පැරසිටමෝල් පෙත්තක් හෝ ඕනෑම ඖෂධයක් හේතුවෙන් රෝගියෙකුට ආසාත්මිකතා ඇතිවිය හැකි බවද, සිරිසේන මහතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
මීට පෙර නිකුත් කරන ලද සිතාසි මත මෙම නඩුවේ 201 වන පැමිණිල්ලේ සාක්ෂිකරු වන ස්නායු විශේෂඥ වෛද්‍ය වටවල විතාරමලාගේ නලින්ද දර්ශන සිරිසේන සහ 216 වන සාක්ෂිකාරිය වන මහරගම අපේක්ෂා රෝහලේ සේවයේ නියුතු පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සභාපති , විශේෂඥ වෛද්‍ය උමා ගෞරී සරවනමුත්තු මහත්මිය සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එහිදී 201 වන සාක්ෂිකරු ගෙන් සාක්ෂි විමසීමට තීරණය කළ විනිසුරු මඩුල්ල නැවත දැනුම් දීමක් ලැබුණු විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අනෙක් සාක්ෂි කාරිය මුදා හරින ලදි.
මීට පෙර දිනයේ නඩු විභාගය අවසන් වන අවස්ථාවේදී දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විසින් හරස් ප්‍රශ්න විමසමින් සිටි අතර ඔහු වෙනුවෙන් අද අධිකරණය හමුවේ පෙනී සිට නීතිඥ රවී හංස විජේසිංහ මහතා දහවන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කර ඇති බව දැනුම් දුන්නේය.

අනතුරුව මෙම නඩුවේ අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ඉල්ලීමක් කරමින් සටහන් කළේ දහවෙනි විත්තිකරු විසින් හරස් ප්‍රශ්න විමසීමේදී 2022ය/10/10 දින පැවැති බව පැවසෙන රැස්වීම් සටහනක් සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළ බවය. එම රැස්වීම අටවන විත්තිකරුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවටත් සඳහන් වූ බව ප්‍රකාශ කළ නීතිඥවරයා අට වැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමේදී අදාළ ලේඛනය ඉදිරිපත් ව නොතිබුණු බව සඳහන් කළේය.
මෙම ලේඛනය මගින් අටවන විත්තිකරුගේ විත්තිවාචකය ට බලපෑමක් ඇති විය හැකි නිසා මේ සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න කිහිපයක් විමසීමට අවස්ථාව ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය .
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ මෙම ලේඛනය දහවෙනි විත්තිකරු විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන ලේඛනයක් වන අතර සාක්ෂිකාරිය එහි අන්තර්ගතය පිළිබඳව නොදන්නා බවට පැහැදිලි සාක්ෂියක් ලබා දුන් බවය. ඇයගේ ආරක්ෂාව සඳහා එම ලියවිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බව ඇය ප්‍රකාශ කළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය සඳහන් කළාය.
08 වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති වුවද මෙම ඉල්ලීමට අවසරය ලබා දුනහොත් එවැනි ඉල්ලීම් අනෙකුත් පාර්ශව වලින් ද කළ හැකි බව සඳහන් කරන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය එවිට නඩු විභාගයේ අවසානයක් දැකීම අසීරු වනු ඇති බවද සඳහන් කළාය .
එසේම මෙම ලේඛනය සඳහන් බව සකස් කළ බව කියන කාන්තාව මෙම නඩුවෙහි 180 වන සාක්ෂිකරු ලෙස ඉදිරියේදී සාක්ෂි විමසීම සඳහා කැඳවීමට අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය.
අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය නියෝගය ලබාදෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ මෙම ලේඛනය සඳහා සදහන් කළේ එම කාන්තාව පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස කැඳවීමට අපේක්ෂා කරන බව පැමිණිල්ල විසින් දැනුම් දී ඇති බැවින් අවශ්‍යතාවයක් තිබේ නම් එම අවස්ථාවේදී හරස් ප්‍රශ්න විමසීමට 08 වන විත්තිකරුගේ නීතිඥවරයාට හැකි බවය .එබැවින් මෙම අවස්ථාවේදී හරස් ප්‍රශ්න විමසීම සඳහා කළ ඉල්ලීමට අවසර ලබාදීමට අවශ්‍යතාවයක් නොමැති බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය. ඒ අනුව නීතිඥවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.
අනතුරුව 12 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ මෙම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බවය.
ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් නැවත ප්‍රශ්න කිරීම නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විසින් සිදු කරන ලදී.

විත්තිය විසින් යොමු කළ හරස් ප්‍රශ්නවලදී මෙම ඖෂධයේ ඉතා හදිසි බවට සඳහන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අදාළ ඖෂධ සම්බන්ධයෙන් ඇගයීම් කරන අවස්ථාවේදී මෙම ඖෂධ තොග පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත්ව සිටියාද යන්න පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළාය. එම තොග සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දුන් තොරතුරු මත තමයි තීරණ වලට එළැඹුණු බව සාක්ෂි කාරිය කියා සිටියාය.
"මෙම ඖෂධය ඇගයීම් කළ කමිටුවේ විශේෂඥ වෛද්‍යවරුන් සිටියාද?"යන්න පිළිබඳව විත්තිය විසින් හරස් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර "එම කමිටුවේ සාමාජිකයන් වූ වෛද්‍ය සුදර්ශන වෛද්‍ය බුත්පිටිය සහ යන නිලධාරීන් ට විශේෂඥ භාවයක් නොමැති බව ප්‍රකාශ කළේ කවර හේතූන් මත දැ?" යි සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළාය.
" කමිටු සාමාජිකයන්ට විශේෂඥ භාවයක් තිබේ නම් ඔවුන්ගේ නමට ඉදිරියෙන් එය සටහන් කරන බවද එවැන්නක් මෙම වෛද්‍ය නිලධාරීන්ගේ නම් ඉදිරියෙන් නොතිබූ නිසා තමන් එලෙස ප්‍රකාශ කළ බවද" සාක්ෂිකාරිය එහිදී ප්‍රකාශ ප්‍රකාශ කළාය. කෙසේ වුවද එම වෛද්‍යවරුන්ට තමන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හොඳ පළපුරුද්දක් සහ අත්දැකීම් තිබූ බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
"ඇගයීම් කිරීම සඳහා ලබාදුන් ඖෂධ සම්බන්ධයෙන් ඇගයීම් කිරීමට නොහැකි බවට ඔවුන් ඇගයීම් කමිටුවේ කටයුතු කිරීමට පෙර සදහනක් කළාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකාරියගේ විමසා සිටි අතර ඇය සඳහන් කළේ එවැනි කිසිවක් ඔවුන් විසින් සඳහන් නොකළ බවය.
