leader s

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක පද්ධතියේ දත්ත විනාශ වීම සම්බන්ධයෙන් වන රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.පී.ඊ. උඩංගමුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.


ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි ලබාදෙමින් සිටි අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය,තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.

එහිදී පෙර දින නඩු විභාගය අවසන් කරන අවස්ථාවේදී අධිකරණයේ භාරයට ගෙන මුද්‍රා තබන ලද සී ඩී පටය මුද්‍රා විවෘත කර ප්‍රදර්ශනය කිරීම සඳහා පැමිණිල්ලට බාර  දෙන ලදි.

 


ලැප්ටොප් පරිගණකයක් සහ ප්‍රොජෙක්ටරයක් භාවිතා කර දත්ත තිරයක් මත ප්‍රදර්ශනය කිරීම එහිදී කළ අතර ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ  ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.පී.ඊ.උඩංගමුව  මහතා ප්‍රදර්ශිත දත්ත මත සාක්ෂි ලබා දීම සිදු කළේය.

එහිදී ප්‍රදර්ශනය කරන ලද පළමුවන ෆෝල්ඩරය විවෘත කිරීමේදී Daily stock නමැති ගොනුවක් ඇති බවත්, එහි වගුවක් අන්තර් ගතව ඇති බවත් සාක්ෂිකරු කියා සිටියේය.

එම ෆෝල්ඩරය අධිකරණය හමුවේ ලකුණු කිරීමට නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය කටයුතු කළ අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා " ඩිජිටල් ෆෝල්ඩරයක් ලකුණු කරන්නේ කොහොමද ?එය කිරීමට බැහැ. භෞතික පවතින දේවල් දේවල් පමණක් ලකුණු කළ හැකියි" යනුවෙන් සඳහන් කර සිටියේය.

ඒ අනුව නැවත සාක්ෂි මෙහෙයවීම සිදුකළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අදාළ රස පරීක්ෂක වාර්තාවේ 6.3 යටතේ සඳහන් කර ඇති දත්ත ඇතුළත් කර ඇත්තේ කුමන ස්ථානයකට ද යන්න පිළිබඳව සාක්ෂිකරු ගෙන් විමසීමක් කළාය .

ඔහු එහිදී සඳහන් කළේ " Daily stock  folder සහ ඊට යටින් ඇති Monthly stock folder තුළ එම කරුණු ඇතුළත් වන බවය. Daily stock folder විවෘත කළ විට ඖෂධ 182කට අදාළ ගොනු දෙකක් නිරීක්ණය කළ හැකි බවද, ඖෂධ 229යට අදාළව Microsoft Excel ගොනු දෙකක් එහි ඇතුළත් වන බවද සාක්ෂිකරු කියා සිටියේය.

"පළමු වන Excel file එක විවෘත කළ විට කුමක්ද එහි සඳහන් වෙන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු " 2024 මාර්තු මස 4 වැනිදා මාලිගාකන්ද අධිකරණ නියෝගය සමඟ ලැබුණු ඖෂධ ලැයිස්තුවකට අදාළව මා MSD backup server පරීක්ෂා කර ලබා ගත් දත්ත අනුව සැප්තැම්බර් 01 සිට 30 වැනි දා දක්වා වන දිනයන්ට අදාළව එක් එක් ඖෂධයේ දෛනික තොගය එහි සඳහන් වෙනවා ගරු ස්වාමීනී" යනුවෙන් සඳහන් කර සිටියේය .

"එම Excel file එක එක ඇතුලේ වගු තුනක් තිබෙනවා නේද?" යනුවෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එය නිවැරදි බවය.

 එහි වගු තුනක් ඇති බවත්  MSD ආයතනයේ තිබූ දෛනික තොගය , වෙනත් ආයතනවල දෛනික තොගය ,  සහ ජාතික තලයේ දෛනික තොගය ඇතුළත් වගුව එහි ඇති බව සාක්ෂිකරු කියා සිටියේය .

