වැදගත් සාක්ෂිකාරියක ලෙස අධිකරණයට පැමිණ පැමිණිල්ලේ නඩුව සාක්ෂාත් කරගැනීම සඳහා තමන් දන්නා කරුණු සඟවමින් අධිකරණය නොමග යැවීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) උපේක්ෂා ශම්මි කුමාරී දෙනාවත්ත මහත්මිය සාක්ෂි දෙන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යෝජනා කළේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ 184 වැනි සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදීම සඳහා තෙවන දිනටත් ඇය අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී හරස් ප්‍රශ්න යොමු කරමින් නීතිඥවරයා මෙම යෝජනාව කළේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරළ මහතා සඳහන් කළේ මෙම නඩුවේ දොළොස්වන විත්තිකරු වන වෛද්‍ය විජිත් ගුණසේකර අධිකරණයට පැමිණ ඇති බවත් ඔහු දැඩි ලෙස උණ රෝගයෙන් පෙලෙන බවත්ය. ඔහුට විවේක ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බැවින් ඔහු නොමැතිව නඩුව විභාග කිරීම සඳහා බලය පවරමින් ලිපියක් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සඳහන් කර සිටියේය.
ඒ අනුව ඔහු ට අධිකරණයෙන් බැහැර වීමට අවසර ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල ඒ සඳහා අවසර දුන් අතර විත්තිකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වන වන වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
අනතුරුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන ලදී.
එහිදී සාක්ෂි දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) උපේක්ෂා ශම්මි කුමාරී දෙනාවත්ත මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙම නඩුවේ අටවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා එහිදී සාක්ෂිකාරිය ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
මූලික සාක්ෂි විභාගයේදී ඇයගේ අවධානයට යොමු කරමින් ලකුණු කරන ලද ගොනුවක පිට කවරයේ ඇති කේතයක් සම්බන්ධයෙන් ඇය මීට පෙර අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් බව සිහිපත් කර දුන් ජනාධිපති නීතිඥවරයා එම ගොනුවේ ඇති යොමු අංකය සම්බන්ධයෙන් විමසීමක් කළේය.

එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ එහි ඉහළ කෙළවරේ දා රෝමානු අංක දහහත ලෙස පෙනෙන නමුත් එය අපැහැදිලි බවත් එහි පහළ ඇති අංකය රෝමානු අංක 18 ලෙස පෙනෙන බවත්ය. එම ගොනුවේ ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ඊට පස්සේ විරෝධය පළ කළාය.
මූලික සාක්ෂි විභාගයේදී මෙම ගොනුවේ කේත අංකය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර එහිදී අදාළ ගොනුව ලකුණු කළ බව ප්‍රකාශ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ගොනුවේ ඇතුළු ඇති කිසිදු ලේඛනයක් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව සාක්ෂිකාරිය සඳහන් කළ බවද පෙන්වා දුන්නාය.
ඒ අනුව සාක්ෂිකාරිය නොදන්නා ලේඛන සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බව ඇය කියා සිටියාය.
අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඇතුළත් දිනය සම්බන්ධයෙන් අවධානය කළ ජනාධිපති නීතිඥවරයා එහි සඳහන් දිනය වැරදි බවට යෝජනා කළේය
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ "මට ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න නොහැකියි" යනුවෙනි.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය "ඇය දන්නේ නැති බව කිව්වා. එම ගොනුව ඇයගේ අංශයෙන් ගියේ නැති බවත් ඇය කිව්වා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කරන්න බෑ" යනුවෙන් නැවත වරක් ප්‍රකාශ කළාය.

එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පෙන්වා දුන්නේ අදාළ කරුණ යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ හැකි බවය.
ඒ අනුව ජනාධිපති නීතිඥවරයා එම ගොනුවේ ඇති දිනය 2022 සැප්තැම්බර් මස 2 වැනි දා ලෙස යෝජනා කරන බව සඳහන් කළේය.
සාක්ෂිකාරිය එහිදී සඳහන් කළේ " එහි තිබු ලේඛන ගැන මා දන්නේ නෑ ඒ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කළ නොහැකියි" යනුවෙනි.
"එම ගොනුවේ තුන එක ලෙස සඳහන් කර ඇති කොටස අසම්පූර්ණ ඡේදයක් බවට මායෝජනා කරනවා "යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ තමන් ඒ ගැන නොදන්නා බවය.
