සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ ප්‍රශ්න නවයෙන් ප්‍රශ්න හතරකට පිළිතුරු සපයා ඇත්තේ ඒ සඳහා පත්කළ කමිටු සාමාජිකයෙකු නොවන බාහිර පුද්ගලයකු විසින් බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අනාවරණය විය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි ලබාදෙමින් සිටි අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නයකට ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැක කටයුතු ලේඛන පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.පී.ඊ.උඩංගමුව මහතා පිළිතුරු දුන් අවස්ථාවේදී මෙම කරුණ හෙළිදරව් කෙරිණ.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
එහිදී මෙම නඩුවේ දහවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.

"මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රශ්නාවලියක් යොමු කර තිබූ බව ඔබ මූලික සාක්ෂි වලදී සඳහන් කළා . එම ප්‍රශ්නාවලිය යොමු කර තිබුණේ කාටද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ "එම ප්‍රශ්නාවලිය මගේ නමට යොමු කර තිබුණා . එහි පිටපත් කමිටු සාමාජිකයන් හතර දෙනාට යොමු කර තිබුණා."යනුවෙනි.
"මෙම ලිපිය ඔබට පෞද්ගලිකව ලැබුණු ලිපියක් නේද ? සාමාන්‍යයෙන් රස පරීක්ෂකවරයා ගෙන් ඉල්ලීම් කිරීමේදී රස පරීක්ෂකවරයාට ලිපි යොමු කරන අතර ඔහු විසින් අදාළ නිලධාරීන් වෙත යොමු කිරීමක් සිදු කරනවා නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "යම් නියෝගයක් ලැබුණ මොහොතේම යොමු කිරීමක් සිදුවන්නේ නෑ. අදාළ විෂය අනුව අදාළ විද්‍යාගාරයට එම යොමු කිරීම සිදු කරනවා " යැයි සාක්ෂිකරු කියා සිටියේය.
"ඒ සඳහා අදාළ නිලධාරීන් නම් කිරීමක් රස පරීක්ෂකවරයා විසින් සිදු කරනවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ "රස පරීක්ෂක වරයා විසින් අදාළ නිලධාරියා නම් කිරීම සිදුකරන බව"ය.
"මෙහිදී රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් නොකර ඔබ වෙත මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය කර තිබෙන්නේ නේද? ඒ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ කවුද ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ ජයසුන්දර මහතා තම ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර කේ .කේ. අප්සරා මහත්මිය,කලු ආරච්චි මහතා, තනූජා මහත්මිය යන අය පිළිවෙළින් ධූරාවලියේ සිටින අතර තමන් එම ධූරාවලියේ හත් වෙන ස්ථානයේ සිටින බව ය.
"රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරට පත්වීමට වයස අවුරුදු වසර 25 ක 30 ක පමණ සේවා කාලයක් අවශ්‍ය වෙනවා. 2024 වන විට ඔබේ සේවා කාලය කීයද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසා සිටි අතර ඒ වන විට තමන්ගේ සේවා කාලය අවුරුදු අටක් බව සාක්ෂිකරු කියා සිටියේය
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2024 වසරේ පෙබරවාරි මස 15 වැනිදා රජයේ රස පරීක්ෂකවරයාට දැනුම් දීමක් කරමින් මෙම පරීක්‍ෂණ කටයුතු සඳහා නිලධාරී වරයකු පත් කරන ලෙස දන්වා තිබූ බවද ඒ අනුව රජයේ රස පරීක්ෂක ජයසුන්දර මහතා විසින් තමන්ගේ නම යෝජනා කර පෙබරවාරි මස 21 වැනිදා අධිකරණයට දැන්වීමක් කර තිබූ බවද සඳහන් කළ සාක්ෂිකරු ඒ අනුව මෙම කමිටුවට තමන් තෝරා ගැනීම සිදු කරන්නට ඇති බව විශ්වාස කරන බවද පවසමින් එහිදී පැහැදිලි කිරීමක් කළේය .