"දෙවෙනි  Excel file එක විවෘත කළ විට කුමක්ද එහේ ඇතුළත් වන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර  එහිදී සාක්ෂිකරු කියා සිටියේ 2024  මාර්තු මස 04 දින මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද නියෝගය සමඟ ඖෂධ 229 ක ලැයිස්තුවක් ලැබුණු බවත් ඊට අදාළව එම ඖෂධ  සම්බන්ධයෙන් backup server යේ ඇති දත්ත වල සඳහන් පරිදි තොග ගණන් කර වෙන වෙනම ලබාගත්  Excel file  එකක් එහි ඇති බව ය.

මෙම සාක්ෂි විමසන අවස්ථාවේදී සී ඩී පටය තිබූ ගොනු විවෘත වීමක් නොවූ අතර සාක්ෂිකරුගේ සහාය ඇතිව එය විවෘත කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය සඳහන් කළේ මෙහි දත්ත සම්බන්ධයෙන් අවදානමක් ඇති බවය.

එම අවස්ථාවේදී මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා අධිකරණය අමතමින් සඳහන් කළේ සාක්ෂියකට අදාළව ලේඛන ලකුණු කිරීමේදී  නියමිත ක්‍රමවේදයක් පවතින බවය . ලකුණු කරන ලේඛන සාක්ෂිකරුට පෙන්වා ,විත්තියට පිටපත් ලබා දී, අදාළ ලකුණ කිරීම සිදු කරන නමුත් මෙම ලකුණු කිරීමේදී  එවැන්නක් සිදු නොවූ අතර  ප්‍රායෝගික ගැටලුවක් මතුවන බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී ඊට පිළිතුරු ලබා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "ස්වාමීනී හයවෙනි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වාර්ෂික වාර්තාවන් පෙන්වමින් සාක්ෂි මෙහෙයවන අවස්ථාවේදී පිටපත් පසුව ලබා දෙන ලෙසයි සඳහන් කළේ. එහිදී මෙවැනි විරෝධයක් මතු වුණේ නෑ. නමුත් මෙහිදී මේ නීතිඥවරුන් විරෝධය පළ කරනවා ඔවුන් සියලු දෙනාටම මෘදු පිටපත් ලබාදී තිබෙනවා ඉතාම පාරදෘශ්‍ය භාවයෙන් සිදුවන්නේ" යනුවෙන් සඳහන් කළාය.

එහිදී 09 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ රාහුල් ජයතිලක මහතා සඳහන් කළේ මෙම  වගුවලට අදාළ  දෘඩ පිටපත් ගැනීමට හැකියාව ඇත්නම් මෙම කටයුත්ත පහසු වන බව ය.

කෙසේ වුවද දෘඩ පිටපතක් මගින් සාක්ෂි මෙහෙයවීම සිදු කරන්නේ නම් එම දෘඪ පිටපතෙහි ඇතුළත් කරුණු මෙම සී ඩී පටයේ ඇතුළත් දත්ත ම බවට තහවුරු කළ යුතු බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය

එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ එය පැමිණිල්ල විසින් කළ යුතු කරුණක් බවය. එලෙස  කරුණු තහවුරු කිරීම සාක්ෂිකරු හරහා සිදු කරන ලෙස සභාපති විනිසුරුවරයා සඳහන් කළේය .

"ස්වාමීනි , අධිකරණයේ පහසුව සඳහා  මෙම දෘඪ පිටපත් ලබා ගත්තේ .එය නිසා ඉතාම අසීරු කරුණක්. විශාල ප්‍රමාණයේ කොළ ලබා ගැනීම  සිදුවෙනවා .ඒ පහසුකම නීතිපති දෙපාර්තමේන්තුවේ නෑ .පෞද්ගලික ආයතනයකින් තමයි මෙම ලේඛන ලබා ගත්තේ. මෙහි එක් පිටපතක් රුපියල් 500ක් පමණ වෙනවා. පිටපත් ලබා ගැනීම දුෂ්කරයි" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එහිදී සඳහන් කළාය.

