leader s

අද සිකුරාදා. සුසන්ත ඊයෙ ම කියල තිබුණ අපි ගෙදර ගිහින් එන්න යනව කියල. මේ වෙද්දි හයවෙනි තට්ටුවෙ කොන්ක්‍රීට් දාල තිබුණ නිසා ඒහැටි වැඩක් තිබුණෙත් නෑ.


කිසිම අරමුණක් නැතුව අපි දෙන්න ඊයෙ රෑ තින්දුවක් ගත්ත; ඒ, මෙහෙන් යන්න. දැන් ඔයාල අහන්න පුළුවන් කොහේද යන්නෙ කියල. ඇත්තට ම අපි මේ මොහොත වෙනකන් ම යන්නෙ කොහොද කියල තීරණයක් අරගෙන නැහැ. හැබැයි කොළඹින් යන්න තීරණය කරා.

ඇත්තට ම මම නම් ඔය ගුණපාලය කියන එකාට බය නෑ. හැබැයි ඇත්ත ම කතාව මටවත් සුසන්තටවත් ඔය පොලිසිය එක්ක හරි... එහෙමත් නැතිනම් කොළඹ චණ්ඩි එක්ක හරි පැටලෙන්න බැහැ නෙ... අම්පිටිය අයිය කියන එක ඇත්ත. අපි පොලිසියට අරගෙන ගියොත් අපිට ඇප දෙන්නවත් කවුද ඉන්නෙ... අනිත් එක අම්පිටිය අයිය කියන විදියට පොලිසියට ගෙනියන්න කලින් ම ඔය කියන චණ්ඩි හරි පොලිසිය ම හරි මට හරි සුසන්තට හරි එහෙමත් නැත් නම් අපි දෙන්නට ම හරි කරදරයක් කරොත්...? අපි නොසිතුවට සමහර විට ඒ කෙළවරකට අම්පිටිය අයියත් අහු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි තීරණයක් ගත්තෙ.

''මං කියන්නෙයි සුසා...''

''මක්කයි...?''

''ඔහේ අද හැන්දැවෙ හතෙන් පස්සෙ මැජෙස්ටික් එකට යන්න..."

''ගිහින්...?''

සුසන්ත ප්‍රශ්න කරන්නෙ හරියට පොඩි ළමයෙක් වගේ.

 



''මං ලියුමක් ලියල දෙන්නං. ඔහේ ගිහිං ෂේප් එකේ ඒක දීල එන්න. අපි එයැයිට නොකිය ගියොත් හරි නැහැ නෙ... බාගද එයැයි බය වෙන්නත් ඇහැකි නෙ...''

''හරි... එහෙම කරයි කියමුකො... අපි කොහේ යනව කියලයි කියන්නෙ...?''


'සුසන්ත ගෙ ප්‍රශ්නෙත් සාධාරණයි. අපි යන තැනක් තීරණය නොකර කොහොමෙයි අම්පිටිය අයියව හම්බ වෙන්නෙ...'

''මං කියන්නෙයි...''

මම හිතේ යම් දෙයක් තියාගෙන ම යි එහෙම කිව්වෙ.

''මක්කයි ඔහේ කියන්නෙ...?''

''අම්පිටිය අයියට බොරු කියන්න මං ආස නෑ. ඒත් අපි බොරුවක් කියමු.''

''බොරුවක්...! අම්පිටිය අයියට...!!''

සුසන්ත ඒ අහපු විදියෙන් ම තේරුණා එයා අම්පිටිය අයියට බොරුවක් කියන්න කැමති නැහැ කියල. හැබැයි ඉතිං මේ වෙලාවෙ වෙන කරන්න දේකුත් නැහැ.

''බොරුවක් කිව්වට මහා ලොකු බොරුවක් නෙවෙයි..."

''එහෙනං...?''

''අපි එයැයිට කියමු ටික දවසකට හරි ඔයැයිලගෙ ගෙදර යනව කියල...''

