leader s

නඩුවක හරස් ප්‍රශ්න විමසීම, මූලික සාක්ෂි විමසීමක් විය යුතු නැති බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ පෙන්වා දුන්නේය. 
 
නඩු විමසීමකදී අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛන සාක්ෂිකරුවෙකු ලවා කියවීම වෙනුවට මූලික සාක්ෂිය සම්බන්ධයෙන් සැක මතු කළ යුතු කරුණු ඉදිරිපත් කිරීම හරස් ප්‍රශ්න විසීමේදී සිදුවිය යුතු බව එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ  සඳහන් කළේය.
 

මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන් මෙම නඩුවේ දහවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන  හරස් ප්‍රශ්න විමසීම සිදු කළ අවස්ථාවේදී මේ බව පෙන්වා දෙන ලදි .

 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබිණි. 
 
මෙම සාක්ෂිකාරිය ගෙන් මූලික සාක්ෂි විමසීම පසුගිය සතියේ අවසන් කළ අතර 1,4,6,11,2, විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම ද අවසන් කරන ලදි.
files 2
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී  දෙවැනි විත්තිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ වෛද්‍ය සැපයුම් අංශයේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී භාවිතා කළ හැකි ලේඛන ඇතුළත් ලිපිගොනුවක් අධිකරණ නියෝග මත මේ වන විට අධිකරණයට භාර දී ඇති   බවය. එම ලේඛන පරිශීලනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයාද එම ඉල්ලීම සිදු කළේය.
 
ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ අධිකරණ රෙජිස්ටර්වරයා හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉදිරියේ අදාළ ලේඛන පරිශීලනය කිරීම සඳහා එම නීතිඥවරුන්ට අවසර ලබා දෙන ලදී. 
 
අනතුරුව මෙම නඩුවේ 150 වැනි පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනී කල්පනා තරින්දි දාබරේ ගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම දහවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නාවාන මහතා විසින් සිදු කළේය .
 
"හියුමන්ඉමියුනෝගොබියුලින් සහ රිටොප්සි මැප් යන ඖෂධ සම්බන්ධයෙන් ඔබ විසින් සකස් කරන ලද 229 ලෙස නම්කර ඇති ලේඛනය සම්බන්ධයෙන් ඔබ මීට පෙර සාක්ෂි ලබා දුන්නා. එය  බුත්පිටිය මහතාගේ උපදෙස් මත සකස් කළ ලේඛනයක් බව ඔබ කිව්වා. ඉන්දියානු  ණයයෝජනා ක්‍රමය යටතේ මාස තුනක කාලයක් සඳහා ජීවිතාරක්ෂක සහ අත්‍යාවශ්‍ය  ඖෂධ සැපයීම සඳහා අභිලාෂ කැඳවීමට එම ලේඛනය සකස් කළ බව ඔබ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.  පළවෙනි ප්‍රමුඛතා ලැයිස්තුවේ 174  වෙනි ඖෂධය ලෙස හියුමන්ඉමියුනෝගොබියුලින් ඖෂධය සඳහන් වෙනවා නේද" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර  "එම ඖෂධය අදාළ ලැයිස්තුවේ 174 වන තීරයේ සඳහන් වන බව ද, එහි අවසාන තීරයේ ඖෂධයේ මාසික අවශ්‍යතාවය ලෙස 7500ක එකක ප්‍රමාණයක් දක්වා ඇති බවද, එම ඖෂධයේ මාසික අවශ්‍යතාවය වෙන් වෙන්ව දක්වා ඇති බව"ද සඳහන් කළ සාක්ෂිකාරිය එම ලේඛනය promis.lk වෙත උඩුගත කළ බව මීට පෙර සාක්ෂි ලබාදෙමින් සඳහන් කළ බව පිළිගත්තාය. 
medicine 20260131
 
එම දැන්වීමට ලැබුණු ප්‍රතිචාර  අනුව 2022/10/03 10 දින අදාළ  ලන්සු විවෘත කිරීමට පියවර ගත් බවද අධිකරණයේ හමුවේ ලකුණු කර ඇති පෑ 239  ලේඛනයෙහි එම ලංසු පිළිබඳ තොරතුරු ඇතුළත් වන බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය. 
 
ජනාධිපති නීතිඥවරයා: ලන්සුකරුවන් කී දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වී සිටියාද?
 
