leader s

"ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු කළ යුත්තේ රජයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම ද ? නැතහොත් වෙනත් අය ගැන විශ්වාසය තබා කටයුතු කිරීමද?" යනුවෙන් මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා ගෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී ප්‍රශ්න කර සිටියේය.


ලේඛන පරීක්ෂා කර බැලීමෙන් තොරව නිලධාරින් ගැන තිබූ විශ්වාසය මත සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටු තීරණ වලට අත්සන් තැබූ බවට   ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි දෙමින් කිහිප වරක් ඔහු පැවසූ අවස්ථාවේදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා මෙම ප්‍රශ්න කිරීම කළේය .

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ 205 වන සාක්ෂිකරු ලෙස මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා  දෙවන දිනටත් සාක්ෂි ලබා දුන්නේ ය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.

 

court 222
එහිදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ගේ මෙහෙයවීමෙන් සාක්ෂිකරු සාක්ෂි ලබාදීම සිදු කළේය.

"2001 වසරේ ඔක්තෝබර් මාසයේ දී EOI සම්බන්ධයෙන් වන රාජකාරී අවසන් කිරීමෙන් පසුව 2023 වසරේදී සැපයුම්කරුවන් සමග negotiation කළේ කවර නිර්ණායක මතදැ"යි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී සාක්ෂිකරුගෙන් විමසීමක් කළා ය.

"තෝරා ගත් සැපයුම්කරුවන් විසින් සපයා නැති අත්‍යවශ්‍ය ඖෂධ ඉතා හදිසියි යන පදනම මත  EOI යටතේ අනෙක් සැපයුම්කරුවන් සලකා බලා  ඔවුන් ට ප්‍රදානයන් ලබා දීමට එහිදී තීරණය කළ බව" සාක්ෂිකරු සඳහන් කළේය.

මුල් අවස්ථාවේදී මිල සහ කාලය පිළිබඳව සැලකිලිමත් වුවද පසුව NMRA ලියාපදිංචිය ඇති සැපයුම්කරුවන් සහ පෙර සැපයුම්කරුවන් සම්බන්ධයෙන් එහිදී සලකා බැලූ බව ඔහු සඳහන් කළේය.

අදාළ ඖෂධ ඒ වන විට සපයා නැති බවට පරීක්ෂා කර බැලීමට ලේඛන ඉදිරිපත් නොකළද වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බවද ඒ අනුව තීරණ වලට එළැඹුණු බව ද සාක්ෂිකරු කියා සිටියේය.

එසේම  සැපයුම්කරුගේ ලියාපදිංචි සහතිකය තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව කමිටුව විසින් සහ බැලීමක් නොකළ බවද  ඇතැම් සැපයුම්කරුවන්ගේ ලියාපදිංචි සහතික කල් ඉකුත් වී ඇති බවට වෛද්‍ය ජයනාත් විසින් ලබා දුන් තොරතුරු මත පදනම්ව ඇතැම් තීරණ වලට එළැඹුණු බවද සාක්ෂිකරු සඳහන් කළේය.

එහිදී සැපයුම්කරුවන් තෝරා ගැනීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීමක් කමිටුවට නොතිබූ අතර  ප්‍රසම්පාදන අස්ථිතිය වශයෙන් කටයුතු කළ ආයතනයට ඒ සඳහා වගකීම තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.


"එදින ඖෂධ 17කට අදාළව ප්‍රසම්පාදන තීරණ ගනු ලැබුවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ කමිටුවේදී ඒ පිළිබඳව සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් සටහන් කර ගැනීම වෛද්‍ය බුත්පිටිය විසින් සිදුකර කළ බවය.

 

signed in seconds
අනතුරුව තීරණ වලට සාමාජිකයන් වෙන් වෙන් වශයෙන් පසුව අත්සන් කළ අතර අවස්ථා කිහිපයකදී තමන් ඖෂධ දහය පහළොව බැගින්  වූ ලේඛනවලට අත්සන් තැබූ බව සාක්ෂිකරු කියා සිටියේය.

මෙම අවස්ථාවේදී අදාළ ප්‍රසම්පාදන කමිටුවේ දී සලකා බැලූ ඖෂධ සම්බන්ධයෙන් වන ලේඛනයට අවධානය යොමු කරමින් එම ඖෂධය  ඒ ඒ සැපයුම්කරුවන්ට පිරිනැමීමට ගත් තීරණ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියාය.

දෙවැනි අවස්ථාවේදී ඖෂධ 136ක් ගැන අවධානය යොමු වූ  නමුත් සංක්ෂිප්ත වාර්තාවක් එහිදී ඉදිරිපත් නොකළ අතර බුත්පිටිය මහතා සටහන් කර ගැනීමෙන් අනතුරුව පසුව යතුරු ලියනය කරන ලද ලේඛණය ලැබුණු  පසු තමන් ඊට අත්සන් තැබූ බවද සාක්ෂිකරු කියා සිටියේය.

එහෙත් එහිදී ලේඛන පරීක්ෂා කර බැලීමක් සිදුවූ නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය.

"විශාල ලේඛනයක් සම්බන්ධයෙන් ප්‍රශ්න නොකර අත්සන් කිරීමට හේතුව කුමක්ද?" යනුවෙන් විනිසුරු සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී විමසීමක් කළේය.

folders
සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේ  ස්වාමීනී " බුත්පිටිය මහතා සමඟ 2021 වසරේ සිට දීර්ඝ කාලයක් වැඩ කළා ප්‍රසම්පාදන ගණනාවක වැඩ කළා . ඔහු ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඊට පෙර ඇති වුණේ නෑ. ඔහු සෑම විටම නිවැරදි තොරතුරු ලබා දුන් බවට විශ්වාස කළා. ඒ අනුව තමයි අත්සන් කළේ "යනුවෙන් පිළිතුරු ලබා දුන්නේය.

