leader s

පවතින තත්ත්වයන් යටතේ රජයට අපහසුවක් නොවන පරිදි බෙහෙත් ලබා ගැනීමේ සහ මහජනතාවට අපහසුවකින් තොරව ඖෂධ ලබා දීමේ අරමුණින් සෞඛ්‍යය අංශයේ හදිසි ප්‍රසම්පාදන කටයුතු සිදුකළ අතර එහිදී මහජන යහපත සඳහා සෑම පියවරක්ම ගත් බව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දෙමින් සුසන්ත අතුල කුමාර මහතා මේ බව සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.

එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ගේ මෙහෙයවීමෙන් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා සාක්ෂි ලබාදීම සිදු කළේය.

 


2007 වසරේ ජූනි මාසයේ සිට මුදල් අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස පත් වූ බව ඔහු සඳහන් කළේය. අදාළ තනතුරු සඳහා සුදුසුකම් සපුරා තිබූ අතර ඊට අයදුම් කිරීමෙන් අනතුරුව තනතුරට පත්වූ තමන් අවුරුදු දාහතක් පමණ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ සේවය කරන බව සාක්ෂිකරු කියා සිටියේය .

එම දෙපාර්තමේන්තුවේ කර්තව්‍යයන් අතරට රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල සහ රජයේ කොටස් සහිත සමාගම් අධීක්ෂණය කිරීම සිදුකරන බව සඳහන් කළ සාක්ෂිකරු එවැනි ආයතන පනස් දෙකක් පමණ ඇති බව සඳහන් කළේය .

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජිතයා ලෙස ප්‍රසම්පාදන කමිටුවල සාමාජිකයෙකු ලෙස තමා බොහෝ අවස්ථාවලදී කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළේය .

2018 හෝ 2019 වසරේදී මුලින්ම ප්‍රසම්පාදන කමිටුවක ට සහභාගී වූ බවද එහිදී කැලණි පාලම සවිකිරීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.

රසම්පාදන කමිටුවලදී  තමන්ට ප්‍රධාන වගකීමක් නොතිබුණු අතර භාණ්ඩාගාර නියෝජිතයා ලෙස කටයුතු කළ බවද කමිටුව විසින් සාමූහික තීරණ ගත් බවද එහිදී කමිටුවක් ලෙස සාමූහික වගකීමකට යටත් වන බවද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශ නියෝජිතයකු ලෙස ස්ථාවර සම්පාදන කමිටුවල සහ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවල කටයුතු කර ඇති බව සඳහන් කළ සාක්ෂිකරු තාක්ෂණික ඇගයුම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම ප්‍රසම්පාදන කමිටුවල තීරණ ගැනීම් සිදුවන බව සඳහන් කළේය.

 


"එලෙස තාක්ෂණික ඇගයීම් කමිටුවේ තීරණ මත පදනම්ව තිරණ ගැනීමට හේතුවක් තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කර සිටියේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සිටින නිලධාරීන්ට තාක්ෂණික දැනුමක් නොමැති බැවින් තාක්ෂණික ඇගයීම් කමිටුවේ තීරණ පිළිගැනීම ට සිදුවන බවය.

ප්‍රසම්පාදන කමිටුවට මුදල් අමාත්‍යාංශ නියෝජිතයකු පත් කරන්නේ අදාළ මිලදී ගැනීම ගැනීම සඳහා වෙන් කළ ප්‍රතිපාදන යටතේ අදාල මිලදී ගැනීම් සිදුකළ හැකිද යන්න පිළිබඳව සලකා බැලීමේ අරමුණක් ඇතිව බවද  තීරණ ගැනීමේදී මුදල් අමාත්‍යාංශ නියෝජිතයාට ද සාමූහික වගකීමක් ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.

"ඔබ කැබිනට් මණ්ඩලය නොවන ප්‍රසම්පාදන කමිටු හැර වෙනත් ප්‍රසම්පාදන කමිටුවල හිටියාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ජනරාල් විමසා සිටි අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවක කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.

