leader s

ප්‍රශ්න ගත ඖෂධ සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනයේ හිමිකරු සමඟ වෛද්‍ය සැපයුම් ඒකකයේ, සැපයුම් අංශයේ ප්‍රධාන ගණකාධිකාරී වරයා 2022/09/01-2022/10/31 අතර කාලයේදී දුරකථන සංවාද 157ක් පවත්වා ඇති බවත් sms පණිවිඩ 25 ක් හුවමාරු කරගෙන ඇති බවත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අනාවරණය විය.
 
ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් ඇති මෙම නඩුවෙහි පැමිණිල්ලේ 175 වන සාක්ෂිකරු වන, වෛද්‍ය සැපයුම් ඒකකයේ සැපයුම් අංශයේ ප්‍රධාන ගණකාධිකාරී පටබැඳිගේ දීප්ත ගත සවින්ද කුරේ මහතා සාක්ෂි ලබාදෙමින් සිටි එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා මේ සම්බන්ධයෙන් ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළේය.
 

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කිරීමට කැදවන ලදි.

 
එහිදී මෙම නඩුවේ එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්‍ෂිකරුකයෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
"සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ සිටින අවසන් බලධරයා ඔබ නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු " ඔව්" යන පිළිතුර ලබා දුන්නේය. 
 
තමන් අංක එක ශ්‍රේණිගත නිලධාරියෙකු වන බවත් එම ශ්‍රේණියේ වෙනත් අය අදාළ අංශය තුළ නොසිටි බවත් මිලියන 100ක ගෙවීම් වලට අදාළව අවසන් තීන්දු ගැනීමේ බලය තමන්ට ඇති බවත් නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේය.  
"සෙසු නිලධාරීන් විසින් නිර්දේශ සහ අනුමත කිරීමෙන් අනතුරුව ඔබ ළඟට එන ගෙවීම් ඖෂධ වලට සහතික කිරීමේ අත්සන් තබනවා නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ" මුදල් රෙගුලාසි 138 වගන්තිය ප්‍රකාරව අදාළ වව්චර පත් සහතික කිරීම තමන් විසින් සිදුකරන බවය. 
 
"එම රෙගුලාසි වල 136,137 වගන්ති අනුව පෞද්ගලික දැනීම ලෙස සඳහන් කරුණක් ඇති අතර එය කාගේ පෞද්ගලික දැනීම දැ"යි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ සහතික කළ නිලධාරියාගේ පෞද්ගලික දැනුම බවය. 
 
"මුදල් රෙගුලාසි අනුව කටයුතු කිරීමේ පරම වගකීමක් ඇති නිලධාරියකු ලෙස ගෙවීම් වවුචරය සමඟ ඔබ ලේඛන පරීක්ෂා කිරීමක් කරනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "අදාළ සහතික කිරීම් කිරීමට පෙර ගෙවීම් වව්චරය සමඟ ඉදිරිපත් කර තිබෙන ලේඛන පරීක්ෂා කිරීම සිදුකරන බව"ය.
 
එහිදී ආදායකයා තහවුරු කරගැනීම සඳහා GRN පත සහ invoice පතෙහි සඳහන් නම සංසන්දනය කර බැලීමක් සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය
 
"සහතික කිරීමේදී සැලකිල්ලට ගන්නා ලේඛන යනු කුමක්දැ"යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඉන්වොයිස් පත, ඇනවුම් ලැයිස්තුව , GRN සහ ගෙවීම් වවුචරය එහිදී සැලකිල්ලට ගන්නා බවය. අදාළ ලේඛන වෙන් වෙන්ව පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහතික කිරීම සිදුකරන බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
"අධිකරණයට ඉදිරිපත් කර ඇති  93 ගොනුවේ ඇති 336 වවුචරය සහ GRN පත්‍රය ඔබ පරීක්ෂා කළාද ?"යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ පද්ධතිය හරහා ගැනුම් ඇනවුම බලන බවය. එම ගැනුම් ඇනවුම හරහා ඕඩර්  ලිස්ට් එක බැලීමේ හැකියාව ඇති බවත් ඉන් අනතුරුව invoice පත පිළිබඳව අවධානය යොමු කරන බවත් ප්‍රධාන ගණකාධිකාරීවරයා කියා සිටියේය. 
 