සභාපති විනිසුරුවරයා:
මේ තොරතුරු හරිද ?

සාක්ෂිකරු:
නෑ ස්වාමීනී මෙම තොරතුරු වැරදියි.
මට මේ  ගැන අවබෝධයක් නෑ. මගේ විෂය පථයට අයත් දෙයක් නෙමෙයි සටහන වැරදි බව තමයි මට පේන්නේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය:
මේ ලේඛනය අත්සන් කරන විට කමිටුව ගත් තීරණ ගැන සංඛ්‍යාත්මක මතකයක් ඔබට නැද්ද ?

සාක්ෂිකරු: නෑ ස්වාමීනි ,විශ්වාසය මත තමයි අත්සන් කළේ. 2021 සිටම ඔහු සමග වැඩ කළා පැවති කාර්යබහුලත්වය මත කරුණ සොයන්න වෙලාවක් තිබුණේ නැහැ, ඔහු  වැරදි තොරතුරු දුන් බවට නිරීක්‍ෂණය වී නෑ .ඒ මත තමයි අත්සන් කළේ .

සභාපති විනිසුරුවරයා:

default ප්‍රමාණය එකසිය තිස් හයයි කියන එක හරිද? ඒ සම්බන්ධයෙන් එහි සඳහන් වන්නේ සලකා බැලූ ටෙන්ඩර් ප්‍රමාණයද ?

සාක්ෂිකරු :
ස්වාමීනි එකසිය අසූ ගණනක් award කළා . එකසිය තිස් ගණනක් සප්ලයි නොකළ බව දැනගෙන හිටියේ නෑ. 2023 පැවති වෙනත් ප්‍රසම්පාදන කමිටුවක දී බුත්පිටිය මහතා විසින් දැනුම් දුන්නා ඖෂධ 136ක් සපයා නොමැති බවට. ඔහු ඒ සම්බන්ධයෙන් විස්තර කළා .

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය :

ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් ඒකකයෙන් දැන්වීමක් කර තිබුණද?

සාක්ෂිකරු :
නෑ ස්වාමීනී, එවැනි දැන්වීමක් කර තිබුණේ නෑ. අදාළ තීරණ ගත්තේ ඩොක්ටර් ජයනාත් පැවසූ කරුණු මත තමයි. මෙම කරුණු පිළිබඳව බලන්න තාක්ෂණික දැනුමක් මට තිබුණේ නෑ අනිත් නිලධාරීන් දෙදෙනාටත් තිබුණේ නෑ.

මෙහිදී අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අවස්ථා කිහිපයකදී අනුමත කරන ලද ඖෂධ 17ක්,2ක්,4ක් සැපයුම්කරුවන්ට පිරිනැමීමට තීරණය කළ ලේඛන වලට අත්සන් තැබීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කර සිටි අතර සාක්‍ෂිකරු සඳහන් කර සිටියේ එම ලේඛන වලට තමන්ගේ කාර්යාලයේදී අත්සන් තැබූ බවත් ඒ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එහි අත්සන් තබා තිබූ බවත්ය.

ඒ සමගම පැමිණිල්ල වෙනුවෙන් මූලික සාක්ෂි විමසීම අවසන් කරන ලදී.

 


අනතුරුව මෙම නඩුවේ පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.

"මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ මිල කේවල් කිරීමක් පිළිබඳව මූලික සාක්ෂි විභාගයේදී සඳහන් කළේ ඖෂධ මිල සම්බන්ධයෙන් දැනුවත් වීමක් සහිතව ද?" යන්න පිළිබඳව එහිදී නීතිඥවරයා විමසා සිටියේය

ඇගයීම් කමිටුවේ නිර්දේශ මත එම කටයුතු සිදුකළ අතර කේවල් කිරීම් වලදී එකඟ වූ කරුණු ලිඛිතව ලබාදෙන ලෙස අදාළ සමාගම්වලට උපදෙස් දුන් බව සාක්ෂිකරු අදාළ සමාගම් තමන් නොහඳුනන බවද එම දැනුම්දීම  බොහෝ විට දුරකථන මාර්ගයෙන් සිදුකළ බවද කියා සිටියේය.

එසේම ඒ ඒ සමාගම් වලට ලබාදුන් මුදල සම්බන්ධයෙන් මතකයක් නොමැති බවද, වෛද්‍ය ජයනාත් විසින් ඉදිරිපත් කළ කරුණු මත අදාළ තීරණ ගත් බවද සඳහන් කළ සාක්ෂිකරු ඇතිකරගත් එකඟතාවයන් සම්බන්ධයෙන් හෙට හෝ අනිද්දා ලිඛිතව ලබාදෙන ලෙස  එදින එම සමාගම්වලට දැනුම් දුන් බවද කියා සිටියේය .

"ඔබ එම එකඟතාවයන් දැකලා තිබෙනවාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර  තමන් එවැන්නක් දැක නැති බව සාක්ෂිකරු කියා සිටියේය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හෝ වෙනත් මූල්‍ය ප්‍රතිපාදනයක් යටතේ අදාළ මිලදී ගැනීම් කිරීමේ හැකියාවක් තිබූ බව පෙන්වා දුන් නීතිඥවරයා "එම තෝරාගත් සැපයුම්කරුවන්ට ගෙවීම් කළ ආකාරය පිළිබඳව ඔබ දන්නවාද?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය .

 

d56868678

සාක්ෂිකරු එහිදී සඳහන් කළේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගෙවීම් නොකළ අතර සැපයුම්කරු විසින් අදාළ මුදල් ගෙවා  එම භාණ්ඩ වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමෙන් අනතුරුව එම අංශය විසින් අදාළ ගෙවීම් කිරීමට කටයුතු කරන බවය.

නීතිඥවරයා: ඔබට අයි සී එල් ගැන හෝ කොන්දේසි ගැන දැනුවත්භවයක් තියෙනවාද?

සාක්ෂිකරු: නැත ස්වාමීනි

නීතිඥවරයා. ඒ යටතේ මුදල් කොපමණ කාලයකට ලබාදී තිබුණේද යන්න පිළිබඳව දන්නවාද ?

සාක්ෂිකරු: නැත ස්වාමීනි

නීතිඥවරයා: කොපමණ මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තිබුණාද කියලා දන්නවද? ඉතිරිවෙලා තිබූ ප්‍රමාණය කොපමණද කියලා දන්නවද ?

සාක්ෂිකරු: නෑ ස්වාමීනී, ඒ වන විට මුදල් වෙන්කර තිබූ බව දැන ගත්තා .ඒ පිළිබඳව අමාත්‍යංශ ලේකම්ගෙන් අහලා බැලුවා .

නීතිඥවරයා: අදාළ ඖෂධය සැපයිය හැකි කාලසීමාව පිළිබඳව සැපයුම්කරු විසින් දැනුවත් කිරීමක්  කර ඇති විට මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් මොකක්ද බලාපොරොත්තු වුණේ ?

 සාක්ෂිකරු: කාල සීමාව පිළිබඳව විශේෂයෙන් සැලකීමක් කළේ නෑ.

"ඔබ අපේක්ෂා කරන කාලයට එම භාණ්ඩ සැපයුම්කරුට දෙන්න බැරිනම්  ඇති කරගන්නා negotiation එකේ ප්‍රතිඵලයක් තිබෙනවාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එවිට එහි ප්‍රතිඵලයක් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.

"කොරෝනා කාලයේ පැවැති ඇන්ටිජන් කට්ටල ගෙන ඒමේ ප්‍රසම්පාදන කමිටුවට ඔබ සහභාගි වුණාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ "ප්‍රසම්පාදන කටයුතු ගොඩකට සහභාගි වුණා. එහෙම එකකට ඉන්න ඇති. මට කතා කළාම මම ඒවාට යනවා. ඇන්ටිජන් ද නැද්ද කියලා මට මතක නෑ" යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කර සිටියේය.

ඒ සමගම පළවෙනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ අතර දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුට ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.

 

iStock 806901640 740x440 1
"2022 ප්‍රසම්පාදන සම්බන්ධයෙන් කටයුතු කරද්දී රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස වසර තිහකට ත් අධික සේවා පළපුරුද්දක් ඇති නිලධාරියකු ලෙස මුදල් සම්බන්ධයෙන් විශාල අවබෝධයක් තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා එහිදී විමසීමක් කළේය .

"ඔව්, මට මූල්‍ය කටයුතු ගැන අවබෝධයක් තිබෙනවා. වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කරනවා." යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය .
කෙසේ වුවද  ප්‍රසම්පාදන කටයුතු වලට අඩුවෙන්ම සහභාගි වි ඒ ඇති රාජ්‍ය නිලධාරියා තමන් විය හැකි බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය.

"ප්‍රසම්පාදන කටයුතු වලදී ප්‍රසම්පාදන මූලධර්ම මාර්ගෝපදේශයන්ට යටත්ව නිත්‍යානූකූලව නේද කටයුතු කරන්නේ?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ තමන් ප්‍රසම්පාදන කමිටුවක සභාපතිවරයා නොවන අතර ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් හෝ ලබාගෙන නොමැති බවය ."කැඳවීමක් කළාම ගිහින් ඒ කටයුතු කරනවා" යැයි සාක්ෂිකරු කියා සිටියේය.

මෙම ප්‍රසම්පාදන කටයුතු සියල්ල සෞඛ්‍ය අංශය හදිසි මිලදී ගැනීම් ප්‍රසම්පාදන කටයුතු මාර්ගෝපදේශ වලට අනුව සිදුකළ අතර  නිර්දේශයන් ට අත්සන් තැබීමේ බලය කමිටු සාමාජිකයන්ට පමණක් ඇති අතර  තමන් ඊට පස්සේ අත්සන් තැබූ බව සාක්ෂිකරු කියා සිටියේය.

"2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිදු කළ ප්‍රසම්පාදනය සිදු කළේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ නේද?" යනුවෙන් නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ප්‍රසම්පාදන නියාමන හා සැපයම් අංශය විසින් ම එම කටයුත්ත සිදුකළ බවය.

 

1721793410 health ministry L 1
"මෙම ප්‍රසම්පාදන කටයුත්ත වෛද්‍ය සැපයුම් ඒකකයෙන් නොව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ බවට යෝජනා කරන බව"   නීතිඥවරයා
සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඇත්ත වශයෙන්ම එය අමාත්‍යශය විසින් එය සිදුකළ අතර ඊට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සභාපති ලෙස අත්සන් තැබූ බව"ය.

"ශ්‍රී ලංකාවේ ඖෂධ සම්බන්ධයෙන් ගුණාත්මක වගකීමක් NMRA ආයතනය සතු වන බව ද තමන්ට ඒ පිළිබඳව දැනීමක් ඇති බවද" නීතිඥවරයා මතුකළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය.

"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් වෙනුවට ඉන්දියානු රුපියල් වලින් ගෙවීම් සිදුකරන බව දැන සිටියාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී තමන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.

"සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටු තීරණ වලට ඇති අත්සන් වලට ඉහළින් මෙම මිලදී ගැනීම් ඉන්දියානු ණයයෝජනා ක්‍රමය හෝ වෙනත් අරමුදල් වලින් සිදුකළ හැකි බවට සඳහන් වෙලා තියෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු පවසා සිටියේ එවැනි සඳහනක් ඇති බවය.

"2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍ය සැපයුම් ඒකකයට නිල වශයෙන් දැනුදීමක් කළ බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර  සාක්‍ෂිකරු කියා සිටියේ එවැනි දැනුවත් වීමක් නොමැති බවය

එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව තුන්වෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ  ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකරුට ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.

"ඔබ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කටයුතු කළ නිසා  ප්‍රසම්පාදන කමිටුවට ඔබව පත් කළා කිව්වොත් පිළිගන්නවද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු  " ඒ සම්බන්ධයෙන් මට දැනුමක් නැහැ. පත්වීමක් ලබාදීලා තිබුනා .සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් හිටියා. මම සාමාජිකයෙක් බව දන්නවා" යනුවෙන් ඊට පිළිතුරු ලබා දන්නේය.

 

image 57b44ac72b

තමන් මීට පෙර කොවිඩ් හදිසි  මිලදී ගැනීම් සඳහා වූ ප්‍රසම්පාදන කමිටුවේ කටයුතු කළ බවත් , එහි මාර්ගෝපදේශ සහ මෙම සෞඛ්‍ය අංශයේ හදිසි මිලදී ගැනීම් වලට අදාළ ප්‍රසම්පාදන කමිටුවට නිකුත් කර තිබූ මාර්ගෝපදේශ  සමාන බව ප්‍රකාශ කළ සාක්ෂිකරු එහි ලේකම්වරුන් දෙදෙනෙක් අත්සන් කර තිබීම හැර අන්තර්ගතය සමාන වන බව සඳහන් කළේය .


නීතිඥවරයා:
මෙම ප්‍රසම්පාදන කමිටුවට මූල්‍ය සීමාවක් තිබුනෙ නෑ නේද ?

සාක්ෂිකරු :
වටිනාකම නොසලකා කටයුතු කරන්න කියලා තමයි තිබුණේ .

නීතිඥවරයා: තාක්ෂණික ඇගයීම් කමිටුවක් අවශ්‍ය නෑ කියලත් තිබෙනවා.

සාක්ෂිකරු:.අවශ්‍ය නම් පත් කරන්න පුළුවන් නොකර ඉන්නත් පුළුවන් .

නීතිඥවරයා:
මේ  කමිටුවට අදාළව තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කර තිබුණෙ නෑ නේද ?

සාක්ෂිකරු :
EOI ඇගයීම සඳහා වූ කමිටුවක් පත් කර තිබුණා. එහි නම කෙසේ වෙතත් කමිටුවක් තිබුණා සෞඛ්‍ය ලේකම් විසින් පත්කිරීම් කර තිබුණා .


"ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2023 /12/05 දින ප්‍රකාශයක් ලබා දුන්නාද?"  යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ ප්‍රකාශයක් ලබාදුන් නමුත් තමන්ට දිනය මතක් කර නැති බවය. තාක්ෂණික ඇගයීම් කමිටුවක් විසින් පූර්ණ ඇගයීමක් නොකළ බව එහිදී තමන් ප්‍රකාශ කළ බවක් තමන්ගේ මතකයේ ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.

 

Medicine

මෙම ඖෂධ සැපයුම්කරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව අවසානාත්මක තීරණය ගන්නා බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළ සාක්ෂිකරු  ඇගයීම් කමිටුව විසින් සිදුකළ නිර්දේශ  වෙනස් කළ බවද කියා සිටියේය. එවැනි අවස්ථාවකදී එහි අඩුපාඩු තිබෙනවාද, මිල වෙනස්වීම් තිබෙනවාද, යන්න පිළිබඳව සැලකීමක් කර ඇගයීම් කමිටුවේ තීරණ වෙනස් කිරීමකට ලක් කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.

සැපයුම්කරුවන් සමග මිල කේවල් කිරීම ඇගයීම් කමිටුවේ නිර්දේශ මත සිදු කළ බව සාක්ෂිකරු එහිදී හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

එම විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම අවසන් කිරීමෙන් අනතුරුව මෙම නඩුවේ හතර සහ පස්වන විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව ඔවුන්ගේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

ඉන් අනතුරුව මෙම නඩුවේ 06 වන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.

 


තමන් රාජ්‍ය පරිපාලන උපාධියක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇති බවද, පසුව විගණකාධිපති කාර්යාලයේ කටයුතු කළ බවද, සඳහන් කළ සාක්ෂිකරු මහවැලි අමාත්‍යාංශයේ සේවය කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර  දෙපාර්තමේන්තුවට  පත්වූ අතර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක,  අධ්‍යක්ෂක සහ අතිරේක අධ්‍යක්ෂක  ජෙනරාල් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 2020-20 25 අතර කාලයේදී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ බව සාක්ෂිකරු එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළේය

"වසර තිස් පහකට ආසන්න කාලයක් රාජ්‍ය සේවයේ නියුතු ඔබ සෞඛ්‍ය අංශයේ හදිසි මිලදී ගැනීම් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ගැන දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකරු එම මාර්ගෝපදේශ පිළිබඳව දන්නා බව ප්‍රකාශ කළේය .

