leader s

"සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන තීරණ ගැනීමේදී ලිපි ගොනු එකින් එක පරීක්ෂා කර බැලුවේ නෑ.එහෙම බලන්න කාලයක් තිබුණෙත් නෑ . නමුත් අවශ්‍ය නම් එකින් එක පරීක්ෂා කරන්න බාධාවක් තිබුණෙත් නෑ " යනුවෙන් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී ප්‍රකාශ කර සිටියේය.
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි දුන් අවස්ථාවේදී  එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි  නීතීඥ අමිත ආරියරත්න මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
 
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ 205 වන සාක්ෂිකරු ලෙස මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා තුන්වන දිනටත් සාක්ෂි ලබා දුන්නේ ය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
එහිදී 11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකරු ගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරමින්" සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් කමිටු තීරණ ගැනීමේ දී ඖෂධයෙන් ඖෂධයට සලකා බැලුවා ද ?" යනුවෙන් විමසා සිටි අතර එහිදී සාක්ෂිකරු සඳහන් කළේ තමන් කණ්ඩායමක් ලෙස කටයුතු කළ බවය . "තීරණ ගැනීමේදී ඖෂධයෙන් ඖෂධයට ලේඛන සලකා බැලුවාද කියලා මතක නෑ . 2022 ඔක්තෝම්බර් මස 18 වැනිදා පැවති කමිටු රැස්වීමට ලිපි ගොනු අරන් ඇවිත් තිබුණා." සාක්ෂිකරු කියා සිටියේය.
 
නීතිඥ අමිත ආරියරත්න මහතා:
කමිටුව විසින් negotiation කළා නේද? ඒ කළේ ලේඛන බලලද ? 
 
සාක්ෂිකරු :negotiation කිරීමේදී ලේඛන බැලුවෙ නෑ .හැමෝම එකතුවෙලා සාකච්ඡා කරලා තමයි තීරණය ගත්තේ .
 
නීතිඥවරයා:
ඒ ලිපි ගොනු බලන්න බාධාවක් තිබුණද ?.
 
සාක්ෂිකරු:
නෑ. අවශ්‍ය නම් බලන්න තිබුණා. එහෙත් එහෙම බලන්න අවශ්‍යතාවයක් ආවේ නැහැ . බුත්පිටිය මහතා ලේඛන දෙකක් ඉදිරිපත් කර තිබුණා ලිපිගොනු ගණනාවක් තිබුණේ නෑ. එම ලේඛන බලලා ඔහු කියූ තොරතුරු අනුව කතා කරල තමයි තීරණයකට ආවේ. 
 
මෙම කමිටුවට පත්වීමේ ලිපියක් ලැබුණු බවත් මෙම කමිටුව පත්කිරීමේ අරමුණ පිළිබඳව  අවබෝධයක් ඇති බවත් සඳහන් කළ සාක්ෂිකරු  තමන් මෙම කමිටුවට මුදල් අමාත්‍යංශය විසින් නම් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ බව කියා සිටියේය. 
 
"ඇගයීම් කමිටුව ඇගයීම් කළ කාල සීමාව තුළ ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කළේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නේද ?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
 
 
"අපි එම කමිටුවට එන විටත් එම ඇගයීම් කර ඉවරයි. සම්පූර්ණ කරන්න තව document ටිකයි තිබුණේ. අපිට දැනුම් දී තිබුණේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙය සිදුකරන බව තමයි" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේ ය.
 
මෙම යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ ආනයනය කර ලබාදීම සඳහා කටයුතු කිරීමට නියමිතව තිබූ අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරන ඖෂධ සම්බන්ධයෙන් වන සියලු බලතල ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය ට යටත්ව තිබුණාදැයි යන්න පිළිබඳව තමන් නොදන්නා බව සාක්ෂිකරු කියා සිටියේය. 
"එම අධීක්ෂණ කටයුතු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල යටතේ තිබුණා නම් ඖෂධයේ ගුණාත්මක භාවය ගැන වගකීමක් ඊට තිබුණු බව ඔබ  දන්නවද ?"යනුවෙන් නීතිඥවරයා  විමසා සිටි අතර සාක්ෂිකරු සඳහන් කළේ එවැන්නක් පිළිබඳව තමන් නොදන්නා බවය .
 
ඖෂධ බොහොමයක් ගෙන්වීම සඳහා ප්‍රදානයන් ලබා දෙන සැපයුම්කරුවන්  පිළිබඳව තීරණය කළේ ලියා පදිංචිය බැහැර කිරීමේ සහතිකයක ට යටත්ව බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වන ඖෂධ සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමේ බලය ඉන්දීය රජයට ඇති බවට තමන් යෝජනා කරන බව සඳහන් කළ නීතිඥවරයා එය නිවැරදි දැයි සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
 
මෙරටට ගෙන්වන ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳ පරීක්ෂා කර මිලදී ගැනීමේ වගකීම  ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියට බව සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ ය.
 
"එය ඉන්දියානු නිෂ්පාදනයක් නොවේ නම් එය ICL යටතේ ලංකාවට ගේන්නේ නෑ ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එලෙස ගෙන්වීමක් නොකරන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"WOR ගැනීමේදී විශාල ලේඛන සංඛ්‍යාවක් ඉදිරිපත් කළ යුතුයි නේද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර  "ඒ පිළිබඳව මම දන්නේ නැහැ, අවබෝධයක් නෑ" යැයි සාක්ෂිකරු සඳහන් කළේය.
 
