leader s

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ අධ්‍යක්ෂක සුදත් ජානක ප්‍රනාන්දු සමඟ දුරකථන සංවාද 180ක් පමණ ඉන්දියානු යෝජනා ක්‍රම

ක්‍රියාත්මක වූ කාලයේ තමන් පවත්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ, කළමනාකාර සහකාර නිලධාරී කෝරාධිපතිගේ නිහාල් රංජිත් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පිළි ගත්තේය.

 
අදාල දුරකථන සංවාද පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද කට උත්තරයකයකට අදාලව නීතිඥ අමිත ආරියරත්න මහතා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය 
 
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය ට අදාළ නඩුවේ 151 වන සාක්ෂිකරු ලෙස සාක්ෂි දෙමින් සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ කළමනාකාර සහකාර නිලධාරී වරයා වෙත මෙම හරස් ප්‍රශ්න යොමු කිරීම සිදු කරන ලදි.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
 
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ කළමනාකාර සහකාර නිලධාරී කෝරාධිපතිගේ නිහාල් රංජිත් මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් තෙවන දිනටත් ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දීම සිදු කළේය.
 
සැපයුම් කරුවන්ට මුදල් ලබා ගෙවීමට අදාළ නිර්දේශයන් සහ අනුමැතිය ලබා ගැනීමේදී ඊට අදාළ ඉන්වොයිස් පත, GRN පත සහ ගෙවීම් වවුචරය අදාළ ගොනු වෙන් ගලවා ප්‍රධාන ගණකාධිකාරී කාර්යාලයට යවන බවත්,එම පිටපත් ගලවා ඉවත් කිරීමට පෙර අත්සන් ලබා ගැනීම සඳහා එම ලේඛන සම්පූර්ණ ගොනුව ද සමඟ ගණකාධිකාරී සැපයුම් ,අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම් හා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා වෙත යොමු කරන බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
එම නිර්දේශයන් සහ අනුමැතිය ලැබුණු පසු ඊට price confirm මුද්‍රාව යොදා අත්සන් තැබීම තමන් විසින් සිදු කළ බව සාක්ෂිකරු කියා සිටියේය. ඒ අනුව අධිකරණය හමුවේ ඇති 97 ගොනුවේ ඇතුළත් 10 වෙනි  පිටුවෙහි සඳහන් වව්චරයට එම මුද්‍රාව 2023 /05/11 දින තමන් එම මුද්‍රාව තැබූ අතර එය තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
ඊට අදාළ invoice පත සහ ගෙවීමට අදාළ GRN  පත ලැබුණ අතර එම invoice අංකය, GRN අංකය ,ගැනුම් ඇනවුම් අංකය,එහි ඇතුලත් වන බවද සාක්ෂිකරු කියා සිටියේය .මීට අදාළ  පිටපත් සැපයුම් ගණකාධිකාරී කාර්යාලයට යැවූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
අදාළ invoice පත්‍රයේ අංකය 0000073134 ලෙස සඳහන් වන අතර  සාමාන්‍යයෙන් ගෙවීම් වවුචරය සකස් කරන ආකාරයටම එයද සකස් කළ බව සඳහන් කළ සාක්ෂිකරු එහි දිනය 2023/05/16  ලෙස සඳහන් කර ඇති බව කියා සිටි අතර එම වව්චරය සකස් කිරීම නසීර් මහතා විසින් සකස් සිදුකළ අතර  එහි checked by යන ස්ථානයේ තමන් විසින් අත්සන් තැබූ  බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .
 
price conform යන ස්ථානයේ අත්සන් තැබීමට පෙර invoice අංකය, වව්චර බිල්පත් අංකය, voter list අංකය සහ අයිතම ප්‍රමාණය යනාදිය පරීක්ෂා කර බැලීමක් සිදුකරන බවද ප්‍රකාශ කළ සාක්ෂිකරු ඉන් අනතුරුව එය සැපයුම් ගණකාධිකාරී නිරාන් ධනංජය වෙත නිර්දේශය සඳහා යොමු කරන බවද කියා සිටියේය.
 
