ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තු තමන් විසින් සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලන නිලධාරී ධනේෂ් නන්දන බණ්ඩාර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කියා සිටියේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ වෛද්‍ය චන්දන විජේසිංහ මහතාගේ උපදෙස් මත එම ලැයිස්තු සකස් කිරීම සිදුකළ බවය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක නිලධාරි ධනේෂ් නන්දන බණ්ඩාර මහතා එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදීම සිදු කළේය.
තොග ගණනය කිරීමේදී අවශ්‍ය මාසික තොගය දොළහෙන් වැඩිකර වාර්ෂික තොගය ගණනය කරන අතර මාස තුනකට අදාළව ස්වාරක්ෂක තොගයක්ඊට එකතු කර අවශ්‍ය සම්පූර්ණ තොගය ගණනය කරන බව සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේය.
රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඇනවුම් ලබාදී මාස එකොළහක පොරොත්තු කාලයක් ලබා දෙන බවද වාර්ෂික අවශ්‍යතාවය සපුරාලීමට තොග නොමැති වූ විට අතිරේක ඇනවුමක් ලබාදීම සිදුකරන බවද සාක්ෂිකරු සඳහන් කළේය.
අතිරේක ඇනවුම් ලබාදීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන අතර එය කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බව සාක්ෂිකරු කියා සිටියේය.
පවතින සක්‍රීය ඇනවුම 50%කින් වැඩි කිරීමේ ක්‍රමවේදයක් ද පවතින බව සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කර සිටියේය.
අදාළ වර්ෂයට අවශ්‍ය අතිරේක තොගය හා ඉදිරි වර්ෂයට අදාළ ඇනවුම් එම වර්ෂයේ මුලදී ලබා ගැනීම සිදුකරන බවද සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිය ඔරකල් දත්ත පද්ධතිය ලෙස ක්‍රියාත්මක වූ අතර පසුව pronto දත්ත පද්ධතිය ඊට සම්බන්ධ කිරීමෙන් අනතුරුව රෝහල් සහ ආයතන වල පවතින තොග සම්බන්ධයෙන් වන තොරතුරු එම පද්ධතිය හරහා ලබා ගැනීමේ හැකියාව ලැබුණ බව සාක්ෂිකරු කියා සිටියේය.
"එවිට තොග බලන්න පුළුවන් වුනාද? රෝහල් කීයක් තිබෙනවාද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ "ස්වාමීනී නිශ්චිතව රෝහල් ගණන කොපමණද කියලා කියන්න බෑ .නමුත් රෝහල් දෙදහකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉන් බහුතරයක් හා ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථාන විසි හයක් තියෙනවා. ඒ සියලු ආයතන සම්බන්ධ කර තිබෙනවා .
"තොග සම්බන්ධයෙන් ඇනවුම් කටයුතු කරන්නේ කවදා ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම කටයුතු අගෝස්තු මාසයේදී වට්ටෝරු සමාලෝචන කමිටුව පැවැත්වීමත් සමඟ ආරම්භ කරන බවය.එම කමිටුව රැස්වී තීරණ ගැනීමෙන් අනතුරුව පද්ධතිය හරහා ආයතන දැනුවත් කරන බවද , තමන්ට අවශ්‍ය තොග ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම සඳහා මාස හයක කාලයක් එම ආයතන වලට ලබා දෙන බවද සාක්ෂිකරු කියා සිටියේය.
"ඒ වන විටත් ආයතනවල තොග පවතිනවා නම් එම තොගය අඩු කරලා ද ආයතන ඇස්තමේන්තු එවන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කර සිටි අතර සාක්ෂිකරු කියා සිටියේ දත්ත පද්ධතිය හරහා සැපයුම් අංශයට එම ආයතන වල පවතින තොගය බැලීමේ හැකියාව ඇති බැවින් එම ආයතනවල මාසික ඖෂධ අවශ්‍යතාවය පමණක් දැනුම් දෙන ලෙස උපදෙස් උපදෙස් ලබාදී ඇති බවය.
පරිගණක පද්ධතිය හරහා ලබාදෙන දත්ත එකතුකර එක් එක් ඖෂධය සඳහා ඇස්තමේන්තු ගණනය කරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.
