WOR සහතිකයට අදාළව චෝදනා එල්ල වී සේවය අත් හිටුවා සිටි තමන්ට එරෙහි විමර්ශන මෙතෙක් අවසන් වී නැති නමුත් පසුගිය අප්‍රේල් මස 26 වෙනිදා තමන් නැවත සේවයේ පිහිටවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරියක වූලසිකා චාන්දනී වන්නිආරච්චි මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසකට එරෙහිව විභාග වන මෙම නඩුවෙහි පැමිණිල්ලේ 173 වන සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නැවත නඩුව විභාගය සඳහා කැඳවන ලදී.
එහිදී නියෝජ්‍ය සෙලෙසිටර් ජෙනරාල්වරිය වැඩිදුර මූලික සාක්ෂිය විමසීම සිදු කළාය.
"WOR කමිටුවට සහභාගී වූ බවට ඔබ මීට පෙර සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔබට පැවරී තිබූ රාජකාරිය කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකාරියගෙන් විමසා සිටිය අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ඖෂධවේදීන්ගෙන් තොග පිළිබඳව තොරතුරු ලබාගෙන එම තොරතුරු කමිටුවට දැනුම් දීම සිදු කිරීම තමන්ට පැවරී තිබූ බවය.
කමිටුවේ සටහන් අධ්‍යක්ෂක සහ අනෙකුත් සහකාර අධ්‍යක්‍ෂකවරුන්ටද ලැබෙන අතර ඒ අනුව තමන්ට ද ඊමේල් මගින් එම වාර්තා ලැබුණු බව සාක්ෂිකාරිය කියා සිටියේය. WOR ලබා දුන් සහ ලබා නොදුන් අය පිළිබඳව එම සටහන් මගින් දැනගැනීමේ හැකියාව ඇති බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
"WOR ලබාදීමේදී ගැනුම් ඇනවුම සලකා බලනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ගැනුම් ඇනවුම සලකා බලන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
අධිකරණය හමුවේ ලකුණු කර ඇති 336 දරණ ඉන්වොයිස් පත සමග ලැබුණු ගැනුම් ඇනවුම අදාළ කොන්දේසි අනුව තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂා කර බැලූ බවත් WOR සහතිකය සහ ගැනුම් ඇනවුම සංසන්දනය කරමින් කරුණු සලකා බැලූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. එහිදී WOR අංකය සහ ගැනුම් ඇනවුමේ සඳහන් අංකය සංසන්දනය කර බැලීමක් සිදුකරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය. එසේම ගැනුම් ඇනවුමේ ඇති ඖෂධයේ නම, අදාළ invoice පතේ ඇති ඖෂධයේ නමට සමාන වූ අතර නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය , අයිතම ප්‍රමාණය සමාන වන බවද සාක්ෂිකරු සාක්ෂිකාරිය කියා සිටියාය.

එහි දේශීය සැපයුම්කරු ලෙස අයිසොලස් බයෝ ටෙක් පාමා ඒ ජී ලිමිටඩ් යන නම සඳහන්ව තිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය අදාල ලේඛන සංසන්දනය කර බැලීමේදී සමානතා පැවති හේතුවෙන් ඒ පිළිබඳව සෑහීමකට පත් වූ බව ඇය කියා සිටියාය.
"EOI යටතේ WOR පරීක්ෂා කළ යුත්තේ කොහොමද? යන්න පිළිබඳව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ අධ්‍යක්ෂවරයා හෝ නියෝජ්‍ය අධ්‍යක්ෂක ගේ උපදෙස් ලැබී තිබුණාද?"
යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගේ විමසීමක් කළ අතර එවැනි උපදෙසක් ලැබී නොතිබූ බව ඇය සඳහන් කළාය.
"EOI යටතේ භාණ්ඩ භාර ගැනීමේදී ඔබ අනුගමනය කළේ කුමන ක්‍රමවේදය ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්‍ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ පෙර භාණ්ඩ පරීක්ෂා කළ ආකාරයට එහිදී කටයුතු කළ බවය. එහිදී ඊළඟට සලකා බැලිය යුතු කරුණු ලෙස ගැනුම් ඇනවුමේ අංක 02 යටතේ ඇති delivery schedule පිළිබඳව කොන්දේසිය සලකා බැලූ බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
EOI යටතේ නිකුත් කරන ලද Order list එක අනුව ලබාදීමට එකඟ වූ භාණ්ඩ 2022/11/28 දින භාර දිය යුතු බව delivery schedule එකේ සඳහන් වන බව කියා සිටි සාක්ෂිකාරිය එහි අයිතම 2250 ක් ලබා දිය යුතු බවද සඳහන් වන බව ප්‍රකාශ කළාය.
පැ. 34 ලේඛනය අනුමැතිය ලබාදී ඇති දිනය 2022/12/07 ලෙස සඳහන් වන අතර අයිතම සංඛ්‍යාව 2250 ක් ලෙස සඳහන් වන බවද ප්‍රකාශ කළ සාක්ෂිකාරිය අදාළ දිනය වෙනස් වූයේ කොතනකදී ද යන්න පිළිබඳව තමන් නොදන්නා බව කියා සිටියාය.
