ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහි පවරා ඇති නඩුවේ සාක්ෂි ලබාදුන් සංවර්ධන නිලධාරිනිය විසින් එකිනෙකට පරස්පර සාක්ෂි ලබාදීම සිදු කළ බව ට විත්ති පාර්ශ්වය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අවධානයට යොමු කරන කරන ලදි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කරන අවස්ථාවේ දී "කමිටු නිලධාරීන් විසින් අත්සන් තැබූ බව තමන් දැක්කේ නැති බව සාක්ෂිකාරිය මුලදී ප්‍රකාශ කළද, එම නිලධාරින් විසින් අදාළ ලේඛන පරීක්ෂා කර බලා අත්සන් තැබූ බවට පසුව ප්‍රකාශ කිරීම" එකිනෙකට පරස්පර ප්‍රකාශයන් බවට එහි 09 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විසින් පෙන්වා දෙන ලදි.
මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළ අවස්ථාවේදී මේ බව පෙන්වා දෙන ලදි
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබිණි.
මෙම සාක්ෂි කාරිය ගෙන් මූලික සාක්ෂි විමසීම පසුගිය සතියේ අවසන් කළ අතර 1,4,6,11,2, විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම ද අවසන් කරන ලදි.

එහිදී මෙම නඩුවේ නමවෙනි විත්තිකරු වන දැනට විදේශගත වී සිටින වෛද්‍ය ජයනාත් බුත්පිටිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාහුල් ජයතිලක මහතා සාක්ෂිකාරියගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය .
සාක්ෂිකාරිය මගින් ලකුණු කරන ලද පැ.229 දරණ ලේඛණය අනුව සාක්ෂි විමසීම සිදුකළ නීතිඥවරයා ඖෂධයක" ජෙනටික්" නාමය නම් යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය.
එලෙස හඳුන්වන්නේ "ඖෂධය නාමය" බවට සාක්ෂිකාරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී" එය විද්‍යාත්මක නාමය කිව්වොත් හරිද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකාරිය ඊට පස්සේ එකඟතාවය පළ කළාය.
අදාල ලේඛනයේ ලංසු කැඳවන ඖෂධය කුමක්ද යන්න පිළිබඳව ඇතුලත් කර ඇති බවත් එම ඖෂධ ප්‍රමුඛතා ලැයිස්තු අංක 01 ට ඇතුලත් ඖෂධ බවත් සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
නීතිඥවරයා:
එම ප්‍රමුඛතා ලැයිස්තුව සැකසුවේ කවුරුන් විසින්ද?
සාක්ෂිකාරිය: ජයනාත් බුත්පිටිය මහතා විසින් ඒ ලේඛනය සකස් කලා .
නීතිඥවරයා:
එම ලේඛනය ලැබුණේ කොහොමද දන්නවද?
සාක්ෂිකාරිය : ඒ සම්බන්ධයෙන් මට තේරුමක් නෑ.
නීතිඥවරයා:
එම ලේඛනය දහවන විත්තිකරු විසින් එව්ව වට්ස්අප් පණිවිඩයක් මගින් ලැබුණු බවට ඔබ දන්නවාද ?
සාක්ෂිකාරිය :ඒ ගැන දන්නේ නෑ.
නීතිඥවරයා :
එම ලේඛනය ධනේෂ් නන්දන බණ්ඩාර යන අය විසින් රත්නායක මහතාට ලබා දුන් බවට මා යෝජනා කරනවා .
සාක්ෂිකාරිය:
ස්වාමීනි රත්නායක මහතාට එය ලැබුණු ආකාරය ගැන මම දන්නේ නෑ .
නීතිඥවරයා:
ධනේෂ් නන්දන බණ්ඩාර විසින් එවන ලද ලේඛනයේ "ස්ක්‍රීන් ෂොට් එකක්" මෙම නඩුවේ සාක්ෂි ලැයිස්තුවේ ඇති බව මම යෝජනා කරනවා
සාක්ෂිකාරිය:
ඒ පිළිබඳව මා දන්නේ නෑ.
