ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති සැනෙලි දාවකයක් (pen drive) ලෙස සඳහන් කරමින් ,අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතන පරීක්ෂණය ආයතන පරිශ්‍රය නිරීක්ෂණයේදී ගත් දර්ශන ඇතුළත් pen drive එකක් පිළිබඳව කළ සඳහන තමන්ට අත් වැරදීමකින් සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
අදාළ නඩුව විභාග කිරීම සඳහා ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු), විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය මේ බව සඳහන් කළාය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල්වරිය නඩු විභාගයට පෙර අධිකරණය අමතමින් සඳහන් කළේ රජයේ රස පරීක්ෂකවරයා ගේ සාක්ෂි විමසීමට අදාළව ඉදිරිපත් කර ඇති රස පරීක්ෂණ වාර්තා සහ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තමන් මීට පෙර දින ඉදිරිපත් කරන ලද කරුණුවල යම් වරදක් ඇති බවය.
p194 ලෙස නම්කර ඇති භාණ්ඩය අටවන විත්තිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති සැනෙලි දාවකයක් බවද එහි වීඩියෝ පට හතක් ඇති බවද තමන් අධිකරණයට ප්‍රකාශ කළ අතර කරන විත්තිකරුගේ නීතිඥවරයා තමන් විසින් ලබා දුන් සැනෙලිදාවකයේ වීඩියෝ දෙකක් පමණක් ඇති බවට ප්‍රකාශ කළ බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.
ඒ පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයා සමග සාකච්ඡා කර කළ කරුණු සොයා බැලීමේදී p194 ලෙස නම්කර ඇති සැනෙලි දාවකය අටවන විත්තිකරු විසින් ලබා දුන් එකක් නොව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද නියෝගයකට අනුව NMRA ආයතනයේ නිලධාරීන් අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතන පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේදී ලබාගත් වීඩියෝ ඇතුළත් සැනෙලි දාවකයක් බවට සදහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහි වීඩියෝ පට හතක් ඇති බවට ප්‍රකාශ කළාය.
අටවන විත්තිකරු විසින් ලබා දී ඇති සැනෙලි දාවකයේ වීඩියෝ පට දෙකක් ඇති අතර ඒවා 72 සහ 73 වන නඩු භාණ්ඩ ලෙස නම්කර ඇති බව ඇය සඳහන් කළාය.

කෙසේ වුවද අටවන චූදිත විසින් ඉදිරිපත් කර ඇති සැනෙලි දාවකය කවර උපකරණයකින් ලබා ගත්තේ ද යන්න පිළිබඳව අනාවරණය කර නොමැති එබැවින් ඒවා පරිශීලනය කිරීම සඳහා විත්තිකරුවන්ට අවසර ලබාදීමට පැමිණිල්ලට හැකියාවක් නොමැති අතර පසුව කළ සොයා බැලීමකදී අටවන විත්තිකරු විසින් දෙන ලද දර්ශන ඇතුළත් සම්පූර්ණ වීඩියෝව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය තුළ තිබී සොයාගත් බවද ඒ සඳහා විත්තිකරුවන්ට ප්‍රවේශය ලබාදී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර සිටියාය.
ඒ අනුව එම 194 දරණ සැනෙලි දාවකය අටවෙනි විත්තිකරු විසින් ලබා දුන් එකක් බවට තමන් කළ ප්‍රකාශය අත්වැරදීමකින් සිදුකළ බැවින් ඒ සම්බන්ධයෙන් සමාව ලබා දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
මෙහිදී මෙම නඩුවේ අටවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සඳහන් කළේ අදාළ සැනෙලි ධාවකය අට වන චූදිත විසින් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඊට ප්‍රවේශය ලබාදීමට නොහැකි බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කරන නමුත් අදාල වීඩියෝ පට ඇතුලත් සැනෙලි දාවකය අටවන විත්තිකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේ 2023 දෙසැම්බර් මාසයේදී බව ය.