සැපයුම්කරුවන්ගේ ලේඛන නොමැති වීම හේතුවෙන් මෙය සිදු කිරීමට නොහැකි බව සඳහන් කළ බව ප්‍රකාශ කල සාක්ෂිකාරිය අයිතම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවූ බව කියා සිටියාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂිකාරිය විසින් ලබා දුන් බව කියන ලේඛනයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය "එම ලේඛනයේ සාක්ෂිකාරියගේ නම තිබෙනවාද?" යනුවෙන් ප්‍රශ්නයක් යොමු කළ අතර ඇය සඳහන් කළේ තමන්ගේ නම එහි සඳහන් නොවන බවය .
කෙසේ වුවද මෙම ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේ මිල සහ කාලය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස වෛද්‍ය සුදර්ශන උපදෙස් දුන් බවට
තමන් විසින් පළමු වරට දුන් කට උත්තරය තහවුරු කිරීම පමණක් අවශ්‍ය වූ නිසා බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.

මෙම කමිටුව සම්බන්ධයෙන් දහවැනි චූදිත ගෙන් දෙවැනි වරට උපදෙස් ගන්නා විට "මිල හා කාලය ගැන සලකා බලා කටයුතු කරන ලෙසත් WOR සම්බන්ධයෙන් කටයුතු කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දී කරන බව ඇමතිවරයා සමග පවත්වන සාකච්ඡාවකින් පසුව දන්වන බවට වන චූදිත ප්‍රකාශ කළ බවට සාක්ෂියක් දිය හැකි දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරයගෙන් විමසීමක් කළ අතර ඇය "එසේය ස්වාමීනී" යනුවෙන් ඊට පිළිතුරු ලබා දුන්නාය.
දහවන චූදිත ගේ නීතිඥවරයා විසින් අධිකරණය හමුවේ ලකුණු කරන ලද ලේඛනය රැස්වීම් සටහන මත ඉදිරිපත් කර හරස් ප්‍රශ්නවල පැහැදිලි කර ගැනීම් කිරීමෙන් ඔබ්බට ගොස් වෙනත් ප්‍රශ්න ඇසීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කටයුතු කිරීම සම්බන්ධයෙන් අටවෙනි චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසුන්දර මහතා විරෝධය පළ කළේය.
ලේඛනයක් ලකුණු කළ පමණින් එහි ඇති සියලු කරුණු පිළිබඳව විමසීමට හරස් ප්‍රශ්නවලදී අවස්ථා නැවත ප්‍රශ්නවලදී අවස්ථාවක් නොමැති බව නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ දහවන විත්තිකරුගේ නීතිඥවරයා විසින් ලකුණු කිරීමකට ලක් කර ඇත්තේ ඔහුගේ විත්තිවාචකය ට අදාළ වන කොටසක් පමණ පමණක් වන බවය. අදාල රැස්වීම පිළිබඳව පැහැදිලි කරගැනීමක් අවශ්‍ය නිසා මෙම ප්‍රශ්න කිරීම් සිදුකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී සඳහන් කර සිටියාය.
මෙම විරෝධතාවය සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කළ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එම ලේඛනය දහවන චූදිත විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයක් වන අතර ඔහුගේ නීතිඥයා විසින් තෝරා ගත් කොටසක් සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවා ඇති බවද නැවත ප්‍රශ්න කිරීම් වලදී එම ලේඛනයේ තවත් කොටස් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමක් සිදු කරන බව පෙනී යන බව සඳහන් කළේය.
එහිදී අලුත් සාක්ෂි මෙහෙයවන බව පෙනී යන අතර හරස් ප්‍රශ්න විමසීමකට යටත්ව එම සාක්‍ෂි මෙහෙයවීමට අවස්ථාව ලබා දෙන බව විනිසුරුවරයා සඳහන් කළේය
ඒ අනුව සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න කිරීම සිදුකරන ලදී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ඔබගේ පත්වීම සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමට බුත්පිටිය මහතාගෙන් විමසීම් කළ බව කිව්වා. එම කාරණය පොලිසියට කිව්වද කියලා හරස් ප්‍රශ්නවලදී ඔබගෙන් විමසුවා. ඔබ ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ එලෙස නොකියූ බවයි. එවැනි පිළිතුරක් ලබා දුන් හේතුව අධිකරණයට පැහැදිලි කරන්න,?
සාක්ෂිකාරිය :
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දීමේදී විස්තරයක් කරන්න කියලා පසුව ප්‍රශ්න ඇහුවා. දළ වශයෙන් තමයි ප්‍රශ්න ඇහුවේ. නමුත් අධිකරණයේදී පියවරෙන් පියවර ඇසුව නිසා ඒ පිළිබඳව කියන්න පුළුවන් උනා
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය:
ඔබට රිටොප්සිමැප් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ දෙක ගැන අවබෝධයක් ලැබුණේ කොහොමද ?
සාක්ෂිකාරිය:
සුදර්ශන, බුත්පිටිය සහ සොලමන්ස් යන අය රිටොප්සිමැප් ඖෂධය සම්බන්ධයෙන් විශේෂයෙන් කිව්වා. ඖෂධ 2 ගැනම ඔවුන් කතා කළ නිසා ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන් වුණා .
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:
මෙම ඖෂධ දෙක සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද ?
සාක්ෂිකාරිය :අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර ගන්න කොට මොකක් හරි වෙලා ඇති කියලා මම හිතුවා .
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :
ඔබට මේ නඩුව ගැන අවබෝධයක් තියෙනවද?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය : පැමිණිල්ලේ නඩුව මොකක්ද කියලා දන්නවද ?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: පැමිණිල්ලේ නඩුව සාක්ෂාත් කරන්න සාක්ෂි දීමට ඔබට දැනීමක් තියෙනවාද?