සාක්ෂිකාරිය:  තිදෙනෙක් ඉදිරිපත් වී සිටියා ස්වාමීනී, අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒජී ආයතනය, යුනිකියුරා ඉන්ටනැෂනල් ආයතනය,  ඒ.බී.සී ෆාමසියුටිකල් සර්විස් ප්‍රයිවට්  ලිමිටඩ් ආයතනය විසින් ලන්සු ඉදිරිපත් කර තිබුණා .
 
ජනාධිපති නීතිඥවරයා :එම ලන්සුකරුවන් NMRA හී ලියාපදිංචිද යන්න පිළිබඳව කුමක්ද එම ලේඛනයේ සඳහන් වන්නේ?
 
සාක්ෂිකාරිය : අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී  සහ යුනිකියුරා ඉන්ටනැෂනල් ආයතනය, ලියාපදිංචි සහතික තිබුණේ නැහැ.ඒ.බී.සී ෆාමසියුටිකල් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඉදිරිපත් කර තිබූ  සහතිකය කල් ඉකුත් වී තිබුණා. 
 
ජනාධිපති නීතිඥවරයා: එක් එක්  ලන්සුකරු ඒකකයකට ඉදිරිපත් කර තිබූ තිබුනේ කොපමණ මුදලක්ද?
 
සාක්‍ෂිකාරිය: අයිසොලස් බයෝටෙක් පාමා ඒජී ආයතනය ඇමෙරිකානු ඩොලර් 130 ක්, යුනිකියුරා ආයතනය ඒකකයට ඩොලර් 154  සහ ඒ.බී.සී ආයතනය ඒකකයකට ඩොලර් 352 ක් ලෙස ඉදිරිපත් කර තිබුණා .
 
"මේ සඳහා ඇගයීම් කමිටුව විසින් ඇගයීමක් කළ බවට ඔබ මීට පෙර සාක්ෂි ලබා දුන්නා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය "ඒ බව අධිකරණය හමුවේ ඇති පැ.223 ලේඛනයෙහි 13 වැනි පිටුවේ සඳහන් වන බව සඳහන් කර සිටියාය. අවම මුදලක් ඉදිරිපත් කළ ලන්සුකරු වන අයිසොලස් බයෝ ටෙක් පාමා ඒජී ආයතනයට ලියාපදිංචිය මුදාහැරීමේ සහතිකයකට  යටත්ව ප්‍රදානය ලබා දිය යුතු බවට නිර්දේශ කර ඇති අතර  මේ සඳහා ලන්සු ඉදිරිපත් කළ සැපයුම්කරුවන් කිසිවෙකුට එම සහතිකය නැති බවටත් ඇගයීම් කමිටුව විසින් සඳහන් කර තිබෙන තිබූ බවද  සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය. 
 
"ප්‍රසම්පාදන කමිටුව වෙත එම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවාද? යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ බව ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් වී ඇති අතර අවම ලන්සුවක් ඉදිරිපත් කර ඇති අයිසොලෙස් බයෝටෙක් පාමා.ඒජී ආයතනයට ඒකකයක මිල අමෙරිකානු  ඩොලර් 130කට, ඒකක 22500ක්ලබා ගැනීම සඳහා ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකයට යටත්ව එය පිරිනමන බවට එහි සඳහන් වන බවය. එහි සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් 2,925 000 ක් වන බවත්ලේඛන පරීක්ෂා කරමින් කියා සිටියාය. 
 
"මෙම ප්‍රසම්පාදන තීරණය ගැනීමට සහභාගි වූ අය අතර  චන්ද්‍රගුප්ත මහතා අතුල කුමාර මහතා සහ සරත් ලියනගේ මහතා සිටි බවට ඔබ මීට පෙර සාක්ෂි ලබා දුන්නා.. ඒ බව එම ලේඛනයේ තිබෙනවාද ?"යනුවෙන්  ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර එම ලේඛනයේ එලෙස සඳහන් වන බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
ජනාධිපති නීතිඥවරයා: එහි ඔබේ නමත් සඳහන් වෙනවා නේද?
 
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනි
 
ජනාධිපති නීතිඥවරයා: ඔබ කලින් සඳහන් කළ ඇගයීම් කමිටුවේ නිර්දේශ සහ එහි සාමාජිකයන් අත්සන් කර තිබෙනවාද
 
සාක්ෂිකාරිය: එසේය  ස්වාමීනි
 
ජනාධිපති නීතිඥවරයා: 251 ක ලේඛනයේ හියුමන්ඉමියුනෝගොබියුලින් ඖෂධය සම්බන්ධයෙන් වන ටෙන්ඩර් පිරිනැමීමට අදාලව ප්‍රසම්පාදන  කමිටු සාමාජිකයන් අත්සන් කර තිබෙනවාද ?
 
