ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ අධ්‍යක්ෂක සුදත් ජානක ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබූ ලේඛන දෙකක් අදාළ ගොනුවෙන් ගලවා ඔහුට ලබා දීමට තමන් කටයුතු කළ බව
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ, කළමනාකාර සහකාර නිලධාරී කෝරාධිපතිගේ නිහාල් රංජිත් මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කියා සිටියේය.
ලිපි ගොනුවක තිබූ අංක වෙනස් කළ බවට විනය විරෝධී චෝදනාවක් තමන්ට මීට පෙර ඉදිරිපත් වූ බවද ඔහු සඳහන් කළේය.
එම නඩුවේ පැමිණිල්ලේ 151 සාක්කිකරු ලෙස විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය .
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.
එහිදී මෙම නඩුවේ එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආරියරත්න මහතා සාක්‍ෂිකරුගෙන් වැඩි දුරටත් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"ඔබට GRN එකක් ගැන අවබෝධයක් නෑ කිව්වා නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ " ස්වාමීනී, GRN එකේ සමහර තොරතුරු අපි උපයෝගී කරගන්නවා. නමුත් එය සකස් කර ගැනීමට පාදක කරගන්නා තොරතුරු ගැන මා දැනුවත් නෑ. එය සකස් කරන්නේ ගබඩා භාරකරු විසින් " යනුවෙන් ප්‍රකාශ කළේය.

"ඔබ වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩා අංශයේ සේවය කළා නේද ?"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ අවුරුදු දෙකහමාරක් පමණ එම අංශයේ තමන් සේවය කළ බවය.ඒ වන විට GRN සකස් කිරීම සඳහා මෙවැනි ආකෘතියක් භාවිතා නොකළ අතර එහිදී සුළු තොරතුරු ප්‍රමාණයක් පමණක් තිබුණු බව ය.
"ඔබ කරුණු සඟවන සාක්ෂිකරුවෙක් බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා පවසා සිටි අවස්ථාවේ දී " නැහැ ස්වාමීනි එම කාලයේදී කටයුතු කළ ආකාරය සොයා බැලුවොත් ගැන ඒ පිළිබඳව දැනගන්න පුළුවන්" යනුවෙන් සාක්ෂිකරු ඊට ප්‍රතිචාර දක්වා සිටියේය.
"ඔබ GRN එක සකස් කරන ආකාරය ගැන දන්නේ නැති බව ප්‍රකාශ කිරීම අසත්‍යයක් බවට මා යෝජනා කරනවා." යනුවෙන් නීතිඥවරයා එම අවස්ථාවේදී සඳහන් කළේය.ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ" ඒ ගැන මා දන්නේ නෑ .එම කටයුත්ත අපට අදාළ වන්නේ නෑ." යනුවෙනි
තමන් දේශීය සැපයුම්කරුවන් සම්බන්ධව කටයුතු කළ අතර තමන් කළ රාජකාරිය පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහා තමන්ට අවබෝධයක් ඇති බවද ඔහු කියා සිටියේය.
ගැනුම් ඇනවුමක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තමන්ට සාක්ෂි ලබාදිය හැකි අතර එම දත්ත pronto පද්ධතියට ඇතුලත් කිරීමක් සිදුකරන බව සාක්ෂිකරු සඳහන් කළේය. පද්ධතියට පිවිසීමේ ප්‍රවේශය සීමිත නිලධාරීන් පිරිසකට පමණක් ලබා දී තිබූ අතර තමන්ටත් එම ප්‍රවේශය ලබාදී තිබූ බව සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඒ අතර සංවර්ධන නිලධාරීන් සහ කළමනාකාර සහකාර නිලධාරීන්ට එම ප්‍රවේශය ලබාදී තිබූ අතර ගණකාධිකාරී සැපයුම්ටත් එම පහසුකම තිබූ අතර සතිස් කුමාර නමැත්තා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"අදාළ නිලධාරීන්ට ප්‍රවේශය ලබා දෙන්නේ වෛද්‍ය සැපයුම් ඒකයේ අධ්‍යක්ෂකවරයා විසින් ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඒ පිළිබඳව තමන් නොදන්නා බව"ය.
" වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් අනෙකුත් නිලධාරීන්ට එම ප්‍රවේශය ලබාදී තිබුණාද?" යන්න පිළිබඳව තමන්ට පැහැදිලි අවබෝධයක් නොමැති බව ප්‍රකාශ කළ සාක්ෂිකරු සතිස් කුමාර නමැත්තාට එම අවසරය ලබාදී තිබූ බව පැහැදිලිව දන්නා බවද සඳහන් කළේය.
යම් සැපයුම්කරුවෙක් ඊට පෙර පූර්වයෙන් ලියාපදිංචි වී සිටිනවා නම් පද්ධතියේ ඇති "ට්‍රැක බොක්ස් "එක හරහා එම සැපයුම්කරුගේ නම තෝරා ගැනීමක් කළ හැකි බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තා ගේ ආයතනය වෛද්‍ය සැපයුම් ඒකකයේ සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචිව සිටි අතර වෛද්‍ය උපකරණ සහ භාණ්ඩ සැපයීමක් ඔහු විසින් සිදුකළ බව ද අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ. ජී කියන ආයතනය පද්ධතියේ ලියාපදිංචි වී තිබූ බව තමන්ගේ මතකයේ ඇති බවද එම පත්‍රයේ drag box එක හරහා එමඟින් නම පෙන්නුම් කරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
නීතිඥවරයා: අධිකරණයට ඉදිරිපත් කර ඇති 97 ලේඛණය බලන්න. එහි තුන්සිය තිස් හතර ලේඛනය ලකුණු කළේ ඔබ? එම ලේඛනයට වව්චර් පත් හැදුවේ ඔබ නෙමෙයි නේද?
සාක්ෂිකරු: ස්වාමීනී එය හැදුවේ සතිෂ් කුමාර විසින්
නීතිඥවරයා: එම ලේඛණයට සැපයුම්කරුගේ නම ඇතුල් කළේ කොහොමද යන්න පිළිබඳව දන්නේ සතිෂ් කුමාර නේද?
සාක්ෂිකරු: මා සතිෂ්කුමාර සමඟ සමගාමීව වැඩ කළා .ඒ ලේඛනය ගැන යම් අවබෝධයක් තියෙනවා. සමහර තොරතුරු පරිගණක පද්ධතියේ තියෙනවා. ඇතැම් තොරතුරු පමණයි සතිෂ් කුමාර ඇතුල් කරන්නේ
නීතිඥවරයා: එම ලේඛනයේ ඉහළ කෙළවරේ User ලෙස කුමාර පී.බී.එස් ලෙස සඳහන් වෙලා තියෙනවා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥවරයා: ඒ සතිස් කුමාරගේ නම ද?
සාක්ෂිකරු: ඔවි ස්වාමීනී
නීතිඥවරයා: ඔහු මෙම තොරතුරු ඇතුළත් කළා. User සතිස් කුමාර නේද?
සාක්ෂිකරු: (පිළිතුරු නැත )
නීතිඥවරයා: මෙම p o එක ජෙනරේට් කරේ සතිස් කුමාර. ඒ ගැන විග්‍රහ කරන්න පුළුවන් ඔහුට නේද?
සාක්ෂිකරු: මටත් තොරතුරු කියන්න පුළුවන්. ඇතුලත් කරන සමහර තොරතුරු ඇතුළත් කරන විදිය මම දන්නවා
නීතිඥවරයා:
මීට පෙර හරස් ප්‍රශ්න විමසීමේදී එම තොරතුරු ඇතුළත් කරන විදිහ මම ඔබෙන් ඇහුවා නේද?
සාක්ෂිකරු: ඒ වෙලාවේදී ඒ සම්බන්ධයෙන් මම පිළිතුරක් දෙන්න ඇති
නීතිඥවරයා: ඒ තොරතුරු ඇතුළත් කරන්නේ මොන පදනමෙන්ද යන්න දන්නේ සතිෂ් කුමාර නේද ? ඔබට කියන්න පුළුවන් ඒක 334 ලේඛනයේ ඇති බවත්, බැලූ බැල්මට මුහුණතින් පෙනෙන කරුණු නේද
සාක්ෂිකරු: එසේය ස්වාමීනි.
