leader s

ප්‍රශ්නගත රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කළ සහකාර අධ්‍යක්ෂ වරිය වන තමන් වැඩ තහනමකට ලක්ව සිටි අතර මෙම වසරේදී නැවතත් සේවයට එක් වූ බව සෞඛ්‍ය  අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ලසිතා චාන්දනී වන්නිආරච්චි මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසකට එරෙහිව විභාග වන මෙම නඩුවෙහි පැමිණිල්ලේ 173 වන සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළාය.

 
දිනපතා විභාගයට ගැනෙන මෙම නඩුවේ විභාගය සතියක කාලයක් නොපැවති අතර මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ නැවත නඩුව විභාගය සඳහා කැඳවන ලදී.
 
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකාර වෛද්‍ය සැපයුම් ඒකකයේ සැපයුම් අංශයේ ප්‍රධාන ගණකාධිකාරී පටබැඳිගේ දීප්ත ගත සවින්ද කුරේ මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඉදිරිපත් කළ වැඩිදුර නැවත ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් සාක්ෂි ලබාදීම සිදු කළේය.
 
හයවන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා මීට පෙර දිනයක ඉදිරිපත් කළ හරස් ප්‍රශ්න සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "එහිදී මුදල් රෙගුලාසි අංක 66 ගැන ඔබෙන් කරුණු විමසුවා, අධිකරණයේ හමුවේ පැ. 313 ලෙස ලකුණු කර ඇති ලේඛනයට අවධානය යොමු කරන්න. එහි සඳහන් අංක 02 යටතේ අයිතම මිලදී ගැනීමට SPC  ප්‍රතිපාදන ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කළා,  ඔබ එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියාට ආයතන අතර ප්‍රතිපාදන වෙන් කිරීමට හැකි බව යි. ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියාට තනිව එසේ කරන්න පුළුවන්ද? තවත් ක්‍රියා මාර්ගයකට යටත්ව ද එය කළ යුත්තේ, කියලා අධිකරණයට පැහැදිලි කරන්න ?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය.  
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ ඉල්ලීම් කරන ලද අවස්ථාවක එලෙස ප්‍රතිපාදන මාරු කිරීම  ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියා වන සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදුකරන බවය. 
 
"පුනරාවර්තන වියදම් සඳහා වන ප්‍රතිපාදන මාරු කරන විට අවසරය ලබාගත යුත්තේ කාගෙන්ද? "යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "මුදල් රෙගුලාසි 66(3) වගන්තිය අනුව භාණ්ඩාගාර ලේකම්වරයාගේ අනුමැතිය ඒ සඳහා ගත යුතු බවය.
 
එහෙත් 4(ආ) වගන්තිය යටතේ පුනරාවර්තන වියදම් ව්‍යාපෘතියට බලය ඇත්තේ ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියා සතුව බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"වැය විෂයක් ආයතන අතර හුවමාරු කිරීමේදී අධිකාරී බලය ලබාගත යුතුද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර" එවැනි අවස්ථාවකදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ හෝ නියෝජ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය ලබාගත යුතු බව" සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"මෙම නඩුවේ හයවන විත්තිකරු විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ප්‍රතිපාදන වලින් වෛද්‍ය සැපයුම් අංශයේ වියදම් පියවා ගැනීමට එවැනි අනුමැතියක් ලබාගෙන තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සටහන් කළේ තමන් ඉදිරියේ ඇති සටහන් අනුව එවැනි අනුමැතියක් ලබාගත් බවක් දැකිය නොහැකි බවය. 
 
 
"අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති ලේඛන අනුව කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරි වූ මුදල් භාවිතා කර පුද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම් සිදුකිරීම සඳහා නේද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු ඊට "ඔව් "යනුවෙන් පිළිතුරු ලබා දුන්නේය.
 