336 A දරන ගෙවීම් වව්චර් පත තමන්ගේ අධීක්ෂණයට ලක් කළ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"එහි PO එක issue කලා කියලා තියෙන්නේ කාටද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර "අයිසොලස් බයෝටෙක් පාමා ඒ ජී එල්.ටී.ඩී" ලෙස එහි සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"එල් ටී ඩී" යන්නෙන් අදහස් කරන්නේ "ලිමිටඩ්" යන්න ද,? පිළිබඳව නීතිඥවරයා අවස්ථා කිහිපයකදී සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ "එල් ටී ඩී" ලෙස සඳහන් කර ඇත්තේ "ලිමිටඩ්" යන්න ම ලෙස ප්‍රකාශ කළ නොහැකි බවය. 
 
 
අදාළ ලේඛනය සැපයුම්කරු ලෙස ඇති නම සහ මුද්‍රා වල ඇති නම සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් නීතිඥවරයා විමසීමක් සිදු කළේය.
 
එහි සැපයුම්කරු ලෙස අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒජී එල් ටී ඩී ලෙස සඳහන් වන අතර අදාළ මුද්‍රා වලද එම නම එලෙස සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
අධිකරණය ට ඉදිරිපත් කර ඇති 392 දරන ලේඛනයේ යම් ඉල්ලීමක් තියෙනවා නේද? යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "ඔව් ස්වාමීනි ,එය ඔවුන් සැපයූ භාණ්ඩ වලට ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට සැපයුම්කරු විසින් ඉල්ලා තිබෙන සටහනක්. අදාළ ඖෂධය ලෙස "රිටොප්සි මැබ් ඖෂධ" යන නම සඳහන්ව තිබෙනවා. ලේඛනයේ invoice පත් හතරක් තිබෙන අතර  එම invoice පත් සියල්ලගේම නම අයිසොලෙස් බයෝ ටෙක් පාමා ඒ ජී එල් ටී ඩී ලෙස සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය.  
 
"සහතික කිරීමේ නිලධාරියා ලෙස ඔබට වගකීමක් තිබෙනවා ගැටලු සහගත තත්ත්වයක් තිබෙනවා නම් අදාළ ගෙවීම් සහතික කර නොසිටීමට නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි අවස්ථාවලදී උපදෙස් ලබා ගැනීමක් කළ හැකි බවය .තමන් තමන්ගේ රාජකාරිය ඉතා වගකීමෙන් සිදුකරන බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
"ගෙවීම් සම්බන්ධයෙන් ගැටළු සහගත තැන්වලදී උපදෙස් ලබා ගැනීම සඳහා ඉහළ නිලධාරීන්ට යොමු කරන බව"ද සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
 
"පැ, 395 යන ලේඛණය කුමක්ද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "මුදල් ගෙවීම කඩිනම් කිරීමට අනුමැතිය ඉල්ලා ඉදිරිපත්කර ඇති ලේඛනයක්" බවය. 
 
මුදල් ගෙවීම කඩිනම් කිරීමට අනුමැතිය ඉල්ලන ලේඛනයක් සැපයුම් අංශයේ ගිණුම් නිලධාරියා විසින් තමන්ගේ අනුදැනුම මත සකස්කර තමන් වෙත යොමු කළ අතර එය අධ්‍යක්ෂවරයා වෙත යොමු කිරීම සිදු කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
 එම ගෙවීම් කිරීම සම්බන්ධයෙන් වන උපදෙස් අධ්‍යයක්ෂවරයා මගින් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මගින් සෞඛ්‍ය ලේකම්ගෙන් ලබාගනීමට කටයුතු කළ බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඔබ සැපයුම්කරුවන් සමග සම්බන්ධීකරණ කටයුතු කරනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර අවස්ථාවේදී ඔවුන් සමග" විශේෂ සම්බන්ධීකරණයක් සිදු නොකරන බව" ප්‍රකාශ කළ සාක්ෂිකරු සැපයුම් සම්බන්ධයෙන් වන වව්චර් පත් පිළිබඳව විමසීමට සැපයුම්කරුවන් තමන්ගේ ආයතනයට පැමිණෙන බවද ඔහු සඳහන් කළේය. 
 
