අද ඔය විදියට ම අපි වැල්ලෙ ඇවිදගෙන යද්දි අම්පිටිය අයිය අපි ඉස්සරහට ආවෙ වෙනද වගේ සන්සුන් ගමනකින් නෙවෙයි; බොහොම කලබලයෙන්; හති දාගෙන; දුවගෙන... අපි අද මේ හම්බ වෙන්නෙ දවස් දෙක තුනකින්.
''සුසා... මොකෝ අර අමිපිටියයිය දුවගෙන එන්නෙ... මක්ක හරි කරදරයක් ද දන්නෑ...?''
අම්පිටිය අයිය ගෙ ගමනෙ වෙනස්කම දැකපු ගමන් ම මම සුසන්තගෙන් ඇහුව නෙවෙයි ඉබේට ම වගේ ඇහුණා; සුසන්තත් මම කිව්වට පස්සෙ තමයි අම්පියිය අයිය ගෙ ගමනෙ වෙනස දැක්කෙ.
''යං යං... අපිත් ඉස්සරහට යංකො...''
එහෙම කියපු සුසන්ත මගේ අතකින් අල්ලගෙන අම්පිටිය අයිය එන දිහාට ම රේල් පාර දිගේ දුවන්න පටන් ගත්තා. අපි කිට්ටු වෙන්න ඔන්න මෙන්න කියද්දි කෝච්චියක් හූ තියන සද්දෙ ඇහුණ නිසා අම්පිටිය අයියා අපිට අත වනාගෙන රේල් පාරෙන් පිටතට පැනලා වැල්ල පැත්තට දිව්වා. අපි දෙන්නත් ඒ විදියට රේල් පාරෙන් පිටතට පැනලා ම වැල්ල පැත්තට දිව්වා.
වැල්ලෙදි අපි එකිනෙකාට මූණට මූණ හම්බ වෙද්දිත් අම්පිටිය අයියා හති දානවා.
''මක්කයි අයියෙ උණේ... මොකෝ මේ හති දාගෙන...''

මම එහෙම අහන්න හිතන්නත් කලින් සුසන්ත එහෙම ඇහුවා.
''යංකො යංකො...'' කියපු අම්පිටිය අයියා අපි හිටපු තැනට පොඩ්ඩක් ඉස්සරහ තිබුණ ගල් ගොඩ ළඟට ගියා; හැබැයි ඒ වෙද්දි අර තරමට ම කලබලයක් තිබුණෙ නෑ; එහෙම කලබලයක් නොතිබුණත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙන විත්තිය අපිට දැනුණා.
''මෙහෙං වාඩිවෙයල්ලකො...''
එහෙම කියන අතර ම අම්පිටිය අයියත් ගලක් උඩින් වාඩි වුණා.
''පොඩි ජංජාලයක්..."
අම්පිටිය අයිය හරිම සැහැල්ලුවෙන් එහෙම කිව්වට ඒ ජංජාලය පොඩි එකක් නෙවෙයි කියල මටයි සුසන්තටයි දෙන්නට ම තේරුණා.
''ඇයි අයියෙ... මක්කයි වෙලා තියෙන්නෙ...''
* * *
අම්පිටිය අයියා
''මේක අහල කලබල වෙන්ඩ එපා. හැබැයි ඉක්මනට ම මොනා හරි කරන්ඩ වෙනවා. මේකයි වැඩේ...''
අම්පිටිය අයිය සූදානම් වෙන්නෙ මොකක් හරි ලොකු කතාවක් කියන්න කියනෙක අපිට තේරුණා. ඒත් කතාව දන්නෙ නැතුව මොනවත් ම අහන්න හරි, කියන්න හරි බැරි නිසා අපි දෙන්නා එයා කියන කතාව අහන්න සූදානම් වුණා.