නීතිඥවරයා:
Po එකට තොරතුරු ඇතුළත් කිරීම අදාළ නිලධාරියාගේ රාජකාරියක් වන අතර එය අනුමැතියට යැවීම Rooting ලෙස සිදුවන බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය
"අනුමැතිය ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂකවරයා වෙත යොමු කරනවාදැ"යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ සැපයුම් ගණකාධිකාරී විසින් අනුමැතිය සිදු කරන බවය.

" අනුමත කිරීම් අධ්‍යක්ෂකවරයා විසින් සිදුකරන්නේ නැද්ද?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී එවැනි අනුමැතියක් ලබා ගැනීම සඳහා ලේඛන යොමු කිරීමක් තමන් විසින් සිදු කර නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය
"මේ ලේඛන අනුමැතියට යැවීම ගැන දන්නේ සතිෂ් කුමාර නේද?" යන ප්‍රශ්නය නීතිඥවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය අනුමත කළේ ය.
"මේ ලේඛන තනිව යැව්වද, ගොනුවක් ලෙස යැව්වාද කියලා දන්නේ සතිෂ් කුමාර?" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එය නිවැරදි බවය. මෙම මෙම po එකට අදාළ ගොනුවක් ඇති බවත් එය ඊට අමුණා අනුමැතියට යැවීම සිදුකරන බවත් සාක්ෂිකරු කියා සිටියේය
"ඔබ දන්නවද සතිෂ් කුමාර මේ po එක යැව්වෙ කොහොමද කියල" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරු ගෙන් විමසීමක් කළ අතර "මේ po එක ගැන දන්නේ නෑ. වෛද්‍ය සැපයුම් ඒකකයේ po ඉදිරිපත් කරන විදිය මම දන්නවා" යනුවෙන් ඔහු පිළිතුරු ලබා දුන්නේය.
මෙම po එක නිර්මාණය කරන අවස්ථාවේදී ගණකාධිකාරී සැපයුම් ලෙස කටයුතු කළේ යමුනා නමැති නිලධාරිනියක් වන අතර ඊට අදාළ අත්සන් තැබීමක් තමන් ඉදිරියේදී සිදු නොවූ බව සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබට කියන්න පුළුවන් සුදර්ශන මහතාගේ අත්සනට සමාන අත්සනක් එහි තිබෙන බව නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී " සුදර්ශන මහතාගේ අත්සන මම දන්නවා. මම වසර පහක් පමණ ඔහු සමග කටයුතු කර තියෙනවා. එම අත්සන මම හොඳින් දන්නවා. මෙම ලේඛනයේ ඇති අත්සන ඔහුගේ කියලා කියන්න පුළුවන්." යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබ අත් අකුරු විශේෂඥයෙක්වත් අත්සන් පිළිබඳ විශේෂඥයක්වත් නෙමෙයි?" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ඊට විරෝධය පළ කළාය. "ස්වාමීනි සාක්ෂිය ආඥා පනත අනුව එම ප්‍රශ්න කිරීම කළ නොහැකියි සාක්ෂි ආඥා පනත පිළිබඳව දන්නවා නම් මගේ උගත් මිත්‍රයා මෙවැනි ප්‍රශ්නයක් අහන්නේ නැහැ." යනුවෙන් ප්‍රකාශ කර සිටියාය.
po එක සඳහා අනුමැතිය ලබාදීමෙන් පසුව නැවතත් එය හදපු අයටම ලැබෙනවා ද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ නැවත එම ලිපිකරුටම එය ලැබෙන බවය.