කෙසේ වුවද එම දින දෙකේ ලැබිය යුතු භාණ්ඩ වෛද්‍ය සැපයුම් අංශයට ලැබී තිබුණේ මැයි මස 11 වැනිදා වන අතර සැපයුම් කොන්දේසි සපුරා නොතිබීම හේතුවෙන් එම භාණ්ඩ බර ගැනීමේ හැකියාවක් නොතිබූ බවද ,ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් ලබාගත් බවද සඳහන් කළ සාක්ෂිකාරිය ඊට අදාළ මිනිට් සටහනක් ඇති බව ප්‍රකාශ කළාය.
"ඔබට උපදෙස් ලබා දුන්නේ කවදා ද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී 2020 මාර්තු මස උපදෙස් ලබාදුන් බවත් 2023 මාර්තු 27 වැනිදා ඇමතිවරයා සමග තිබූ සාකච්ඡාවකදී අතයවශ්‍යය පිළිකා නාශක ඖෂධ මාස 6-9 අතර කාලයක් තොග පවත්වාගෙන යා යුතු බවට උපදෙස් ලැබුණු බව සඳහන් කළ සාක්ෂිකාරිය ඊට අදාළ ලේඛනයක් අධ්‍යක්ෂක තුමාට යොමු කර තිබූ අතර ඔහුගෙන් තමන්ට එය ලැබුණු බවද කියා සිටියාය.

ඊට අදාළ මිනිට් සටහන වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තබා තිබෙන අතර ඔහුගේ අත් අකුරු සහ අත්සන් තමන්ට හඳුනාගත හැකි බවද සාක්ෂිකාරිය කියා සිටියාය. "එම මිනිට් සටහන මගින් ඔබට කුමක්ද දැනුම් දී ඇත්තේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගේ විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගේ උපදෙස ට පටහැනි උපදෙසක් එමගින් ලබාදී නොතිබූ බවය.
නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා අධ්‍යක්ෂවරයාට වඩා ඉහළින් සිටින බැවින් ඔහුගේ උපදෙස් අනුව කටයුතු කළ බව සාක්ෂිකාරිය කියා සිටියාය. "එහිදී ඔහු ඔබට ලබාදුන් උපදෙස කුමක්ද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියට යොමු කළ අවස්ථාවේදී ලේඛන පරීක්ෂා කර බලා ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ "සියලු විද්‍යාල එකතු කර ඖෂධ ප්‍රමුඛතා ලේඛනයක් සකස් කරන ලෙස " තමන්ට උපදෙස් ලැබුණු බවය.
අත්‍යවශ්‍ය පිළිකා නාශක ඖෂධ මාස හයක් නමයක් අතර කාලයකට තොග පවත්වාගෙන යන ලෙස හත්වන චූදිත විසින් ලබාදුන් උපදෙස් අනුව 2023 /05/11 වැනිදා අයිතම බාර ගැනීම සිදුකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
invoice දෙකක් යටතේ එදින ලැබුණු අතර අයිතම 1100 ක් ඊට අයත් බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
ඊට අදාළ සටහන් තොග පාලක ප්‍රියන්ත කස්තුරි සිංහ මහතා විසින් සටහන් කළ අතර තමන් ඊට කොටු සීල් එක තබා අත්සන් තැබූව බව සාක්ෂිකාරිය කියා සිටියාය.
සාම්පල පරික්ෂාවේදී අදාල ලේඛන පරීක්ෂා කර බැලීමක් සිදුකරන අතර නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, කාණ්ඩ අංකය ,නිෂ්පාදකයාගේ නම යනාදිය පිරිවිතර අනුව සලකා බැලීමක් Invoice පත්‍රය සහ ගැනුම් ඇනවුම එකිනෙකට සම්බන්ධ කර එහිදී සිදු කරන බවද සාක්ෂි කාරිය ප්‍රකාශ කළාය.
එම අවස්ථාවේදී අධිකරණය භාරයේ තිබූ සුදු පැහැති පෙට්ටියක් අධිකරණයේදී විවෘත කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විනිසුරු මඩුල්ලෙන් අවසර ඉල්ලා සිටියාය. අදාළ පෙට්ටිය නිසි පරිදි මුද්‍රා තබා ආවරණය කර නොමැති බවත් එහි වෙනත් කිසිදු සටහනක් නොමැති බවත් අධිකරණයේ අවධානයට ලක් කරන ලෙස අට වැනි විත්තිකරුවන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසුන්දර මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව අදාළ පෙට්ටිය විවෘත කරන ස්ථානය ද ඇතුළුව සෙලෝ ටේප් වලින් ආවරණය කර ඇති බව අධිකරණයේ නිරීක්ෂණයට ලක් කර සටහන් කරන ලදී.
