හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් පිළිබඳව තමන්ට විශේෂ මතකයක් නොමැති බවත්, කැබිනට් සංදේශයක් පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක් ව සිටි ලසිකා චාන්දනී වන්නිආරච්චි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට එරෙහි නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් සිටියදී නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ නැවත නඩුව විභාගය සඳහා කැඳවන ලදී.
එහිදී පෙර අවස්ථාවකදී නිකුත් කරන ලද සිතාසි අනුව මෙම නඩුවේ 3,4,5,53 යන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර පැමිණිල්ලේ සාක්ෂි අංක 53 ලෙස නම් කර සිටින දීපිකා බුලත් සිංහල මහත්මියට අධිකරණයේ රැඳී සිටින ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල පැමිණිල්ල විසින් දැනුම් දෙන අවස්ථාවකදී අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සෙසු සාක්ෂිකරුවන් මුදා හැරීමට තීරණය කළේය.
අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ ඇති ලේඛන කිහිපයක් ලබා දෙන ලෙස 08 වැනි විත්තිකරුගේ නීතිඥවරයා මීට පෙර අධිකරණයෙන් ඉල්ලා ඇති බවය.

ඒ අනුව අධිකරණය විසින් කළ නියෝගයකට අනුව කැබිනට් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ තිබෙන ලිපි ගොනුවේ සහතික පිටපත් ඉදිරිපත් කිරීමට එම ලේකම්වරිය අවසර ඉල්ලා ඇති බව ඔහු අධිකරණයට දන්වා සිටියේය. ඊට අවසර දුන් විනිසුරු මඩුල්ල එම සහතික පිටපත් ලබාගෙන එහි පිටපත් 08 වැනි විත්තිකරුගේ නීතිඥවරයා වෙත ලබාදෙන ලෙස නියෝග කළේය . එම ලේඛන වල මුල් පිටපත් අදාළ සාක්ෂිකාරියගෙන් සාක්ෂි විමසන අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.
අනතුරුව මෙම නඩුවේ සාක්ෂි දෙමින් සිටි පැමිණිල්ලේ 173 සාක්ෂිකාරිය වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක්ව සිටි ලසිකා චාන්දනී වන්නිආරච්චි ගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම 08 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්න විජේසුන්දර මහතා විසින් සිදු කරන ලදී .
"මීට පෙර දිනයේදී සාක්ෂි දෙන විට ඔබ ප්‍රකාශ කළා ඇමතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකට අනෙක් නිලධාරීන් සමග සහභාගි වූ බව නමුත් ඒ පිළිබඳව ඔබට මතක නැති බව කිව්වා යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය කියා සිටියේ ඒ පිළිබඳව තමන්ට විශේෂ මතකයක් නොමැති බවය . ලියකියවිලි බලා සඳහන් දේ බලා පැහැදිලි කළ හැකි බවද ඇය සඳහන් කළාය.
"ඔබට කියන්න පුළුවන් ලියකියවිලි වල තියෙන දේවල් නේ, ඒ හැර මතකයක් නෑ? යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර සාක්ෂිකාරිය ප්‍රකාශ කළේ ඒ පිළිබඳව තමන්ට මතකයක් නොමැති බවය.
පැ.401ලෙස ලකුණු කර ඇති 2023/03/28 දිනැති මිනිට් සටහන ට අවධානය යොමු කළ නීතිඥවරයා එහි සඳහන් 2023/03/27 දිනැති රැස්වීම ගැන නොදන්නා බවට මීට පෙර සාක්ෂිකාරිය කළ සඳහන සම්බන්ධයෙන් විමසූ විට ඇය ඒ පිළිබඳව මතක නැති බව සඳහන් කළාය.
මෙම නඩුවට පාදක වී ඇති ඖෂධ සඳහා අභිලාෂ කැඳවීම 2023/03/27 දින promise.lk වෙබ් අඩවියේ සදහන් කර ඇති බව තමන් නොදන්නා බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
නීතිඥ වරයා :එම අභිලාෂ කැඳවීම ට ලැබුණු ලන්සු විවෘත කළේ ඔක්තෝම්බර් 03 දින කියලා දන්නවාද?
සාක්ෂිකාරිය:නැත ස්වාමීනී, මම ප්‍රසම්පාදන කටයුතු වලට සම්බන්ධ නෑ.
නීතිඥවරයා: ඔබ දන්නවාද 2023 ජනවාරි වන විට මෙම ඖෂධය සම්බන්ධයෙන් වන සැපයුම්කරුවන්ට ප්‍රදානයන් කර අවසන් බව?.
සාක්ෂිකාරිය: මතකයක් තියෙනවා ඊට අදාළ අවසන් ඇනවුම් 2022 වසරේ අවසන් කාලයේ නිකුත් කළ බව.