නීතිඥවරයා: ඒ හැරුණු විට ටෙලිෆෝන් කරලත් අහනවද?
 
සාක්ෂිකරු: රාජකාරී දුරකථනයෙන් ඕනෑම කෙනෙකුට කතා කළ හැකියි 
 
නීතිඥවරයා: 
පෞද්ගලික දුරකථනය මගින් කතා කරනවාද?
 
සාක්ෂිකරු: 
කතා කරන අවස්ථා තිබිය හැකියි 
 
නීතිඥවරයා :
එවැනි සම්බන්ධතා පවත්වා ඇති වෙනත් නිලධාරීන් කවුද ඔබ දන්නවාද?
 
සාක්ෂිකරු නැත ස්වාමීනී 
 
නීතිඥවරයා :ඔබ මෙම නඩුවේ පළමු වන චූදිත දන්නවාද?
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී අනෙක් සැපයුම්කරුවන් හා සමානවම ඔහුවත් හඳුනනවා
 
නීතිඥවරයා : ඔබට ඔහු සමග දුරකථනය ඇමතුම් වලින් සම්බන්ධ වීමට සිදු වෙනවාද?
 
සාක්ෂිකරු: ඒ පිළිබඳව මට මතක නෑ. දවසකට දුරකථන ඇමතුම් සියයකට වඩා එනවා. ඒ සියල්ලම රාජකාරී සම්බන්ධයෙන් ලැබෙන ඇමතුම් 
 
නීතිඥවරයා : 2022/ 09/01 දින සහ 2022 /10/31 යන අතර කාලයේදී ඔබගේ දුරකථනයෙන් පළවෙනි චූදිත සමඟ දුරකතන සංවාද එකසිය පනස් හතක් පවත්වා ඇති බවට මා යෝජනා කරනවා.
 
සාක්ෂිකරු: එය තහවුරු කර ගැනීමට තොරතුරු අවශ්‍යයි ස්වාමීනි 
 
නීතිඥවරයා :අදාළ තොරතුරු මෙම නඩුවේ ලේඛන හරහා විත්තිකරුවන් වෙත ලැබී තිබෙනවා.
 
සාක්ෂිකරු ; ඒවා පරීක්ෂා කළ යුතුයි. 
 
නීතිඥවරයා :ඔබ සැපයුම්කරුවන්ට sms යවනවාද?
 
සාක්ෂිකරු: විශේෂ මතකයක් නෑ ස්වාමීනී, විධිමත් සන්නිවේදනය තමයි කරන්නේ. 
 
නීතිඥවරයා : sms යවනවා නම් එය විධිමත් සංනිවේදනයක් නෙමෙයි. ඔය කියන කාලය අතරතුර ඔබේ දුර කථනයෙන් sms පණිවිඩ 25 ක් පමණ පළවෙනි චූදිතට යවා තිබෙනවා බවට මා යෝජනා කරනවා 
 
සාක්ෂිකරු ඒ පිළිබඳව මට මතක නෑ ස්වාමීනී. 
 
අදාළ ගෙවීම් වවුචරය සමඟ තමන්ටත් invoice පත් හතරක් ලැබුණ බවත් මතකයේ ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය. ගෙවීම් කඩිනම් කරන ලෙස ඉල්ලීම් ලැබුණු අතර සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් මත අදාල ගෙවීම් සිදුකළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය. 
 
එම පිළිතුරු ලබාදීමත් සමග එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් සිදුකරන හරස් ප්‍රශ්න විමසීම අවසන් බවට නීතිඥවරයා සඳහන් කර සිටියේය. 
 
අනතුරුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තුන්වෙනි චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සඳහන් කළේ එකොළොස් වැනි විත්තිකරු වෙනුවෙන් මතු කළ හරස් ප්‍රශ්න මත තමන් රඳා පවතින බවය.
 