"මෙම විශේෂ කමිටුව පත් කළේ කවුරුන් විසින්ද?" යන්න ජනාධිපති නීතිඥවරයා එහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියේය ඔහු කියා සිටියේ" මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම කමිටුව නම් කළ බව"ය.
ඒ අනුව 2024 මාර්තු මස 4 වැනි දා මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ගේ නමට අදාළ ප්‍රශ්නාවලිය යොමු කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
ජනාධිපති නීතිඥවරයා: 2024 මාර්තු මස 14 වැනිදා කමිටුව වෛද්‍ය සැපයුම් ඒකකයට ගිය බව ඔබ කිව්වා. ඒ යන්නට පෙර අංශය මොකක්ද එහි ප්‍රධානියා කවුද මොනවද කරන්නේ කියලා හොයලා බැලුව ද?
සාක්ෂිකරු :නෑ ස්වාමීනී එවැනි සොයා බැලීමක් කළේ නෑ.
ජනාධිපති නීතිඥවරයා: කමිටුවේ සාමාජිකයන් ඊට පෙර ඒ පිළිබඳව සාකච්ඡා කරාද?
සාක්ෂිකරු: නෑ ඊට පෙර එවැනි සාකච්ඡාවක් කළේ නෑ.
ජනාධිපති නීතිඥවරයා :
මෙරට ඖෂධ බෙදීම සම්බන්ධයෙන් වන භාරදූර වගකීමක් දරමින් කටයුතු කරන ප්‍රධානතම සහ එකම ආයතනය වෛද්‍ය සැපයුම් ඒකකය බව ඔබ දන්නවාද?
සාක්ෂිකරු :ඒ පිළිබඳව මාධ්‍ය හරහා සහ පුද්ගලයන්ගෙන් දැනගෙන හිටියා.
ජනාධිපති නීතිඥවරයා: සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා එහි ප්‍රධානියා කියලා දැනගෙන හිටියද?
සාක්ෂිකරු: සේවා අධ්‍යක්ෂකවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් වරයෙකු ඉන්න බව දන්නවා. එහෙත් ඔවුන්ගේ රාජකාරිය වපසරිය ගැන දැනුවත් වීමක් නෑ. MSD එකේ ආයතන ප්‍රධානියෙක් ඉන්න බව දන්නවා. නමුත් ඔවුන්ගේ ධූරාවලිය කුමක්ද, ඒ පුද්ගලයා කවුද යන්න පිළිබඳව දන්නේ නෑ.
ජනාධිපති නීතිඥවරයා :ඒ කියන්නේ "2024 මාර්තු මස 4 වැනිදා MSD එකට යනකොටත් එහි ප්‍රධානියෙක් පිළිබඳව ඔබට කිසිදු දැනුමක් තිබුණේ නෑ " කිව්වොත් හරිද?
සාක්ෂිකරු :නිවැරදියි ස්වාමීනී
ජනාධිපති නීතිඥවරයා:
එහිදී කවුද ඔබ මෙම රාජකාරිය සඳහාත් යොදාගත්තේ?
සාක්ෂිකරු: මාර්තු මස 14 වෙනිදා කමිටුවක් ලෙස යාමට තීරණය කළ පසු ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියාව දැනුවත් කළා. අප එම ස්ථානයට යන විට ඔවුන් පැමිණ සිටියා. අපට සහාය වීම සඳහා එම ආයතනය ප්‍රධානීන් දැනුවත් කරලා පහසුකම් සලසා තිබුණා .මම සෘජුවම ආයතන ප්‍රධානියා හමුවූයේ නැහැ.
ජනාධිපති නීතිඥවරයා: වෛද්‍ය සැපයුම් ඒකකයේ පරිගණක ඒකකයේ ඖෂධ බෙදා හැරීම සම්බන්ධයෙන් දත්ත පිළිබඳව කටයුතු කරන නිලධාරීන් සිටින බව ඔබ දැන සිටියාද?