සාක්ෂිකාරිය :නැත ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය :
ඔබ කළ රාජකාරියෙන් ඔබ්බට ගිහින් පක්ෂපාතීව සාක්ෂි දීමට මේ නඩුවේ සැලකියයුතු කවුරුහරි ඉන්නවද?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනි

හරස් ප්‍රශ්න විමසීම් වලදී රිටොප්සිමැප් ඖෂධය සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ දෙකට සැපයුම්කරු තෝරාගත් නිර්ණායක හා සමාන නිර්ණායක යටතේ තෝරාගත් තවත් ඖෂධ සම්බන්ධයෙන් ලේඛන කිහිපයක් ඉදිරිපත් කරමින් දහවන විත්තිකරුගේ ජනාධිපති නීතිඥවරයා හරස් ප්‍රශ්න විමසීම් සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය නැවත ප්‍රශ්න කිරීම් වලදී සාක්ෂිකාරියගෙන් විමසා විමසීම් කළාය.
එම ඖෂධ දෙක සහ වන විත්තිකරුගේ නීතිඥවරයා විසින් පෙන්වන ලද ඖෂධයන් කිරීම එකම ආකාරයෙන් ඇගයීම් සිදුකළ බවට සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නවලදී පිළිතුරු ලබාදී තිබූ අතර එලෙස පිළිතුරු ලබා දුන්නේ කවර හේතූන් මත දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය.
එසේම එම ඖෂධ දෙකට අමතරව එම නිර්නායක යටතේම ප්‍රදානයන් කළ බවට පෙන්වා දුන් ඖෂධ වෙනත් නිර්ණායකයන් යටතේ සලකා බැලිමකට ලක් කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී පෙන්වා දුන් අතර එවැනි නිර්නායක සලකා බැලීමක් මෙම ඖෂධ දෙක අගය කිරීමේදී සිදු කර නොමැති වීම සම්බන්ධයෙන් සාක්ෂිකාරිය ගෙන් ප්‍රශ්න කර සිට්යාය.
කමිටුවේ සිටි වෛද්‍යවරුන් දෙදෙනා සහ සහකාර අධ්‍යක්ෂවරිය සත්භාවයෙන් දුන් තොරතුරු මත අදාල තීරණ වලට එළඹුණු බව සඳහන් කළ සාක්ෂිකාරිය ඒ සම්බන්ධයෙන් ස්වාධීනව තීරණයකට එළැඹීමට තරම් තමන්ට හැකියාවක් නොතිබූ බව කියා සිටියාය.
අදාල ඖෂධ දෙක සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමේදී ඇගයීම් කමිටුවේදී තමන්ට පිරවීමට තිබූ worksheet එකේ ඇති කරුණු මත ඖෂධ පිළිබඳව සලකා බැලූ බව අදහස් කරමින් "අදාළ ඖෂධයන් දෙක එක සමාන ලෙස පරීක්ෂා කළ බව" තමන් ප්‍රකාශ කළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය .
එහිදී සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා මෙම ඖෂධ "vital category" ලෙස හැඳින්වූයේ කවර හේතුවක් මත ද ? යනුවෙන් විමසීමක් කළේය.
සාක්ෂිකාරිය එහිදී සඳහන් කළේ ඇගයීම් කමිටුවේ සිටි වෛද්‍යවරුන් දෙදෙනා ලබා දුන් උපදෙස් අනුව එලෙස කටයුතු කළ බවය.

අදාල පද්ධති පද්ධතියට පිවිසීම සාක්ෂිකාරියගේ කාර්යාලයේ සිට සහකාර අධ්‍යක්‍ෂකවරිය විසින් සිදුකළ අතර එම තොරතුරු බැලීමේ හැකියාව තමන්ට තිබූ බවට සාක්ෂිකාරිය මීට පෙර හරස් ප්‍රශ්න වලදීත් ලබා දුන් පිළිතුරු සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළාය. "එය බැලීමට හැකියාවක් තිබූ බවට ප්‍රකාශ කළේ කවර හේතු මත දැයි?" ඇය එහිදී ප්‍රශ්න කළාය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ laptop පරිගණකයේ තිරය දෙස බැලීමට තමන්ට හැකියාව තිබූ බවත් ඒ පිළිබඳව සිතා එම පිළිතුරු ලබා දුන් බවත්ය.
අදාළ ඇගයීම් කටයුතු කිරීමේදී පද්ධතියට පිවිස ලබාදුන් තොරතුරු මෙන්ම ආයතන සම්බන්ධ කරගෙන ලබාගත් තොරතුරු ද යොදාගත් බව සාක්‍ෂිකාරිය කියා සිටියාය.
"එම තොරතුරු වලදී NMRA ආයතනය සම්බන්ධ කර ගත්තාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය යොමු කළ ප්‍රශ්නයට සාක්ෂිකාරිය "නැත" යනුවෙන් පිළිතුරක් ලබා දුන්නාය.
"එම ආයතනය සම්බන්ධ කරගත යුතු බවට ඔබට දැනීමක් තිබුණද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර නමවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයවර්ධන එම ප්‍රශ්නයට සිය විරෝධය පළ කළේය .
හරස් ප්‍රශ්න විමසීමේදී NMRA ආයතනය ගැන ප්‍රශ්න කිරීම් සිදු නොකළ අතර හරස් ප්‍රශ්න වලදී යොමු කළ ප්‍රශ්න විසඳා ගැනීමකින් නොනැවතී වෙනත් මානයන් වලට පැමිණිල්ල ගමන් කරන බැවින් ඊට විරෝධය පළ කරන බව නීතිඥවරයා සඳහන් කළේය.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය විසින් මතු කළ එම ප්‍රශ්නය ඉවත් කරන ලෙස නියෝග කළේය .
"ඇගයීම් කමිටුවේදී ලන්සුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ලන්සු ලේඛන බැලීමට සියලුම සාමාජිකයන්ට අවස්ථාව ලැබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය "එලෙස හැකියාව තිබූ බව" සඳහන් කළාය. කෙසේ වුවද එම ඖෂධ නිෂ්පාදනය යන කාරණය සම්බන්ධයෙන් මෙම කමිටුව තුළ සාකච්ඡා නොකළ බව ඇය කියා සිටියාය.
ඇගයීම් කිරීමේදී නිලධාරීන් දුන් තොරතුරු සම්බන්ධයෙන් තමාට පුද්ගලික දැනුමක් නොතිබූ බවද, ඔවුන් සත්භාවයෙන් නිවැරදි තොරතුරු දෙන බවට යන විශ්වාසය මත අදාළ තීරණයන්ට එළඹුණු බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
එහිදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ "ඔබ හැම වෙලාවේ ම අදාළ නිලධාරීන් අදාළ නිලධාරීන් කියලා කියන්නේ ඔබ අදාළ කමිටුවේදී ස්වාධීන මතයක් ගත්තේ නෑ කියන එකද?"