සාක්ෂිකාරිය:  එසේය ස්වාමීනි ,එය 48 සහ 49 වැනි පිටුවල සඳහන් වෙනවා. 
 
ජනාධිපති නීතිඥවරයා:
ප්‍රසම්පාදන කමිටුවේ  හෝ ඇගයීම් කමිටුවේ කිසියම් සාමාජිකයෙක් මෙම තීරණය සම්බන්ධයෙන් වෙනත් අදහසක් දක්වා තිබෙනවාද ?
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ස්වාමීනි එම ප්‍රශ්නයට මම විරෝධය පළ කර සිටිනවා ‍සාක්ෂිකාරිය එම කමිටු සාමාජිකයෙක් නෙමෙයි ඇයගෙන් එවැනි ප්‍රශ්න අහන්න බෑ. 
 
සභාපති විනිසුරුවරයා :එම කමිටු සාමාජිකයන් සාක්ෂි දීමට එනවාද?.  වෙලාවේදී ඔවුන්ගෙන්  ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න 
 
ජනාධිපති නීතිඥවරයා:  මා ඇහුවේ විශේෂ සටහනක් තිබෙනවාද යන්න පිළිබඳව පමණයි.
 
සභාපති විනිසුරු වරයා:
ඒ ප්‍රශ්නය වෙනත් ආකාරයකින් අසන්න 
 
ජනාධිපති නීතිඥවරයා: සම්පාදන කමිටුවේ හෝ ඇගයීම් කමිටුවේ සාමාජයකයෙකු  අත්සන් තැබීමට අමතරව වෙනත් සටහනක් තබා තිබෙනවාද ?
 
සාක්ෂිකාරිය: අත්සන් පමණයි සඳහන් වන්නේ . agree ලෙස එහි සටහනක් තබා තිබෙනවා. වෙනත් කිසිදු සටහනක් නෑ.  ඇගයීම්කමිටු සාමාජිකයන්ගේ නම් ඉදිරියෙන් ඔවුන් අත්සන් තබා තිබෙනවා. 
 
1721793410 health ministry L
 
එහි  නම සඳහන්ව ඇති සෞඛ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම් යූ.කේ.එස් දෙනාවත්ත මහත්මිය සමග තමන් පරිපාලන කටයුතු සම්බන්ධයෙන්  සහ මෙම ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් රාජකාරී කර ඇති බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය. ප්‍රේමතුංග මහත්මිය හා සොලමන් මහත්මිය සමඟ මෙම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පමණක් කටයුතු කර ඇති බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියාය. 
 
ටෙන්ඩර් පිරිනැමීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන අවසාන ලේඛණය ද ? යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය. "එසේය ස්වාමීනී" යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය. 
 
"ඖෂධ ප්‍රසම්පාදනයට අදාළව  spc ආයතනය සිදුකරන ප්‍රසම්පාදන කටයුතුවලට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ප්‍රසම්පාදන කටයුතු සිදු කරන්නේදැ"යි  ජනාධිපති නීතිඥවරයා එහිදී සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළේය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ "කොවිඩ් 19 හදිසි ප්‍රසම්පාදන කටයුතු සහ මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හදිසි ප්‍රසම්පාදන කටයුතු අමාත්‍යාංශය විසින් සිදුකළ බව"ය. මෙම ප්‍රසම්පාදන යට අදාළව 2023/01/03  දරන පිරිනැමීමේ ලිපි තමන් විසින්  මීට පෙර අධිකරණයේදී  හඳුනාගත් බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය. ටෙන්ඩර් ප්‍රදානය කරන සැපයුම්කරු වෙත ලබාදෙන "පිරිනැමීමේ ලිපිය" සහ එහි කාර්යාලය පිටපතෙහි අන්තර්ගතයේ කිසිදු වෙනසක් නොමැති බව, ඒ පිළිබඳව ජනාධිපති නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය. 
"වෛද්‍ය සැපයුම් අංශය විසින් නිකුත් කරන ලද ගැනුම් ඇනවුමට අදාළ  කොන්දේසි විශාල සංඛ්‍යාවක් සඳහන් වෙනවා නේද ? යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කරමින්  ඒ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් යටතේ ප්‍රශ්නක් විමසා සිටියේය. 
 