2019 වසරේ දී පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවක කටයුතු කළ බව කියා සිටි සාක්ෂිකරු 2018 වසරෙදි ඖෂධ මිලදී ගැනීමේ කමිටුවක සහ 2021 වසරේදී කොවිඩ් හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බව සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශය විසින් නම් කිරීමෙන් අනතුරුව තමන්ව අදාළ කමිටුව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කළ අතර එම කමිටුවෙහි සභාපතිවරයා ලෙස  සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වූ රත්නායක මහතා කටයුතු කළ බවද  ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ මහතා කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.

එම කමිටුවෙහි සභාපතිවරයා වූ රත්නායක මහතා වෛද්‍යවරයකු වන අතර ඔහු මෙම අධිකරණයේ මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස අධිකරණ ශාලාව තුළ සිටින බව ප්‍රකාශ කළ සාක්ෂිකරු 7 වන විත්තිකරු හඳුනා ගත්තේය.

 


"කොවිඩ් හදිසි ප්‍රසම්පාදන කටයුතු කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ කවුරුන්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කර සිටියේ වෛද්‍ය රත්නායක මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර කොවිඩ් වලට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් එහි දී කටයුතු කළ බවය.

ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් මාර්ගෝපදේශ තිබෙන අතර තමන්ට ඒ පිළිබඳව අවබෝධයක් තිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය. 2021 වසරේදී එම කමිටුව 30-40 වතාවක් පමණ  රැස්වූ බව වැඩිදුරටත් සාක්ෂිකරු සඳහන් කර සිටියේය.

"එම කමිටුවට අදාළව තවත් තවත් කමිටු තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු කියා සිටියේ තාක්ෂණික ඇගයීම් කමිටුව තිබුණු බවත් එහි නිර්දේශයන් මත ප්‍රසම්පාදන තීරණ ගනු ලැබූ බවත්ය.

එම තාක්ෂණික ඇගයීම් කමිටුවේ පරිපාලන නිලධාරීවරයෙකු  සභාපතිත්වය දැරූ අතර වෛද්‍යවරුන් සාමාජිකයන් ලෙස සිටි බව සාක්ෂිකරු කියා සිටියේය.

"රත්නායක මහතා අමාත්‍යාංශ ප්‍රසම්පාදන කටයුතු කරන විට එහි සම්බන්ධීකරණ කටයුතු කළේ කවුද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කළේ වෛද්‍ය ජයනාත් මහතා විසින් එම සම්බන්ධීකරණ කටයුතු කළ බවය. අදාළ රැස්වීම පැවැත්වෙන දිනය වේලාව සහ ස්ථානය පිළිබඳව දැනුම් දෙමින් ඔහු එම සම්බන්ධීකරණ කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය. එහිදී බොහෝවිට දුරකථනය මගින් එම සම්බන්ධීකරණ කටයුතු සිදු කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

 

bid0wq93rw

"මෙම වෛද්‍ය උපකරණ මිලදී ගැනීම් වලට අදාළ ප්‍රසම්පාදන කටයුතු කළේ සිදු කළේ කෙසේද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය  ප්‍රශ්නයක් යොමු කළ අතර අදාල දැන්වීම පුවත්පත්වල පළ කිරීමක් නොකළ අතර විද්‍යුත්  ක්‍රමයට ලන්සු කැඳවීමක් කළ බවද ජයනාත් බුත්පිටිය මහතා සහ රත්නායක  මහතා මැදිහත් වී මිලදී ගත යුතු දේ පිළිබඳව කමිටුව දැනුවත් කළ බවද සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය .

"කමිටු සාමාජිකයන් රැස්වූ විට ඔවුන්ට පැවරෙන වගකීම කුමක්දැයි?" නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කර සිටියේ අදාළ තොරතුරු සොයා බැලීම නිලධාරීන් විසින් සිදු සිදුකළ යුතු බවය .

එහිදී ජයනාත් මහතා විසින් අදාළ තොරතුරු ලබාදුන් අතර ඒ අනුව සාකච්ඡා කිරීමෙන් අනතුරුව කමිටුව විසින් තීරණයක් ගනු ලැබූ බව ද සාක්ෂිකරු සඳහන් කළේ ය.