"අසාමාන්‍ය අගයන් ඇති ඇනවුම් තියෙන අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කරනවාද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි අවස්ථාවල ඒ පිළිබඳව කරුණු සොයා බලා අදාළ ඇනවුම ඉවත් කිරීමට කටයුතු කරන බවය.
ඉන් අනතුරුව ඇස්තමේන්තුව සකස් කිරීමේ රාජකාරිය තොග පාලක නිලධාරීවරයාට පැවරෙන අතර pronto පද්ධතිය හරහා ආයතන වල ඖෂධ පරිභෝජන රටාව, නිකුත් කිරීම් පිළිබඳව දත්ත විශ්ලේෂණය කර වාර්ෂික පුරෝකථනය කරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.

"පරිභෝජනය කොපමණ ඉදිරි වෙලා තියෙනවද කියලා බලලා තොග පාලක මොකද කරන්නේ? "යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී "එම ඖෂධය භාවිතා වෙන රටාව ගැන බලනවා. ඇතැම් රෝග වලට භාවිතා වන ඖෂධ ඇතැම් අවස්ථාවලදී අඩු වැඩි වශයෙන් අවශ්‍ය වන අවස්ථා තිබෙනවා ඒ සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණය කර වාර්ෂික පුරෝකතනයක් සිදුකරනවා "යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය .
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ඊළඟට තොග පාලක නිලධාරීවරයා ගේ රාජකාරිය කුමක්ද?"
සාක්ෂිකරු: එම පුරෝකථනය ප්‍රධාන තොග පාලක නිලධාරීවරයාට ලබා දෙනවා. එහි අවශ්‍ය වෙනස්කම් තිබෙනවා නම් ප්‍රධාන තොග පාලක නිලධාරිවරයා විසින් ඒ සම්බන්ධයෙන් වෙනස්කම් සිදුකරනවා. අනතුරුව එය සහකාර අධ්‍යක්ෂකට යොමු කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
ඊළඟට මොකද වෙන්නේ ?
සාක්ෂිකරු: වාර්ෂික ඇස්තමේන්තුවට අදාළ ගණනය කිරීම් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :
තොග කොහොමද ගණන් කරන්නේ? වෛද්‍ය සැපයුම් ඒකකය සහ ආයතන වල තිබෙන තොග ප්‍රමාණය සලකා බලනවාද?
සාක්ෂිකරු: ඔව් එහිදී වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ ආයතනවල තියෙන තොග ප්‍රමාණය සලකා බලනවා. ඊළඟට පොරොන්දු වූ සැපයම්කරුවන් ගේ තොග ලැබීමට තිබෙනවාද යන්න පිළිබඳව සලකලා බලනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය:
එම තොග සක්‍රීය ද, අක්‍රිය ද කියලා බලන්නේ කොහොමද ?
සාක්ෂිකරු: රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධ කරගෙන තමයි එය කරන්නේ. ප්‍රසම්පාදන කොපමණ කරනවාද කියලා බලනවා. ඒ හරහා ගණනය කිරීම් කරනවා .
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :සම්පූර්ණ අවශ්‍යතාවය බලන්නේ කොහොමද ?
සාක්ෂිකරු: සියල්ලේම එකතුව මාසික අවශ්‍යතාවයෙන් බෙදනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ඉතිරි මාස තුන සඳහා ඖෂධ සැපයීමට දැනටමත් තෝරා ගෙන සිටින සැපයුම්කරුවෙකු ගේ ඇනවුම 50%කින් වැඩි කිරීමට හැකියාව තිබෙනවාද?
සාක්ෂිකරු:
ඔව් ,අතිරේක ඇනවුමක් කිරීමට වඩා පවතින ඇනවුම වැඩි කිරීම වඩා ප්‍රතිඵලදායකයි .
තොග ලැබීම් සම්බන්ධයෙන් තොග පාලන නිලධාරීවරයා කාලසටහන අනුව කටයුතු කළ යුතු අතර එය ඔහුගේ රාජකාරි වගකීමක් වන බවද සාක්ෂිකරු කියා සිටියේය
රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඇනවුම් ලබා දී තිබෙන අතර ලබා දී ඇති කාල සටහනට අනුරූපව ප්‍රසම්පාදනය වූ ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබිය යුතු බව ද ක්‍රමානුකූලව තොග ලැබෙනවා නම් එම තොගය විධිමත්ව තබාගෙන යාම effective control ලෙස හඳුන්වන බවද සාක්ෂිකරු එහිදී පැහැදිලි කිරීමක් කළේය.