''හම්ම්ම්... ඒක නං නරක නෑ... එහෙනං ඔහේ හවහට ලියුමක් ලියල දෙනවයි.''

*          *          * 

buriyani

සුසන්ත මම කියපු විදියට ම වැඩේ කරා; අන්තිම වතාවට අම්පිටිය අයිය අපිට අර එයා රේල් පාරෙදි මුණ ගැහුණ පළවෙනි දවසට පහු වෙනිද වගේ ම ලොකු බුරියානි එකක් එවල තිබුණා.

සුසන්ත

මම කොහොමටත් බලාපොරොත්තු වුණේ නෑ කෑම එකක් ලැබෙයි කියල. මම වෙනද වගේ ම පෝලිමේ ඉඳල රොහාන් දීපු ලියුම අම්පිටිය අයියට දුන්නා. එයා ඒක අතට අරගෙන රහසින් ''පොඩ්ක් හිටහං.'' කියල පුරුදු විදියට ම කෑම එක ඔතල මට දුන්නා. මම අන්දුන් කුන්දුන්; ඒත්අම්පිටිය අයියට ගානක්වත් නෑ. මම රහසින් වගේ ''අපි හෙට මෙහෙන් යනෝ...'' කියල කිව්වා. එයා ඔළුව දෙපැත්තට වනල මගේ පිටිපස්සෙන් හිටපු කෙනාගෙ බිල අතට අරගෙන, ඒ දිහා තප්පර කිපයක් බලාගෙන ඉඳල, බිල එතන තියෙන කම්බියෙ ගහල පාර්සල් දාන්න ගියා. එයා එහෙම කරන්නෙ මොනවත් වෙන්නෙ නැහැ කියල දන්න නිසා; මමත් ඒ නිසා ම සද්ද නැතුව කෑම එක අරගෙන පාරට ඇවිත් බස් එකක එල්ලුණා.

*          *          *

''අම්පිටියයිය මක්කවත් ම කිව්වෙ නැතෙයි...?''

මම සුසන්තගෙන් ඇහුවෙ ඉවසුම් නැති නිසා.

''සත්තකින් ම නෑ... හැබැයි ඩිංගිත්තක් විතර ඔළුව දෙපැත්තට වැනුවා. මයි හිතේ ඒ ''හා'' කියනෙක වෙන්නැති.

මට හිතෙන විදියට අපි මෙහෙන් යන එක අම්පිටිය අයියටත් වාවන්නෙ නැතුව ඇති. එයාටයි අපිටයි දෙගොල්ලන්ට ම කරන්න දෙයක් නෑ.

*          *          * 

man sits front bottle alcohol 783884 49571

අද රෑ වාඩියෙ හිටියෙ මමයි, සුසන්තයි නිමල් අයියයි තව වයසක මනුස්සයෙකුයි විතරයි. අම්පිටිය අයිය දීපු බත් එක හතරදෙනෙකුට වුනත් කන්න පුළුවන් නිසා මම නිමල් අයියටයි ඒ මාමටයි කිව්ව අපි බත් ගෙනාව කියල. අපි හෙට ගමේ යනව කියල දන්න නිසාම ද කොහොද නිමල් අයියත් හිටියෙ ටිකක් දුකින්. ඒ නිසා ම ද මන්දා එයා අද ගංජා බිව්වෙත් නැද්ද කොහෙද. හැබැයි කොහෙන් හරි හීනියට අඩියක් නං ගහල තිබුණා.

''දැං මල්ලි උඹල කවද්ද ගමේ ගිහින් එන්නෙ...?"


ඉඳල ඉඳල නිමල් අයිය අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න අපි දෙන්නට ම බැරි වුණා. හැබැයි සුසන්ත ඉස්සර වුණා.

''නිමල්ලයියෙ... දැං වැඩත් ඩිංගක් අඩු හංද අපි දවස් දෙක තුනක් ඉඳල එන්නෙයි...?''

