WOR යනු කුමක්ද යන්න පිළිබඳව හෝ එය නිකුත් කිරීමට අනුගමනය කළ නිර්ණායක පිළිබඳව හෝ ඖෂධ පිළිබඳව අවබෝධයක් තමන්ට නොතිබූ අතර තාක්ෂණ නිලධාරීන් අදාල
නිර්දේශයන්ට අත්සන් තැබූ නිසා තමන් ද ඊට අත්සන් තැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උපේක්ෂා ශම්මි කුමාරී දෙනාවත්ත මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකළ හදිසි ප්‍රසම්පාදන කටයුතු වලට අදාළ ඇගයීම් කමිටුවේ සභාපතිනිය ලෙස තමන් කටයුතු කළ බවද ඇය සඳහන් කළාය.
අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී එහි පැමිණිල්ලේ 184 වන සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවනු ලැබිණි.
එහිදී සාක්ෂි ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්( පාලන ) උපේක්ෂා ශම්මි කුමාරි දෙනාවත්ත මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් දෙවන දිනට සාක්ෂි ලබාදීම සිදු කළාය.
එහිදී ඇය සඳහන් කළේ පෙර දින තමන් සාක්ෂි ලබා දුන් පරිදි අධිකරණය හමුවේ ලකුණු කර ඇති පැ253 ලේඛණය පදනම් කරගනිමින් 242 ලේඛනය සකස් කර ඇති බවය.
තාක්ෂණික ඇගයීම් කමිටුවට කැඳවීම් කළ ලිපියේ සඳහන් සියලුම කාරණා සලකා බැලීම ට නොහැකි වූ අතර සමන් රත්නායක මහතා විසින් ලබා දුන් උපදෙස් අනුව ලන්සුකරුවන් විසින් ඉදිරිපත් කළ අවම මිල හා අඩුම කාලය පිළිබඳව අවධානය යොමු කරමින් තීරණ ගැනීමට කටයුතු එහිදී සඳහන් කළාය.

"2022 වසරේ ඔක්තෝම්බර් මස 06 වෙනිදා සහ 07 වැනිදා ඇගයීම් කමිටුවේ දී ඖෂධ 285කින් යුත් ලැයිස්තුවක් සලකා බැලුවා ද? "යනුවෙන් සාක්ෂිකාරියගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ එම දින දෙකේදී කමිටුව රැස්වූ අතර එහිදී සලකා බැලූ ඖෂධ ප්‍රමාණයක් පිළිබඳව පැහැදිලි මතකයක් තමන්ට නොමැති බව ය.
"එහිදී සලකා බැලූ ප්‍රමුඛතා ලැයිස්තුව අංක එක යනු කුමක්ද සම්බන්ධයෙන්වත් ඔබට අවබෝධයක් නැද්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී "නැත" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
ඉන් අනතුරුව ප්‍රමුඛතාව ලැයිස්තු අංක දෙක, තුන, හතර සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකාරියට ප්‍රශ්න යොමු කළත් එය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නොමැති බවය.
එම ලැයිස්තුවේ තිබූ සම්පූර්ණ ඖෂධ සංඛ්‍යාව 285 ද යන්න පිළිබඳව තමන්ට පැහැදිලි මතකයක් නොමැති අතර ඖෂධ වර්ග 188 ක් ඉදිරිපත් වූ බව ට මතකයේ ඇති බවද සඳහන් කළාය .
"මොන ඖෂධ ද ඇගයීම් කල යුත්තේ ,යන්න පිළිබඳව ඔබ ට අවබෝධයක් තිබුණේ නැද්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේ සාක්ෂිකාරිය කියා සිටියේ "නැත ස්වාමීනි වෛද්‍ය ජයනාත් විසින් ලබා දී තිබූ අනු අංක එකේ සිට සඳහන් කරමින් දවසට ලබා දුන් ලැයිස්තුව හැදීම තමයි අපේ අරමුණ වුණේ . පළමු දින ලබා දුන් ලැයිස්තුව එදින අවසන් කිරීමට නොහැකි වුණා. එහෙත් දෙවැනි දින එම ලැයිස්තුව අවසන් කළා. අනතුරුව සඳුදා සිට 13 වැනිදා වැනි බදාදා දක්වා එම ඇගයීම් කටයුතු කළා යනුවෙන් සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය .
"දිනකට කොපමණ ඖෂධ සංඛ්‍යාවක් ඇගයීම් කලාද ? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය දිනකට ඖෂධ 25 ක් පමණ දළ වශයෙන් ඇගයීමට ලක් කළ බව සඳහන් කළාය.
පස්දෙනාගේ කමිටුව රැස්වෙන අවස්ථාවේදී 253 ලෙස ලකුණු කර ඇති ලේඛනයේ ඇති සම්පූර්ණ වගුව කමිටු සාමාජිකයන් සතුව නොතිබූ අතර ඇගයීම් කරන අතර තුර අතින් ලියන ලද සටහන් කමිටුවට ඉදිරිපත් කළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.

මෙම කමිටුවේ නිලධාරීන් අදාළ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව ලෙස කටයුතු කළ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රගුප්ත මහතා සහ මහා භාණ්ඩාගාරයේ අතුල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වරයා, සමන් රත්නායක වැනි නිලධාරීන් ඖෂධ නිෂ්පාදන හා සැපයුම් නියාමන අංශයේදී හමුවූ බවත් සාක්ෂිකාරිය කියා සිටියාය .
"අදාළ ඇගයීම සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරන බව ඔබට පූර්වයෙන් දැනුම් දීමක් කර තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් යොමු කළාය.ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ තමන්ට ලැබුණු පත්වීම් ලිපියේ හදිසි ප්‍රසම්පාදන කමිටුවක් සම්බන්ධයෙන් සටහන් ඇතුලත්නොවන බවය.
සම්බන්ධයෙන් විස්තර වෛද්‍ය ජයනාත් විසින් ප්‍රකාශ කළ අතර අදාළ කමිටුවට ලේඛන කීයක් ඉදිරිපත් කළාද යන්න පිළිබඳව තමන්ට නිවැරදි මතකයක් නොමැති බවත් අතින් ලියන ලද සියලු ලේඛන එම කමිටුවට ඉදිරිපත් කළ බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඇගයීම් කමිටුව වශයෙන් මෙතෙක් කරන ලද කාර්යය සම්බන්ධයෙන් ජයනාත් මහතා එහිදී සඳහන් කළ අතර එම සටහන් යතුරු ලියනය කර දෙන ලෙස එහිදී උපදෙස් ලැබුණු බව සඳහන් කළ සාක්ෂිකාරිය EOI සම්බන්ධයෙන් සියලු කරුණු ඇගයීමකට ලක් කිරීමට නොහැකි වූ අතර අවම කාලය සහ අවම මුදල මත පදනම්ව ඇගයීම් කළ බව එහිදී වෛද්‍ය ජයනාත් විසින් එම කමිටුවට දැනුම් දුන් බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය :
253 ලෙස ලකුණු කර ඇති ලේඛනය ඒ වන විට සකස් කර තිබුණේ නැති බව ඔබ කිව්වා?

සාක්ෂිකාරිය: ඖෂධ සැපයම්වලට අදාළව අතින් ලියන ලද ලේඛන යතුරු ලියනය කළ පිළිවෙලට ඉදිරිපත් කළා. කීයක්ද කියලා පැහැදිලිව කියන්න බෑ. අනතුරුව වෛද්‍ය ජයනාත් ගේ උපදෙස් මත තමයි යතුරු ලියනය සිදු කළේ. ඒ අනුව යතුරු ලියනය කර ලේඛනයක් ජයනාත් මහතාගේ අත්සනින් යුතුව ලැබුණා.ඔහු අත්සන් තැබූ නිසා මම අත්සන් කළා. කමිටු සාමාජිකයන් එකවර එක ස්ථානයකදී මෙම ලේඛන වලට අත්සන් කළේ නෑ .