සාක්ෂිකරු: එවැනි අංශයක් තිබිය යුතු බව දැන සිටියා. එහෙත් එහි නිලධාරීන් කවුද යන්න පිළිබඳව දන්නේ නෑ. එම ස්ථානයට ගිය පසුව නම්කර තිබූ නිලධාරියා හා කමිටු සාමාජිකයන් සමග කතා කළා.

වෛද්‍ය සැපයුම් ඒකකය පරිගණක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සදරප්පෙරුම මහතා එදින සාකච්ඡාවට පැමිණි බවද මූලික සාකච්ඡාවෙන් අනතුරුව පිටත්ව ගිය බවද සාක්ෂිකරු කියා සිටියේය.
එහි සිටි මොහොමඩ් හිජාස් නමැති නිලධාරියා මෙම කටයුත්තට සම්බන්ධ වූ අතර මුල් අවස්ථාවේ සිටම අවශ්‍ය තොරතුරු ලබාදෙමින්, පද්ධතිය පෙන්වමින් ඔහු කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
මෙම තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ධනේෂ් නන්දන බණ්ඩාර නම් නිලධාරියා බව තමන් නොදන්නා බවද, පරිගණක අංශයේ නිලධාරීන් හැර අනිත් නිලධාරීන් පිළිබඳව තමන් නොදන්නා බවද, සාක්ෂිකරු කියා සිටියේය.
රෝහල් හා ආයතන වලට ඖෂධ සැපයීමේ කටයුතු වෛද්‍ය සැපයුම් අංශයෙන් සිදුකරන බව තමන් එහිදී දැනගත් බව සාක්ෂිකරු කියා සිටියේය.
අවශ්‍ය පරිදි තොග තබාගෙන රෝහල්වල සහ ආයතන වලට ඖෂධ බෙදා හැරීම තොග කළමනාකරණ කිරීම සඳහා මෙම මෘදුකාංගය භාවිතා කළ බව දැනගත් තමන් දැනගත් බවද සාක්ෂිකරු කියා සිටියේය.
"මෙවැනි කටයුතු වලදී ඒකාග්‍රතාවය ඉතා වැදගත්. ඒ නිසා තමයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් නඩු භාණ්ඩ වලට මුද්‍රා තබන්නේ. ඔබ ඒ අනුව කටයුතු කළාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර සාක්ෂිකරු කියා සිටියේ එම ඒකාග්‍රතාවය නිරන්තරයෙන් පවත්වාගෙන යාම සඳහා තමන් කටයුතු කරන බවය.
වෛද්‍ය සැපයුම් අංශයේ තිබූ backup server ය රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යාමට තීරණය කළ අතර 2024 අප්‍රේල් මස 14 වෙනිදා සී අයි ඩී නිලධාරියකු හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එය භාරගත් බවද එහිදී එය භාරගත් බවට සංදේශයක් ලබාදුන් බවද එම සංදේශයට තමන් විසින් අත්සන් තැබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
වෛද්‍ය සැපයුම් ඒකකයේ දී තමන් නිරීක්ෂණය කළ පරිගණක server සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විසින් භාර දුන් පරිගණක server යේ serial අංකය සමාන වන නමුත් අධිකරණය විසින් යොමු කර තිබූ serial අංකයේ වෙනසක් තිබූ බැවින් ඒ පිළිබඳව අදාළ සංදේශයේ සටහනක් තැබූ බව සාක්ෂිකරු කියා සිටියේය.

අදාල නඩු භාණ්ඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මුද්‍රාවෙන් මුද්‍රා තබා තිබූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
"වෛද්‍ය සැපයුම් ඒකකයේ දී දත්ත ලබා ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම භාණ්ඩ භාරදීමේ දී වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන් විසින් එය මුද්‍රා තැබුවාද යන්න පිළිබඳව තමන් නොදන්නා බව"ත් තමන්ගේ විද්‍යාගාරයට එම භාණ්ඩ ලැබෙන විට මහේස්ත්‍රාත් අධිකරණයේ මුද්‍රාව තබා තිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා :
මහේස්ත්‍රාත් අධිකරණයේ මුද්‍රාව බව ඔබ හඳුනා ගත්තේ කෙසේද ? මහේස්ත්‍රාත් අධිකරණයේ නිල මුද්‍රාවෙන් ද?