ඒ අවස්ථාව වන විට වන චූදිත සැකකරුවෙක් ලෙසවත් නම්කර නොසිටි අතර මෙම නඩුවේ මුල් පැමිණිලිකරු වූයේද අටවන චූදිත ගේ හිටපු උපදේශකවරයෙක් බව ට නීතිඥවරයා සඳහන් කළේය. මෙම සිද්ධියට සම්බන්ධ සියලු විමර්ශන වලට අට වෙන විත්තිකරු උපරිම සහාය ලබා දුන් අතර ඊට සහාය වීමක් ලෙස මෙම දර්ශන ඇතුළත් සැනෙලි දාවකය ලබා දී ඇති බවද නීතිඥවරයා සඳහන් කළේය.
එම වීඩියෝ පටය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් ලබාගෙන ඇති බව සඳහන් කළ නීතිඥවරයා විමර්ශකයන්ට අවශ්‍යතාවයක් තිබුණේ නම් ඒ පිළිබඳව කරුණු සොයා බලා එකී කැමරාව කුමක්ද යන්න පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බව නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "මොනවද සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නේ ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියගෙන් විමසීමක් කළේය.

එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සඳහන් කළේ "ස්වාමීනී, අටවෙනි චූදිත විසින් ලබා දුන් සැනෙලි දාවකයට සම්බන්ධයෙන් විමර්ශකයන් හෙව්වා. ඒ අනුව සම්පූර්ණ වීඩියෝව සොයාගෙන තැටි දෙකකට ගත්තා එම සම්පූර්ණ වීඩියෝව පැමිණිල්ල ඉදිරිපත් කරනවා. ඊට විත්තිකරුවන්ට ප්‍රවේශය ලබාදී තිබෙන්නේ " යනුවෙනි.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී ප්‍රකාශ කළේ අටවන චූදිත විසින් ඉදිරිපත් කරන ලද සැනෙලි දාවකය පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරනවා නම් පමණක් සාක්ෂි ආඥා පනතේ විශේෂ විධිවිධාන අනුව නොතිසි ලබා නොදීම ගැටළුවක් වන බවය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ එය තමන් විසින් ඉදිරිපත් නොකරන බවය.
එහිදී මෙම නඩුවේ දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය අමතමින් කරුණු දැක්වීමක් කළේය.
"ස්වාමීනී මෙම පැමිණිල්ලේ උගත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ඊයේ සපථ කළා මෙම ඇය විසින් ප්‍රකාශ කළ අංක නිවැරදියි කියලා. ඒ අනුව තමයි අප විත්තිවාචක සකස් කරගන්නේ. පැමිණිල්ලට වත් ඔවුන් ඉදිරිපත් කරන උපාංග ගැන දැනුමක් නැති බව අද ඇය කරන ප්‍රකාශයෙන් පේනවා. ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින නමුත් එය සමාව ලබාදී ම අවසන් කළ හැකි වරදක් නෙමෙයි තත්ත්වයන් නඩු වාර්තාවේ සඳහන් වීම නඩු විභාගයටම ගැටලුවක් වෙනවා තමන් ඉදිරිපත් කරන සාක්ෂි ගැන පැමිණිල්ල දන්නේ නැත්නම් විත්තිය කොහොමද දැනගන්නේ?. අටවෙනි චූදිත විසින් මෙම සැනෙලි දාවකය ලබාදී ඇත්තේ. එහෙත් එය අටවන චූදිත සහ පැමිණිල්ල අතර ඇති පෞද්ගලික ගනුදෙනුවක් නෙමෙයි. අනෙකුත් විත්තිකරුවන්ට එය බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගත යුතුයි." යනුවෙන් ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා කියා සිටියේ පැමිණිල්ල අදාල සාක්ෂිය ඉදිරිපත් කරන්නේ නැති බවට සහතිකයක් ලබා දෙනවා නම් විත්තිකරුවන්ට මෙම සැනෙලි දාවකය ට ප්‍රවේශය නොදීම මගින් හානියක් නොවන බවය.
එහිදී දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සඳහන් කළේ පැමිණිල්ල විසින් මීට පෙර කළ දැනුම් අනුව අට වැනි චූදිත විසින් ලබාදී ඇති සැනෙලි දාවකය සම්බන්ධයෙන් සාක්ෂි විමසන බවට විශ්වාසයෙන් තමන් අද මෙම නඩුවට කරුණු දැක්වීම සඳහා පැමිණි බවය.