අධිකරණයට ඉදිරිපත් කර ඇති 241 ගොනුවේ 99 අංකය යටතේ ඇති ඖෂධය වෙත සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඒ සම්බන්ධයෙන් වන ප්‍රශ්න කිහිපයක් සාක්ෂිකාරියට යොමු කළාය
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය : 99 අංකය යටතේ ඇති ඖෂධය කුමක්ද යන්න පිළිබඳව ඔබට පෞද්ගලික දැනුමක් තිබුණාද?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනි?
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය :ඒ ගැන ඔබව දැනුවත් කලාද ?
සාක්ෂිකාරිය: ජයනාත් ,සුදර්ශන සහ සොලමන්ස් කිව්වා එය පිළිකා රෝගීන්ට දෙන ඖෂධයක් කියලා .
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :එවැනි ඖෂධයක් ප්‍රසම්පාදනය කිරීමට ඔබට අවබෝධයක් තිබෙනවාද ?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පිළිකා නාශක ඖෂධයක් මෙරටට ආනයන කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක මොනවාද කියා ඔබ දන්නවාද ?
සාක්ෂිකාරිය :නැත ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම ඖෂධය ඉහළ අවදානමක් සහිත බව දැනගෙන හිටියද ?
සාක්ෂිකාරිය :නැත ස්වාමීනී .
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: "එම ඖෂධය මාස තුනක කාලයකට අවශ්‍ය ප්‍රමාණය ගැන සොයා බැලූවාද ?"
සාක්ෂිකාරිය : එසේය ස්වාමීනී, මාසයකට අදාළ කැඳවීම් තමයි තිබුණේ . අනතුරුව මාස තුනක් තුනක් සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණය ගණනය කළා"
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඇගයීම් කමිටුවේ තීරණ ගැනීමේදී සැපයුම්කරුවන්ගේ නම් ස්වාධීනව බැලීමට ඔබට හැකි වුණාද ?
සාක්ෂිකාරිය:
ඔව්, අභිලාෂ ඉදිරිපත් ඉදිරිපත් කළ අයගේ විස්තර සහිත ගොනු තිබුණා.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය :එම ඖෂධයේ නිෂ්පාදිත රට පිළිබඳව ඔබට බලන්න පුළුවන්ද වුණා ද
සාක්ෂිකාරිය : "origin of the drug "යන්න ස්වාධීනව බලන්න බැරි වුනා. බුත්පිටිය හා සුදර්ශන ලබා දුන් අවබෝධය අනුව තමයි කටයුතු කළේ. ඖෂධය ඒ රටේ නිෂ්පාදනය වන බවට ඔවුන් කිව්වා. ඖෂධ නිෂ්පාදනය හෝ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හෝ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ නිර්ණායක ගැන මට අවබෝධයක් නෑ. නිෂ්පාදන ක්‍රියාවලියේදී අදාළ ඖෂධයට නිෂ්පාදකයන් අතර බෙදී යන ආකාරය සම්බන්ධයෙන්ද දැනුමක් නැහැ
මෙම ඖෂධය අත්‍යවශ්‍ය ඖෂධයක් බවටත් වෛද්‍ය සැපයුම් අංශයේ එම ඖෂධයේ තොග ශුන්‍ය තත්ත්වයේ තිබීම නිසා කඩිනමින් මිලදී ගැනීමට අවශ්‍ය බවටත් බුත්පිටිය ,සුදර්ශන සහ සොලමන්ස් ප්‍රකාශ කළ බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
ණයවර ලිපි සම්බන්ධයෙන් තමන්ට කිසිදු අවබෝධයක් නොතිබූ අතර මෙම ඖෂධය ණය වර ලිපිය විවෘත කර දින අනූවකට පසුව ලැබෙන බවත් සඳහා දීර්ඝ කාලයක් ගතවන බවටත් වෛද්‍ය ජයනාත් තමන්ට දීර්ඝ පැහැදිලි කිරීමක් කළ බව සාක්ෂිකාරිය කියා සිටියාය.