"එම ඡේදය අසම්පූර්ණ බව දක්වමින් ප්‍රශ්නාර්ථයක් යොදා තියෙනවා" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකාරිය එය තමන් නොදන්නා බව ප්‍රකාශ කළාය.
එම ගොනුවේ ඉංග්‍රීසි බසින් ඇති කැබිනට් සංදේශයේ මගේ අංකය හෝ ඔබේ අංකය යනුවෙන් කිසිවක් ඇතුළත්ව නොමැති වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රශ්නයක් විමසා සිටියේය. තමන් ඒ ගැන නොදන්නා බව සාක්ෂිකාරිය කියා සිටියාය.
එසේම එම ගොනුවේ ඉහළ කෙළවර ඇති අංකය අපැහැදිලි බවද පහළ කෙළවරේ ඇති අංකය රෝම අනුව අංක 18 ලෙස පෙනී යන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
ශ්‍රියන්ති දිසානායක නමැතිව ජේෂ්ඨ සහකාර ලේකම්වරයක ලෙස තමන් සමග කටයුතු කර ඇති අතර ඇයගේ අත්සන හඳුනා ගැනීමට මතකයක් නොමැති බව සාක්ෂිකාරිය එහිදී ප්‍රකාශ කළාය.

අධිකරණය හමුවේ ලකුණු කරන ලද පැ289 සම්බන්ධයෙන් සාක්ෂිකාරිය කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කළ අතර ජනාධිපති නීතිඥවරයා ඇයගෙන් විමසා සිටියේ "එම ගොනුව කොහෙන් ගත්තාද, කවුරුන් හැදුවා ද ,කියලා දන්නෙත් නෑ. ඒ ගැන කියන්න හැකියාවකුත් නෑ. ඒක මොකට හැදුවා ද කියලා කියන්න දන්නෙත් නෑ. නේද" යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන් නොදන්නා බවය.
"එහි අංකයක් තියෙනවා ඒ පමණයි ඔබ දන්නේ නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය "එහෙමයි ස්වාමීනි" ප්‍රකාශ කළාය.
ජනාධිපති නීතිඥවරයා : මම යෝජනා කරනවා මෙම නඩුවට අදාළ ගොනුව මෙය නොවන බවට
සාක්ෂිකාරිය: මා ඒ පිළිබඳව දන්නේ නෑ.
ජනාධිපති නීතිඥවරයා: මහත්මිය ඔය ගොනුව දැකලාවත් නෑ. අධිකරණයේදී තමයි දැක්කේ.
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.
ජනාධිපති නීතිඥවරයා: පිට කවරේ අංකය ගැන දන්නෙත් නෑ .
සාක්ෂිකාරිය: එහි ඉහළ කෙළවරේ ඇති අංකය පැහැදිලි නෑ .පහළ රෝමන් ඉලක්කම් දහ අට ලෙස සඳහන් වෙනවා .
ජනාධිපති නීතිඥවරයා: අංක දෙකක් තියෙන්න බෑනේ. දැන් පිළිගන්නවාද එහි අංකය දහ අට කියලා.?
සාක්ෂිකාරිය: මෙම ගොනුවේ පහළ එලෙස සඳහන් වෙනවා.
එහිදී පැමිණිල්ලේ සාක්කි ලැයිස්තු අංක 134 වෛද්‍ය සමන් රත්නායක විසින් භාර දෙන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය හා ඊට අදාළ ඡායා පිටපත් ගොනුව අධිකරණයේ අවධානයට යොමු කරන බව ජනාධිපතිනි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට දන්වා සිටියේය.

අනතුරුව අටවැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලදි.
මෙම නඩුවෙහි පළමු වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න යොමු කරමින් සාක්ෂිකාරිය ගෙන් විමසා සිටියේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක ලෙස මෙම ප්‍රශ්නගත බව කියන ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය වන අවධියේදී සෘජුවම වගකිවයුතු වූ ඉහළ නිලධාරියා වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ද යනුවෙනි.
එසේ ස්වාමීනී යනුවෙන් සාක්ෂිකාරිය ඊට පිළිතුරු ලබා දුන්නාය.