"මූලික සාක්ෂි විභාගයේදී සාක්ෂිකාරිය මගින් ලකුණු කිරීමට යෙදුණු පැ.260දරණ ලේඛනයේ මෙම ප්‍රශ්න ගත ඖෂධ දෙක ඇතුළත් ද" යන්න පිළිබඳව නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී අදාළ ලේඛනය පරීක්ෂා කළ සාක්ෂිකාරිය එම ලේඛනය 07 පිටුවේ 91 තීරයේ හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ හයවන පිටුවේ 156 තීරයේ රිටොප්සිමැප් ඖෂධය සම්බන්ධයෙන් කරුණු සඳහන් වන බව සදහන් කළාය .
අදාළ ලේඛනය කුමන ස්ථානයකින් එවා තිබේදැයි නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර එය වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඒවා ඇති ලේඛනයක් බවට ඇය සඳහන් කර සිටියාය.
එහි පිටපත් "සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, ඩිරෙක්ටර් පාමසුටිකල් ඇන්ඩ් සප්ලයිස්" වෙත යොමු කර ඇති බවට සාක්ෂිකාරිය කියා සිටියාය.
මෙම ලේඛන සාක්ෂිකාරිය විසින් සැකසූ බවට මූලික සාක්ෂි වලදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සටහන් කර සිටියේ "බුත්පිටිය මහතාගේ උපදෙස් මත එම ලේඛනය මම සැකසුවා" යනුවෙනි.

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන අවස්ථාවේදී එය කිව්වාද ?".යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ ඒ බව තමන් ප්‍රකාශ කළ බවය .
"සාක්ෂි විභාගයේදී ලකුණු කරන ලද එම ඖෂධ ලැයිස්තුව ලේඛනය පසුව ලැබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිව්වාද?ඒ ගැන ප්‍රකාශයක් කළාද මට මතක නැහැ. විමර්ශන නිලධාරීන් ඇසූ ප්‍රශ්නවලට මම පිළිතුරු දුන්නා" යනුවෙන් සාක්ෂිකාරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ "එසේ ප්‍රකාශයක් කිරීමට බාධාවක් තිබුණාද?" යනුවෙනි. ඊට සාක්ෂිකාරිය" නැත" යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.
"මෙම ලේඛන භාර දුන්නේ සමන් රත්නායක මහතා විසින්. මේ ගොනුව සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්න කළේ නෑ. මගෙන් ගත්තේ බයිහෑන්ඩ් පොත් දෙකක් පමණයි. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ගත්තා. මෙම ගොනු පිළිබඳව මා දන්නේ නෑ" යනුවෙන් සාක්ෂිකාරිය ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළාය .
"අදාල ගොනු සකස් කලේ ඔබ විසින් නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය ඒ බව පිළිගත්තාය.
එහිදී නීතිඥවරයා ප්‍රමුඛතා ලේඛන 01 ලෙස දැක්වෙන අදාළ ඖෂධ ලැයිස්තුව වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා විසින් ලබාදුන් බවට සාක්‍ෂිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ නොකර අධිකරණයේදී දැන් ප්‍රකාශ කිරීම ඌනතාවයක් ලෙස අධිකරණයේ අවධානයට යොමු කරන බවනීතිඥවරයා එහිදී සඳහන් කර සිටියේය .
නීතිඥවරයා: හරස් ප්‍රශ්න විමසීමේදී 6v6 ලෙස ලකුණු කරන ලද ලේඛනය ඔබ විසින් නේද සැකසුවේ?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී
නීතිඥවරයා: එම ලේඛනයේ නවය පිටුවේ අත්සන් තුනක් තිබෙනවා නේද? ඒවා හඳුනාගන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය: පුළුවන් ස්වාමීනී
නීතිඥවරයා: ඔබ ඉදිරිපිටදී මේ එම අත්සන් තැබුවේ ?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී
නීතිඥවරයා: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදෙන විට සත්‍ය ද ප්‍රකාශ කළේ?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී
නීතිඥවරයා: ඔබ දන්න දේවල් ගැනද ප්‍රකාශ කළේ?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි,
නීතිඥවරයා :
ඔබට ඇහුන දේවල් ගැනද ප්‍රකාශ කළේ? .