''ඒක උඹලයි කැමැත්තක්... අවොත් වැඩ දෙන්න පුළුවං... ටික දවසක් ගමේ ඉන්නෝන්නං ඉති දවස් තුන හතරක් ඉඳල වරෙල්ල... කොහොමත් අනික් එවුන් එන්නෙත් ඉරිද හවස හරි සඳුද උදෙං ම හරි තමයි. උඹල තව දවසක් දෙකක් ඉඳල වරෙල්ල.''

 

jesus christ hugging comforting man oil painting 878453 3616

නිමල් අයිය එහෙම කිව්වට පස්සෙ සුසන්ත ගිහින් නිමල් අයියව බදාගත්තා. ඒ, අපි ආයෙත් එන්නෙ නැහැ කියල කියන්න බැරි නිසා කියල මට තේරුණා. මටත් එහෙම කරන්න වුවමනාව තිබුණා; ඒත් එහෙම කරොත් සැක කරයි කියල හිතුණ නිසා ''අයියෙ අපි බත් කමුද...?'' කියල අහන ගමන් ම බත් එක අරගෙන එන්න ගියා...

මම වයසක මාමටත් එන්න කියල බත් එක අරගෙන එද්දි සුසන්ත පැදුර එළල වතුර ජෝග්ගුවකුයි කොප්ප දෙකකුයි අරගෙන ඇවිත් තිබුණා. මම වාඩි වෙලා බත් එක දිගඅරිද්දි ම නිමල් අයිය ''යකෝ...! මේක බත් එකක් නෙවෙයි සවාන් එකක් නෙ...'' කියල කිව්වෙ ඇස් දෙකත් ලොකු කරගෙන.


ඇත්තට ම මම ඒ කියපු වචනෙ තේරුම දන්නෙ නෑ. ඒ නිසා මම ''මොකද්ද නිමල් අයිය‌යෙ සවාන් එක කියන්නනෙ...?'' කියල අහද්දි ම ''මං නං දන්නව... ඒත් නිමල්ලයිය ම කියන්නකො'' කියල සුසන්ත කිව්වා.

muslim family gathering iftar ramadan 606429 925''ආ... සවාන් එක කියන්නෙ මේ මුස්ලිම් අය අවුරුද්දට කෑම කන ලොකු බේසමක්. උංගෙ අවුරුද්ද දවසට ඒක පිරෙන්න කැම දාල පවුලෙ කට්ටියයි, නැදැයොයි ඔක්කොම එකතු වෙලා මේ අපි වගේ වටවෙලා කනව. ඒකත් මේ වගේ ම යි. බිත්තර තම්බලා, බිත්තර බැදලා, කුකුල් කකුල් බැදලා... සුවර් එකට උඹල මේක ගේන්නැත්තෙත් මුස්ලිම් කඩේකින්...මං කිව්ව හරි නෙ...''


ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මට තේරෙන්නෑ. හැබැයි එතනදිත් සුසන්ත මැදිහත් වුණා...

''ඔවු ඔවු අයියෙ... අර මාකට් එක ඉස්සරහ තියෙන මුස්ලිම් කඩෙං තමයි ගෙනාවෙ. අද ඉන්නෙ අපි හතර දෙනා විතරයි කියල දන්න හිංද තමයි පුල් එකක් අරං ආවෙ.''

එතනින් එහාට නිමල් අයිය ප්‍රශ්න ඇහුවෙ නෑ. රස කර කර කෑව විතර ම යි.

එයා කාල නැගිටිද්දි ම සුසන්ත ''එහෙනං නිමල්ලයියෙ... අපි හෙට උදෙං ම යනෝ... කොටුවට ගිහිං කෝච්චියක් ගත්ත ම වාඩි වෙලාම යන්න ඇහැකි.''

සුසන්ත එහෙම කිව්වෙ ඇත්තට ම ද බොරුවට ද කියල මම දැනගෙන හිටියෙ නෑ.

