leader s

සෞඛ්‍ය ඇමතිවරයාගේ කාර්යාලයේ පැවති බව කියන රැස්වීම්වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහභාගි වූ බවට මතකයක් නොමැති බව පවසමින් ඔහු මෙම නඩුවෙන් පිටතට තැබීමට සාක්ෂිකාරිය විසින් උත්සාහ දරණ බව නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යෝජනා කළේය.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂ වරියක වූලසිකා චාන්දනී වන්නිආරච්චි මහත්මිය සාක්ෂි ලබාදෙමින් සිටි අවස්ථාවේදී ඇය වෙත යොමු වූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම රැස්වීම් වලට සහභාගි වූ බවට තමන්ට මතකයක් නොමැති බවට කිහිප වතාවක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නීතිඥවරයා මෙම යෝජනාව කළේය. 

 
ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම සම්බන්ධයෙන් විභාග වන මෙම නඩුවෙහි පැමිණිල්ලේ 173 වන සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදෙමින් සිටියදී 08 වන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා හරස් ප්‍රශ්න විමසීම සිදු කළ අවස්ථාවේදී ඇය මෙම ප්‍රකාශය සිදු කළාය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ නැවත නඩුව විභාගය සඳහා කැඳවන ලදී.
 
එහිදී මෙම නඩුවේ 06 වෙනි විත්තිකරු සහ 09 වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමක් මෙම සාක්ෂිකාරියගෙන් සිදු නොකරන බව නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ. 
 
නඩුවෙහි සහ 10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
සීමාවාසික ඖෂධවේදිනියක ලෙස ගම්පහ මූලික රෝහලේ සේවය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධවේදිනියක ලෙස තමන්ට පත්වීම් ලැබුණු අතර අවිස්සාවේල්ල මූලික රෝහල, කාසල් වීදිය කාන්තා රෝහල, බදුල්ල මහ රෝහල ,අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය,යනාදී ස්ථානවල සේවය කිරීමෙන් අනතුරුව 2011 වසරේ දී වෛද්‍ය සැපයුම් ඒකකයේ සේවයට එක් වූ බව සාක්ෂිකාරිය එහිදී ජනාධිපති නීතිඥවරයා මතු කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය. 
 
අනතුරුව  2021 වසරේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරිය ලෙස පත් වූ අතර 2020 නමවෙනි මස තමන් වැඩ තහනමකට ලක් වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
"ඔබේ සේවා කාලය තුළ ඖෂධවේදිනියක ලෙස ඖෂධ ගැන ප්‍රාමාණික අන්දමේ දැනුමක් තිබෙනවා කීම නිවැරදිද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ තමන්ට එවැනි දැනීමක් ඇති බවය.  
"සහකාර අධ්‍යක්‍ෂකවරියක ලෙස රැස්වීම්වලට සහභාගි වූ බව ඔබ සාක්ෂි ලබාදීමේදී ප්‍රකාශ කළා.තත්ත්ව පාලන අංශයේ සේවය කරන කාලයේදී ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් සලකා බැලුවාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්නයක් විමසා සිටි අතර සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ "ගුණාත්මක භාවය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු නොකළ බව "ය. ඖෂධ සමාලෝචන කමිටු රැස්වීම් පැවතීම සහ රැස්වීම් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම සහ ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීම සිදුකළ බව ඇය ප්‍රකාශ කළාය.
 
"ඖෂධ භාර ගැනීම  කළ බවට ඔබ සාක්ෂි ලබා දුන්නා.07,08,09,10,21 යන ගබඩා භාරව කටයුතු කළ බවට ප්‍රකාශ කළා. ඒ ආකාරයේ ගබඩා කීයක් තියෙනවාද?" යන ප්‍රශ්නය ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ 1-10 දක්වාත්  21 සහ 310 ලෙස හඳුන්වන ලද ගබඩා තිබුණු බව ය. එම ගබඩා සහකාර අධ්‍යක්ෂකවරුන් ට වෙන්කර  තිබූ අතර ඒවාට නියමිත ඖෂධ ද වෙන් වෙන්ව තිබූ බව ඇය කියා සිටියාය.
 