අනතුරුව එම පෙට්ටිය සෙලෝ ටේප් කපා විවෘත කළ අතර එහි කුඩා කාඩ්බෝඩ් අසුරණයක යම් ද්‍රාවණයක් ඇතුළත් කුප්පි දෙකක් ඇති බව අධිකරණයේ අවධානයට ලක් කරන ලදී.
එම කුප්පි දෙක අතරින් රිටොප්සිමැබ් ලෙස සඳහන් කර ඇති කුප්පිය සාක්ෂිකාරියට පෙන්වා සිටි අතර "2022/05/11 දින ඔබ හඳුනාගත් ලේඛන සමග පරීක්ෂා කළ සාම්පලය දැන් ඔබ ඉදිරියේ තිබෙන සාම්පලය ට සමානද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය එම සාම්පලයට මෙය සමාන බව ප්‍රකාශ කළාය.
එම කුප්පිය බහා තිබූ කුඩා කාඩ්බෝඩ් අසුරණයට සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය "එහි ඇති කුමන කරුණු භාණ්ඩ භාර ගැනීමේදී පරීක්ෂණයට ලක් කරන්නේදැ?"යි සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න කර සිටියාය. සැපයුම් කොන්දේසි වල 3 වන කොන්දේසිය ලෙස ඇති ඖෂධයේ නම, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, කාණ්ඩ අංකය යනාදී කරුණු එහිදී සලකා බලන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
එම කුඩා ඇසුරුමෙහි දින තුනක් සහ අත්සන් කිහිපයක් සඳහන් වන අතර එම අත්සන් ඊට ලැබුණේ කෙසේද යන්න තමන් නොදන්නා බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. අයිතමය පියවි ඇසින් බලා එහි description සලකා බලන බවද අදාළ ලේබලයේ කුප්පියෙහි ඇති ද්‍රාවණය සම්බන්ධයෙන් අදාළ තොරතුරු සඳහන්ව තිබූ බවද සඳහන් කළ සාක්ෂිකාරිය එහි ඇති කරුණු අධිකරණය හමුවේ කියවා සිටියාය.
අදාළ භාණ්ඩ බාරගන්නා අවස්ථාවේදී COA ලේඛනය ඡායාස්ථ පිටපතක් ලැබුණු බවද අදාල කුප්පිය ගබඩා කළ යුතු උෂ්ණත්වය ලෙස කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30/2_4 ලෙස දෙකක් එහි සඳහන් වූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
එහි සඳහන් උෂ්ණත්වය invoice පත සඳහන් උෂ්ණත්වයට පරස්පර වූ අතර එවැනි තත්ත්වයකදී භාණ්ඩ භාර ගැනීමක් සිදුකළ නොහැකි බවද ඒ පිළිබඳව Rejection from එකක් මගින් අධ්‍යක්ෂවරයා ට දැනුම් කළ යුතු බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.

අධිකරණය හමුවේ ලකුණු කර ඇති 2 v 34, පැ 351, සලකා බැලූ විටද අදාළ පරස්පරතාවන් ඇති බව ඇය කියා සිටියාය. "2 v 34 ලේඛනයේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් භාර ගැනීම සම්බන්ධයෙන් ඖෂධය කොටු සිල් එක තබා තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී එහි එම කොටු සීල් එක තබා ඇති අතර ඊට තොග පාලක නිලධාරී සුජිත් විසින් අත්සන් ඇති බවද එහි ශාන්තිනී මහත්මියගේ අත්සන ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
WOR පරීක්ෂා කිරීමට අදාළව අධ්‍යක්ෂකවරයා ගෙන් පසු කාලීනව උපදෙස් ලැබුණු අතර 2023/11/05 දින තමන් විසින් රිටොප්මැසිප් ඖෂධය භාර ගැනීමෙන් අනතුරුව එම උපදෙස ලැබුණු බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රගුප්ත මහතා විසින් අත්සන් කරන ලද එම උපදෙස් මාලාවේ WOR ලේඛනයේ මූලික පිටපත පරීක්ෂා කර බලන ලෙස උපදෙස් ලබා දී තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
ඒ සමගම මූලික සාක්ෂි විමසීම අවසන් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.
ඉන් අනතුරුව මෙම නඩුවේ පළමුවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
එහිදී සාක්ෂිකාරියගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් ඇය ලබා දුන් සාක්ෂිය පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීමක් සිදුකළ නීතිඥවරයා සේවය අත්හිටුවීම සිදුවූයේ කවර හේතුවක් මතදැයි සාක්ෂිකාරිය ගෙන් විමසීමක් කළේය.
WOR සහතිකය නිවැරදිද යන්න පරීක්ෂා නොකිරීම යන චෝදනාව මත 2024 සැප්තැම්බර් 26 හෝ 27 වැනි දින තමන්ගේ සේවය අත්හිටවූ බව ඇය සඳහන් කළාය.
නීතිඥවරයා: ඔබට සේවය අත්හිට වූ දිනය නිවැරදිව මතක නැද්ද?
