leader s

"උගත් මිතුරි ගේ හිතේ තියෙන අදහසක් අධිකරණයේ ඉදිරියට ගේන්න උත්සාහ කරනවා. ඒක වැරදියි. සාක්ෂිකරුවන් හරහා තහවුරු කළ යුතුයි .
ඇය අදහස් හිතේ තියාගෙන එය අධිකරණය හමුවේ හරි කියලා පෙන්නන්න හදනවා. එහෙම කරන්න බෑ අධිකරණයට තීරණය කරන්න දිය යුතුයි." යනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා  ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළේය
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී  සාක්ෂි ලබා දෙමින් සිටියදී  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ඔහුගෙන්  විමසූ  ප්‍රශ්නයකට විරෝධය පළ කරමින් නීතිඥ වරයා මේ බව සඳහන් කළේය.
 
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ 205 වන සාක්ෂිකරු ලෙස මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා සිව්වන දිනටත් සාක්ෂි ලබා දුන්නේ ය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
මෙම නඩුවේ ඊළඟ සාක්ෂි ලබාදීම සඳහා පෙර දින නිකුත් කළ සිතාසියකට අනුව පැමිණිල්ලෙ හි 156 වන සාක්ෂිකරු වන ඖෂධ නිෂ්පාදන සහ සැපයීම් නියාමන අංශයේ ‍අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) රන්පට දේවගේ අසංග මෛත්‍රීරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
ඔහු මෙම ප්‍රසම්පාදනයට ක්‍රියාවලියට අදාළ ලන්සු විවෘත කළ බවට අත්සන් තබා ඇති නිලධාරියා බවත්  ඒ බව විත්තිකරුවන් ගේ නීතිඥයින් පිළි ගන්නේ නම් සාක්ෂි විමසීමකින් තොරව ඔහු මුදා හැරිය හැකි බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.
 
එම කරුණ පිළිගැනීමට හැකියාවක් නොමැති බව නමය සහ අට සහ නමය විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ. 
 
එම කරුණ  පිළිගැනීමට සූදානම් බව විත්තිකරුවන් කිහිපදෙනෙකු ගේ නීතිඥ වරු විසින් අධිකරණයට දැනුම් දෙන ලදි.
 
එහෙත් එහිදී  09 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රාහුල් ජයතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ 09 වන විත්තිකරු නොමැතිව මෙම නඩුව විභාග කරන බවය. නඩු විභාගයක් අතරතුර එවැනි පිළිගැනීමක් සිදුකිරීමට නම් විත්තිකරු විසින් එය අධිකරණය හමුවේ පිළිගත යුතු බව සඳහන් කළ නීතිඥවරයා තම සේවාදායකයා නොමැතිව මෙම නඩුව විභාග කරන බැවින් එය පිළිගැනීම සඳහා නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව සඳහන් කළේය.  
අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේ මෙම කරුණ පිළිගැනීමට හැකියාවක් නොමැති බවය. 
 
ඒ අනුව අදාළ සාක්ෂිකරු ගෙන් සාක්ෂි විමසීමට තීරණය කළ  අධිකරණය නැවත දන්වන අවස්ථාවක අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කළේය.
 
මෙම නඩුවේ තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිට නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සිය සේවාදායිකාව උන රෝගය වැළකී රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බව සඳහන් කරමින්  ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර සිටියේය.
 
 අනතුරුව මෙම නඩුවේ පැමිණිල්ලේ 205 වන සාක්ෂිකරු වන මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත අතුල කුමාර මහතා සිව්වන දිනටත් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේය. 
 
එහිදී විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිහිපයක් විමසා සිටියේය
 
විනිසුරුවරයා:
ඊයේ  ඔබ ලේඛන කිහිපයක් සම්බන්ධයෙන් සාක්ෂි දෙද්දි Tech කමිටුවක් ගැන සඳහන් කළා. Tech කමිටුව යනු කුමක්ද ?
 
සාක්ෂිකරු: එය guideline එක අනුව පත් කළ එකක් ස්වාමීනී. valuation කිරීම සඳහා පත් කළ කමිටුව තමයි ඉන් අදහස් කරන්නේ 
 
විනිසුරුවරයා: ඔබ ඊයේ සාක්ෂි ලබා දුන් 259 සහ 261 ලේඛනවල  H.S.E.P.C. මිනිට් වල  එකක් ගැන සඳහන් වෙනවා සඳහන් වුනාද එහි"Tech members and others" කියලා විතරයි තියෙන්නේ?
 