අදාළ සීඩී තැටි laptop පරිගණකය හරහා ධාවනය කිරීමේදී විවිධ බාධා සිදුවන බවට අධිකරණය නිරීක්ෂණය කළ අතර  සමහර අවස්ථාවලදී එහි ඇති ගොනු විවෘත වන නමුත් සමහර අවස්ථාවලදී විවෘත නොවී මද වේලාවකට පසුව නැවතත් විවෘත වන බවක් සිදුවන අතර එය හුදෙක් යාන්ත්‍රික දෝෂයක් මත සිදුවන බවට අධිකරණය නිරීක්ෂණය කරන බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතාගේ එහිදී සදහන් කළේය .

එම හේතුව මත සීඩී තැටියේ ඇති දත්ත යම් දෝෂයක ට ලක්වුවහොත් මෙම සාක්ෂි විමසීම පල රහිත වන අතර එය මෙම නඩුවේ වැදගත් සාක්ෂියක් වන බැවින් දෝෂයන්ට ලක් නොවන පරිදි සීඩී තැටියේ පිටපත් වගුවක් ලෙස ලබාගෙන සාක්ෂි විමසීම උචිත බව අධිකරණයේ අදහස බවද සභාපති විනිසුරුවරයා එහිදී සඳහන් කළේය.

 ඒ අනුව එම දත්ත එක්සෙල් වගු ලෙස මෙම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ඉදිරියේදී පිටපත් කිරීමට නියම කළ අතර එම අවස්ථාවට විත්තියේ නීතිඥවරුන්ට නිසි නිරීක්ෂණය කළ හැකි බවද සභාපතිවරයා සභාපති විනිසුරුවරයා මෙම කරුණ පිළිබඳව සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේය.

ඒ අනුව අධිකරණයේ කටයුතු පැය භාගයකට  කල් තබන ලදි.

අනතුරුව නඩු කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී පැමිණිලි පාර්ශවය අධිකරණයට දන්වා සිටියේ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ඉදිරිපිට පිටපත් ලබා ගැනීමේ කාර්යය සිදු කිරීමට ගිය නමුත් ඒ සඳහා පහසුකම් නොමැති බැවින් අධිකරණ නියෝගය අනුව කටයුතු කිරීමට නොහැකි වූ බවය.

ඒ පිළිබඳව සිය නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ ඉහත අධිකරණ කරන නියෝගයක් අනුව සී ඩී තැටියේ පිටපත්  ලබා ගැනීම සිදුකිරීමට පහසුකම් නොමැති අතර එය පුද්ගලික ආයතනයකින් පමණක් කළ හැකි බව අනාවරණය කර ඇති බවද ,නඩු භාණ්ඩයක් පුද්ගලික ආයතනයකට යැවීම හෝ ඊට අදාළ වියදම් දැරීමට සිදුවීම නිසා ගැටලු සහගත තත්ත්වයක් ඇතිවන බැවින් එම පිටපත් ලබා ගැනීමට අදාළව පෙර කරන ලද නියෝගය ඉවත් කරන බවය.

ඒ අනුව පැමිණිල්ලට සාක්ෂි මෙහෙයවීමට අවස්ථාව දෙන ලදී.

එහිදී සාක්ෂිකරු ගෙන් වැඩිදුර  මූලික සාක්ෂි විමසීම සිදු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "Excel file දෙකක් සම්බන්ධයෙන් සාක්ෂිකරු මීට පෙර ලබාදුන් සාක්ෂියට අදාළව national stock ලෙස ඇති පෝල්ඩරය විවෘත කළ විට එහි ඇතුළත කුමක් තිබේදැ"යි සාක්ෂිකරුගෙන් විමසා සිටියාය.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් එවන ලද ඖෂධ ලැයිස්තුවේ 2021 ජනවාරි මස සිට 2024 ජනවාරි මාස දක්වා එම මාසයද ඇතුළත්ව ඇති මාසික තොගයන් ගණනය කර msd සහ වෙනත් ආයතනවල  ඇති තොග මෙන්ම ජාතික තොග ගණනය කර ඉදිරිපත් කළ දත්ත එහි ඇතුළත් වන බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.