 
"WOR එකක් ගන්නේ ගුණාත්මකභාවය තහවුරු කිරීමට නේද?" යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී  සාක්ෂිකරු කියා සිටියේ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් එම සහතිකය නිකුත් කරන බවය.
 
ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන්ට ඖෂධ සැපයීමට අවස්ථාව ලබාදී නොමැති බව තමන් විශ්වාස කරන බවද ඔහු කියා සිටියේය.
 
"එවැනි දෙයක් පිළිබඳව ලිපි ගොනුවල දැක්කෙත් නෑ නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "ලිපි ගොනු එකින් එක පරීක්ෂා කර බැලුවේ නෑ. එහෙම  බලන්න කාලයක් තිබුණෙත් නෑ . නමුත් අවශ්‍ය නම් එකින් එක පරීක්ෂා කරන්න බාධාවක් තිබුණෙත් නෑ ඒත් කාලය තමයි තිබුණ ප්‍රශ්නේ" යැයි සාක්ෂිකරු සඳහන් කළේය.
 
නීතිඥවරයා:මෙම ප්‍රසම්පාදනයේදී කාලය විතරක් සැලකුවාම හරිද ?.
 
සාක්ෂිකරු :
මෙම කමිටුව පත් කිරීමේ අරමුණ තමයි කඩිනමින් මිලදී ගැනීම. කෙටි කලකදී  ලිපි ගොනු පරීක්ෂා කර කර ඉන්න බෑ ඒ විදිහට තමයි අපි කටයුතු කළේ. තොගය ශුන්‍ය වන ඖෂධ සම්බන්ධයෙන් වෛද්‍ය බුත්පිටිය දැනුවත් කළා. ඒ අනුව තමයි තීරණ ගත්තේ .
 
නීතිඥවරයා:
ඔබ දන්නවද එම තොරතුරු  "pronto " කියන පද්ධතියෙන් ගත්ත බව?
 
සාක්ෂිකරු:
නෑ මම දන්නෙ නෑ .
 
නීතිඥවරයා:
ඔබ "pronto" පද්ධතියක් ගැන දන්නෙත් නෑ ?
 
සාක්ෂිකරු :
නෑ, ඒ පිළිබඳව මට අවබෝධයක් නැහැ. 
 
නීතිඥවරයා:
පස්දෙනාගේ කමිටුව ගැන ඔබ මොනවද දන්නේ? 
 
සාක්ෂිකරු:
අපි එන විටත් එම කමිටුව පත් කර තිබුණා. අයිතමයන් ඇගයීම් කර තිබූ බව දැන ගත්තා .
 
නීතිඥවරයා:
ඒ හැර වෙන දෙයක් දන්නේ නැතිද ?
 
සාක්ෂිකරු: නැත ස්වාමීනී 
එම කමිටුවේ සිටින සාමාජිකයන්ව හඳුනන්නෙත් නෑ. එහි සභාපතිනියවත් මම දන්නේ නෑ.
 
ඒ සමගම හත්වෙනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර  අටවෙනි විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල  මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා අධිකරණයට දන්වා සිටියේ සාක්‍ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු නොකරන බවය. 
 
ඒ අනුව නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය. 
 
 
සාක්ෂිකරුගේ අධ්‍යාපනික සුදුසුකම් සහ සේවා පළපුරුද්ද සහ දරා ඇති තනතුරු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළ නීතිඥවරයා රාජ්‍ය ආයතන ගණනාවක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර තිබීම සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේය. 
 
"රාජ්‍ය ආයතනවල බොහෝ වගකීම් දැරූ නිලධාරියකු ලෙස එම තනතුරුවල  වගකීමෙන් කටයුතු කළාද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු ප්‍රකාශ කළේ තමන් අදාළ තනතුරුවල වගකීම් සහගතව කටයුතු කර බවය. 
 
"ඒ වගකීම සම්බන්ධයෙන් කාටද වග කියන්නේ" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ ආයතන ප්‍රධානීන්ට වග කියන බවය.
 
"රජයට වග කියනවා කිව්වොත් හරිද ?"යනුවෙන් නීතිඥවරයා ඇසූ පැනයට ඊට "ඔව්" යන පිළිතුරු ලබාදුන් සාක්ෂිකරු සඳහන් කළේ විශ්‍රාම යන විට රාජ්‍ය ව්‍යාපාර ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථා අපිට මණ්ඩල පනස් දෙකක සම්බන්ධයෙන් යහපාලනය සහ ගිණුම් කටයුතු ,විගණන කටයුතු ආදිය  බැලීමට එහිදී සිදුවූ බවය. 
 
නීතිඥවරයා: ඒ කියන්නේ ඔබට අවබෝධයක් තියෙනවා කළ රාජකාරී වගකීමෙන් කරන බවට.
 
සාක්ෂිකරු: අනිවාර්යයෙන්ම 
 
නීතිඥවරයා :ඔබ ඔබට පැවරුණ වගකීම නොපිරිහෙළා ඉටුකළා. 
 
සාක්ෂිකරු :ඔව් 
 
නීතිඥවරයා : ඔබේ වගකීම කාට හරි බාර දීලා හිටියද ?
 
සාක්ෂිකරු :ඔව්  මට staff එකක් හිටියා.
 
නීතිඥවරයා: ලේඛන බැලීමට ඔබට වගකීමක් තියෙනවා නම් ඒක කාටහරි දෙනවද ?
 