වර්ෂයක මාස 12 අවසන් වූ විට ඒ වන විට පවතින ස්වාරක්ෂක තොගය ඊළඟ වසරට යන බවත්, එම වසරේ මාස තුනක් කාලයක් එම තොගය භාවිතා කළ හැකි බවත් සාක්ෂිකරු කියා සිටියේය. ඇනවුමක් කළ පසු එහි ප්‍රථම තොගය ජනවාරි මාසය ලැබිය යුතු අතර එලෙස ලැබීමක් සිදුවුවහොත් ස්වාරක්ෂක තොගය ඊළඟ වර්ෂයට ගමන් කරන බවද කියා සිටියේය .
සැපයුම්කරුවන්ට delivery schedule එකක් ලබාදී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ලිපි මඟින් රාජ්‍ය ඖෂධ සංස්ථාවට දැනුම් දීම තොග පාලක නිලධාරීවරයා විසින් සිදුකරන බව සාක්ෂිකරු සඳහන් කළේය .
"ස්වාරක්ෂක තොගයක් අවසන් වූ විට ලැබීමට නියමිත තොගය නොලැබී තිබුණු අවස්ථා තිබෙනවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එවැනි තත්ත්වයක් ඇති නොවීමට කාලසටහන් ක්‍රියාත්මක කරන බවය . එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් තොග පාලක නිලධාරීවරයා විසින් ප්‍රධාන තොග පාලක නිලධාරීයා ට දැනුම් දෙන අතර තොග පාලක නිලධාරී හෝ අධ්‍යක්ෂවරයා විසින් තොග සමාලෝචන රැස්වීමේදී ඒ බව දැනුම් දෙන බවද එවැනි රැස්වීම සති දෙකකට වරක් පැවැත්වෙන බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
"තොග ලබා ගැනීම තොග පාලක නිලධාරීවරයා ගේ වගකීමක් නම් ඊළඟ තොගය ලබා ගැනීමට අවසන් තත්පරය වෙනකන් ඉන්නවද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ සති දෙකකට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
සති දෙකකදී ප්‍රසම්පාදන කටයුතු කරන්න පුළුවන්ද?
සාක්ෂිකරු :බෑ ස්වාමීනී .
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
එහෙනම් මෙම අවස්ථාවේදී ආයතනික අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට වෛද්‍ය සැපයුම් ඒකකය කරන පිළියම් මොනවාද?
සාක්ෂිකරු :
ආයතන අතර ඖෂධ හුවමාරුව සහ ප්‍රාදේශීය මිලදී ගැනීම සිදු කරනවා .පරිගණක පද්ධතිය ඔස්සේ ආයතන අතර සම්බන්ධතාවයක් තිබෙනවා .එක් ආයතනයක තොගය අනිත් ආයතනයට ලබාදීමක් සිදුකළ හැකි වෙනවා. ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදු කිරීමේ හැකියාවද තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:
ඖෂධයක් නොලැබී නිසා gap එක මාස ගණන් ඇති විට තොග පාලක අංශයට මොකක්ද කරන්න තියෙන පිළියම?
සාක්ෂිකරු: ඖෂධ සමාලෝචන රැස්වීමට දන්වලා ඔවුන් දෙන උපදෙස් අනුව කටයුතු කරනවා. හදිසි මිලදී ඉගැන්වීම් වලට අදාළ ප්‍රසම්පාදනයකට යොමු වීමේ හැකියාව ද තිබෙනවා.
මෙම නඩුවට අදාළව අධිකරණය හමුවේ 5v ලෙස ලකුණු කර ඇති ලේඛනය සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය එය හඳුනාගත හැකිදැයි සාක්ෂිකරු ගෙන් විමසීමක් කළාය.
එය තොග පාලන නිලධාරීන්ට ලබා දී ඇති රාජකාරී ලැයිස්තුවක් බවත් ඖෂධ බෙදා හැරීම සහ සැපයීම ලෙස තොග පාලන අංශය,අංශ දෙකකට වෙන්කර ඇති අතර මෙම ලේඛනය සැපයුම් අංශයට අදාළ තොග පාලක නිලධාරීවරයා ගේ රාජකාරී ලැයිස්තුව බව සාක්ෂිකරු කියා සිටියේය.