'සැපයුම්කරුවන්ට ලබා දෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය යනු කුමක්ද යන්න පිළිබඳව වෛද්‍ය ජයනාත් අවබෝධයක් ලබා දුන් අතර එම සහතිකය කල් ඉකුත් වීමට මාස හයකට පෙර අදාළ සැපයුම්කරු අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවට දැනුවත් කිරීමක් නොකළ බවද මූලික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය .
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය : මේ සම්බන්ධයෙන් ලේඛන ඔබට බලන්න දුන්නාද ?
සාක්ෂිකාරිය : නෑ එය ලැප්ටොප් එකකින් බලමින් ඇය ප්‍රකාශ කළා. එය බුත්පිටිය සටහන් කරගත්තා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය. ඖෂධයක සෙල්ෆ් ලයිෆ් එක සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් තියෙනවාද ?
සාක්ෂිකාරිය: නෑ, ඒ පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් නෑ
අදාළ ඖෂධය සඳහා ලන්සුව ඉදිරිපත් කර තිබූ අයිසොලේස් බයෝටෙක් පාමා ආයතන පිළිබඳව විස්තර පරීක්ෂා කිරීමට හැකියාව තිබූ බවද ඔවුන්ගේ තොරතුරු ඇතුළත ලිපිගොනු කමිටුවට ලැබී තිබූ බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
අදාළ සටහන් සංසන්දනය කරමින් එම සමාගම පිළිබඳව තොරතුරු නිවැරදිව සටහන් කර ගැනීමට හැකිවූ බව සඳහන් කළ සාක්ෂිකාරිය එම ආයතනයට WOR සහතිකයක් නොතිබූ බවද සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය.

පිළිකා රෝගීන්ට දෙන මෙම ඖෂධය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන උපමාන ගැන තමන්ට අවබෝධයක් නොමැති බව සඳහන් කළ සාක්ෂිකාරිය එම ඖෂධය ගුණාත්මක භාවය ගැන තාක්ෂණ නිලධාරීන් ලබාදුන් තොරතුරු අනුව සෑහීමකට පත් වූ බව ප්‍රකාශ කළාය.
"WOR සහතිකය කුමක්ද යන්න පිළිබඳව තමන්ට පැහැදිලි අවබෝධයක් නොතිබූ අතර වෛද්‍ය ජයනාත් ,වෛද්‍ය සුදර්ශන සහ අතිරේක ලේකම් සොලමන්ස් විසින් ලබාදුන් පැහැදිලි කිරීම් අනුව ඒ පිළිබඳව අවබෝධයක් ලබාගත් බවද සාක්ෂිකාරිය කියා සිටියාය. සහතිකයක් ඉදිරිපත් කරලා WOR සහතිකය මේ වගේ යයි පෙන්වා සිටියා.
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව අදාළ වගුවේ නම සඳහන් සැපයුම්කරුවන් සහ ඖෂධ ඊට අදාළ තීරුවල ඇති කරුණු සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී සාක්ෂිකාරියගෙන් එකින් එක විමසා සිටියාය.
මෙම ඖෂධයන් සහ සැපයුම්කරුවන් සම්බන්ධයෙන් එකින් එක ප්‍රශ්න කිරීම් සිදු කරන්නේ කවර හේතුවක් මත ද යන්න පිළිබඳව එහිදී සභාපති විනිසුරුවරයා විමසීමක් කළේය.

අදාළ කමිටුව විසින් ඇතැම් අවස්ථාවලදී ඇතැම් ඖෂධවල තොග තත්ත්වයන් පිළිබඳව විමසීම් කර ඇති අතර ඇතැම් ඖෂධ වල ජීව කාලය, මිල, අදාල ඖෂධ තොගය ලබාදීමට ගතවන කාලය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට කරුණු පැහැදිලි කරමින් සඳහන් කර සිටියාය.
"මෙම ඖෂධයන් සහ සැපයුම්කරුවන් සම්බන්ධයෙන් නිර්දේශයන් සිදුකිරීමේදී ස්වාධීනව කටයුතු කිරීමට ඔබට හැකියාවක් තිබුණාද?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි හැකියාවක් තමන්ට නොතිබූ බවය. තාක්ෂණ නිලධාරින් ලබාදුන් තොරතුරු සහ පැහැදිලි කිරීම් මත ඔවුන් නිවැරදි සහ සද්භාවයෙන් කටයුතු කරනු ඇතැයි යන විශ්වාසය මත ඔවුන්ගේ නිර්දේශයන් වලට එකඟතාවය පළ කළ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියාය.