සාක්ෂිකරු: ඔව්
 
විනිසුරුවරයා: evaluation කමිටුව ගැන  ඔබ ට දැනීමක් තියෙනවාද?
 
සාක්ෂිකරු: bid  එක evaluate කරන්න කියලා තියෙන කමිටුව තමයි  evaluation කමිටුව කියන්නේ
 
විනිසුරුවරයා :
එම ඇගයීම් කමිටුවේ සාමාජිකයන් මෙම others" කියන තැන අය අතර හිටියද?
 
සාක්කිකරු:  එතන කීප දෙනෙක් හිටියා මතකයි ස්වාමීනි. දෙනාවත්ත, බුත්පිටිය ,සොලමන්ස්, හිටි බව මතකයි.
 
විනිසුරුවරයා:
 දෙනාවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් තිබ්බේ පූර්ණ ඇගයීම් කමිටුවක්ද, අර්ධ ඇගයීම් කමිටුවක්ද, එහෙමත් නැත්නම් වෙනස් ආකාරයේ ඇගයීම් කමිටුවක්ද? 
 
සාක්ෂිකරු: ඇගයීම් කමිටුවක් ලෙස තමයි සඳහන් කළේ 
 
විනිසුරුවරයා: ඔවුන් කළ නිර්දේශ මෙහි තියෙනවද?
 
සාක්ෂිකරු. මෙහි EC සඳහන් වන්නේ. නෑ Others කියලා තියෙන්නේ 
 
විනිසුරුවරයා : Others කියලා තියෙන්නේ ඇයි කියන එක ගැන වැටහීමක් තියෙනවද?
 
සාක්ෂිකරු: නෑ එහෙම වැටහීමක් නෑ 
 
විනිසුරුවරයා: price කමිටුව කියන්නේ කුමක්ද ?
 
සාක්ෂිකරු :මම අහල තියෙනවා ස්වාමීනී. භාණ්ඩ මිලදී ගැනීම්වලදී භාණ්ඩවල මිල ගණන් තීරණය කරන කමිටුවක්. ඒකට මම සහභාගී වෙලා නෑ. දේශීයව භාණ්ඩ සපයන අයගෙන් භාණ්ඩ ගන්න මිල කියන එක තමයි මගේ අවබෝධය .
 
විනිසුරුවරයා: H.S.E.P.C. එකට price committee එකක් තිබුනද ?
 
සාක්ෂිකරු: එහෙම එකක් තිබුණෙ නෑ.
 
විනිසුරුවරයා : 259 ලේඛනය බලන්න එහි ඇමරිකානු ඩොලර් වලින් මිල ගණන් සඳහන් කරලා තියෙනවා .එහෙම මිල ගණන් ගහල තියෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද ?
 
සාක්ෂිකරු: cost හා නැව් ගාස්තු පිළිබඳව හඳුනාගන්න පුළුවන් ස්වාමීනි. 
 
විනිසුරුවරයා: බදු හා profit එක්කද ?
 
සාක්ෂිකරු: ඒ ගැන කියන්න බැහැ ස්වාමීනි 
 
විනිසුරුවරයා: 259 ලේඛනයේ 4.1 යටතේ සඳහන් වන්නේ කුමක්ද ?
 
 
සාක්‍ෂිකරුව: වෛද්‍ය  සැපයුම් ඒකකයේ තිබෙන වර්තමාන තොගය හොඳ තත්ත්වය නොමැති බවත්, ඖෂධ කිහිපයක් ඉදිරි මාස තුන ඇතුළත ශුන්‍ය බවට පත්විය හැකි බවත්, 378ක
 සර්චිකල් අයිටම්ස් zero වී ඇති බවත්, මේ නිසා සෞඛ්‍ය අංශයේ සැපයුම් වල පසුබෑමක් ඇතිවීමට  විශාල අවධානමක්  ඇති බවත් ඉදිරියේදී ඖෂධ හිඟයක් ඇතිවීමට ඇති බවත් එහි සඳහන් වන්නේ.
 
විනිසුරුවරයා: එම ලේඛනය 1.8 හි මොකක්ද සඳහන් වෙන්නේ ?
 
සාක්ෂිකරු: සැපයීමට තෝරාගත් ඖෂධ 158කින් 22 ක් පමණයි වෛද්‍ය සැපයුම් අංශයට  ඒ වන විටත් ලැබී තියෙන්නේ, අයිතම 136 ක් ලැබී නැති බවත් එහි සඳහන් වෙනවා. 
 