"මහේස්ත්‍රාත් අධිකරණය විසින් එවන ලද ඖෂධ ලැයිස්තු දෙක ඔබ හඳුනාගත්තා ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු "තමන් එය හඳුනාගත් බව" ප්‍රකාශ කළේය.

"අදාළ රස පරීක්ෂක වාර්තාවේ හත්වන ඡේදය යටතේ තිබෙන්නේ කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරු ගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් විමසන ලද අංක 6,7,8,යන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම වෙනත් ආයතනයක් විසින් කරන බව එහි සඳහන් වන බවය."


ඔබ 2024 මාර්තු මස 14 වැනිදා වෛද්‍ය සැපයුම් අංශයට ගිහින් කමිටුවේ සාමාජිකයන් සමඟ පොන්ටෝ පද්ධතිය ගැන සාකච්ඡා  කළා ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී, "ස්වාමීනි අපි කණ්ඩායමක් ලෙස නිරීක්ෂණ කටයුතු කළා ඒ සඳහා පෞද්ගලික සමාගමක දෙදෙනෙක් හිටියා ඔවුන්ට මේ ගැන මනා දැනුමක් තිබුණා. මෘදුකාංගය msd ආයතනය සතුව ඇති බව එහි තත්ත්ව වෙනස්කර නොමැති බවත් පොදුවේ නිරීක්ෂණය කළා. ඒ සම්බන්ධයෙන් ඊවිස් ආයතනය වෙනම වාර්තාවක් අධිකරණයට ලබා දෙන බව සඳහන් කළා .ඊට අදාළ දිනය ඔවුන් මා සමඟ  ප්‍රකාශ කලා . ඔවුන් ඒ අනුව ඔවුන් මට දන්වා සිටියා ඔවුන් මෙම වාර්තාවට සම්බන්ධ නොවන බව ." යනුවෙන් සාක්ෂිකරු ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය

"මෙහි අත්සන් තබා ඇත්තේ රජයේ නිලධාරීන්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු එය නිවැරදි බව ප්‍රකාශ කළේය.

"2015, 2016 දී pronto පද්ධතියට ඇතුළත් කළ දත්ත 2023දී ඔබ පරීක්ෂා කරන විටත් එලෙසම තිබුණාද? එම දත්තවල සුරක්ෂිතභාවය කොපමණද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය.

ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු "ස්වාමීනි මේ  කටයුත්ත සම්බන්ධයෙන් ප්‍රධාන නියමුවන් දෙදෙනෙක් හිටියා. අප නිරීක්ෂණය කළා ඊට ඇතුළත් කළ දත්ත වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට බලය ලබාදී නොමැති බව. msd එකෙන් සහ අදාළ සමාගමෙන් එය තහවුරු කරගත්තා. එම දත්ත ඇතුළත් කරගත් ආකාරයෙන්ම එහි තිබුණා. එම දත්ත සුරක්ෂිතව තිබුණා" යනුවෙන් පැහැදිලි කිරීමක් කළේය.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය: ඔබ ඔරකල් ඩේටා පද්ධතිය වඩා සුරක්ෂිත බව කිව්වා. එහෙම කිව්වේ ඇයි කියලා අධිකරණයට පැහැදිලි කරන්න ?

සාක්ෂිකරු :ඩේටා බේස් එකේ සකස්කර ඇති පරිශීලන ගිණුම් හරහා දත්ත වෙනස් කිරීම කළ නොහැකියි .ඔරකල් දත්ත බේස් එකේ ඇති ආරක්ෂක පද්ධතිය යොදා ගන්න පරිගණක වල ඇති දත්ත ආරක්ෂා කර ඇති බවට නිරීක්ෂණය කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබට මෙම නඩුවට සාක්ෂි දීම සඳහා කැඳවනු ලැබූ සිතාසියේ රස පරීක්ෂක වාර්තා දෙකක් ගැන තිබුණා නේද?


සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී, එම වාර්තා මා විසින් සම්පාදනය කළ වාර්තා නෙමෙයි. වෙනත් අය විසින් සකස්කර අත්සන් කරන ලද වාර්තා. මා විසින් අත්සන් තැබූ වාර්තා පමණයි මම රැගෙන ආවේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අත්සන් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවාද ?

සාක්ෂිකරු :ඩිජිටල් අපරාධ අංශය පටන් ගන්නා විට අප සියල දෙනාම නවක නිලධාරීන් ලෙස තමයි ඊට සම්බන්ධ වුණේ. ඒ නිසා වසර දහයක් වන විටත් ඔවුන් සහකාර කළමනාකාර තත්ත්වයට පැමිණ නෑ . ඒ නිසා සැක කටයුතු ලේඛන සම්බන්ධයෙන් වන වාර්තා වලට අප නිලධාරීන් දෙදෙනෙක් අත්සන් තබනවා. එසේම අත්සන්වලට පහළින් සැකකටයුතු ලේඛන පිළිබඳව නියෝජ්‍ය රස පරීක්ෂකවරයා අත්සන් තබනවා. වාර්තාව සකස් කරන කෙනා එහි දකුණු පස අත්සන් තබනවා. වම් පස තවත් නිලධාරියෙකු අත්සන් තබන්නේ එහි වටිනාකම වැඩිවීමටයි. පරීක්ෂා කරන කෙනා තමයි අවසානයේ අත්සන් තබන්නේ.

නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල්වරිය: නඩුවක සාක්ෂි දීමේ වගකීම තීරණය කාටද ?

සාක්ෂිකරු :වාර්තාව සකස් කරන කෙනාට ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :ඒ අනුව ඔබ සකස් කළ ලේඛන සම්බන්ධයෙන් ඔබට සාක්කි ලබා දෙන්න පුලුවන්ද?

සාක්ෂිකරු  : පුළුවන් ස්වාමීනී.

"ඔබ පරිගණක සර්වරය ඇතුලත් දත්ත සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන්නා. ඒ අනුව 297 වාර්තාව සකස් කළ බව සඳහන් කළා අදාළ සීඩී පටය 297 A ලෙස ලකුණු කර තිබෙනවා. එම දත්ත පරිගණකයකින් උත්පාදිත දත්ත බව කියන්නේ කොහොමද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අතර ඔහු සඳහන් කළේ "අදාළ පරිගණකයෙන් swi query එකක් සකස් කරගෙන ඩිජිටල් ලෙස දත්ත ලබා ගැනීම සිදුකළ බවය .එය  සීඩී තැටියකට ඇතුළත් කොට අධිකරණයට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය. එම දත්ත pronto පද්ධතියේම ඇතුළත් දත්ත බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

"ඔබ ගිහිල්ල පරීක්ෂා කළ pronto පද්ධතියේ ඇති ඩේටා පද්ධතියම, මෙම පද්ධතියේ ඇති බවට කොහොමද තහවුරු කරන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු "එහිදී ක්‍රියාකාරී සර්වර් එක හා backup සර්වර් එකෙන් raw count ගෙන වෙන වෙනම නිරීක්ෂණය කළා . අදාළ ආයතනය මගින් ලබා දී තිබූ මෘදුකාංගය මගින්ද එය  කළ හැකිව තිබුණා. වැඩිමනත් තහවුරු කිරීම් කරගැනීම සඳහා තමයි එය අපේ දෙපාර්තමේන්තුවට රැගෙන ආවේ" යනුවෙන් සඳහන් කළේය