පස්දෙනාගෙන් යුත් කමිටු අවස්ථාවේදී සලකා බැලූ කරුණු සම්බන්ධයෙන් අතින් ලියන ලද ලේඛන වලට මුල් අවස්ථාවේදී අත්සන් යෙදූ අතර බුත්පිටිය මහතාගේ උපදෙස් මත ඔහුගේ අංශයෙන් ඒවා යතුරු ලියනය කිරීමෙන් අනතුරුව ඒවා විසින් තම කාර්යාලයට එවූ බවද ඔහු එහි අත්සන් තබා තිබීම හේතුවෙන් තමන් ද ඊට අත්සන් තැබූ බවද කියා සිටි සාක්ෂිකාරිය" ජයනාත් මහතා අත්සන් තැබූ ලේඛනවලට පමණයි මම අත්සන් තැබුවේ" යනුවෙන් ප්‍රකාශ කළාය.

"එලෙස අත්සන් තැබීමේදී මෙහි තියෙන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැද්ද ඒවා නිවැරදි කියලා බලන්න කටයුතු කළේ නැද්ද ?යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වලින් විමසීමක් කළ අවස්ථාවේදී " විශාල රාජකාරී කටයුතු මැද තමයි මෙම කටයුත්තක් කළේ, තාක්ෂණ නිලධාරීන් නිවැරදි තීරණ ගනු ඇතැයි යන විශ්වාසය මත එහි අත්සන් තැබීමට කටයුතු කළා"යනුවෙන් ඇය කියා සිටියාය.
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය සඳහන් කළේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව එවැන්නක් නොමැති අතර එවැනි ක්‍රියා පටිපාටියක් පිළිබඳව සටහනක් ඇනවුම් ලැයිස්තුව සමග තිබිය යුතු බවය. එය වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉදිරිපත් කළ යුතු නමුත් එවැන්නක් මෙහිදී ඉදිරිපත් වී නැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය නිවැරදි ඇනවුම් ලැයිස්තුවක්ද නොමැති බව පෙන්වා දුන්නාය.
අනතුරුව සාක්ෂිකාරියගෙන් මූලික ප්‍රශ්න විමසීම නැවත සිදුකළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය" පැ 239 ලෙස නම් කර ඇති ලේඛනය ඖෂධ ඇගයීම සඳහා භාවිතා කළ ලේඛනයක් ද?" යනුවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර එය එවැනි ලේඛනයක් බවත් එහි තමන්ගේ අත්සන යොදා ඇති බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
එහි 174 යටතේ සඳහන් කර තිබූ ඖෂධය ගැන තමන්ට අවබෝධයක් නොමැති බවත් එය "හියුමන්ඉමියුනෝග්ලොබියුලීන්" ලෙස නම සඳහන්ව ඇති බවත්සාක්ෂිකාරිය සඳහන් කළාය.
"එම ඖෂධය පෙත්තක්ද,? ද්‍රාවණයක්ද ? කැප්සියුල් එකක්ද යන්න පිළිබඳව ඔබ දන්නවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවය.

එම ඖෂධ එන්නතක් බවට වෛද්‍ය ජයනාත් විසින් විස්තර කළ අතර ඒ අනුව එය එන්නතක් යන්න පිළිබඳව අවබෝධ කරගත් නමුත් ස්වාධීනව ඒ සම්බන්ධව දැනුමක් හෝ පරිචයක් නොතිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. එසේම එම ඖෂධය ලබා දන්නේ කවර රෝගීන් සඳහාද යන්න පිළිබඳවද තමන්ට අවබෝධයක් නොතිබූ බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සැපයුම්කරුවකු අගය කරන නිර්ණායක මොනවාද යන්න පිළිබඳවද තමන්ට අවබෝධයක් නොමැති බව කියා සිටි සාක්ෂිකාරිය මෙම තීරුවේ සඳහන් ඖෂධය ඉහළ අවදානමක් සහිත ඖෂධයක් බවට අවබෝධයක්ද තමන්ට නොතිබූ බව සඳහන් කළාය. ඒ පිළිබඳව තමන්ට අවබෝධයක් ලබා නොදුන් බවද සාක්ෂිකාරිය කියා සිටියාය .