එම අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළාය.
 
ජනාධිපති නීතිඥවරයා විසින් අසන ලබන ප්‍රශ්නය පැහැදිලි නොමැති බවට ඇය සඳහන් කර සිටියාය. 
 
කෙසේ වුවද එම ප්‍රශ්නය නැවත විමසීමට අධිකරණයේ අවසරය ලැබිණි. 
 
අනතුරුව එම පිරිනැමීමේ කොන්දේසි එකින් එක  පිළිබඳව සාක්ෂිකාරියගෙන් ජනාධිපති නීතිඥවරයා විසින් කරුණු විමසීමක් සිදු කළේය. 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය අදාල ලේඛනයෙහි ඇති කරුණු කියවීම සිදුකළ අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා කියා සිටියේ අදාළ ප්‍රශ්නයට පිළිතුර අඩංගු  ලේඛනයේ අදාල තීරුවෙහි අංකය පමණක් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් වන බවය. මෙම කරුණු සියල්ලම මූලික සාක්ෂි විභාගයේදී ප්‍රකාශ කර ඇති බැවින් එය නැවත ප්‍රකාශ කිරීමක් අවශ්‍ය නොවන බව සභාපති විනිසුරුවරයා එහිදී පෙන්වා දුන්නේය. 
 
Close-up of accusation and protection sides with juridical documents standing in front of female judge during discussion of case points
 
අනතුරුව සිය හරස් ප්‍රශ්න විමසීම නැවත සිදුකළ ජනාධිපති නීතිඥවරයා "හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සැපයීම සඳහා පිරිනැමීමේ ලිපිය සහ ගැනුම් ඇණවුම ලබාගත් සැපයුම්කරු එම ඖෂධය සැපයිය යුතුද?" යනුවෙන් සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළේ . එහිදී සාක්ෂිකාරිය ප්‍රකාශ කර සිටියේ" තමන්ට ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බව"ය ගැනුම් ඇනවුම් දැක තිබූ නමුත් එහි අන්තර්ගතය  පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවද සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය. 
 
ලන්සු කරුවන් සඳහා ලබා දුන් පිරිනැමීමේ ලිපි ඇතුළත් ගොනුව, ගැනුම් ඇනවුම,  ඇගයීම් කමිටු වාර්තාව සහ, ප්‍රසම්පාදන කමිටු නිර්දේශ යේ ඇති නම් ඇතුළත් ලිපි සහ තවත් ලේඛන  සංසන්දනය කරමින් එහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසා සිටීමට ජනාධිපති නීතිඥවරයා කටයුතු කළේය.
 
සාක්ෂිකාරිය එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටි අවස්ථාවේදී සභාපති විනිසුරුවරයා "මේ අහන්නේ මූලික ප්‍රශ්න කිරීම් වලදී අහපු දේවල්ම නේද?" යනුවෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ අදාළ ලේඛන සංසන්දනය කරමින් නීතිමය කරුණු අධිකරණයේ අවධානයට යොමු කිරීමට තමන් අපේක්ෂා කළ බවය. 
 
එහිදී සභාපති විනිසුරුවරයා ප්‍රකාශයක් කරමින් මෙසේ සඳහන් කළේය.  "මූලික සාක්ෂි විමසීම අවසන් වූ විට හැගි යන්නේ එම පාර්ශවය නිවැරදි බවයි.හරස් ප්‍රශ්න විමසීමේදී තමයි සැක සහිත තැන් තියෙන බව පෙනී යන්නේ. හරස් ප්‍රශ්න විමසීමත් මූලික සාක්ෂියක් වුණොත් කුමක්ද වෙන්නේ? ලේඛනයක් කියවීම පමණයි මෙහිදී වෙන්නේ. වාචික සහ ලිඛිත සාක්ෂිවලට ඇත්තේ සමාන  අගයක්. ලේඛනයක මුල් අකුරේ සිට අවසන් අකුර තෙක්ම එකසේ වැදගත්. අධිකරණයට ඉදිරිපත් කර ඇති ලේඛනයක් සාක්ෂිකරුවෙකු ලවා කියවීමේ  ඇති වැදගත්කම කුමක්ද? 
එහිදී ජනාධිපති නීතිඥවරයා :"ස්වාමීනි එසේ නොකළොත් සාක්ෂි සැඟව යා හැකියි පැමිණිල්ලෙන් එම කරුණු කියවුනේ නැති නිසයි. මා එලෙස සිදු කළේ . කමිටු නිරීක්ෂණය කමිටු  කමිටු තීරණ මත තමයි මෙම ප්‍රදානයන් පිළිබඳ තීරණය ගන්නේ. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සාක්ෂිකාරිය අධිකරණයෙන් ඉවත් කරන ලෙස ඉල්ලනවා"
 