සාක්ෂිකරුට ප්‍රශ්න කීපයක් පමණක් යොමු කළ නීතිඥවරයා යම් ඖෂධයක් ලබා ගැනීම සිදුකළ විට ඒ සඳහා ගෙවීම් කළ යුතු බව සාක්ෂිකරු කියා සිටියේය 
 
ඖෂධයට අදාළව invoice ලැබීම සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර "ඇනවුම් ලැයිස්තුවේ අංකය කුමක්දැයි" සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
 
එය 2023/MSD/vrf/00038 ලෙස සඳහන් වන බව සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
ගෙවීම් සිදුකිරීමේදී GRN සහ ගෙවීම් වව්චරයේ ඇති නම් සසදා බැලීමක් සිදුකරන අතර GRN අංකය සහ invoice අංකය පදනම් කරගෙන තම අංශය වෙතින් සකස් කරන ලේඛන නිවැරදි බවට විශ්වාස කරන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
මුදල් රෙගුලාසි අනුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තමන් වෙත පැමිණෙන වවුචරය සමග ඇති GRN ලේඛනය මගින් අදාල සැපයීම් ලැබී ඇති බවට තහවුරු කර ගැනීමක් සිදු කරන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
ඇතැම් අවස්ථාවලදී ගෙවීම් සම්බන්ධයෙන් සැපයුම්කරුගේ මව් සමාගම හෝ දේශීය නියෝජිතයන් ඉල්ලීම් ඉදිරිපත් කරන අවස්ථා ඇති බවද ,එවැනි අවස්ථාවලදී තමන් විසින් ගෙවීම් සිදුකිරීම සැපයුම්කරුට පමණක් සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
 
එම හියුමන් ඉමියුනොග්ලොබියුලීම් ඖෂධයට අදාළව ගෙවීම් සිදුකිරීමේදී invoice පතේ සහ ඖෂධයේ sr අංකය සැලකිල්ලට ගත් බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
අදාළ පරීක්ෂා කිරීම් මුදල් රෙගුලාසි පනතේ 136,  137 යටතේ සිදු කරන බවද 138 (4) තමන් සෑහීමකට පත්වීමෙන් අනතුරුව අදාළ ගෙවීම් සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
මෙය තවත් එක වවුචරයක් පමණක් වන බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"ඔබ  රාජකාරී ඉටු කිරීමේදී නිසි වගකීමක් නොමැතිව කටයුතු කළ නිලධාරියෙක් බවට මා යෝජනා කරනවා "යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එම යෝජනාව ප්‍රතික්ෂේප කර සිටියේය. 
 
"ඔබ වගකීම් සහගත නිලධාරියකු ලෙස කටයුතු කළා නම් මෙම ගෙවීම සිදු නොවන බවට මා යෝජනා කරනවා." යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එම යෝජනාව ද ප්‍රතික්ෂේප කළේය. 
 
තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් හරස් ප්‍රශ්න යොමු කිරීමෙන් අනතුරුව මෙම නඩුවේ හතරවන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම නීතිඥ අශෝක සේරසිංහ මහතා විසින් සිදුකරන ලදී 
 
" ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර ලබා දෙද්දී අවබෝධයක් ලැබුණාද?" කුමන ඖෂධ සම්බන්ධයෙන් අප්‍රමිකතාවන් නැතිවී තිබෙනවාද යන්න පිළිබඳව යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ රිටොප්සිමැබ් සහ හියුමන් ඉමියුනෝගිලොබියුලීම් යන ඖෂධ දෙක සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ප්‍රකාශයන් ලබා දුන් බවය.
 
"ඖෂධ ඇතුළු සැපයුම් වලට සිදු කරන ගෙවීම් සම්බන්ධයෙන් උපරිම කටයුත්ත කරන්නේ ඔබද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "මමත් කරනවා, තවත් නිලධාරීන් විසින්ද එය සිදුකරනවා" යනුවෙන් ප්‍රකාශ කළේය.
 