අදාළ ඖෂධය ට අදාළව සැපයුම්කරුවන් තුන්දෙනෙකු විසින් අභිලාෂ ඉදිරිපත් කර තිබූ අතර "අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ්" විසින් ඉදිරිපත් කර තිබූ තොරතුරු සම්බන්ධයෙන් ස්වාධීන අවබෝධයක් නොතිබූ නමුත් අදාළ ලේඛන පරීක්ෂා කර බලා තොරතුරු ලබාගැනීම සිදුකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
එම ඖෂධය පිළිබඳව තාක්ෂණ නිලධාරීන් පැහැදිලි කිරීමෙන් පසුව එය ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධයක් බවට අවබෝධයක් ලබාගත් බව සඳහන් කළ සාක්ෂිකාරිය අදාළ අභිලාෂ කැඳවීම් ලේඛනයේදී sample submitted යනුවෙන් ඇති ස්ථානයට ඉහළින් විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කර නොතිබූ බවද තාක්ෂණ නිලධාරීන්ගෙන් එවැනි දෙයක් ප්‍රකාශ නොවූ බවද එවැන්නක් පිළිබඳව පරීක්ෂා කර බැලීමට තමන්ට දැනීමක් හෝ පරිචයක් නොතිබූ බවද පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය එහිදී සඳහන් කළ සිටියාය.
"මෙම ඖෂධය සැපයුම්කරු විසින් Powder format එකකින් ලබා දෙන බවට කර ඇති සටහන සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමු වුණාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළාය .
එහිදී ඇය සඳහන් කළේ එවැන්නක් පිළිබඳව කමිටුවේදී සාකච්ඡා නොකළ බවය.ඒ සම්බන්ධයෙන් ස්වාධීන මතයක් දැරීමට තමන්ට දැනුමක් නොතිබූ බවද සැපයුම් ඒකකයට මෙම අයිතම මේ මීට පෙර ලැබී තිබුණාද යන්න පිළිබඳව දැනීමක් නොවූ බවද එම ඖෂධය ද්‍රාවණයක් ද , පෙත්තක්ද කැප්සියල් එකක්ද යන්න පිළිබඳව වෛද්‍ය සැපයුම් ඒකකයේ අතිරේක අධ්‍යක්ෂවරිය විසින් පැහැදිලි කිරීමක් නොකළ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
"අධිකරණය හමුවේ ලකුණු කර ඇති 239 සමග 24 වන ලේඛණය 174වන අයිතමය අගයන අවස්ථාවේදී භාවිතා කළාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී එම ලේඛනය භාවිතා කළ බවට සාක්ෂිකාරිය කියා සිටියාය.
"අවසානයේදී අත්සන් තැබුවාද? යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් වරිය කළ විමසීමට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය පෙන්වා දුන්නේ තමන් එහි අත්සන් තැබූ බවය. එහි අත්සන් හතරක් ඇති අතර පස් දෙනකුගෙන් යුත් කමිටුවේ ඇගයීම් සම්බන්ධයෙන් හතර දෙනකු පමණක් අත්සන් තබා ඇත්තේ කවර හේතුවක් මතද යන්න පිළිබඳවවත් අවබෝධයක් තිබුණද?" යැයි එහිදී කළ විමසීමට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියේ තමන්ට පැහැදිලිව ප්‍රකාශ කර නොහැකි බවය.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකාරිය ගෙන් ප්‍රශ්න අසන කරන ආකාරය සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බව එහිදී එකොළොස් වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමිත ආරියරත්න මහතා සඳහන් කළේය.