සභාපති විනිසුරුවරයා :
 ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳව අහන්න. එහෙත් සාක්කිකරු අදාල ලේඛනයේ තීරය  කියවන බව පමණයි නඩු වාර්තාවට සඳහන් කරන්නේ .
සාක්ෂිකාරියව එලියට යැවීමෙන් කාලය වැය වීමක් පමණයි සිදුවන්නේ.
 
ජනාධිපති නීතිඥවරයා: 
මෙම තොරතුරු මත පදනම්ව කමිටුව නිර්දේශ කළ ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමටයි මට අවශ්‍ය. 
 
සභාපති විනිසුරුවරයා :ඒ සඳහා එකින් එක කියැවිය යුතු නැහැ. කියවීමෙන් පමණක් එය කළ නොහැකියි. 
 
ජනාධිපති නීතිඥවරයා: :එසේය ස්වාමිනි 
 
සභාපති විනිසුරුවරයා: :ලේඛන කියවීමෙන් තොරව කරුණු දක්වන්න. ලේඛන කියවීම අවශ්‍ය දේ වෙන්නේ නෑ . මෙම තෝරා ගැනීම සාධාරණ බව අධිකරණයට ඒත්තු ගැන්වීමට නේ ඔබට අවශ්‍ය .එම කරුණ මතු කරන්න ලේඛනවල ඇති කරුණු සසඳමින් ඉදිරිපත් කරන්න. ඒ හැර ලේඛන කියවා සිටීමෙන් පමණක් වැඩක් නෑ 
 
ජනාධිපති නීතිඥවරයා: මට අවශ්‍ය එයයි තේරුම් ගැනීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා.
 
lawyer female
 
මෙම සංවාදයෙන් අනතුරුව ජනාධිපති නීතිඥවරයා නැවත සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න  විමසීම සිදු කළේය.
 
"අයිසොලෙස් බයෝටෙක් පාමා  ආයතනයට ලියාපදිංචිය මුදා හැරීමේ සහතිකය යටතේ එම ඖෂධ සැපයීමට නිර්දේශ ලබා දී තිබෙනවාද? යනුවෙන් ජනාධිපතිවරණ නීතිඥවරයා එහිදී සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර සාක්ෂිකාරිය එලෙස අවසරයක් ලබාදී ඇති බව ප්‍රකාශ කළාය.
 
එසේම එය ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයන් සියලු දෙනා එකඟත්වය පළ කර ඇති බවද ඇය සඳහන් කළාය.
 
එම තීරණය සම්බන්ධයෙන් කිසිදු සාමාජිකයකු හෝ වෙනත් සටහනක් තබා  නැති බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
 
"රිටොප්සි  මැප් ඖෂධ සම්බන්ධයෙන් ඇගයීම් කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශයක් ලබා තීරණයක් ලබාදී තිබෙනවාද ?"
යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය.
 
එවැනි අවසරයක් ලබාදී ඇති බවත් දෙවැනි අඩුම මිල ද ඉදිරිපත් කර සැපයුම්කරු වන බයෝ ටෙක් පාමායතනයට ලබාදීමට තීරණය කර ඇති බවත් සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය. 
 
"එම තීරණයට ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වූ එවකට සිට සෞඛ්‍ය ලේකම්වරයා ,රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අතුල කුමාර , රාජ්‍ය ඖෂධ  නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ අය අත්සන් කර තිබෙනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය .
 
අදාල ලේඛන පරීක්ෂා කර බැලූ සාක්ෂිකාරිය සඳහන් කළේ ඔවුන් අත්සන් තබා ඇති බවත්  අසල agree ලෙස සඳහන් කර ඇති බවත්ය. එහිදී එක් අයෙකු හෝ වෙනස් සටහනක් තබා නොමැති බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියාය. 
 
ජනාධිපති නීතිඥවරයා: එම ඖෂධය සඳහා ටෙන්ඩර් පිරිනැමීමක් කර තිබෙනවාද ?
 