"ඔබ එම දත්ත ගැන සෑහීමකට පත් වුණාද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු "නිවැරදියි. එම දත්තවල තොග ,ඖෂධ වගේ දේවල් තිබුණා. ඒ අනුව එම දත්ත msd ආයතනය හරහා ඇතුළු වී ඇති බවට නිගමනයකට එන්න පුළුවන්" යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය .

excel document

"මෙහි දත්ත ප්‍රතිඋත්පාදනය කළාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්නයක් මතු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ අදාල දත්ත ඩේටා බේස් එකෙන් උපුටා ගැනීමක් සිදුකළ බවය .අනතුරුව එය Excel sheet එකක ලබාගත් බවද, මෙය සරල කාර්යයක් ලෙස පෙනුනද පෙනෙන නමුත් එය ඉතාම සංකීර්ණ කාර්යයක් වන බවත් ,ඉතා විශාල දත්ත ප්‍රමාණයක් ඇති අතර  අධිකරණ නියෝගය මගින් ඉල්ලා සිටි දත්ත සම්බන්ධයෙන් පමණක් උපුටා ගැනීම් කළ බව  සාක්ෂිකරු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම අධිකරණ නියෝගයට අනුව වාර්තා සැකසීමට කිසිදු බාධාවක් නොතිබූ බව සඳහන් කළ සාක්ෂිකරු අදාළ දත්ත පද්ධතියට පිවිසීමට අවශ්‍ය මුරපදය සහ ප්‍රවේශය අවශ්‍ය වූ විට එය ලබා ගැනීමට කටයුතු කළ බවද ඒ අනුව අදාළ පද්ධතියට පිවිස දත්ත ලබා ගැනීම සිදුකළ බව ද එම ක්‍රියාවලිය transcript එකක් ලෙස හැඳින්වීම කළ හැකි  බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: ජාතික තොගය වෙනමයි, ආයතනික තොගය වෙනමයි එහි සඳහන් කර තිබෙනවාද ?

සාක්ෂිකරු: එසේය ස්වාමීනි

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: ඉන් අනතුරුව එම තොගයන් දෙක එකතුකර ජාතික තොගය සකස් කර තිබෙනවාද ?

සාක්ෂිකරු :එසේය ගරු ස්වාමීනී

වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ලබාගත backup server එක හා පරිගණකය හා ජාලගතකරණය කරමින් දත්ත ලබාගත් බව සඳහන් කළ සාක්ෂිකරු අදාල දත්ත මධ්‍යම දත්ත ගබඩාවේ ගබඩා කරන බව සඳහන් කළේය .

 එම දත්ත වලට පිවිසීමට කිසිවෙකුටත් නොහැකි බව  අවම වශයෙන් සැකකට යුතු ලේඛන පිළිබඳ ව පරීක්ෂකවරයාට හෝ ෆෝල්ඩරයක් සකස් කර දී නොමැති බවද සාක්ෂිකරු කියා සිටියේය.

 "අදාළ දත්ත පරීක්‍ෂා කිරීම දෙපාර්තමේන්තුවේ විද්‍යාගාරයේ තුළ සිදුකරනවා . එයට වෙනත් කිසිදු බාහිර පද්ධතිය ක් පාර්ශවයකට සම්බන්ධ වෙන්න බෑ. එය කළ හැක්කේ ඩිජිටල් කටයුතු සම්බන්ධයෙන් අයට පමණයි." යනුවෙන් සාක්ෂි කරු සඳහන් කළ අතර ඒ සමග ඔහුගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය සඳහන් කර සිටියාය.

අනතුරුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම 09 වෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක මහතා විසින් සිදු කළ අතර එහිදී ඔහු සාක්ෂිකරුගෙන් විමසා සිටියේ  "රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවක් සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා මෙම අධිකරණයට පැමිණි අතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ඇතුළත් කරමින් අදාළ වාර්තාව සකස් කළ බව ප්‍රකාශ කළහොත් එය නිවැරදි ද ?" යන්නය .එය නිවැරදි බව සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.