"කැබිනට් මණ්ඩලය විසින් හදිසි ප්‍රසම්පාදනය යටතේ පුද්ගලික අංශයේ සැපයුම්කරුවන්ගෙන් අයිතම මිලදී ගැනීමට දී ඇති අවසරයට වැඩිමනත්ව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හෝ වෙනත් මූලාශ්‍ර සම්බන්ධයෙන් අවසර ගැනීම යන කාරණයට අදාළව භාණ්ඩාගාරයෙන් අවසරයක් ලැබුණු බව අදාළ සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් වුණාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි කරුණු ඉදිරිපත් වීමක් සිදු නොවූ බවය. 
 
"තමන් ප්‍රධාන ගණකාධිකාරී ලෙස මෙම වැඩසටහන සම්බන්ධයෙන් 1204 දරණ වැය ශීර්ෂය භාවිතා කළේ සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරය මත බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
 
"එම අවසරය මත කටයුතු කිරීමට නීත්‍යානුකූල බාධාවක් තිබුණාද ?" යනුවෙන් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ "එම අවසරය මත කටයුතු කිරීමට තමන්ට සිදුවූ බවය. "10 වන විත්තිකරු වෙනුවෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීමේදී "යම් සැපයුම්කරුවකුට විශේෂයක් කිරීමට කටයුතු කළේ නෑ නේද ?" යනුවෙන් කළ විමසීම පිළිබඳව සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "10 වන විත්තිකරු මෙම සාකච්ඡාව පැවැත්වූයේ කවර හේතුවක් මත ද යන්න පිළිබඳව අදහසක් තමන්ට තිබෙනවා දැයි" සාක්ෂිකරුගෙන් විමසා සිටියාය.
 
සාක්ෂිකරු කියා සිටියේ" තමන්ට ඒ සම්බන්ධයෙන් අදහසක් නොමැති බවය." 
 
"2023 සැප්තැම්බර් 26 කැබිනට් මණ්ඩල සංදේශයට සහ ඔක්තෝම්බර් 04 කැබිනට් මණ්ඩල තීරණයට වෙනස්ව යමින් 10,07,06 යන විත්තිකරුවන් අනුමැතිය සිදුකිරීම කළේ ඇයි ද?යන්න පිළිබඳව ඔබට අදහසක් තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් අදහසක් නොමැති බවය. 
 
"මෙම ප්‍රසම්පාදනයට අදාළව ගැනුම් ඇනවුම් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී එහි ඖෂධ නාමය සහ SR අංකය පමණක් වෙනස් බවත්, සෙසු සියලු කරුණු සමාන බවත් ප්‍රකාශ කළේ කවර හේතුවක් මත දැ?"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය. 
 
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ ගැනුම් ඇනවුම් විශාල සංඛ්‍යාවක් පවතින අතර ඒවා එකින් එක පරීක්ෂා කිරීමක් සිදු නොකරන බවය. ඒ අනුව තමන් අදාළ ප්‍රකාශය සිදු කළ බවය. 
 
" ඔබ හමුවට ඉදිරිපත් වන ගැනුම් ඇනවුම් සියල්ල පරීක්ෂා කිරීමට ඔබ බැඳී සිටිනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ අතර  ඔහු කියා සිටියේ  "ඒ සඳහා තමන් බැඳී සිටින බව"ය. "එහෙත් ප්‍රායෝගිකව එසේ කටයුතු කිරීම දුෂ්කර වන බැවින් ගෙවීම් ක්‍රියාදාමය සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරන බව" සාක්ෂිකරු කියා සිටියේය 
 
එහිදී සැපයුම්කරුගේ නම සහ ඖෂධ නාමයන් සමාන වන බැවින් අදාළ ප්‍රකාශය තමන් සිදුකළ බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"එහි සඳහන් පිරිවිතර ගැන ඔබ දන්නවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය. "ගෙවීම් සම්බන්ධ ක්‍රියාවලියේදී පිරිවිතර සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව" සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය. 
 
ගැනුම් ඇනවුම සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහි සඳහන් invoice, purchasing order ,item code ,GRN ,යනාදිය Print වෙලා එනවාද ?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකරු කියා සිටියේ එම කරුණු සියල්ල මුද්‍රණය වී පැමිණෙන බවය. 
 