අධිකරණය හමුවේ ලකුණු කර ඇති  පැ. 398 වන ලේඛණය සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ ජනාධිපති නීතිඥවරයා එහි සඳහන් ඖෂධය ලබාදීමට ටෙන්ඩරය පිරිනැමීමේ ලිපියක්  ලෙස එය හඳුනා ගත හැකිදැයි සාක්ෂිකාරියගෙන්  විමසීමක් කළේය. එය ප්‍රදානය කිරීමේ ලිපියක් ලෙස හඳුනාගත හැකි බව සාක්ෂිකාරිය එහිදී ප්‍රකාශ කලාය.
 
10 v 63 ලෙස අධිකරණය හමුවේ ලකුණු කර ඇති ලේඛනය සාක්ෂිකාරිය වෙත පෙන්වා සිටි ජනාධිපති නීතිඥවරයා "එහි 2022 සැප්තැම්බර් මස 05 වැනිදා පැවති රැස්වීමක සටහන් තිබෙනවා දැ"යි විමසා සිටි අතර සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි සටහනක් ඇති බවත් තමන් ඊට සහභාගි වූ බවට එහි සඳහන්ව ඇති බවත්ය. 
 
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් තබන ලද සටහනක් ද එහි ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය 
 
"අදාළ රැස්වීමට සමන් රත්නායක මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහභාගි වුණාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර මෙම රැස්වීම් වාර්තා අනුව ඔවුන් ඊට සහභාගි වී ඇති බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. 
 
"වෛද්‍ය සැපයුම් අංශයේ කවුද ඊට සහභාගි වූයේ?" යැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය අදාළ ලේඛනයේ  සඳහන් නම් කියවා සිටියාය. 
 
ඒ අනුව වෛද්‍ය හේරත්, වෛද්‍ය සුදර්ශන සහකාර අධ්‍යක්ෂක ආර්.ඒ.කේ වීරසේකර සහකාර අධ්‍යක්‍ෂක පී.ඩී.සොලමන් ,අතිරේක අධ්‍යක්ෂක සොයිසා,  ප්‍රධාන තොග පාලක ජේ.ආර්.එස් කුමාර, ප්‍රධාන තොග පාලක නන්දන බණ්ඩාර, ජේෂ්ඨ සෞඛ්‍ය  අධ්‍යක්ෂක  පුෂ්ප කුමාර, සහකාර අධ්‍යක්‍ෂක වන්නි ආරච්චි , ප්‍රධාන තොග නිලධාරී විජේසිංහ යන අය ඊට සහභාගි වී ඇති බවක් සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
මෙහි වන්නි ආරච්චි යනුවෙන් සඳහන් වන්නේ ඔබේ නම නේද? යන්න ජනාධිපති නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් ඊට සහභාගි වූ බව එහි  සඳහන් වන බව ය.
 
"ඊට පරිබාහිරව SPC ආයතනයේ සභාපති සරත් ලියනගේ ඊට සහභාගී වී තිබෙනවා නේද?' යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසීමක් කළ අතර ඔහු ඊට සහභාගිවී ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
එහි සභාපතිත්වය එවකට සිටි සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් දරා ඇති බවද ලේඛනයෙහි සඳහන් වන බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය.
 
 
සාකච්ඡාවේදී කරුණු 07 ක් සැලකිල්ලට ගත් බවත් ඊට අදාළ තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට නියමිත නිලධාරියා කවුරුන්ද යන්න පිළිබඳවත් අදාළ ලේඛනයේ සඳහන් වන බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළ සාක්ෂිකාරිය එම රැස්වීම සම්බන්ධයෙන් තමන්ට මතකයක් නොමැති බවද කියා සිටියාය. 
 
එමෙන්ම එම රැස්වීමට සමානවම 2022 සැප්තැම්බර් මස 10 වැනිදා පැවති රැස්වීම් සටහන සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ ජනාධිපති නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඇයට යොමු කළේය. 
 