සාක්ෂිකාරිය : එසේය ස්වාමීනී
නීතිඥවරයා: ඔබ කිසිදු බොරුවක් කිව්වේ නෑ.
සාක්ෂිකාරිය : එසේය ස්වාමිනි
නීතිඥවරයා: ඔබ කිව්වා මෙම අත්සන් හඳුනාගන්න පුළුවන් කියලා. ඒ නිලධාරීන් අත්සන් කරනවා දැක්කා ද ?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනි.
නීතිඥවරයා : ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරයේ සඳහන් කර තිබෙනවා"ඔක්තෝම්බර් මස 13 වැනිදා පැවැති කමිටු රැස්වීමේ ලේඛන සකස් කිරීමෙන් පසු පරීක්ෂා කර බලා ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් විසින් අත්සන් තැබූ බව". ඔබ එසේ කිව්වාද ?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.
මෙහිදී නීතීඥවරයා පෙන්වා දුන්නේ සාක්ෂිකාරිය විසින් මෙම ලේඛනය සම්බන්ධයෙන් දෙන ලද සාක්ෂි පරස්පර බවය. එම නිලධාරීන් විසින් තැබූ බව තමන් දැක්කේ නැති බව සාක්ෂිකාරිය මුලදී ප්‍රකාශ කළද එම නිලධාරින් විසින් අදාළ ලේඛන පරීක්ෂා කර බලා අත්සන් තැබූ බවට පසුව ප්‍රකාශ කිරීම එකිනෙකට පරස්පර ප්‍රකාශයන් බවට නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කල සාක්ෂිකාරිය කියා සිටියේ" ස්වාමීනි එම සටහන් පසුව මම දැක්කා. එම සටහන්වල තැන් දෙකක් නිවැරදි කර තිබුණා එසේ නිවැරදි කිරීම් කළ හැක්කේ කමිටු සාමාජිකයන්ට පමණයි . ඒ නිසා තමයි මම එම ලේඛන පරීක්ෂා කර බලා අත්සන් කළ බව කිව්වේ" යනුවෙන් සඳහන් කළාය .
" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ ඒ බව සඳහන් කළාද?"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටිය අතර එවැනි ප්‍රකාශයක් එම අවස්ථාවේදී නොකළ බවද ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රථම වරට මෙම අවස්ථාවේදී ප්‍රකාශ කරන බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
නීතිඥවරයා "ඔබ කරුණු වසන්කර සාක්ෂි ලබාදෙන බවට මා යෝජනා කරනවා" යනුවෙන් කියා සිටියේය. සාක්ෂිකාරිය ඒ බව ප්‍රතික්ෂේප කළාය
"එම සටහන් ඇතුළත් ලිපිගොනු කමිටු රැස්වීමට රැගෙන ගියාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ අදාළ ගොනු බුත්පිටිය මහතාට ලබා දුන් බවත් ඔහු විසින් ඒවා රැගෙන ගිය බවත්ය.
"බුත්පිටිය මහතා එම ගොනු රැගෙන ගියාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ කාර්යාලයේ කාර්ය සහායකයකු එම ගොනු රැගෙන ගිය අතර අදාළ රැස්වීම් පැවති අවස්ථාවේදී එම ගොනු එහි තිබූ බව තමන් දුටු බවය.
"එම කමිටුවේ අයට එම ලේඛන පරීක්ෂා කර බැලීමට බාධාවක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර එවැනි බාධාවක් නොමැති බව සාක්ෂිකාරිය කියා සිටියාය.

නීතිඥවරයා:එම ලේඛන වල අඩුපාඩුවක් ඇති බව කවුරුන් හෝ ප්‍රකාශ කළාද ?
සාක්ෂිකාරිය : නැත ස්වාමීනී
නීතිඥවරයා: අදාල ලේඛන වැරදි බවට කමිටුවේ අය කිව්වාද ?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී
නීතිඥවරයා: මෙම ලේඛන ඇගයීම් කමිටුවට ඉදිරිපත් කළානේ, ඔවුන් මෙහි අඩුපාඩුව ඇති බවක් කිව්වාද ?