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනි
නීතිඥවරයා: ඊට කලින් විමර්ශනයකට අදාළව විමසීමක් කළාද?
සාක්ෂිකාරිය: අභ්‍යන්තර විමර්ශනයකට අදාළව කට උත්තරයක් දුන්නා. නැවත සේවයේ පිහිටුවීම 2026 අප්‍රේල් 26 වැනිදා සිදු කළා
නීතිඥවරයා: ඔබට එරෙහිව පැවති විමර්ශන කටයුතු අවසන් ද?
සාක්ෂිකාරිය: එම කටයුතු කෙරෙමින් පවතිනවා
නීතිඥවරයා: විමර්ශන අවසන් වීමට පෙර ඔබ නැවත සේවය පිහිටවූයේ කවර කරුණු මතද යන්න පිළිබඳව දන්නවාද?
සාක්ෂිකාරිය: ස්වාමීනි, මම අභියාචනා ලිපි දිගින් දිගටම යොමු කළා. ඊට පිළිතුරු විදියට inquiry එක පටන් ගන්න බව තමයි කිව්වේ අභ්‍යන්තර විගණන අංශයේ මැඩම් හමුවෙලා කිව්වා.පී.එස්.සී ආයතනයටත් ගිහින් කිව්වා. අවසාන අභියාචනය 2026 මාර්තු මාසයේදී ඉදිරිපත් කළා
නීතිඥවරයා: ඒ වන විට විමර්ශන ආරම්භ වී තිබුණාද?
සාක්ෂිකාරිය: මාර්තු මාසයේදී ආරම්භ වුණා. භාණ්ඩ බාරගන්නා අවස්ථාවේදී WOR සහතිකයේ නිවැරදිතාවය පරීක්ෂා නොකළ බවට තමන්ට චෝදනා එල්ල වුවද එම නිවැරදිභාවය පරීක්ෂා කිරීම N.M.R.A ආයතනය විසින් සිදු කළ යුතු බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
"WOR සහතිකයේ පිටපතක් වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබෙන බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබෙන ලේඛන අධ්‍යක්ෂකවරයාට ලැබෙන බවත් ඔහුගෙන් පහළ නිලධාරීන්ට එය නොලැබෙන බවත්ය". "WOR සහතිකයේ පිටපතක් වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබෙන බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා නැවත වරක් සාක්ෂිකාරියකින් ප්‍රශ්න කළ අවස්ථාවේදී කියා සිටියේ තමන්ට එය නොලැබුණු බවය.වෛද්‍ය සැපයුම් ඒකකයට එවැන්නක් ලැබෙනවා ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"WOR නිකුත් කරන්නේ රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා බව" සාක්ෂිකාරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී නීතිඥවරයා ඇයට ප්‍රශ්නයක් යොමු කරමින් "නිදහස් කරගත් ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකයට බාර දෙනවා නම් එය නිසි ක්‍රමවේදයකට බාර දෙනවා ද, යන්න බැලිය යුතුයි නේද?" යනුවෙන් විමසා සිටියා සිටියේය. එහිදී ඇය සඳහන් කළේ අදාළ භාණ්ඩ භාරදීම SPC ආයතනය මගින් සිදුකරන බවය.
"SPC ආයතනයෙන් පමණක් අදාළ ඖෂධ ලබාදෙන බවට ඔබට හොඳටම විශ්වාසද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළේය. 2022/2023 කාලයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ආයතනයත් දේශීය සැපයුම්කරුවන් හරහාත් භාණ්ඩ ලබාදීම සිදුකළ බව සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළ අතර කරුණු තමන්ගේ මතකයේ හැටියට සඳහන් කළ බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

"ඔබ ස්ථාවරය වෙනස් කරමින් අධිකරණය මගහරිමින් පිළිතුරු දෙන බවට මම යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව කියා සිටියාය.
"WOR සහතිකයේ නිවැරදි භාවය තහවුරු කර ගැනීමට කටයුතු කළේ කුමන ආකාරයකින්ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඊට අදාළ ලේඛන තිබූ බවත් WOR සහතිකය පිළිබඳව ඊමේල් පණිවිඩයක් NMRA ආයතනයට යවා එම තහවුරු කර ගැනීම කළ යුතු බවට උපදෙස් ලබා දී තිබූ බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
පැමිණිල්ලේ මූලික සාක්ෂි විමසන අවස්ථාවේදී අධිකරණය හමුවේ විවෘත කරන ලද කුප්පි සම්බන්ධයෙන් සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නීතිඥවරයා "එම කුප්පි බහා තිබූ ඇසුරුමේ සෙලෝ ටේප් අලවා ගන්න තිබුනේ කොතැනකදී ද යන්න පිළිබඳව දන්නවා දැ"යි සාක්ෂිකාරියකින් විමසීමක් කළේය.
තමන් ඒ පිළිබඳව නොදන්නා බව සාක්ෂිකාරිය සඳහන් කළ කළාය.