"එම මාර්ගෝපදේශ සකස්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් බව ද එම මාර්ගෝපදේශ වල සඳහන් පරිදි ඔබව  පත්කළේ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයා ලෙස බව දන්නවාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර  පත්වීම කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, නිර්දේශ කළේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින්" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.

"මෙවැනි විශේෂ  කමිටුවක් සඳහා තමන් නිර්දේශ කිරීමට පදනම කුමක්ද?" යන්න පිළිබඳව තමන් නොදන්නා අතර පැවරුණ කාර්යය නියමාකාරයෙන් ඉටුකළ බව ද එම කමිටුවේ රාජකාරී කළ නොහැකි බවට ප්‍රකාශ කිරීමක් හෝ ඉල්ලා අස්වීම ක් සිදු නොකළ බවද සාක්ෂිකාරු නීතිඥවරයා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

කැබිනට් මණ්ඩල  ස්ථිර ප්‍රසම්පාදන කමිටුවක සාමාජිකයන් පත් කරන්නේ රාජ්‍ය  මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් බවට තමන්ට අවබෝධයක් ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් ඇති බව තමන් නොදන්නා බව සඳහන් කළ සාක්ෂිකරු ඒ පිළිබඳව අසා ඇතිමුත් නීත්‍යානුකූල දැනීමක් නොමැති බව සඳහන් කළේය .

සෞඛ්‍ය අංශයේ හදිසි මිලදී ගැනීම් වලට අදාළ ප්‍රසම්පාදන කමිටුව 2022 ඔක්තෝම්බර් මස 13,18,25  වැනි දින රැස්වූ බව මූලික සාක්ෂියේදී කළ ප්‍රකාශය නිවැරදි බව සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය .එම පත්වීම කරන විට මාර්ගෝපදේශ ලැබී තිබූ බව ද 2022 ඔක්තෝම්බර් 13 පැවති රැස්වීමට සහභාගි වීමට මාස හතරකට පෙර අදාළ මාර්ගෝපදේශ තමන්ට ලැබී තිබූ බව සඳහන් කළේය.

එම මාර්ගෝපදේශ තමන් කියවා බැලූ බව සඳහන් කළ සාක්ෂිකරු ප්‍රසම්පාදන කමිටුවේ ප්‍රසම්පාදන අස්ථිතිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කළ බව සඳහන් කළේය.

එම ප්‍රසම්පාදන කමිටුව විසින් ගනු ලැබූ තීරණ වලට අදාළ ලේඛනයේ නම් දොළහක් සඳහන් වන බව පෙන්වා දුන් නීතිඥවරයා "එහි ඔබේ අත්සන තිබෙනවාද ?"යනුවෙන් සාක්ෂිකරු ගෙන් විමසා සිටි අතර තමන්ගේ අත්සන එහි ඇති බව සාක්ෂිකරු කියා සිටියේය

නීතිඥ නුවන් ජයවර්ධන මහතා  :සාක්ෂිකරු අධිකරණයට කියන්න ඔබ අත්සන යෙදුවේ මොන පදනමින්ද?

සාක්ෂිකරු :
මම සඳහන් කර පරිදිම ටෙන්ඩර් බෝඩ් එකේ වාඩි වූ විට හැම පිටුවකට ම අත්සන් කරනවා. කියලා තියෙන දේ හරි කියන විශ්වාසය මත තමයි මෙය අත්සන් කළේ.

නීතිඥවරයා :නිවැරදියි, එකඟයි කියල නේ අත්සන් කරන්නේ ?ඔබ මෙම ප්‍රසම්පාදන කමිටුවට සහභාගී වුනාද ?

සාක්‍ෂිකරු: ඔව්

නීතිඥවරයා: අනිත් දෙදෙනා සහභාගී වුණාද ?

සාක්ෂිකරු: ඔව්

නීතිඥවරයා: මෙම ලේඛනය ඇති කරුණු නිවැරදි බවට පිළිගන්නවද ?

සාක්ෂිකරු :
මෙම ලේඛනය හදලා තියෙන අවස්ථාව  විට ඒ පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. ඊට අත්සන් කළේ 25 වැනිදායින් පසුව. එහිදී මේ හැම මිනිට් එකකම තියෙන හැමදේම කියවලා අත්සන් කරන්නේ නෑ. ඖෂධ එකසිය ගණනක් තිබ්බා. කාර්යබහුල නිසා එවැනි ලේඛන බැලීම සඳහා කාලයක් නෑ. තියෙන කරුණු නිවැරදි බවට තීරණය කරලා තමයි අත්සන් කරන්නේ.

නීතිඥවරයා: එතන නොහිටි කෙනෙක් හිටියා කියලා දාන්නේ නෑනේ ?

සාක්ෂිකරු :ඔව් සියලු දෙනා ම නමින් හා තනතුරු ලෙස හඳුනන්නේ නෑ ,ඔවුන් කවුද කියලා මට අවබෝධයක් නෑ. කමිටුවේ හිටි දන්න අයගේ නම් මතකයි. අනිත් අය ගැන දන්නේ නෑ .

නීතිඥවරයා: ඔබ දවස් තුන තුනක් මීට සහභාගි වුණානේ. ඔබ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්. සහභාගී වූ අය ගැන අහන එක ඔබට අයත් රාජකාරියක් නෙමෙයි ?

සාක්ෂිකාරු :ඔව්


"2022 ඔක්තෝම්බර් 13 ප්‍රසම්පාදන කමිටුවට අදාල තීරණ ගැනීම ට ඖෂධ 128කින් යුත් ලැයිස්තුවක් ඉදිරිපත් කළාද ?" යනුවෙන් නීතිඥවරයා එහිදී විමසා සිටි අතර එවැනි ලැයිස්තුවක් ඉදිරිපත් නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය.