සාක්ෂිකාරිය : නැත ස්වාමීනී
අධිකරණයේදී ලකුණු කරන ලද පැය 253 දරණ ලේඛනයේ ඇගයීම් කමිටු සාමාජිකයන් අත්සන් යොදා ඇති අතර එම ලේඛනවල නිර්දේශ කිරීම් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවට ඔවුන් කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැති බවද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. අදාළ කමිටුව පැවති අවස්ථාවේදී සාකච්ඡාවට ගත් කරුණු බුත්පිටිය මහතා විසින් සටහන් කොට යතුරු ලියනය කිරීම සඳහා තමන්ට ලබා දුන් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ප්‍රකාශ දෙන අවස්ථාවේදී ඒ බව සඳහන් නොකළ බවද සාක්ෂිකාරිය නීතිඥවරයාගේ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පිළිගත්තාය. ඇය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමේදී ඔවුන් විසින් ප්‍රශ්න කළ දේවල් සම්බන්ධයෙන් පමණක් පිළිතුරු ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් ප්‍රථම වරට මෙම අධිකරණයේදී ප්‍රකාශ කරන බවය.
එහිදී නීතිඥවරයා සාක්ෂිකාරියට කියා සිටියේ අදාළ කටුසටහන් සාක්ෂිකාරිය විසින් සටහන් කළ බවට යෝජනා කරන බවය. එම කටුසටහන් බුත්පිටිය මහතා විසින් සටහන් කර යතුරු ලියනය කිරීම සඳහා තමන්ට ලබා දුන් අතර එම යතුරු ලියනය කළ සටහන් කටු සටහන්ද සමග ඔහුට නැවත ලබා දුන් බව සාක්ෂිකාරිය එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළාය.
අදාළ ලේඛන තමන් විසින් මෙම නඩුවේ පළවෙනි විත්තිකරු වන සැපයුම්කරුට ලබා දුන් අතර අදාළ ප්‍රසම්පාදන කමිටුව විසින් ප්‍රදානයන් කිරීමට තෝරාගෙන තිබූ සැපයුම්කරුවන්ට ඒ පිළිබඳ ලිපි රැගෙන යන ලෙස දුරකතන මගින් දැනුම් දුන් බවද ඒ අනුව පළවෙනි පළවෙනි විත්තිකරුට අදාළ ලේඛන ලබාදුන් බවද සාක්ෂිකාරිය කියා සිටියාය.

සෞඛ්‍ය අමාත්‍යංශය හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් "සැපයුම්කරුවන්ට අදාල ලේඛනය ලබාදුන්නේ ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවෙන් මෙරටට ඖෂධ ආනයනය කිරීමට නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය එය නිවැරදි බව ප්‍රකාශ කළාය.
එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන්ට ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකයට යටත්ව මෙම ප්‍රදානයන් කිරීම සිදුකළ බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
"ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකයක් ලබා ගැනීම සඳහා විශාල ක්‍රියාදාමයක් කළ යුතු බවට පිළිගන්නවාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර ඇය සඳහන් කළේ "ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාවන් ගැන තමන්ට දැනුමක් නොමැති බව"ය. එම අධිකාරියේ "ෆාස්ට්‍රැක්" ක්‍රමවේදයට අනුව ලියාපදිංචිය මුදා හැරීමේ ලේඛන ලබා ගන්නා ලෙස මෙම සටහනෙහි කොතැනක හෝ සටහන් නොමැති බවද සාක්ෂිකාරිය කියා සිටියා ය.
බුත්පිටිය මහතා අදාළ ටෙන්ඩර් කැඳවීම සහ අවසන් කරන දිනය තීරණය කළ බව මූලික සාක්ෂි විමසීමේදී සඳහන් කළ නමුත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ නොකළ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියාය.