ජනාධිපති නීතිඥවරයා: මෙම 10 v 53  දරණ ලේඛණය පෙර රැස්වීමකට සමානවම වාර්තා කළ සටහනක් නේද? 
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී 
 
ජනාධිපති නීතිඥවරයා: එය අත්සන් කළේ කවුද?
 
සාක්ෂිකාරිය: සෞඛ්‍ය ලේකම් විසින් එහි දිනය 2022/ 10/10 ලෙස සඳහන් වෙනවා. 
 
ජනාධිපති නීතිඥවරයා: එම රැස්වීම කොහෙද පවත්වා තියෙන්නේ?
 
සාක්ෂිකාරිය  :ඇමති කාර්යාලයේ පවත්වා ඇති බව සඳහන් වෙනවා. මූලාසනය ගෙන ඇත්තේ එකට සෞඛ්‍ය ඇමතිව සිටි වෛද්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතායි.
 
ජනාධිපති නීතිඥවරයා: වෛද්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද?
 
සාක්ෂිකාරිය  : ආචාර්ය ස්වාමීනි ඊට වෛද්‍ය සමන් රත්නායක මහතාත් සහභාගි ව තිබෙනවා
 
"ඊට සහභාගිවී සිටි වෙනත් අය කවුද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළ සිටි අවස්ථාවේදී වෛද්‍ය සැපයුම් අංශයෙන් තමන් ඇතුළුව ඊට සහභාගී වූ නිලධාරීන්ගේ නාම ලේඛනය කියවා සිටි සාක්ෂිකාරිය spc  ආයතනයෙන් විජිත් ගුණසේකර මහතා ද සරත් ලියනගේ සහ විල්ප්‍රඩ් මහතා ද සහභාගි වූ බවට ප්‍රකාශ කළාය. 
 
එම රැස්වීමේදී කරුණු 10 ක් සාකච්ඡාවට ගත් බව අදාළ සටහනේ දැක්වෙන අතර  එක් එක් කාරණා විවිධ නිලධාරීන් සම්බන්ධ කරගෙන ගත් කාරණා බවට සඳහන් වන බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
 එහිදී ගන්නා ලද තීරණ සාමූහික තීරණ සහ එහි වගකීම සාමූහික බව සඳහන් වනවා නේද? යනුවෙන් මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකාරිය එම තීරණ සාමූහික තීරණ බවට  ප්‍රකාශ කළාය. 
 
සාක්ෂිකාරිය විසින් භාරගන්නා ලද රිටොප්සිමැබ් ඖෂධයට අදාළ ඉන්වොයිස් පත්වල අංක සම්බන්ධයෙන් විමසීමක් කළ ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ ගැනුම් ඇනවුම් හඳුනාගත හැකිදැයි සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය. 
 
එම ගැනුම් ඇනවුම තමන්ට හඳුනාගත හැකි බවත් භාණ්ඩ භාර ගැනීමේදී ගැනුම් ඇනවුම සැලකිල්ලට ගත් බවත් සාක්ෂිකාරිය කියා සිටියාය .අධිකරණය හමුවේ පැය 334 ලෙස ලකුණු කර ඇත්තේ එම ගැනුම් ඇනවුම බවද අයිතම 2233ක් සැපයීමට නියමිතව තිබූ බවද ඊට අදාළ වන කොන්දේසි ගණනාවක්  එම ගැනුම් ඇනවුමේ මේ සඳහන් වන බවත් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. 
 
"ගැනුම් ඇනවුම සකස් වන්නේ ටෙන්ඩර් ප්‍රදානය කිරීමකින් පසුව නේද"යි විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් පසුව ටෙන්ඩර් ප්‍රදානය සිදුවන බවය . එහි තීරණය මත පිරිනමන ලද awarding letter එක පදනම් කරගෙන ගැනුම් ඇනවුම් නිකුත් කරන බවද සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය. 
 