 

Health facilities in Pakistan Free medicines stock at drug store for the patients in district headquarters hospital (DHQ) Kasur.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:
ඔබ කොවිඩ හදිසි ප්‍රසම්පාදන කමිටුව 30-40 වතාවක් රැස්වූ බව  ප්‍රකාශ කළා .ඊට අමතරව තවත් ප්‍රසම්පාදන කටයුතුවලට ඔබ සම්බන්ධ වී සිටියාද?

සාක්ෂි කරු:
එහෙම මතකයක් නෑ .

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදනයකට සම්බන්ධ වී සිටියාද ?

සාක්ෂිකරු.: සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව විසින් 2018 -2019 කාලයේ සිදුකළ ප්‍රසම්පාදනයකට සම්බන්ධ වී සිටියා. අනතුරුව එම ප්‍රසම්පාදනය දීර්ඝ කළා පසුව ඊට සම්බන්ධ වී සිටියා. සෞඛ්‍ය අංශය හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වුණා. එහි නම වෙනස් වුනාට එකම ක්‍රියාවලිය තමයි තිබුණේ .එම ප්‍රසම්පාදන ක්‍රියාවලි යත් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ත් එකම වගේ ක්‍රියාත්මක වුණා.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: සෞඛ්‍ය අංශය හදිසි ප්‍රසම්පාදන කමිටුවට ඔබ සම්බන්ධ වුණේ  කොහොමද ?

සාක්ෂිකරු : අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් මා යෝජනා කර තිබුණා. එම පත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදු කළා.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: එම කමිටුවේ සාමාජිකයන් ලෙස සිටියේ කවුද ?

සාක්ෂිකරු: සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රගුප්ත මහතා සභාපතිවරයා ලෙස හිටියා. මමත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ මහතාත් එහි සාමාජිකයන් ලෙස කටයුතු කළා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
චන්ද්‍රගුප්ත මහතාව ඔබ දැක තිබෙනවාද ?

සාක්ෂිකරු:
 ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ඔහු දැක්කොත් ඔබට හඳුනා ගන්න පුළුවන්ද ?

සාක්ෂිකරු:
හඳුනාගත හැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
මේ අධිකරණයේ කොතැනක හෝ සිටිනවාද බලන්න.

මෙම අවස්ථාවේදී සිය අසුනින් නැගී සිටි සාක්ෂිකරු විත්තිකරුවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය අංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අධිකරණ ශාලාවේ විත්තිකරුවන් අතර සිටින බවට හඳුනා ගැනීමක් කළේය.

 

1721793410 health ministry L
"සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ පළමු වරට සේවය කළේ කවදා ද?" යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කර සිටියේ දිනය පිළිබඳව තමන්ට නිවැරදි මතකයක් නොමැති නමුත් මුස්ලිම් ජාතික මහත්මයෙකු යටතේ පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වූ බවය.

එහිදී බෙහෙත් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇගයීම් කළ අතර මුස්ලිම් ජාතික මහතා නවාවි මහතා ලෙස තමන්ට මතක ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.

බොහෝවිට කමිටු සම්බන්ධීකරණ කටයුතු දුරකථන මාර්ගය ඔස්සේ සිදු කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

"නවාවි මහතා කටයුතු කළ කමිටුවේ සමන් රත්නායක මහතා හෝ බුත්පිටිය මහතා සිටියාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ ඔවුන් දෙදෙනා එම කමිටුවේ නොසිටි බවය.

එම කමිටුවට සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් හැර  වෛද්‍ය සැපයුම් අංශයේ සාමාජිකයකු ඖෂධ සංස්ථාවේ සාමාජිකයකු සහභාගී වූ බවද ඔවුන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ බව ද සාක්ෂිකරු කියා සිටියේය.

එම කමිටු සටහන් ලෙස අධිකරණය හමුවේ ලකුණු කර ඇති ලේඛනය සාක්ෂිකරු විසින් හඳුනා ගැනීමක් කළ අතර එය නවාවි මහතා යටතේ සිදුකළ ප්‍රසම්පාදන  කටයුත්තක් බව ට සාක්ෂිකරු කියා සිටියේය.