කෙසේ වුවද "එහි ඇති කරුණු පද්ධතියට ඇතුල් කරන්නේ කවර ස්ථානයකදී ද යන්න පිළිබඳව තමන් නොදන්නා බව" සාක්ෂිකරු සඳහන් කළේය.
 
"අධිකරණය හමුවේ ලකුණු කරන ලද 2 v 44 ලේඛනය යනු කුමක්දැ"යි  නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එය ගෙවීම් වවුචරයක් බවය. එය ගිණුම් අංශයෙන් ඉදිරිපත් වූ බව ඔහු කියා සිටියේය.
 
ගණකාධිකාරී සැපයුම් අංශය විසින් ඉදිරිපත් කරන ලද එම වව්චරය සමඟ ඊට අදාළ invoice, GRN, ලැබෙන බව සඳහන් කළ සාක්ෂිකරු එම වවුචරයට අදාළ සෙසු ලියකියවිලි ගණකාධිකාරී සැපයුම් අංශයේ පවතින බව ද, තමන් වෙත ඒවා පැමිණීමක් ලැබීමක් සිදු නොවන බවද, එම ලේඛන පරීක්ෂා කර අනුමැතිය ලබා දෙනවා ද යන්න පිළිබඳව හෝ අදාළ අනුමැතිය ලබාදෙන්නේ කුමන කරුණු මතද යන්න පිළිබඳව තමන්ට පුද්ගලික දැනුමක් නොමැති බව" සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
 
කෙසේ වුවද අදාළ වවුචර් පත අනුමත කළ පසු තමන් මුදල් රෙගුලාසි අංක 06 අනුව ඉතිරි කටයුතු කරන බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. 
 
මිලියන 25 ට වැඩි වටිනාකමකින් යුත් ගෙවීම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා  අනුමත  කළ යුතු බව සාක්ෂිකරු සඳහන් කළ අවස්ථාවේදී 349, 350,353 ලෙස ලකුණු කර ඇති අයිතම 900කට අදාළ වවුචර් පත් තුනක් සම්බන්ධයෙන් සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "එකම දවසේ අයිතම 900කට අයත් වවුචර තුනක් පළවන චූදිත විසින් ඉදිරිපත් කර ඇති බව පේනවා නේද? "යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළාය.
 
ඊට "ඔව්" යන පිළිතුර සාක්ෂිකරු ලබා  දුන් අවස්ථාවේදී "එම අයිතම 100,400,400 ලෙස කොටස් තුනකට වෙන්කොට ගත් විට එම තුනේම වටිනාකමේ එකතුව මිලියන 25 ඉක්මවනවා ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී එම වටිනාකම් මිලියන 25 ඉක්මවන බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"මිලියන 25 නොඉක්ම වීමට මිලියන100ක වවුචර තුනක් සැපයුම් අංශයෙන් සකස් කර තිබෙන බව පේනවා ද ?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අවස්ථාවේදී එවැනි වව්චර තුනක් ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
Signingloandocuments
අයිතම 900ට වෙන් වෙන්ව වවුචර තුන සලකා බැලූ විට එහි වටිනාකම මිලියන 25 සීමාව තුළ පවතින බව ද ඊට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂතුමාගේ අනුමැතිය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.  
 
එම පිළිතුර ලබාදීමත් සමග එම සාක්ෂිකරුගෙන් කළ නැවත ප්‍රශ්න කිරීම් අවසන් කරන ලදී.
 
අනතුරුව මෙම නඩුවේ පැමිණිල්ලේ 173 වන සාක්ෂිකාරිය වන වෛද්‍ය සැපයුම් ඒකකයේ, සැපයුම් අංශයේ  සහකාර අධ්‍යක්ෂිකා ලතිකා චාන්දනීය වන්නි ආරච්චි මහත්මිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාදීම සිදු කළාය. 
 