නීතිඥවරයා: කැබිනට් සංදේශයක් ගැන සඳහන් ලිපිය බලන්න.ඔබ ඒ ගැන දන්නවාද?
සාක්ෂිකාරිය: නෑ
නීතිඥවරයා: ඒ ගැන කිසිම දැනීමක් නෑ?
සාක්ෂිකාරිය:නෑ.
නීතිඥවරයා: එහෙම කැබිනට් සංදේශයක් දැකලවත් නෑ, දන්නෙත් නෑ, අන්තර් ගතය ගැන දෙන්නේත් නෑ?
සාක්ෂිකාරිය:නැත ස්වාමීනී
එම පිළිතුර ලබා දීම සමග 08 වැනි විත්තිකරු වෙනුවෙන් කළ හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලදි.
අනතුරුව මෙම නඩුවේ 12 වන විත්ති කරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා සාක්ෂි කාරිය ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
රිටොප්සි මැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ භාරගත් අවස්ථා ගණන සම්බන්ධයෙන් විමසා සිටි අවස්ථාවේදී අවස්ථා 5 කදී එම ඖෂධ භාර ගත් බව ඇය කියා සිටියාය.
රිටොප්සිමැබ් ඖෂධය භාර ගැනීමට අදාළ ලේඛන පරීක්ෂා කළ නමුත් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ තොග භාර ගැනීමේ දී එවැනි පරික්ෂා කිරීමක් අවශ්‍ය නොවූ බවද එම ඖෂධයේ තොග කිහිපයක් ඊට පෙර භාර ගෙන තිබූ බවත්,WOR ලේඛනය ඉදිරිපත් කරන්නේ මුළු තොගයට ම බවත් ඇය සඳහන් කළාය.
පැ. 135 ලෙස අධිකරණය හමුවේ ලකුණු කර ඇති WOR සහතිකයේ සහ අධිකරණයට ඉදිරිපත් කර ඇති සහතික WOR සම්බන්ධයෙන් නීතිඥවරයා සාක්ෂිකාරිය වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළ අවස්ථාවේදී ඇය සඳහන් කළේ එම ඖෂධ භාරගන්නා අවස්ථාවේදී තමන්ට ලැබී තිබුණේ ඡායාස්ථ පිටපතක් බවත්, එය සංසන්දනය කර බැලීම සඳහා වෙනත් ලේඛන නොලැබුණු බවත් සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය.
WOR පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් 2023 අගෝස්තු මාසයට පෙර නොතිබූ බව සාක්ෂිකාරිය තවදුරටත් සඳහන් කළාය.
මෙම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකාරියට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළේය.
චක්‍රලේඛන නිකුත් කිරීමේ රාජකාරිය සම්බන්ධයෙන් පෙර දෙන ලද සාක්ෂිය පිළිබඳව විමසා සිටි විනිසුරු විරාජ් වීරසූරිය මහතා එහිදී චක්‍රලේඛ නිකුත් කළේ කුමන කරුණු සම්බන්ධයෙන් දැයි ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ඖෂධ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් withhold කිරීමට හෝ Withdraw කිරීමට ගන්නා තීරණ සම්බන්ධයෙන් චක්‍රලේඛ නිකුත් කරන බව බවය.
එම ක්‍රියාවලියට 2017 වසරේදී තමන් සම්බන්ධ වූ බවත් රෝහල් ඇතුළු රජයේ ආයතන වලින් ගැටලු සහගත ඖෂධ සම්බන්ධයෙන් දත්ත ඇතුළත් කළ විට ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා චක්‍රලේඛ සකස් කිරීම සිදුකරන බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
අදාළ තීරණ ගැනීම සඳහා ඖෂධ සම්බන්ධයෙන් වන quality log එකේ දත්ත අවශ්‍ය අතර withhold කිරීම හෝ Withdraw කිරීම සම්බන්ධයෙන් මුල්ම තීරණය ගනු ලබන්නේ quality log එක අනුව බවද සාක්ෂිකාරිය කියා සිටියාය.

"ඖෂධ සුරක්ෂිතතා කමිටුව විසින් ඖෂධයක් සම්බන්ධයෙන් තීරණයක් ගත් පසුව ඊළඟට ගන්නා පියවර කුමක්ද?" යනුවෙන් විමසා සිටි විනිසුරු විරාජ් වීරසූරිය මහතා මෙම හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් withhold කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට දින 11 ක් ගත වූයේ කුමන හේතුවක් මත දැයි සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය.
එහිදී සාක්ෂිකාරිය කියා සිටියේ "අදාළ ඖෂධ සම්බන්ධයෙන් තීරණ ගත් විට පද්ධතිය හරහා එම තීරණය දැනුම් දීමේ හැකියාවක් මේ වන විට තිබෙනවාද යන්න පිළිබඳව තමන්ට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව"ය. 2023 වසරේදී ඖෂධ සුරක්ෂිතතා කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
මෙම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න විමසීම සිදු කළාය.