එම රාජකාරිය ලැයිස්තුව එවකට වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයා ව සිටි වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන් කළ සාක්ෂිකරු බවද ඔහුගේ අත් අකුරු සහ අත්සන හඳුනන බවද හඳුනාගත්තේ ය.
වෛද්‍ය වික්‍රමනායක මහතා මෙම අධිකරණයේ මෙම නඩුවේ දෙවන චූදිත ව සිටින බව ද සාක්ෂිකරු හඳුනාගත්තේය.
එම රාජකාරිය ලැයිස්තුව අනුව ජාතික ලැයිස්තුව සකස් කිරීම තොග පාලක නිලධාරීවරයා විසින් කළ යුතු අතර unrealistic තොග ඉවත් කිරීම කළ යුතු බවද එහි සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය .ඉදිරිපත්ව ඇති ඇස්තමේන්තුව පුරෝකථනය කළ යුතු බව ද අදාළ රාජකාරී ලැයිස්තුවෙහි ඇතුළත් වන අතර එය ප්‍රධාන තොග පාලක නිලධාරී සහ සහකාර අධ්‍යක්ෂක විසින් අධීක්ෂණය කරන බවද ,ඇස්තමේන්තු කටයුතු කිරීමේදී යම් වරදක් සිදුවුවහොත් විශාල මූල්‍යමය පාඩුවක් විය හැකි බැවින් එම කටයුතු නිවැරදිව කිරීමට කටයුතු කරන බවද එවැනි පාඩුවක් සිදුවූ අවස්ථාවක එම පාඩුව තොග පාලක නිලධාරීවරයා ගෙන් අය කර ගැනීමක් හෝ විනය පියවර ගැනීමක් සිදු කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
"වාර්ෂික ඇණවුම් සකස් කිරීම සංකීර්ණ ක්‍රියාවලියක්.දත්ත මත තමයි එය සකස් කරන්නේ. ඖෂධ වර්ග කල් ඉකුත් වීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කරනවා. ඇනවුම් කිරීමේ දී සිදුවන වැරදීමක් නිසා විශාල මූල්‍යමය හානියක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව විශාල වැඩි අවධානයක් යොමුකර එය නිවැරදිව කිරීමට උත්සාහ කරනවා "යනුවෙන් සාක්ෂිකරු ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය: මූල්‍යමය කියන්නේ කාගේ මුදල්ද ?
සාක්ෂිකරු :රජයේ මුදල් ස්වාමීනි, එය හානි වීම වැළැක්වීමට උපරිමයෙන් කටයුතු කරනවා
අනතුරුව මෙම නඩුවේ 172(ll) ලෙස නම්කර ඇති ලේඛනයක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "එය කුමක්දැයි" ඔහුගෙන් විමසීමක් කළාය.
එය ඇනවුම් ලේඛනයක් බව හඳුනාගත් සාක්ෂිකරු එම ඇනවුම් ලේඛන සකස් කිරීම pronto පද්ධතිය හරහා සිදු කරන බව කියා සිටියේය .පද්ධතියට ඇතුල් වූ විට එහි delivery schedule කාල සටහනක් ඇති අතර තොග පාලක නිලධාරීවරයා එය පරීක්ෂා කර ඒ ඒ අයිතමය ට අදාල සැපයුම කළ යුතු දිනය සහ deliver schedule එක අදාළ ඇනවුම් ලේඛනයට ඇතුලත් කරන බව සාක්ෂිකරු කියා සිටියේය .
මෙහි "22500ක්ලෙස සඳහන් වන්නේ කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඒ වන විට එම ඖෂධයේ තොග 22500ක්ලෙස ඉතිරිව ඇති බව" ඉන් අදහස් කරන බව සාක්ෂිකරු කියා සිටියේය.

අනතුරුව තවත් ලේඛනයක් සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහි" urgent and important " යනුවෙන් සඳහන් වන්නේ කුමක්දැයි ප්‍රශ්න කර සිටියාය .සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන ලිපිවල එවැනි සටහනක් ඇති බවත්, මෙම ලේඛනය 2023 ජනවාරි මස 4 වෙනිදා ලෙස දිනය සඳහන් වන බවත්, එහි" please order immediately " ලෙස සඳහන්ව ඇති බවත් සාක්ෂිකරු කියා සිටියේය.
හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක හේරත් මහතාගේ අත්සන එහි ඇති අතර ඊට යටින් "please place the order "යනුවෙන් සටහනක් ඇති බවද එය වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරියක ව සිටි සොලමන් මහත්මියගේ අත්සන බවද සාක්‍ෂිකරු සිටියේය.
වෛද්‍ය හේරත් මහතා මෙම නඩුවේ හත්වන විත්තිකරු ලෙසද සහකාර අධ්‍යක්ෂක සොලමන් මහත්මිය නඩුවේ තුන්වෙනි විත්තිකාරිය ලෙසද මෙම අධිකරණ ශාලාව තුළ සිටින බව සාක්ෂිකරු හඳුනාගත්තේය.
මෙම ලිපියේ" sco 6 ලෙස සඳහන් කර ඇති සඳහනින් අදහස් කරන්නේ කුමක්දැ"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ "ගබඩා අංක 6 බාර තොග පාලක නිලධාරියා ඉන් අදහස් කරන බවය. එම නිලධාරියා ලෙස කටයුතු කළේ සුජිත් බව සඳහන් කළ සාක්ෂිකරු සුජිත් මෙම නඩුවේ පස්වෙනි විත්තිකරු ලෙස අධිකරණය හමුවේ සිටින බවත් හඳුනාගත්තේය.
මෙම ලේඛනයේ පිටපත් සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත මහතාට යොමු කර ඇති බව සඳහන් කළ සාක්ෂිකරු චන්ද්‍රගුප්ත මහතා මෙම නඩුවේ හයවන විත්තිකරු ලෙස අධිකරණය හමුවේ සිටින ලෙස සිටින බව හඳුනාගත්තේය.
"වාර්ෂික ඇනවුමක දී ඖෂධයක ආයු කාලය කොපමණ බලනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ මාස විස්සක ආයු කාලයක් පිළිබඳව එහිදී ම සලකා බලන බවය.
වෛද්‍ය සැපයුම් අංශයෙන් එම ලේඛනය සකස් කළ පසු සැපයුම්කරුට ගැනුම් ඇනවුමක් නිකුත් කරන බව සඳහන් කළ සාක්ෂිකරු delivery schedule එක එම ගැනුම් ඇනවුම ට ඇතුළත් කරන බව සඳහන් කළ අතර ඖෂධය සැපයිය යුතු කාල රාමුව එහි සඳහන්ව ඇති බවද කියා සිටියේය. එසේම එම ඖෂධයේ පිරිවිතර ද එහි සඳහන් කරන බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
එම අදාළ delivery schedule එක අනුව අදාල සැපයුම කිරීමට සැපයුම්කරු එකඟ වූ දිනයේදී එම සැපයුම ලබාදීමට නොහැකි වුවහොත් ඊට අදාළ දඩයක් අය කර ගැනීම කළ හැකි බවද එවැනි අවස්ථාවක තොග පාලක නිලධාරීවරයා විසින් ඉහළ නිලධාරීන් දැනුවත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
"ඖෂධය ගබඩා කළ යුතු උෂ්ණත්වය පිළිබඳව පිරිවිතර වල සඳහන් වෙනවද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර ඒ පිළිබඳව සදහනක් ඇති බව සාක්ෂිකරු කියා සිටියේය
අධිකරණයට ඉදිරිපත් කර ඇති පෑ 183 එක ලෙස නම් කර ඇති ලේඛනය අපි සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහි සඳහන් රිටොප්සිමැප් ලෙස සඳහන් ඖෂධ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේය.
එම ඖෂධය ගබඩා කළ යුතු උෂ්ණත්වය පරාස දෙකක් ලෙස සඳහන් වන අතර ද්‍රාවණයක් ලෙස ලැබෙන්නේ නම් එක උෂ්ණත්වයක් ද පවුඩර් එකක් ලෙස ලැබෙන්නේ නම් තවත් උෂ්ණත්වය ක්ද ලෙස වෙනස්වීමක් සිදුවන බව සාක්ෂිකරු පැහැදිලි කිරීමක් කළේය.