පැමිණිල්ලේ ස්ථාවරය වෙනස් කරමින් අද වෙනත් දෙයක් ප්‍රකාශ කරන අතර පැමිණිල්ලේ කරුණු දැක්වීම පරස්පර බවද නීතිඥ වරයා සඳහන් කළේය.
මෙවැනි සාක්ෂියක් ඉදිරිපත් කිරීමේදී සාක්ෂි විධාන විශේෂ පනත අනුව පැමිණිල්ල විසින් අදාළ පටිගත කිරීමේ මුල් අවස්ථාවේ සිට අවසානය තෙක් කරුණු ලබාදිය යුතු බව සඳහන් කළ නීතිඥවරයා ඒ බව සඳහන් දිවුරුම් ප්‍රකාශයක්වත් ලබා දී තිබේද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද සඳහන් කර සිටියේය.

එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ අටවෙනි චූදිත වෙනුවෙන් පෙනී සිටින නයන්ත විජේසුන්දර මහතා සඳහන් කළේ අදාළ සැනෙලි දාවකය සිය සේවා දායකයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නේ 2023 දෙසැම්බර් මාසයේදී බව ය. විමර්ශකයන්ට අවශ්‍යතාවයක් තිබුණේ නම් ඒ ඒ පිළිබඳව ඕනෑම තරම් තොරතුරු සොයාගැනීමට හැකියාව තිබූ බව නීතිඥවරයා සඳහන් කළේය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙම සැනෙලි දාවකයේ මූලය ගැන පැමිණිල්ල නොදන්නා බවය. අට වන චූදිත විසින් එය ලබාදුන් අතර ඒ පිළිබඳව විමර්ශනය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ තිබී එහි සම්පූර්ණ වීඩියෝ පටය සොයා ගත් බවද එය පටිගත කළ බව කියන නිලධාරීන් දෙදෙනෙකුගේ ප්‍රකාශ ලබා ගත් බවද සදහන් කළාය.
"ස්වාමීනි මට වැරදුනේ අංක පමණයි. එහි අන්තර්ගතය වෙනසක් නෑ. පැමිණිල්ලට නෛතික හැකියාවක් නෑ පැමිණිල්ල ඉදිරිපත් නොකරන සාක්ෂියක් සම්බන්ධයෙන් ප්‍රවේශයක් ලබාදීමට. මේ විත්තියේ නීතිඥවරුන් මෙම දේශන ඉදිරිපත් කරන්නේ වෙනත් අරමුණු ඉටු කර ගැනීමටයි .මේ වෙලාවේ මේ දේශනය අදාළ නෑ. ඉදිරියේදී මෙම නඩුවේ දී වෙනත් අරමුණක් ඉෂ්ට කරගන්න තමයි මෙවැනි දේශනා කරන්නේ. අමාත්‍යාංශයේ මාධ්‍ය එක්ක ට ප්‍රවේශ වෙන්න දවස් තුනක් ලබා දුන්නා .විත්තිකරුවන් එය භුක්ති විඳලා මාස හයකට පසුව මෙලෙස පැමිණිලි කිරීම සම්බන්ධයෙන් මම විරෝධය පළ කරනවා" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය සඳහන් කළ අවස්ථාවේදී එම ප්‍රකාශය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරු දැඩි විරෝධය පළ කළහ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් ඉදිරිපත් කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර එවැනි චෝදනාවන්ට අධිකරණය විසින් කිසිදු අවස්ථාවක අවසර ලබා දුන් දිය යුතු නැති බව එම නීතිඥවරු අවධාරණය කර සිටියහ.
මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඒ පිළිබඳව සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේ පැමිණිල්ල විසින් අනුව පෙර දිනයේ සිදුකළ කරුණු දැක්වීමේදී ඉදිරිපත් කළ අංක වල වෙනස් වීමක් හැර වෙනත් කිසිවක් වෙනසකට ලක්වී නොමැති බවය.