 "ඔරකල් ඩේටා බේස් එකක් යනු කුමක්ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එය ඔරකල් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෘදුකාංගයක් බවය. නිෂ්පාදිත වර්ෂය පිළිබඳව පැවසීමට තමන්ට නිසි මතකයක් නොමැති නමුත් ඒ එය එහි දහවන version එක බව නිරීක්ෂණය කළ බවද සාක්ෂිකරු කියා  සිටියේය.

නීතිඥවරයා: "මේ වගේ මෘදුකාංගයකට වසරකට වරක් ලයිසන් ගන්න ඕන නේද ?මෙම පද්ධතියට ලයිසන් අරගෙන තිබෙන බව ඔබ පරීක්ෂා කළාද ?

සාක්ෂිකරු :නැත ස්වාමීනී

නීතිඥවරයා :එසේ නම් ඒ වන විට මෙය කල් ඉකුත් වී තිබෙන්නත් පුළුවන් නේද ?

සාක්ෂිකරු: එසේ විය හැකි ස්වාමීනි.

නීතිඥවරයා: ඔබ මෙම දත්ත ලබා ගත්ත ආකාරයේ කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්ද ?

සාක්ෂිකරු: වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ ලයිව් සර්ව එකෙන් backup serverඑකට දත්ත ගත්තා. අනතුරුව අධිකරණය නියෝගයේ ඇති දත්ත පමණක් සීඩී එකට ලබා ගැනීම සිදුකළා .

නීතිඥවරයා: ඒ කියන්නේ එම දත්ත පද්ධතියේ තවත් දත්ත තිබෙනවා?

සාක්ෂිකරු: නිවැරදියි ස්වාමීනී

නීතිඥවරයා: Pronto interpace එක සහ අධිකරණයට ඉදිරිපත් කළ ඩේටා  interpace එක එක සමානද ?

සාක්ෂිකරු :නෑ ස්වාමීනී. එය සම්පූර්ණයෙන්ම වෙනස්

"කවුරුන් හෝ අදාල පද්ධතිය දත්ත වෙනස් කරල තියෙනවද කියලා බැලුවද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ විශේෂයෙන් ප්‍රවිෂ්ට වී ඒ පිළිබඳව සොයා බැලීමක් නොකළ බවය.

ඒ සමගම ඔහුගේ හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර මෙම නඩුවේ පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරෙන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුවන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.

එහිදී නීතිඥවරයා "ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් දැනුවත් ද?" යන්න පිළිබඳව සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

එහිදී ඔහු පවසා සිටියේ එවැනි කරුණක් ගැන අසා ඇති බවය. ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සඳහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ මෙතෙක් සිදුකර අවසන් නොමැති බවද එම පරීක්ෂණ සිදුකිරීම තමන් විසින් සිදු කළ යුතු බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය.

 

maligakanda
"මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න කීයකට ඔබ විසින් පිළිතුරු සපයා තිබෙනවාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එහි සදහන් ප්‍රශ්න තුනකට තමන් වගු ආශ්‍රිතව තොරතුරු ලබා දී ඇති බවය.

අනතුරුව මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළ අතර "මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයට අනුව ඖෂධ ලැයිස්තු දෙකක් ලැබුණාද?  යනුවෙන් සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කිරීමක් කළේය.

එහිදී " එලෙස ඖෂධ ලැයිස්තු දෙකක් ලැබුණු බව" සාක්ෂිකරු කියා සිටියේය.

පොන්ටෝ දත්ත පද්ධතිය ආයතන කිහිපයක දත්ත බැලීමට ඇති පොදු පද්ධතියක් බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

MSD ආයතනයේ පරිගණක අංශයක් වෙනම තිබූ නමුත් අධිකරණයෙන් ලැබුණු  නියෝගයක් මත තමන් එම ස්ථානයට ගොස් අදාළ පද්ධති නිරීක්ෂණය කළ බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය

එම හරස් ප්‍රශ්න වලින් අනතුරුව තුන්වන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකරුට හරස් ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර ඉන් අනතුරුව හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.

මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගයක් අනුව තමන් MSD ආයතනයේ පරිගණක පද්ධතියේ තිබූ දත්ත පිළිබඳව පරීක්ෂා කළ අතර එම කටයුතු කමිටුවක් ලෙස සිදුකළ බව සාක්ෂිකරු එහිදී සදහන් කළේය.

 එම කමිටු සාමාජිකයන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නම්කර තිබූ අතර  එකී කමිටුවට සාමාජිකයෙකු නම් කරන ලෙස දෙපාර්තමේන්තුවට කර තිබූ දැනුම් දීමක් අනුව තමන්ගේ නම ඊට පස්සේ යෝජනා කර තිබූ බව සාක්ෂිකරු සඳහන් කර සිටියේය..

අධිකරණය විසින් ලබාදී තිබූ ඖෂධ ලැයිස්තුවල SR අංකය ඇසුරෙන් අදාළ දත්ත පද්ධතියේ තිබූ දත්ත ඖෂධය සම්බන්ධයෙන් ඇති දත්ත සොයා ගැනීමක් කළ බව සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය.

කෙසේ වුවද  කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කළ පෞද්ගලික සමාගමේ නියෝජිතයින්  මෙම වාර්තාවට අත්සන් නොතැබූ අතර ඔවුන් අධිකරණයට වෙනම වාර්තාවක් ඉදිරිපත් කරන බව තමන්ට දැනුම් දුන් බවද,  ඊට අදාළව දිනයක් ප්‍රකාශ කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.

"මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය අනුව දත්ත උපුටාගෙන සකස් කළ ලේඛනයේ පිටු කීයක් තිබෙනවාද ?"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුවන් විමසා සිටි අතර "පිටු පහක් කින් ඒ සමන්විත වන බව" සාක්ෂිකරු කියා සිටියේය.

මුල් පිටු දෙක ආවරණ ලිපියක් බව සාක්ෂිකරු සඳහන් කළ අවස්ථාවේදී නීතිඥවරයා විමසා සිටියේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය නොමැති එම වාර්තා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ හැකි වාර්තා වූ ලෙස සැලකිය හැකි බවය.

අදාල වාර්තා MSD ආයතනයේ තිබූ පරිගණකය දත්ත backup කිරීමෙන් ලබාගත් දත්ත බව සඳහන් කළ සාක්ෂිකරු අධිකරණයෙන් විමසූ කරුණුවලට අදාළ දත්ත පමණක් ඇතුලත් කොටස එම වාර්තාව සකස් කළ බවද සඳහන් කර සිටියේය.

"මෙම ලේඛනය ස්වාධීන ලේඛනයක් ලෙස ප්‍රකාශ කළ හැකිද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එය ස්වාධීන ලේඛනයක් බව"ය.

එහි කමිටුවක සාමාජිකයන්ගේ නම් සදහන් නොවන බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්නෙකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

සාක්ෂිකරු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ "අප කමිටුවක් ලෙස තමයි කටයුතු කළේ. විශ්වාසයෙන් කටයුතු කිරීමට එය පහසුවක් වුණා. පද්ධතිය පරිශීලනයට එහි බලතල සඳහා යොදා ඇති ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී ම සහාය ලබා ගැනීමට සිදුවුණා. MSD ආයතනයේ හිජාස් කියන නිලධාරියා ඒ සඳහා සහයෝගය ලබා දුන්නා යනුවෙනි.

එම අවස්ථාවේදී MSD ආයතනයේ සඳරප්පෙරුම නම් නිලධාරියා ද එහි සිටි බව ඔහු සඳහන් කළේය.

ඒ සමග එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ අතර දිනයට නියමිත සාක්ෂි විමසීම අවසන් කෙරුණි.

ඊළඟ නඩු දිනයේදී සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.

 

medicine 20260131

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල්සා පරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.

අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න   

 

නවතම පුවත්