 "සහතික කරන නිලධාරියා කවුද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ප්‍රධාන ගණකාරිකාරීවරයාට සහතික කිරීමේ වගකීම නැති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
වවුචරය  නිර්දේශ කර, අනුමත කර, සහතික කිරීමෙන් අනතුරුව චෙක්පත නිකුත්වන බව සඳහන් කළ සාක්ෂිකරු ගණකාධිකාරීවරයකු ලෙස තමන්ට වසර විසි එකක පමණ පළපුරුද්දක් ඇති බව කියා සිටියේය. 
 
"ඔබ සහතික කරන නිලධාරියා ලෙස මේ නඩුවේ ඖෂධ සම්බන්ධයෙන් කළ ගෙවීම් වැරදි කියලද නිවැරදි කියලද ඔබ කියන්නේ?" යන ප්‍රශ්නය නීතිඥවරයා සාක්ෂිකරුට යොමු කළේය.
 එහිදී සාක්ෂිකරු සටහන් කළේ අදාළ ගෙවීම නිවැරදි බවට තමන් ප්‍රකාශ කරන බවය .මෙම නඩුවේ හතරවෙනි විත්තිකරු ලෙස සිටින නිරාන් ධනංජය තමන්දන්නා අතර ඔහු මාස හයක පමණ කාලයක් අදාළ තනතුරේ කටයුතු කළ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
bill pay 4
 
"නඩුවෙහි හතරවන විත්තිකරු කුමන අංශයේ ද?" යනුවෙන් නීතිඥවරයා  ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ වෛද්‍ය සැපයුම් අංශයේ ඔහු කටයුතු කරන බවය. 
 
 "ගෙවීම් සිදු කිරීම් සම්බන්ධයෙන් වන වව්චරය ඔබට එන්නේ වෙනත් අංශයකින් නේ" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ  එය සැපයුම් අංශයෙන්  එවන අතර ඒ පිළිබඳව සෑහීමකට පත් විය හැකිනම් එය සහතික කිරීම සිදුකරන බවය. 
 
 "මෙම ගෙවීම් සිදු කිරීමේදී එහි ඇති නම් සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් මතු වුණා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ගෙවීම් වව්චරය මත වූ නමට තමන් විසින් ගෙවීම් සිදුකළ බවය. අදාල ගෙවීම්  වෙනත් ආයතනයකට කළ බවට කිසිදු ආයතනයකින් පැමිණිල්ලක් හෝ ගැටලුවක් ඇති නොවූ බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
 හතරවැනි විත්තිකරු වෙනුවෙන්  හරස් ප්‍රශ්න සිදුකිරීමෙන් අනතුරුව පස් වැනි විත්තිකරු වෙනුවෙන් මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
 
 අනතුරුව මෙම නඩුවෙහි දහවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න  විමසීම සිදු කළේය.
 
එහිදී අධිකරණය හමුවේ ලකුණු කර ඇති 74 ගොනුවේ ඇතුළත් ඈත 313 ලේඛනයට සාක්ෂිකරු ගේ අවධානය යොමු කළ  ජනාධිපති නීතිඥවරයා සාමාන්‍ය ගොනු ඉදිරිපත් කරන ආකාරයෙන්ද මෙම ගොනුව ඉදිරිපත් කරන්නේ යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
 
"ස්වාමීනි, සැපයුම් ශාඛාව මගින් මේ ගොනුව රැස්වීමට මා හරහා ඉදිරිපත් වුනා. එවකට සිටි සහකාර සැපයුම් ගණකාධිකාරී මහත්මියත් ඊට සහභාගි වුණා. තවත් නිලධාරීන් ගණනාවක් ඊට සහභාගි වුණා. එම දිනයන් මට මතක නෑ .සටහන් තිබෙනවා 2022 ඔක්තෝබර් 31 වැනිදා ලෙස එහි දිනය ලෙස සඳහන් වෙනවා යනුවෙන් සාක්ෂිකරු කියා සිටි අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම්වරයා එම රැස්වීමට සහභාගි වුණාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේ ය.
 
එම අවස්ථාවේදී සාක්ෂිකරු  කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව නිවැරදි මතකයක් නොමැති බවය. 
 