විත්තිය විසින් විරෝධය පළ කරන සැනෙලි දාවකය සාක්ෂියක් ලෙස පැමිණිලි පාර්ශ්ව විසින් ඉදිරිපත් නොකරන බැවින් විත්තිකරුවන්ගේ විත්ති වාචකයට එය බලපෑමක් නොවන බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේය .
ඒ අනුව 198 ලෙස නම්කර ඇති වාර්තාව නඩු පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් නොකරන අතර ලෙස නම්කර ඇති 194,197 සහ 294 ලෙස නම් කර ඇති වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ හබයක් නොමැති අතර නෛතික අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කර ඇති බවට අධිකරණය විසින් නිගමනය කරන බව විනිසුරුවරයා එහිදී සඳහන් කළේය.
එබැවින් එම සාක්ෂි ඉදිරිපත් කිරීමට නෛතිකමය බාධාවක් නොමැති බවද සභාපති විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේය.
එම නියෝගය ලබාදීමෙන් අනතුරුව මෙම නඩුවේ පැමිණිල්ලේ 285 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදෙමින් සිටි ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.පී.ඊ.උඩංගමුව මහතාගෙන් වැඩිදුර සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විසින් සිදුකරන ලදී.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරු මීට පෙර සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව වෛද්‍ය සැපයුම් අංශයේ තිබූ පරිගණක සර්වර් පද්ධතියේ දත්ත ලබා ගැනීමක් කළ බව සඳහන් කළ අතර මූලික දත්ත හඳුනා ගැනීමක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය.
අධිකරණ නියෝගය මගින් ඉල්ලා ඇති කරුණු වලට අදාළ දත්ත කුමක්ද යන්න හඳුනාගෙන එම දත්ත උපුටා ගැනීම සඳහා ක්‍රමවේද යෝජනා කිරීම ඉන්අදහස් කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබ ඊයේ සාක්ෂි ලබාදී දී ප්‍රකාශ කරා සර්වර් එකක්සක්‍රීයව තිබියදී දත්ත ගන්න බව සහ දත්ත දත්ත අධ්‍යයනය කර සිස්ටම් එක පරිපාලනය කරන අයව හඳුනාගත හැකි බව කිව්වා. වෙනත් ක්‍රමයකින් දත්ත ගන්නවා කියන්නේ මොකක්ද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය සාක්ෂි කරුගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් "මෘදුකාංගය හරහා සපයා ඇති පහසුකමක් ඔස්සේ දත්ත පිටපත් කර ගැනීම කළ හැකිදැයි එහිදී බලනවා. එසේ කළ නොහැකි නම් සෘජුව සම්බන්ධ කර ගැනීම කරනවා. දෙකම හැර backup server එකක් තිබෙනවා නම් එයින් දත්ත ගන්නවා." යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"backup server එකක් යනු කුමක්ද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු "යම් ආයතනයක පරිගණක දත්ත ක්‍රියාත්මක වන ඕනෑම අවස්ථාවක මුල් පරිගණකය ක්‍රියා විරහිත විය හැකියි. එවැනි අවස්ථාවකදී එහි ක්‍රියාවලිය වැළැක්වීම සඳහා බේස් එකක් ඇති පරිගණකයක් ක්‍රියාත්මක කරනවා .අක්‍රීය වූ පරිගණකය යථා තත්ත්වයට පත් කර ගන්නකම් එය භාවිතා කරනවා. "යනුවෙන් පැහැදිලි කිරීමක් කළේය.
"සජීවී සර්වරයට බැකප් සර්වර් එකක් එකතු කරන බවද ඔබ කියන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාකරු ඊට "ඔව් "ලෙස පිළිතුරු ලබා දුන්නාය .
"එම පරිගණක සර්වර් දෙකේ ඇති තොරතුරු සමානද කියා විද්‍යාත්මකව තහවුරු කරගන්නේ කොහොමද?"යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය යොමු කළ අතර එහිදී වඩාත්ම ප්‍රායෝගික ක්‍රමය ලෙස තොරතුරු ඇතුළත් වගුවල Raw count ගණන් කිරීමක් කරන බව ද ,ඒවා සමානද යන්න පරීක්ෂා කර බලන බවද, සාක්ෂිකරු කියා සිටියේය.
