වලටත් අහුවෙනවා. කොළඹ ආපු ම දවස්වල සුසන්තත් එහෙම කපටි එවුන්ට අහු වෙලා තිබුණා.

මේ වෙද්දි අපේ ජීවිතවල සතුටක් කියල තිබුණෙ ම පිචර් බලන එකයි චිත්‍රකතා වගේ ම අර එක එක කතා තියෙන පත්තර බලන එකයි විතරයි. කොල්ලො නම් ඒවට කිව්වෙ 'වැලකතා'' කියල. හැබැයි මම ඒ අතරෙ ම සරසවිය පත්තරේ වගේ ම සිත්සර කියන සිනමා පත්තරෙත් කියවන්න පුරුදු වෙලා හිටියා. හැම සතියක ම සිකුරාදා උදේ පාන්දර ම මම සරසවිය පත්තරේ ගන්නවා; ඉඩ ලැබෙන හැම වෙලාවක ම ඒක කියවනවා; ඒ පත්තරවල තියෙන නිළියන්ගෙ පිංතූර කපල, හැව්ලොක් ඒකේ පැන්ට්‍රියෙ තිබුණ වගේ අලවනවා. කොල්ලො ඉතිං මට එක එක කතා නොකියන්නෙත් නැහැ. හැබයි උනුත් ඒ පත්තර කියවනවා.


*          *          *

අද වේලාසන වැඩ ඉවර වුණේ සිමෙන්ති ඉවර නිසා. සිමෙන්ති ලෝඩ් එක බාන්නෙ අද රෑටලු. ඒ නිසා වැඩ ඉවර වෙලා නාගෙන එහෙම අපි දෙන්න ටිකක් ඇවිදින්න කියල වැල්ල පැත්තට ගියා; එහෙම යද්දි අපි හුඟක් වෙලාවට යන්නෙ රේල් පාර දිගේ.

සතියකින් හමුවෙමු...

Jayasiri Alawattha(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/ 10/ 18


ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  
 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්