"ඊළඟට එය කාගේ අනුමැතියට ද යවන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂක කපිල වික්‍රමනායක වෛද්‍ය මහතා වෙත එය යොමු කරන බවය. ලේඛනවල අඩුපාඩු තිබෙන අවස්ථාවල එය නැවත හරවා එවීමක් සිදුකරන නමුත් මෙම වවුචරය ට අදාළව එවැනි හරවා එවීමක් සිදු නොකළ බව සඳහන් කළ සාක්ෂිකරු ‍ අධ්‍යක්ෂකවරයාගේ අත්සන තැබීමෙන් පසුව එය නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය සැපයුම් හේරත් මහතාගේ අත්සන සඳහා යොමු කර ඇති බවද එකී අත්සන 2023/05/23 දින තබා ඇති බවද  ප්‍රකාශ කළේය.
 
 
"එම වවුචරය ට සමගාමී වූ මිනිට් සටහනක් තිබෙනවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වලිය ප්‍රශ්න කරන අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි මිනිට් සටහනක් ඇති බවය. එම මිනිට් සටහනේ මේ මෙම 73480  වව්චරය ට අමතරව 73134  දරන වව්චරය සම්බන්ධයෙන් එම මිනිට් සටහනේ ඇති සටහන තමන්ට ලෙස හඳුනාගත හැකි බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"එම මිනිට් සටහන සමග ඇති තවත් ගෙවීම් වව්චරය ක් ඇති  බවට ඔබ සඳහන් කළා?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු "එසේය ස්වාමීනි , ඊට අදාළ invoice පත් සහ GRN  පත මෙම ගොනුවට ඇතුළත් වෙලා තියෙනවා. එම invoice පත ගෙවීමට ඉදිරිපත් කිරිමට පෙර price confirm මුද්‍රාව 2023/05/22 දින තබා තිබෙනවා. එම මුද්‍රාව තැබුවේ මා විසින් .ඒ අනුව එය මට හඳුනාගත හැකියි." යනුවෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දුන්නේය.   
 
"ඊට අදාළ  GRN පත සහ  invoice පත තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී එහි invoice පතේ අංකය ,ගැනුම් ඇනවුමේ  අංකය, GRN පත් අංකය යනාදිය ඇතුළත් වන අතර  එය  2023 /05/21 වන දින නිකුත් කර ඇති බවද එය තමන්ට හඳුනාගත හැකි බවද ප්‍රකාශ කළ සාක්ෂිකරු එම GRN පතට අදාළ ගෙවීම් වවුචරය  මෙම මිනිට් සටහනට අදාළව ඉදිරිපත් කර ඇති ගෙවීම් වව්චරය ලෙස හඳුනාගත හැකි බවද කියා සිටියේය. 
 
"අදාළ ගෙවීම් වව්චරය කවුරුන් විසින්ද සකස් කර තිබෙන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එය  නසීර් මහතා විසින් සකස් කර ඇති බවය. 
 
එහි ඇති නසීර් මහතාගේ අත්සන තමන්ට හඳුනාගත හැකි නමුත් එහි checked by ලෙස සඳහන් කරමින් යොදා ඇති අත්සන හඳුනා ගැනීමේ හැකියාවක් නොමැති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
හතරවන චූදිත වන ගණකාධිකාරී සැපයුම් ලෙස කටයුතු කළ  නිරාන් ධනංජය ගේ අත්සන එහි සඳහන් වන අතර වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගේ අත්සන එහි සඳහන් වන බවද , අනතුරුව 07 වන චූදිත වන හේරත් මහතාගේ අත්සන එහි සඳහන් වන බවද ,එම අත්සන අදාළ වව්චර් පතෙහි දකුණු පසට වන්නට දිස්වන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
අදාළ මිනිට් සටහනේ ඇතුළත් මුල් වව්චර අංකය අසළ කාක පාදය ක් යොදා මෙම දෙවැනි වවුචරයේ අංකය නසීර් මහතා විසින් ඇතුළත් කර ඇති බව සඳහන් කළ සාක්ෂිකරු එම සටහන 2023 /05/16 දින ලෙස සඳහන් වන බවද එය කටුගා ඇති බවක් පෙනී යන බවට ප්‍රකාශ කළේය. 
 