සාක්ෂිකරු:
අදාළ උෂ්ණත්ව පරාසය ඇතුළත ඖෂධ සපයා තිබෙනවාද යන්න තහවුරු කර ගැනීම තොග පාලක නිලධාරීවරයා විසින් තමයි කරන්නේ. ඒ සඳහා cold chain එකක් තිබෙනවා ඒ අනුව උෂ්ණත්වය පවත්වාගත යුතුයි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: වෛද්‍ය සැපයුම් ඒකකය කොහොමද පරීක්ෂා කරන්නේ ඔය කියන උෂ්ණත්වය තුළ තමයි මෙම ඖෂධය ලැබෙන්නේ කියලා?
සාක්ෂිකරු: cold chain monitor එකක් තිබෙනවා. එහි ඉහළ හා අඩුම උෂ්ණත්වය check කලාම අදාල ඖෂධය ඇති උෂ්ණත්වය හඳුනා ගන්න පුළුවන්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය :එයට සාමාන්‍යයෙන් භාවිතා කරන නම කුමක්ද?
සාක්ෂිකරු: dataloger කියලා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එය පරීක්ෂා කරන්නේ කොහොමද?
සාක්ෂිකරු
සමහර පරීක්ෂා කිරීම් බටන් එකක් ප්‍රෙස් කරලා කරන්න පුළුවන්. සමහර ඒවා පරිගණකයට සම්බන්ධ කර බලනවා. ඇතැම් software තියෙනවා පරිගණක dataloger කියවන.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය: ගැනුම් ඇනවුමේ BP ලෙස සඳහන් වන්නේ කුමක්ද?
සාක්ෂිකරු: British pharmacopia යන්න තමයි ඉන්න අදහස් කරන්නේ. ඖෂධ සමාලෝචන රැස්වීමේදී තීරණය කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය :ඔබ කිව්වා එන එන අයිතමයට අදාළව ගොනු පවත්වාගෙන යන බව?
සාක්ෂිකරු :ඔව් එම ගොනුව තොග පාලක විසින්, ප්‍රධාන තොග පාලක මගින්, සහකාර අධ්‍යක්ෂවරියගේ අවධානයට යොමු කරනවා.
එහිදී එම ලේඛනයේ ඇති සටහනක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසියට ජෙනරාල්වරිය එහි ඇති අත්අකුරු කාගේදැයි සාක්ෂිකරුගෙන් විමසා සිටියාය.
එම අත් අකුරු තොග පාලක නිලධාරීවරයා ලෙස කටයුතු කළ සුජිත් කුමාරගේ බවත්, ඔහු සමග රාජකාරිය කටයුතු කිරීමේදී ලිපි ගනුදෙනු කර ඇති බැවින් ඔහුගේ අත් අකුරු හඳුනාගැනීමට තමාට හැකියාව ඇති බවත් සාක්ෂිකරු කියා සිටියේය.

"2023.04.6 වැනි දින තොග පාලක නිලධාරීවරයා විසින් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධයේ තොග තත්ත්වයන් පිළිබඳව සහකාර අධ්‍යක්ෂක සොලමන් මහත්මියට දන්ව තිබෙනවා. ඉදිරි මාස දෙකකට තොග තිබෙන බව ඇය විසින් එහි සටහන් කර තිබෙනවා"යැයි සාක්ෂිකරු කියා සිටියේය.
"Ibb requested delivery schedule "යන සටහනක් ඇය විසින් එහි තබා ඇති අතර 2023.04.06 න් පසුව මාස දෙකහමාරයකට 17000ක් සහ 2024 මාස දෙකකට 17000ක් ලබාගත හැකි බවට සොලමන් මහත්මිය විසින් එහි දක්වා ඇති බවද "recommend to proceed " යනුවෙන් ඇති සටහනෙන් එය ඉදිරියට කරගෙන යන ලෙස දක්වා ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය
"2023 අප්‍රේල් 6 වන විට මැයි 6 ජූනි 6 සහ ජූලි මස සති තුනකට ප්‍රමාණවත් ඖෂධ තිබිලා තියෙනවද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය නිවැරදි බවට සඳහන් කළේය.
"මෙහි ABP යනුවෙන් සටහනක් තියෙනවා. "Please discuss "ලෙස සඳහන් කර ඊට පහළින් "approved proceed "ලෙස සඳහන් වෙනවා. ඒ අත්අකුරු කාගෙද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර එම අත් අකුරු වෛද්‍ය කපිල වික්‍රම නායක මහතාගේ බවට සාක්ෂිකරු කියා සිටියේය.