''හරි හරි මල්ලිලා... මම නිදං හිටියත් අවුලක් නෑ උඹල පලයල්ල.''

 

sleeping
සුසන්ත උදේ හය වෙන්නත් කලං නැගිටල, මටත් අවදි කරල ඇඳුං ටික ඔක්කොම බෑග් ඒකට දාගත්තා.

''යංහ්...''

සුසන්ත අයිය මට කිව්වෙ යන තැනක් තීරණය කරල වගේ.

''අපි දැං කොහාටෙයි යන්නෙ...?''

''යංකො... යංකො...''

පාරෙන් එහා පැත්තට පැනපු අපි කොළඹ පැත්තට යන බස් එකක එල්ලුණා; ඇවිල්ල බැස්සෙ කොටුවෙ ස්ටේෂන් එක ගාව.


මම ආයෙත් ඉස්සරවෙලා ම කොළඹ ආපු දවසෙ වගේ කිසිම කතාවක් බහක් නැතුව සුසන්ත පස්සෙන් ම වැටුණා. මට ස්ටේෂන් එක ඇතුළට යන පෝලිම ගාව ඉන්න කියපු සුසන්ත ටිකට් කවුන්ටරෙන් ටිකට් දෙකක් අරගෙන ඇවිත් ආයෙත් ''යංහ්'' කිව්වා. මමත් කතා නැතුව ම  පිටිපස්සෙන් ආවා.

 

Colombo, Sri Lanka - March 04, 2019: People waiting for train at busy train station in Colombo
ටිකට් චෙක් කරන කෙනා ටිකට් දෙක අරගෙන ''දෙන්න ම යන්නෙ ඇයි?'' කියල අහද්දි ම සුසන්ත ''සර්... ලැට්එකට යන්නයි තේකක් බොන්නයි ඔ්න...''

''හරි හරි යනෝ යනෝ...'' කියපු ඒ මනුස්සය අතේ තිබුණ අඩුවක් වගේ එකකින් ටකස් ගාල ටිකට් දෙක ඒ එකට තියල කැපුවයි කියල මට හිතුණෙ. ඒත් එහෙම නෙවෙයි කරල තිබුණෙ.

''යසේ... අපි යං තේකක් බොන්න...''

අපි මාළු පාන් කාල තේ බිල ඉවර වෙද්දි කොහොමටත් හතයි හතළිහට වගේ ඇති. දැන් මට ඉවසුම් නෑ; මොකද... සුසන්ත කරන්න හදන්නෙ මොකක් ද, යන්න හදන්නෙ කොහෙද කියන කිසිම දෙයක් මම දන්නෙ නෑ. මම ඒ ගැන අහන්න හදද්දි ම ''පළවෙනි වේදිකාවට දැන් පැමිණ දුම්රිය හතයි පනහට බදුල්ල බලා පිටත් වෙනු ඇත... එම දුම්රිය නව...''


ඒ ඒක්ක ම සුසන්ත ''යංහ්... යංහ්... අර කොච්චියෙ යං...''

වෙන්න යන්නෙ මොකද්ද කියල මට හිතාගන්න බැ...

 

railway station 1 artzolo com
''සුසා... අපි ගත්තෙ ප්ලැට්පෝම් ද මොකද්ද කියන ටිකට් නේද... එව්වයි කෝච්චියෙ යන්නැහැකිය...''

'' මොන ටිකට් ද යසේ... පණ්ඩිතකං නැතුව මෙන්න මෙහෙ වරෙං බං... අපි මේකෙ යං... ඔයි කොහො හරි ගිහිං නවතින්නැතැයි...

මටත් කරන්න වෙන කිසිම දෙයක් තිබුණෙ නෑ; මමත් සුසන්තගෙ පස්සෙන් ම ඇවිත් බදුලු කෝච්චියට නැග්ගා.

යළි කවදා හෝ හමුවෙමු...

Jayasiri Alawattha(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2025/11/ 15

ගෙන්දගම් පොළොව - පසුගිය කොටස්  

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්