 

Folder of files with hammer on table
එහි සාමාජිකයන් තිදෙනෙකුගේ නම් සඳහන් වන අතර  චන්ද්‍රගුප්ත මහතා සභාපතිවරයා ලෙසද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ මහතා ගේ නම ද එහි සඳහන් වන බව සාක්ෂිකරු  ප්‍රකාශ කළේය.

ප්‍රසම්පාදන කමිටු තීරණ ගැනීමේ දී තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ලබාදෙන නිර්දේශ මත පදනම්ව කටයුතු කරන අදාළ "බිඩින් ඩොකියුමන්ට්" හෝ ලේඛන එකින් එක පෙරළා බැලීමක් සිදු නොකරන බවද සාක්ෂිකරු සඳහන් කළේය .

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය එසේ කිරීමට හේතු විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ පවතින කාර්ය බහුලත්වය මත තමන්ට එලෙස ලේඛන බැලීම සඳහා විශාල කාලයක් ගත කිරීමට නොහැකි අතර පැය දෙකක් තුනක් අතර කාලයකදී මෙම කටයුත්ත අවසන් කළ යුතු බවය.

එසේම ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන්ට  තාක්ෂණික දැනුමක් නොමැති බව සඳහන් කළ සාක්ෂිකරු තාක්ෂණික ඇගයුම් කමිටුවේ නිර්දේශ එවැනි තාක්ෂණික දැනුමක් සහිත නිලධාරීන් විසින් ලබාදෙන නිසා එය මත පදනම්ව තීරණ ගන්නා බව සඳහන් කළේය.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:
තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාව කොහොමද කමිටු තීරණයකට පාදක කරගන්නේ?

සාක්ෂිකරු: එහිදී ඖෂධය ගුණාත්මක භාවය පළමුව සලකා බලනවා. ඉක්මනින්ම ඖෂධය ලබා  දීමේ හැකියාව සහ මිල සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා . NMRA  සහතිකය ඇති අයගෙන් ලන්සු කැඳවීමට තමයි තීරණය කරලා තිබුණේ .

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය :ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සම්බන්ධයෙන් සලකා බැලීමට තාක්ෂණික ඥානයක් කමිටුවට තිබෙනවාද ?

සාක්ෂිකරු:  නෑ ඒ සම්බන්ධව ඇගයීම් කරන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින්. මීට පෙර කරන ලද සැපයුම් සම්බන්ධයෙන් එහිදී සලකා බලනවා .

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
තාක්ෂණික ඇගයීම් කමිටුවේ තීරණ ප්‍රසම්පාදන කමිටුව විසින් වෙනස් කරන අවස්ථා තිබෙනවාද ?

සාක්ෂිකරු : තියෙන්න පුළුවන්. යම් ඖෂධයක් ලබා ගැනීමට නිර්දේශ කර තියෙන අවස්ථාව වන විට ලැබීමට තිබූ තොග ලැබීමක් සිදුවී තිබෙන අවස්ථාවක එම ප්‍රසම්පාදනය නොකර සිටීමට පුළුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ලබා ගන්නා ඖෂධ ප්‍රමාණය ගැන නිර්දේශ වෙනස් වෙනවද ?

සාක්ෂිකරු :
සමහර අවස්ථාවලදී සම්පූර්ණ ප්‍රමාණයම ලබා ගැනීමට තීරණය කරනවා සැපයුම්කරු  එකඟ වන ප්‍රමාණයකට වඩා ලබා ගත යුතු බවට කමිටුව තීරණය කළ කළ විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟත්වයකට එනවා .

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
එවැන්නක් සඳහා නීත්‍යානුකූල බලයක් තියෙනවද ?

සාක්ෂිකරු:
එසේය ස්වාමීනී .

ඖෂධයක් සඳහා ඉහළ මිලක් ලබාදී ඇති අවස්ථාවක මිල සම්බන්ධයෙන් negotiation එකක් ඇතිකර ගත  හැකි බව සාක්ෂිකරු කියා සිටියේය.