හෑෂ්ටැග් කියලා ක්‍රමවේදයක් තියෙනවාද යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඩිජිටල් දත්ත පරීක්ෂා කිරීමේදී හෑෂ්ටැග් ක්‍රමවේදය භාවිතා කරන නමුත් සජීව පද්ධතියක ඩේටා install කරන අවයව, බැකප් පද්ධතියක ඩේටා ගත්විට එහි හෑෂ්ටැග් යොදා ගැනීම සිදු නොකළ නොහැකි බවය .එවිට දත්ත වල වෙනස් වීමක් සිදුවන බව සඳහන් කළේය.
එවැනි අවස්ථාවක backup පරිගණකය රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විද්‍යාගාරයට විධිමත් ලෙස රැගෙන එන අතර පසුව එය විශ්ලේෂණය කිරීමක් සිදුකරන බව සාක්ෂිකරු කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:ඔබ එහිදී සඳහන් කළා වඩාත් ප්‍රායෝගික යනුවෙන්.එය වඩාත් ප්‍රායෝගික කියන්නේ ඇයි?
සාක්ෂිකරු :ආයතන පරිශ්‍රයකට ගොස් දත්ත ගන්නවා නම් එම අවස්ථාවේදී පමණයි එය සිදුකළ හැක්කේ ස්වාමීනී. දත්තවල යම් වෙනසක් සිදුවුවහොත් නැවත පරිශ්‍රයට ගොස් පොලිසියත් රැගෙන පරීක්‍ෂණ සිදුකිරීමට සිදුවෙනවා. එය ප්‍රායෝගිකව ඉතාම අපහසුයි. අපේ විද්‍යාගාරයට එම පරිගණක ගෙනාවිට විද්‍යාත්මක ක්‍රමය යටතේ දත්ත විශ්ලේෂණය කිරීමක් කළ හැකියි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: ඉල්ලා තිබෙන තොරතුරු අධික වූ විට මොකක්ද කරන්නේ ?
සාක්ෂිකරු: backup server එකකින් තොරතුරු ලබා ගැනීම ලයිව් සේවයකින් තොරතුරු ගැනීමට වඩා වේගවත් කළ හැකියි.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය : live server එකකින් backup server එකකට තොරතුරු ගන්නේ කොහොමද ?
සාක්ෂිකරු: එය සිදු කරන්න පුළුවන් අවශ්‍ය වෙලාවට manually backup server එකට එකතු කරන්න පුළුවන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබට මෙම නඩුවට අදාළව සිතාසි ලැබෙන විට වාර්තා ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණාද ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි .
මෙම අවස්ථාවේදී සාක්ෂිකරු විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුද්‍රිත ටේප් යොදා මුද්‍රා තබන ලද ලියුම් කවරයක් අධිකරණයේ අවධානයට යොමු කළ අතර විත්තිකරුවන්ගේ නීතිඥවරුන් ගේ නිරීක්ෂණයට ද යොමු කරන ලදී .
ඉන් අනතුරුව එම ලියුම් කවර ය අධිකරණයේ මුඩ්ලියර්වරිය විසින් විවෘත කළ අතර එහි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය සහිත වාර්තාවක් ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා සිටියාය.
එම වාර්තාව සාක්ෂිකරුට පෙන්වා සිටීමෙන් අනතුරුව එය හඳුනා ගත් සාක්‍ෂිකරු එය තමන් විසින් අත්සන් තබා ඉදිරිපත් කළ වාර්තාවක් බවට හඳුනා ගත්තේය.

එහිදී සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය" මෙම වාර්තාව සකස් කිරීමට නියෝග ලැබුණේ කොහෙන්" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය.
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ "එය මාලිගාකන්ද අධිකරණයක් ලැබුණු නියෝගයක් මත සකස් කරන ලද විශේෂඥ කමිටු වාර්තාවක් බව"ය.
2024 /03/04 අධිකරණ නියෝගය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇති පරිගණක පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා තවත් ආයතන තුනක නියෝජිතයන් තිදෙනෙකු සමග එම ස්ථානයට ගිය බව සාක්ෂිකරු සඳහන් කළේය.