අධිකරණයට ඉදිරිපත් කර ඇති 97 ගොනුවේ 16 පිටුවේ ඇති invoice පත තමන් ට හඳුනාගත හැකි බවද එහි price confirm යන සටහන අසල ඇති අත්සන තමන්ගේ බවද  සඳහන් කළ සාක්ෂිකරු මෙම invoice පතේ ගෙවීමට අදාළව GRN පත ලැබුණු බවද එය ලැබුණු දිනය ලෙස 2023 /05/ 26 දින සඳහන් කර ඇති බවද කියා සිටියේය 
 
එම GRN පත සහ invoice එකට අදාල ගෙවීම් සකස් කර ඇති අතර ඊට අදාළ වවුචර් පත නසීර් මහතා විසින් සකස් කර ඇති නමුත් checked by යන ස්ථානයේ ඇති අත්සන තමන්ට හඳුනාගත නොහැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
එම වව්චර් පත පළවෙනි චූදිත, දෙවන චූදිත සහ හත්වන චූදිත ගේ අත්සන්වලට ඉදිරිපත් කර ඇති අතරින් සෙසු දෙදෙනාගේ අත්සන් එහි ඇති නමුත් හත්වන චූදිතගේ අත්සන එහි නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
එහි ඇති අත්සන කාගේද යන්න පිළිබඳව තමන්ට හඳුනාගත නොහැකි බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය. 
 
අධිකරණය විසින් මෙම සාක්ෂිකරුට සිතාසි  නිකුත් කරන අවස්ථාවේදී රැගෙන එන ලෙස දැනුම් දෙන ලද  ලිපිගොනු  දෙකක් සාක්ෂිකරු විසින් අධිකරණයට රැගෙන විත් තිබූ අතර  106 ලෙස නම්කර ඇති ගොනුවේ ඇති වව්චර පත් කිහිපයක් ඇසුරෙන් කළ ගෙවීම් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සිදු කළාය. 
 
සාක්ෂිකරු කියා සිටියේ අදාළ GNR පත්‍ර අංකය, invoice පත් අංකය සහ අදාල කරුණු ඇතුළත් කොට වව්චර පත් සකස් කර ඇති අතර එම බොහෝ වව්චර් පත් නසීර් මහතා විසින් සකස් කළ අතර  එහි price confirm යන මුද්‍රාව තමන් විසින් යොදා අත්සන් තබා ඇති බවද අනතුරුව ඒවා ගණකාධිකාරී සැපයුම් ලෙස කටයුතු කළ 4 වැනි විත්තිකරුවන නිරාන් ධනංජය වෙත නිර්දේශ කිරීම් සඳහාද ,දෙවැනි විත්තිකරු වන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙත අනුමැතිය සඳහාද ,නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් හේරත් මහතා වෙත අනුමැතිය සඳහාද යොමු කළ බව ය.
 
ඔවුන් විසින් එහි අත්සන් තබා මුද්‍රා සහ දිනයන් තබා ඇති අතර මූල්‍ය වටිනාකම අනුව එම නිර්දේශයන් සහ අනුමත කිරීම් සඳහා ඉහළ නිලධාරීන් වෙත යොමු කර ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙම සාක්ෂි විමසීම කරන අවස්ථාවේදී දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා අධිකරණයේ අවධානයට යොමු කළේ මෙම සාක්ෂිකරු විසින් අදාළ වව්චර පත් සකස් කල බවට නසීර් නමැති නිලධාරියෙකුගේ නම සඳහන් කළ අතර එම නිලධාරීයා සාක්ෂි සඳහා ඉදිරිපත් වන්නේ ද යන්න  වැදගත් වන බවය. එසේම මෙම  වව්චර් පත් වල කාර්යාල පිටපත් හෝ ඩුප්ලිකේට් පිටපත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සාක්ෂි විමසීමේදී එහි මුල් පිටපත් ඉදිරිපත් කිරීම අවශ්‍ය වන බවද නීතිඥවරයා සඳහන් කළේය.  
 
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා ප්‍රධාන ගණකාධිකාරීවරයා පැමිණෙන බවත්, ඔහු සතුව අදාළ මුල් පිටපත් ඇති අතර ඔහු මගින් එම මුල් පිටපත් ලකුණු කිරීමට අපේක්ෂා කරන බවත්ය.  
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන ලද එකසිය හය ගොනුවේ ඇති  වව්චර් පත් සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එය හතරවන විත්තිකරුගේ නිර්දේශයෙන් අනතුරුව ඇතැම් වව්චර් පත් අධ්‍යක්ෂකවරයා විසින් පමණක් අනුමත කර ඇති අතර ඇතැම් වව්චර පත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත අනුමැතිය  සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවෙන් කරුණු විමසා සිටියාය.
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එම වවුචර පතේ අගය වැඩි අවස්ථාවලදී ඉහළ නිලධාරියාගේ අනුමැතිය ලබා ගැනීම සිදු කරන බවය.
 