ප්‍රසම්පාදන කමිටුව ජයනාත් බුත්පිටිය විසින් අධීක්ෂණය කළ අතර ඔහුට ඉහළින් රත්නායක මහතා කටයුතු කළ බව සාක්‍ෂිකාරිය පැවසුවාය.
tender board disition එක බුත්පිටිය මහතා විසින් ලබා දුන් බවද ඒ පිළිබඳව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයේ සඳහන් නොකළ බවද කියා සිටි සාක්ෂිකාරිය අදාල තීරණ ගැනීම සම්බන්ධයෙන් බුත්පිටිය මහතා සමන් සමඟ සාකච්ඡා කිරීමක් හෝ අදහස් විමසීමක් නොකරන බවද ප්‍රකාශ කළාය.

තමන්ගේ ප්‍රධාන සමීපතම නිලධාරියා ලෙස බුත්පිටිය මහතා තමන්ට උපදෙස් ලබා දුන් අතර ඔහුට ඉහළින් උපදෙස් ලැබෙන බවද ඔහුට ලැබෙන නියෝග සම්බන්ධයෙන් තමන්ට කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවද නීතිඥවරයා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය. EOI යටතේ සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විශේෂ ක්‍රියාවක් ලෙස දැන නොසිටි අතර තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය
නීතිඥවරයා: ඛුත්පිටිය මහතා ද ඔබට උපදෙස් ලබා දුන්නේ.
සාක්ෂිකාරිය: එසේ ස්වාමීනි
නීතිඥවරයා: ඔබ සමග සාකච්ඡා කළාද? සාක්ෂිකාරිය: නැත ස්වාමීනී,
නීතිඥවරයා :ඉහළ නිලධාරියන්ගෙන් ලැබෙන උපදෙස් වැරදියි කියලා තිබෙනවාද?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී.
සාක්ෂිකාරියගේ එම පිළිතුරු ලබාදීමත් සමග නව වන විත්තිකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා වෙනුවෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලදී.
අනතුරුව මෙම නඩුවේ දහවන විත්තිකරු වන සමන් කුසුම් සිරි රත්නායක වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කලේය.

2021 සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයට සම්බන්ධ වන විට එහි රාජ්‍ය ඇමතිවරයා ලෙස චන්න ජයසුමන මහතා කටයුතු කළ බවත් සෞඛ්‍ය ඇමතිවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටයුතු කළ බවත් ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සමන් රත්නායක මහතා කටයුතු කළ අතර කොවිඩ් සමයේදී කොවිඩ් හදිසි ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් තමන් කටයුතු කළ බවද එහිදී සෛල උපකරණ සඳහා වන ප්‍රසම්පාදන කටයුතු සිදුකළ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
ජනාධිපති නීතිඥවරයා : ඔබ ඖෂධ සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධ වූ බව කියා සිටියා නේද?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී. සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නා. එය රාජකාරීමය දැනුමෙන් ලබාදුන් අතර පුද්ගලික දැනුමෙන් සාක්ෂි ලබාදීමක් සිදුකළේ නැහැ
නීතිඥවරයා :මෙම නඩුවේ ලේඛනවලට අදාළව 72 ලෙස සටහන් කර ඇති ගොනුව පසුව ආ ගොනුවක්ද?
සාක්ෂිකාරිය: එම ගොනුවේ අංකය පසුව ආ අංකයක් අධිකරණයට භාරදීම සඳහා එම ගොනුව සකස් කළා.
නීතිඥවරයා :සෞඛ්‍ය අංශයේ ප්‍රසම්පාදන යට අදාල ලේඛන ද මෙහි තිබෙන්නේ?
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනි
මෙම නඩුවේ පැය 234 ලෙස ලකුණු කර ඇති ලේඛනයට අනුව 2023 10.26 දින රත්නායක මහතා විසින් අධිකරණ නියෝගයක් මත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධයට අදාළ ලිපි ගොණු ඉදිරිපත් කළ බවට ආවරණය ලිපියක් ඉදිරිපත් කර ඇති අතර 2022 11.22 දින ආර්.එම්. එස්.රත්නායක ලිපියක් ලියා ඇති අතර වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ආමන්ත්‍රණය කර ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මාස තුනක කාලයකට අත්‍යවශ්‍ය හා ජීවිත ආරක්ෂක ඖෂධ ආනයනය කිරීමට අදාළව ඉදිරිපත් කරන ලේඛන සම්බන්ධයෙන් එම ආවරණ ලිපියේ කරුණු සඳහන් වන බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය .එසේම 2022 9.26 දරණ කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන්ද එහි කරුණු ඇති බව ඇය සඳහන් කළාය.