සාක්ෂිකරු :මා යටතේ ඉන්න නිලධාරින් ඉන්නවා. ඔවුන්ට පවරනවා. ඔවුන් හරියට රාජකාරිය කරයි කියලා හිතනවා. සැකයක් හිතනවා නම් ඒ වෙනුවට ඒ වෙලාවට ඒක පරීක්ෂා කර බලනවා. එය හරියටම ඉටු කිරීමට ඔවුන් බැඳී ඉන්නවා .
 
"ඔබට අත්සන් කිරීමට ඇති ලේඛනයක අත්සන යෙදීමෙන් මොකක්ද  කියන්නේ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "එලෙස  අත්සන යෙදීමෙන් එහි වගකීම බාරගන්නවා" යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය. 
 
signed in seconds
"කොවිඩ් හදිසි ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයකු ලෙස සිටියදී එහි අයිතම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලේඛන පරීක්ෂා කර අත්සන් තැබුවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එම ප්‍රසම්පාදනයට අදාළව ද ලේඛන විශාල ප්‍රමාණයක් තිබූ බවය ."ලේඛන එකින් එක බලා අත්සන් යෙදීමට තමන්ට කාලයක් නොමැති බව" සාක්ෂිකරු කියා සිටියේය. 
නීතිඥවරයා :ඔබතුමා හැම වෙලාවෙම "වෙලාව මදි" කියලා කියනවා.වෙලාව මදි කියලා මීට පෙර කොහේ හරි ප්‍රකාශයක් කරලා තියෙනවද ?
 
සාක්ෂිකරු :අවස්ථාව ලැබුණු තැන්වලදී මං කියලා ඇති .
 
නීතිඥවරයා: කොහෙදිද කියලා තියෙන්නේ ?
 
සාක්ෂිකරු: ඒ ගැන මතක නෑ .
 
නීතිඥවරයා: අපරාධ  පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඔබ ප්‍රකාශ දෙකක් දුන්න නේ. ඒ අවස්ථා දෙකේදී මේ බව ප්‍රකාශ කළාද ?
 
සාක්ෂිකරු :එහිදී අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නා. එහෙම ප්‍රශ්නයක් අහපු බවක් මතක නෑ. ඇහුවනම් අනිවාර්යයෙන්ම උත්තර දීලා ඇති. 
 
මෙහිදී අධිකරණය ඇමතූ නීතිඥවරයා "මෙම සාක්ෂිකරු තමන්ට වේලාවක් නොමැති බවට අධිකරණයේදී කරන ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර ලබාදීමේදී සඳහන් නොකිරීම ඌනතාවයක් ලෙස" අධිකරණයේ අවධානයට යොමු කරන බව සඳහන් කළේය. 
 
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එම ඌනතාවය (Omission) සඳහන් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළාය. 
 
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් "omission කියන්නේ වචන හරඹයක් නෙමෙයි. ඒ වචන වලින්ම සඳහන් විය යුතු නෑ .නමුත් එය Fact එකක් වශයෙන් තියෙනවාද යන්න පිළිබඳව තමයි මෙහිදී සැලකිලිමත්  වෙන්න ඕනේ" යනුවෙන් ප්‍රකාශ කළේය.
 
සභාපති විනිසුරුවරයාගේ එම කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව නීතිඥවරයා නැවතත් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
" කොවිඩ් ප්‍රසම්පාදන කටයුතුවලදී ත් ඔබට තිබුණු වගකීම් මොනවාද ?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර එහිදී සාක්ෂිකරු මෙසේ සඳහන් කළේය.   
 
"කොවිඩ් ප්‍රසම්පාදන මාර්ගෝපදේශයේ තිබුණු මිලදී ගැනීම් සම්බන්ධයෙන් වගකීම තිබ්බා .ඒ අනුව මිල ගණන් කැඳවා අවශ්‍ය අය අනුමත කරගන්න කටයුතු කළා."
 
නීතිඥවරයා: එය අනුමත කළේ නැත්නම් භාණ්ඩ ගන්න බෑ. 
 
සාක්ෂිකරු :භාණ්ඩ ගන්න බෑ 
 
නීතිඥවරයා:ඒ අවස්ථාවේදී උද්යෝගයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි නේද?
 
 සාක්ෂිකරු: ඔව්
 
නීතිඥවරයා:
එහිදී  ඉදිරිපත් වුනු ලේඛන හොඳින් බලා කටයුතු කරන්න ඔය  කමිටුවට බාධාවක් තිබුණද?
 
සාක්ෂිකරු :ලේඛන බලන්න පුළුවන්කම තිබුණා ස්වාමීනි .එහෙත් ඒකට අවශ්‍යතාවයක් වුණේ නෑ .
 
folders
 
සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව රැස්වූ අවස්ථාවේදී , තීරණ ගැනීමේ දී වගකීමෙන් කටයුතු කළාද? යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු "අනිවාර්යයෙන්ම" යනුවෙන් පිළිතුරක් ලබා දුන්නේය 
 
"එම කමිටුවේදී විරෝධතා දැක්වීමට අවස්ථාව තිබ්බද ?" යනුවෙන් නීතිඥවරයා විමසු අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි අවස්ථාවක් තිබූ නමුත් විරෝධය පළ කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවූ බවය.
 