"එදින නියෝගය මොකටද ලැබුණේ ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ " මහේස්ත්‍රාත් තුමිය විසින් මගේ නමටම එම නියෝගය කළා. එහි පිටපත් අනෙක් අයටත් යොමු කර තිබුණා. එමගින් නියෝග කර තිබුණේ 2022 /09/20 දින වෛද්‍ය සැපයුම් අංශයේ විසින් ම spc ආයතන වෙත යවන ලද ඖෂධ 182ක ට දෛනික තොගය කොපමණද යන්න සහ 2022 සැප්තැම්බර් මස 27 දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අභිලාෂ කැඳවන ලද ඖෂධ ලැයිස්තුවේ ප්‍රමුඛතා ලැයිස්තු 1,2 දෙ යනුවෙන් සඳහන් ඖෂධ 229 සම්බන්ධයෙන් වන දෛනික සහ ජාතික තොගය පිළිබඳ දත්ත ලබා දෙන ලෙසයි. එසේ දත්ත ලබාගත නොහැකිනම් ඒ පිළිබඳව ඔබේ මතය දක්වන්න යනුවෙන් එහි සඳහන් කර තිබුණා. "යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය .
ඒ අනුව තමන් ඇතුළු කණ්ඩායම 2014 මාර්තු මස 17 වැනි දින වෛද්‍ය සැපයුම් ඒකකයේ තොරතුරු තාක්ෂණ නිලධාරියා සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව පද්ධතිය ක් සම්බන්ධයෙන් වැටහීමක් ලබා ගැනීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කරන බවද එහි database එක ඔරකල් සමාගමටත් මෘදුකාංගය i vish සමාගමටත් අයත් බව හඳුනාගත්තා බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය
"එහිදී ඔබට කළ යුතුව තිබුණේ ?දත්ත පිටපත් කිරීමද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු "දත්ත පිටපත් කිරීමක් එහිදී සිදු කළ යුතුව තිබූ බව" කියා සිටියේය.
එහිදී දත්ත පද්ධතියට සෘජුව සම්බන්ධ විය නොහැකි බවද වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන්ට අදාල දත්ත පද්ධතියට ඇතුළු හැකියාව ඇති නමුත් එම දත්ත වෙනස් කිරීම හෝ ඉවත් කිරීම සිදු කිරීමට තනිව කටයුතු කළ නොහැකි ව තිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.
එහිදී pronto පද්ධතිය නිරීක්ෂණය කර msd ආයතනයේ තොග පාලන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් බව සාක්ෂිකරු කියා සිටියේය.
අනතුරුව එම අධිකරණ නියෝගය ට අදාළව කටයුතු කිරීම සඳහා එම පරිගණක එය ඇතුළු උපකරණ කිහිපයක් විධිමත්ව ලබාගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
එම නඩු භාණ්ඩ ලබා ගත් අවස්ථාවේදී සර්වර් පරිගණකයක්, එහි යතුර, බාහිර තැටිය, සංයුක්ත තැටිය යනාදිය භාරගත් බව සාක්ෂිකරු කියා සිටියේය .
"රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බඩු භාර දෙන්නේ කොහේදීද" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ, "සැක කටයුතු ලේඛන දෙපාර්තමේන්තුවට ලේඛන ගැනීම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාණ්ඩ භාර ගැනීම යනාදිය ක්‍රම දෙකකට සිදුකරන බවය. ලේඛන සහ ඩිජිටල් භාර ගැනීමේදී ඒවා රැගෙන එන නිලධාරියා ඉදිරී පිටම එම මුද්‍රා කඩා බලා විවෘත කර ඒවා නිසි පරිදි පවතිනවාද?" යනුවෙන් පරීක්ෂාවක් කර සංදේශයක් නිකුත් කරන බව" සාක්ෂිකරු කියා සිටියේය.
අනතුරුව අප්‍රේල් මස 14 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ මුද්‍රා සහිතව නඩු භාණ්ඩ ලැබුණු බව ද සාක්ෂිකරු සඳහන් කළේය.
ඒ අනුව" ලැබුණේ අදාළ නඩු භාණ්ඩම ද ?"යන්න පරීක්ෂා කර බැලූ අතර ආවරණ ලිපියේ ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කර ඒ බව සංදේශයේ සඳහන් කළ බව සාක්ෂිකරු කියා සිටියේය .