අධිකරණය හමුවේ ලකුණු කර ඇති 64 ගොනුවේ ඇති  2 v 39 ලෙස ලකුණු කර ඇති ලේඛනයට සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අදාළ වවුචර් පත් වලට අදාළ ගෙවීම් සම්බන්ධයෙන් වන වගුවක් එහි සඳහන් වන බව පෙන්වා දුන්නාය. එම වගුවේ සඳහන් පත්වල අගයන් ලෙස දක්වා ඇත්තේ "අධිකරණය හමුවේදී සාක්ෂිකරු විසින් හඳුනාගත් වව්චර් පත්වලින් ලබාගත් අගයන්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී විමසීමක් කළ අතර සාක්ෂිකරු එම වව්චර පත්වල අගයන් අදාල වගුවේ සඳහන් වන බව ප්‍රකාශ  කළේය. 
 
ඊට අදාල GRN පත්‍රයේ අගය ,ICL ව්‍යාපෘතීය යටතේ ලැබුණු සහ නොලැබුණු අයිතම  සම්බන්ධයෙන් වන කරුණු අදාළ වගුවේ සඳහන් වන බවද ,අදාළ සැපයුම් වලට අදාළව කරුණු එහි ඇතුළත් වන බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය 
 
"අදාළ වගුවේ ඇති විස්තර අනුව නිකුත් කළ ගැනුම් ඇනවුම් ලෙස එය හඳුනාගත හැකිද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විමසීමක් කළ අතර එලෙස හඳුනාගත හැකි බව සාක්ෂිකරු කියා සිටියේය .
 
"එම ලේඛනයේ ඇති තීරුවල late charges යනුවෙන් සදහන් වන්නේ කුමක්ද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ සැපයුම්කරු ට ඇනවුමක් ලබා දෙන අවස්ථාවේදී ඇනවුම් කොන්දේසියක් ලෙස නිශ්චිත දිනයක් ලබා දන බවය.
 
files 2
 
එම දිනයට අයිතම ලබා දීම සිදු නොකළහොත් ප්‍රමාද ගාස්තු අය කරන ආකාරය සම්බන්ධයෙන් එම කොන්දේසි සඳහන් වන බවද සාක්ෂිකරු කියා සිටියේය. ඒ ඒ වවුචර පැත්තට අදාළව අය කරගත් ප්‍රමාද ගාස්තු අදාළ වගුවේ දැක්වෙන බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
"ඒ අනුව අදාල වගුවේ සඳහන් පරිදි ICL/ EOI/ p1 / 16/22 හි 000703401 යන අයිතමය ට ප්‍රමාද ගාස්තු අයකර තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ රුපියල් 314806.08 එක ප්‍රමාද ගාස්තුවක් අයකර ඇති බවය. 
 
"එකී ප්‍රමාද ගාස්තුව හඳුනාගන්නේ කෙසේද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ  අදාළ අයිතමය ට ගෙවිය යුතු  මුදලින් අඩු කිරීමක් ලෙස එම ප්‍රමාද ගාස්තුව සඳහන් කර ඇති බවය. 
 
එකී ප්‍රමාද ගාස්තුව සඳහන් කළ පසු ගෙවීම් වව්චරය ට ගණකාධිකාරී  සැපයුම් විසින් නිර්දේශය ලබාදී ඇති අතර වෛද්‍ය සැපයීම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා විසින් අනුමැතිය ලබා දී ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
එකී ලේඛනයේ ඇතුළත් වගුවේ සැපයුම් වව්චරය ට අදාලව රුපියල් 3540289.00 ක ප්‍රමාද ගාස්තුවක් අය කරගෙන තිබීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එකී ප්‍රමාද ගාස්තුව අදාළ ගෙවීම් වලින් අඩු කළ යුතු ලෙස එහි සඳහන් කර ඇති බවය. ඊට අදාළ නිර්දේශයන් සැපයුම් ගණකාධිකාරී වරයා විසින් සිදු කළ අතර කපිල වික්‍රමනායක මහතා විසින් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය සැපයුම් විසින් ද නිර්දේශ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අනුමත කර ඇති බවය. 
 