වසර ගණනාවක් රාජකාරී කටයුතු සම්බන්ධයෙන් එකට එක්ව වැඩ කර ලැබූ අත්දැකීම් අනුව එම අදාළ නිලධාරීන් ගැන දැඩි විශ්වාසයක් තිබූ බවද, සැක කිරීමට කිසිදු හේතුවක් නොතිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය .එබැවින් ඔවුන් ප්‍රකාශ කළ දේ විශ්වාස කොට ඒ මත අත්සන් තැබූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය 
 
එහිදී නීතිඥවරයා කියා සිටියේ "ප්‍රසම්පාදනයට අදාළ සියලු ලේඛන ඉදිරිපත් වූ බවට තමන් යෝජනා කරන බව"ය .
 
එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව කියා සිටි සාක්ෂිකරු අදාළ තීරණ ගැනීමේදී අවශ්‍ය තොරතුරු තිබූ බවද ලේඛනයක් බැලීමේ විශේෂ අවශ්‍යතාවයක් නොතිබූ බවද කියා සිටියේය .
 
 "මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව ඔබට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වූවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ, "2024 වර්ෂයේ මැද භාගයේදී පමණ තමන් විශ්‍රාම ගැනීමට ඉතාම ආසන්න කාලයේදී චෝදනා පත්‍රයක් ලැබුණු බව"ය. 
 
"එම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශයේත් සටහන් කළාද"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කර සිටියේ "ඒ ගැන ඇහුවනම් මම කියන්න ඇති, මට ඒ ගැන මතක නෑ,"යනුවෙනි.
 
"සාක්ෂිකරුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවති බවට මෙම අධිකරණය හමුවේ කරන ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කට උත්තර සටහන් කරගත් අවස්ථාවේදී ලබා නොදීම ඌනතාවයක්" ලෙස නීතිඥවරයා අධිකරණයේ අවධානයට යොමු කළේය.
 
ahlstrom wright law lawyer questioning civil litigation undertaking trial lawyers alberta sherwood park edmonton yellowknife
 
"ප්‍රසම්පාදනයක දී වැදගත්ම ලියවිල්ල ලන්සු ලේඛනය නේද , තීරණ ගැනීමේ දී එම ලේඛන පරීක්ෂා කර බැලීමට බාධාවක් තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටියේය. 
 
එහිදී සාක්ෂිකරු කියා සිටියේ අදාළ ලේඛන වල සංශිප්ත තොරතුරු ඇතුළත් ලේඛන දෙකක් වෛද්‍ය බුත්පිටිය  මහතා ළඟ තිබූ අතර  අවශ්‍ය නම්  ඒවා පරීක්ෂා කර බැලීමේ හැකියාව තිබූ බව ය. එහෙත් එවැනි අවශ්‍යතාවයක් මතු නොවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 
 
"වෛද්‍ය ජයනාත් බුත්පිටිය මෙම ප්‍රසම්පාදනයට සම්බන්ධ තොරතුරු  අතින් ලියාගෙන ඇවිත් දුන් බවට මූලික සාක්ෂි විභාගයේදී සාක්ෂියක් ලබා දුන්නේ දැ "යි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු  තමන් එවැන්නක් ප්‍රකාශ කළ බව ක් මතකයේ ඇති බව  කියා සිටියේය.
 
ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්පළමු කට උත්තරයේ සඳහන් කර  නොතිබීම ඌනතාවයක් ලෙස නීතිඥවරයා අධිකරණයේ අවධානයට යොමු කළේය. 
 
නීතිඥවරයා:
මූලික සාක්‍ෂි ලබාදීමේදී ඔබ කිව්වා ප්‍රසම්පාදන කමිටුවට ලන්සු ලේඛන සහ සැපයුම්කරුවන්ගේ ලේඛන ඉදිරිපත් කළේ නැති බව?
 
සාක්ෂිකරු: ඔව් එහෙම කියූ බව මතකයි .
 
නීතිඥවරයා: ඔක්තෝම්බර් මස 13, 18 සහ 25 වන දා පැවැති ප්‍රසම්පාදන කමිටු වලට වෛද්‍ය බුත්පිටිය මහතා විසින් එම සියලු ලේඛන ඉදිරිපත් කළ බවට මා යෝජනා කරනවා
 
සාක්ෂිකරු: ඒ අවස්ථාවේ ප්‍රධාන ලේඛන දෙකක් තිබුණා. ඇගයුම් කමිටු ලේඛනය සහ තවත් ප්‍රමාණයෙන් විශාල ලේඛනයක්. ඒ අවස්ථාවේ වෙනත් ඒවා ගෙනාවේ නෑ. 
 
වෛද්‍ය සැපයුම් ඒකකය නියෝජනය කරමින් වෛද්‍ය සමන් රත්නායක මහතා සහ වෛද්‍ය ජයනාත් බුත්පිටිය එම අවස්ථාවේ සිටි අතර තවත් පිරිසක් සිටි බවද ඔවුන් ප්‍රසම්පාදන අස්ථිතියට අයත්  අයද යන්න පිළිබඳව තමන් නොදන්නා බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
 
"එහි සිටි සංවර්ධන නිලධාරීන්ට ඔබ විසින් යතුරු ලියනය පිළිබඳව පුහුණුවක් ලබා දුන්නා ද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකරු එවැනි පුහුණුවක් ලබා නොදුන් බවට සඳහන් කළේය. 
 
එසේම එම සංවර්ධන නිලධාරීන්ට මෙම ප්‍රසම්පාදනයට අදාළ සටහන් සකස් කිරීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දුන්නේ ද යන්න පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව තමන්ට පැහැදිලි මතකයක් නොමැති බවය. 
 
නීතිඥවරයා: මේ සංවර්ධන නිලධාරීන් කමිටු රැස්වීමට සහභාගි වී හිටියා මතකද ?
 
