leader s

මෙම නඩුව පවරා ඇති එක් ඖෂධයක් වන "රිටොප්සි මැබ්" තොගය භාර ගැනීමට සම්බන්ධ තොග පාලක නිලධාරීවරයා හෝ ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා විත්තිකරුවන් අතර
නොසිටින අතර  එම තොගය අනුමත කළ තමන් සාක්ෂි ලබාදීම සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරියක වූලසිකා චාන්දනී වන්නිආරච්චි මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
 
ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසකට එරෙහිව විභාග වන මෙම නඩුවෙහි පැමිණිල්ලේ 173 වන සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදෙමින් සිටියදී එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ අමිත ආරියරත්න මහතා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ නැවත නඩුව විභාගය සඳහා කැඳවන ලදී.
 
එහිදී පෙර නඩු දිනයේ දී නිකුත් කරන ලද සිතාසි අනුව මෙම නඩුවට අදාළව සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් පස් දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ල විසින් දැනුම් දෙන ලද අවස්ථාවක අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් ඔවුන් මුදා හරින ලදි.
 
මෙම නඩුවේ අටවන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්න විජේසුන්දර මහතා මෙහිදී අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් සාක්ෂි සඳහා කැඳවා ඇති පැමිණිල්ලේ අංක 181 වන සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසන අවස්ථාවේදී භාවිතා කිරීම සඳහා ලේඛන කිහිපයක් අවශ්‍ය වී ඇති බැවින් එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල කාර්යාලයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. 
 
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ ලේඛන අධිකරණය භාරයට ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලේකම්ට නියෝග කළේය. 
 
අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරන ලදී .
 
එහිදී තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකාරියගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
"අධිකරණය හමුවේ ලකුණු කර ඇති පැ. 307 ලේඛනයක් ප්‍රකාරව MSD V Orders යටතේ ඇනවුම් ලැයිස්තුව නිකුත් කළාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර v orders යටතේ රිටොප්සිමැබ් ඖෂධයට අදාළ ඇනවුම් නියෝග නිකුත් කිරීමට සම්බන්ධ වූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. එම ඖෂධවලට අදාළ පිරිනැමීමේ ලිපිය ලැබුණු පසුව ඊට අදාළ ඇනවුම් ලැයිස්තුව සකස් කළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"එහිදී එම ඖෂධ වලට අදාළව තොග පිළිබඳව සලකා බැලීමක් සිදු කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එහිදී තොග පිළිබඳව සැලකීමක් නොකළ බවය. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ උපදෙස් සහිතව ලැබුණු ලිපියේ පරිදි වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග සහ ජාතික තොග නොසලකා හැර කටයුතු කළ යුතුව තිබූ අතර ඒ අනුව එම තොග නොසලකා සිටි බව සාක්ෂිකාරිය සඳහන් කළාය.  
"රිටොප්සිමැබ් ඖෂධයේ වාර්ෂික අවශ්‍යතාවය කොපමණදැයි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ ඒ  සම්බන්ධයෙන් වන  ලේඛන බැලීමෙන් අනතුරුව බව ප්‍රකාශයක් කළ හැකි බව ය.
 
එහි මාසික අවශ්‍යතාවය 750ක් පමණ බව තමන්ට මතක බව සාක්ෂිකාරියක සඳහන් කළ අවස්ථාවේදී " වාර්ෂික අවශ්‍යතාවය 9000ක් ලෙස පැවසුව හොත් එය පිළිගන්නවාද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළේය.
 
එය එලෙස පිළිගත හැකි බව සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"කෙසේ වුවද ඖෂධ භාර ගැනීමේ දී වාර්ෂික හෝ මාසික අවශ්‍යතාවය සලකා බැලුවේ නෑ නේද ?"යනුවෙන් නීතිඥවරයා විමසුමක් කළ අතර  සාක්ෂිකාරිය "ස්වාමීනී ,අපිට උපදෙස් ලැබුණේ ජාතික තොග නොසලකා හරින ලෙස. එම  උපදෙස් ලබා දී තිබුණේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින්. එහිදී තොග බැලුවේ නෑ, ඒ ලිපිය අනුව මසකට අඩු තොග තමයි බැලුවේ අදාළ උපදෙස් අනුව තොග බැලීමේ අවශ්‍යතාවයක් තිබුණේ නෑ." යනුවෙන් සඳහන් කළාය. 
 
එහිදී අධිකරණය හමුවේ ලකුණු කර ඇති තොග පිළිබඳ ලේඛනයකට අවධානය යොමු කළ නීතිඥවරයා එහි 15 වන අයිතමයට අවධානය යොමු කරන ලෙස සාක්ෂිකාරියට පැවසූ අවස්ථාවේදී එහි රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් සඳහන් වන බව නමුත් එම තොග පිළිබඳව තමා දැනුවත් නොමැති බවද අදාළ තොග පිළිබඳව තමන්ට access නොමැති බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"අදාළ තොග බැලීමට සහකාර අධ්‍යක්ෂක ලෙස ඔබට හැකියාවක් ඇති බවට මා යෝජනා කරනවා " යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "දිනයෙන් දිනයට තොග බැලීමේ හැකියාවක් තමන්ට නොමැති බව"ය . එය සැපයුම් අංශයේ පරිගණක අංශයේ නිලධාරීන් විසින් සිදුකරන කටයුත්තක් බවද සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය. 
 