"යම් ප්‍රමාණයකවත් ඖෂධ ලැයිස්තුවක් ඉදිරිපත් කළාද?" යනුවෙන් නීතිඥවරයා නැවත ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී එවැනි ලැයිස්තුවක් ඉදිරිපත් නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය

"එවැනි තත්ත්වයක් මත මෙම ලේඛනයට අත්සන් තැබුවාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "මීට අත්සන් තැබුවේ එදා නෙමෙයි දහ අටවෙනිදා සහ විස්පස් වැනිදාත් කමිටුව රැස්වුණා. පසු අවස්ථාවක තමයි අත්සන් කළේ" යනුවෙනි.

නීතිඥවරයා :අත්සන් කිරීමට පෙර එහි පළවෙනි පිටුව කියෙව්වා ද ?

සාක්ෂිකරු: නෑ

නීතිඥවරයා: ඒ වන විටත් ඔබ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරද්දී පළවෙනි පිටුව කියවන්නේ නැතුව අත්සන් කළාද ?

සාක්ෂිකරු: ඔව් එසේ කිරීමට හේතුවක් තිබුණා. 2021 වසරේ සිට බුත්පිටිය මහතා සමග වැඩ කළා. ඒ විශ්වාසය මත තමයි අත්සන් කළේ .

නීතිඥවරයා:මා යෝජනා කරනවා ඖෂධ ලැයිස්තුවක් ඉදිරිපත් කළ බවට.

සාක්ෂිකරු: නෑ ස්වාමීනි.

නීතිඥවරයා: ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු නිසි පරිදි කළ යුතු කළ බවටත් මා යෝජනා කරනවා

සාක්ෂිකරු: නෑ,

නීතිඥවරයා :ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දුන්නද ?

සාක්ෂිකරු: ප්‍රකාශයක් දුන් බව මතකයි

නීතිඥවරයා : ප්‍රසම්පාදන කමිටුවේදී ඖෂධ ලැයිස්තුවක් නොදුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කළාද?

 සාක්ෂිකරු:නෑ ස්වාමීනී

ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කළ නීතිඥවරයා ඖෂධ ලයිස්තුවක් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඉදිරිපත් නොකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ නොකිරීම ඌනතාවයක් ලෙස ලකුණු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

Folder of files with hammer on table
අනතුරුව නීතීඥවරයා සාක්ෂිකරු අමතමින් ප්‍රකාශ කළේ" මා යෝජනා කරනවා නීත්‍යානුකූලව නිවැරදිව කළ ප්‍රසම්පාදන කටයුත්තක් ගැන වසර දෙකකට පසුව වෙනස් ස්ථාවරයක සිට ඔබ සාක්ෂි දෙන බවට".

සාක්ෂිකරු :ප්‍රසම්පාදනයේදී කිසිදු දෙයක් දුන්නේ නෑ කියන එක නෙමෙයි මා කියන්නේ. අතින් ලියාගෙන ඇවිත් තොරතුරු දුන්නා. එය වෙනත් වෙනදා වගේ විධිමත්ව දෙන්න කියලා කිව්වා.


නීතීඥවරයා:
ඔක්තෝබර් 18 සහ 25 සහ  ඖෂධ ලැයිස්තු ඉදිරිපත් වුණාද ?

සාක්ෂිකරු: නෑ

නීතිඥවරයා :එය බරපතල තත්ත්වයක් .

සාක්ෂිකරු: එසේ ස්වාමීනි

නීතිඥවරයා: ඔබ කොවිඩ් ප්‍රසම්පාදන සම්බන්ධයෙන් කටයුතු කළා. ඔබ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්.

සාක්ෂිකරු :එසේය ස්වාමීනි

මෙම ප්‍රසම්පාදන කටයුත්ත නිසි පරිදි නීත්‍යානුකූලව කර බවට තමන් යෝජනා කරන බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "නිත්‍යානුකූලව තමයි කළේ ,නමුත් ඖෂධ ලැයිස්තු තිබුණේ නෑ". යනුවෙනි.

අතින් ලියු ලේඛනය යතුරු ලියනය කර ඉදිරිපත් කිරීමෙන් පසුව තමන් අත්සන් තැබූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළ අවස්ථාවේදී නීතිඥවරයා විමසා සිටියේ "එය නිවැරදි හා එකඟයි කියන කරුණ මතද අත්සන් තැබුවේ?" යනුවෙනි එහිදී සාක්ෂිකරු "වැරදි කියන එක බැලුවේ නෑ procedure එකක් තිබුන නිසා අත්සන් කළා. Personally මේ තොරතුරු සත්‍යයයි කියන්න කාරණා නෑ.

මෙම කරුණු සම්බන්ධයෙන් ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ මහතා ප්‍රතිවිරුද්ධ මතයක් දැරූ බවක් තමන්ට මතක නැති බවද සාක්ෂිකරු කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින් තවත් ඖෂධ කිහිපයකට අදාළව දෙන ලද නිර්දේශයන් ඇතුළත්  ලේඛනයක් සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය නීතිඥවරයා විසින් මෙහිදී යොමු කරන ලදි.

 

7uy
නීතිඥවරයා: මෙම ලේඛනයට අත්සන් යොදන විට එහි ඇති ඇමුණුම් තිබෙන බව දැක්කද?

සාක්ෂිකරු: නෑ එහෙම දැක්කේ නෑ .

නීතිඥවරයා:එහෙම තියෙද්දී ද අත්සන් කළේ .

සාක්ෂිකරු:ඔව්

නීතිඥවරයා: ඒ වෙනකොටත් ඔබ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ?