මෙම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න විමසීම නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විසින් සිදුකරන ලදි. 
 
"අධිකරණය  විසින් ප්‍රශ්න කරන ලද ලේඛනයේ ඇති ඖෂධ158කින් 22 ක් පමණක් ලැබී තිබෙන බව ඔබ කිව්වා . 58 යනු කුමක්ද? යනුවෙන් නීතිඥ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන්  විමසීමක් කළ අතර ඔහු ඒ පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බව කියා සිටියේය.  
එම ලේඛනය 1.6 යන්නෙහි සඳහන් වෙලා සඳහන්ව ඇත්තේ කුමක්දැයි සාක්ෂිකරුගෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඖෂධ වර්ග 188 ක්මිලදී ගැනීම සඳහා  2022 ඔක්තෝම්බර් මස 13 ,18 සහ 25 යන දිනවල තීරණ ගත් බවට එහි සඳහන් වන බවය.
 
මූලික සාක්ෂි ලබාදීමේදී ඔක්තෝම්බර් මස 13 වැනිදා "එවැනි කිසිදු තීරණයක් නොගත් බව  ප්‍රකාශ කළා නේද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය. 
 
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ දහ අටවෙනිදා සහ විසිපස් වැනිදා ඖෂධ 188ක් සඳහා තීරණ ගනු ලැබූ බව ය.
 
ඒ අනුව "එම දිනවල ඖෂධ 158ක් මිලදී ගැනීමට අනුමැතිය ලබාදුන් බව "ට අදාළ ලේඛනයෙහි ඇති සඳහන නිවැරදි නොවන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
medicine 260325
අදාළ ලේඛනයෙහි "1.7 යටතේ MSD එක ගැන යමක් සඳහන් වෙනවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරු ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කළේ  වෛද්‍ය සැපයුම් අංශය විසින් purchasing orders නිකුත් කළ බව එහි සඳහන් වන බවය.  ඖෂධ වර්ග 158ක් අටක් මිලදී ගැනීම සඳහා ගැනුම් ඇනවුම් නිකුත් කර ඇති බවක් එහි සඳහන් වන බව සාක්ෂිකරු  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.  
ඖෂධ වර්ග 188 ක් ලබා ගැනීම සඳහා ගැනුම් ඇනවුම් නිකුත් කර බවක් මෙම ලේඛනයෙහි සඳහන් නොවන බවද  ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඔබ කළ රාජකාරී අවසන්කර මාස හතකට පසුව ලේඛන අත්සන් කරන අවස්ථාවේ ඔබ HDEPC කමිටුවේදී ගත් තීරණ තහවුරු කිරීම සඳහා දී යම් ලේඛනයක් ඉදිරිපත් වුණාද?" යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී එවැනි ලේඛනයක් ඉදිරිපත් නොවූ බව කියා සිටි සාක්ෂිකරු තමන් ලැබී තිබුණු තොරතුරු මත ලේඛන වලට අත්සන් තැබූ බව සඳහන් කළේය. 
 
"එම තොරතුරු මත අත්සන් තැබීමට කිසියම් බාධාවක් තිබුණාද ?" යනුවෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර එවැනි බාධාවක් නොතිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"කමිටුව විසින් නැවත සලකා බැලීම් කළ අවස්ථාවේදී ඉදිරිපත් ව තිබූ ඖෂධ වර්ග 136න් 23 ක් පමණක් තෝරා ගැනීම සිදු කළේ කවර පදනමක් යන්න පිළිබඳව තමන්ට දැනුමක් නොමැති බව සාක්ෂිකරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය .
 
අදාල ලේඛනයෙහි 1.6 යටතේ කැබිනට් මණ්ඩල සංදේශයක් පිළිබඳව කරුණක් සඳහන් වන අතර  එම කැබිනට් මණ්ඩල සංදේශය සැප්තැම්බර් මස 26 වැනිදා ඉදිරිපත් වූ බවට දිනයක් සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය. "එම කැබිනට් මණ්ඩලය  තීරණය ගැන ඔබව දැනුවත් කළාද ?" යනුවෙන් විමසූ පැනයට සාක්ෂිකරු "නැත" යනුවෙන් පිළිතුරක් ලබා දුන්නේය.
 