1993 වසරේ දී ඖෂධවේදිනියක ලෙස ගම්පහ මූලික රෝහලේ සේවය කළ තමන් 2011 වසරේදී ඖෂධවේදි උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ අතර වෛද්‍ය සැපයුම් අංශයේ සේවයට එක වූ බවද  ඇය සඳහන් කළාය.
 
වෛද්‍ය සැපයුම් අංශයේ විගණන විමසුම් සඳහා තොරතුරු ලබාදීම තමන්ට පැවරී තිබූ අතර  2017 වසරේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ තත්ත්ව පාලන අංශයට ස්ථාන මාරුවක් ලැබුණු බවද, එහි වැඩ බලන සහකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ බවද, සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
අනතුරුව වට්ටෝරු සමාලෝචන කමිටු යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කළ තමන් ඊට අමතරව තත්ත්වය අසමත් වීම හේතුවෙන් "with hold" කර ඇති අයිතමයන් සඳහා චක්‍රලේඛ නිකුත් කිරීම සිදුකළ අතර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයාගේ අවසරය මත එම කටයුතු සිදුකළ බවද කියා සිටියාය. 
 
"with hold" ඖෂධ සම්බන්ධයෙන් අදාළ රෝහල් මගින් pronto පද්ධතිය හරහා quality log දැමීමක් සිදුකරන අතර අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත ඉදිරි කටයුතු කරන බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
 
" ඒ පිළිබඳව ජාතික ඖෂධ නියාමන ආයතනයේ තත්ත්ව රසායනාගාරයට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දීම් සිදුකරන බවද ,සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.  
 
ජාතික තත්ත්ව රසායනාගාරය මගින් සිදු කරන පරීක්ෂා කිරීම් වලින් අනතුරුව නිකුත් කරන ලද වාර්තාව මත පදනම්ව අදාළ චක්‍රලේඛ නිකුත් කරන බවද, එහි පිටපත් වෛද්‍ය සැපයුම් ඒකකයට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යවන බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
එම චක්‍රලේඛ යැවීම තැපැල් මාර්ගිකව සිදුකළ බව සඳහන් කළ සාක්ෂිකාරිය තමන් 2020 ජූනි මාසය වන තෙක් එහි එම අංශයේ සේවය කළ බවද වැඩිදුරටත් සඳහන් කළාය. 
 
කළුතර සෞඛ්‍ය වෛද්‍ය ආයතනයට ස්ථාන මාරු වීමෙන් අනතුරුව නැවත 2020 වසරේ අග භාගයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂක තොග පාලන ලෙස පත් වූ අතර ඒ වන විට සහකාර අධ්‍යක්ෂක වරියක් වන ශාන්තිනී මහත්මිය තමන් සමඟ කටයුතු කළ බව සඳහන් කළ සාක්ෂිකාරිය ඇය මෙම නඩුවේ තුන්වන චූදිත ලෙස මෙම අධිකරණ ශාලාවේ සිටින බව හඳුනා ගත්තාය.  
 
medicine storage
 
"ඔබ සහ ශාන්තිනී මහත්මිය අතර රාජකාරි බෙදිලා තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි රාජකාරී බෙදීමක්  ගබඩා අංක අනුව සිදුකර තිබූ බවය. 
 
ඒ අනුව ගබඩා අංක 7,8,9,10,21, සහ පිළිකා ඖෂධ නොවන වෙනත් ඖෂධ තමන් ගබඩා තමන් වෙත පැවරී තිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය තමන් වෙත පැවරුණ රාජකාරී ඖෂධ වේදීන් හරහා සිදු කරන බවද, කියා සිටියාය. ඇස්තමේන්තු සකස් කිරීම, ඇනවුම් සකස් කිරීම, සහ භාණ්ඩ භාර ගැනීම යනාදිය ඔවුන් විසින් සිදුකළ බව ද එම කටයුතු අධීක්ෂණය කිරීම තමන්ට පැවරී තිබූ බවද  ඇය සඳහන් කළාය. 
 