සාක්ෂි කාරිය:
එසේය ස්වාමීනී 
 
ජනාධිපති නීතිඥවරයා: එහි ඖෂධය හා ඊට අදාළ එස්.ආර් අංකය සඳහන් වෙනවාද?
 
සාක්ෂි කාරිය.එසේය ස්වාමීනි 
 
ජනාධිපති නීතිඥවරයා:
එම ඖෂධයට අදාළ  ගැනුම් ඇනවුම ලෙස තමයි ඔබ එය හදුනා ගන්නේ ?
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය :
ස්වාමීනි එම ප්‍රශ්නයට මම විරුද්ධයි. ඇයට ඒ ගැන කියන්න බෑ. 
 
සභාපති විනිසුරුවරයා :ඔබට අවශ්‍ය මෙම සැපයුම්කරු කවුද සහ එය සම්බන්ධීකරණය කිරීමට නේද ?
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය :
"ස්වාමීනි මෙම ලේඛන ඉදිරිපත් කළේ දහවැනි විත්තිකරු. එහි සමාගම් දෙකක නම් සඳහන් වෙනවා" අයිසොලෙස් බයෝ ටෙක් පාමා" සහ "අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒජී ලිමිටඩ් " ලෙස.. සමාගම් රෙජිස්ටාර් මඟින් සාක්කි වලදී මෙය තහවුරුයි. ගැනුම් ඇනවුම එක සමාගමකට දී  ටෙන්ඩරය තව සමාගමකට දීම මෙහිදී සිදු වෙලා .ලේඛන සම්බන්ධ ප්‍රශ්න කිරීම වැරදියි.එම ප්‍රශ්නය ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනවා ."
 
සභාපති විනිසුරුවරයා ,:එම ප්‍රශ්නය වෙනත් ආකාරයකින් අසන්න?
 
ඉන් අනතුරුව සාක්‍ෂිකාරියගෙන් නැවත හරස් ප්‍රශ්න විමසීම සිදුකළ ජනාධිපති නීතිඥවරයා "  මේ දක්වා  සාක්ෂි ලබාදුන් රිටොක්සි මැප් ඖෂධයට අදාළ ලේඛන සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් කරුණු විමසා සිටියේය.
 
 
 
"ගැනුම් ඇනවුම සහ ඔබ නිකුත් කළ ලේඛන අතර වෙනස්කම් තිබෙනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර 
"ඔව් එහි ඇති ඕඩර් ලිස්ට් එකේ අංකය වෙනස් .නමුත් ඖෂධයේ sl අංකය සමානයි". යනුවෙන් ඇය ප්‍රකාශ කර සිටියාය.
 
එම පිළිතුරු ලබා දීමෙන් අනතුරුව අදාළ සමාගම් කිපයකට ඖෂධ සැපයීම සඳහා ප්‍රදානයන් කිරීමට තෝරා ගැනීමට හේතු, ප්‍රදානයන් කිරීමට අදාළ ලේඛන කිහිපයක් පරිහරණය කරමින් සහ සසදමින් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියට. හරස් ප්‍රශ්න ඉදිරිපත් කළාය.
 
එහිදී සභාපති විනිසුරුවරයා ජනාධිපති නීතිඥවරයා අමතමින් " ඔබ   මතු කිරීමට උත්සාහ කරන කරුණ පෙරට වඩා සාර්ථකව දැන් ඉස්මතු කරනවා" යනුවෙන් කියා සිටියේය. 
 
ඒ සම්බන්ධයෙන් තමන් ස්තූතිවන්ත වන බව ජනාධිපති නීතිඥවරයා විනිසුරු මඩුල්ලට  ප්‍රකාශ කර සිටියේය. .
 
අනතුරුව ජනාධිපති නීතිඥවරයා නැවත වරක් ඖෂධ වර්ග ප්‍රදානය කිරීම සහ ඊට අදාළ ප්‍රසම්පාදන  කමිටුවේ කටයුතු සහ ඇගයීම් කමිටුවේ කටයුතු සම්බන්ධයෙන්  හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
මෙකී ක්‍රියාවලින් ගැන සාක්ෂිකාරියගෙන් කරුණු විමසීම නැවත සිදු කිරීමට කටයුතු කරන බව ජනාධිපති වරයා කියා සිටියේය .
 
අනතුරුව එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී .
 
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න   

 

 

whatsapp 202507155

නවතම පුවත්