සාක්ෂිකරු :දහ අටවෙනිදා රැස්වීමට කණ්ඩායමක් හිටියා.  කීපදෙනෙක් හිටියා .කවුද කියලා මතක නෑ. හත් අට දෙනෙක් හිටියා. 
 
නීතිඥවරයා :ඒක දහයක් පහළොවක් වෙන්නත් පුළුවන් නේද ?
 
සාක්ෂිකරු: ඔව් වෙන්න පුළුවන්. 
 
අදාළ කමිටු රැස්වීම විශාල කාමරයක විශාල මේසයක පැවැත්වුණු අතර ප්‍රධාන ආසනයේ කමිටු සභාපතිවරයා ලෙස සෞඛ්‍ය ලේකම් වරයා අසුන්ගෙන සිටි අතර ඊට යාබදව සරත් ලියනගේ සහ තමන් අසුන් ගත් බවද තමන්ට ඉදිරියෙන් සමන් රත්නායක මහතා සහ ඊට මදක් ඔබ්බෙන් ජයනාත් බුත්පිටිය මහතා අසුන් ගෙන සිටි බව සාක්ෂිකරු කියා සිටියේය.
 
mmeetingy456y
 
තවත් පිරිසක් එහි සිටි අතර ඒ කවුරුන්ද යන්න පිළිබඳව තමන් හරියට නොදන්නා බව සඳහන් කළ සාක්ෂිකරු එම මේසය ට පිටුපසින් තබා තිබූ අතර එහි කිසිවෙක් සිටි බවට මතකයක් නොමැති බව සඳහන් කළේය. 
 
නීතිඥවරයා:
එම අවස්ථාවට සැපයුම්කරුවන් ඇවිත් සිටි බවට ඔබ කිව්වා නේද ඒ බව සී අයි ඩි එකට කිව්වද ?
 
සාක්ෂිකරු : අසුන් ගත්ත ආකාරය පිළිබඳව ඇහුව මතකයි .
 
නීතිඥවරයා: සැපයුම්කරුවන් පැමිණි බව කිව්වද ?
 
සාක්ෂිකරු: මතක නෑ, අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා .
 
නීතිඥවරයා: ප්‍රශ්න අහන්න කලින් ඔබගෙන් මූලික පැහැදිලි කිරීමක් ගත්තනෙ. ඒකෙදි ඇයි මේ බව කිව්වේ නැත්තේ. 
 
සාක්ෂිකරු: සැපයුම්කරුවන් ගැන කියූ බව මතකයි 
 
මෙහිදී ම අදාළ කමිටු රැස්වීම සඳහා සැපයුම්කරුවන් සහභාගී වී සිටිය බවට අධිකරණය හමුවේ කරන ලද ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමේදී සඳහන් කර නොතිබීම ඌනතාවයක් ලෙස නීතිඥවරයා අධිකරණයේ අවධානයට යොමු කළේය. 
 
අදාළ කමිටුව රැස්වූ අවස්ථාවේදී සැපයුම්කරුවන්ට දුරකථනයෙන් කතා කර ඔවුන් සමග negotiation එකකට පැමිණි බව සඳහන් කළ සාක්ෂිකරු අදාළ දුරකථන ඇමතුම් සමන් රත්නායක මහතා විසින් ලබාගත් බවද ඒ ගැන තමන් කිසිදු සටහනක් තබා නොගත් බවද සඳහන් කළේය. 
 
නීතීඥවරයා :මේ කමිටුවේ තීරණ ගැනීම සාමූහික වගකීමක් තියෙනවා නේද ?
 
සාක්ෂිකරු: ඔව් සාමූහික වගකීමක් තියෙනවා. 
 
නීතිඥවරයා: තීන්දු තීරණ  ගැනීමේ වගකීම කාටවත් ගන්න බෑ. තුන්දෙනාටම තමයි වගකීම ?
 
සාක්ෂිකරු: තුන්දෙනාටම තමයි
 
නීතිඥවරයා :තීන්දු ගන්න අවස්ථාවල තීන්දු ගැනීමට අදාළ වන හේතු ගැන සැලකිලිමත් වෙන්න ඕන නේද?
 
 සාක්ෂිකරු: ඔව් සැකයක් තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙනවා 
 
අදාළ කමිටු තීරණ ඇතුළත් සටහන් ජයනාත් මහතා කාර්යාලයට රැගෙන ආපසු තමන් එහි අත්සන් කළ බව සඳහන් කළ සාක්ෂිකරු අදාළ තීරණවල  වගකීම බාරගනිමින් එහි අත්සන් තැබූ බව කියා සිටියේය .
 
අදාළ ලේඛන පරීක්ෂා කිරීම කිරීමක් සිදු නොවුනද අදාළ නිලධාරීන් සත්‍යය සහ නිවැරදි කටයුතු කරුණු මත කටයුතු යි කරන බවට වන විශ්වාසය මත අදාළ  සටහන් තැබූ බව ප්‍රකාශ කළ සාක්ෂිකරු රාජ්‍ය සේවයට පිවිසීමේදී සෑම රජයේ නිලධාරියෙකු ම නිවැරදිව සහ නීතියට එකඟව කටයුතු කරන බවට දිවුරුමක් ලබාදෙන බවත් අදාළ තොරතුරු ලබාදුන් වෛද්‍යවරයා තමන් මෙන්ම රාජ්‍ය නිලධාරියකු වන බැවින්  ඔවුන් නිවැරදිව කටයුතු කරන බවට විශ්වාසයක් ඇති බව සාක්ෂිකරු ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සඳහන් කළේය. 
 