සාක්ෂිකරු: ඔව්

නීතිඥවරයා: ඔබ මෙම නිර්දේශ කියවලා බැලුවේ නෑ?

සාක්ෂිකරු: නැහැ ස්වාමීනි


නීතිඥවරයා: කමිටුවේ නිරීක්ෂණ සහ තීරණ වලට අවධානය යොමු කිරීම හැර අනිත් ඒවා දෙස බලන්නේ නැතුව අත්සන් කලාද ?

සාක්ෂිකරු:කමිටුවේ සිටි නිලධාරීන් කියන දේ හරි කියලා හිතුවා. ඒ අනුව අත්සන් කළා.

අදාළ කමිටු  තීරණ ඇතුළත් ලේඛන වලට සෞඛ්‍ය ලේකම්වරයා අත්සන් කිරීමෙන් අනතුරුව තමන් අත්සන් කළ බවට මූලික සාක්ෂියේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටි නීතිඥවරයා අදාළ ලේඛනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා අත්සන් තැබීමට පෙර සාක්ෂිකරු විසින් අත්සන් තබා ඇති බවට යෝජනාවක් කළේය.

එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් සාක්ෂිකරු සඳහන් කළ තමන් කිසිදු අවස්ථාවක එම කමිටුවේ සභාපතිවරයා අත්සන් කිරීමට කමිටු තීරණයකට අත්සන් නොකරන බවය. මෙම කමිටු තීරණයට තමන් අත්සන් කරන විට සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්සන තිබූ බව තමන්ට හොඳින්  මතක ඇති බව සඳහන් කළ සාක්ෂිකරු නීතිඥවරයා කළ යෝජනාවක් කිසිදු දවසක පිළිගන්නා බවද කියා සිටියේය.

එහිදී නීතීඥවරයා සෞඛ්‍ය ලේකම්වරයා යනු සාක්ෂිකරුට වඩා ධූරාවලියෙන් ඉහළ නිලධාරියකු වන අතර ඉහළ නිලධාරියා අත්සන් කිරීමෙන් පසුව පහළ නිලධාරියෙක් ලෙස අත්සන් තැබුවේද යන්න පිළිබඳව නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.

තමන් එලෙස පසුව අත්සන් තැබූ බව සාක්ෂිකරු එහිදී කියා සිටියේ ය.

කමිටු සාමාජිකයකු ලෙස ලන්සුකරුවකු ට හෝ ආයතනයකට පක්ෂපාතී ව කටයුතු නොකළ අතර  කමිටුව ද එලෙස කටයුතු නොකළ බව සාක්‍ෂිකරු කියා සිටියේය.

එසේම එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නීති විරෝධී ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය නොකළ බවද සඳහන්  කළ සාක්ෂිකරු මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව තමන්ට  එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශය විසින් සිදුකළ විනය පරීක්‍ෂණය කින් අනතුරුව තමන්ව නිදොස් කොට නිදහස් කළ බව නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

හයවන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමෙන් අනතුරුව මෙම නඩුවේ හත්වන විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා විසින් සිදු කරන ලදී.

තමන් රාජ්‍ය සේවයේ නීතිගරුක මෙන්ම තද නිලධාරියෙක් වෙන අතර තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති බව එහිදී නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය.

 

2330660

"එසේ තිබියදී ද ඔබ ලේඛනයට අත්සන් කළේ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "ස්වාමීනී, මෙම  ලේඛනයට අත්සන් කරද්දී පරිසරය තේරුම් ගන්න ඕනේ. හදිසි අවස්ථාවක ඖෂධ හිඟයක් ඇති වෙලාවක තමයි මෙය සිදු කළේ. පරණ මාර්ගෝපදේශ වල ඇති දුර්වලතා නිසා තමයි මෙය ඉක්මනින් ගන්න කිව්වේ. ඒ නිසා පරණ තත්ත්වයට වඩා ලිහිල් භාවයකින් තමයි අපි වැඩ කළේ .පරණ නිලධාරීන් සමග තමයි වැඩ කළේ. ඒ අනුව නිලධාරීන් ගැන විශ්වාස කරලා අත්සන් තැබුවා. මට කලින් කිසිම ගැටලුවක් ඇතිවෙලා තිබුණෙ නෑ." යනුවෙන් ප්‍රකාශ කළේය.

එහිදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකරුට  ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.

විනිසුරු විරාජ් වීරසූරිය මහතා :ඔබ විශ්වාසය තැබුවා කියන්නේ කවුරුන් ගැනද?

සාක්ෂිකරු: වෛද්‍ය රත්නායක මහතා සහ වෛද්‍ය ජයනාත්  මහතා ගැන.

විනිසුරු විරාජ් වීරසූරිය මහතා :මේ කමිටුවේ කළ යුතු කාර්යයන් ගැන මාර්ගෝපදේශයක් තිබුණද?

සාක්ෂිකරු :එවැනි මාර්ගෝපදේශයක් තිබුණා. මහජන සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා හදිසි කරුණක් ලෙස තමයි මෙය සිදු කළේ .

විනිසුරුවරයා :ඔබ මූලික සාක්ෂියේදී සඳහන් කළා රජය අපහසුතාවයට පත් නොවන අයුරින් වැඩ කරන බව, මොකක්ද ඒ?  ඇයි එහෙම කිව්වේ?

සාක්ෂිකරු :ඒ ගැන මාර්ගෝපදේශයේ තියෙනවා .

විනිසුරුවරයා: එවකට පැවැති රජය කුමක්ද? රජයට මේ ගැන ප්‍රතිපත්තියක් තිබුනද ?