අනුමැතිය සඳහා ඉදිරිපත් කරන po එකක අඩුපාඩු තිබේ නම් නිර්දේශ කරන නිලධාරීන් විසින් නැවත හරවා එවීමක් සිදුකරන අතර අනුමත කිරීමෙන් අනතුරුව නැවත පරීක්‍ෂා කිරීමක් සිදු නොකර ඉදිරි කටයුතු කරන බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සැපයුම්කරුවෙකුට විසින් wor ලබාගත යුතු බවට තමන් දන්නා නමුත් අදාළ සහතිකය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලේඛන සම්බන්ධයෙන් හෝ එම සහතිකය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් තමන් නොදන්නා බවද, තමන්ගේ රාජකාරියට එය අයත් නොවන බවද එය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
නීතිඥ වරයා:
"මූලික සාක්ෂි ලබාදීමේදී ඔබ වව්චර ගැන දන්නේ නෑ කිව්වා නමුත් ඒ පිළිබඳව සාක්ෂි ලබා දුන්නා .GRN එක ගැන දන්නේ නෑ කිව්වා. ඒත් ඒ ගැනත් සාක්ෂි ලබා දුන්නා"
සාක්ෂකරු:
ස්වාමීනී වව්චර් ගැන මට දැනීමක් තිබෙනවා

අධිකරණයට ඉදිරිපත් කර ඇති වව්චර ගොනුවේ ඇතුළත් වවුචර් කිහිපයක මෙම සාක්ෂිකරුගේ අත්සන ඇති බවට ඔහුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා එම අත්සන් මුද්‍රාවක් මත යොදා තිබෙන බවද එම තොරතුරු පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමේදී සැලකිලිමත් වන කරුණු සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
අදාල ඉන්වොයිස් අංකය පද්ධතියට ඇතුළත් කළ විගස සැපයුම්කරුගේ නම ඇතුළත් තොරතුරු ප්‍රදර්ශනය වන අතර ඒ අනුව මෙම ලේඛනයේ සැපයුම්කරුගේ නම ලෙස "අයිසොලෙස් බයෝ ටෙක් පාමා" ආයතනයේ නම සඳහන් වන බවද අදාල ඖෂධයේ නිෂ්පාදකයාගේ නමද සඳහන් වන බව ද, නිෂ්පාදිත රට ලෙස ඉන්දියාව සඳහන් වන බවද නීතිඥවරයා මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළ සාක්ෂිකරු ඉන්වොයිස් පතේ සඳහන් තොරතුරු සැපයුම්කරු විසින් ලබාදෙන බවද අදාල ගෙවීම් වව්චරය සම්බන්ධයෙන් තමන් විසින් සාක්ෂි ලබාදීමක් සිදුකළ ද ඊට අදාළ ලේඛන සම්බන්ධයෙන් විමසීමක් කළේ ද යන්න පිළිබඳව තමන්ට පැහැදිලි මතකයක් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.
"අදාළ වව්චර් සියල්ල 2023 මැයි මාසය තුළ නිකුත් කර ඇති අතර ඒ වන විට මෙම නඩුවේ එකොළොස්වන විත්තිකරු වන වෛද්‍ය සුදර්ශන මහතා ලංකාවේ සිටියේ නෑ නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ වෛද්‍යවරයා ශිෂ්‍යත්වයක් මත ලංකාවෙන් බැහැරව සිටි බව දන්නා නමුත් ඒ කුමන කාල වකවානුවේ ද යන්න පිළිබඳව පැහැදිලි මතකයක් තමන්ට නොමැති බවය.
නීතිඥවරයා: ඔබ සැපයුම්කරුවන් සමඟ දුරකථන ඇමතුම් ලබාගෙන තිබුණා. රාජකාරී වේලාව තුළ දුරකථන ඇමතුම් ලබා ගන්නවා නේද?
සාක්ෂිකරු :එහෙමයි ස්වාමීනි.
නීතිඥවරයා:
රාත්‍රී කාලෙත් ඔබ රාජකාරී කටයුතු කරනවාද?
සාක්ෂිකරු:
ස්වාමීනී මම කටයුතු කළේ සැපයුම අංශයේ එම කටයුතු දවසක් හැර දවසක් රාත්‍රී සේවයේ මා නිරතව සිටියා .කොවිඩ් සමයේදී මාස තුනක කාලයක් මම රාත්‍රී කාලයේදී නිරත වුණා
එම පිළිතුරු ලබාදීමත් සමඟම එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ බව නීතිඥවරයා දන්වා සිටියේය.