"මෙම ඇගයීම් කමිටුවට අදාළ පත්වීම ලබා දුන්නෙත් ඔහු. ඒ වන විටත් ඔබ කමිටු ප්‍රසම්පාදන කමිටු රැසකට සහභාගි වී අත්දැකීම් තිබු නිලධාරිනියක් නේද ?යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර සාක්ෂිකාරිය" ඒ වන විට කමිටු කිහිපයක හිටියා .බොහෝ කමිටු වල කටයුතු කලේ මෙම සිද්ධියෙන් පසුව යි" යනුවෙන් ප්‍රකාශ කළාය.
"මෙය තාක්ෂණික ඇගයීම් කමිටුවක් ද?" යැයි නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර "කිසිසේත්ම නෑ" යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරක් ලබා දුන්නාය.
එය මූලික අභිලාෂ ගොනු පරීක්ෂා කිරීම සඳහා වූ කමිටුවක් වන අතර කළ යුතු කාරණා මොනවාද යන්න සම්බන්ධයෙන් ලබා දී තිබූ බවද සඳහන් කළ සාක්ෂිකාරිය එම කමිටුවට අදාළව TOR එකක් ලබා දුන් නොතිබූ බවද කියා සිටියාය. මෙම ඇගයීම් ක්‍රියාවලිය සිදුකිරීමට පෙර කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් සිදු කළ අතර එහිදී විසඳාගත නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමක් සිදුකළ බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
"එවැනි උපදෙස් ලබා ගැනීමක් නීත්‍යානුකූල ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය "ඒ වෙලාවේ සදහන් කලේ මෙම කාර්යය කළ නොහැකි බවයි. එහිදී සමන් රත්නායක මහතා මෙය හදිසි සහ අත්‍යවශ්‍ය කාර්යයක් ලෙස සලකා කරන්න කියලා ප්‍රකාශ කළා. ඒ පිළිබඳව මා කමිටුව දැනුවත් කළා . ඒ අනුව කටු සටහන් ආශ්‍රයෙන් මෙම ඇගයීම් කටයුතු කරගෙන ගියා" යනුවෙන් සඳහන් කළාය.
නීතිඥවරයා: ඔබ මීට පෙර පෙර කටයුතු කළ කමිටුවලදීත් කටු සටහන් භාවිතා කරල තියෙනවද?
සාක්ෂිකාරිය :සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවලදී කටු සටහන් භාවිතා කරා .
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: ප්‍රශ්නය කුමක්ද, ප්‍රශ්නය ඇහුවේ කමිටු ගැන පිළිතුර දුන්නේ සම්මුඛ පරීක්ෂණ ගැන. ප්‍රශ්නය තේරුම් අරගෙන උත්තර දෙන්න .
නීතිඥවරයා: සම්මුඛ පරීක්ෂණ මණ්ඩල කියන්නේ කමිටු රැස්වීම් නෙමෙයිනේ
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.
මෙම නඩුවට අදාළව පැ. 239 ලෙස ලකුණු කර ඇති ලේඛණයේ 174 වෙන අයිතමය ට අදාළ ඖෂධය හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය යනුවෙන් සඳහන් වන අතර සඳහා වන සැපයුම්කරුවකු තෝරා ගැනීමේදී අවම මිල සහ ලබාදෙන කාලය සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

එහිදී අවම ලංසුව අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනය විසින් ඉදිරිපත් කර තිබූ අතර යුනිකියුරා සහ abc ආයතන විසින්ද ඒ සඳහා ලංසු ඉදිරිපත් කර තිබූ බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
"එම ආයතන විසින් ඉදිරිපත් කර ලිපි ලේඛන පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ද අයිසොලස් බයෝටෙක් පාමා ආයතනය තෝරා ගත්තේ?" යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ සියලු ලේඛන මෙන්ම ඇගයීමට අදාල අනෙකුත් කාරණා පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව තෝරාගැනීම කළ බවය.
එහිදී මිල ගණන් සම්බන්ධයෙන් නිලධාරීන් පද්ධතියට ඇතුළු වී තොරතුරු සත්භාවයෙන් ඉදිරිපත් කළාය යන විශ්වාසය මත අදාල තෝරා ගැනීමට අත්සන් තැබූ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
නීතිඥවරයා :ඔබට නිරීක්‍ෂණය වුණේ නෑනේ ඔවුන් අසද්භාවයෙන් කටයුතු කරන බව ?