 

d3463
එහිදී දී සැපයුම්කරුවන් කැඳවා සාකච්ඡා කරන අවස්ථා මෙන්ම දුරකථනයෙන් ඔවුන් සමඟ සාකච්ඡා කරන අවස්ථා ඇති බවද එවැනි එකඟතාවයකට පැමිණි විට ඒ පිළිබඳව ඊළඟ අවස්ථාවක එම එකඟතාවය ලිඛිතව ලබාදෙන ලෙස සැපයුම්කරුවන්ට දැනුම් දෙන බවද සාක්ෂිකරු කියා සිටියේ ය.

නවාවි මහතා සමග සිදුකළ ප්‍රසම්පාදන කටයුතු වලදී අදාළ  ලන්සු ලේඛන පරිශීලනය කිරීමට හැකියාව තිබූ බවත්, එම ප්‍රසම්පාදන ක්‍රියාවලියට සමාන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කොවිඩ් හදිසි මිලදී ගැනීම් සම්බන්ධයෙන් වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අනුගමනය කළ බවත් සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේය.

"නවාවි මහතා සහභාගී වූ ප්‍රසම්පාදන කමිටුව හැරුණු විට වෙනත් ප්‍රසම්පාදන කමිටුවලට ඔබ සහභාගි වී තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරු ගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ  2022 වසරේදී සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන  කටයුත්තක ට තමන් සහභාගී වූ බවය.

එහිදී කමිටුව අවස්ථා තුන හතරකදී පැවැත්වූ බවද ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති අතර ඒ සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු  වෛද්‍ය ජයනාත් මහතා විසින් සිදුකළ බවද  ඔහු සඳහන් කළේය.

වෛද්‍ය ජයනාත් මහතා සමග දීර්ඝ කාලයක් කටයුතු කිරීමෙන් ඔහු සම්බන්ධයෙන් විශ්වාසදායී සම්බන්ධයක් ගොඩනැගී තිබුණා. යනුවෙන් සාක්ෂිකරු එහිදී විශේෂයෙන් සඳහන් කළේය.

 

mmeetingy456y

වෛද්‍ය රත්නායක මහතා ද එම කමිටුව රැස්වූ අවස්ථාවේ සිටි අතර ජයනාත් මහතා සහ රත්නායක මහතා එකම අංශයේ කටයුතු කළ බවද කියා සිටි සාක්ෂිකරු  එම ප්‍රසම්පාදන කමිටුවට දුරකථන මාර්ගයෙන් තමන්ව කැඳවීමෙන් අනතුරුව ඊට සහභාගී වූ බව ප්‍රකාශ කළේය.

එහි සභාපතිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා  සිටි අතර සරත් ලියනගේ , වෛද්‍ය ජයනාත් ,වෛද්‍ය රත්නායක එහි සිටි බවද නවාවි මහතා එහි සිටියාද යන්න පිළිබඳව තමන්ට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද සඳහන් කළේය.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය :එම කමිටුව රැස් වුණේ ඇයි කියලා දන්නවද ?

සාක්ෂිකරු :
"එතනට ගියාට පසුව චන්ද්‍රගුප්ත මහතා සහ රත්නායක මහතා ඒ පිළිබඳව විස්තරයක් කළා. කැබිනට් අනුමැතියක් ලබාදී තිබෙන බවත් කිව්වා. ඖෂධ stock zero වී තිබෙනවා, ඉක්මනින්ම මිළදී ගත යුතු බවට ඔවුන් එහිදී සඳහන් කළා. එහිදී EOI කෝල් කරලා ගන්න බව කිව්වා "

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :ඔබ මීට පෙර කමිටු ගණනාවක කටයුතු කළ බව  කිව්වා EOI යටතේ සිදු කළ ප්‍රසම්පාදනයකට දායක වෙලා තියෙනවාද?