"එම ඇසුරුම තුළ කුප්පි බහා තිබූ කුඩා කාඩ්බෝඩ් ඇසුරුම සීල් තබා තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සිල් තබා නොතිබූ බව සාක්ෂිකාරිය කියා සිටියේය. එම ඖෂධ කුප්පි කුමන ස්ථානයක සිට ඉදිරිපත් කළාද යන්න පිළිබඳව තමන් නොදන්නා බව නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය. අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පෙර එම භාණ්ඩ තිබුණේ කාගේ භාරයේ ද යන්න හෝ කුමන ස්ථානයක ද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
නීතිඥවරයා: මෙම කුප්පිය ඔබ මීට පෙර දැක තිබෙනවාද?
සාක්ෂිකාරිය: මේ අයිතමය භාරගන්නා විට දැක තිබෙනවා
නීතිඥවරයා ඔබ භාරගත් භාණ්ඩ වලින් කොටසක් ද මෙය කියා කියන්න පුළුවන්ද?
සාක්ෂිකාරිය: ඒක ද කියන්න බෑ කාණ්ඩ අංකයෙන් තමයි ඒක බලන්න පුළුවන්.
නීතිඥවරයා: එම කාඩ්බෝඩ් ඇසුරුමේ සටහනක් තිබෙනවාද?
සාක්ෂිකාරිය: එහි කාබන් පෑනෙන් සටහනක් තිබෙනවා ස්වාමීනී,
නීතිඥවරයා: එහි ඖෂධ කුප්පි මත කාගේ හෝ ඇඟිලි සටහන් තිබෙනවාද?
සාක්ෂිකාරිය : එවැනි ඇගිලි සටහනක් දකින්නට බැහැ දකින්නට නැහැ
අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති 347 ලේඛණයට සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නීතිඥවරයා "එහි උෂ්ණත්ව දෙකක් සඳහන්ව ඇති බවට ඔබ මීට පෙර සාක්ෂි ලබා දුන්නා නේ දැ?" යි විමසීමක් කළේය.
තමන් එහිදී උෂ්ණත්ව දෙකක් පිළිබඳව සඳහන් කළ බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
"එම උෂ්ණත්ව දෙක අතර ඇල ඉරක් සහිතව තිබෙන්නේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරිය ගෙන් විමසීමක් කළ අතර ළ ඖෂධය ද්‍රව හෝ ඝන තත්ත්වයෙන් පැවැත්විය හැකිදැයි විමසීමක් කළේය.
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ ඝන හෝ ද්‍රව තත්වයෙන් පැවැතිය හැකි බවය.
අදාළ කුප්පියෙහි උෂ්ණත්වය ලෙස කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30/2-8 සඳහන්ව ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.
අදාළ ඖෂධය සම්බන්ධයෙන් ඇති පිරිවිතරය අනුව ඖෂධය ඝණ හෝ ද්‍රව තත්ත්වයෙන් පවත්වන අතර කාමර උෂ්ණත්වය 30/ 2-8 යනුවෙන් සඳහන් වෙන බව පෙන්වා දුන් නීතිඥවරයා "ඇල ඉර (/) යන්නෙන් අදහස් වන්නේ " හෝ "යන්න ඔබ දන්නවාද ?"යනුවෙන් සාක්ෂිකාරියකින් විමසීමක් කළේය.
ඊට පිළිතුරු ලබාදීම සඳහා මඳ වේලාවක් ගත කළ සාක්ෂිකාරිය මෙහි උෂ්ණත්ව දෙකක් සඳහන් වෙනවා යනුවෙන් පිළිතුරක් ලබා දුන්නාය.
ඔබ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම මඟ හරින සාක්ෂිකාරියක් බවට මා යෝජනා කරනවා යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළාය.
"අධිකරණය නොමග යවන පිළිතුරු ලබාදීම සිදුකරන බව මා යෝජනා කරනවා" යනුවෙන් සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එම යෝජනාව ද ප්‍රතික්ෂේප කළාය.
මූලික සාක්ෂි විභාගයේදී 34 ලේඛණයට අවධානය යොමු කරමින් එහි උෂ්ණත්ව දෙකක් සම්බන්ධයෙන් සටහන්ව තිබීම පිළිබඳව ප්‍රශ්න කළ නීතිඥවරයා එම උෂ්ණත්ව දෙක ඇළ ඉරක් සහිතව තිබෙන්නේ එම දෙක අතරින් කුමක් හෝ යන්න අදහස් කිරීමට බව කිව්වොත් පිළිගන්නවාද යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ එහි උෂ්ණත්ව දෙකක් සඳහන්ව තිබූ බවය.
"ඔබට සිංහල භාෂාව පිළිබඳව අවබෝධයක් තිබෙනවා නේද? "ඇල ඉරක් " යන්නෙන් අදහස් වෙන්නේ "හෝ" යන්න කියලා ඔබට අවබෝධයක් තිබෙනවාද "යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය නැවත වරක් සඳහන් කළේ එහි උෂ්ණත්ව දෙකක් සඳහන්ව තිබූ බවය.