මෙම සාක්ෂි මෙහෙයවීමේ ආරම්භයේ පටන්ම නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න විමසීමේදී "වත්" යන වචනය භාවිතා කළ අතර ඊට ඔව් හෝ නෑ යන පිළිතුර ලබාදීම හැර වෙනත් කිසිදු ප්‍රකාශයක් ලබාදීමට සාක්ෂිකාරියට නොහැකි බවද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව එම වචනය ඉවත් කර ප්‍රශ්න විමසන ලෙස සභාපති විනිසුරුවරයා එහිදී දැනුම් දුන්නේය
අදාල ඖෂධය සැපයීම අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී වත් ලිමිටඩ් ආයතනයට WOR එකකට යටත්ව ලබාදීමට තීරණය කළ අතර WOR හී ඇති වැදගත්කම හෝ නොවැදගත්කම පිළිබඳව කමිටුවේදී සාකච්ඡාවට ලක් නොකළ බවද සාක්ෂිකාරිය මූලික ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:
මෙම EOI සම්බන්ධයෙන් ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ඔබ දහවෙනි චූදිතට කතා කර දැනුම් දුන් බව සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා?
සාක්ෂිකාරිය : එසේය ස්වාමීනි
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය : NMRA ලේඛන සම්බන්ධයෙන් ඔහු දුන් උපදෙස් මොනවාද ?
සාක්ෂිකාරිය ,:එම ලේඛන NMRA එකට යවනවා. WOR ලබා ගැනීම සඳහා වෙනමම යොමු කරන බව කිව්වා .
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය
එහිදී සීඝ්‍රගාමී ක්‍රමය යටතේ ලියාපදිංචි බැහැර කිරීමේ සහතික නිකුත් කරන්න බව ඔබ දැන සිටියාද ?
සාක්ෂි කාරිය : නැත ස්වාමීනි
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය : ඒ සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කරාද ?
සාක්ෂිකාරිය: නැද්ද ස්වාමීනී
අදාළ වගුවේ 174 අයිතමය ලෙස සඳහන් කර ඇති ඖෂධයේ තොග පිළිබඳව සොයා බැලීමක් වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරිය විසින් සිදු නොකළ අතර ඒ පිළිබඳව සොයා බැලීමට තමන්ට හැකියාවක් නොවූ බවද සඳහන් කළ සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියේ වෛද්‍ය සැපයුම් ඒකකයේ පරිගණක දත්ත ලබාගත හැකි ලබා ගැනීමේ හැකියාව තිබුණේ එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරියට බවය.
රෝහල්වල පවතින ජාතික තොගය පිළිබඳව පරීක්ෂා කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවත් එය තාක්ෂණික නිලධාරිනිය දත්ත පද්ධතියට ඇතුල්වී පරීක්ෂා කළ බව තමන්ට මතක බවත් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය
මෙම සාක්ෂි මෙහෙයවන අවස්ථාවේදී 09 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා සහ 10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මහතා ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් සිය විරෝධතා පළ කළ අතර එහිදී සභාපති විනිසුරුවරයා ඇතැම් ප්‍රශ්න ඉවත් කිරීමට නියම කළ අතර ඇතැම් ප්‍රශ්නවලට අදාළ කරුණු සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න වලදී විමසීම් සිදු කරන ලෙස ඔවුන්ට දන්වා සිටියේය.
එකසිය 174සහ 99 තීර වල සඳහන් වන ඖෂධයන්ට අදාළව නිර්දේශ සිදුකිරීමේදී ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් නොතිබූ බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. බහුතරයක් තීන්දු සඳහා තාක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණ, නිර්දේශ අවශ්‍ය වුණා . ඒවා තමයි අත්‍යවශ්‍ය කාරණා වූයේ. ඒ අනුව ඔවුන්ගේ පැහැදිලි කිරීම් මත කටයුතු කිරීම හැර ස්වාධීන තීරණ ගැනීමේ හැකියාවක් තිබුණේ නෑ. ඒ අනුව අදාළ නිර්දේශයන්වලට තමන් අත්සන් තැබූ බව සාක්ෂිකාරිය කියා සිටියාය .