සාක්ෂිකරු: ස්වාමීනි එහි ලාකඩ මුද්‍රාව තබා තිබුණා. එයින් තමයි හඳුනාගත්තේ.
කමිටු සාමාජිකයන් මාර්තු මස 14 වැනිදා වෛද්‍ය සැපයුම් ඒකකයට ගිය අතර එම පරිගණකය පද්ධතියෙන් දත්ත පිටපත් කරගෙන ඒ අවශ්‍ය කටයුතු කර ගැනීම සඳහා කාලයක් ගත වූ බවත් එම කටයුතු අප්‍රේල් මස අටවෙනිදා අවසන් වීමෙන් අනතුරුව භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවත් සාක්ෂිකරු කියා සිටියේය.
දත්ත backup කරගැනීමෙන් පසුව එම පරිගණක නඩු භාණ්ඩයක් ලෙස ලබාගත හැකි බව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රකාශ කළ නමුත් ඒවා මුද්‍රා තැබීමට මැදිහත් නොවූ බව සාක්ෂිකරු කියා සිටියේය.
එසේම එහිදී තමන් විසින් කිසිදු මුද්‍රාවක් නොතැබූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
එහිදී සභාපති ප්‍රියන්ත ලියනගේ මහතා "පරිගණක දත්ත වලට ප්‍රවිෂ්ට වීමේ හැකියාවක් තියෙනවාද ?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ "නෑ ස්වාමීනි පරිගණකය නිසි පරිදි ක්‍රියාත්මක කරගෙන පද්ධතිය සමඟ සම්බන්ධ කිරීමෙන් පමණයි කටයුතු කළ හැක්කේ. දත්ත ලබා ගැනීමෙන් අනතුරුව එය නිසි පරිදි ක්‍රියා විරහිත කොට විදුලියද විසන්ධි කොට සියලු වයර් අයින්කර දැමුවා " යනුවෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දුන්නේය
එම භාණ්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ හිජාස් සහ සදරප්පෙරුම එහි සිටියා යනුවෙන් සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළ අතර ජනාධිපති නීතිඥවරයා "ඔබ ඔවුන්ගේ අත්සන් ලබා ගත්තාද?" යනුවෙන් විමසීමක් කළ අතර "එවැනි අත්සන් ලබා ගැනීමක් සිදු නොකළ බව" සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
එසේම "වෛද්‍ය සැපයුම් ඒකකයේ වගකිවයුතු නිලධාරීවරයෙක් මැදිහත් කරගෙන මුද්‍රා තැබීමක් සිදු නොවූ බවද, පොලිසිය විසින් සිදුකළ කටයුතුවලට තමන් මැදිහත් නොවූ බව"ද සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේය.
"රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ භාණ්ඩ ලැබීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුද්‍රාව විවෘත කරන විට වෛද්‍ය සැපයුම් ඒකකයට අයත් මුද්‍රාවක් එහි තබා තිබුණාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා තවදුරටත් ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකරු සඳහා සඳහන් කලේ එහි පොලිස් මුද්‍රා තබා තිබූ බවය.
සැක කටයුතු ලේඛන අංශයට ලැබෙන භාණ්ඩවලට අධිකරණයේ හෝ පොලිසියේ මුද්‍රා තබා ඇති බැවින් තමන් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් ලක් නොදැක්වූ බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.

මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කළ ආවරණ ලිපියේ කමිටු සාමාජිකයන්ගේ නම් සඳහන් වන අතර" එම කමිටුවේ ප්‍රධානියා කවුරුන්ද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා එහිදී තවත් ප්‍රශ්නයක් යොමු කළේය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේ "එම කමිටුවේ ප්‍රධානියා ලෙස නම්කර සිටියේ නෑ. නමුත් එම ලිපිය මට ආමන්ත්‍රණය කර පිටපත් අනිත් අයට යොමු කර තිබුණා. ඒ නිසා මම හිතුවා මම තමයි ප්‍රධානියා කියලා අනතුරුව කමිටු සාමාජිකයින් හමුවීමෙන් අනතුරුව ඔවුනුත් තීරණය කළා කමිටු ප්‍රධානියා මා විය යුතු බව." යනුවෙන් සාක්ෂිකරු දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය
මහේස්ත්‍රාත් අධිකරණය විසින් යොමු කළ ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයූ ආවරණ ලිපියේ ඇමුනුමක් ලෙස වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවක් ජනාධිපති නීතිඥවරයා පෙන්වා සිටි අවස්ථාවේදී එය ඇමුනුමක් ලෙස ඉදිරිපත් නොකළද එම ලිපියට අමුණා ඇත්තේ අදාල වාර්තාව බව සාක්ෂිකරු සඳහන් කළේය.
එහිදී එම කටයුතු සඳහා සහභාගී වූ සඳගරි මහතාගේ සහ පොලිස් පරීක්ෂක ජයසිංහ ගේ නම් එහි සඳහන් කළ බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
"කමිටු සාමාජිකයන් පස්දෙනාම එහි අත්සන් කර නෑ නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා කළ විමසීමට එවැනි අත්සන් කිරීමක් නොකළ බව සඳහන් කළ සාක්ෂිකරු එම ආවරණ ලිපියේ මුද්‍රාවක් සඳහන් කර නොමැති බවද පිළිගත්තේය.
මහේස්ත්‍රාත් අධිකරණය විසින් විමසා තිබූ ප්‍රශ්නාවලියෙන් ප්‍රශ්න පහකට පමණක් තමන් විසින් පිළිතුරු සැපයූ බව සඳහන් කළ සාක්ෂිකරු 6,7,8,9 යන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමක් නොකළ බවද මෙම කටයුත්තේදී සක්‍රීයව දායක වූ ඊවිස් ආයතනයේ දේවීන් ද අමරජීව මහතා අදාළ ප්‍රශ්න වලට පිළිතුරු වෙනමම අධිකරණයට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් එම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමක් සිදුකිරීමට නොහැකි වූ බවද තමන් ඒ පිළිබඳව අවස්ථා කිහිපයකදී විමසීම් කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
ජනාධිපති නීතිඥවරයා:
එම ප්‍රශ්නවලට පිළිතුරු දීලා තියෙන්නේ නාලක රණසිංහ කියන පුද්ගලයෙක්?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි
ජනාධිපති නීතිඥවරයා : මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබ ඔහුට බලය ලබා දුන්නාද?
සාක්ෂිකරු: මා එවැන්නක් කලේ නෑ ස්වාමීනී .
සාක්ෂිකරු : ඔබ පිළිගන්නවාද මහෙස්ත්‍රාත්තුමිය ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියෙන් ප්‍රශ්න හතරකට පිළිතුරු සපයා ඇත්තේ කමිටු සාමාජිකයෙක්වත් නොවන බාහිර පුද්ගලයෙක් බව?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී
"මහේස්ත්‍රාත්තුමිය විසින් ජාතික තොගය පිළිබඳව විමසීමක් කර ඇති අතර ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගත්තාද ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ වෛද්‍ය සැපයුම් ඒකකය ට ගිය අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගත් බවය. වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ අනෙකුත් ආයතන වල තිබෙන තොගය ජාතික තොගය ලෙස සැලකිල්ලට ගත් බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
"වෛද්‍ය සැපයුම් ඒකකයේ පවතින ඖෂධ තොගය අනෙකුත් ආයතන වලට සාපේක්ෂව බෙහෙවින් විශාල බව ආවරණ අනාවරණය වුණාද ?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තොගයක් පවතින බව නිරීක්ෂණය කළ නමුත් තමන් අවධානය යොමු කළේ අධිකරණය විසින් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමට බවය.