මෙහිදී අදාළ මාර්ගෝපදේශ ඇතුලත් ගැසට් පත්‍රය සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ අතර  එය කියවා බැලීමෙන් අනතුරුව එහි තිබෙන අමාත්‍යාංශ වල කාර්ය භාරය පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය .

sau565
සාක්ෂිකරු :සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රජයේ ප්‍රතිපත්ති මත  කටයුතු කිරීමට අදාළව තමයි එය තියෙන්නේ .

විනිසුරුවරයා: ඒ වන විට තිබුණු රජයේ ප්‍රතිපත්තිය කුමක්ද ?

සාක්ෂිකරු: සෞභාග්‍ය යේ දැක්ම

විනිසුරුවරයා :ඒ අනුවද ඔබ කටයුතු කළේ ?

සාක්ෂිකරු: ඔව් ස්වාමීනි

විනිසුරුවරයා :සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් සහ කර්තව්‍යයන් ලෙස එහි මොකක්ද සඳහන් වෙන්නේ ?

සාක්ෂිකරු: "සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත නිරෝගී ජනතාවක් බිහිකිරීම සඳහා නීති රීති අණපනත් වලට අනුකූලව සෞඛ්‍ය අංශවලට ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වීම, ජාතික අවශ්‍යතා යටතේ ඇති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ දෙපාර්තමේන්තු, සංස්ථා , ව්‍යවස්ථාපිත ආයතන වල විෂය සහ කාර්යයන් ඊට අදාළ ප්‍රතිපත්ති වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, ඇගයීම" යනුවෙන් එහි සඳහන් වෙනවා .

විනිසුරුවරයා: රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ඔබට සාමාන්‍ය ප්‍රසම්පාදන කටයුතු ගැන අවබෝධයක් තිබෙනවාද ?

සාක්ෂිකරු :සාමාන්‍ය අවබෝධයක් තිබෙනවා ස්වාමීනි

විනිසුරුවරයා: රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස ඔබ රජයේ ප්‍රතිපත්ති මත කටයුතු කිරීමද අවශ්‍ය ?. එහෙම නැත්නම් 10 සහ 09 චූදිතයින් විශ්වාස කරලා වැඩ කිරීමද ?මාර්ගෝපදේශයේ තියෙනවාද විශ්වාසය මත වැඩ කළ යුතු බව ?

සාක්ෂිකරු :නෑ ස්වාමීනී

විනිසුරුවරයා: ඔබ මේ කටයුත්තට සහභාගි වුණේ ගෙදරටවත් වෙනත් තැනකට වත් බෙහෙත් ම ගන්න නෙමෙයි .ඒක හරියට උනේ නැත්නම් මොකද වෙන්නේ?

සාක්ෂිකරු: සෞඛ්‍යයට හානිකර වෙන්න පුළුවන් ස්වාමීනි

විනිසුරුවරයා: වෙන මොනවද හානි වෙන්න පුළුවන් .රජයේ ප්‍රතිපත්තිමය කාරණා ඉෂ්ට වෙනවද ?

සාක්ෂිකරු: ඔක්කොම බලන්න බැරි වුණා. මග හැරුණු බව පිළිගන්නවා .

විනිසුරුවරයා : රටක් හැටියට බැඳී ඉන්නවද සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ?

සාක්ෂිකරු: ජාත්‍යන්තරව බැඳීමක් තියෙනවා ස්වාමීනි

විනිසුරුවරයා :කොහෙද තියෙන්නේ ?

සාක්ෂිකරු: තියෙන තැන ගැන දන්නේ නෑ ස්වාමීනි. එවැනි අවබෝධයක් තිබෙනවා.

විනිසුරුවරයා: තිරසාර සංවර්ධනය ගැන දන්නවාද ?

සාක්ෂිකරු :අහලා තියෙනවා දන්නේ නෑ ස්වාමීනී

විනිසුරුවරයා:
ඔබ දන්නවද මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන ඒ කමිටුවට පත්කර ඇති බව

සාක්ෂිකරු: දන්නේ නෑ ස්වාමීනී,

මෙම ලේඛනවලට අත්සන් කරද්දී කාර්යබහුලත්වය නිසා බැලුවෙ නෑ ස්වාමීනී. විශ්වාසය මත කටයුතු කළ බව කිව්වේ ඒකයි. කලින් ඉඳලාම සිදු කලේ එහෙමයි.

විනිසුරුවරයා: ඔබ ඒ කමිටුවේ රාජකාරී හරියට කරලා තියෙනවද ?

සාක්ෂිකරු :ස්වාමීනී අපට ඇති කාලය සමඟ සාධාරණයක් කර තිබෙනවා.

විනිසුරුවරයා: සාධාරණයක් කර තිබෙනවා. එය හරියි කියලා පිළිගන්නවද ?

සාක්ෂිකරු: ඔව්

මෙම සංවාදයෙන් අනතුරුව 7 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා නැවත  සිය හරස් ප්‍රශ්න විමසීම සිදු කළ අතර අදාළ කමිටුවේ තීරණ වලට එකග වීමේ හෝ නොවීමේ අවස්ථාව  තිබූ බව ඔහු සාක්ෂිකරුට පෙන්වා දුන්නේය.

එම තීරණ වලට යම් විරෝධයක් ඇත්නම් එම විරෝධය ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා මෙම කමිටුවට අදාළව තාක්ෂණික ඇගයීම් කමිටුවක් නැති බව පිළිගන්නවාද යන්න පිළිබඳව කරුණු කිහිපයක් ගෙන හැර දක්වමින් සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළේය.

ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

 

medicine 20260131

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද න
ඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් දඛ ඉදිරිපත් කර ඇත.

අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

 

whatsapp 202507155

නවතම පුවත්