"ඖෂධය ඝන හෝ ද්‍රව තත්ත්වයෙන් පවත්වා ගත හැකිදැ'?"යි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එලෙස පැවතිය හැකි බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

ඒ අනුව ඝන තත්ත්වයෙන් තිබිය යුතු උෂ්ණත්වය සහ ද්‍රව තත්ත්වයෙන් තිබිය යුතු උෂ්ණත්වය ඇළ ඉරක් මගින් දක්වා ඇති බවට තමන් යෝජනා කරන බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය පිළිතුරු දීමට මඳ වේලාවක් ගතකර අනතුරුව සඳහන් කළේ එහි උෂ්ණත්වයන් දෙකක් සඳහන්ව ඇති බවය.
"ඔබ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දීමට මගහරින සාක්ෂිකාරියක් බවට යෝජනා කරනවා " යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළාය.
"ඔබ අධිකරණය නොමග යවන පිළිතුරු ලබාදෙන සාක්ෂිකාරියක් බවට යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එයද ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළාය.
"ඔබ භාරගත් ඖෂධය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බව දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එවැනි තත්ත්වයක් ඇතිව බව දැනගැනීමට ලැබුණු බවය.
"ඖෂධය භාවිතාවෙන් ඉවත් කළ බවට දන්නවාද ?" යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර ඇය ඒ පිළිබඳව දැන ගැනීමට ලැබුණු බව කියා සිටියාය
"එම ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට පෙර රසායනාගාර මට්ටමින් පරීක්ෂණයක් කළ බවක් ඔබ දන්නවාද?" යනුවෙන් තිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එම කාලය වන විට තමන් රාජ්‍ය සේවයේ නොසිටි බැවින් ඒ පිළිබඳව දැනුමක් නොමැති බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය
"භාණ්ඩ බාර ගැනීම සිදුකරන්නේ භෞතික සාධක සම්පූර්ණ කළ නිසා නේද? සාම්පල පරීක්ෂාවක් සිදු කරනවද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එවැනි පරීක්ෂාවක් සිදු නොකරන බව සඳහන් කළාය.
අදාල ඖෂධ රසානාගාර පරීක්ෂාවකට යවනවාද නැද්ද පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බව සාක්ෂිකාරිය වැඩිදුරටත් පැවසුවාය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.
තමන් වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඖෂධ දෙක ලෙස කටයුතු කළ අතර ගබඩා අංක 6,7,8,9,10,21 සහ පිළිකා නොවන වෙනත් ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කළ බව සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය.
වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂකවරයා වූ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා 2022 වසරේ විදෙස් ගතව සිටිය බව දන්නා බව සඳහන් කළ සාක්ෂිකාරිය රිටොප්සි මැබ් ඖෂධය සම්බන්ධයෙන් ඇනවුම් ලැයිස්තුවක් සකස් කිරීම සහ ගැනුම් ඇනවුම සකස් කිරීම 2022 වසරේදී සිදු වූ බව සඳහන් කළාය.
"එම කාලයේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා කටයුතු කළේ නෑ නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය එය අනුමත කළාය.

2022 වසර වන විට තමන් භාරයේ තිබූ ගබඩා වල ඖෂධ 500කට අධික ප්‍රමාණයක් තිබූ අතර තුන්වෙනි විත්තිකාරිය භාරයේ තිබූ ගබඩා වලද ඖෂධ පන්සියයකට අධික ප්‍රමාණයක් තිබෙන්නට ඇති බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියාය.
නීතිඥවරයා:ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර තුනක් ලබාදී තිබෙනවා නේද?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී
නීතිඥවරයා: ඒ කියන්නේ ඔබට ඇත්ත කියන්න අවස්ථා තුනක් ලැබුණා නේද?
සාක්ෂිකාරිය:එසේය ස්වාමිනි
නීතිඥවරයා: ඖෂධය භාර ගැනීම සිදු කළේ ඔබ බවට අධිකරණයේදී පිළිගත්තා
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී
නීතිඥවරයා: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර හතරක් දුන් බවට යෝජනා කරනවා
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී.
නීතිඥවරයා: ඔබේ තොග පාලක නිලධාරීවරයා ලෙස කටයුතු කළේ කවුද?
සාක්ෂිකාරිය:ප්‍රියන්ත දීපාල් කස්තුරිසිංහ මහතා
නීතිඥවරයා ඔහු මෙම නඩුවේ 163 වන සාක්ෂිකරු ලෙස සිටින බවට මා යෝජනා කරනවා
සාක්ෂිකාරිය: ඒ පිළිබඳව දැනුවත්භාවයක් නෑ.
