leader s

''ඔන්න ඔහොම තමයි දේවල් සිද්ද උණේ...''


හරියට පිචර් එකක කතාවක් කියල ඉවර කරා වගේ අම්පිටිය අයිය කතාව කියල ඉවර වෙලා ලොකු හුස්මක් ඉහළට අරගෙන ආයෙත් පහළට දැම්මා.

''ඊට පස්සෙ...?''

ඒ වචන දෙකත් අර කලින් වෙලාවක වගේ අපි දෙන්නගෙ ම කටවල්වලින් පිට වුණේ එකට.

''ඊට පස්සෙ මොනව කරන්ඩ ද... මං දැං මැජෙස්ටික් එකේ වැඩ...''


අම්පිටිය අයියා උත්තර දුන්නෙ හරි ම සැහැල්ලුවෙන්.

ඊළඟට ආවෙ අපි ‌දෙන්නගෙ වාරෙ...

අපි මේ වෙද්දි ගත කරන ජිවිතේ ගැන සම්පූර්ණ විස්තරයක් අපි දෙන්න ම එකටයි වෙන වෙන ම යි අම්පිටිය අය්යට කිව්වා. අපේ කෑම බීම තත්ත්වය ගැනත් කිව්වා; ඇත්තට ම නම් වුවමනාවෙන් කිව්ව නෙවෙයි... කියවුණා.

ඒක අහපු අම්පිටිය අයිය හරියට දුක් වුණා. ඒ විතරක් නෙවෙයි... අපි දෙන්නට කටට රහට හොඳ කෑම වේලක් කන්න පුළුවන් විදියෙ යෝජනාවකුත් ඉදිරිපත් කරා.

*          *          *

ඊයෙ කතා කරගත්තු විදියට ම අපි අද වැල්ලෙදි හමු වුණා. ඊට පස්සෙ අම්පිටිය අයිය සුසන්තගෙ අතට බිලක් දුන්නා.

''එහෙනං මං කියපු විදියට බය නැතුව වරෙං හරිද... හැබැයි රොහාන්ව එක්කරගෙන එන්ඩෙපා හරිද... මොකද සාගරසිරියෙ මුදලාලිගෙ හිතවත්තු මෙතනට එනවා; ඒ එකෙක් හදිසියෙවත් රොහාන්ව එහෙදි දැකල තිබිල අඳුරගත්තොත් හෙන ම අවුලක් නෙ...''

ඊයෙ අම්පිටිය අයිය මොන මොනව හරි කිව්වට මටත් ඒක හරියට ම තේරුණේ නෑ. දැං එයා සුසන්තට කියපු දේ වුනත් මට හරියට තේරුණේ නෑ. ඒ නිසා ඒ වැඩේ ඒ දෙන්නට ම කරගන්න ඇරල මම සද්ද නැතුව හිටියා. අම්පිටිය අයිය කියන කතාවෙත් ඇත්තක් තියෙනව නෙ... හදිසියෙවත් සාගරසිරි මුදලාලි හරි ගුණපාල හරි අඳුරන කෙනෙක් කඩේදි මාව දැකල මතක තිබිල එතනදිත් හම්බ වුනොත්...

''දැං මේකත් අරගෙන අද ම එන්න ඇහැකිය...?''

අම්පිටිය අයිය දීපු බිල පෙන්වන ගමන් සුසන්ත, අම්පිටිය අයියගෙන් එහෙම ඇහුවෙ වැඩේ තව දුරටත් පැහැදිල කරගන්න නිසා වෙන්න ඇති.

''ඔව් වොව්... මං හත වෙද්දි කැම පැන්ට්‍රියෙ ඉන්ඩෝන... හතයි දහය වෙද්දි වරෙං... මොකෙක්ගෙංවත් මොනවත් අහන්ඩෙපා... කඩේට ගොඩ වෙලා කෙළින් ම ඇතුළට වරෙං... ඒ එද්දි පිටිපස්සට යන්න තියෙන උළුවස්සට කර්ට්න් එකක් දාල තියෙනව. ඒ දෙරකඩ දෙපැත්තෙ කවුන්ටර දෙකක් තියෙනව. ඒ දෙකෙං වම් පැත්තෙ කවුන්ටරේ... දකුණු පැත්තෙ තියෙන්නෙ තේ පැන්ට්‍රිය. පොඩ්ඩක්කත් බයවෙන්ඩෙපා; මං අඳුරන බවක් අඟවන්නත් එපා; සද්ද නැතුව මට බිල දෙන එක විතරයි තියෙන්නෙ.''