සාක්ෂිකාරිය :නැත ස්වාමීනි
නීතිඥවරයා :කුමන හෝ නිලධාරියකු අසත් අත්තනෝමතිකව වැඩ කරන බවක් නිරීක්ෂණය වුණාද ?
සාක්ෂියාකාරිය: නැත ස්වාමීනී
නීතිඥවරයා : ඔවුන් තම උපරිම සහය දීලා හැකි ඉක්මනින් එම කටයුතු අවසන් කිරීමට කටයුතු කළා ?
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනි
නීතිඥවරයා: එම කමිටුවේ තීරණ ඒකමතික තීරණයක් නේද ?
සාක්ෂිකාරිය :
අවශ්‍ය අවස්ථාවලදී නිලධාරීන් පදිංචියට ඇතුළු වී සත්භාවයෙන් තොරතුරු ලබාදුන්නා යැයි විශ්වාසය මත තමයි එය තීරණය කළේ
නීතිඥවරයා:
ඔවුන් අසත්භාවයෙන් කටයුතු කළ බව පසු අවස්ථාවකදීත් නිරීක්ෂණය වුණේ නෑනේ ?
සාක්ෂිකාරිය :
ඉන් පසුව මම ඔවුන් සමග වැඩ කළේ නෑ. ඒ නිසා ඒ ගැන පැහැදිලිව කියන්න බෑ
එහිදී අධිකරණයට ඉදිරිපත් කර ඇති ලංසු ඇගයීම් කමිටුවේදී සැලකිල්ලට යොමු කරන ලද ඇතුළත් ලිපි ගොනු සම්බන්ධයෙන් සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නීතිඥවරයා රිටොක්සිමැප් ඖෂධය සහ හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සැපයීම සම්බන්ධයෙන් අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය තෝරා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂිකාරයගෙන් හරස් ප්‍රශ්න විමසීමක් කළේය.

එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ තමන්ට ලැබුණු උපදෙස් අනුව අවම මිල සහ කාලය සැලකිල්ලට ගනිමින් පද්ධතියට ඇතුළු වූ නිලධාරීන් සත්භාවයෙන් නිවැරදි තොරතුරු දුන්නාය යන පදනම මත එම ආයතනය තෝරාගත් බවය.
"මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලින් අනතුරුව තවත් සමාගමක් විසින්හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති අතර එම ඖෂධය හේතුවෙන් මරණ තුනක් වාර්තා වූ බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඒ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එය තමන්ගේ රාජකාරියට අයත් නොවන බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.
මෙම සිද්ධියට අදාළව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථා දෙකකදී ප්‍රකාශ ලබාදුන් බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළ සාක්ෂිකාරිය මෙම ප්‍රසම්පාදන සිද්ධියට පසුව සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව සොයා බැලූ බවත් එහිදී යම් ගැටලුවක් ඇතිවී තිබෙන බව තේරුම් ගිය බවත් කියා සිටියාය.
ඒ වන විට මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන්ට මතකයක් නොතිබුණු බවත් ඒ අනුව අදාළ අංශවලින් තොරතුරු ලබාගත් බවත් සාක්ෂිකාරිය කියා සිටියාය .
"එහිදී ඔබ දැනගත්තා ද මෙම ඖෂධය හේතුවෙන් මරණ වාර්තා නොවූ බව"? යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර "ඒ ගැන ගොනුවල සඳහන් වන්නේ නෑ" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
මෙම ඖෂධය සම්බන්ධයෙන් රෝගීන් ට සංකූලතා ඇතිවී ඇති බව ජනමාධ්‍ය මගින් තමන් දැනගත් බවද ඒ පිළිබඳව සොයා බැලීමක් නොකළ බවද සඳහන් කළ සාක්ෂිකාරිය වර්තමානයේ දී මෙම මෙවැනි ප්‍රසම්පාදන කටයුතු වලට සහභාගී නොවන බව සඳහන් කළාය .
නීතිඥවරයා :මෙම තීන්දු තීරණ ගැනීමේදී ඔබට සහ ඔබේ කමිටුවට ස්වාධීනව කටයුතු කිරීමට වපසරිය සැකසී තිබූ බවට විශ්වාසද?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී
නීතිඥවරයා: ඒ අනුව තමයි තීරණ ගත්තේ?