රිටොසිප්සි මැබ් ඖෂධය භාර ගැනීම සම්බන්ධයෙන් තමන් කටයුතු කළ බවත් Elixir අදාළ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබූ අතර ඊට අනුව කටයුතු කළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
අදාල භාණ්ඩවලට අදාළ invoice හතරක් ලැබුණු බවත් එම invoice වලට කොටු සීල් තැබීම ප්‍රියන්ත කස්තුරි සිංහ විසින් සිදුකළ බවත් ,තමන් අත්සන තබා එය අනුමත කළ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.
"අදාළ සාම්පල සහ ලේඛන පරීක්ෂා කර බලා සෑහීමකට පත්වීම නිසා නේද කොටු සිල් තබන්නේ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "මෙම invoice හතරම රිටොප්සි මැබ් ඖෂධය භාර ගැනීම සම්බන්ධයෙන් තිබුණේ .ඒවා භාර නොගෙන සිටීමට හේතුවක් තිබුණේ නෑ" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
අධිකරණයට ඉදිරිපත් කර තිබූ කුප්පි සාක්ෂිකාරියගේ නිරීක්ෂණයට යොමු කළ නීතිඥවරයා "එහි ඇත්තේ ජලය වැනි ද්‍රාවණයක්ද?"යි විමසා සිටියේය.
එය ජලය ලෙස ප්‍රකාශ කළ නොහැකි බවත් පිරිවිතර අනුව එය ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හැකි බවත් පෙනුමේ හැටියට එය පැහැදිලි ද්‍රාවණයක් වන බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
"ජලය කියන්නේ පැහැදිලි ද්‍රාවණයක් නේද?" යනුවෙනි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "මෙම කුප්පියේ තියෙන්නේ ජලයද , වෙනත් ද්‍රාවණයක්ද යන්න පැහැදිලිව ප්‍රකාශ කරන්න බෑ" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.

"වෛද්‍ය සැපයුම් ඒකකයේ අදාළ බෙහෙත් පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයක් නැති බව ඔබ දන්නවාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ 2024 වසරේදී තමන්ගේ සේවය අත්හිටවූ බවත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට තබන්න නොදන්නා බවත්ය.
"එම ඖෂධ පරීක්ෂා කිරීම සඳහා NMQLA ආයතනයට සුදුසුකම් නැති බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී " ඒ පිළිබඳව මා දන්නේ නෑ. එම ආයතනය නෙමෙයි මම සේවය කළේ වෛද්‍ය සැපයුම් අංශයේ" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
අධිකරණය හමුවේ ලකුණු කර ඇති ප්‍රියන්ත කස්තුරි සිංහ විසින් පවත්වාගෙන ගිය ගොනුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම සඳහා තමන් කටයුතු කළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. WOR සහතිකය සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න විමසීම සිදු කළ අවස්ථාවේදී එහි වලංගු කාලය කුමක්දැයි අසා සිටි අතර එය මාස තුනක් බවට සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය
නීතිඥවරයා :එම සහතිකයේ කොහෙද මාසතුනක් කියලා සඳහනක් තියෙන්නේ. එහි තියෙන්නේ මාස දොළහක් කියල නේද?
සාක්ෂිකාරිය: එසේ ස්වාමීනි ,එහි සති දොළහක් ලෙස සඳහන් වෙනවා.
නීතිඥවරයා: ඔබ රිටොප්සි මැප් ඖෂධය මුල්ම තොගය භාරගත්තේ 2023 මැයි 23 වෙනිදා නේද?
සාක්ෂිකාරිය එසේය. ස්වාමීනි
නීතිඥවරයා: WOR සහතිකය නිකුත් කර ඇති දිනය ලෙස සඳහන් වන්නේ කවදාද?
සාක්ෂිකාරිය: 2023 පෙබරවාරි 11 වැනිදා.
නීතිඥවරයා: එදින සිට සති දොළහක් ගණන් කර බලන්න
එම අවස්ථාවේදී රජය මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද දින දර්ශනයක් සාක්ෂිකාරියට ලබා දුන් අතර එම දින දර්ශනය ඇසුරින් සති දොළහ ගණනය කිරීම සඳහා සාක්ෂිකාරිය කාලය ගනිමින් කටයුතු කරන බව නිරීක්ෂණය කළ අධිකරණය ඇයට තවත් දින දර්ශනයක් සහ පැන්සලක් ලබාදෙමින් සති සලකුණු කරගණනය කිරීම් සිදුකිරීමට අවස්ථාව සළසා දුන්නේය.
ඊට කෙටි වේලාවක් අවධානය යොමු කළ සාක්ෂිකාරිය අදාළ සති 12 ගණනය කරමින් සඳහන් කළේ එහි සඳහන් වන පරිදි අදාළ සති 12 මැයි මස 06 වැනිදා වන විට සම්පූර්ණ වන බවය.
නීතිඥවරයා: WOR ලේඛනයේ සති දොළහ අවසන්ව තිබියදීත් මැයි මස 23 වැනිදා ඔබ රිටොප්සිමැබ් ඖෂධය භාර ගත්තා
සාක්ෂිකාරිය:එසේ ස්වාමීනි
නීතිඥවරයා: WOR සහතිකයේ සති 12 තුළ රේගුවෙන් නිෂ්කාශනය කර තිබෙනවා නම් ඖෂධයේ ජීව කාලය තුළ රිටොප්සි මැප් ඖෂධය භාර ගැනීමට බාධාවක් නෑ කියලද ඔබ කියන්නේ?