ඒ බිල හරිම පිරිසිදුයි; බස් කොන්දොස්තරල මැෂින් ඒකෙන් කඩන ටිකට් එක වගේ. ඒකෙ ඔක්කොම තියෙන්නෙ ඉංග්‍රිසියෙන්.

''බිල එහෙම නැතිකරගන්ඩෙපා; කිලුටු කරගන්ඩත් එපා. හදිසියෙ තව කවුරු හරි පෝලිමේ හිටියොත් සද්ද නැතුව උඹත් පෝලිමේ ඉඳල අනික් එවුන් වගේ ම බිල මගේ අතට දිපං. ඊට පස්සෙ සද්ද නැතුව පාර්සලේ අරගෙන හෙමිහිට එළියට පලයං හරිද... කිසිම දේකට හදිසි වෙන්‌ඩෙපා හරිද...''

එහෙම කියපු අම්පිටිය අයිය සුසන්තගෙ උරහිසට තට්ටුවකුත් දාල හිනා වෙලා ගියා.

*          *          *

සුසන්ත

අම්පිටිය අයිය කොහොම කිව්වත් මගේ හිතේ පොඩි සැකේකුත් තිබුණා. ඒත් අමිපිටිය අයියගෙ වචනෙ විස්වාස හින්ද ම කිසිම දෙයක් නොදන්න ගානට මම කැම පැන්ට්‍රිය ගාවට ම ගියා. අම්පිටිය අයිය කිව්ව වගේ ම තව දෙන්නෙක් එතන හිටිය. මම ඒ දෙන්නට පස්සෙන් හිටගෙන ඉඳල ඒ දෙන්න පාර්සල් අරගෙන ගිය ගමන් කවුන්ටරේ ඉස්සරහ හිටගත්තා; අම්පිටිය අයිය මොනවත් ම නොදන්න ගානට මම දික් කරපු බිල අතට ගත්තා; අතට අරගෙන කිසිම වගේ වගක් නැතුව මොන මොනවද පාර්සල් කරා. ඒ පාර්සලේ මගේ අතට දීල ඒ වෙද්දිත් මගේ පිටිපස්සෙන් හිටපු කෙනාගෙ බිල අතට ගත්තා.

'මං යන්නං' කියල නොයා යන එක අප්සට් වුනත් අම්පිටිය අයියා කියපු විදියට ම මම පාර්සලෙත් අරගෙන කඩෙන් එළියට බැහැල ඉස්සරහ තියෙන පාර දිගේ කෙළින් ම ස්ටේෂම ළගට ඇවිත් රේල් පාර දිගේ වැල්ලවත්ත පැත්තට ඇවිදගෙන ගියේ රොහාන්ව නතර කරල ආව තැනට. ඒ එද්දි රොහානුත් මග බලාගෙන ඉන්නවා; මාව දැකපු ගමන් ඉස්සරහට දුවගෙන ආපු රොහාන් ''මක්කයි වුණේ... මක්කවත් කරදරයක් උණයි...?'' කියල තමයි ඇහුවෙ.

''සත්තකින් ම... මක්කවත් කරදරයක් උණේ නෑ... අම්පිටියයිය තමයි දොහකටත් මිනිහ..."

සුසන්ත එහෙම කිව්ව 'ඒ ඇයි' කියල මම ඇහුවෙ නෑ; ඒ වුනාට මට එහෙම හිතුණා.

''මං දන්නෝ ඔහේ මක්කයි කල්පනා කරන්නෙ කියල... එහෙම සන්තෑසියක් නෙවෙයි... මං කිව්වෙ... අම්ටියයිය ඒ වෙලාව හැසිරුණේ කවදාවක්කත් මාව දැකපු නැති කෙනෙක් වගේ. මූණෙ හිනාවක්කත් නෑ. අත දික්කරා; බිල ගත්තා; දිඩිබිඩි ගාල පාර්සලේ දැම්මා; ආපහු ඇවිත් මට දුන්නා; මට පිටිපස්සෙං හිටිය මිනිහගෙ බිල අරගෙන ආයි හැරුණා.''

''ඉතිං...?''

''ඉතිං කියන්නෙ...? එයැයි කිව්ව නෙ අඳුරන විත්තියක් පෙන්නන්නෙපයි කියල... ඒ හිංද මං පාර්සලෙත් අරගෙන කෙළිංම රේල් පාරට ආව.''

''අඩේ... මාර සුවඳයි සුසා කෑමෙක..."

රොහාන් එහෙම කිව්වෙ කැම එක කන්න තියෙන හදිස්සියට ම තමයි. හැබැයි මෙතනදි කෑම කෑවොත් බොන්න වතුර නෑ. ඒකට ආයෙ ගාලු පාරට ම යන්න වෙනවා.