අනතුරුව මෙම නඩුවෙහි හතරවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
එහිදී නීතිඥවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ මෙම නඩුව ගොනුකර ඇත්තේ කුමන ඖෂධ වර්ග සම්බන්ධ යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවය. නඩුවෙහි විත්තිකරුවන් ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන් කිහිප දෙනෙකු සිටිනා බව දන්නා නමුත් ඔවුන්ට එරෙහිව ඇති චෝදනා මොනවාද යන්න පිළිබඳව අවබෝධයක් නොමැති බවද සාක්ෂිකරු කියා සිටියේය.
මෙම නඩුවට අදාළව ගොනු වල ඇති කරුණු සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමක් සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
"මෙම නඩුවේ හතරවන චූදිත ඔබ දන්නවද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "හතරවන චූදිතගේ නම කුමක්දැ"යි සාක්ෂිකරු විමසා සිටියේය. සැපයුම් ගණකාධිකාරී වරයා ලෙස කටයුතු කළ නිරාන් ධනංජය යන නම නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් ඔහු හඳුනන බවය. මෙම ප්‍රශ්නගත සිදුවීම වන විට එම නිලධාරියා සේවයට පැමිණ මාස කිහිපයක් පමණක් ගත වී තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"රිටොප්සිමැබ් ඖෂධය මේ නඩුවට සම්බන්ධ ද කියලා ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම ඖෂධය මේකට සම්බන්ධ ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවය ."රිටොප්සිමැබ් සහ හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සම්බන්ධයෙන් රටේ කතාබහක් ඇතිවු බව දන්නා නමුත් විශේෂ දැනුවත් වීමක් නොමැති බව "ඔහු කියා සිටියේය.
"එම බෙහෙත් වර්ග දෙක මේ නඩුවට සම්බන්ධ බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර ඒ බව තමන් දන්නා බව සාක්ෂිකරු කියා සිටියේය. අදාල ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් තමන් ඍජුව සම්බන්ධ නොවන අතර එම මිලදී ගැනීම් සිදු කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව තමන්ට වැටහීමක් නොමැති බවද සාක්ෂිකරු සදහන් කළේ ය.
මිලදී ගැනීම් සිදුකිරීම රාජ්‍ය ඖෂධ නියාමන සංස්ථාව සමග එක්ව සහ වෛද්‍ය සැපයුම් ඒකකය තනි තනිවත් සිදුකරන අතර මේ නඩුවට අදාළ ඖෂධ වර්ග දෙක වෛද්‍ය සැපයුම් ඒකකය නොවන වෙනත් ප්‍රසම්පාදන අස්ථිතිය කින් සිදුකළ ප්‍රසම්පාදනයකින් ලැබුණු ඖෂධ සම්බන්ධයෙන් වන බවට තමන්ට දැනීමක් ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
"එහිදී මිලදී ගැනීම් කිරීම සඳහා බලපෑමක් කිරීමට හැකියාවක් තිබෙනවා" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "ස්වාමීනී, මේ සම්බන්ධයෙන් අපේ මට්ටමෙන් ඊට සම්බන්ධ වීමක් වෙන්නේ නෑ. ඉහළ නිලධාරීන් ඊට සම්බන්ධ වෙනවද කියා කියන්න දන්නේ නෑ." යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබ සෘජුවම සැපයුම්කරුවන් සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරා නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ රාජකාරිමය වශයෙන් ඔවුන් සමග සම්බන්ධව කටයුතු කරන බවය.
මේ නඩුවට අදාළ ඖෂධ වර්ග මොනවාද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ තුනක් ලබා දුන් අතර එම ප්‍රකාශ ලබා ගැනීමේදී ඖෂධ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළ නමුත් නිශ්චිත ඖෂධයක් සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවද සාක්ෂිකරු කියා සිටියේය.
මෙම නඩුවේ හතරවන විත්තිකරු වන නිරාන් ධනංජය තමන්ට වඩා ඉහළ නිලධාරීයකු වන අතර ඔහුට තමන් වෙත නියෝග කිරීමේ හැකියාවක් ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
සැපයුම් අංශයේ රාජකාරිය වලදී අධීක්ෂණය කරන නිලධාරීන් කිහිප දෙනෙකු සිටින අතර කිසිදු නිලධාරියෙකුට හුදකලා තීරණ අරගෙන කටයුතු කළ නොහැකි බව සාක්ෂිකරු නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ය.