අනතුරුව අයිතම බාර ගැනීම සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරිය "මොන අංශ වලින්ද එම අයිතම භාරගන්නේ?" යනුවෙන් ප්‍රශ්නයක් යොමු කළාය.
SPC, SPMC , UNOPS යනාදියෙන් අදාළ සැපයීම් ලැබෙන අතර SPC වලින් ආකාර දෙකකින් සැපයම් කරන අතර එය DHS සහ LPDSH ලෙස හඳුන්වන බව සාක්ෂිකරු කියා සිටියේය.

ආනයනය කරන ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වාප්පු අංශය මගින් නිෂ්කාශනය කර වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීම DHS ලෙස හඳුන්වන අතර එම ඖෂධ තොග වාප්පු අංශය විසින් විසින් වෛද්‍ය සැපයුම් අංශයට ලබා දෙන විට අදාළ ලේඛන වල ඡායා පිටපත් භාර දීමක් සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
" භාණ්ඩ ලොකු කන්ටේනර් වල තමයි එන්නේ. එම conscitement එකෙන් අහඹු ලෙස සාම්පලයක් අරගෙන පරීක්ෂා කිරීමක් කරනවා. තොග පාලක නිලධාරීවරයා විසින් එහි තියෙන ප්‍රමාණය, පිරිවිතර ,සැපයුම් කොන්දේසි යනාදියට අනුකූලව සාම්පලය ගැලපෙනවද යන්න එහිදී සලකා බලනවා." යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු ඕඩර් ලිස්ට් එකක් නැතිව ගැනුම් ඇනවුමක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවද සඳහන් කළේය.
"ඡායා පිටපත් වලින් කොහොමද පරීක්ෂණ කටයුතු කරන්නේ ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "රාජ්‍ය ඖෂධ නියාමන සංස්ථාවේ දී එම ලේඛන පරීක්ෂා කිරීම් සිදු කරන පරීක්ෂා කිරීම් මත අප රඳා පවතිනවා. ඒ අනුව ඡායා පිටපත් මත භාර ගැනීම සිදුවෙනවා. "යනුවෙනි.
"spc තොග වෙලාවට ආවේ නැත්නම් msd එක මොකද කරන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දඩ මුදල් අය කර ගැනීමේ ක්‍රමයක් ඇති බවය. සැපයුම්කරුවන්ගෙන් එකට දඩ මුදල් අය කරගැනීමට SPC හැකියාව ඇති බවද එසේ නොමැති නම් conscitement එක බාර නොගෙන සිටිය හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය.
"LPDSH ලෙස හඳුන්වන්නේ කුමක්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ලංකාවේ සිටින නියෝජිතයකු හරහා ඖෂධ ආනයනය කර ලබා ගැනීමක් එමගින් අදහස් කරන බවය.
එහිදී අදාළ සාම්පල සහ ලේඛන සැපයුම්කරු විසින් රැගෙන ආ යුතු අතර එම සාම්පල පරික්ෂා කිරීමත් පිරිවිතර සමග ගැලපෙනවා ද යන්න පිළිබඳව සලකා බැලීමත් තොග පාලක නිලධාරීවරයා විසින් සිදු කරන අතර ඔහු විසින් අදාළ ලේඛන සහකාර අධ්‍යක්ෂකට යොමු කර අනුමත කිරීමෙන් අනතුරුව සැපයුම්කරු විසින් ඒවා සහ සාම්පලය රාජ්‍ය ඖෂධ සංස්ථාව වෙත රැගෙන යා යුතු බවද සාක්ෂිකරු කියා සිටියේය.
"එහිදී ලියාපදිංචි සහතිකය හෝ WOR සහතිකය පරීක්ෂා කරන්නේ කොහොමද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඡායා පිටපත් වලින් එම කටයුත්ත සිදු කරන බවය.
අනතුරුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දුන් සාක්ෂිකරු සඳහන් කළේ " ඒ යටතේ රැස්වීමක් තිබුණා. මා විසින් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරන්න වෛද්‍ය චන්දන විජේසිංහ උපදෙස් දුන්නා.එය චම්පිකා වික්‍රමසිංහ වෛද්‍යතුමියට යොමු කළා එම රැස්වීම 2023 සැප්තැම්බර් 22 ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි තිබ්බේ" යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු එම ඇමතිවරයා තමාට හඳුනාගත හැකි බවත් මෙම මෙම නඩුවේ 08 වැනි විත්තිකරු ලෙස ඔහු අධිකරණ ශාලාව තුළ සිටින බවත් හඳුනාගත්තේය.