"ඒ කියන්නේ ඔබට අධිකරණය විසින් යොමු කළ ප්‍රශ්නවලට කොටු වීමට සිදුවුණා කියන එකද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා කළ විමසීමට සාක්‍ෂිකරු "ඔව් "යන පිළිතුර ලබා දුන්නේය.
අදාළ කටයුතු කිරීම සඳහා බාධාවක් නොවූ බැවින් බාධාවන් සම්බන්ධයෙන් අධිකරණය විසින් විමසා තිබූ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමක් නොකළ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ජනාධිපති නීතිඥවරයා: ඖෂධ බෙදා හැරීමේ රටාවන් තිබෙනවාද යන්න පිළිබඳව අධිකරණය විසින් විමසා තිබුණා නේද?
සාක්ෂිකරු: අප ඒ පිළිබඳව විශේෂඥයන් නොවෙයි. රටාවන් වෙනස් වෙන්න පුළුවන් වසංගත වලදී විශේෂ අවස්ථාවලදී ඒ රටාව වෙනස් වෙන්න පුළුවන් .
ජනාධිපති නීතිඥවරයා :ඒ ගැන වාර්තාවේ සඳහන් කළාද?
සාක්ෂිකරු: නෑ ස්වාමීනි දත්ත ඇතුළත් කිරීම පමණයි කළේ .
ජනාධිපති නීතිඥවරයා: උගත් මහේස්ත්‍රාත්තුමිය ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට පිළිතුරු සටහන් කරල නෑ. එයට පිළිතුරු සැපයීම ඔබේ වගකීමක් නේද ?
සාක්ෂිකරු :නිවැරදි ස්වාමීනි .
ජනාධිපති නීතිඥවරයා: ඔබට විශේෂඥ භාවයක් නැත්නම් ඒ ගැන සටහනක් තැබිය යුතුයි නේද? එවිට මහේස්ත්‍රාත්තුමිය ඒ පිළිබඳව විශේෂඥයන් පත් කරනවා නේද ?
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය: ඒ ප්‍රශ්නෙ ට මා විරුද්ධයි ස්වාමීනි ප්‍රශ්නෙ එහෙම අහන්න බෑ
සභාපති විනිසුරුවරයා: නෑ ඒ ප්‍රශ්නය අහන්න පුළුවන්
සාක්ෂිකරු: පස්වන ප්‍රශ්නයට අදාළව විශේෂඥ භාවයක් නොමැති බව සඳහන් කර නෑ ස්වාමීනි .
ජනාධිපති නීතිඥවරයා: මෙහිදී ඔබ සිදු කළේ නිශ්චිතව ඖෂධ සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක අගයන් සටහන් කිරීම පමණයි ද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී. එය විශ්ලේෂණයක් කිරීම නෙමෙයි.
අදාල දත්ත ගැනීමේදී අධිකරණය විසින් ලබා දී තිබූ ඖෂධ 182 ලැයිස්තුවට අදාළ ඖෂධ කිහිපයක SR අංකය හෝ ඖෂධය පිළිබඳ දත්ත, දත්ත පද්ධතියේ නොමැති බවට සාක්ෂිකරු පෙර දෙන මූලික සාක්ෂි විභාගයේදී සඳහන් කළ අතර ඒ පිළිබඳව ජනාධිපති නීතිඥවරයා, අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති ඊමේල් පණිවිඩ කිහිපයක් පෙන්වමින් සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී සාක්ෂිකරු කියා සිටියේ තමන්ට අදාළ දත්ත පද්ධතියෙන් සොයාගැනීමට නොහැකි වූ ඖෂධ සහ SR අංක එම ඊමේල් අඩංගු වී ඇති බවය.