තොග පාලන නිලධාරීන් විසින් පුරෝකතනය කරන විට ඒවා නිවැරදිද යන්න පිළිබඳව සොයා බැලීමත් ඖෂධවේදීන් සිදුකරන කටයුතු නිවැරදි ද යන්න පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයාට වගකීමට තමන් බැඳි සිටි බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
තමන් වෙත පවරා තිබූ ගබඩා සම්බන්ධයෙන් වගකීම තමන් දැරූ අතර සෙසු ගබඩා සම්බන්ධයෙන් වන වගකීම ශාන්තිනී මහත්මිය විසින් දැරූ බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
අදාළ තොග පරීක්ෂා කිරීම් කටයුතු pronto පරිගණක පද්ධතිය හරහා සිදුකරන අතර ඊට පිවිසීමේ අවස්ථාව තමන්ට ලැබී තිබුණු බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
ඖෂධ ප්‍රමාණයන් සලකා බැලීම එහිදී සිදු කරන අතර  නිර්දේශ කරන ඖෂධ නිවැරදි ද යන්න විමසා බැලීම පරිගණක පද්ධතිය හරහා අධ්‍යක්ෂවරයා විසින්  සිදු කරන බවද, ඇනවුම සකස් කළ පසුව තොග පාලක නිලධාරීවරයා වෙත යවන බවද 2023 වර්ෂය වන විට ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා ලෙස නන්දන බණ්ඩාර මහතා කටයුතු කළ බව ද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීම සාමාන්‍යයෙන් වර්ෂයේ මුල දී සිදුකරන අතර, පවතින තොග ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී, අතිරේක තොග ඇනවුම් කිරීම සිදු කරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"අතිරේක ප්‍රසම්පාදනයට අමතරව හදිසි ප්‍රසම්පාදන සිදු කරනවද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාමාන්‍ය ක්‍රමය යටතේ එවැනි හදිසි මිලදී ගැනීම් සිදු නොකරන බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. 
 
V orders ලෙස එවැනි ඇනවුම් සිදු කිරීමක් කලාද යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එවැනි ඇනවුම් නිකුත් කිරීමක් සිදුවූ බවය.
 
අදාළ අයිතම සම්බන්ධයෙන් ගැප් එකක් පැවති අවස්ථාවේදී එවැනි ඇනවුම් සිදුකළ බවද, ඖෂධ සමාලෝචන කමිටුවලදී සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඖෂධ ලබාදීම් මාස දෙකකට හෝ ඊට වැඩි කාලයකදී නොකරන බවට දැනුම් දුන් අවස්ථාවලදී එවැනි හදිසි ප්‍රසම්පාදන සහ හදිසි මිලදී ගැනීම් සිදුකරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
ආයතන අතර හුවමාරුව සිදු කරන බවද එම හුවමාරු කරන ඖෂධ අවසන් වී මාස තුනක් හෝ හතරක් යන තෙක් ඇනවුම් ලැබීමේ හැකියාව නොමැති නම් එවැනි අවස්ථාවලදී හදිසි ප්‍රසම්පාදන කටයුතු වෙත යොමු වන බව සාක්ෂිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. 
 
අදාළ තොග ප්‍රමාණය සහ අවශ්‍ය කාලය එහිදී සඳහන් කළ  යුතු අතර ඖෂධ කළමනාකරණයේ os මට්ටම හෙවත් තොග ශුන්‍ය වීමක් සිදු නොවීමට වග බලා ගතයුතු බවද සාක්ෂිකාරිය  කියා සිටියාය.
 
 ඖෂධ තොග අඩු මට්ටමක පවතින විට තොග ගෙන්වීම සිදුකරන බවද, ඖෂධ තොග මට්ටම නිරන්තරයෙන් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට කටයුතු කරන බවද සාක්ෂිකාරිය  කියා සිටියාය. 
 