එකී වටිනාකම ඉහළ අගයක් ගන්නා බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත එය යොමු කර ඇති අතර ඔහු විසින් එය අනුමත කර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග තමන් රාජකාරී කටයුතු කර ඇති අතර ඔහුගේ අත්සන තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
ඒ සමගම මෙම සාක්ෂිකරුගෙන් පැමිණිල්ල වෙනුවෙන් සිදු කරන මූලික සාක්ෂි විමසීම අවසන් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය
 
පැමිණිල්ලේ මූලික ප්‍රශ්න විමසීම අවසන් කිරීමෙන් අනතුරුව විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කිරීමට අවස්ථාව ලබා දුන් අතර ඒ  අනුව මෙම නඩුවේ එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න ආරම්භ කළේය. 
 
CID 251024
 
තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ වගකීම් සහගත රැකියාවක් කරන බවට එම හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කර සිටියේය. තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ තුනක් ලබාදී ඇති බවත් ,ඒවා ලබා දුන් දිනය සම්බන්ධයෙන් තමන්ට කිසිදු මතකයක් නොමැති බවත් සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඔබ විසින් දෙන ලද තුන්වැනි ප්‍රකාශය 2025 මේ මාසයේදී දුන් බවට කිව්වොත් හරිද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි මතකයක් නොමැති බවය. 
 
"අදාළ ප්‍රකාශය ලබා ගැනීම සඳහා හේතුව පැහැදිලි කරමින් එම ප්‍රකාශය දුරකථන සම්බන්ධ සංවාද සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රකාශයක් ලබාගත්තා නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර "විශේෂයෙන් ප්‍රකාශයක් ලබාගත් බවට" වන සඳහන සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළ සිටියාය. 
"ඔබ සුදත් ප්‍රනාන්දු සමඟ පැවැත්වූ දුරකථන සංවාද සම්බන්ධයෙන් අදාළ කට උත්තරයේදී ප්‍රකාශ කළාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි ප්‍රකාශයක් ලබා ගත් බවය
 
නීතිඥවරයා:
එම කාලයේදී සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තා සමඟ දුරකථන සංවාද 180ක්  පවත්වා තිබෙනවා නේද?
 
සාක්ෂිකරු :
එහෙමයි ස්වාමීනි 
 
නීතිඥවරයා: 
ඔබ සේවය කළේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සැපයුම් අංශයේ. මෙම දුරකථන සංවාද සම්බන්ධයෙන්  ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔබ ලබා දුන් උත්තරය කුමක්ද?
 
 සාක්ෂිකරු:
 ජානක ප්‍රනාන්දු දේශීය සැපයුම්කරුවකු ලෙස සැපයුම් අංශය සමග සම්බන්ධ වී සිටියා. ඔහු කෙමිකල් වර්ග සැපයීම සම්බන්ධයෙන් ගිවිසුම් ගතව සිටියා. face mask , v P kit සහ තවත් අයිතම සැපයීම සම්බන්ධයෙන් ඔහු කටයුතු කළා. එම සැපයීම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මෙන්ම වෛද්‍ය සැපයීම් ඒකකයට ත් සිදු කළා.ඒ සියලු කටයුතු මා සම්බන්ධීකරණය කළා. එය රාජකාරි මය වශයෙන් සිදුකළ සාමාන්‍ය තත්වයක්.
 
 නීතිඥවරයා:
දේශීය සැපයුම් කරුවෙකු සමග දුරකථන සංවාද එකසිය අසූවක් ලබා ගැනීම අසාමාන්‍යයි නේද?
 
සාක්ෂිකරු: මම දේශීය නිෂ්පාදකයන් විසින් විසි තුන්දෙනෙකු සමග පමණ සම්බන්ධතා පැවැත් වූවා ඔවුන්ගේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ මම 
 
නීතිඥවරයා: එම සැපයුම්කරුවන් සමග ලබාගත් දුරකථන සංවාද සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමසීමක් කළාද? 
 
සාක්ෂිකරු: ඒ ගැන ඇහුවේ නෑ 
 
නීතිඥවරයා: ඔබගේ දුරකථන සංවාද වලට හේතුව ලෙස කුමක්ද කිව්වේ? 
 