''මම ඔ්‌ෆ් වෙන්නෙ හතරට කියල සාගරසිරි මුදලාලි දන්නව නෙ... උදේ කඩේ කැෂියර්ට කියල තිබුණ මම ඔ්ෆ් වෙන වෙලාවට මුදලාලි එනවය පාරට ඇවිත් මුදලාලිව හම්බවෙන්ඩ කියල.''
''ඉති...!''
එක පාරට ම සුසන්තගෙයි මගෙයි කටින් පිට වුණේ කලින් කතා කරගෙන හිටිය වගේ.
''මෙහෙමයි... මුදලාලි කියන විදියට උඹල ඉන්ඩ තැන මම දන්න විත්තිය ගුණපාලය දැනගෙන. ගුණපාලය එන්න හදල තියෙනව මාව හම්බ වෙන්ඩ. හැබැයි ඌ හොඳ වෙලාවට මුදලාලිගෙන් අහල. මුදලාලි කිව්වලු මුදලාලි ඇවිත් මාව හම්බ වෙන්නංය එයාට එන්ඩ ඔ්නෙ නෑ කියල.''
''ඉති ඔහේ මක්කයි මුදලාලිට කිව්වෙ...?''
මම අහන්නත් කලින් සුසන්ත අම්පිටිය අයියගෙන් ඇහුවා.
''මෙහෙයි... මට මුදලාලිට බොරු කියන්නඩ බැහැ නෙ... මං කිව්ව උඹල හම්බුණා කියල.''
''අප්පට සිරි... අයිය අපි ඉන්නතැනත් කිව්වයි...?''
ඒ වචන ටික නම් පිට වුණේ මගේ කටින්.
''පිස්සු ද මල්ලි... අනික මුදලාලි ඒ වගක් ඇහුවෙත් නෑ. මගෙන් ඇහුවෙ උඹලව හම්බුණා ද කියල විතරයි. ඉන්න තැන දන්නව ද... ඒව මොනවක්කත් ඇහුවෙ නෑ... හැබැයි මුදලාලි මෙහෙම දෙයක් කිව්ව.''
''ඇයි... මක්කයි මුදලාලි කිව්වෙ...?''
ආයෙත් අපි දෙන්න ම අම්පිටිය අයිය ගෙන් ඇහුවෙ එක සැරේ ම යි.

''උඹල ඉන්න තැනක් දන්නවනං හරි උඹල මාව බලන්ඩ එනව නං හරි මාව හම්බ වෙන්ඩ එන්ඩ එපයි කියන්ඩත් කිව්ව. ඒ වගේ ම කොළඹ අවට ඉන්නව නං ඉක්මනට කොහේට හරි යන්ඩ කියන්ඩ කියලත් කිව්ව...''
''යකෝ ඒක හරි කෙළියක් නෙ... දැං අයිය කියන්නෙ අපි ඌට බයේ කොළඹ දාල යන්න ඔ්නෙයි කියල යි...''
ඒ වචන මගේ කටින් පිට වුණේ පාලනයක් නැතුව. ඒ එක්ක ම සුසන්ත මැදිහත් වුණා.
''ඩිංගක් ඉන්නකො යසේ... අපි අම්පිටියයි මක්කයි කියන්නෙ කියලත් ඩිංගක් අහමුකො... හැබෑට ම අම්පිටියයියෙ අපි දැං මක්කයි කරන්නෙ...?''
අම්පිටිය අයිය එක පාරටම කතා කරේ නෑ. එයා ගල් අස්සෙ තිබුණ ලි කෝටුවක් අරගෙන වැල්ලෙ එහෙට මෙහෙට ඉරි වගයක් අඳින්න ගත්තා. ඒත් මට කට වහගෙන ඉන්න හිතුණෙ නෑ. මම ''දැං'' කියල කියද්දි ම අම්පිටිය අයිය කතා කරන්න පටන් ගත්තා.