check paper
"සහකාර අධ්‍යක්ෂකගේ රාජකාරිය කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය ඖෂධවේදීන් විසින් ලේඛනගත කොට කොටු සිල් එක සමග තමන් වෙත එවන ලේඛන පරීක්ෂා කර බලා තොග පාලන නිලධාරීවරයා ගේ නිර්දේශය සලකා බලා ඊට අනුමැතිය ලබාදීම සිදුකරන බවද සඳහන් කළ සාක්ෂිකාරිය අදාළ සැපයුම්කරු හෝ ඖෂධ ලියාපදිංචි නොමැති අවස්ථාවකදී WOR සහතිකය පරීක්ෂා කර බැලීම සිදුකරන බවද කියා සිටියාය.  
සහකාර අධ්‍යක්ෂකවරියක ලෙස කටයුතු කරන අවස්ථාවේදී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස වෛද්‍ය හේරත් මහතා කටයුතු කළ අතර වසර පහක පමණ කාලයක් ඔහු සමග කටයුතු කර ඇති බවද ඔහු මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස මෙම අධිකරණ ශාලාව තුළදී සිටින බව හඳුනා ගන්නා බවද ඔහුගේ අත් අකුරු සහ අත්සන තමන් හඳුනන බවද සාක්‍ෂිකාරිය නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියාය.
 
පැය 270 ලෙස ලක් අධිකරණය හමුවේ ලකුණු කර ඇති ලිපිය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඖෂධ ලැයිස්තුවක් සකස් කිරීමට අදාළව නිකුත් කර ඇති බවද එහිදී ලැබීමට ඇති තොග සහ පවතින තොග පිළිබඳව නොසලකා මාසයකට අඩු තොග සලකා බලන ලෙස නියෝග කර ඇති බවද සාක්ෂිකාරිය ලේඛන පරීක්ෂා කර බලමින් සඳහන් කළාය. 
 
එහිදී මාසයක් හා එක් දිනයකට ප්‍රමාණවත් ඖෂධ පැවතියද එය  ගණනය කිරීම් වලට අදාළ කරගත නොහැකි වූ බව සඳහන් කළ සාක්ෂිකාරිය නිවැරදි ඖෂධ ලැයිස්තුවක් සකස් කිරීමේ වගකීම තොග පාලක, ඖෂධවේදී, සහකාර අධ්‍යක්‍ෂක ,සහ අධ්‍යක්ෂකවරයාට පැවරෙන බවද සඳහන් කළාය. 
 
නිර්දේශ කිරීමේ වගකීම තමන්ට පැවරී තිබූ අතර ප්‍රධාන තොග පාලක විසින් සකස් කර තිබුණු ඖෂධ ලැයිස්තුවේ නිවැරදිතාවය පද්ධතිය හරහා පරීක්ෂා කර බලමින් නිර්දේශය ලබාදීමක් සිදුකළ බවද එය අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියට යැවූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ඔබේ නිර්දේශයන් ට අධ්‍යක්ෂකවරයා එකඟ නොවන අවස්ථාවන් තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි අවස්ථාවලදී නැවත ගණනය කිරීම් සිදුකර අනුමත කිරීමක් සිදුකරන බවය. 
 
ඒ වන විට අධ්‍යක්ෂකවරයා ලෙස  වෛද්‍ය චන්දන විජේසිංහ මහතා කටයුතු කළ බවද ඔහුගේ අත්සන තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
 
අධිකරණයට ඉදිරිපත් කර ඇති 72 ගොනුවේ ඇතුළත් ඖෂධ 182 ලැයිස්තුවක් සම්බන්ධයෙන් සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ අවස්ථාවේදී ඇය සඳහන් කළේ එහි අවසානයේ අත්සන් තබා ඇත්තේ වෛද්‍ය හේරත් මහතා විසින් බවය.
 
"සාමාන්‍ය රාජකාරි වලදී ඇනවුම් වල ගැටලුවක් ඇති වී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා එකග නොවන විට ඔහු ඔබලාට නියෝග දීමක් කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි අවස්ථාවලදී නැවත සකස් කිරීම සිදුකරන බවය. මෙහිදී අදාළ ලැයිස්තුව නැවත හරවා එවීමක් සිදු නොවූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය. එම කාලය වන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂක ලෙස වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා කටයුතු කළ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
 
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදි.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න    

 

whatsapp 202507155

නවතම පුවත්