නීතිඥවරයා: Oder list එක හදන අවස්ථාවේදී තොග බැලීමේ හැකියාවක් තිබුණෙ නෑ කියලද කියන්නේ?
 
සාක්ෂිකාරිය: ස්වාමීනී අපිට එහෙම තොග බලන්න බැහැ.
 
නීතිඥවරයා: මා යෝජනා කරනවා ඔබ මෙම අධිකරණය නොමග යවන සාක්ෂිකාරියක් බවට. සහකාර අධ්‍යක්‍ෂකවරිය ලෙස එම තොග බැලීමේ හැකියාව ඔබට ඇති බවට මා යෝජනා කරනවා. 
 
සාක්ෂිකාරිය :එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා තොග බැලීම සිදු කරන්නේ නෑ. අදාළ උපදෙස් මත එලෙස තොග  බැලීමේ අවශ්‍යතාවයක් තිබුණේ නෑ. 
 
නීතිඥවරයා: 2022/11/21 දිනවන විට රිටොක්සිමැබ් ඖෂධයේ ජාතික තොගය 2162 දෙකක් තිබුණු බවට මා යෝජනා කරනවා.
 
සාක්ෂිකාරිය: එය ප්‍රතික්ෂේප කරනවා. මෙහි තිබෙන තොරතුරු ප්‍රමාණවත් මදි එය පිළිගැනීමට. ජාතික තොගය ලෙස මෙම ලේඛනයේ  සඳහනක් වන්නේ නැහැ.
 
මූලික සාක්ෂි විභාගයේදී 125 වැනි ගොනුවෙහි ඇතුළත් පැ. 400 ලේඛණය "MSD V අක්ෂරය සහිතව සකස් කළ ඇනවුම් ලැයිස්තුව ලෙස ඔබ හඳුනා ගත්තා නේද?" යනුවෙන් නීතිඥවරයා  ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී එය එම ලැයිස්තුව බව ඇය ප්‍රකාශ කළාය. එහි සඳහන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-8 දක්වා ලෙස සදහන් වීම නීතිඥවරයා කළ හරස් ප්‍රශ්නෙකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ඔබ ඖෂධ භාර ගැනීම අවස්ථා දෙකකදී කළාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ ඖෂධ භාර ගැනීම අවස්ථා දෙකකදී කළ නමුත් ඒ ඒ අදාළ දින වකවානු පිළිබඳව පැහැදිලි මතකයක් නොමැති බවය. එම භාණ්ඩ බාර ගැනීමට අදාල invoice පතේ අදාළ ඖෂධය ගබඩා කළ යුතු උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 2-8 D යනුවෙන් ඇති සඳහන සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එහිදී "D" අක්‍ෂරයෙන් හඳුන්වන්නේ degrease යන්න බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
එවැනි" D" අක්ෂරයක් ඇනවුම් ලේඛණයේ නොමැති වීම සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ඇනවුම් ලැයිස්තුව වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලන අංශයේ නිලධාරින් විසින් සකස් කරන නමුත් invoice පත සැපයුම්කරු විසින් ඉදිරිපත් කරන බවය. ඔහු විසින් සපයනු ලබන ඖෂධය ගබඩා කළ යුතු උෂ්ණත්වය එහි දක්වා ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
අධිකරණය හමුවේ ලකුණු කර ඇති invoice පතක් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ නීතිඥවරයා එය හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ඒකක 250ක් භාර ගැනීමට අදාළව ඉදිරිපත් කර ඇති අතර එහි ඇති කොටු සීල් එක සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. 
එම කොටු සීල් එකෙහි ඇති අත්සන තොග පාලක නිලධාරී සුජිත් මහතාගේ වන අතර එය අනුමත කිරීම තමන් විසින් සිදුකර ඇති බව සාක්ෂිකාරිය අධිකරණය හමුවේ පිළිගත්තාය. 
 
"අදාළ ඖෂධය ගබඩා කරන උෂ්ණත්වය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳව ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට ඔබට හැකියාව තිබුණා නේද?, එසේ තිබියදී ඔබ මෙම භාණ්ඩ තොගය බාර ගත්තා නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ  අදාළ ඖෂධ තොගය තමන් භාර ගැනීම සිදුකර ඇත්තේ ගබඩා අංක 06 භාරව කටයුතු කළ සහකාර අධ්‍යක්ෂකවරිය නිවාඩු ලබා සිටි අවස්ථාවකදී විය හැකි බවය. එහිදී ඇගේ තනතුරෙහි වැඩ බැලීම තමන් විසින් සිදුකළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය. මෙම ඖෂධ තොගය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තිබුණේ නම් එය පළමු වන තොගය භාර ගැනීමේදී හඳුනාගත යුතු බවද ඊට අදාළව inquiry sheet එකක් යොදා ඉහළ නිලධාරීන්ට දැනුම් දිය යුතු බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
නීතිඥවරයා: ඔබ එම භාණ්ඩ තොගය බාරගෙන තිබෙනවා නේ? 
 