"එම ගොනුවේ 1- 63 තෙක් ඇති ලේඛන ඔබට යොමු කළාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඒවා තමන්ට ලැබුණු බව සාක්ෂි කරු කියා සිටියේය.
 
92 ගොනුවේ ඇති පැය 391 ලේඛනය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ  වෛද්‍ය සැපයුම් අංශයට අයත් වැය ශීර්ෂයක් ලෙස මෙය හැඳින්විය හැකි අතර වාර්ෂිකව පාර්ලිමේන්තුව අය විසින් අනුමත කරන ලද ප්‍රතිපාදන ඒ යටතේ වියදම් කළ යුතු බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඖෂධ මිලදී ගැනීම සඳහා වන ප්‍රතිපාදන වැය වන්නේ වැය විෂයෙන්ද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එය නිවැරදි බවය. 
 
"106 ගොනුවේ පැය. 310 ලෙස ලකුණු කර ඇති ලේඛනය වෛද්‍ය සැපයුම් අංශය  විසින් නිකුත් කළ ගැනුම් ඇනවුමක් ලෙස හඳුනා ගන්නවාද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් එය හියුමන් ඉමියුනොග්ලොබියුලීම් 22500 ක් මිලදී ගැනීමට ඇති ගැනුම් ඇනවුමක් ලෙස එය හඳුනාගත හැකි බවය. 
 
එම ඖෂධය සැපයීමට අදාළ GRN පතෙහි අදාළ තොරතුරු සඳහන් වන අතර අදාළ එම ඖෂධයට අදාළ ගෙවීම් සිදුකළ බවට සඳහනක් නොමැති බවද, ගෙවීම් සකස් වෙමින් ඇති බවට  සඳහන් වන බවද සාක්ෂිකරු  කියා සිටියේය. 
 
අදාල වව්චර තමන් විසින් සකස්කර ඒවා නොවන අතර වෛද්‍ය සැපයුම් ඒකකයේ සැපයුම් අංශය මගින් සකස් කරන ලද  බව සඳහන් කළ සාක්ෂිකරු එහි ජී .විජේසූරිය මහතා විසින් අත්සන් තබා ඇති බව බව ප්‍රකාශ කළේය. 
 
අදාල ඖෂධ දෙක සම්බන්ධ ගැනුම් ඇනවුම් වෙත අවධානය යොමු කරන ලෙස සාක්ෂිකරුට දන්වා සිටි ජනාධිපති නීතිඥවරයා ගැනුම් ඇනවුමේ කොන්දේසි විශාල ප්‍රමාණයක් තිබීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේය. 
 
එවැනි කොන්දේසි ගණනාවක් ඇති බවත් එම කොන්දේසි ප්‍රකාරව අදාළ සැපයීම කළ යුතු බවත් සාක්ෂිකරු කියා සිටියේය. 
 
"අදාළ ගැනුම් ඇනවුම ප්‍රකාරව සැපයීමට නියමිතව තිබූ ඖෂධ ලෙස හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොක්සි මැබ් ඖෂධය දැක්වෙන බව කිව්වොත් හරිද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු එය නිවැරදි බව ප්‍රකාශ කළේය. 
 
තමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථා දෙකකදී ප්‍රකාශ ලබාදුන් බවත් ,අනතුරුව ලේඛන බාර දීමක් සිදුකළ බවත් සාක්ෂිකරු කියා සිටියේය.
 
CID 251024
මෙම ඖෂධ දෙක සම්බන්ධයෙන් පමණක් එහිදී ප්‍රශ්න කළ අතර එම ඖෂධ දෙකට අදාළ ලේඛන පමණක්  ලබා දුන් බවද ඉතිරි ඖෂධ 43 ක් සම්බන්ධයෙන් වන ලේඛන ලබාදීමක් සිදු නොකළ බවද , ප්‍රසම්පාදනයට අදාළ වෙනත් ඖෂධ සීයයකට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාගෙන් ප්‍රශ්න නොකළ බවද සාක්ෂිකරු ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේය.  
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනත් අයගෙන් මේ ගැන ප්‍රශ්න කළාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අමාත්‍යාංශ මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුවන බවය.
 