සාක්ෂිකාරිය: එසේ ස්වාමීනී
නීතිඥවරයා අදාළ රිටොප්සි මැබ් තොගය භාර ගැනීමට තීරණය කළේ ඔබ?
සාක්ෂිකාරිය: එය අනුමත කළා ස්වාමීනි
නීතිඥවරයා: ඔබ බාරගත්ඖෂධ තොගය With hold කිරීමට මුල් තීරණය ගත්තේ NMRA ආයතනය විසින් බව ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය: ඒ ගැන මට දැනීමක් නෑ ස්වාමීනි
"ඖෂධයක් With hold කළ විට පද්ධතිය හරහා සියලුම රෝහල් සහ ආයතන වලට නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බව ඔබ දන්නවාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ තමන් සේවයේ සිටින කාලය තුළ එය එම තත්ත්වයට පද්ධතිය දියුණු කිරීමට පියවර අරගෙන තිබූ බවය. මේ වන විට එය එලෙස පවතිනවා ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද තමන්ට අදාළ රාජකාරී කටයුතු පිළිබඳව පමණක් දන්නා බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඖෂධ මාස 6-9 ක් පවත්වාගත යුතු බවට උපදෙස් ලබාදුන් බවට සාක්ෂිකාරිය ලබාදුන් සාක්ෂිය සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළ නීතිඥවරයා "පිළිකා නොවන ඖෂධ මාස හයක් සහ පිළිකා ඖෂධ මාස නමයක් ලෙස ඇති සඳහනක් ඔබ වැරදියට වටහාගෙන වැරදි සාක්ෂියක් ලබා දෙන බවට මා යෝජනා කරනවා." යනුවෙන් ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එය ප්‍රතික්ෂේප කළාය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය තමන් වෛද්‍ය සැපයුම් ඒකකයේ ඖෂධ භාර අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළ අතර තමන්ට පහළ නිලධාරියකු ලෙස තොග පාලක ප්‍රියන්ත කස්තුරි සිංහ මහතා කටයුතු කළ බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
ඔහු 2024 / 09/27 වන විට මෙරට නොසිටි බවද ඔහු විදේශ ගතවී ඇති බවට තොරතුරු ලැබී තිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය
නීතිඥවරයා: තොග පාලක නිලධාරීවරයාගේ දුරකථනය සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් තිබෙනවාද?
සාක්ෂිකාරියා: එම දවස්වල ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තිබුණා
නීතිඥවරයා :එම තොග පාලක නිලධාරීවරයා මෙම නඩුවේ පළමු වන විත්තිකරු සමඟ දුරකථනයෙන් නිතර සම්බන්ධ වී ඇති බව දන්නවද?
සාක්ෂිකාරිය: ඒ පිළිබඳව දන්නේ නෑ
නීතිඥවරයා: ඔහු එම චූදිත සමඟ දුරකථන සංවාද 97 ක් පමණ සිදුකර ඇති බවට ඔබ දන්නවද?
සාක්ෂිකාරිය :ඒ පිළිබඳව මා දැනුවත් නෑ.
2022 සැප්තැම්බර් මාසය වන විට රිටොප්සි මැබ් ඖෂධ තොග පැවති තත්ත්වයන් පිළිබඳව තමන්ට පැහැදිලිව මතකයක් නොමැති බව සඳහන් කළ සාක්ෂිකාරිය අදාළ ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව කාලය වන විට වෛද්‍ය සැපයුම ඒකකයේ තොග ශුන්‍ය මට්ටමේ තිබූ බවට සඳහන් කළාය.
"මෙලෙස ශුන්‍ය මට්ටමේ තොග පැවතීම සාමාන්‍ය දෙයක් ද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එය අසාමාන්‍ය දෙයක් බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

"එවැනි අවස්ථාවකදී මහරගම පිළිකා රෝහලට ඖෂධ අවශ්‍ය වුවහොත් එය ලබාදීමේ හැකියාවක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එවන් ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ එහිදී spc ආයතනය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලබාගන්නා තීරණ මත කටයුතු කරන බවය. ඖෂධ කුමන කාලයකදී සැපයිය හැකිද යන්න පිළිබඳව spc ආයතනය ලබා දෙන සහතිකය මත එම කරුණ තීරණය වන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ඔබගේ සේවය අත්හිටුවන ලද චෝදනාවම එල්ල කරමින් තුන්වෙනි විත්තිකාරිය ගේ සේවය අත්හිටවූ බව ඔබ දන්නවාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඇයගේ සේවය අත්හිටවූ බව දන්නා නමුත් එල්ල වූ චෝදනාව කුමක්ද යන්න පිළිබඳව නොදන්නා බවය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදි.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