"ඔබ සැපයුම්කරුවන් සමග ලබාගත් දුරකථන ඇමතුම් ගණනාවක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න වලදී ප්‍රශ්න කළා. මෙම සැපයුම්කරු සමග මෙන්ම අනෙකුත් සැපයුම්කරුවන් සමගත් ඔබේ එවැනි දුරකථන සංවාද තියෙනවද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු "ස්වාමීනි ,ආයතන 26ක් සම්බන්ධයෙන් මම සම්බන්ධීකරණ කටයුතු කරනවා.මිල පිළිබඳව තීරණය කිරීම් සම්බන්ධීකරණය කරන්නේ මම. එම ආයතන 26 ම ඉහළ කළමනාකාරීත්වය මම හොඳින් හඳුනනවා "එහිදී කියා සිටියේ ය.
"පළවන විත්තිකරු විසින් wor ලබා ගැනීමට ඉල්ලීම් කළ බව ඔබ කිව්වා එම ලේඛන ඔබටත් යොමු කර තිබුණා නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අදාළ ඉල්ලීම් සැපයුම් අංශයට යොමු කර තිබූ අතර තමන් එම ඉල්ලීම සැපයුම් ගණකාධිකාරීවරයාට බවය .ඔහු මගින් අධ්‍යක්ෂවරයා වෙත යොමු කිරීම සඳහා එලෙස කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය.
එම ලිපි අනුමත කිරීමෙන් අනතුරුව නැවත අධ්‍යක්ෂවරයා විසින් එම ගොනුව තමන් වෙත ඒවා තිබූ අතර අදාළ ගොනුවෙන් එම ලේඛන දෙක ඉවත් කරගෙන සැපයුම්කරුට ලබා දෙන ලෙස හතරවෙනි විත්තිකරු විසින් දෙන ලද වාචික උපදෙස් මත තමන් කටයුතු කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
නීතිඥවරයා: "මා යෝජනා කරනවා ඔබ කියන්නේ සම්පූර්ණයෙන්ම අසත්‍යයක් කියලා. ඔබ ඔය කියන ලියවිලි කිසිම නිලධාරියෙකුට යොමු කළේ නෑ. ඔබ ළඟම තියාගෙන නැවත සැපයුම්කරුට යැව්වා".
සාක්ෂිකරු:
නැහැ ස්වාමීනි, මම ඉහළ නිලධාරීන් වෙත යැව්වා ඔහුගේ අත්සන් තියෙනවා. ගොනුව බැලුවත් එය දැනගත හැකියි.
නීතිඥවරයා:
මෙම සැපයුම් ගණකාධිකාරීවරයා ඔබේ අංශයට අලුත් නිලධාරියෙක් නේද?
සැපයුම්කරු:
එහෙමයි ස්වාමීනී
නීතිඥවරයා:
ගෙවීම් සිදු කරන්නේ ගෙවීම් අංශයේ ගනකාධිකාරීවරයා විසින්?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි
නීතිඥවරයා: කටයුතු අවසන් වීමෙන් අනතුරුව එය ගෙවීම් ගණකාධිකාරීවරයා වෙත යොමු කරනවා නේද?
සාක්ෂිකරු වව්චර් කටයුතු අවසන් වූ පසුව එය යන්නේ ගෙවීම් ගණකාධිකාරිවරයා වෙත.
නීතිඥවරයා: අනුමත කිරීම සමග සැපයුම් අංශයේ රාජකාරින් අවසන් වෙනවා ද?
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි
ඒ සමගම හතරවෙනි විත්තිකරු වෙනුවෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර මෙම නඩුවේ දෙවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"2022 ජනවාරි මස 03 වැනි දා සිට 2023 දෙසැම්බර් මස 05 වැනි දා දක්වා සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි වෛද්‍ය කපල වික්‍රමනායක මහතා අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූ බව දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි විදේශගත වීමක් පිළිබඳව දන්නා නමුත් අදාළ කාල වකවානුව පිළිබඳව තමන්ට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවය.