''මං මේ කියන්නෙ මුදලාලි කියපු දේවල් එක්ක මටත් හිතෙන දේවල්. මුදලාලි කියන්නෙ එයා කවදාවත් මට හරි උඹලට හරි අවුලක් වෙන්ඩ දෙන්නෙ නෑ කිව්ව. හැබැයි ඉතිං ගුණපාලයත් නාහෙට අහන්නැති එකා නෙ. ඌ මුදලාලිටත් හොරෙන් උඹල ඉන්න දිහාක් හොයාගෙන පොලිසියත් එක්ක ඇවිල්ල මොකක් හරි අංචියක් ඇද්දොත් ඊට පස්සෙ මුදලාලිටත් මැදිහත් වෙන්න බැහැයිලු. මොකෝ දැං මුදලාලිගෙ නංගිත් මේ දේවල් දන්නව නෙ. ගුණපාල උඹෙං ගුටිකාපු එක ඒ ගැනිටත් ලජ්ජාවක් ලු; ඒ ගෑනිත් හැම වෙලේ ම කියනව කියන්නෙ 'ඔ්කට නං හොඳ පාඩමක් උගන්නන්ඩ ඔ්නෙ' කියලලු. ඒ හංද මං නං කියන්නෙ...''
''අපි කොළඹ අතැරල යන්න ඔ්නෙ... එහෙම නෙ ඔයැයි කියන්නෙ...?''
ආයෙත් මගේ ඇඟ ඇතුළෙ ඉන්න හිතුවක්කාරයා මතු වුණා.
''මෙහෙම නෙ යසේ...''
අම්පිටිය අයිය ඒ වචන පිට කරේ හරිම හෙමිහිට; සැහැල්ලුවෙන්.

''අපි උඹල වගේ නෙවෙයි නෙ බං උං... උංට සල්ලි තියනව, මිනිස්සු ඉන්නව, පොලිසිය අඳුරනව. සමහර විට ඔයි ගංජ මිටියක් හරි මොනව හරි දාල පොලිසියට මාට්ටු කරන්ඩත් පුළුවං. ඒ හිංද මං කියන දේ පොඩ්ඩක් හිතහල්ල. අපේ හිතේ හයියටයි ඇඟේ හයියටයි හැම වෙලාවෙ ම හැම හැම දේම කරන්ඩ බෑ. පොඩ්ඩක් පස්සට යන්ඩත් වෙනෝ... මොන රෙද්ද කරන්ඩත් අපි හොඳින් ඉන්ඩෙපාය... නැද්ද මං අහන්නෙ සුසා...?''
අම්පිටිය අයිය ප්‍රශ්නය විසි කරේ සුසන්ත දිහාට. මොකද අම්පිටිය අයිය දන්නවා මගේ දිහාට ඒ ප්‍රශ්නය විසි කරොත් ලැබෙන උත්තරය සුසන්තගෙන් ලැබෙන උත්තරයට වැඩිය හුඟක් වෙනස් කියල.
සුසන්ත ඒ ප්‍රශ්නය බාර ගත්තා.
''හරි... දැං අම්පිටියයි ම කියන්නකො අපි මක්කයි කරන්නෝනෙ කියල...''
''මං නං කියන්නෙ මල්ලිලා උඹල කොළඹින් පලයල්ල... උඹ කොහොම උනත් රොහානය... මොකද ඌත් එක්ක නෙ තරහ තියෙන්නෙ... උඹ කවුද කියලං සමහර විට දන්නෙත් නැතුවැති නෙ... කඩේ අනික් එවු මේ ගැන එළවන්නෙත් නෑ... අඩුම මුදලාලිවත්... ගුණපාලය ම තමයි පස්සෙං එළවන්නෙ... ඌට වැඩියෙං ම තියෙන්නෙ ලජ්ජාව.''
''මෙහ්... අම්පිටියයියෙ... මං ඔ්කව හම්බෙන්න ද... එතකොට දෙකෙං එකක් වෙන්නැතෑ...?''
''තොට පිස්සු ද යකෝ... තෝ අකාලෙ අත පය කඩා ගන්ඩද යකෝ හදන්නෙ...?''