"2022 සැප්තැම්බර් මස 02 පැවති රැස්වීමට ප්‍රමුඛතා ලැයිස්තුවත් අරගෙන ගියා. ඒ සඳහා උපදෙස් ලබාදුන්නේ එවන විට අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය චන්දන විජේසිංහ මහතායි. අධ්‍යක්ෂතමා ,ලේකම්තුමා ,අතිරේක ලේකම් රත්නායක වෛද්‍යතුමා එහි සිටියා." යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය" රත්නායක වෛද්‍යතුමා ව ඔබ හඳුනනවා ද ?"යනුවෙන් ප්‍රශ්න කර සිටියාය. ඔහු හඳුනන බව ප්‍රකාශ කළ සාක්ෂිකරු මෙම නඩුවේ දහවන විත්තිකරු ලෙස වෛද්‍ය සමන් රත්නායක මහතා සිටින අධිකරණ ශාලාවේ සිටින බව හඳුනාගත්තේය.
"ඔබ විසින් සකස් කළ ප්‍රමුඛතා ලැයිස්තු අංක 1 හි ඖෂධ 180 කියන්නේ මොකක්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර " මාසයකට අඩු තොග ඇති ඖෂධ තමයි එම ලැයිස්තුවට ඇතුළත් කරේ මාස තුනකට අඩු තොග තිබූ ඖෂධ ප්‍රමුඛතා ලැයිස්තු 2 ට ද මාස හයකට අඩු තොග තිබූ ඖෂධ ප්‍රමුඛතා ලැයිස්තු 3 ට ද ආදී වශයෙන් ඇතුළත් කරා යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය.
අනතුරුව සාක්ෂිකරුගේ අවධානයට email පණිවිඩයක් යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එය හඳුනාගත හැකිදැයි ඔහුගෙන් විමසීමක් කළාය.
එම email පණිවුඩය තමන් විසින් වෛද්‍ය චන්දන විජේසිංහ මහතාට පිටපතක් සමග වෛද්‍ය රත්නායක මහතාට යොමු කළ email පණිවිඩයක් බවට සාක්ෂිකරු හඳුනා ගත්තේය. අදාළ ප්‍රමුඛතා ලැයිස්තු එම email පණිවිඩයට ඇතුළත් කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
එදිනම හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේරත් මහතාගේ අත්සනින් ලිපියක් ලැබුණු අතර එහි කොටසක් අත් අකුරෙන් ද එක් කොටසක් යතුරු ලියනය කර තිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය. "ඉන්දියානු ණයයෝජනා ක්‍රමය යටතේ සැපයුම්කරුවන්ගෙන් ඖෂධ ලබා ගැනීමට ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී තීරණය කළ බව" එහි සඳහන්ව තිබෙනවා." මාස තුනක කාලයක් සඳහා ප්‍රමාණවත් වන ඖෂධ emergency procurement හරහා order list එකක් please කරන්න" කියලා එහි තියෙනවා " යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය .
"ඊට අමතරව එහි කුමක්ද තියෙන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර ඊට පිළිතුරු තුන් සාක්ෂිකරු එහි "ලැබීමට ඇති තොග නොසලකා හරින්න "යනුවෙන් සටහනක් තියෙනවා. ඒ වන විට ලැබීමට තිබෙන ඖෂධ තොගය මාස දෙකක් ප්‍රමාද වෙන බවද සඳහන් වෙනවා."
එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරිය " තොග පාලක නිලධාරීවරයා "SPC ආයතනය කාල වකවානුවක් දීලා එම ඖෂධ ප්‍රමාද වන බවට දැනුම් දීලා තියෙනවද?" යනුවෙන් විමසීමක් කළාය.
සියලු ඖෂධ සම්බන්ධයෙන් පොදුවේ එවැනි දැනුම් දීමක් කර නැති බව සාක්ෂිකරු එහිදී සඳහන් කර සිටියේය.
සමගම දිනයට නියමිත සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර වැඩිදුරට සාක්ෂි ලබාදීම සඳහා ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුට නියම කරන ලදී.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැප් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී ෂෙහාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