''යසේ... අපි කැම එකත් අරං වැල්ලවත්තට යං ද...?''

''ඔයැයි කියන්නෙ වාඩියට යං කියලයි...?''

''පිස්සුයැ... එහෙට්ට ගෙනිච්චොත් කපුටු රංචුවක් වගේ මේක වට කරගනියි. මං කියන්නෙ ඇලෙක්සැන්ඩ්‍රා පාර හරියට ගිහින් ඔයි ගලක් උඩ තියාන කාල මූදෙං අත හෝදගෙන වාඩියට යං. නැහ්නං ඇලෙක්සැන්ඩ්‍රා පාරෙ වාඩියට යං ද...?"

watchman
සුසන්ත එහෙම යෝජනා කරාට මේ වෙද්දි ඒ ගෙදර අපිට නියමිත වැඩ කොටස ඉවර නිසා ගේ බලාගන්න මුරකාරයෙක් දාල තියෙන්නෙ. ඒ මිනිහ දෙමළ මිනිහෙක්. එයා අපිව අඳුරන්නෙත් නැහැ.

''ඒක කරන්න බෑ සුසා... ඒ දෙමළ මිනිහ අපිව අඳුරන්නැහැ නෙ... ඒ හිංද ගේට්ටුව අරින එකක් නෑ. ඔයැයි කියපු විදියට අපි වැල්ලෙ තියාගෙන කාල, මූදෙං අත හෝදගෙන වාඩියට යං.''

*          *          *

ඒ කෑම එක තරම් රස කෑම එකක් මම විතරක් නෙවෙයි සුසන්තත් කවදාවත් කාල නැහැ. ඇත්තට ම ඒ තරම් රස කෑම තියෙනව ද කියලත් මට පුදුමයි. සුසන්ත නම් කිව්වෙ ඒ වගේ රසට කෑම හදන්නෙ දෙමළ කඩවල නෙවෙයි, මුස්ලිම් කඩවල කියල. නමුත් මැජෙස්ටික් හොටලෙ අයිති කෙනා දෙමළ කෙනෙක්, ඒකෙ වැඩ කරන හුඟක් අය පවා දෙමළ. අම්පිටිය අයියට වුනත් එතන වැඩ කරන්න ලැබුණෙ සාගරසිරි මුදලාලි මැජෙස්ටික් මුදලාලිගෙ යා‍ළුවෙක් නිසා.

buriyani

මම බුරියානි කියල කෑමක් ගැන අහල තිබුණට, හෝටලේක අවුරුද්දක් දෙකක් වැඩ කරාට ඒ කෑම ජාතිය කාල තිබුණෙ නැහැ. සුසන්ත නම් කිව්වෙ කෑම එකට බැදපු කුකුළු ගාත දෙකක්, බැදපු බිත්තර දෙකක්, තම්බපු බිත්තර දෙකක්, බැදපු මාළු කූරියො දෙන්නෙක් එහෙම දාන්න ඇත්තෙ අම්පිටිය අයිය අපිට දෙන කෑම එකක් නිසා වෙන්න ඇති කියල. නැත්නං ඉතිං එක කෑම එකකට එක බිත්තරය යි එක කුකුළු ගාතයක් විතරයිලු හම්බ වෙන්නෙ.

කොහොම වුනත් ඒ කෑම එක කාල අපි දෙන්නගෙ බඩ හොඳට ම පිරුණා; ඇත්ත ම කියව නම් හුස්ම ගන්න බැරි තරමට පිරුණා. කලින් කතා කරගත්තු විදියට ම අපි දෙන්න බත් එක කාල මුහුදෙන් අත හෝදගෙන කෙළිංන්ම ගියේ බෝඩිමට.

එන්න කලින් අම්පිටිය අයිය කියපු නිසා වාඩි බත එපා කිව්වෙ නෑ. අපි දෙන්න ඒ බත් එක කන්න ගත්තෙ ටිකක් රෑ වෙලා; ඇත්ත ම කියනව නම් දැන් අපි දෙන්නට මේ කෑම දෙක කන්න බෑ. ඒ නිසා දෙන්න ම කෑම දෙක අත ගගා ඉඳල, කටක් දෙකක් කාල කවුරුත් එහා මෙහා වෙන තුරු ඉඳල කෑම එක කුණු බැරල් එකට විසි කරා.

හවස වැල්ලෙදි හම්බ වෙච්ච වෙලාවෙ අම්පිටිය අයිය කිව්වලු දවසක් ඇර දවසක් වගේ එහෙම එන්න එයා කෑම එකක් ගන්න පුළුවන් විදියෙ බිලක් දෙන්නම් කියල. ඔය වැඩේ කෙරුණෙ කොහාම ද කියල මට හරියට ම නිනව්වක් නැති නිසා මං ඒ ගැන හෙමිහිට සුසන්තගෙන් ඇහුවා.