මීට පෙර සාක්ෂි ලබාදුන් ගොනුවේ ඇමුණුම් අංක දෙක යටතේ අභිලාෂ කැඳවීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර ඇගයීම් ලක් කිරීමට අදාලව ඇමුණුම් දෙක යටතේ සඳහන් කර ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
එම ඇමුණුම් අංක තුන යටතේ ඇගයීම් කිරීමට අදාල ලේඛන ද, එමෙන්ම අංක 4 යටතේ ප්‍රසම්පාදන කමිටුවේ ටෙන්ඩර් ප්‍රදානය ට අදාළ තීරණ ඉදිරිපත් කර ඇති බවද , අංක පහ යටතේ ගැනුම් ඇනවුම් නිකුත් කිරීමට අදාළ ලේඛන ද ඇතුළත්ව ඇති බව ජනාධිපති නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය.
ප්‍රසම්පාදන කමිටුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරා එවන අවසන් ලේඛනය "ටෙන්ඩර් බෝඩ් තීරණය" බව සාක්ෂිකාරිය කියා සිටියාය .
තමන් ප්‍රසම්පාදන ඒකකයේ සේවය කළ අතර හදිසි මිලදී ගැනීමේ ක්‍රමය යටතේ ඖෂධ 285 කට අදාළව ටෙන්ඩර් දහසකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබූ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම සැපයුම්කරුවන්ට අදාළ ප්‍රදානය කිරීමේ ලිපි ලබාදුන් අතර එම ප්‍රසම්පාදන පිරිනැමීමේ
ලිපි ඇතුළත් කොට මෙම නඩුවට අදාළ හයවෙනි ගොණුව සකස් කර ඇති බවද සාක්ෂිකාරිය පිළිගත්තාය.
එහි එක් එක් සැපයුම්කරුවන්ට නිකුත් කරන ලද ලිපි ඇති අතර ඊට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අත්සන් තබා ඇති බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය .
ජනාධිපති නීතිඥවරයා: එහි ඖෂධ සම්බන්ධයෙන් ඇනවුම් ලේඛනයක් තියෙනවද?
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනී
ජනාධිපති නීතිඥවරයා: සැපයුම් කළ යුතු කොන්දේසි දක්වා තිබෙනවාද ?
සාක්ෂි කාරිය: එසේය ස්වාමීනි
ජනාධිපති නීතිඥවරයා: කොන්දේසි කීයක්ද ?
සාක්ෂි කාරිය: කොන්දේසිය හතක් ඇතුළත්ව තියෙනවා ස්වාමීනී
ජනාධිපති නීතිඥවරයා : එම කොන්දේසි යටතේ අනු කොන්දේසි 11 ක් ඇතුළත් කර තිබෙනවා නේද?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි
එම කොන්දේසි අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිතා කර ඖෂධ ගෙන්වීමේදී එහි රෙගුලාසි සහ කොන්දේසි වලට තදින් අවනත විය යුතු බව එහි සඳහන් කර තිබෙනවා
ජනාධිපති නීතිඥවරයා:
ගුණාත්මක භාවය සම්බන්ධයෙන් මොකක්ද කොන්දේසිය ?
සාක්ෂිකාරිය: යම් අවස්ථාවක සපයන ඖෂධයේ ගුණාත්මක භාවය අසමත් වුවහොත් එම සැපයුම්කරු විසින් ඖෂධ තොගයේ සම්පූර්ණ වටිනාකම හෝ ඉවත් කළ තොගයේ වටිනාකමට අතිරේකව සියයට 25 ක මුදලක් ගෙවිය යුතු බව එහි සඳහන් වෙනවා .