" එම දැනුවත් කිරීමට බාධාවක් තිබුණාද?"යනුවෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කර අතර එවැනි බාධාවක් නොතිබූ බව ප්‍රකාශ කළ සාක්ෂිකරු "13 වැනිදා  පැවති රැස්වීමේදී කැබිනට් අනුමැතියක් ගන්න බව කිව්ව  නිසා ඒ ගැන අහන්න අවශ්‍යතාවයක් වුණේ නෑ. "යැයි ප්‍රකාශ කළේය.
 
අදාළ කමිටු තීරණ  සඳහන් ලේඛන සහ ඇමුණුම් වලට තමන් අත්සන් තැබූ අතර එහි එවැනි කැබිනට් තීරණයක් ඇතුළත්ව නොතිබූ බව සාක්‍ෂිකරු කියා සිටියේය 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය:  259 ලේඛනය බලන්න එහි කොහේ හෝ තියෙනවාද ඔබේ කමිටුව දැනුවත් කරලා EOI කෝල් කර බව?
 
සාක්ෂිකරු: නෑ, එවැනි සඳහනක් නෑ. එහි තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව.
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය : ලන්සු කැඳවා ඇත්තේ කාගේ තීරණයක් මත කියලද 10v20 ලේඛනයේ සඳහන් වන්නේ?
 
සාක්ෂිකරු: එහි තියෙන්නේ HSEPC කමිටුවේ තීරණය මත එය සිදුකරන බව.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :තෝරා ගත යුතු ඖෂධ ලැයිස්තුවක් ලබාදීම හෝ නොදීම සම්බන්ධයෙන් සටහනක් එහි තියෙනවද ?
 
සාක්ෂිකරු: එවැනි සටහනක් නෑ.
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය :කුමන හෝ ලයිස්තුවක් ඉදිරිපත් වුනාද? ඔක්තෝම්බර් මස 18 වැනිදා සහ 25 වැනිදා තෝරා ගත යුතු ඖෂධ ලැයිස්තුවක් ලැබුණද?
 
සාක්ෂිකරු :නෑ ,එවැනි ලැයිස්තුවක් ඉදිරිපත් වුණේ නෑ. 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: අධිකරණය  ඔබෙන් ප්‍රශ්න කළා Tech කමිටුව පිළිබඳව ඇති සටහනක් පිළිබඳව. ඔබට අදටවත් කියන්න පුළුවන්ද ඒ Tech කමිටුවේ කවුද හිටියේ කියලා?
 
සාක්ෂිකරු: බැහැ ස්වාමීනී 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය : එවැනි කමිටුවක් ඇති බව බවක් ඔබට කිව්වද?
 
සාක්ෂිකරු :ඔව් එහෙම කමිටුවක් ඇති බව කිව්වා .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: කවුද එහෙම කිව්වේ ?
 
සාක්ෂිකරු :එහෙම කිව්වේ කවුද කියල නම් බැලුවෙ නෑ .මිල  කාලය පිළිබඳව  බලන්න කියලා තොරතුරු පැහැදිළි කළේ වෛද්‍ය ජයනාත්.
 
 computer type
 
ඔක්තෝම්බර් මස 13 වෙනිදා කමිටුවට ඉදිරිපත් වූ ලේඛන අත් අකුරෙන් ලියා තිබූ නිසා නැවත යතුරු ලියනය කර දෙන ලෙස පැවසූ බවද, යතුරු ලියනය කරන ලද ලේඛන ඔක්තෝම්බර් මස 18 වැනිදා ඉදිරිපත් කළ බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
රිටොප්සිමැප් ඖෂධය එකක් 750ක් දීම සඳහා කමිටුව  විසින් නිර්දේශ කර තිබූ අතර එය 22500 දක්වා වැඩි කළේ ඉදිරි මාස තුනේ දී තොග නැති බවට කමිටුවේදී සඳහන් කළ නිසා බවද සාක්ෂිකරු ක්‍රියා සිටියේය. 
මෙම ප්‍රදානයන් පිළිබඳව දෙවැනි වරට සලකා බලන අවස්ථාවේදී සැපයුම්කරුවන් සමග සාකච්ඡා පැවැත්වූ බව මූලික සාක්ෂියේදී සඳහන් කළ බව පිළිගත් සාක්ෂිකරු  මුල් අවස්ථාවේදී ලබාදීමට නියමිත ප්‍රමාණය පිළිබඳව සාකච්ඡා කිරීමෙන්  අනතුරුව එම ප්‍රමාණය වැඩි කිරීමට සැපයුම්කරු කැමති වූ නමුත් මිල සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවූ බව කියා සිටියේය. එහෙත් පසුව එම මිල 5%ක් අඩු කිරීම සඳහා කැමැත්ත පළ කරමින් ඔහු ට ලිපියක් එවා තිබූ බව ‍ ප්‍රකාශ කළ සාක්ෂිකරු අදාළ ලිපිය තමන්ට හඳුනාගත හැකි බව ප්‍රකාශ කළේය. අනතුරුව එම ලිපිය සාක්ෂිකරුට පෙන්වා සිටි අතර ඔහු එය හඳුනා ගත්තේය . 
ඔක්තෝම්බර් 13, 18 සහ 25 වැනිදා කමිටුව රැස්වූ අතර 13  වැනිදා  කිසිදු තීරණයක් නොගත් බවද 18 සහ 25 වැනිදා තීරණ ගත් බව ප්‍රකාශ කළ සාක්ෂිකරු එම තීරණ හෝ සාකච්ඡා සටහන් මිනිට් වල ඇතුළත්ව නැති බව ලේඛන පරීක්ෂා කරමින් කියා සිටියේය .අදාළ කරුණු සටහන් කර ගැනීම කමිටු සාමාජිකයන් විසින් සිදු නොකළ අතර වෛද්‍ය බුත්පිටිය විසින් එම කරුණු සටහන් කර ගැනීමක් සිදුකළ බව ඔහු කියා සිටියේය .
 