සාක්ෂිකාරිය: දත්ත පද්ධතියට ඇතුළු වූ නිලධාරීන් සද්භාවයෙන් කටයුතු කළ බවට විශ්වාසය ඊට ඒකගතාවය ලබා දුන්නා.
නීතිඥවරයා: එය සාමූහික තීරණයක් නේද ?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි
ඒ සමගම පළමුවන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් නොකරන බවය.
මෙම නඩුවෙහි එකොළොස් වැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයෙකු වූ වෛද්‍ය තුසිත සුදර්ශන වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.

මෙම ප්‍රශ්නගත ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇගයීම් කමිටුවට සහභාගි වූ සෙසු නිලධාරීන් තමන්ට වඩා තත්ත්වයෙන් පහළ බවත් ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන් කිසිවෙකු නොසිටි බවත් සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය .
"එහි සභාපතිනිය ලෙස ඔබ වැඩි වගකීමක් ගත්තාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ මෙම කමිටුව සම්බන්ධයෙන් ටී ආර් ඕ එකක් දීලා තිබුනේ නෑ. ඒ නිසා ඒක ගැන කියන්න බෑ යනුවෙනි.
". ඔබ වෙනත් කමිටුවල කටයුතු කරලා තියෙනවා නේද ?යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ තාක්ෂණික ඇගයීම් කමිටුවල සභාපතිනිය ලෙස කටයුතු කර ඇති බවය.
"එම තාක්ෂණික කමිටුවලටත් ටී ආර් ඕ දීලා තියෙනවද ?"යන ප්‍රශ්නය නීතිඥවරයා සාක්ෂිකාරියට යොමු කළ අතර ඇය සඳහන් කළේ එවැනි ලබාදීමක් සිදු කර නැති බවය. එහෙත් මාර්ගෝපදේශ වල ඒ සම්බන්ධයෙන් සඳහන් වන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
මෙකී ඇගයීම් කමිටුවේ කටයුතුවලට තම සාමාන්‍ය රාජකාරී වලට අමතරව සහභාගී වූ අතර සෙසු සාමාජිකයන්ට මෙකී කමිටුවේ ඇගයීම් සිදුකිරීම සඳහා නිවාඩු කාලයක් ලබාදී නොතිබූ බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.එසේම වෙනත් කමිටුවලදී සාමාජිකයන්ට වඩා දෙගුණයක් වන මුදලක් සභාපතිනියට ගෙවන ලද නමුත් මෙම කමිටුවට එවැනි කිසිදු ගෙවීමක් සිදු නොකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ඇගයීම් කමිටුවක සභාපතිට විශේෂ වගකීමක් තියෙනවා නේද අනෙකුත් සාමාජිකයන් පාරදෘශ්‍ය භාවයෙන් කටයුතු කරනවාද යන්න නිරීක්ෂණය කරන්න . සභාපතිනි ලෙස කමිටුව කළමනාකරණය කිරීමට වගකීමක් තියෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර ඇය සදහන් කළේ එවැනි වගකීමක් පිළිබඳව පත්වීම් ලිපියේ නොතිබූ බවය .
තාක්ෂණික ඇගයීම් කමිටුවල ඇති කිසිවක් මෙහි තිබුණු නොතිබුණු බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
මෙම කමිටුවේ සභාපතිනිය ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් තමන් පත්කළ අතර එය නිල පත්වීමක් ලෙස භාරගත් බවද අනෙකුත් සාමාජිකයන්ගේ නිල තනතුරු සඳහන්ව තිබූ බවද සාක්ෂිකාරිය නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය .

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඖෂධය 188ක ලැයිස්තුවක් ලැබුණු බවත් ඒ සඳහා සැපයුම්කරුවන් 800කට අධික පිරිසකගේ ලන්සු ලැබූ ලැබී තිබූ බවත් සඳහන් කළ සාක්ෂිකාරිය "මෙම ඇගයීම් කටයුතු හැකි ඉක්මනින් ඉක්මනින් සිදු කරන ලෙස "උපදෙස් ලබාදී තිබූ බවද සදහන් කළාය .
එම කමිටුවේදී වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙක් සහ ඖෂධ වේදිනියක් කමිටුවට අවශ්‍ය සහාය ලබාදීම සිදුකළ බව පිළිගත් සාක්ෂිකාරිය තමන් ඉදිරියේ පැවති පරිගණක පද්ධතියෙන් තොරතුරු ලබාගැනීම සිදුකළ බවද සඳහන් කළාය.