සාමාන්‍යයෙන් ගැනුම් ඇනවුමක් නිකුත් කරන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට පෙර බවද එම ගැනුම් ඇනවුම සැපයුම් ගණකාධිකාරීවරයා විසින් සකස් කරන බවද සාක්ෂිකාරිය පසුව කියා සිටියාය. 
 
immuniglobin mecicine
 
"ඔබ භාරගත්තේ රිටොප්සි මැබ්" ඖෂධය පමණද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර එම ඖෂධයට අමතරව හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය අවස්ථා තුනකදී භාරගත් බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"එහිදී ඉන්වොයිස් පත හා ගැනුම් ඇනවුම ප්‍රධානය කර ලිපියත් බැලුවා ද" යන්න ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය "ස්වාමීනි මුල්ම තොගය බලන අවස්ථාවේදී තමයි ඒ පිළිබඳව බලන්න ඕනේ ,එහිදී එම ලේඛන පරීක්ෂා කළ යුතුයි .මෙහි තිබෙන්නේ ඊට පසුව ආ තොග "යන පිළිතුර ලබා දුන්නාය.
ජනාධිපති නීතිඥවරයා: ඔබ මොනවද මෙහිදී පරීක්ෂා කළේ?
 
සාක්ෂිකාරිය: Invoice පත,ඖෂධය හා සුජිත් මහතා විසින් ඉදිරිපත් කළ අනෙකුත් ලේඛන බැලුවා
 
ජනාධිපති නීතිඥවරයා: ගැනුම් ඇනවුම බැලුවාද?
 
සාක්ෂිකාරිය:  මතක නෑ ස්වාමීනි, සුජිත් මහතා එම ලේඛන ඉදිරිපත් කරන්නේ 
 
 ජනාධිපති නීතිඥවරයා: ඔබ අයිතම 1200ක් බාරගත්තා 
 
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනි 
 
ජනාධිපති නීතිඥවරයා: ඔබ මෙම අධිකරණයේ සාක්ෂි දීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේදී රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් ප්‍රකාශ කළා. ඔබ භාරගත් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ  ගැනත් සඳහන් කළාද?
 
සාක්ෂිකාරිය: මගෙන් ඒ පිළිබඳව විමසූයේ නෑ ස්වාමීනි 
 
ජනාධිපති නීතිඥවරයා: ඔබ භාර ගත් එම ඖෂධයේ තොග සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ නැද්ද?
 
සාක්ෂිකාරිය: රිටොප්සි මැබ් ඖෂධය සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න කළේ පොදුවේ අනිත් ඖෂධ ගැන කට උත්තරයක් ගත්තද කියලා මතක නෑ 
 
ජනාධිපති නීතිඥවරයා: එම ඖෂධය ගැන ඔබෙන් ප්‍රශ්න නොකළ බවට මා යෝජනා කරනවා 
 
සාක්ෂිකාරිය: මට මතක නෑ
 
ජනාධිපති නීතිඥවරයා: ඔබ බාරගත් රිටොප්සිමැබ් මැප් ඖෂධය 2022/11/30 දරණ ගැනුම් ඇනවුම ප්‍රකාරව සැපයිය යුතුව තිබූ ඖෂධයක්? 
 
සාක්ෂිකාරිය: එසේ ස්වාමීනි 
 
මෙම සංවාදයෙන් අනතුරුව 10 වෙන විත්තිකරු වෙනුවෙන් සිදුකළ හරස් ප්‍රශ්න විමසීම අවසන් බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය. 
 
ඒ අනුව සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම න් 08 වන විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල  මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සිදු කළේය. 
 
meeting minutes
 
සාක්ෂිකාරිය විසින් සාක්ෂි දෙන අවස්ථාවේදී 125 වෙළුමේ ඇතුළත් පැ 401 දරණ මිනිට් සටහන සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් බව සිහිපත් කළ නීතිඥවරයා "එය වෛද්‍ය හේරත් විසින් යොදන ලද මිනිට් සටහනක් දැ"?යි විමසීමක් කළේය. 
 