එම හඳුනා ගැනීමෙන් අනතුරුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ජනාධිපති නීතිඥවරයා විසින් අවසන් කළ අතර 12 වන විත්ති කරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමක් නොකරන බව නීතිඥ බෙත්මි බාලසූරිය සඳහන් කර සිටියාය.
ඒ අනුව සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කිරීම නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල් වරිය විසින් සිදු කරන ලදී.
"මාළිගා කන්ද මහේස්ත්‍රාත් තුමිය විසින් එවන ලද ප්‍රශ්නාවලියට විසින් යවන ලද පිළිතුරු ප්‍රමාණවත් නොවන බවට ඔබට දැනුවත් කිරීමක් කළාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අතර සාක්ෂිකරු සඳහන් කර සිටියේ එවැනි දැනුම් දීමක් තමන්ටත් නොලැබුණු බවය.

අනතුරුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය අධිකරණයේදී අදාළ සී ඩී තැටිය ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී යම් යම් බාධාවන් ඇති වූ අතර එහි දත්තවලට හානි විය හැකි බව සාක්ෂිකරු විසින් ඊයේ දින සඳහන් කළ බව ප්‍රකාශ කළාය.
අදාළ backup server යට ලබාගත් දත්ත රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍යම දත්ත ගබඩාවේ ඇති බවට සාක්ෂිකරු සඳහන් කළ අතර මෙම සී ඩී තැටියේ දත්ත වලට කවරාකාරයකින් හෝ හානි සිදුවුවහොත් ම මධ්‍යම ගබඩාවෙන් දත්ත ලබා ගත හැකි බැවින් එම දත්ත සුරක්ෂිතව තබා ගන්නා ලෙස නියෝගයක් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.
ඒ අනුව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකරු විසින් සාක්ෂි ලබාදීමේදී භාවිතයට ගත් තැටියේ ඇති දත්ත රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දී පිටපත් කරගෙන ඇති අතර එහි මුල් දත්ත පිටපත් එම දෙපාර්තමේන්තුවේ ඇති බවට අනාවරණය කර ඇති බැවින් එම දත්ත සුරක්ෂිතව හා දත්ත වල අනන්‍යතාවය එලෙසම රැකෙන පරිදි සුරක්ෂිතව තබා ගන්නා ලෙසද අවශ්‍ය අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද රස පරීක්ෂකවරයාට නියෝගයක් නිකුත් කළේය.
අනතුරුව එම සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර මෙම නඩුවේ 177 වන සාක්ෂිකරු ලෙස නම්කර සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී දිනේෂ් නන්දන බණ්ඩාර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාදීම සිදු කළේය.
එහිදී ඔහු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධවේදී පාඨමාලාව හදාරා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමෙන් අනතුරුව තොග පාලක නිලධාරියෙකු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට 2018 වසරේදී එක් වූ තමන් මේ වන විට ප්‍රධාන තොග පාලන නිලධාරී ලෙස කටයුතු කරන බවය . තමන් සමඟ තවත් ප්‍රධාන තොග පාලන නිලධාරීන් දෙදෙනෙකු කටයුතු කරන බවද තමන් ට පහළ තොග පාලක නිලධාරීන් දහතුන් දෙනෙකු සේවය කරන බවද තමන්ට ඉහළින් සහකාර අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු ද, ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ වරයෙකු ද, අධ්‍යක්ෂ ජෙනරාල් වරයාද කටයුතු කරන බව සාක්ෂිකරු දී මූලික ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
රජයේ රෝහල් සහ ආයතන වලට ලබා දෙන සැපයුම් ,ඖෂධ තොග පාලන, මූල්‍ය , වාප්පු සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා සම්බන්ධ වන වාප්පු අංශයක් ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
තොග පාලක වරයාට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගේ නියෝගයන් ඍජුවම ලැබෙන අතර එම දෙදෙනාටම වගකීමට තොග පාලක නිලධාරීවරයා බැඳී සිටින බවද තමන් එම තොග පාලක නිලධාරීන්ගේ අධීක්ෂණ කටයුතු කරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
එසේම විගණන විමසුම් වලට පිළිතුරු ලබා දීමක්ද සිදු කරන බව සාක්ෂිකරු සටහන් කළේය.