එම නඩු භාණ්ඩ වලින් දත්ත පිටපත් කර ගැනීම සඳහා පරිගණකය ක්‍රියාත්මක කිරීමට වෛද්‍ය සැපයුම් ඒකකයේ තොරතුරු හා තාක්ෂණ නිලධාරීන් ලබාදුන් උපදෙස් අනුව sqm query නිර්මාණය කළ අතර දත්ත ලෙහෙසියෙන්ම කියවා තේරුම් කරගත හැකි ආකාරයට වගු ගත කළ බව සාක්ෂිකරු කියා සිටියේය.ඒ සඳහා කමිටුවේ සෙසු සාමාජිකයන්ගේ ද ගේ සහයද ලැබුණු බව ඔහු සඳහන් කළේය .
ඖෂධ වර්ග 182 ක් ගැන මහේස්ත්‍රාත් අධිකරණයෙන් දත්ත ඉල්ලා තිබූ අතර "එම දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදය කුමක්දැ"?යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී ප්‍රශ්න කර සිටියාය .
"එහිදී backup database එක නිසියාකාරව ක්‍රියාත්මක කරගත්තා අනතුරුව දත්ත ලබාගෙන වලට පිටපත් කලා. Database එකට සම්බන්ධ වීමට උත්සාහ කිරීමේ දී username හා password යොදා ඇති බව නිරීක්ෂණය වුණා. එය ලබා දෙන ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ තොරතුරු හා තාක්ෂණ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කලා .ඒ අනුව එය ලබාගෙන දත්ත පද්ධතියට පිවිසුනා ."යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු අදාල දත්ත ලබාගත් ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් සිදුකළ අතර එම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙට්ටියක් අධිකරණය හමුවේ විවෘත කිරීමෙන් අනතුරුව එය ඔහු විසින් හඳුනා ගන්නා ලදී.
එම පෙට්ටිය තුළ පරිගණක සර්වරයක් සීඩී තැටියක්, පරිගණක cpu එකක් ලොක් කිරීමට භාවිතා කරන යතුරක් එකක් තිබෙන බවට නිරීක්ෂණය කරන ලදී.
අනතුරුව අදාල සීඩී තැටිය පුළුල් තිරයක් මත ප්‍රදර්ශනය කිරීමට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඉල්ලා සිටි අතර විත්තියට පෙනෙනා පරිදි එය ප්‍රදර්ශනය කිරීමට සහ එම සීඩී තැටියේ ඇති දත්ත ප්‍රදර්ශනය කරමින් සාක්ෂි විමසීමට විනිසුරු මඩුල්ල විසින් අවසර ලබා දෙන ලදී .
ඒ අනුව පුළුල් තිරයක එම තැටියේ ඇතුළත් දත්ත ප්‍රදර්ශනය කළ අතර අධිකරණ නියෝගයේ සඳහන් ඖෂධ 182 අදාළව වෛද්‍ය සැපයුම් ඒකකය සහ දත්ත පද්ධතියට සම්බන්ධ ආයතන වල තිබූ දෛනික සහ ජාතික තොග සම්බන්ධයෙන් ගණනය කිරීම් සිදු කර දත්ත ලබාගත් ආකාරය පිළිබඳව එහි ඇති වගු ඇසුරෙන් සාක්ෂිකරු පැහැදිලි කිරීමක් කළේය.
එහිදී වෛද්‍ය සැපයුම් ආයතනයේ ඇති ඖෂධ තොගය පිළිබඳ දත්ත ලබාගෙන, අදාළ දත්ත පද්ධතිය සමග සම්බන්ධ වී ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය ආයතන සහ රෝහල් ඇතුළු ආයතන වල ඇති තොග පිළිබඳවද දත්ත ලබාගෙන එම දත්ත දෙකම එකතු කරමින් ජාතික තොග පිළිබඳ ව දත්තය ලබාගත් බව සාක්ෂිකරු කියා සිටියේය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විමසීම අවසන් කෙරුණු අතර ඊළඟ නඩු දිනයේදී සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