WOR පරීක්‍ෂා නොකළ බවට තමන්ට එරෙහිව චෝදනාවක් එල්ල වූ බවද, "තමන් එය නිවැරදිව පරීක්ෂා කළ බවට" තමන්ගේ ස්ථාවරය ලෙස ප්‍රකාශ කළ බවද සාක්ෂිකරු කියා සිටියේය. කෙසේ වුවද මේ වන තෙක් අදාළ විමර්ශන අවසන් වී නොමැති බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය. 
 
"අදාළ ලේඛන සම්බන්ධයෙන් ඔබ සෑහීමකට පත් වුණාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී තමන් ඒ පිළිබඳව සෑහීමකට පත් වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"ප්‍රසම්පාදන තීරණයෙන් පසුව පිරිනැමීමේ ලිපි ඉදිරිපත් වනවා නේද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර එවැනි පිරිනැමීමේ ලිපි නිකුත් කරන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"තිස් එක් වෙනදා පැවති රැස්වීම් සාකච්ඡාවෙන් පසුව නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සහ ගණකාධිකාරීවරු දෙදෙනෙක් සහභාගී වී ගත් තීරණයක් පිළිබඳවද සඳහන් වෙන්නේ ?"යනුවෙන් නීතිඥවරයා ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අතර ඔව් ලෙස සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නේය.
 
අදාළ ලේඛනයේ  36-54 පිටු වලින් අදාළ ප්‍රසම්පාදන තීරණ දැක්වෙන අතර එම තීරණ සෞඛ්‍ය අංශය හදිසි ප්‍රසම්පාදන කමිටුවේ තීරණ වන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
 එම රැස්වීමේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය ලේකම්වරයා කටයුතු කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
අදාළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් හරස්  ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
92,සහ 93 ගොනු පරිශීලනය කරමින් සාක්ෂිකරු සිදුකළ සාක්ෂි  ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිඥවරයා අදාළ ගොනු දෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ඒවා බවට සාක්ෂිකරු විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමක් කළේය. 
 
අදාල ලේඛන වල අයිසොලස් බයෝ ටෙක් පාමා ඒ ජී සහ අයිසොලස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන දෙකක් ඇති බවට කළ ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු සඳහන් කළ ආයතන දෙකක් නොව ආයතන නාමයන් දෙකක් එහි සඳහන් වන බවය.
 
එම ආයතනයට ප්‍රමුඛත්වය දී මුදල් ගෙවීම කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාගෙන් දැනුම් දීමක් ලැබුණු අතර තම රාජකාරි කාලය තුළ මෙවැනි තවත් නිර්දේශ කිරීම් ලැබී ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
" ප්‍රමුඛත්වය ලබාදීම සඳහා ලිපි ලැබෙන්නේ තෝරාගත් ආයතනය සඳහා "යනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අතර ඔහු සඳහන් කළේ අදාල ගෙවීම් වලට අදාළව තමන් විසින් පොරොත්තු ලැයිස්තුවක් සකස් කරන බවය.
 
තමන්ගේ ගෙවීම් වලට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස සැපයුම්කරුවන් විසින් කරන ඉල්ලීම් තමන් වෙත එවන අතර ඒවා සෞඛ්‍ය ලේකම්වරයා වෙත අධ්‍යක්ෂකවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා මගින් යොමු කිරීමක් සිදුකරන බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
සැපයුම්කරුවෙකු විසින් ඖෂධ ලබාදීමෙන් අනතුරුව ඊට ගෙවීම් සිදුකිරීම ප්‍රමාද වුවහොත් ඊට අදාළව සියයට තුනක ප්‍රමාද ගාස්තුවක් ගෙවීම සම්බන්ධයෙන් සටහනක් ඇති බව දන්නවාද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි සඳහනක් ඇති ලිපියක් පිළිබඳව තමන්ට මතකයක් ඇති නමුත් එවැනි ගෙවීමක් තමන් විසින් සිදු කර නොමැති බවය.
 