"මෙම කමිටු තීරණවල  ඇතුළත් ඉලක්කම් සම්බන්ධයෙන් අපිට අවබෝධයක් නෑ. මට මෙන්ම අනිත් නිලධාරීන් දෙදෙනාටත් ඒ පිළිබඳ අවබෝධයක් නෑ. නමුත් එහි තිබුණු කරුණු පිළිබඳව දැනුවත්ව තිබුණා. ඒ කරුණු නැවත පෙරළලා බලලා කියවලා තමයි අත්සන් කළේ "යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය. 
 
අදාළ කමිටු තීරණ  සඳහා තොරතුරු ලබාදීමේදී  වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් පැමිණ සිටියාද යන්න පිළිබඳව මතකයක් නොමැති බවද ඊට අදාළ ඇමුණුම් නොලැබුණු බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
Close-up of accusation and protection sides with juridical documents standing in front of female judge during discussion of case points
 
මෙම ප්‍රසම්පාදන කටයුතු සඳහා  කැබිනට් මණ්ඩල තීරණයක් ඇති  බවද  ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද අදාළ නිලධාරීන් ප්‍රකාශ කළ අතර  ඒ පිළිබඳව විශ්වාසය තබා අත්සන් තැබූ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඔබ සියලුම ලේඛන වලට අත්සන් තැබුවේ විශ්වාසය මතද ?" යනුවෙන් සාක්ෂිකරු ගෙන්  නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී  "ගොඩක් ලේඛන වලට එහෙම එහෙම තමයි අත්සන් තැබුවේ. එහෙම නැතුව මේ රාජකාරිය කරන්න බෑ ." යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය .
 
නීතිඥවරයා: එහෙනම් අත්සන් තැබීමට පමණක් ඔබ හිටියම ඇති නේද?
 
සාක්ෂිකරු: නෑ ,අපි අවශ්‍ය අවස්ථාවලදී කියවා බලනවා, නිසි විදියට කාර්යය කරලා තියෙනවා නම් ඒක විශ්වාස කරනවා. හරි criteria  එකට කරලා තියෙනවා එය හරි කියලා හිතනවා. සැපයුම්කරුවන් සම්බන්ධයෙන් බුත්පිටිය මහතා ලබාදුන් තොරතුරු නිවැරදි යි කියලා හිතනවා කමිටුවේ මම විතර ක් නෙමෙයි හිටියේ තුන්දෙනෙක්ම හිටියා. තවත් සාමාජිකයන් දෙදෙනෙකුත් හිටියා .
 
අදාළ රැස්වීමට ලන්සු ලේඛන ඉදිරිපත්  කළ බවට තමන් යෝජනා කරන බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී තමන් එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව  සාක්ෂිකරු කියා සිටියේය .
 
එම කමිටුවට සියලුම ගොනු ඉදිරිපත් කළ බව ට නීතිඥවරයා යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ" ඖෂධ එකසිය  අසූවක් කියන්නේ විශාල ප්‍රමාණයක් . ඖෂධයෙන් ඖෂධයට ගොනු බැගින් විශාල ගොනු ප්‍රමාණයක් වෙනවා. එහෙම  ෆයිල් ගේන්න  බෑ. එහෙම ගොනු ගෙනාවේ නෑ. ඒව බලන්න ඕන වුනෙත් නෑ. Summary sheet එක තමයි බැලුවේ" යනුවෙන් ඔහු දීර්ඝ විස්තරයක් කළේය. 
"මෙම කමිටු තීරණ ඇතුළත් ලේඛන ඔබගේ කාර්යාලයට සංවර්ධන නිලධාරියකු රැගෙන ආ අතර ඒවා දවස් දෙකක් ළඟ තබාගෙන හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසු ඔබ අත්සන් තැබූ බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "නෑ මෙම ලේඛන අරන් ආවේ බුත්පිටිය. ඔහු අත්සන් තබාගෙන එදාම අරන් ගියා. යනුවෙනි.
 
ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශය ලබාදීමේදී සඳහන්  කළේ ද යන්න පිළිබඳව විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "සී අයි ඩී එක ඇහුවා නම් උත්තර දීල ඇති. "
 
ප්‍රශ්න ගත හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් එන්නත සම්බන්ධයෙන්  කමිටු තීරණ ගැනීමේදී ඉදිරිපත් කළ දත්ත පිළිබඳව සෑහීමකට පත්වුණාද ?
යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් ඒ පිළිබඳව සෑහීමකට පත් වූ නිසා එහි අත්සන් තැබූ බවය .
 
එහිදී සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "අදාළ තොරතුරු තහවුරු කර ගැනීමක් සිදුකිරීමට ලේඛනයක් හෝ තැනක් තිබුණාද ?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය. 
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු නෑ ස්වාමීනි , ඔව් ස්වාමීනී යනුවෙන් සඳහන් කළේය .
 
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: හරියට එක උත්තරයක් දෙන්න ඔව්ද නෑද්ද කියලා හරියට කියන්න .
 
සාක්ෂිකරු :නෑ ස්වාමීනි ලැබුණේ මේ ලේඛන පමණයි. ඒ ගැන සෑහීමකට පත්වුණා .
 
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: 
එම ලේඛන වල නිවැරදි බව හොයන්න බාධාවක් තිබුණද?
 