සාක්ෂිකාරිය: ස්වාමීනි, මා මෙහි අත්සන් තබා තිබෙනවා, නමුත් මුල් තොගය බාර ගැනීමේ දී තමයි ගැටලු සහගත තත්ත්වය විසඳාගත යුත්තේ 
 
නීතිඥවරයා: මෙම ඖෂධයේ Room temperature 30/2-8 සෙල්සියස් අංශක ලෙස සඳහන් කර ඇති බව මා යෝජනා කරනවා. ඇල ඉර( /) තියෙන්නේ "හෝ" යන්න අදහස් කිරීමට බව මා යෝජනා කරනවා. 
 
සාක්ෂිකාරිය : "ඇල ඉර "සම්බන්ධයෙන් අර්ථකථනයක් මට දීමට නොහැකියි ස්වාමිනි. සුජිත් මහතා ශාන්තිනී මිස් යටතේ සේවය කළේ .ඇය පෙර ඖෂධ තොග බාරගැනීම  සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා නම් සුජිත් මහතා ශාන්තිනී ඇය සමඟ එය විසඳාගත යුතුයි.
 
නීතිඥවරයා: මෙහිදී ඔබ ඖෂධ භාරගෙන තිබෙනවා.
 
සාක්ෂිකාරිය: සුජිත් මහතා නිර්දේශය කර තිබෙනවා.
 
නීතිඥවරයා :ඔබ අනුමැතිය දී තිබෙනවාද?
 
සාක්ෂිකාරිය: එසේ ස්වාමීනි.
 
නීතිඥවරයා: පෙර ලේඛන අනුව invoice පත් කිහිපයකටම අනුමැතිය දී ඇත්තේ ඔබ විසින්?
 
සාක්‍ෂිකාරිය: එසේය ස්වාමීනී 
 
නීතිඥවරයා: පෙර උෂ්ණත්වයම තමයි එහි සඳහන් වෙන්නේ ?
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී 
 
නීතිඥවරයා: එසේ තිබියදී ඔබ එම ඖෂධ තොගය බාරගෙන තිබෙනවා. ඔබ එහි අත්සන් කර තිබෙනවා .උෂ්ණත්වය ගැන කිසිදු සැලකිල්ලකින් තොරව එම තොගය භාරගෙන ඇති බවට මම යෝජනා කරනවා 
 
සාක්ෂිකාරිය: ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි, මුල්ම තොගය භාරගන්නා අවස්ථාවේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.
 
රිටොප්සිමැබ් ඖෂධ සම්පූර්ණ තොගයටත්, හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ Invoice තුනකට අදාළ තොග සාක්ෂිකාරිය විසින් භාරගෙන තිබීම සම්බන්ධයෙන් නීතිඥවරයා ලේඛන කිහිපයක් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කරමින් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
අදාළ තොගය සුජිත් මහතා විසින් නිර්දේශ කර තිබූ අතර තමන් එය අනුමත කළ බව සඳහන් කළ සාක්ෂිකාරිය කිහිප අවස්ථාවකදීම සදහන් කළේ ඖෂධ තොගය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබුණේ නම් ඒ පිළිබඳව මුල් අවස්ථාවේදීම සහකාර අධ්‍යක්‍ෂකවරිය විසින් කටයුතු කළ යුතුව තිබූ බවය. 
 
"ඔබ මෙම ඖෂධ භාරගෙන තිබුණානේ, ඔබ කියන්නේ මුල් අවස්ථාවේදී වරදක් කර ඇත්නම් එය නිවැරදි නොකර දිගටම එය පවත්වාගෙන යා යුතු බවද? යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කර සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය "ස්වාමීනී ,මා කියන්නේ මුල් අවස්ථාවේදී ම වරද හඳුනාගත යුතු බවයි .මා කළේ සහකාර අධ්‍යක්‍ෂකවරිය නිවාඩු අවස්ථාවක වැඩ බැලීම පමණක් විය හැකියි" යනුවෙන් කියා සිටියාය. 
 
"spc එක හරහා ඖෂධ ලබා ගැනීමට අමතරව වෙනත් ක්‍රම මගින් වෛද්‍ය සැපයුම් ඒකකයට ඖෂධ ලබා ගැනීමේ හැකියාවක් තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ "ප්‍රධාන ඖෂධ සැපයුම්කරු ලෙස SPC ආයතනය කටයුතු කළ අතර සෙසු ආයතන මගින් ද ඖෂධ ලබා ගැනීම සිදුකළ බවය.එම වෙනත් ආයතන සම්බන්ධයෙන්  කටයුතු සිදුකිරීම සඳහා සම්බන්ධීකරණ නිලධාරියකු පත්කර සිටි අතර ඔහු හරහා අදාළ සියලු කටයුතු සිදුවූ බවද ඇය ප්‍රකාශ කළාය.
 
 
2023 වසරේදී මෙම ඖෂධ තොගය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කළ සහකාර අධ්‍යක්‍ෂකවරිය  රක්ෂිත බන්ධනාගාර ගතවූ බව තමන් දැනගත් බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
මෙම ප්‍රශ්නගත සිද්ධියෙන් පසුව wor පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර ඊට පෙර ඒ සඳහා කිසිදු නිශ්චිත ක්‍රමවේදයක් හෝ උපදේශයක් ලබා දී නොතිබූ බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
නඩුවට අදාළ ප්‍රශ්නගත ඖෂධ වල ප්‍රසම්පාදන අස්ථිතිය කුමක්ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද තුන්වෙනි විත්තිකාරිය ඒ පිළිබඳව දැනුවත්ව සිටියාද යන්න පිළිබඳව තමන්ට ප්‍රකාශයක් කළ නොහැකි බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ඔබ මෙම ඖෂධ භාර ගැනීමේ රාජකාරිය සත්භාවයෙන් නේද සිදු කළේ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය "එසේය ස්වාමීනි" යනුවෙන් පිළිතුරක් ලබා දුන්නාය.
 