"මෙම ඖෂධ මිලදී ගැනීම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය කළ යටතේ කළ යුතු බවට" සඳහන් කර තිබුණාද ?යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ "අභිලාෂ කැඳවීම සිදුකර තිබුණේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සඳහා වන බව "ය .
 
ndia medicine
 
"කැබිනට් තීරණයක් අරගෙන තිබුණා ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ දේශීය සැපයම්කරුවන්ගෙන් ලබා ගන්න. ඉන්දියානු යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාද වීම නිසා සෘජු මිලදී ගැනීම් සිදුකිරීමට තීරණය කරලා තිබුණා ."යනුවෙන් සාක්ෂිකරු කියා සිටි අවස්ථාවේදී " ඒ අවස්ථාවේදීද මේ තීරණ ගත්තේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය .
 
"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ප්‍රමාදයි කියලා මිනිස්ටර් කියූ බව" චන්ද්‍රගුප්ත මහතා රත්නායක මහතා  කිව්වා."ඒ පිළිබඳව meeting එකක සාකච්ඡා කළ බව තමයි කිව්වේ" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ඔය කමිටුව ඒ තීරණ ගන්න විට කමිටුවක් ලෙස රැස් වන්නේ කුමන නීතිමය ප්‍රතිපාදනයක් යටතේද කියලා දැනගෙන හිටියද ?
 
සාක්ෂිකරු: ඔව් ඒ පිළිබඳව මම දැනගෙන හිටියා
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒ පිළිබඳව කොහොමද දැන ගත්තේ ?
 
සාක්ෂිකරු: guideline එකක් තිබුණා .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:  ඒ guideline එක යටතේ EOI යටතේ මිලදී ගන්න අවසර දී තිබුණද ?
 
සාක්ෂිකරු :නෑ එහෙම අවසරයක් දීලා තිබ්බේ නෑ. ඒ නිසා තමයි කැබිනට් තීරණයක් ගත්තේ. 13 වැනිදා මේ ගැන සාකච්ඡා කළා කියලා එහිදී කිව්වා. ICL යටතේ මිලදී ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගත් බව .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ සාක්ෂි දුන්නද ඊයෙ EOI යටතේ කමිටුවට ඖෂධ මිලදී කියන්න බලය ලැබුණේ කැබිනට් තීරණයකින් බවට?
 
සාක්ෂිකරු :ඔව් 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: EOI යටතේ  ICL ගන්න කියලා තියෙන කැබිනට් තීරණයක් වෙනස් කරන්න ඔබේ කමිටුවට බලයක් තියෙනවාද?
 
සාක්ෂිකරු ඔව්. කැබිනට් තීරණය හා අපේ මාර්ග උපදේශය යන දෙකම නිකුත් කළේ කැබිනට් එකෙන්.
 
සෘජු ක්‍රමවේදය හෝ වෙනස් ක්‍රමවේදයක් යටතේ මිලදී ගැනීම පිළිබඳව තීරණය කිරීමට කමිටුවට හැකියාව ඇති බවට සාක්ෂිකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළ  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය "මෙය පටන් ගත්තේ මොන ක්‍රමවේදයකට ද ?" යනුවෙන් විමසීමක් කළාය.
 