සාක්ෂිකරු: නෑ ස්වාමීනී, අවශ්‍යතාවයක් තිබුණා නම් බලන්න තිබුණා . මේ කමිටුවේ සියලු දෙනා සාමූහික තීරණ ගත්තා. 
 
මෙම ඖෂධය ලංකාවේ නිපදවිය යුතු බවට කවුරුන් හෝ කිව්වද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නකළ අවස්ථාවේදී සාක්ෂිකරු එවැනි ප්‍රකාශයක් කිසිවෙකු විසින් නොකළ බව කියා සිටියේ ය.
 
"ඔබ නිසි ලෙස ලේඛන පරීක්ෂා කර බලා මෙම ප්‍රසම්පාදන කමිටු තීරණ වලට අත්සන් තැබූ බවට මම යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අතර  එලෙස ලේඛන පරීක්ෂා නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"ඔබ තුළ පවතින බිය නිසා එලෙස ලේඛන පරීක්ෂා නොකළ බව පවසනවා. ඔබේ ගැලවීම පිණිස අදාළ ලේඛන පරීක්ෂා නොකළ බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා නැවත වතාවක් ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අදාළ තීරණ ගැනීමේදී කිසිදු අවිශ්වාසය ක් නොතිබූ බවය . අවශ්‍යතාවයක් තිබුණේ නම් අදාළ ගොනු පරීක්ෂා කර බැලීමට අවස්ථාව තිබූ බවද ඔහු කියා සිටියේය. 
අනතුරුව නඩුවේ නමවෙනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර 10 වෙනි විත්තිකරු පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ක් සිදු කළේය.
 
"රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශාල වගකීමක් පැවති අතර එම වගකීම ඉටුකිරීමේදී  වගකීමකින් සහ අවධානයකින් කටයුතු කළ යුතු බව රාජ්‍ය නිලධාරියකු ලෙස දන්නවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී තමන් ඒ පිළිබඳව දන්නා බව සාක්ෂිකරු කියා සිටියේය.
 
Police officers warned offenders at the office while the accused was stressed.
 
අනවධානය සහ නොසැලකිල්ල රාජ්‍ය සේවයෙන් නෙරපීමට වුවද  හැකියාව ඇති බරපතළ වරදක් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ පිළිබඳවද තමන් දන්නා බවය. 
 
"රජයේ ඉහළ නිලධාරියකු ලෙස තමන් කටයුතු කළ අවස්ථාවකදී යම් කරුණක් සලකා බලා තීරණ  ගැනීමකදී සියලු ලේඛන  පරීක්ෂා කර බලා අවධානයට ලක් කරනවා නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසා සිටි අතර  එවැනි අවධානයකින් කටයුතු කළ යුතු බවට  සාක්ෂිකරු   පිළිතුරු ලබා දුන්නේය 
 
ජනාධිපති නීතිඥවරයා: ඔබ එහෙම අවධානයකින්ද කටයුතු කළේ ?
 
සාක්ෂිකරු: ඔව්
 
ජනාධිපති නීතිඥවරයා :ඔව් එහෙම නැතුව අවුරුදු තිහක් රාජ්‍ය සේවයේ ඉන්න බෑනේ .ඔය තනතුරට ඉහළට යන්නත් බෑනේ ?
 
සාක්ෂිකරු :ඔව් 
 
තමන් කොවිඩ් හදිසි ප්‍රසම්පාදන කමිටුවේ කටයුතු කළ අතර එහි මාර්ගෝපදේශ මුදල් අමාත්‍යාශය විසින් සකස් කර තිබූ බව ද එම මාර්ගෝපදේශය ට අනුකූලව එහි කටයුතු කළ බව ද සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය .
 
සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිකුත් කිරීම රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් සිදු කළ අතර තමන් නිල බලයෙන් එම තනතුරු තනතුරට පත් වූවාද යන්න පිළිබඳව නිසි පරිදි නොදන්නා නමුත් එලෙස පත්වන්නට හැකි ඇති බව සාක්ෂිකරු ජනාධිපති නීතිඥවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
මෙම හදිසි ප්‍රසම්පාදන කමිටුවට පත්වීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවාවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රසම්පාදන කමිටුවක  තමන් කටයුතු කළ බවද ඔහු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
හදිසි මිලදී ගැනීම් වලදී සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවට විශාල කාර්යභාරයක් පැවරී තිබූ අතර ධූරාවලියෙන් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු එහි සාමාජිකයන් ලෙස කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී  ප්‍රශ්න ගත හිමියුනෝග්ලොබියුලීන්  එන්නත  සහ රිටොප්සිමැප්  එන්නත සැපයීම සඳහා තෝරාගෙන ඇති අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනය තෝරා ගත් ‍ ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයකින් තවත් ඖෂධ සැපයීම සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අදාල ලේඛන ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
ඇගැයීම් කමිටුව විසින් සිදු කළ නිර්දේශයන් අනුව තීරණයන් වලට එළඹුණු බව සඳහන් කළ සාක්ෂිකරු එම තීරණ වලට එකඟ වෙමින් අත්සන් තැබූ බව ත් පිළිගත්තේය. 
 
එහිදී ජනාධිපති නීතිඥවරයා මෙම ලේඛනවලට සාක්ෂිකරුගේ අවධානය යොමු කරමින් ඇතැම් ඖෂධ සැපයීම සඳහා දෙවන අඩුම ලංසුව සහ තෙවන අඩුම ලන්සුව ලබාගත් ආයතන  සදහා WOR එකකට යටත්ව ප්‍රදානයන් කිරීම සඳහා තෝරා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් කරුණු විමසා සිටියේය. 
 