අම්පිටිය අයිය ඒ වචන පිට කරන අතර වාඩි වෙලා හිටපු ගලෙන් නැගිට්ටෙ හිතාගන්නත් බැරි වේගයකින්.
''තොට තාම අවුරුදු විස්සක්කත් නෑ... ඒ හිංද මෙහෙං ගිහිං අතපය ටික හොඳින් තියාගනිං... ඔ්ක තියෙන තරහට කොහෙට්ට හරි උස්සං ගිහිං මරල දාන්නත් බැරි නෑ.''
වාඩි වෙලා හිටපු ගලෙන් නැගිටපු අම්පිටිය අයිය ඒ වචන ටික කියාගෙන ගියේ මගේ උරහිස් දෙකෙන් අල්ලගෙන හොලවන ගමන්. කොහොම වුනත් මට අම්පිටිය අයියට වඩා ඉහළින් යන්න හිත දුන්නෙ නෑ; මට පුළුවන් වුණේ බිම බලාගෙන දකුණු කකුලෙන් වැල්ලෙ අඩ කව අඳින්න විතරයි; කතා කරේ සුසන්ත.
''මට තේරෙනෝ අයියෙ... මං මක්ක හරි කරන්න බලන්නං... දැං අයිය යන්න කො...''

අම්පිටිය අයිය සුසන්ත එක්ක වචනයක්කත් කතා කරේ නෑ... එයා ආයෙත් මගේ උරහිස් දෙකට අත තිබ්බා.
''මට උඹල දෙන්න ම මගේ සහෝදරයො වගේ. මං ආස නෑ උඹලට කරදරයක් වෙනෝ දකින්ඩ. කොටින් ම මුදලාලිත් කැමති නෑ රොහාන් උඹට කරදරයක් වෙනව දකින්ඩ. මුදලාලි හිත හොඳ මිනිහ. මිනිහට වෙලා තියෙන්නෙ මේක පවුලෙ ප්‍රශ්නයක් හිංද අතාරින්ඩ බැරිකම. නැත්නං මොන කෙහෙල්මලකට ද මට ඇවිත් විස්තර කියල උඹලට කියන්ඩෙයි කියල කියන්නෙ. ඒ හිංද මං කියන දේ තේරුං ගනිං...''
අම්පිටිය අයිය යද්දිත් කියල ගියේ යන දවසක කොහොම හරි ඇවිත් කියල යන්න කියල. මොකද අවසානෙ අපි දෙන්න ම තීරණය කරේ අම්පිටිය අයිය කියන දේවල්වල ඇත්තක් තියෙන නිසා අපි කොළඹින් යන්න ඔ්න කියල.

කොහොමටත් ගුණපාලය තවම අපි ඉන්න දිහා හොයාගෙන නැහැ නෙ... ඒ නිසා හෙට සිකුරාද නෙ... පඩිත් අරගෙන ම කරන දෙයක් කරනව කියල තමයි දෙන්න ම කතා කරගත්තෙ. සුසන්ත ගෙ අදහස නම් මේ කිසිම දෙයක් නිමල් අයියටවත් කියන්න ඔ්නෙ නෑ කියල. අපි දෙන්න ම ගෙදර ගිහින් එනව කියල තමයි කියන්න තීරණය කරේ. හැබැයි අපි යන්නෙ කොහේද කියල තවම තීරණය කරේ නෑ.
* * *
අද සිකුරාදා. සුසන්ත ඊයෙ ම කියල තිබුණ අපි ගෙදර ගිහින් එන්න යනව කියල. මේ වෙද්දි හයවෙනි තට්ටුවෙ කොන්ක්‍රීට් දාල තිබුණ නිසා ඒහැටි වැඩක් තිබුණෙත් නෑ.
සතියකින් හමුවෙමු...
(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2025/ 11/ 08
ගෙන්දගම් පොළොව - පසුගිය කොටස් 