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි, නිලධාරීන් දුන් තොරතුරු අනුව තමයි තීරණ ගත්තේ.
විනිසුරු විරාජ් වීරසූරිය මහතා:
"එම කමිටුවේ සභාපතිනිය නේද? සභාපතිනි ලෙස ඔබ කළ කටයුත්තක් නැද්ද?"
සාක්ෂිකාරිය:
නිලධාරීන් සද්භාවයෙන් කටයුතු කළ බව සහ නිවැරදිව ඔවුන් එම කටයුතු කරනවාද? යන්න බැලීම තමයි සිදු කලේ.
විනිසුරුවරයා:
ඒ ගැන සටහනක් යෙදුවේ නැත්තේ ඇයි ?
සාක්ෂිකාරිය:
එම ඇගයීමේ කටයුතු ඉක්මනින් කරන්න තමයි උත්සාහ කළේ. එක් එක් නිලධාරීන්ට වෙන් වෙන්ව රාජකාරි පවරා තිබුණේ නැහැ.
විනිසුරුවරයා: දහවෙනි චූදිත උපදෙසක් දුන් බව කමිටුවේ අනිත් සාමාජිකයන්ට කිව්වද ?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි
විනිසුරුවරයා: ඒ ගැන සටහනක් තිබ්බේ නැද්ද ?
සාක්ෂිකාරිය: නැත ස්වාමීනි
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: කවුද අදාළ සටහන් ළඟ තබා ගත්තේ ?
සාක්ෂිකාරිය : බුත්පිටිය මහතා ළඟ.
මෙම සංවාදයෙන් අනතුරුව සාක්ෂිකාරිය ගෙන් නැවත ප්‍රශ්න කිරීම් නැවත සිදුකළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සභාපතිනිය ලෙස ඔබට විශේෂ රාජකාරියක් පවරා නොතිබූ බවත් TOR එකක් නොතිබූ බවත් ඔබ ප්‍රකාශ කළා . එලෙස ඔබ සදහන් කළේ කුමක්ද? යනුවෙන් විමසීමක් කළ අතර සාක්ෂිකාරිය ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ TOR ලෙස සඳහන් කළේ Terms of Reference යන්න බවය.

"මේ පිළිබඳව සටහන් තැබුවේ නැත්තේ ඇයි?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ " එවැනි සටහනක් තැබීම අවශ්‍ය බවට මට හැඟී ගියේ නෑ. හදිසිතාවය සහ සද්භාවයෙන් තොරතුරු ලබා දුන්නා යන විශ්වාසය මත එවැනි සටහනක් තැබිය යුතු බවට මම හිතුවේ නෑ."
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එහිදී ප්‍රශ්න කර සිටියේ "තොරතුරු ලෙස හැඳින්වූයේ කුමක්ද?" යන්න පිළිබඳවය .
ඇගයීම් කමිටුවේදී පිරවීමට තිබූ work sheet එකේ තිබුණ තොරතුරු, දත්ත පද්ධතියේ තොරතුරු සහ ආයතන වලින් තබා ගත් තොරතුරු යනාදී සියල්ල තොරතුරු ලෙස තමන් සඳහන් කළ බව සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය.
"මෙම ඇගයීම් කටයුතුවලදී සම්මත ලන්සු ලේඛනයක් ඔබලාට ලබා දුන්නාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අතර එවැනි ලේඛනයක් තමන්ට ලබා නොදුන් බවත් එවැනි ලේඛනයක් භාවිතා කරන්න නොකළේ කවර හේතූන් මත ද යන්න පිළිබඳව යමක් සඳහන් කිරීමට තමන්ට දැනුමක් නොමැති බවත් සාක්ෂිකාරිය කියා සිටියාය. පිළිවිතර සම්බන්ධයෙන් නිලධාරීන් සඳහන් කල කරුණු හැර ස්වාධීනව තමන්ට කිසිවක් සඳහන් කිරීමට දැනුමක් නොමැති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
"මෙම ඇගයීම් කමිටු කටයුතු කිරීමේදී තොග පරීක්ෂාවක් කිරිම කළාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ අවශ්‍ය අවස්ථාවලදී එවැනි තොග පරීක්ෂා කිරීමක් කළ බවය.

එහෙත් එම තොග පරීක්ෂා කිරීමට තමන්ට හැකියාවක් නොතිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය තොරතුරු පද්ධතියට පිවිසීමේ හැකියාව වෛද්‍ය සැපයුම් අංශය නියෝජනය කළ වෛද්‍යවරයාට සහ සහකාර අධ්‍යක්ෂවරිය ට තිබූ අතර ඔවුන් විසින් ලබා දුන් තොරතුරු නිවැරදිව ලබාදුන් බවට වන විශ්වාසය මත අදාල තීරණ ගත් බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
ඒ සමගම එම සාක්ෂිකාරයගෙන් නැවත ප්‍රශ්න කිරීම අවසන් කරන ලදී .
අනතුරුව එම සාක්ෂිකාරිය මුදා හැරීමට අධිකරණය නියෝග කළේය .
අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි මත අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ 201 එක්වන සාක්ෂිකරු ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය වටවල විතාරමලාගේ නලින්ද දර්ශන සිරිසේන මහතා වෙතින් සාක්ෂි විමසීම ඉන් අනතුරුව සිදු කරන ලදී.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෛද්‍යවරයාගේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ "කැලණිය විශ්ව විද්‍යාලයේ මූලික වෛද්‍ය උපාධිය ලබා ගත් තමන් කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් සහ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ්. විශ්වවිද්‍යාලයේ ස්නායු වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥ අධ්‍යාපනය ලැබූ බව"ය.
අනතුරුව" බදුල්ල මහ රෝහල, අනුරාධපුර මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සේවය කළ තමන් මේ වන විට ජාතික රෝහලේ සේවය කරන බව " ඔහු සඳහන් කළේය.
වසර දාහතක පමණ සේවා පළපුරුද්දක් ඇති තමන් රෝගීන් දස දහස් සංඛ්‍යාවකට ප්‍රතිකාර කර තිබෙන බව ඔහු සඳහන් කළේය.