"ඒ ආකාරයටම තුන්වෙනි විත්තිකාරිය ද අදාළ රාජකාරී කටයුතු සද්භාවයෙන් සිදු කළ බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී" ඇයගේ සද්භාවය පිළිබඳව ඇගෙන්ම විමසිය යුතු බව" සාක්ෂිකාරිය සඳහන් කර සිටියාය.
 
ඒ සමගම තුන්වෙනි විත්තිකාරිය වෙනුවෙන් සිදුකල හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලද අතර හතරවෙනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමක් නොකරන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක සේරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේය. 
 
පස්වන විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම තමන් සිදුකරන බව අධිකරණයට දන්වා සිටි නීතිඥ අශෝක සේරසිංහ මහතා "ඖෂධ වර්ග දෙකක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවතින බවට ඔබ දන්නවාද?" යනුවෙන් සාක්ෂිකාරිය ගෙන් විමසා සිටියේය. 
 
තමන් ඒ බව දන්නා බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. අදාළ ඖෂධ වර්ග දෙක වෙන වෙනම අංශ දෙකකින් බාරගත යුතු බවද, රිටොප්සිමැබ් ඖෂධය භාර ගැනීම සිදුකළ තොග පාලක නිලධාරීවරයා මෙම විත්තිකරුවන් අතර නොසිටින බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය. 
 
"හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්" ඖෂධය භාර ගැනීම සිදුකළ සුජිත් නමැති තොග පාලක නිලධාරීවරයා මෙම අධිකරණය විත්තිකරුවන් අතර සිටින බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය "රිටොප්සිමැප්" භාර ගැනීමේ ක්‍රියාවලියේ සහකාර අධ්‍යක්‍ෂකවරිය ලෙස තමන් කටයුතු කළ බවද එම භාණ්ඩ තොගය භාර ගැනීම ප්‍රියන්ත කස්තුරි සිංහ මහතා විසින් නිර්දේශ කර ඇති අතර තමන් එයට අනුමැතිය ලබා දී ඇති බව"ද නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය. 
 
නීතිඥවරයා: මෙම නඩුවට ඖෂධ වර්ග දෙකක් තිබෙනවා. එහිදී ඇතිවූ අක්‍රමිකතාවයන් සම්බන්ධව තමයි මෙම නඩුව තියෙන්නේ?
 
සාක්ෂිකාරිය: ඒ පිළිබඳව මට මතක නෑ. එවැනි චෝදනාවක් නෑ.
 
නීතිඥවරයා:ඔබ සාක්ෂි දෙන්න ආවේ ඖෂධ දෙකක් සම්බන්ධයෙන් නඩුවකට නේද?
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි 
 
නීතිඥවරයා: රිටොප්සි මැබ් ඖෂධය MSD එකට භාර ගැනීමේ ක්‍රියාවලියේදී තොග භාරගත් නිලධාරියා ප්‍රියන්ත කස්තුරි සිංහ, ඔබ ඔහුට ඉහළ නිලධාරියා? 
 
සාක්ෂිකාරිය:එසේය ස්වාමීනී 
 
නීතිඥවරයා:අදාළ ඖෂධය භාර ගැනීමේදී දෝෂයක් ඇතිවූ බවට ඔබට චෝදනාවක් තියෙනවාද? 
 
සාක්ෂිකාරිය: මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනාවක් නෑ.භාර ගැනීම සම්බන්ධයෙන් චෝදනාවක් තිබුණා .අදාළ ඖෂධ ව්‍යාජ ඖෂධ බවට සඳහන් චක්‍රලේඛයක් නිකුත් වුණා 
 
"මෙම නඩුවට පාදක වූ ඖෂධ වර්ග දෙකෙන් වැඩි වටිනාකමකින් යුතු ඖෂධය කුමක්ද?' යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ තමන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ගණකාධිකාරීවරයා වන බවත්ය.
 
මෙම ඖෂධ දෙක සම්බන්ධයෙන් ඇතිවූ දෝෂ සහගත තත්ත්වය හේතුවෙන් රජයට කෝටි 14 ක් පාඩු වූ බවට චෝදනා කර තිබෙන බවත් ඉන් කෝටි 12ක්ම රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධ වන බවට තමන් යෝජනා කරන බවත් නීතිඥවරයා සටහන් කළ අවස්ථාවේ දී සාක්ෂිකාරිය කියා සිටියේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය.  
"ඖෂධ තොගය බාර ගැනීමේදී ආසන්නතම අධීක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කළේ ඔබ නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර "එසේය ස්වාමීනී" යනුවෙන් සාක්ෂිකාරිය ඊට පිළිතුරක් ලබා දුන්නාය. 
 
"අදාළ ඖෂධය භාර ගැනීම සම්බන්ධයෙන් වන චෝදනාවක් මෙම නඩුවේ චෝදනා පත්‍රයේ ඇති බවට තමන් යෝජනා කරන බව" නීතිඥවරයා ප්‍රකාශ කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ "එම ඖෂධ භාර ගැනීම තමන් නිවැරදිව සිදුකළ බව" ය.
 
"හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ තොග තුනක්ම බාර ගැනීම සිදු කළේ ඔබ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "අදාළ ඖෂධ භාර ගැනීම තමන් සිදුකළ බව" සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"එම ඖෂධ භාර ගැනීම ඔබ නිවැරදිව සිදු කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ "රිටොප්සිමැබ් ඖෂධය භාර ගැනීම නිවැරදිව සිදුකළ බව"ය. කෙසේ වුවද අදාළ ඖෂධ තොගය බාර ගැනිම සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් එය මුල් තොගය බාරගන්නා අවස්ථාවේදීම සැලකිල්ලට ගත යුතු බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
නීතිඥවරයා: මා කියන්නේ වරදක් නෙමෙයි. ඔබ එය නිවැරදිව සිදුකර ඇති බව තමයි මා කියන්නේ. 
 
සාක්ෂිකාරිය: ස්වාමීනි ,මුල් තොගය බාර ගැනීම නිවැරදිව කළ යුතුයි.
 
නීතිඥවරයා: ඔබ එම තොගය භාර ගැනීමේදී රාජකාරිය හරියට කර තිබෙනවා. 
 
සාක්ෂිකාරිය : වරදක් තිබෙනවා නම් මුල් තොගය භාර ගැනීමේදී ඒ සම්බන්ධයෙන් උපදෙස් ගත යුතුයි 
 
නීතිඥවරයා: වරදක් සම්බන්ධයෙන් නෙමෙයි මම කතා කරන්නේ. වරදක් ගැන හාන්කවීසීයක්වත් මම දන්නේ නෑ. මම කියන්නේ ඔබ එම තොගය බාර ගැනීමේ රාජකාරිය හරියට සිදුකර තිබෙනවා. 
 
සාක්ෂිකාරිය :රාජකාරිය කර තිබෙනවා ස්වාමීනී 
 
නීතිඥවරයා: ඔබ මේ සම්බන්ධයෙන් කටයුතු කළ ඉහළම නිලධාරියා. ඔබේ රාජකාරිය හරියට වෙලා තියෙනවද නැද්ද?
 
සාක්ෂිකාරිය: මේ ලේඛන අනුව හරියට වෙලා තියෙනවා. 
 
 
"අදාළ භාණ්ඩ තොගය බාර ගැනීමේදී  සාම්පල සහ ලේඛන භෞතිකව පරීක්ෂා කර ගැනීමක් මිස රසායනාගාර පරීක්ෂාවක් සිදු කර ගැනීමේ හැකියාවක් වෛද්‍ය සැපයුම ඒකකයට තිබේදැ?"යි  නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "අදාළ ඖෂධය සම්බන්ධයෙන් වන පිළිවිතර හා ලේඛන භෞතිකව සලකා බලන බව" සාක්ෂිකාරිය කියා සිටියාය. අදාළ ලේඛන සමග
CAO පත්‍රය ලැබෙන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"WOR සම්බන්ධයෙන් ඔබට චෝදනාවක් එල්ල වුණා. එම සහතිකය සම්බන්ධයෙන් ඔබලාට පූර්ව අවබෝධයක් හෝ දැනුමක් ලබා දී තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එවැනි දැනුමක් ලබා දී නොතිබූ බවය. 
 
WOR සහතිකයේ පිටපතක් ලැබෙන අතර එහි සඳහන් කරුණු හා ලේඛන වල ඇති කරුණු සලකා බලා සෑහීමකට පත් වී බඩු භාර ගැනීම සිදුකරන බව ඇය එහිදී සඳහන් කළාය. 
 
WOR සහතිකයේ නිවැරදි භාවය පරීක්ෂා නොකළ බවට චෝදනා කරමින් තමන් වැඩ තහනමකට ලක්වූ බව සඳහන් කළ සාක්ෂිකාරිය ඊට අදාළව අභ්‍යන්තර පරීක්ෂණයක් පැවති බව කියා සිටියාය. තොග පාලක නිලධාරි සුජිත්ට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක් පැවතියා ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවත් තමන්ට එරෙහි විමර්ශන අවසන් වීමට පෙර සේවයේ පිහිටවීම සිදු කළ බවත් සාක්‍ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය. 
 
WOR සහතිකය නිකුත් කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් වන අතර එය පරීක්ෂා කර බැලීමේ හැකියාවක් තමන්ට නොමැති බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
අදාළ භාණ්ඩ තොග භාර ගැනීම නිසි පරිදි සිදුවී ඇති බවද ඒ අනුව ඉදිරි කටයුතු  සිදුවී ඇති බවද සඳහන් කළ සාක්ෂිකාරිය රිටොප්සි මැබ් ඖෂධ තොගය සම්පූර්ණයෙන්ම බාර ගැනීම තමා විසින් සිදු කළ බවද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය තොග තුනක් බාර ගැනීම තමන් විසින් සිදුකළ බවද ඇය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය.
 
එම ඖෂධ භාර ගැනීම නිවැරදිව සිදු කර ඇති බව ලේඛනවල සඳහන් වන බවද ඇය කියා සිටියාය. 
 