එය EOI යටතේ සිදු කළ බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
 
කැබිනට් තීරණයක් ඇති බව තමන් පිළිගත් බව ප්‍රකාශ කළ සාක්ෂිකරු ඒ පිළිබඳව චන්ද්‍රගුප්ත මහතා සහ සමන් රත්නායක මහතා සඳහන් කළ බව කියා සිටියේය 
 
සාක්ෂිකරුගේ අවධානය ලේඛනයකට යොමු කළ,
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම ලේඛනයේ ඇති HSEPC decision කියන තැනට ඔබගේ අවධානය යොමු කරන්න. සාක්ෂියේදී ඔබ කිව්වද" මේ මිලදී ගැනීම්  ICL යටතේ කරන්නේ කියලා"
 
සාක්ෂිකරු: එසේය ස්වාමීනී
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය:  එහි තිබෙනවා ICL යටතේ මිලදී ගැනීමක්  ගැන. මුලදී  ICL කියලා තිබිලා පසුව එයට ඍජු යන්න එකතු කළේ ඇයි?
 
සාක්ෂිකරු : කමිටුවේ සභාපති කිව්වා ICL  ප්‍රමාද වන බව. ඉක්මනින් බෙහෙත් ගන්න ඕන. බෙහෙත් ඉතාම අඩු ප්‍රමාණයක් තිබුණේ ඒ නිසා මෙය හදිසියේම මිලදී ගත යුතු තමයි ඔහු කිවුවේ. ඒ බව minister ළඟ තියෙන meeting එකක  තීරණය කළ බව තමයි ඔහු දැනුම් දුන්නේ .
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එහෙම ප්‍රකාශ කළේ  කමිටු සාමාජිකයෙක්නේ, HSEPC කමිටුවට කැබිනට් තීරණයක් වෙනස් කරන්න පුළුවන් බව ඔබ කිව්වද ?
 
සාක්ෂිකරු. ස්වාමීනි අපේ කමිටුව පත් කළේ කැබිනට් එකෙන්. කැබිනට් තීරණයත් අපේ පත්කිරීමත් එකම තැනකින් දුන් බවයි මා අදහස් කළේ .
 
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ  ප්‍රදානය කළ සැපයුම් ලැබී නොමැති බව අදාළ ලේඛනයේ 1.9 යටතේ සඳහන් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය  එම ක්‍රමය යටතේ මිලදී ගැනීමට තීරණය කළ ඖෂධ "ආනයනය කර සැපයීම යටතට ආවේ කොහොමද" යන්න පිළිබඳව එම ලේඛනය සඳහන්ව තිබුණාද ? යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය.
 
 එලෙස සටහනක් නොතිබූ බව සඳහන් කළ සාක්ෂිකරු තීරණ ගැනීමෙන් මාස හතකට පසුව එම තීරණ ඇතුලත් ලේඛන වලට අත්සන් තැබීමේදී "ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ,සෘජු මිලදී ගැනීම් බවට පත් වූ බව" තමන්ගේ අවධානයට ලක් නොවූ බව සඳහන් කළේය .
 
business meeting office
 
මෙම මිළදී ගැනීම් වලට අදාළ දෙවැනි  HSEPC meeting එක වෙනත් ප්‍රසම්පාදනයක් අතරතුර පැවති බවත් එම සාකච්ඡාව 2023 ජූනි මස දවසක පැවැති බවත් සාක්ෂිකරු කියා සිටි සාක්ෂිකරු එම දිනය ලෙස මෙම ලේඛනයේ  ඇති සටහන නිවැරදි විය හැකි බවද සඳහන් කළේය .
 
"එම දෙවැනි රැස්වීමේදී නැවත සලකා බැලීම් වලදී "අයිසොලේස් බයෝ ටෙක් පාමා"  ආයතනයට ඖෂධ මිලදී ගැනීම සඳහා  ප්‍රදාන පිරිනැමීමට තීරණය වී නෑ නේද" කියලා ඔබගෙන් හරස් ප්‍රශ්නවලදී ඇහුවා ? යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු ඊට" ඔව්" ලෙස පිළිතුරු ලබා දුන්නේය. 
 
විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමේදී කමිටු සාමාජිකයන් සම්බන්ධයෙන් විමසීමක් කළ අතර  මුදල් අමාත්‍යාංශ නියෝජිතයා ලෙස සාක්ෂිකරු සිටි බවත් , සභාපතිවරයා ලෙස සෞඛ්‍ය  අමාත්‍යාංශ  ලේකම් චන්ද්‍රගුප්ත මහතා සිටි බවත් සඳහන් කළ සාක්ෂිකරු අනිත් සාමාජිකයා ප්‍රසම්පාදන අස්ථිතිය හෝ එහි සාමාජිකයෙකු ව සිටිය යුතු බව සඳහන් කළේය.  
"ඔබ ඊයේ සාක්ෂි ලබා දෙමින් කිව්වා මෙහි procurement entity ය සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා. මෙම ලේඛනයේ MSD ලෙස සඳහන් වෙලා තියෙද්දී ඔබ සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස කියලා කිව්වේ ඇයි ? යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර  ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු "ස්වාමීනි අප ගණකාධිකාරුවන් ලෙස ගෙවීම් කරන ශීර්ෂයේ සඳහන් ආයතනය තමයි procument entity ලෙස හඳුනාගන්නේ , MSD එක කියන්නේ අංශයක් පමණයි. දෙපාර්තමේන්තුවක් නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි ප්‍රධාන ආයතනය. ඒ අවබෝධය මත තමයි  procument entity  එක සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස කිව්වේ යනුවෙන් කරුණු පැහැදිලි කිරීමක් කළේය.  
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය :ප්‍රසම්පාදන අස්ථිතිය ගැන ඔබව දැනුවත් කළාද ?
 
සාක්ෂිකරු :නැහැ ස්වාමීනි 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය :ඒ සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් තිබුනද ?
 
සාක්ෂිකරු: නැත ස්වාමීනි 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :කැබිනට් තීරණයක් ගත් බව කියද්දී ප්‍රසම්පාදන අස්ථිතිය ගැන කිව්වද ?
 
සාක්ෂිකරු :නැහැ ස්වාමීනි 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: EOI යටතේ කැඳවා ඇති අයිතම මිලදී ගැනීම සඳහා SPC ආයතනය ප්‍රසම්පාදන අස්ථිතිය ලෙස කටයුතු කළ බව කවුරු හෝ ඔබට කිව්වද ?
 
සාක්ෂිකරු: නැත ස්වාමීනී
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය : ඔබ ඉදිරියේ ඇති ලේඛනය බලන්න. එහි 2.4හි පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් ICL යටතේ මිලදී ගැනීමට තීරණය කර ඇති බවක් සඳහන් වෙනවද ?
 
සාක්ෂිකරු: ඔව් .
 
court in man case
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රසම්පාදන අස්ථිතිය සෞඛ්‍ය අමාත්‍යාංශය ද, වෛද්‍ය සැපයුම් ඒකකය ද,  ඖෂධ නීතිගත සංස්ථාව ද, යන්න සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පෙන්වා දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියාය.
එහිදී සාක්ෂිකරු කියා සිටියේ තමන්ට තිබෙන වැටහීම අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය වන බවය. 
 
"මේවා මිලදී ගන්න කැබිනට් අනුමැතිය දී ඇත්තේ කාටද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර ඔහු කියා සිටියේ" වෛද්‍ය සැපයුම් ඒකකය"ට එම අනුමැතිය දී ඇති බවය. 
 
මෙම කමිටුවෙහි මුදල් අමාත්‍යාංශ සාමාජිකයා ලෙස සාක්ෂිකරුත් සභාපතිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සිටි අතර ප්‍රසම්පාදන ස්ථිතියේ නියෝජිතයා ලෙස සිටියේ කවුද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළාය
 
එම අවස්ථාවේදී නැගී සිටි දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා , එම ප්‍රශ්නයට තමන් විරුද්ධ වන බව කියා සිටියේය.
 
නීතිඥවරයා: "මිලදීගන්න කෙනා procurement entityය කියල කොහේවත් නෑ. මගේ උගත් මිතුරිය මිලදී ගන්න කෙනා ප්‍රසම්පාදන අස්ථිතිය කියන උත්තරය ලැබෙන පරිදි ප්‍රශ්නය සාක්ෂිකරුගෙන් විමසන්න කටයුතු කරනවා. එය වැරදියි ස්වාමීනී "
 
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා : ප්‍රසම්පාදන අස්ථිතිය සම්බන්ධයෙන් දිගටම ප්‍රශ්න කළා .
 