ජනාධිපති නීතිඥවරයා: ඖෂධයේ ජීව කාලය සම්බන්ධයෙන් සටහනක් තියෙනවාද?
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනි
ජනාධිපති නීතිඥවරයා: ගුණාත්මක භාවය අසමත් වීම ගැන කොන්දේසියක් තිබෙනවාද?
සාක්ෂිකාරිය : ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ට යම් අවස්ථාවකදී ප්‍රදානයක් කළහොත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ NOL,OUL,WOR යන ලේඛන සමග අයිතමය ලබාදිය යුතු බවට එහි සඳහන් වෙනවා එසේ නොමැති වුවහොත් ඖෂධ වලට මුදල් ගෙවීම නොකරන බවටද එහි සඳහන් වෙනවා.
එලෙස සඳහන් වන NOL,OUL යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් WOR ලෙස සඳහන් කර ඇත්තේ weware of of registration යන්න බවද සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය .
මෙම නඩුවේ ලකුණු කර ඇති 126 (A) ලේඛනයේ කොන්දේසි සියල්ල පොදු වන අතර වෙනස්කමකට ලක්වී නොමැති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
පිරිනැමීම් සිදුකරන ලද සමාගම් වලට නිකුත් කළ ලිපි ඇසුරෙන් ඖෂධය එහි SR අංකය ඖෂධ ප්‍රමාණය,සහ ලියාපදිංචිය සම්බන්ධයෙන් සාක්‍ෂිකාරියගෙන් ප්‍රශ්න විමසූ ජනාධිපති නීතිඥවරයා එම ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාක්ෂිකාරයගෙන් ප්‍රශ්න කර සිටියේ" එවැනි ලිපි සැපයුම් කරුවන් කී දෙනෙක් සඳහා නිකුත් කර තිබෙනවාද?" යන්න පිළිබඳවය.
එහිදී අදාළ ලිපි ගණනය කළ සාක්ෂිකාරිය එවැනි ලිපි තිහකට ආසන්න ප්‍රමාණයක් ඇති බව කියා සිටියාය.
"අයිසොලේස් බයෝ ටෙක් පාමා" ආයතනයට 2022 නොවැම්බර් මස 10 වැනිදා ටෙන්ඩර් පිරිනමා ඇති අතර "රිටොප්සි මැප් " එන්නත සම්බන්ධයෙන් . වන ප්‍රදානය එම සමාගමට කර ඇති බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය. එම ලිපිය සමඟ ගැනුම් ඇනවුම අමුණා ඇති අතර එම ඖෂධයේ SR අංකය,ප්‍රදානය කළ ප්‍රමාණය, ඒකකයක මිල, සහ මුළු වටිනාකම යනාදිය සඳහන් කර ඇති බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය . "මෙම සමාගමට ප්‍රදානය කළ ටෙන්ඩරය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කමිටුවේ තීරණය කුමක්ද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ දෙවන අවම සැපයුම්කරු වන මෙම සමාගමට ඇමෙරිකන් ඩොලර් 152 ක් දෙකක මිලකට ඖෂධ 2250ක් ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකයට යටත්ව පිරිනැමීම සිදුකර ඇති බවය.

එහි ඖෂධ සැපයීමට අදාළ කොන්දේසි සටහන් කර තිබෙන බවද සාක්ෂිකාරිය විසින් ඊට පෙර සාක්ෂි ලබා දුන් සෙසු ටෙන්ඩර් පිරිනැමීමේ ලිපිවල සඳහන් කොන්දේසි මෙම ලිපියේ සඳහන් වන බවද ඇය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය. එම ටෙන්ඩර් පිරිනැමීමේ ලිපි අමාත්‍යංශ ලේකම්වරයා විසින් අත්සන් කර තිබූ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
සෙසු සමාගම් වලට නිකුත් කර තිබූ ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ ලිපි වල සඳහන් කරුණු සහ අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමට නිකුත් කළ ප්‍රදානය කිරීමේ ලිපිවල වෙනස්කමක් නොමැති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
ඒ සමගම දහවැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලදි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