"අදාළ ඖෂධ තොගය පමා වී ලබා දී තිබූ තොගයක් ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී මාස 6-9 අතර කාලයක් තොග පවත්වාගත යුතු බවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී තිබූ උපදේශය අනුව පමා වී භාර දුන් තොගයද භාර ගැනීමට සිදු වූ බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ තොගය පමා වී ලබා දී ඇති බවද ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව තොග පාලක නිලධාරී සුජිත් විසින් සහකාර අධ්‍යක්ෂකවරිය හරහා ඉහළ නිලධාරීන්ට දැනුම් දී ඇති බව සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ නීතිඥවරයා රිටොප්සි මැප් ඖෂධය පමා වී ලැබුණු තොගය භාර ගැනීමේදී එවැනි කටයුත්තක් කළේ දැයි සාක්ෂිකාරිය ගෙන් විමසා සිටියේය. 
 
ඖෂධ තොග පවත්වාගත යුතු බවට ලැබුණු උපදෙස මත තමන් කටයුතු කළ බවත් පමා වී ලැබුණු තොගය භාර ගැනීම සම්බන්ධයෙන් වෙනම උපදෙස් ලබා ගැනීමක් සිදු නොකළ බවත් සාක්ෂිකාරිය එහිදී ප්‍රකාශ කළාය. 
 
"එහිදී සහකාර අධ්‍යක්ෂකවරියක් ලෙස ඔබ තමන්ගේ බල සීමාව ඉක්මවා යමින් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් ලබා ගැනීමකින් තොරව අදාළ භාණ්ඩ තොගය භාරගෙන ඇති බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එය ප්‍රතික්ෂේප  කළාය. 
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ 11වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
 
එහිදී නීතිඥවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ වැඩ තහනමට ලක්ව සිටි තමන් මේ වන විට ජාතික රෝහලේ සේවය කරන බවත් ඖෂධවේදී සිසුන්ට දේශන පැවැත්වීමේ කටයුතු  සිදු කරන බවත්ය. 
 
"ඒ අනුව ඔබට සිසුන්ට ඉගැන්වීමට තරම් ඔබ කළ රාජකාරිය පිළිබඳව පුළුල් දැනුමක් තිබෙනවාද ?ඖෂධ ලබා ගැනීම, ගබඩා කිරීම, සහ කළමනාකරණය සම්බන්ධයෙන් දැනීමක් තිබෙනවා නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැනි දැනුමක් තමන්ට ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"ඖෂධ අතිරික්තයක් යනු කුමක්දැ?"යි  නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය සඳහන් කළේ ඖෂධ වැඩිපුර ප්‍රමාණයක් පැවතීම අතිරික්තයක් ලෙස සැලකිය හැකි බවය. 
 
business meeting office
එක ඖෂධයක ඇනවුම් දෙකක් වෛද්‍ය සැපයුම් ඒකකට එකවර ලැබිය හැකිදැයි නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව තීරණය කිරීම MSD සහ spc ආයතනය සමඟ පවත්වන ඖෂධ සමාලෝචන රැස්වීම්වලදී සිදුකරන බවය. අනවශ්‍ය ලෙස ඇනවුම් නිකුත් කිරීම නිසා අතිරික්තයක් ඇතිවිය හැකි බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
"තමන්ට ඕන ඕන විදියට ඇනවුම් කරන්න බෑනේ. ඒක සාමූහික තීරණයක් නේද යන්නේ" යැයි නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ කමිටු රැස්වීම්වලදී ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නා බවය
 
"හැම ඖෂධයකට ම ආවේණික ජීව කාලයක් තිබෙනවා නේද? ආයු කාලයෙන් සියයට 65 ක් හෝ 70 ක් නොමැති නම් ලංකාව ඇතුළටවත් එම ඖෂධ ගැනීම සිදුකරන්නේ නෑ නේද? යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළේය. සාක්ෂිකාරිය එය නිවැරදි බව ප්‍රකාශ කළාය. 
 
හදිසි ප්‍රසම්පාදන කටයුතු වලදී ඖෂධවල ජීව කාලය අවම අතර රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ලබාගන්නා ඖෂධ මාස 24 ක් වන පරිදි ඇනවුම් කරන බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
නීතිඥවරයා: හිඟයකින් තොරව ඖෂධ සැපයීම රජයේ වගකීමක්?
 
සාක්ෂිකාරිය:  රජයේ වගකීම ගැන මා දන්නේ නෑ 
 
නීතිඥවරයා :ඔබ රජයේ නිලධාරියෙක් නේද? 
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී
 
නීතිඥවරයා රටේ ඖෂධ නැති උනොත් මරණ සිදු වෙන්න පුළුවන්ද?
 
සාක්ෂිකාරිය:  එසේ විය නොහැකි ස්වාමීනි, ඖෂධ කළමනාකරණය කරන්නේ ඒ සඳහා යි
 
නීතිඥවරයා ඖෂධ කළමනාකරණයේ දී  FIFO යන ක්‍රමවේදයක් තිබෙනවාද? යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර එවැනි ක්‍රමවේදයක් තමන් නොදන්නා බවත් "first expired ,first out" යන ක්‍රමවේදයක් තමන් දන්නා බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය. එය සිද්ධාන්තයක් ලෙස ඖෂධ කළමනාකරණයේ දී භාවිතා කරන බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
medicine hospital
 
වෛද්‍ය සැපයුම් ඒකකය තුළ ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා spc ආයතනය සහ msd ආයතනය ඖෂධ සමාලෝචන රැස්වීම් සති දෙකෙන් දෙකට පවත්වන බව සඳහන් කළ සාක්ෂිකාරිය එවැනි ඖෂධ ශුන්‍ය වන අවස්ථාවකදී ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදුකිරීම සහ ආයතන අතර ඖෂධ හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව කියා සිටියාය.  
 