අදාළ ලේඛනයේ එලෙස සඳහන් වන බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"එම මිනිට් සටහනට අනුව 2023/03/27 දින එවකට සිටි සෞඛ්‍ය ඇමතිවරයා සමග සිදුවුණා යැයි කියන රැස්වීමක් සම්බන්ධයෙන් එහි සඳහන්ව තිබෙනවා නේද? "යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ"  එසේය ස්වාමීනි එදින පැවති රැස්වීමක් පිළිබඳව එහි සඳහන් වෙනවා." යනුවෙනි. 
 
නීතිඥවරයා: නමුත් එම රැස්වීමට ඔබ සහභාගි වූයේ නෑ?
 
සාක්ෂිකාරිය: මතක නෑ ස්වාමීනී 
 
නීතිඥවරයා :ඔබ මිනිට් සටහන් දැක්කෙ ත් නෑ?
 
සාක්ෂිකාරිය :එම සටහන් පෙන්නුවොත් මට ඒ ගැන කියන්න පුළුවන් 
 
නීතිඥවරයා: එහෙම රැස්වීමක් තිබ්බද නැද්ද කියලා තමාගේ පුද්ගලික දැනීමක් නෑ නේ?
 
සාක්ෂිකාරිය :මතකයක් නෑ ස්වාමීනී 
 
නීතිඥවරයා මහත්මිය ,මම අහන්නේ බොහොම සරල ප්‍රශ්නයක්, මතක නැද්ද ?දන්නේ නැද්ද?
 
සාක්ෂිකාරිය :ස්වාමීනි මා ඊට සහභාගි වුණාද? කියලා මතක නෑ 
 
නීතිඥවරයා :ඔබ එවැනි රැස්වීමක් තිබුණද කියල දන්නෙත් නෑ?
 
සාක්ෂිකාරිය : මෙම මිනිට් සටහනේ එවැනි රැස්වීමක් ගැන සඳහන් වෙනවා 
 
නීතිඥවරයා ඔබ ඒ බව කියන්නේ මේ මිනිට් සටහන නිසා පමණයි. ඒ ගැන ඔබට පුද්ගලික දැනීමක් නෑ?
 
සාක්ෂිකාරිය: එසේය ,ස්වාමීනී
 
නීතිඥවරයා: එහෙම රැස්වීමක් තිබුණා නම් ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා ,ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහභාගී වන බව තියෙනවා. 
 
සාක්ෂිකාරිය : එසේය ස්වාමීනී 
 
නීතිඥවරයා :spc සභාපතිවරයා සහ කාර්ය මණ්ඩලය ඊට සහභාගී වූ බවත් තියෙනවා 
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි 
 
 නීතිඥවරයා: වෛද්‍ය සැපයුම් ඒකකයේ කාර්ය මණ්ඩලයත් ඊට සහභාගි වුණා?
 
සාක්ෂිකාරිය :එසේය ස්වාමීනී 
 
නීතිඥවරයා: ඔය කියන රැස්වීම තිබුණා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිවයුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊට සහභාගීව තිබෙනවා?
 
සාක්ෂිකාරිය එසේය ස්වාමීනී 
 
නීතිඥවරයා: ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහභාගීව තිබුණා නේද?
 
සාක්ෂිකාරිය: ඒ ගැන දන්නේ නෑ 
 
නීතිඥවරයා: ඔබ ඔහුගේ කාර්ය භාරය දන්නවද ? ඔබ සහකාර අධ්‍යක්ෂකවරියක් නේද?
 
සාක්ෂිකාරිය: ස්වාමීනී මා වෛද්‍ය සැපයුම් ඒකකයේ වැඩ කරන්නේ. මා දන්නේ අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බව පමණයි 
 
නීතිඥවරයා: මා යෝජනා කරනවා අසේල ගුණවර්ධන මහතාව මේ නඩුවෙන් පිටත තියන්න බලාගෙන ඔබ සාක්ෂි දෙන බව? 
 