"ස්නායු රෝග යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ මොළයේ සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ස්නායු රෝග ලෙස හඳුන්වන අතර ජීවිත අවදානමක් නොමැති මිග්‍රේන් රෝගී තත්ත්වයේ සිට ජීවිත අවදානමක් ඇති ආගාතය වැනි රෝග තත්ත්වයන් දක්වා ස්නායු රෝග පවතින බවය. ආඝාතය වැනි රෝග තත්ත්වයන් වලදී මරණයෙන් කෙළවර විය හැකි බවද ඔහු සඳහන් කළේය.
ප්‍රතිකාර වලදී තමන් හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය රෝගීන්ට නිර්දේශ කර ඇති බව සඳහන් කළ සාක්ෂිකරු ස්නායු අකර්මණ්‍ය වීම, ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇතිවන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලෙස මෙම ඖෂධය ලබා දෙන බව සඳහන් කළේය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කර සිටියේ මෙය අවදානම් සහිත ඖෂධයක් ද යන්න පිළිබඳවය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ මෙය අධි අවදානම් තත්ත්වයන් සහිත රෝගීන්ට ලබාදෙන අතර ස්නායු අකර්මණ්‍යවීම්වලදී එම තත්ත්වයන් උත්සන්න වීම වැළැක්වීම සඳහා මෙම ඖෂධය ලබා දෙන බව කියා සිටියේය.
"මෙවැනි ඖෂධයක් ගුණාත්මකභාවයෙන් ඉහළ විය යුතුයි නේද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ක් ප්‍රශ්නයක් යොමු කළාය.
"ඕනෑම ඖෂධයක් ගුණාත්මක භාවයෙන් ඉහළ විය යුතු බවත්, මෙය අවධානමකට හෝ අකර්මණ්‍යතාවයක ට හේතුවන රෝගීන්ට ලබා දෙන ඖෂධයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත්" සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
"ඔබ ප්‍රසම්පාදන කටයුතු වලට සම්බන්ධ වී තිබෙනවාද ?' යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරු ගෙන් විමසීමක් කළ අතර ප්‍රසම්පාදන කටයුතුවලදී තාක්ෂණික ඇගයීම් කමිටු සඳහා තමන් සහභාගි වී ඇති බව සඳහන් කළ සාක්ෂිකරු ප්‍රසම්පාදන කටයුත්තක ට අදාළව සිදු කරන තාක්ෂණික ඇගයීම් කමිටු සඳහා නියෝජිතයන් යොමු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ට ඖෂධ සංස්ථාව විසින් ඉල්ලීමක් කළ අතර ඒ අනුව කළ නිර්දේශයක් මත තමන් අදාළ කමිටු සඳහා සාක්ෂිකරු කියා සිටියේය.
එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් වගකීමක් ඇති බවත් රෝගීන් සත්කාරය ගැන වගකීමක් වෛද්‍යවරයා සතු වන බවත් සඳහන් කළ සාක්ෂිකරු තමන් රජයේ රෝහල්වල රාජකාරී කටයුතු සිදු කරන අවස්ථාවලදී ඖෂධ සම්බන්ධයෙන් අඩුපාඩුවක් තිබෙනවා නම් ආයතන ප්‍රධානියා මගින් ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දෙන බව කියා සිටියේය.

"හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් මිල අධික ඖෂධයක් වීමට හේතුවක් තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර "මෙම ඖෂධය ලංකාවේ මිල අධිකම ඖෂධ අතරින් එකක් වන බවද අයවැයෙන් වැඩිම මුදලක් වැය කරන ඖෂධ පහ අතරට මෙම ඖෂධය ද අයත් වන බව" සාක්ෂිකරු කියා සිටියාය
"මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලදී ඖෂධයක ගුණාත්මක භාවය පිළිබඳව වගකීම අයත් වන්නේ කාටද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු "එම වගකීම වෛද්‍යවරුන්ට අයත් වන බව" සඳහන් කළේය . "මෙම ඖෂධ නිෂ්පාදනය කරන නිෂ්පාදක හෝ ආයතනය මොනවාද කියා දන්නවද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර එම ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ වන බවද බොහෝ විට එම අවශ්‍යද ඉන්දියාවේ හෝ යුරෝපා රටක නිෂ්පාදනය කරන බවද සඳහන් කළ සාක්ෂිකරු ඉන්දියාවේ සමාගම් 2 ක් මෙම ඖෂධය නිෂ්පාදනය කරන බවට තමන් දන්නා බව කියා සිටියේය.
තාක්ෂණික ඇගයීම් කමිටුවේදී සලකා බලන කරුණු සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී තවත් ප්‍රශ්නයක් යොමු කළාය.
"එහිදී විවිධ කරුණු බලනවා , දී ඇති සාම්පල් බාහිර පරීක්ෂාවට ලක් කරනවා, NMRA ලියාපදිංචි වී තිබෙන ලියාපදිංචි වී තිබේද, ඖෂධය ලබාදීමට යන කාලය , දැනට පවතින තොග හා ලැබීමට තිබෙන තොග සම්බන්ධයෙන් විමසීමක් කරනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අත්දැකීම් අනුව ඖෂධ ගුණාත්මක සහ ඖෂධයේ ගුණාත්මක භාවය සහ පිළිවිතර සම්බන්ධයෙන් සලකා බලනවා." යැයි සාක්ෂිකරු සඳහන් කළේය.
"තාක්ෂණික ඇගයීම් කමිටු කමිටුවකට ස්නායු විශේෂඥ වෛද්‍යවරයකු පත් කරන්නේ කුමන හේතූන් මතදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයා තමයි ඖෂධ රෝගීන්ට ලබා ගැනීමට නිර්දේශ කරන්නේ. ඊට පෙර එම ඖෂධය භාවිතා කර තිබෙනවාද, ඒ සම්බන්ධයෙන් පැමිණිලි තිබෙනවාද, නිෂ්පාදනය සම්බන්ධයෙන් ගැටලුව තිබෙනවාද, ප්‍රමාණය හෝ සංයුතිය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවාද ,කාලවකවානුව කුමක්ද යනාදී කරුණු සලකා බැලීම විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදුකරනවා. " යැයි සාක්ෂිකරු සඳහන් කළ අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය" NMRA ලියාපදිංචිය තියෙන බව බලනවාද ?" යනුවෙන් විමසීමක් කළාය.