රජයේ රෝහල්වල , ආයතන වල අවශ්‍යතාවයක් ගෙන්වා ගනිමින් වාර්ෂික ඇස්තමේන්තුව සකස් කරන අතර රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් අර්ධ ආයතනික රෝහල්, යුද හමුදා ,පොලිස්, ගුවන් හමුදා සහ නාවික හමුදා රෝහල්, වසංගත රෝග , ලිංගාශ්‍රිත රෝග ,යනාදී ආයතනවල ඇස්තමේන්තු ඒ යටතේ ලබා ගන්නා බව සාක්ෂිකරු කියා සිටියේය .
"ඇස්තමේන්තුව තීරණය කරන්නේ කවුරුන් විසින්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ "වට්ටෝරු සමාලෝචන කමිටුව විසින් එය සිදුකරන බවය .

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් නියෝජිතයින්, විසප්වේදය පිළිබඳ මහාචාර්යවරු ,අධ්‍යක්‍ෂක ජෙනරාල් වරයා ඇතුළු කණ්ඩායමක් සමග තමන් ද එම වට්ටෝරු සමාලෝචන කමිටුවට සහභාගි වන අතර පෙර වසරේදී භාවිත වූ ඖෂධ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ඉදිරි වසර සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණය සකස් කිරීම සමාලෝචන රැස්වීමේදී සිදු කරන බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය
එම ඖෂධ සම්බන්ධයෙන් සමාලෝචනය කර පිරි විතර සංසන්දනය කිරීමක් එහිදී සිදුකරන බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
"ඖෂධයක පිරිවිතර යනු කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඖෂධය ලෝකයේ පිළිගත් සම්මත ක්‍රමයට ලබාදිය යුතු බව" ඉන් අදහස් කරන බවය. එහිදී උෂ්ණත්වය ඖෂධවල ප්‍රමිතිය සහ ඇතුළත් විය යුතු ලක්ෂණ යනාදිය තිබෙන අතර ඖෂධ සැපයීම පිරිවිතර තුළ කළ යුතු බව සාක්ෂිකරු සඳහන් කළේය.
අදාල ඖෂධ ඇනවුම් කිරීමේදී ඇනවුම් ලැයිස්තුවට පිරිවිතර ඇතුළත් කරන අතර ටෙන්ඩර් කැඳවීමේදී එය කොන්දේසියක් ලෙස සඳහන් කරන බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ ඒ රෝග වර්ගීකරණයට අනුව ලබාදෙන අංකය ඖෂධයක SR අංකය ලෙස හඳුන්වන බවද සාක්ෂිකරු නියෝජ්‍ය සොරිස්ටර් ජනරාල් වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ය.
තොග පාලක නිලධාරීවරයාට රාජකාරිමය ලෙස පවරා ඇති වගකීම් ඉටු නොකරන අවස්ථාවක ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත හැකි අතර දඩ මුදල් අයකර ගැනීමක් කළ හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය.
ඖෂධ තොග ගණනය කිරීමේදී වෛද්‍ය සැපයුම් ඒකකය සහ ආයතන තුළ පවතින තොගයට අමතරව සක්‍රීය ඇනවුම් සැලකිල්ලට ගන්නා අතර ඒ වන විටත් ලැබී නොමැති ඇනවුම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ඇති ඇනවුම් සක්‍රීය ඇනවුම් ලෙස සලකන බවද සාක්ෂිකරු කියා සිටියේය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර වැඩිදුරට සාක්ෂි ලබාදීම සඳහා ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