සාක්ෂිකරු: මට මතක නෑ 
 
නීතිඥවරයා: ඔබට ඒ සම්බන්ධයෙන් මතක නෑ කියන්නේ අසත්‍යයක් බවට මා යෝජනා කරනවා 
 
සාක්ෂිකරු: ස්වාමීනි ,ආයතන විසි හයක පමණ ඉහළ කළමනාකාරීත්වය සමඟ මම සම්බන්ධීකරණ කටයුතු කළා. ඒ ආයතනවල ඉහළ කළමනාකාරිත්වයේ නිලධාරීන්ගේ දුරකථන පරීක්ෂා කළත් මේ හා සමානව ඇමතුම් ලබාගෙන ඇති
 
නීතිඥවරයා: ඔබේ දුරකථන බිල් පත් ඉදිරිපත් කළා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 
 
සාක්ෂිකරු :ඒ පිළිබඳව මට මතකයක් නෑ 
 
නීතිඥවරයා: මා ඔබට යෝජනා කරනවා එලෙස දුරකථන සංවාද 180ක් ලබා ගත් බවට ඔබ කළ ප්‍රකාශය අනුව තමයි ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම් සිදුකළේ?
 
සාක්ෂිකරු: අදාළ දුරකථන වාර්තා ගත්තේ මම නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. 
 
නීතිඥවරයා: 
දුරකථන සංවාද එකසිය අසූවක් පැවැති බව කියන්නේ පදනමක් නැතිවද?
 
සාක්ෂිකරු: පදනමක් නැතිව නෙවෙයි. රාජකාරී කටයුතුවලදී මම ඒ දුරකථන සංවාද ලබා ගත්තා.
 
නීතිඥවරයා
ඒ කාලයේදී නේද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වූයේ?
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී 
 
ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ රාජකාරි වලට තමන් සම්බන්ධ නොවූ බවත්, වව්චර පත් සම්බන්ධය රාජකාරී වලට පමණක් නිරත වූ බවත් සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
 
අදාළ මිල පරිගණක පද්ධතියට ඇතුළත් කර price confirm මුද්‍රාව තැබීම පමණක් තමන් සිදු කළ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
 
"ඔය කාල සීමාව තුළදී වෛද්‍ය සැපයුම් ඒකකයේ ගණකාධිකාරී සැපයුම් අංශයේ නිලධාරියෙකු ලෙස දුරකථන ඇමතුම් එකසිය අසූවක් හුවමාරු වුණේ රාජකාරි කටයුතු නිසා කියලද ඔබ කියන්නේ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් රාජකාරි කටයුතු සම්බන්ධයෙන් එම දුරකථන ඇමතුම් ලබාගත් බවය. 
 
"අදාල දුරකථන ඇමතුම් රාජකාරී කටයුතු සඳහා ලබාගත් බව පැවසීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔබව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීමක් කටයුතු කළේ නෑ නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී  සාක්ෂිකරු ප්‍රකාශ කළේ එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවය. 
 
"අදාළ ප්‍රකාශය ලබා ලබාදීමෙන් පසුවත් ඔබ මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබාදීම සිදුකරනවා නේද ?" යන ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අවස්ථාවේදී තමන් සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබාදීම සිදුකරන බව ඔහු කියා සිටියේය. 
 
මෙම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ලේඛන ගණනාවක් සම්බන්ධයෙන් තමන් සාක්ෂි ලබාදුන් බවද, ඒ අතර GRN ලේඛන සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමක් සිදුකළ බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේය.
 
GRN ලේඛන සකස් කිරීම ගබඩාව මගින් සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් ගබඩා අංශයේ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කළ යුතු බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. 
 
"මෙම සාක්ෂි විභාගයේදී GRN ලේඛන ගණනාවක් ,ඔබ  මගින් ලකුණු කිරීමක් සිදුකළා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එවැනි ලකුණු කිරීමක් සිදුකළ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
court 222
 
"ගණකාධිකාරී සැපයුම් අංශයේ සේවය කළ සතිෂ් කුමාර නමැත්තා විසින් සිදුකළ රාජකාරී නේද ඔබ බාර ගත්තේ" යන ප්‍රශ්නය නීතිඥවරයා යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ ඔහු  EOI ණය යෝජනා ක්‍රමය යටතේ වන පොදු ගොනුවක් පවත්වාගෙන ගිය අතර එය තමන් ලබාගත් බවය.
 
තවත් ඇනවුම් පනස් අටක් සම්බන්ධයෙන් වන ගොනු ඔහු විසින් පවත්වාගෙන ගිය අතර ඒ සියල්ල තමන්ට නොලැබුණු බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
එම  ණයයෝජනා ක්‍රමය යටතේ නිකුත් වූ ගැනුම් ඇනවුම් සම්බන්ධයෙන් තමන්ට දැනුමක් නොමැති බවද සාක්‍ෂිකරු කියා සිටියේය.
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී  නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න     

 

whatsapp 202507155

නවතම පුවත්