ප්‍රශ්න ගත රිටොප්සිමැබ් ඖෂධ තොගය සඳහා වන Oder list එක තොග පාලක නිලධාරියා විසින් සකස්කර ප්‍රධාන තොග පාලක නිලධාරියා විසින් නිර්දේශ කර තමන් වෙත එවන බවද තමන් එය නිර්දේශ කර අධ්‍යක්ෂකවරයා වෙත යොමු කර බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. එම ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කළ තොග පාලක නිලධාරී ප්‍රියන්ත කස්තුරු සිංහ මේ වන විට විදේශගත වූ ගතව සිටින බව දන්නා අතර අදාළ ඖෂධ තොග සම්බන්ධයෙන් pronto පද්ධතිය හරහා පරීක්ෂා කිරීමේ හැකියාව ඔහුට තිබූ බව ඇය සඳහන් කළාය.  
 
නීතිඥවරයා: ප්‍රධාන තොග පාලක නිලධාරී නන්දන බණ්ඩාරටත් පද්ධතිය හරහා එම තොරතුරු පරීක්ෂා කිරීමේ හැකියාව තිබුණා? 
 
සාක්ෂිකාරිය: ඒ සම්බන්ධයෙන් ලේඛන තිබුණොත් බලන්න පුළුවන්
 
නීතිඥවරයා: ඇයි ඔබ එය හංගන්නේ? සාමාන්‍ය තොග තත්ත්වය ඔහුටත් බලන්න පුළුවන් බව තමයි මම කියන්නේ? 
 
සාක්ෂිකාරිය : ස්වාමීනී මම ප්‍රතික්ෂේප කරනවා 
 
නීතිඥවරයා: මොකක්ද ප්‍රතික්ෂේප කරන්නේ?
 
සාක්ෂිකාරිය :හංගනවා කියන කාරණාව.
 
නීතිඥවරයා: නන්දන බණ්ඩාරට එම තොග බැලීමට හැකියාව තිබුණා නේද?
 
සාක්ෂිකාරිය: ඒ පිළිබඳව මා දන්නා දන්නේ නෑ 
 
නීතිඥවරයා: ඔබ දන්නා කරුණු නොදන්නා බවට සහ සාක්ෂි දෙන සාක්ෂිකාරියක් බවට මා යෝජනා කරනවා 
 
සාක්ෂිකාරිය:  ස්වාමීනී ඒ මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. 
 
නීතිඥවරයා :ඔබටත් එම තොගය පිළිබඳව තොරතුරු බලා ගැනීමේ හැකියාව තියෙනවා 
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී. 
 
නීතිඥවරයා: අදාළ ඖෂධ තොගය බාර ගැනීම සිදු කළේ තොග පාලක නිලධාරි  ප්‍රියන්ත කස්තුරි සිංහ මහතා 
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී
 
නීතිඥවරයා: ඔහු මේ අධිකරණයේ කොහේ හෝ ඉන්නවද?
 
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනී 
 
නීතිඥවරයා තොග පාලක විසින් පරීක්ෂා කළ තොගය අනුමත කළේ ප්‍රධාන තොග පාලක නිලධාරී විසින්?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී 
 
නීතිඥවරයා: ඔහු මේ අධිකරණයේ ඉන්නවද?
 
සාක්ෂිකාරිය: නෑ, ස්වාමීනී 
 
නීතිඥවරයා: ඔබ තමයි මෙම භාණ්ඩ ලබා ගැනීමට නිර්දේශ කළේ?
 
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනි 
 
නීතිඥවරයා: ඔබ සාක්ෂි දෙනවා?
 
අදාළ තොගය අනුමත කිරීම වෛද්‍ය සුදර්ශන මහතා විසින් සිදුකර ඇති අතර පවතින තොග තත්වයන් පිළිබඳව පද්ධතිය ඔස්සේ කරුණු සලකා බැලීමට අධ්‍යක්ෂකට සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකට හැකියාව ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
Signingloandocuments
 
වෛද්‍ය සූදර්ශන මහතාගේ අත්සන ඇති බවට සාක්ෂිකාරිය විසින් හඳුනාගන්නා ලද ලේඛණය ඇයගේ අවධානයට යොමු කර නීතිඥවරයා එහි වෛද්‍ය සුදර්ශන මහතා විසින් අත්සන තබා සිදුකර ඇත්තේ කුමක්දැයි විමසීමක් කළේය. එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය ඔහු විසින් එය යොමු කිරීමක් සිදුකර ඇති බවය. 
 