මෙම ඇගයීම් කමිටුවේ දී ඇතැම් ඖෂධ සම්බන්ධයෙන් price negotiatio යනුවෙන් සඳහන් කර ඇත්තේ කුමක්දැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය ප්‍රශ්න කර සිටියාය .එහිදී ඇය සඳහන් කළේ ඖෂධයක මිල අධික බව දැනෙන අවස්ථාවේදී ඒ පිළිබඳව සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවට දැනුම් දී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නිර්දේශ කරන බවය. ඒ පිළිබඳව තමන් ට ස්වාධීන නිර්දේශයක් ලබාදිය නොහැකි අතර තාක්ෂණික නිලධාරීන් වූ ජයනාත් වෛද්‍ය සුදර්ශන සහ සොලමන්ස් ඉදිරිපත් කළ තොරතුරු අනුව තීරණ ගැනීම සිදුකළ බවද ඔවුන් විසින් ගත් තීරණ වල වරදක් නොමැති බවට එම අවස්ථාවේදී හැඟී ගිය බැවින් ඊට පස්සේ තමන් එකඟ වූ බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය .
අදාළ වගවේ එකසිය විසි හත වන අයිතමය යටතේ සඳහන් කර ඇති ඖෂධය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ" මෙම ඖෂධයේ තොග නැති බව සඳහන් කළා .ඒ පිළිබඳව මට පරීක්ෂා කළ නොහැකියි. msd එකේ සොලමන්ස් මහත්මිය තමයි එය පරීක්ෂා කළේ. තාක්ෂණ නිලධාරීන් තිදෙනා ගත් තීරණ නිවැරදි යැයි සහ සාධාරණ යැයි කියන පදනම් මත මම ඊට එකඟතාවය පළ කළා" යනුවෙනි.
එසේම එම ඖෂධ ලැයිස්තුව 131 ලෙස සඳහන් කර ඇති ඖෂධ සම්බන්ධයෙන්ද සාක්ෂි ලබාදුන් සාක්ෂිකාරිය එහි 106 වන ඖෂධය සම්බන්ධයෙන් තොග ඇති බව තාක්ෂණික නිලධාරීන් විසින් ප්‍රකාශ කළ අතර එහිදී ඉදිරියට පැමිණීමට නියමිත තොග පරීක්ෂා කිරීමට කටයුතු කළ බවද සඳහන් කළාය. කෙසේ වුවද රිටොක්සිමැප් සහ හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ වල ඉදිරියට පැමිණීමට තිබෙන තොග සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් නොකළ බව සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය.

අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති ගොනුවක් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ අතර එහි සඳහන් කේතය සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළාය. එම කේතය අනුව එම ගොනුව පරිපාලන අංශයේ ට අයත් විය යුතු බව සඳහන් කළ සාක්ෂිකාරිය එහි සෞඛ්‍ය අංශය හදිසි ප්‍රසම්පාදන අංශයේ මිනිට් සටහනක් ඇති බව සඳහන් කළ අතර එහි සඳහන් අත්සන සෞඛ්‍ය ලේකම්වරයාගේ බවට ප්‍රකාශ කළාය.
එම ගොනුවේ ඇතුළත් අමාත්‍ය මණ්ඩල සංදේශය සැකසීම සඳහා තමන් සහභාගී නොවූ බවද අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට යොමු කිරීම සඳහා පරිවර්තන කටයුතු කිරීම පිණිස පාලන අංශයට යොමු කර තිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
අමාත්‍ය මණ්ඩල සංදේශවලට අදාළ කරුණු පාලන අංශයට යොමු වන අතර හදිසි අවස්ථාවල වලදී එය කෙලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කරන බවද සාක්ෂිකාරියක් එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
ඒ සමගම එදිනට නියමිත සාක්ෂිකාරියගේ මූලික ප්‍රශ්න විමසීම අවසන් කරන ලදී.
ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කරමින් සාක්ෂිකාරිය මුදා හරින ලදී.
ප්‍රමිතියෙන් තොර තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