එසේම ඇගයීම් කමිටුව විසින් ලබා දිය යුතු බවට නිර්දේශ කර තිබූ ඇතැම් ටෙන්ඩර්  ලබාදීමකට ගත් තීරණ අදාළ ලේඛනයෙහි ඇතුළත් නොවන අතර ඖෂධ කිහිපයක් සඳහා ඇගයීම් කමිටුව විසින් නිර්දේශ ලබාදුන් ඒකක ප්‍රමාණයට වඩා වැඩි එකක ප්‍රමාණයක් ලබා ගැනීමට ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය ගෙන ඇති බවද අදාළ ලේඛනය ඇසුරෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගේ අවධානයට යොමු කරමින් හරස් ප්‍රශ්න  විමසීම සිදු කළේය. 
 
මෙම ප්‍රසම්පාදනයට අදාළව දෙවැනි අවස්ථාවේදී තීරණ ගැනීමේදී සැපයුම්කරුවන් සමග සාකච්ඡා කොට  තීරණයකට එළැඹුණු බව සාක්ෂිකරු කියා සිටියේය . එම තීරණ ගැනීම සඳහා කිසිවෙකුගේ බලපෑමක් හෝ මැදිහත්වීමක් සිදුනොවූ බව ද හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය .
medicine 20260131
 
ඇගයීම් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ සහ නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරු මත අදාළ කමිටු තීරණ වලට එළඹුණු බව සඳහන් කළ සාක්ෂිකරු නිලධාරින් නිවැරදි තොරතුරු ලබාදුන් බවට වන විශ්වාසය මත එහි අත්සන් තැබූ බව ප්‍රකාශ කළේය. 
 
ජනාධිපති නීතිඥවරයා:
මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබ කොතැනකට හෝ පැමිණිලි කළාද?
 
සාක්ෂිකරු: නැත ස්වාමීනී 
 
ජනාධිපති නීතිඥවරයා:
ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් තිබෙනවානේ එම කොමිසමට මෙම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පැමිණිලි කළාද?
 
සාක්ෂිකරු: නැත ස්වාමීනී 
 
ජනාධිපති නීතිඥවරයා: වෙන කවුරුහරි මේ සම්බන්ධයෙන් පැමිණිලි කරාද ?
 
සාක්ෂිකරු:
නැත ස්වාමීනී මට ගෙවීම්  නොකිරීම සම්බන්ධයෙන් විමසීමක් කලා. පැමිණිලි කළාද කියලා මතක නෑ .
 
සාක්ෂිකරු එම පිළිතුරු ලබාදීමත් සමග හරස් ප්‍රශ්න විමසීම අවසන් බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. 
 
මෙම නඩුවෙහි දොළොස් වැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.
 
මෙම නඩුවේ තුන්වන විත්තිකාරිය ගේ දියණිය ඩෙංගු රෝගය වැළදී රෝහල්ගත කර සිටින බව මෙම නඩුව  කැඳවූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේය.
 
විත්තිකාරිය ද  අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අවශ්‍ය වුවහොත් සහනයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බව ඔහු එම අවස්ථාවේදී අධිකරණයට දන්වා සිටියේය. 
 
අනතුරුව දිවා විවේකයෙන් පසුව මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකාරිය දැඩි ලෙස උණ රෝගයෙන් පෙළෙන බැවින් අධිකරණයේ රැඳී සිටීම අපහසු බවය .එබැවින් ඇය නොමැතිව මෙම නඩුව  පවත්වාගෙන යන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය .
 
එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල විත්තිකාරිය අධිකරණයේ එය හමුවේ දැඩි අසනීපයෙන් සිටින බවට නිරීක්ෂණය කළ බවද ඒ අනුව ඇයට අධිකරණයෙන් පිටවීමට අවස්ථා අවසර දෙන බවද සඳහන් කළ අතර විත්තිකාරිය නොමැති අවස්ථාවේදී අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරයා පෙනී සිටින බව සටහන් කළේය. 
 
කෙසේ වුවද හැකි ඉක්මනින් අදාළ විත්තිකාරිය ගේ සෞඛ්‍ය තත්ත්වයට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරන ලදී. 
 
ඒ අනුව විත්තිකාරිය නොමැතිව සවස් කාලයේදී නඩු විභාගය පැවැත්විණි. 
 
විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න වීමසීම අවසන් කිරීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් නැවත ප්‍රශ්න කිරීම ඊළඟ නඩු දිනයේදී සිදුකිරීම කරන බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය අධිකරණයට දැනුම් දී සිටියාය. 
 
එසේම මෙම නඩුවේ ඊළඟ සාක්ෂි ලබාදීම සඳහා පැමිණිල්ලෙහි 156 වන සාක්ෂිකරු වන ඖෂධ නිෂ්පාදන සහ සැපයීම් නියාමන අංශයේ ‍ අධ්‍යක්ෂ , ක්‍රමසම්පාදන) රන්පට දේවගේ අසංග මෛත්‍රීරත්න මහතා කැඳවීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා සිතාසි නිකුත් කරන ලෙස පැමිණිලි පාර්ශ්වයෙන් ඉල්ලීමක් කරන ලදී. 
 
ඒ අනුව එම සාක්ෂිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කෙරිණ
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
image 57b44ac72b
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද න
ඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් දඛ ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

 

 

whatsapp 202507155

නවතම පුවත්