සාක්ෂිකරු:
මෙය EOI ලෙස නම් කරලා තිබුණට ප්‍රොකියුමන්ට් එකක තියෙන සියලු ගුණාංග තිබුණා. ඖෂධ ප්‍රමාණය, ගතවන කාලය, මිල යනාදිය සම්බන්ධයෙන් එහි සඳහන්ව තිබුණා. තරගකාරී මිල ගණන් කැඳවා තිබුණා. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේත් වෙනත් ඒවා ගෙත් නම් වල තිබුන වෙනස මිස වෙනත් වෙනසක් තිබ්බේ නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: ඔබ බිඩින් ඩොකියුමන්ට් දැක්කද ?

සාක්ෂිකරු: නැහැ .

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලන්සු දැන්වීම දැක්කද ?

සාක්ෂිකරු: නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: එම ලේඛන දකින්නේ නැතුව මීට පෙර පැවති ප්‍රසම්පාදන අනුවම මෙය පැවති බව කියන්නේ කොහොමද ?

සාක්ෂිකරු: ඒ සම්බන්ධයෙන් ටෙලිෆෝන් මගින් අපව දැනුවත් කරලා තිබුණා. මෙම කමිටුව දහවෙනි මාසයේ රැස්වුණු බව මතකයි. දිනයක් හරියට මතක නෑ, තාක්ෂණික කමිටු සාමාජිකයන් එහි සිටියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඊට අමතරව කවුද හිටියේ ?

සාක්ෂිකරු: කවුරුන් හෝ හිටියා මට හරියට මතක නැහැ.

එහිදී ඇගයීමට ලක් කළ කරුණු පිළිබඳව අත් අකුරෙන් ලියූ සටහනක් අපැහැදිලි ලෙස තිබූ බවද ඒවා නිවැරදි ලෙස සකස් කොට නැවත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බව කියා සිටි සාක්ෂිකරු  අදාළ කමිටු රැස්වීමේදී නිලධාරීන් අසුන්ගත් ආකාරය සම්බන්ධයෙන්ද විස්තරයක් කළේය.

 

folders
අතින් ලියූ ලේඛනය අපැහැදිලිව තිබුණ තිබූ බැවින් එය කියවීමට නොහැකි  බව සඳහන් කළ සාක්‍ෂිකරු බුත්පිටිය මහතා විසින් එහි තිබී කරුණු පැහැදිලි කළ බවද කියා සිටියේය.

එදින ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණයක් නොගත් අතර "එහිදී බෙහෙත් එකසිය දෙසීය ගානක් වගේ තිබුණා. තොග zero ලෙස පවතින බවත් , මෙම මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය  ගත් බවත් ඇමතිවරයා සමග පැවති රැස්වීමේදී මෙම කරුණු ප්‍රකාශ කළ බවත් එහිදී සඳහන් කළා. Procurement system එකට මෙම ඖෂධ මිලදී ගන්න ලොකු කාලයක් යන බව කිව්වා" යනුවෙන් සාක්ෂිකරු සඳහන්  කළේය .

"මෙම ඖෂධ හදිසියේ මිලදී ගන්නේ ඇයි? කියලා ඇහුවහම තමයි එම පැහැදිලි කිරීම කළේ, ඉන්දියානු ණයයෝජනා ක්‍රමයේ සල්ලි ඉතිරි වෙලා තියෙනවා, එම මුදල් දෙසැම්බර් 31 ට පෙර ගත්තේ නැත්නම් ගන්න බෑ, ඒ නිසා එම මුදල් භාවිතා කර මෙම ඖෂධ මිලදී ගන්නා බව තමයි කිව්වේ" යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.

ඉන් දින හතර පහකට පසුව නැවත කමිටුව රැස්වූ බවද ඊට සක්‍රීය දායකත්වය ජයනාත් මහතා විසින් ලබාදුන් බව සඳහන් කළ සාක්ෂිකරු සැපයුම්කරුවන් සමග negotiation කිරීම සම්බන්ධයෙන් එහිදී  අවධානය යොමු කළ බව සඳහන් කළේය .