*          *          *

සුසන්ත

මෙහෙමයි... අම්පිටිය අයිය වැඩ කරන්නෙ මැජෙස්ටික් කියන ප්‍රසිද්ධ හොටලෙ කෑම පැන්ට්‍රියෙ නෙ. එයා කරන්නෙ, කෑම ගන්න අය කැෂියර් එකට සල්ලි ගෙවල අරගෙන එන බිලේ සඳහන් කරල තියෙන කෑම ටික පාර්සල් කරල දෙන එක නෙ. ඊට පස්සෙ කරන්නෙ ඒ බිල එතන තියෙන යකඩ කුරක ගහන එක.

හැබැයි සාගරසිරියෙ වගේ ඒ බිල් ආයෙ ආයෙ එකතු කරල බැලිල්ලක් නැහැලු. මොකද ඒ බිල එන්නෙ මැෂින් එකකින් නෙ... ඒ මැෂින් එකේ ගණන් හිලව් ඔක්කොම සටහන් වෙලා තියෙනවලු. අර කූරෙ උඩට ම බිල් පිරුණට පස්සෙ ඒ ටික විසි කරනවලු.

Man eating using hand a traditional biryani rice and chicken dish in local restaurant, Oman

අම්පිටිය අයිය කරල තිබුණෙ ඒ බිල් අතරින්: බැදපු බිත්තර, තම්බපු බිත්තර සහ රෝස් කුකුළු මස් කියන වර්ග තුන ම සඳහන් බිලක් අර යකඩ කුරෙ නොගහ අරන් තියාගෙන ඉඳල අපිට ගෙනල්ල දීපු එක; මම කරේ ලොකු මිනිහ වගේ ඒ බිල අරගෙන ගිහින් අම්පිටිය අයියයට‍, නෑ නෑ... මැජෙස්ටික් හොටලෙ කැම පැන්ට්‍රියෙ පැන්ට්‍රි කීපර්ට දීපු එක. එයා කරේ බිලේ තියෙනවට අමතරව: තම්බපු බිත්තරයක්, බැදපු බිත්තරයක් වගේ ම රොස් කුකුළු අණ්ඩක් දාල කෑම පාර්සලේ ඔතල මට දීපු එක. අපි දෙන්න කරේ ඒ කෑම එක අරගෙන ඇවිත් අපි සල්ලි දීල ගෙනාව කෑම එකක් වගේ බඩ පිරෙන්න ම කාපු එක.


*          *          *

ඒ සිද්ධියෙන් පස්සෙ මේ ගෙවෙන්නෙ දෙවෙනි සතිය විතර. අපි ඊට පස්සෙ දවසකට දෙකකට විතර සැරයක් මේ වැඩේ දිගට ම කළා. හැබැයි ඒ එක එක දවසට එක එක විදියෙ කෑම බිලක් ගෙනල්ල දෙන්නත් අම්පිටිය අයිය අමතක කරේ නෑ. හැමදා ම වාඩියට එන තුරු ම වතුර නොබී ඉන්න අපහසු නිසා සුසන්ත කරේ වාඩියෙ තියෙන බෝතලයක් සහ මූඩියක් හොයගෛන ඒකට වතුර එකක් අරගෙන ම අම්පිටිය අයිය හම්බ වෙන්න යන එක. යන අතරමගදි බෝතලේ ගලක් අස්සෙන් තියල යන්න පුරුදු වුණා. අපි හැමදාම වගේ වැල්ලට ගියාට ඒ හැම දවසක ම අම්පිටිය අයිය ආවෙ නෑ. එයා හතරට ඔ්‌ෆ් වෙලා ආයෙ පැන්ට්‍රියට යන්නෙ රැ හතට; ඉතිං හතට කලින් අම්පිටිය අයිය ආවෙ නැත්නම් අපි දන්නව එදාට එයා එන්නෙ නෑ කියල. එහෙම දවසට අකමැත්තෙන් වුනත් වාඩි බත කන්න අපි දෙන්න ම පුරුදු වුණා.

දවසක් ඔය විදියට ම අපි වැල්ලෙ ඇවිදගෙන යද්දි අම්පිටිය අයිය අපි ඉස්සරහට ආවෙ වෙනද වගේ සන්සුන් ගමනකින් නෙවෙයි; බොහොම කලබලයෙන්; හති දාගෙන; දුවගෙන...  

සතියකින් හමුවෙමු...

Jayasiri Alawattha(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/ 11/ 01

ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්