තමන් සිදු කරන රාජකාරිය පිළිබඳව වගකීම් සහගතව සාක්ෂි ලබා සීම සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
අධිකරණයට ඉදිරිපත් කර ඇති 106 ගොනුවේ පැය 310 නමැති ලේඛනය හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධය සම්බන්ධයෙන් වන වව්චරය සතිෂ් කුමාර විසින් සකස් කර ඇති බවද එහි ඉහළ කෙළවරේ user ලෙස ඔහුගේ නම සඳහන් වන බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
සතිෂ් කුමාර නමැත්තා මෙම ගැනුම් ඇණවුමට අමතරව තවත් ගැනුම් ඇනවුම් වලට අදාළ වව්චර් සකස්කර ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
තම අංශයේ නිලධාරීන්ට එක් එක් රාජකාරීන් පවරා ඇති අතර අදාළ වව්චර සකස් කිරීමේ රාජකාරිය සතිෂ් කුමාර මහතා වෙත පවරා තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"සැපයුම්කරු විසින් සාම්පල් සහ ලිපි ලේඛන රැගෙන එනවා නේද?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ සාම්පල් රැගෙන එන බව තමන් දන්නා නමුත් ලේඛන රැගෙන එන බව නොදන්නා බවය .ඒ පිළිබඳව තොග පාලක නිලධාරී අංශයෙන් විමසිය යුතු බව ඔහු සඳහන් කළේය
Conscitement inspection unit යනුවෙන් අංශයක් තම ඒකකයේ පවතින අතර තමන්ගේ රාජකාරියට එම අංශයේ රාජකාරි අදාළ නොවන බැවින් ඒ පිළිබඳව වැඩි තොරතුරක් නොදන්නා බවද සාක්ෂිකරු කියා සිටියේය.
"සැපයුම්කරු ගේන ලේඛනවල invoice එක තියෙනවා නේද? ඔබ ප්‍රයිස් කන්ෆර්ම් සීල් එක ගහන්නේ ඒකට නේද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි ලේඛනයක් ඇති බවය.
ගෙවීම් වව්චරය සකස් කිරීම නසීර් මහතා විසින් සිදු කරන බව ද සාක්ෂිකරු සඳහන් කළේය.
මිලියන හතළිහට වඩා වටිනාකමකින් යුත් වව්චර පත් අනුමත කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වරයා වෙත යවනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එය මිලියන 40 ක් යන්න පිළිබඳව තමන්ට ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි නමුත් ඉහළ වටිනාකමක් ගන්නා අවස්ථාවල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත යොමු කරන බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කටයුතු කරන අතර 2013 වසරේ දී ඔහු එම තනතුරේ කටයුතු කළේ ද යන්න පිළිබඳව තමන්ට නිශ්චිත මතකයක් නොමැති බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ ය.
"අනූ දෙක ගොනුවේ ඇති වව්චරය බලන්න එහි අනුමත කළ බවට අත්සන් තබා ඇත්තේ ප්‍රධාන ගණකාධිකාරීවරයා විසින් නේද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අතර "එම අංශයේ රාජකාරී සම්බන්ධයෙන් මා දැනුවත් නෑ" සාක්ෂිකරු කියා සිටියේය.
"එක් දිනකට අනුමත කිරීම හෝ නිර්දේශ කිරීම සඳහා වව්චර පත් සීයක් , එකසිය පනහක්, දෙසීයක් පමණක් අධ්‍යක්ෂකවරයා වෙත යොමුවනවා නේද?" යනුවෙන් සිටින නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු තමන් ඒ පිළිබඳව නොදන්නා බව කියා සිටියේය.
නීතිඥවරයා: 74 ගොනුවේ පලවන චූදිත වෙතින් ලබාගත් ලේඛන කිහිපයක් ගොනුවෙන් ඉවත් කළ බව ඔබ සඳහන් කළා.මෙය ඔබේ පෞද්ගලික ෆයිල් එකක් නොවෙයි
සාක්ෂිකරු: නැහැ ස්වාමීනි
නීතිඥවරයා: ඔබ මිනිට් සටහනකුත් නැතුව පළවන චුදිතගේ ලේඛන අදාල ගොනුවෙන් ගලවා ඉවත් කළාද?