"එහිදී සියලුම අයිතම සම්බන්ධයෙන් තෝරා ගැනීමක් කළාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අසා සිටි අතර " ඖෂධ ලොකු ගණනක් තිබුණා ,එකසිය හෝ දෙසිය ගණනක් ඩොක්ටර් ජයනාත් තමයි ඒ බව කිව්වේ, ඔහු කලින් ඉඳලා වැඩ කරලා විශ්වාසයක් තිබුණා. ඔහුගේ අතේ තිබෙන ලේඛණයේ විස්තර තමයි කිව්වේ" යනුවෙන් සාක්ෂිකරු පිළිතුරක් ලබා දුන්නේය.

අතින් ලියූ ලේඛනය නැවත යතුරු ලියනය කර දුන් පසු ඒ පිළිබඳව සසඳා බැලීමක් කමිටු සාමාජිකයින් විසින් සිදු නොකළ අතර පෙරලා බැලීමක් පමණක් සිදු කළ බව සඳහන් කළ සාක්ෂිකරු ඒ සම්බන්ධයෙන් සියලු කරුණු ජයලත් මහතා විසින් ප්‍රකාශ කළ බව කියා සිටියේය .

අදාළ ලේඛන සැසඳීමේ අවශ්‍යතාවයක් මතු නොවූ අතර  දීර්ඝ කාලයක් ජයනාත් මහතා සමග වැඩ කිරීමෙන් ලැබූ අත්දැකීම් මත ඔහු කියූ තොරතුරු අනුව ඒ පිළිබඳව දැනුම්වත් වූ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

 

GettyImages 939030682 4 1280x854
වෛද්‍යවරයෙකු වූ ජයනාත් මහතා ප්‍රකාශ කළ කරුණු කමිටු තීරණයට පාදක වූ අතර ඔහු ප්‍රසම්පාදන කටයුතු රැසක් කර ඇති බැවින් ඒ පිළිබඳව විශ්වාසයක් ඇතිව තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
එහිදී මිල negotiation කළේ කොහොමද?

සාක්ෂිකරු :
එහිදී සැපයුම්කරුවන්ට එන්න කියලා කිව්වා. සමහර අය ආවා, අනිත් අය සමග දුරකථනයෙන් කතා කළා. එහිදී ලබා දිය හැකි මිල සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණියා. එම එකඟතාවය  ඊළඟ අවස්ථාවේදී ලිඛිතව ලබා දෙන ලෙස ඔවුන්ට දැනුම් දුන්නා ."

සැපයුම්කරු සමග negotiation එකක් ඇතිකරගත් අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අදාල ප්‍රසම්පාදන කමිටු ලේඛණයේ සටහන් කර ඇති බව සටහන් පරීක්ෂා කර බලමින් සාක්ෂිකරු කියා සිටියේය.

තාක්ෂණික ඇගයුම් කමිටුව විසින් කර තිබූ නිර්දේශ ඇතැම් අවස්ථාවලදී  ප්‍රසම්පාදන කමිටුව විසින් වෙනස් කිරීමකට ලක් කර අතර මාසයක කාලයක් සඳහා ලබාදිය හැකි තොග මාස තුනක කාලයක් සඳහා ලබා ගැනීමට කටයුතු කිරීම එවැනි අවස්ථාවක් බව සාක්ෂිකරු පෙන්වා දුන්නේය.
කෙටි කාලයක් තුළදී නැවත එම ඖෂධය ම මිලදී ගැනීමක් සිදුකිරීම වැළැක්වීම සඳහා එලෙස කටයුතු කළ බව ඔහු කියා සිටියේය

වෙනත් කරුණු ගැන ද වෛද්‍ය ජයනාත් මහතා විසින් කරුණු පැහැදිලි කිරීම් කළ අතර අදාළ ඖෂධය කුමන රෝගයක් සඳහා භාවිතා කරන්නේද යන්න පිළිබඳව කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමක් නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය .

මෙම ප්‍රසම්පාදන කටයුත්ත සිදු කරන්නේ කවර හේතුවක් මත ද යන්න පිළිබඳව ජයනාත් මහතා විසින් පැහැදිලි කිරීමක් කළ අතර ඔහු විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු මත පදනම්ව කමිටු තීරණය ගත් බව සාක්ෂිකරු සඳහන් කළේය .