"ඒ අවස්ථාව වන විට ඖෂධ ලියාපදිංචිය සහතිකය නොමැති විය හැකියි, ඇතැම් අවස්ථාවලදී එය කල් ඉකුත් වී අලුත් සහතිකයක් ලබා ගැනීම සඳහා අයදුම් කර තිබිය හැකියි, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමක් කරනවා " යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු පිළිවිතර සමග සැපයුම්කරු ඉදිරිපත් කළ ලන්සුව පරීක්ෂා කරන බව ද මිල යි ඖෂධයේ මිල කාලය සහ තොග සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කරන බවද සඳහන් කළේය .
එහිදී ලියාපදිංචි සහතිකයක් නොමැති නම්, ලියාපදිංචිය වීමේ ක්‍රියාදාමය අනුගමනය කර නොමැති නම්, අඩුම මිල පමණක් සැලකිල්ලට ගෙන නිර්දේශ කිරීම් නොකරන බවද සාක්ෂිකරු සඳහන් කළේය.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය:
ඔබ මේ නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දුන්නද?
සාක්ෂිකරු :ප්‍රකාශයක් ලබා දුන්නා ස්වාමීනි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය:
එහිදී ඔබට ලේඛනයක් පෙන්නුවාද ?
සාක්ෂිකරු: ඒ ගැන මතකයක් තිබෙනවා
එම අවස්ථාවේදී අදාළ ලේඛනය සාක්ෂිකරුවට පෙන්වා සිටි අතර සාක්ෂිකරු විසින් එය හඳුනාගන්නා ලදී.
එහිදී ඔහු "මෙම ලේඛනය හඳුනාගන්න පුළුවන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී මට පෙන්නුවා. මට ඇති අත්දැකීම් සහ පළපුරුද්ද අනුව මේ ලේඛණය පිළිබඳව මට සැකයක් ඇතිවුණා. මෙම ලේඛනයේ ඇති පරස්පරතාවයන් පිළිබඳව සැකයක් ඇති ව නිසා ඒ ගැන විමර්ශන නිලධාරියාට කිව්වා" යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:
මේ ලේඛනයේ තිබෙනවා contract manufacturing යනුවෙන් සඳහනක් එමඟින් අදහස් වන්නේ කුමක්ද?
සාක්ෂිකරු :

ඖෂධ වේදයට අනුව එය සිද්ධාන්තයක් ඖෂධයක් සම්බන්ධයෙන් වන පේටන්ට් බලපත්‍රයක් ඇති නිෂ්පාදන සමාගමක් වියදම අධික වීම හෝ වෙනත් හේතුවක් මත තවත් රටක සමාගමකට එම සංයුතියෙන්ම එම නම යටතේ ඖෂධය සැපයීමට ලබාදීම තමයි එමගින් හඳුන්වන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය,:
ඒ සම්බන්ධයෙන් මෙම ලේඛනයේ පරස්පරතාවයන් තිබෙන බව ඔබ කිව්වේ ඇයි?
සාක්ෂිකරු:
මෙම ලේඛනයේ නිෂ්පාදන සමාගම ලෙස මහාරාෂ්ටවල සමාගමක් සඳහන් වෙනවා ලෙස contract manufacturer ලෙස සඳහන් වන්නේ ලංකාවේ අයිසොලෙස් බයෝ ටෙක් පමා ආයතනය, මෙහිදී සැපයුම්කරු අනවශ්‍ය තොරතුරු ලබාදී තිබුණා මූලද්‍රව්‍ය ගැන. ඖෂධය ඉන්දියාවෙන් නිෂ්පාදනය කරවා ලංකාවේදීත් යමක් කරන බව පැහැදිලි වෙනවා. ඒ ගැන සැකයක් ඇතිවුණා..
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
මෙම ඖෂධය ලංකාවේ නිෂ්පාදනය කර තිබෙනවාද ?
සාක්ෂිකරු:
මගේ දැනීමේ හැටියට නෑ .එය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ සංකීර්ණයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
ඔබේ විශේෂඥ භාවය නොමැතිව එම ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කරන්න සාමාන්‍ය වෛද්‍යවරයෙකුට පුළුවන්ද ?
සාක්ෂිකරු:
ඕනෑම වෛද්‍යවරයෙකුට මේ යම් ඖෂධයක් ගැන ප්‍රමාණාත්මකව දැනුමක් තිබිය යුතුයි. මෙම ඖෂධය ස්නායු රෝග සඳහා භාවිතා කරන බව සාමාන්‍යයෙන් වෛද්‍යවරුන්ට දැනුමක් තිබෙනවා. වෛද්‍ය උපාධිය ලබා ගැනීමේදී සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ඖෂධ සම්බන්ධයෙන් වසර දෙකක අධ්‍යාපනයක් ලබා ගැනීමට සිදුවෙනවා.
"මෙවැනි ජීවිත ආරක්ෂක ඖෂධයක් මිල සහ සැපයීමේ කාලය මත තෝරාගත හැකිද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් මතු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එම කාරණා දෙක පමණ මත පමණක් ම අදාල තෝරා ගැනීම කළ නොහැකි බවය. ඒ සඳහා වෘත්තීය සදාචාරයක් නොමැති බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"ඖෂධය වැඩකරන දින පහක් ඇතුළත හැකිද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර එම කාර්යය ඉතා අසීරු බවත් ඒ සඳහා සැපයුම්කරු ළඟ කලින් රැස් කරගත් තොගයක් තිබිය යුතු බවත් එසේත් නොමැති නම් එම ඖෂධ තොගය ගුවනින් මෙරටට ගෙන ඒමට හැකියාව තිබිය යුතු බවත් සාක්ෂිකරු ට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
තාක්ෂණික ඇගයීම් කමිටුවලදී මිල පිළිබඳව සැලකිලිමත් වන බවද එහිදී ඒ පිළිබඳව කටයුතු කිරීම මුදල් අමාත්‍යාංශයෙන් පත්වන නියෝජිතයා විසින් සලකා බලන බවද සඳහන් කළ සාක්ෂිකරු මෑතකදී ප්‍රසම්පාදන ක්‍රියාවලදී මුදල් පිළිබඳව සැලකිලිමත් නොවන ලෙස මෑතකදී උපදෙස් ලැබුණු බවත් ඊට පෙර ප්‍රසම්පාදන කටයුතු වලදී මිල සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සිය සැලකිල්ල යොමු කළ බවත් සාක්ෂිකාර විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේය .
අනතුරුව ඔහුගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දෙන ලදී .
එහිදී පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා. සාක්ෂිකරුට ප්‍රශ්න කිහිපයක් යොමු කළේය .
හියුමන්ඉමියුනෝග්බියුලින් ඖෂධ ඇගයීම සඳහා සාක්ෂිකරු අවස්ථා කීයක දී සම්බන්ධ වී තිබේදැයි නීතිඥවරයා එහිදී මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ අවස්ථාවන් දහයකට පමණ තමන් සහභාගිවී ඇති බවය.
"ඔබ කිව්වා මෙම ඖෂධයේ නිෂ්පාදන ක්‍රියාවල ඉතාම සංකීර්ණයි කියල නිෂ්පාදන ක්‍රියාවලියට ඔබ සහභාගි වෙලා තියෙනවද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ "මම සහභාගිවී නැත්තේ නැහැ. ඒත් ඒ සංකීර්ණ ක්‍රියාවලියක් බව දන්නවා ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ ආයතන පහක් පමණයි ඇත්තේ. යුරෝපා රටවලත් සීමිත ප්‍රමාණයක් තමයි තිබෙන්නේ."
නීතිඥවරයා : ඔබ එවැනි ආයතනයකට සහභාගී වී තිබෙනවාද ?.
සාක්ෂිකරු :
බොහෝ කලකට පෙර ඉන්දියාවේ ඇති reliance Life science ආයතනයට ගොස් තිබෙනවා .
නීතිඥවරයා:
නිෂ්පාදන ක්‍රියාවලිය දන්නවාද ?
සාක්ෂිකරු:
පැහැදිලි දැනුමක් නෑ යම් සංකීර්ණ ක්‍රියාවලියක් තිබෙනවා.
නීතිඥවරයා: එහිදී තාක්ෂණික ක්‍රියාවලිය තුළ නිර්මාණාත්මක ක්‍රියාවලියක් සිදුවන බව දන්නවාද ?
සාක්ෂිකරු : නිර්මාණාත්මක ක්‍රියාවලියක් වන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ

නීතිඥවරයා: හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය නිෂ්පාදනය කරන්නේ මානව ප්‍රතිදේහවලින් එම ඖෂධය කෘතිමව නිෂ්පාදනය කරන බව දන්නවාද ?
සාක්ෂිකරු :
ඒ ගැන දන්නේ නෑ. එසේ විය හැකි යි.
එම ඖෂධ නිෂ්පාදනයට ගතවන කාලය සම්බන්ධයෙන් තමාට දැනීමක් නොමැති බවත් එම ඖෂධය දින පහක් ඇතුළත නිෂ්පාදනය කර නොහැකි බවට ප්‍රකාශ කළේ තමන් සතු වෛද්‍ය විද්‍යාත්මක දැනුම මත පදනම්ව බවද සාක්ෂිකරු කියා සිටියේය.
2018 වසරේ සිට 2023 දක්වා තමන් තාක්ෂණික ඇගයීම් කටයුතුවලට සහභාගි වී ඇති බවත් එම ඖෂධය ලබාගැනීම හේතුවෙන් සංකූලතා ඇතිවූ පුද්ගලයන් සිය වෘත්තිය ජීවිතය තුළ බොහෝ සෙයින් හමුවී ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය.
රෝගියාගේ ස්වභාවය අනුව ඕනෑම ඖෂධයකින් රෝගියෙකුට සංකූලතා ඇතිවිය හැකි බව සඳහන් කළ සාක්ෂිකරු පැරසිටමෝල් පෙත්ත හේතුවෙන් වුවද ආසාත්මිකතා ඇතිවන රෝගීන් සිටින බව ප්‍රකාශ කළේය.
කෙසේ වුවද ඖෂධයක් ලබාදීමෙන් අනතුරුව එම ඖෂධය නිසාම සංකූලතා ඇති වන්නේ ද යන්න පිළිබඳව හඳුනාගත හැකි අතර අදාළ ඖෂධය ලබාදුන් විගස ඇතිවන සංකූලතා එම ඖෂධ නිසා හේතුවෙන් ඇතිවන බවට නිගමනය කළ හැකි බවද සාක්ෂිකරු සඳහන් කළේය.

කෙසේ වුවද ඇල්කොහොල් භාවිතා කර ඇති අවස්ථාවක එවැනි ආසාත්මිකතා ඇතිවන බව තමන් නොසිතන බව ප්‍රකාශ කළ සාක්ෂිකරු දැඩි ලෙස ඇල්කොහොල් භාවිතා කිරීම හේතුවෙන් අක්මාවට හානි වී තිබෙන අවස්ථාවක එවැනි සංකූලතාවයන් ඇතිවිය හැකි බවද සඳහන් කළේය.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය භාවිතය නිසා රෝගීන් විසි හතක් මියගිය බවට තමන්ට දැනුමක් නොමැති බව සඳහන් කළ සාක්ෂිකරු එම ඖෂධය හේතුවෙන් වසර කිහිපයකට පෙර ලංකාවේ ඒඩ්ස් රෝගීන් හැට හතරක් වාර්තා වූ බවට පැවසෙන කරුණ සම්බන්ධයෙන් යම් මතකයක් තමන්ට ඇති බව සඳහන් කළේය .
එහෙත් එම ඖෂධය කුමන ආයතනයක් විසින් ආනයනය කළාද, එම ආනයනය සිදුකළ කාලසීමාව පිළිබඳව තමන්ට පැහැදිලි මතකයක් නොමැති බවද සාක්ෂිකරු කියා සිටියේය.
ඉන්දියාවේ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළ අවස්ථාවේදී එය විශාල කර්මාන්ත ශාලාවක් වන අතර යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් තිබූ බවද ඒ හේතුවෙන්ම අදාල ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා විශාල පියවර ගණනාවක් ගතයුතු බව පැහැදිලි වන බවද සාක්ෂිකරු කියා සිටියේය .
මෙම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුට හරස් ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.
ඖෂධයේ ස්වභාවය සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටි නීතිඥවරයා "තාක්ෂණික ඇගයීම් කමිටුවකදී එලෙස එවැනි ඖෂධයක් පරීක්ෂා කිරීමට හැකියාවක් තිබෙනවාද ?"
යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.
එවැනි රසායනාගාර පරීක්ෂාවන් සිදුකළ නොහැකි බවද ලංකාව තුළ එවැනි පහසුකමක් නොමැති බවද සාක්ෂිකරු කියා සිටියේය .
යම් රෝගියකු සඳහා වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ඖෂධ ලබා දීම රෝහල් කාර්ය මණ්ඩලය විසින් සිදු කරන බව සාක්ෂිකරු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය .
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය හෝ වෙනත් ඖෂධයක් භාවිතා කිරීමෙන් රෝගීන්ට ආසාදනයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන බවය .
2023 වසරේදී ඖෂධ සඳහා තාක්ෂණික ඇගයීම් කටයුතු සිදුකරන විට වෛද්‍ය සැපයුම් අංශයේ කපිල වික්‍රමනායක මහතා සිටින බවට ඇති දැන සිටියාද ? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් දැනුවත් භාවයක් ඇති බවය .
"ඔහු ඔබ හඳුනනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් ශිෂ්‍යයකු ව සිටින කාලයේ සිටම ඔහුව හඳුන්වන බවය. ඔහු විදේශගත වූ බව දන්නා නමුත් එම කාල වකවානු හෝ විදේශ ගත වීමේ හේතුවක් පිළිබඳව තමන් නොදන්නා බවද සාක්ෂිකරු කියා සිටියේය.
අනතුරුව මෙම නඩුවේ හය වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම නීතිඥ නුවන් ජයවර්ධන මහතා විසින් සිදු කරන ලදි.
"සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිබඳව ඔබ දැනුවත්ද?" යනුවෙන් නීතිඥවරයා එහිදී ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එවැනි මාර්ගෝපදේශක් ඇති බව දන්නා නමුත් සියයට සීයක් ඒ පිළිබඳව දැනුමක් තමන්ට නොමැති බවය.
"කොවිඩ් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සම්බන්ධයෙන් දැනුවත් වීමක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ යම් පමණක දැනුමක් ඒ සම්බන්ධයෙන් තියෙන බවය.

එවැනි ප්‍රසම්පාදන කටයුතු වලට තමන් සහභාගි වී නොමැති බවද එය තමන්ගේ විෂය පථයට අයත් නොවන බවද සඳහන් කළ සාක්ෂිකරු තාක්ෂණික ඇගයීම් කමිටුවලට පත්වීම් ලිපි ලබාදෙන්නේ සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාගේ බලය ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් බවට ප්‍රකාශ කළේය.
"ඔබ කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවර ප්‍රසම්පාදන වලට අදාළව තාක්ෂණික ඇගයීම් කමිටුවල නේද,?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු ඊට එකඟතාවය පළ කළාය කළේය.
එම පත් කිරීම් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් සිදුකරන බවට තමන්ට අවබෝධයක් නොමැති බවද හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය
සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් යම් අවබෝධයක් තිබූ බවත් ඒ වන විට රටේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ කිහිපයක දැඩි හිඟයක් තිබූ බවත් සඳහන් කළ සාක්ෂිකරු තමන් උතුරු කොළඹ රෝහලේ සේවය කරන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් ලැබූ බවද සඳහන් කළේය.
එම ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස මෙන්ම විශේෂඥ ස්නායු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළ සාක්ෂිකරු එම ආයතනය නියෝජනය කරමින් තමන් මාධ්‍ය සාකච්ඡාවන් දෙකකට සහභාගි වී ඇති බව සඳහන් කළේය.
ප්‍රශ්න ගත බව කියන ඖෂධය සම්බන්ධයෙන් ඇති වූ සංකූලතා පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු සංගම් හතරක් සම්බන්ධ වී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
කෙසේ වුවද පැවති ඖෂධ හිඟය හේතුවෙන් අභිලාෂ කැඳවීමේ ක්‍රමය අනුව ඖෂධ ලබාගැනීමට කටයුතු කළ බවක් පිළිබඳව තමන්ට දැනුමක් නොමැති බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
WOR සහතික නිකුත් කිරීමේ ක්‍රමවේදය සංකීර්ණ වන බව සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය 2022 වසරේ දෙසැම්බර් මස අවසන් වීමට නියමිතව තිබූ බව දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ කිරීමක් ලබාගත් බවට තමන්ට දැනුමක් ඇති බවය.
කෙසේ වුවද කාල වකවානු සම්බන්ධයෙන් තමාට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකියාව ද ඔහු සඳහන් කළේය.
තාක්ෂණික ඇගයීම් කමිටුවක දී එක් වරකට එක් ඖෂධයක් පමණක් ඇගයීම් කළ හැකි බව සඳහන් කර සාක්ෂිකරු එකවර ඖෂධ 150ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇගයීම් කළ නොහැකි බවද සඳහන් කළේය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව 09 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
සාක්ෂිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කිරිම සම්බන්ධයෙන් එහිදී කරුණු විමසීමක් කළ අතර 2018 වසරේ සිට තාක්ෂණික ඇගයීම් කමිටුවලට සහභාගී වන බවට එහිදී ප්‍රකාශ කර නොතිබීම සම්බන්ධයෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් කරුණු විමසා සිටියේය.
එලෙස 2028 වසරේ සිට ඇගයීම් කමිටුවලට සහභාගි වන බව අපරාධ පරීක්ෂණයන් දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් නොකිරීම ඌනතාවයක් ලෙස නීතිඥවරයා අධිකරණයේ අවධානයට ලක් කළේය.
සාක්ෂිකරුට තාක්ෂණික ඇගයීම් කමිටුව සඳහා පත්වීම ලබාදෙමින් නිකුත් කර ලිපි සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ මෙම අවස්ථාවේදී එම ලිපි තමන් සතුව නොමැති බව ය.
4,5,7,8,10,12 යන විත්තිකරුවන් වෙනුවෙන් මෙම සාක්ෂිකරුවන් හරස් ප්‍රශ්න විමසීමක් නොකරන බව නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කිරීම් සිදු කළාය
ඉන්පසුව සාක්ෂි විමසීම අවසන් කරන ලදි.
ඊළඟට කැඳවන කැඳවනු ලබන සාක්ෂිකරු කවුරුන්ද යන්න පිළිබඳව විත්ති පාර්ශ්වයෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු ලබාදීමක් සිදු නොවිණි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