නීතිඥවරයා :ඔහු කිව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා .
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය : මම ඇහුවේ ඇයි එහෙම කියන්නේ කියලා. ඔහු කිව්වේ ඒ ඔහුට තේරෙන විදිය කියලා. ඒක හරි .
 
නීතිඥවරයා : ඒක වැරදියි. ඒක තීරණය කරන්න ඕනේ අධිකරණය. මගේ උගත් මිතුරියගේ අර්ථකථනය වැරදියි .
 
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා : procurement කරන්නේ කවුද කියලා සාක්ෂිකරුගෙන් අහන්න 
 
ඒ අනුව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සාක්ෂිකරුට නැවත ප්‍රශ්නයක් යොමු කළාය.
 
"ඔබ කිව්වා මේ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතියක් ලැබුණු බව . ඒ අනුමැතිය දීල තිබ්බේ කාටද? මිලදී ගැනීමට MSD එකට ද?
 
court 3
නීතිඥ අසේල සේරසිංහ : 
ස්වාමීනි මේ ප්‍රශ්න කිරීමට මම විරුද්ධයි. උගත් මිතුරි ගේ හිතේ තියෙන අදහසක් අධිකරණයේ ඉදිරියට ගේන්න උත්සාහ කරනවා. ඒක වැරදියි. සාක්ෂිකරුවන් හරහා තහවුරු කළ යුතුයි . ඇය අදහස් හිතේ තියාගෙන එය අධිකරණය හමුවේ හරි කියලා පෙන්නන්න හදනවා. එහෙම කරන්න බෑ අධිකරණයට තීරණය කරන්න දිය යුතුයි.  
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: ප්‍රසම්පාදනය අස්ථිතිය අර්ථ නිරූපණය ගැන ඔහු සාක්ෂියක් දුන්නා .ඒක ගැන තමයි මම ඇහුවේ. ඒ ගැන ඔහු සාක්ෂි දුන්නා .
 
නීතිඥ අසේල සේරසිංහ: මහතා ඖෂධය මිලදී ගන්න කෙනා  ප්‍රසම්පාදන අස්ථිතිය නෙමෙයි, ප්‍රසම්පාදන යේ කොටසක් පමණයි .
 
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා . නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය අහපු එම ප්‍රශ්නය ඉවත් කරන්න. ප්‍රසම්පාදන අස්ථිතිය මොකක්ද කියන එක සාක්ෂිකරුගෙන් අහන්න. මේ එක සාක්ෂිකරුවකු පමණයි මාර්ගෝපදේශ තියෙනවා තවත් සාක්ෂි තියෙනවා. ඒ අනුව අධිකරණයට ඒ පිළිබඳව තීරණය කරන්න පුළුවන්. 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එම අවස්ථාවේදී නැවත සාක්‍ෂිකරු ගෙන් ප්‍රශ්න කිරීම සිදුකළ අතර " ප්‍රසම්පාදන අස්ථිතිය යනු කුමක්දැ"යි ඔහුගෙන් විමසීමක් කළාය .
 
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ ගණකාධිකාරී වරුන් ලෙස ආයතන ශීර්ෂය සමඟ ප්‍රසම්පාදන කටයුතු  සම්බන්ධයෙන් සලකා බලන බවය .එහිදී ගෙවීම් කරන ආයතනය ප්‍රසම්පාදන අස්ථිතිය ලෙස සලකනු ලබන බව ඔහු කියා සිටියේය.
 
නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය: procurement entity එක ගැන දෙවන චූදිත ගේ නීතිඥ මහතා ඇහුවා  MSD එක කියලා 259  ලේඛනයේ සඳහන් කරලා තිබුණද කියලා ඇහුවා. 
 
නීතිඥ අසේල සේරසිංහ: ස්වාමීනි මම එහෙම ඇහුවේ නෑ .මං ඇහුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත්ද කියලා. 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: ශීර්ෂයේ තියෙන ආයතනය  procurement entity ය කියලා ඔබ කිව්වේ ඔබට වැටහුණු ආකාරයටද ?
 
සාක්ෂිකරු ඔව්. 
 
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය: මේ කමිටුවේදී ප්‍රසම්පාදන අස්ථිතියක් ගැන කතා කළාද ?
 
සාක්ෂිකරු: නැහැ ස්වාමීනී මෙහි  MSD, health ministry කියල තියෙන්නෙ. අපි දිගටම වැඩ කරද්දී  හිතුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි procurement entity ය කියලා.
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී. 
 
මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කෙරිණි.
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

 

නවතම පුවත්