"එච්චරයි නේද ඔහු කර තියෙන්නේ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "එසේය ස්වාමීනී" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
ඖෂධ හතරක් සම්බන්ධයෙන් තොග බාර ගැනීමට අදාළව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගෙන් පරිපාලන නියෝගයක් ලැබී තිබූ අතර තමන් එය ඉහළ නිලධාරි සුදර්ශන මහතා වෙත යොමුකළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. "එහි තනි ඖෂධයක් ගැන සඳහනක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර "තනි ඖෂධයක් සම්බන්ධයෙන් එහි සඳහන් නොමැති බව"ට සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
නිලධාරියකු නොමැති අවස්ථාවක හෝ ඔහු නිවාඩු සිටින අවස්ථාවක ඒ හා සමාන තනතුරක සිටින නිලධාරියකු විසින් එම රාජකාරී ආවරණය කිරීම සිදුකරන බවත් එය තහනම් කර නොමැති කරුණක් බවත් නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේය.  
 
"WOR නිවැරදිතාවය පරීක්ෂා කිරීමකින් තොරව ඖෂධ භාරගත් බවට තමාට එල්ල වී ඇත්තේ රාජකාරීමය චෝදනාවක් වන බවද ,ඊට අදාළව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවද නීතිඥවරයා යොමු කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය. "ඔබ වැරදිකරු වුවහොත් දඬුවම් ලැබීමට නියමිතයි නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "එසේය ස්වාමීනි" යනුවෙන් ඇය පිළිතුරක් ලබා දුන්නාය.  
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ 7 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්දු මනතුංග ආරච්චි මෙනෙවිය සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළාය. 
 
යම් ඖෂධයක ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඒ පිළිබඳව quality loge හරහා පරිගණක පද්ධතිය ඔස්සේ දැනුම් දීමේ හැකියාවක් රෝහල් වලට ඇති බවට මූලික සාක්ෂි විභාගයේදී  ලබා දුන් සාක්ෂිය  සම්බන්ධයෙන් හරස් ප්‍රශ්නයක් විමසූ නීතිඥවරිය "එලෙස quality loge මගින් ඖෂධයක් දක්වා ඇති අවස්ථාවක ඒ පිළිබඳව දැන ගැනීමට tag එකක් පරිගණක පද්ධතිය තුළ තිබෙනවා දැ"යි විමසීමක් කළාය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියේ තමන් සේවය කරන කාලයේදී කාරණයට අදාළව පරිගණක පද්ධතිය සැකසෙමින් තිබූ බවය. 
 
"ඔබ සේවාවක් තහනමකට ලක් වීමෙන් පසුව නැවත සේවයේ පිහිටුවීමට ගන්නා ලද ක්‍රියාමාර්ගය කුමක්ද ?" යනුවෙන් නීතිඥවරිය විමසා සිටි අවස්ථාවේදී අදාළ චෝදනා පත්‍රයට දිගින් දිගටම අභියාචන ඉදිරිපත් කළ බවත්, රාජ්‍ය සේවා කොමිසමට සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එහි පිටපත් ඉදිරිපත් කළ බවත් සාක්ෂිකාරිය සඳහන් කළා ය.
 
"ඔබ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හමු වුණාද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේ දී සාක්ෂිකාරිය සඳහන් කළේ මහජන දිනයේදී ඔහු හමුවිය හැකි බවය. 
 
"රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා හමු වුණාද ?" යනුවෙන් නීතිඥවරිය ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ එලෙස ඔහු හමුවිය නොහැකි බවය. එහෙත් රාජ්‍ය සේවා කොමිසමට ගොස් තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළ බවත් එය දිගින් දිගටම එය යාවත්කාලීන කළ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ඔබ අතිරික්ත තොග ගැන සඳහන් කළා නේද? එහිදී ලැබීමට ඇති තොග ගණනය කරන්නේ කෙසේද?"යනුවෙන් නීතිඥවරිය විමසා සිටි අවස්ථාවේදී "ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දන්නා බව" සාක්ෂිකාරිය කියා සිටියාය MSD සහ SPC ආයතන සති දෙකකට වරක් පවත්වන ඖෂධ සමාලෝචන රැස්වීම්වලදී එම කටයුතු අනාවරණය වන බවද තොග මට්ටම zero වන තෙක් නොසිටීමට පිළියමක් ලෙස ප්‍රාදේශීය මිලදී ගැනීම් සිදුකිරීමට සහ ආයතන අතර ඖෂධ හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
සාක්ෂිකාරියගේ අවධානයට ලේඛන ගණනාවක් ඉදිරිපත් කළ නීතිඥවරිය ඒවා ඇසුරෙන් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළාය. 
 
මාස 6-9 කාලයක් ඖෂධ තොග පවත්වා ගැනීමට තීරණය කර ඇත්තේ සාක්ෂිකාරිය ද සහභාගී වූ අදාළ කමිටු රැස්වීමකදී බව ලේඛනයක් මගින් පෙන්වා සිටි නීතිඥවරිය සම්බන්ධයෙන් සාක්ෂිකාරියකින් කරුණු විමසා සිටියාය
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ රැස්වීමේදී ගන්නා තීරණ අනුව එය සිදුකර ඇති බවය. 
 
"ඒ අනුව අදාළ තීරණය නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගේ තනි තීරණයක් නොවෙයි, රැස්වීමකදී ගන්නා ලද සාමූහික තීරණයක් නේද?" යනුවෙන් නීතිඥවරිය විමසා සිටි අවස්ථාවේදී ලේඛනවල එවැන්නක් සඳහන් වන බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
හත්වෙනි විත්තිකරු වෙනුවෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීම හමාර කිරීමත් සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදි.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය,(විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න    

 

whatsapp 202507155

නවතම පුවත්