 

signed in seconds

මෙලෙස සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව ඔක්තෝම්බර් මස 13, 18,25 යන දිනවලදී රැස්වූ බව සඳහන් කළ සාක්ෂිකරු එම දින තුනේ දීම ගත් කමිටු තීරණයන් වලට එකම අවස්ථාවකදී කාර්යාලයේදී අත්සන් තැබූ බවත්, එම ලේඛන ජයනාත් මහතා විසින් තම කාර්යාලයට රැගෙන ආ බවත් තමන් එහි අත්සන් තබන අවස්ථාව වන විට විට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඊට අත්සන් තබා තිබූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

"එම කමිටුවේ හැඳින්වීම සකස් කිරීමට ඔබ දායක වුනාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "නැහැ කමිටු තීරණ ගැනීමට පමණයි දායක වුණේ, කමිටු නිර්දේශයන් ගැන තමයි රාජකාරිමය ලෙස වගකීම තිබුණේ ,මේ කමිටුව පත්කර තිබුණේ පවතින තත්ත්වයන් යටතේ රජයට අපහසුවක් නොවන පරිදි බෙහෙත් ලබා ගැනීම සඳහායි. මහජනතාවට අපහසුවක් නැතුව ඖෂධ ලබා දීමේ අරමුණින්, මහජන යහපත සඳහා තමයි සෑම පියවරක්ම ගත්තේ" යනුවෙන් සාක්ෂිකරු දීර්ඝ විස්තරයක් කළේය.

අදාළ ප්‍රසම්පාදන කමිටු රැස්වීමේදී title of the procurement යන මාතෘකාව සම්බන්ධයෙන් අවබෝධයක් නොතිබූ අතර අදාළ මිලදී ගැනීම ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ සිදු කළ බව දැන සිටි බවද ඒ පිළිබඳව මුල් අවස්ථා මුල් දිනයේදී දැනුම් දීමක් කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.

එම ඇගයීම් කටයුතු සිදුකිරීමේදී ඖෂධ ලැයිස්තුවක් නොලැබුණු අතර EOI දැන්වීම ද නොලැබුණු බව බව සඳහන් කළ සාක්ෂිකරු මෙම ප්‍රසම්පාදනය කැබිනට් මණ්ඩල තීරණයක් මත සිදුකරන බව ප්‍රකාශ කිරීම නිසා අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳව බැලීමට අවශ්‍යතාවයක් කමිටු සාමාජිකයන්ට නොතිබූ බව කියා සිටියේය.

"නම වෙනස් වුණාට පරණ ක්‍රමයම තමයි මෙහි තිබුණේ. අලුත් ක්‍රමයක් කීවාට පරණ දේම තමයි වුණේ" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.

මෙම ප්‍රසම්පාදන කමිටු රැස්වීමට අදාල කමිටු මිනිට් සටහන් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය එම සටහන සැකසීම තමන් හෝ කමිටු සාමාජිකයන් විසින් සිදු කළේ ද යන්න පිළිබඳව  සාක්ෂිකරු ගෙන් විමසීමක්  කළාය 

 

8BFC2F2F C291 890F 3046F5853AAE87F6
ඔහු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ තමන් හෝ කමිටු සාමාජිකයන් එම මිනිට් සටහන සැකසීම සිදු නොකළ අතර එය වෛද්‍ය ජයනාත් විසින් සකස් කර කමිටුවට ඉදිරිපත් කළ බවය.

"ලියාපදිංචිය බැහැර කිරීමේ සහතික පත් ලබා ගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාවකදී එම සහතිකය ලබා ගැනීම සඳහා වෙනස් ක්‍රමයක් භාවිතා කරන බව දන්නවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු එවැන්නක් පිළිබඳව නොදන්නා බව සඳහන් කළේය.

direct purchasing පිළිබඳව තමන්ට පුද්ගලික අවබෝධයක් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.

ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

 

image 57b44ac72b

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද න
ඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් දඛ ඉදිරිපත් කර ඇත.

අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

 

 

whatsapp 202507155

නවතම පුවත්