ප්‍රමාද ගාස්තු වශයෙන් සැපයුම්කරුට සියයට තුනක්ම මුදලක් ගෙවිය යුතු බව සඳහන් ගිවිසුමක් තමන් දැක නොමැති බව සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
වව්චර් පත සමඟ අදාල ලේඛන තමන් වෙත ඉදිරිපත් වූ පසුව එය පරීක්ෂා කර බලා සහතික කිරීමක් සිදුකරන බව ද අදාළ ගෙවීම් සිදුකිරීම චෙක්පත් මගින් සිදු කරන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය අනුව පොරොත්තු ලේඛනය මත ගෙවීම් සිදුකරන බව සාක්ෂිකරු කියා සිටියේය.
 
සෞඛ්‍ය ලේකම්වරයා වෙත එලෙස ලැබෙන ඉල්ලීම් ඔහු විසින් තමන් වෙත යොමු කරන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
සෞඛ්‍ය ලේකම්වරයා විසින් ආයතන හතරකට ගෙවීම් සිදුකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස නිර්දේශ කරමින් ලිපියක් යොමු කර තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටි අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනයට කළ ගෙවීම් වලට අදාළ ලිපිගොනු පමණක් බව සාක්ෂිකරු කියා සිටියේය.
 
ඖෂධ වර්ග අසමත් වීම සහ තත්වයෙන් බාල වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන කළ නොහැකි බවට මන් නොදන්නා බවද සාක්ෂිකරු හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
මෙම ආයතනයට මුදල් ගෙවීම් සිදු කරන ලෙස කවුරුන් හෝ විසින් තමන්ට බලපෑමක් නොකර බව සාක්‍ෂිකරු කියා සිටියේය.
 
අදාළ ගෙවීම් සිදුකරන ලෙස සැපයුම්කරු විසින් තමන් වෙත ඉල්ලීම් සිදු කිරීමක් හෝ බලපෑම් කිරීමක් නොකළ බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
 
එම ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හයවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකළ ඖෂධ සැපයීම් සහ වෙනත් විදේශීය ආධාර යටතේ සිදුකරන සැපයීම සම්බන්ධයෙන් එහිදී නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය
 
ndia medicine
ආර්ථික අර්බුදයක් පැවති කාලයේදී ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් වල හිඟයක් තිබූ බව සඳහන් කළ සාක්ෂිකරු ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සැපයුම්කරුට රුපියල් වලින් මුදල් තැන්පත් කිරීමේ අවස්ථාව ලබාදී තිබූ බැවින් ඩොලර් සම්බන්ධයෙන් ගැටළුවට යම් සහනයක් ලැබුණු බව කියා සිටියේය. 
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ  මහා භාණ්ඩාගාරයට හෝ මහ බැංකුවට මුදල් ලැබීමක් සිදු නොවූ අතර  ඉන්දියාවේ සැපයුම්කරුවන්ට ඉන්දියානු රාජ්‍ය බැංකුව හරහා මුදල් ගෙවීමක් සිදුකළ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
එහිදී කිසිදු අවස්ථාවක මෙරට භාණ්ඩාගාරයට හෝ මහ බැංකුවට මුදල් ලැබීමක් සිදු නොවූ බවද සාක්ෂිකරු සටහන් කළේය .
 
ගණකාධිකාරීවරයකු ලෙස සාක්ෂිකරුගේ මෙම පිළිතුරු ලබාදීම ප්‍රශ්න සහගත බව අධිකරණයේ අවධානයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ලබා ගන්නා ඖෂධ වලට ලංකාව විසින් ඉන්දියානු රාජ්‍ය බැංකුව හරහා මුදල් ගෙවීමක් සිදු කළ යුතු බව සඳහන් කළාය.
 
ඒ පිළිබඳව අවධානය යොමු කිරීමකින් තොරව සාක්ෂිකරු ලබාදෙන පිළිතුරු සම්බන්ධයෙන් ඔහුට අවවාද කිරීමක් කළ යුතු බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයේ අවධානයට යොමු කළාය. 
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගයේ කටයුතු අවසන් කරන ලදී.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීම් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 

නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න   

 

නවතම පුවත්