එහිදී වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන්ට අදාළ දත්ත පද්ධතියට පිවිසීමට හැකියාව තිබූ අතර තමන්ට එම පද්ධතියට පිවිසි නොහැකි බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
නීතිඥවරයා: ඉදිරියේ තිබූ පරිගණකයෙන් තොරතුරු ගත්තේ pronto පද්ධතියෙන් නේද?
සාක්ෂිකාරිය: පද්ධතියේ නම ප්‍රකාශ කළේ නෑ එම පද්ධතිය පිළිබඳව මම දන්නේ නෑ
නීතිඥවරයා :මෙම අධිකරණයට එන්න කලින් ඔබ pronto පද්ධතියගැන දැනගෙන හිටියද ?
සාක්ෂිකාරිය : දන්නේ නෑ. pronto ගැන දැනගත්තේ අධිකරණයේදී .
නීතිඥවරයා: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නා මතකද ?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි
නීතිඥවරයා :එහිදී ප්‍රකාශ කරාද pronto පද්ධතියෙන් තොරතුරු ලබාගෙන කටයුතු කළ බව .
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි
නීතිඥවරයා : ඔබ දැන් ප්‍රකාශ කළේ මෙම පද්ධතිය ගැන දැනගත්තේ අධිකරණයේදී කියලා ?
සාක්ෂිකාරිය: නම දැනගෙන හිටියා .
නීතිඥවරයා : මම යෝජනා කරනවා ඔබ වැදගත් සාක්ෂිකාරියක් විදිහට ඇවිත් අධිකරණයට දන්නා කරුණු සඟවලා නොමග යැවීමේ අදහසින් සාක්ෂි දෙන බව
සාක්ෂිකාරිය: නැත ස්වාමීනි
නීතිඥවරයා: ඔබ අධිකරණය නොමග යවමින් සාක්ෂි දෙන බවට යෝජනා කරනවා .
සාක්ෂිකාරිය: නැත ස්වාමීනි
නීතිඥවරයා: ඔබ පැමිණිල්ලේ නඩුව සාක්ෂාත් කර ගැනීම සඳහා. කරුණු වසන්කර සාක්ෂි දෙන බවට යෝජනා කරනවා .
සාක්ෂිකාරිය: නැත ස්වාමීනි
මෙහිදී අදාළ පරිගණක පද්ධතියට පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව තමන්ට නොතිබූ අතර කමිටු සාමාජිකයන් පද්ධතියට අමතරව දුරකථන මාර්ගයෙන්ද කරුණු විමසූ බව සාක්ෂිකාරිය කියා සිටියාය.

ඒ නිලධාරීන් අදාළ ආයතන වලට ආයතන වලට කතාකර කළා ඔවුන් සත්භාවයෙන් කටයුතු කළ බවට විශ්වාස කළ නිසා මම එම ලේඛන වලට අත්සන් තැබුවා .
"ඔබ හැම වෙලාවෙම කමිටුවේ සෙසු නිලධාරීන් ගැන ඉස්සරහට දාන්නේ ඇයි? යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසා සිටි නීතිඥවරයා සභාපතිනිය ලෙස අවශ්‍ය නම් අදාල නිලධාරීන්ගෙන් කරුණු විමසීමේ හැකියාව තිබුණා නේද? යනුවෙන් ප්‍රශ්නයක් විමසා සිටියේ ය
සාක්ෂිකාරිය ඊට එසේය ස්වාමීනි යැයි පිළිතුරක් ලබා දුන්නාය .
අදාල ඖෂධය ඉන්දියාවේදී නිෂ්පාදනය කරන බවට ඇගයීම් කමිටුව හමුවේ ඉදිරිපත් කර තිබූ කරුණු වලට අවධානය යොමු කිරීමෙන් අනතුරුව කමිටුවේ නිර්දේශ ලබාදීමට කටයුතු කළ බවද සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සිය හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
2024 /03/ 12 වැනි දින සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද කළමනාකරණ රැස්වීමකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් තබන ලද සටහනක් ඇතුළත් ලේඛනයක් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ ජනාධිපති නීතිඥවරයා එයට අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රගුප්ත ; සමන් රත්නායක , හේරත් ,සුදර්ශන සහ විජිත් ගුණසේකර යන අය සහභාගී වූ බව දැක්වෙනවා ද ?"
වෙනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය එසේය එසේය ස්වාමීනී යනුවෙන් සඳහන් කළාය .
ජනාධිපති නීතිඥවරයා: එහි සඳහන් වෙනවාද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ, කළමනාකරණ අධ්‍යක්ෂ විල්ප්‍රඩ්, දිනූෂ දිසානායක ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ට සහභාගි වූ බව?
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනි.
ජනාධිපති නීතිඥවරයා: එසේම එහි සොලමන්ස් යන අයෙකුගේ නමත් සඳහන් වෙනවාද ?
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනි
ජනාධිපති නීතිඥවරයා: එහි අංක 6 යටතේ මොකක්ද සඳහන් වන්නේ?
සාක්ෂිකාරිය:
එහි සඳහන් කර තිබෙනවා, NMRA ලියාපදිංචි ඉල්ලා තිබෙනවා. එසේ නැති අයට WOR ගැනීම සඳහා අවශ්‍ය ලේඛන සමග ඉදිරිපත් වෙන්න කියලා තමයි තියෙන්නේ.

මෙහිදී එම ලේඛනයේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වාක්‍ය කොටස කියවා සිටි සාක්ෂිකාරිය" බොහෝ සැපයුම්කරුවන් එම ලේඛන ඉදිරිපත් කර නැහැ. ඔවුන් කියලා තියෙනවා මේ ලේඛන සතියක දී භාර දිය නොහැකි බව," "මෙහිදී මං ඔවුන් කියලා අදහස් කරේ කමිටුවේ සාමාජිකයන්".
ජනාධිපති නීතිඥවරයා: ඔබට හොඳින් ඉංග්‍රීසි භාෂාව තේරුම් ගන්න පුළුවන් නේද? එම භාෂාව හොඳින් හසුරුවන්නත් පුළුවන් නේද ? වාක්‍ය දෙකේ තේරුම කියන්න.
සාක්ෂිකාරිය:
"ඔවුන් දැනුම් දීලා තිබ්බා ලිය කියවිලි සතියකින් භාරදිය නොහැකි බව". කාටද භාර දෙන්නේ කියන ගැටලුව මෙහිදී ඇතිවෙනවා
මෙම ඇගයීම් කටයුතු කිරීමේදී තමන් රත්නායක මහතාගේ උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් විමසා සිටි ජනාධිපති නීතිඥවරයා අදාළ උපදෙස් අනුව ඇගයීම් කටයුතු මිල සහ කාලය ප්‍රමුඛ කර ගනිමින් සිදුකළාද ? යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය.
"කමිටුවේ අවසන් නිර්දේශ වාර්තාව සකස් කිරීම සඳහා සමන් රත්නායක මහතාගේ උපදෙස් මත කටයුතු කළාද ?නැතිනම් ඖෂධ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඖෂධ කළමනාකරණ රැස්වීමේදී ගන්නා තීරණ පැමිණෙන තෙක් සිටියාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී ඇය සඳහන් කළේ "රත්නායක මහතාගේ උපදෙස් මත ඇගයීම් කටයුතු දිගටම සිදුකළ බව"ය.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කට උත්තරයේ ඒ බව සඳහන් කළාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළේය.
එහිදී සාක්ෂිකාරිය "නැත ස්වාමීනී" යනුවෙන් සඳහන් කළාය.
අනතුරුව එම කට උත්තරය අධිකරණයේ අවධානයට යොමු කළ ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරිය අධිකරණයේදී ප්‍රකාශ කළ කරුණට පරස්පර කරුණක් එහි සඳහන් කර ඇති බව අධිකරණයේ අවධානයට යොමු කළේය.
"ඔබ මෙම ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ ඇයි? විහිළුවටද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී පළමු කට උත්තරය දීමෙන් පසුව ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇති බව දැනගත්තා .දෙවැනි කට උත්තරේදී මේ ගොනුව දුන්නේ මට සමන් රත්නායක මහතාගෙන් උපදෙස් ලැබුණු බව තහවුරු කිරීමටයි "සාක්ෂිකාරිය කියා සිටියාය ".
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කරමින් සාක්ෂිකාරිය මුදා හරින ලදී.

ප්‍රමිතියෙන් තොර තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