සාක්ෂිකාරිය :නැත ස්වාමීනි ඔහු ඉහළ නිලධාරියෙක් බව පමණයි මම දන්නේ 
 
නීතිඥවරයා :කෙසේ වුවත් මෙවැනි රැස්වීමක තිබුණද කියලා ඔබ පුද්ගලික දැනුමෙන් දන්නෙත් නෑ?
 
සාක්ෂිකාරිය: මතකයක් නෑ ස්වාමීනී 
 
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 72 ගොනුවේ පැ. 270 ලෙස සටහන් කර ඇති ලේඛනයක් සාක්ෂිකාරිය වෙත යොමු කළ නීතිඥවරයා එහි  සඳහන් දිනය කුමක්දැයි සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය. 
 
"2022 සැප්තැම්බර් මස 22 වැනි දින" එහි සඳහන් වන බව සාක්‍ෂිකාරිය කියා සිටියාය එහි පළමු ඡේදයේ එවකට සිට සෞඛ්‍ය ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් සඳහන් වන බවද, මසකට අඩු ඖෂධ මාස තුනකට ප්‍රසම්පාදනය කර ලබා ගන්නා ලෙස ද ,එහිදී ලැබීමට ඇති ඇනවුම් නොසලකා සිටින ලෙස ද සඳහන් වන බවද සාක්ෂිකාරිය කියා සිටියාය 
 
"2022 සැප්තැම්බර් 26 දින දරණ ලිපි මෙම තීරණ අනුව සකස් කළ බවට ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී  ඒ පිළිබඳව දන්නා බව සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"නමුත් ඔබ දන්නේ නෑ ඇමතිවරයා සමඟ රැස්වීමක් පැවැත් වූ බව?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ" එවැනි රැස්වීමක් තිබුණාද යන්න සහ එහි සාකච්ඡා වූයේ කුමක්ද යන්න පිළිබඳව නොදන්නා බව"ය. 
 
 
lowyer woman
10 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා හරස් ප්‍රශ්න විමසීමේදී එම රැස්වීමට සහභාගී වූ බවට තමාට මතකයක් නොමැති බවට සාක්ෂිකාරිය ලබාදුන් සාක්ෂිය සිහිපත් කළ නීතිඥවරයා "ඔබ කිව්වා ඒ පිළිබඳව මතකයක් නෑ. සාක්ෂි දෙන්නේ මිනිට් සටහනට අනුව බව?" යනුවෙන් විමසීමක් කළේය. එහිදී සාක්ෂිකාරිය කියා සිටියේ තමන්ට ඒ සම්බන්ධයෙන් මතකයක් නොමැති බවය. එහෙත් එවැන්නක් වාර්තාවේ සඳහන් වන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.  
 
නීතිඥවරයා: 2023/10/10 දින පැවති රැස්වීමක් ගැන හරස් ප්‍රශ්න වලදී ඔබෙන් ඇහුවා එහි ඔබේ නමත් තිබෙනවා?
 
 
සාක්ෂිකාරිය: මට ඒ පිළිබඳව මතකයන් නෑ, මේ මිනිට් සටහන අනුව සාක්ෂි දෙන්න පුළුවන් 
 
නීතිඥවරයා :මේ මිනිට් සටහන දැකලා නෑ නේද?
 
සාක්ෂිකාරිය: මතකයක් නෑ ස්වාමීනී 
 
නීතිඥවරයා :මේ මිනිස් සටහන සම්බන්ධයෙන් කියන්න ඔබ කිසිවක් දන්නේ නෑ?
 
සාක්ෂිකාරිය: වාර්තාවෙන් පිටත කිසිවක් මතක නෑ ස්වාමීනී .දින වකවානු සම්බන්ධයෙන් මතකයක් නෑ කිහිප වරක් ඇමතිතුමා සමග සාකච්ඡාවලට සහභාගි වුණා. 
 
නීතිඥ වරයා: ඔබ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්. ඇමතිතුමා සමග, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා 
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී,  සාකච්ඡා වලට සහභාගි වී තිබෙනවා 
 
එම පිළිතුර ලබාදීම සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදි.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න     

 

whatsapp 202507155

නවතම පුවත්