සාක්ෂිකරු ඉහල නිළධාරියාගේ වාචික උපදෙස් මත කටයුතු කළා ස්වාමීනි.
නීතිඥවරයා ඔබ මේ සම්බන්ධයෙන් කට උත්තර තුනක් ලබාදී තියෙනවා. ඔබට විනය විරෝධී චෝදනාවක් ආවා ද?
සාක්ෂිකරු:
අංක කිහිපයක් වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් ආවා
නීතිඥවරයා:
ඒ සම්බන්ධයෙන් ඔබට හොඳ පලපුරුද්දක් තියෙනවද?
සාක්ෂිකරු
ඒ ඒ අවස්ථාවන් හි අනුව වෙනස් වෙනවා.
නීතිඥවරයා
ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන විට මෙම ලේඛන ගැලවීම සම්බන්ධයෙන් සඳහන් කළාද?.
සාක්ෂිකරු:ඔව් ස්වාමීනී.
නීතිඥවරයා
ඔබ මෙම නඩුවේ පළවන චූදිත සමග රාජකාරියට පිටින් ගිය අසාමාන්‍ය සම්බන්ධයක් පැවැත්වූ බවට මා යෝජනා කරනවා
සාක්ෂිකරු: කියා සිටියේ නෑ ස්වාමීනි .අනෙක් ආයතන වල නිලධාරීන් සමගත් එලෙස කටයුතු කළා.
මෙම හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමෙන් අනතුරුව එකී හරස් ප්‍රශ්න මත පදනම්ව රඳා පවතින බව අධිකරණයට දැනුම් දුන් තුන්වැනි විත්තිකාරියගේ නීතිඥවරයා හරස් ප්‍රශ්න කිහිපයක් පමණක් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
invoice පතකට අදාළව සකස් කර අනුමැතිය සඳහා යවා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඔහු සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.
හත්වෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්දු පෙරේරා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න කිහිපයක් විමසීම සිදු කළාය.
එහිදී WOR ලබා ගැනීම සම්බන්ධයෙන් ඇය සාක්ෂිකරුගෙන් කරුණු කිහිපයක් විමසා සිටියාය.
එම හරස් ප්‍රශ්න විමසීම සිදු කිරීම අවසන් කිරීමෙන් අනතුරුව පළවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න විමසීම සිදුකළ අතර "පළවෙනි විත්තිකරුට අයත් අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනය විසින් WOR ලබා ගැනීමට ඉදිරිපත් ලේඛන ඉදිරිපත් කිරීම නීති විරෝධී ද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
තමන් දන්නා පරිදි එවැන්නක් නීති විරෝධී නොවන බව සාක්ෂිකරු කියා සිටියේය.

වෛද්‍ය සැපයුම් අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනම දෙපාර්තමේන්තුවක් වන අතර එවැනි රාජ්‍ය ආයතනයකින් ලිඛිත ඉල්ලීමක් කිරීම නීති විරෝධී ද යන්න පිළිබඳව තම ප්‍රකාශ කිරීමට තමන්ට නොහැකි බව සාක්ෂිකරු කියා සිටියේය.
එකී ලේඛන නැවත සැපයුම්කරුට ලබාදීම හතරවෙනි විත්තිකරුගේ වාචික උපදෙස් මත සිදුකළ බවට ඔබ ප්‍රකාශ කළා නේද? යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් කළ බවය. කෙසේ වුවද එවැන්නක් සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂියක් නොමැති බව ඔහු පිළිගත්තේය.
තමන් අදාළ ලේඛන ගලවා ඉවත් කර එහි ඡායාස්ථ පිටපත් දෙකක් එම ගොනුවට ඇතුළත් කළ බවද සාක්ෂිකරු එහිදී හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
"ඔබ කුමන අවසරයක් මත ද ඒ සිදු කළේ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු කියා සිටියේ සැපයුම් ගණකාධිකාරීවරයාගේ වාචික අවසරය මත එය සිදුකළ බවය.
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