Withhold කිරීමට සහ withdraw කිරීමට නිකුත් කර ඇති චක්‍රලේඛ වල ඇති ඖෂධ සහ නිෂ්පාදකයා සම්බන්ධයෙන් ද අදාළ භාණ්ඩ භාර ගන්නා අවස්ථාවේදී ඉදිරිපත් කළ invoice පත් සම්බන්ධයෙන්ද සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම ලේඛන අනුව අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම නිවැරදි දැයි සාක්ෂිකාරියගෙන් විමසීමක් කළාය. එහිදී ඇය සඳහන් කළේ චක්‍රලේඛය නිකුත් කිරීම නිවැරදි නොවන බවය. අහිතකර ඖෂධයක් සම්බන්ධයෙන් නිවැරදි පණිවිඩයක් ආයතන වෙත ලැබී නොමැති බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
මෙම සාක්ෂිකාරිය භාරගත් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ තොග සම්බන්ධයෙන් කරුණු විමසා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එම තොග භාරගත්තේ එක් දිනකදී ද දින තුනකදී දැයි සාක්ෂිකාරයගෙන් විමසීමක් කළාය.
ඖෂධ එකම දිනයේදී අවස්ථා තුනකදී භාරගත් බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී මීට පෙර ඇය අවස්ථා පහක දී ඖෂධ ලබා බාරගත් බවට ලබා දුන් සාක්ෂිය නිවැරදි දැයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කර සිටියාය. එය නිවැරදි නොවන බවත් තමන්ට එම ප්‍රශ්නය වැටහුණු ආකාරයට අදාළ පිළිතුරු ලබා දුන් බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔබ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා දී නොතිබීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළා නේද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ විමර්ශනවලදී එම ඖෂධය පිළිබඳව සඳහන් කිරීමට විශේෂ මතකයක් නොතිබූ බවය.

තමන්ගේ සේවා කාලය තුළ වෙනත් අය නොමැති අවස්ථාවලදී ඔවුන්ගේ වැඩ ආවරණය කරමින් ඖෂධ භාර ගැනීමේ කටයුතු අවස්ථා 50 කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
මෙම සාක්ෂිකාරිය අධිකරණය හමුවේ ප්‍රශ්න මගහරිමින් සාක්ෂි ලබාදෙන බවටත්, අසත්‍ය සහ පිළිගත නොහැකි සාක්ෂි ලබාදෙන බවට විත්තියේ නීතිඥවරුන් කළ යෝජනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය එම නීතිඥවරුන් කළ යෝජනාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළාය.
අධිකරණය හමුවේ වැරදි සාක්ෂි ලබාදීමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවත්, අසත්‍ය සාක්ෂි ලබාදීමට තරම් විශේෂිත පාර්ශ්වයක් මෙම නඩුවේදී තමන්ට නොසිටින බවත් සාක්ෂිකාරිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
එම සාක්ෂිකාරියගෙන් සාක්ෂි විමසීමෙන් පසුව එම නඩුවේ පැමිණිල්ලේ 03 වන සාක්ෂිකාරිය වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂකවරියක වන දීපිකා බුලත්සිංහල මහත්මිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාදීම සිදු කළාය.
කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යා උපාධිය ලබා ගත් තමන් ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂක විද්‍යායතනයේ ඖෂධ විශ්ලේෂකවරියක ලෙස සේවයට එක්වූ අතර පසුකාලීනව මැලේසියාවේ විශ්වවිද්‍යාලයක දී වැඩිදුර අධ්‍යාපනය ලැබූ බවද, ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක දී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරූ බව ඇය සඳහන් කළාය.
"ඖෂධ විශ්ලේෂකවරියක ලෙස ඔබලාට පැවරී තිබුණු රාජකාරිය කුමක්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී "සාම්පල ලෙස ලැබෙන ඖෂධ විශ්ලේෂණයට ලක් කර එම විශ්ලේෂණයන් අධීක්ෂණය කර, වාර්තා සකස් කිරීම, සහ එම වාර්තා ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂක විද්‍යාගාරය අධ්‍යක්ෂවරයාගේ අත්සනට යොමු කිරීම රාජකාරිය ලෙස සිදුකරන බවද ,එහිදී අධ්‍යක්ෂකවරයාට ඒ සම්බන්ධයෙන්ම ඇතිවන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඖෂධ විශ්ලේෂකයන් බැඳී සිටින බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"සාම්පල ලබාගැනීමේදී එහි ඇති ඒකාග්‍රතාවය ආරක්ෂා කර ගැනීමට කුමක්ද කළේ? " යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "අදාළ සාම්පල රැගෙන එන්නේ කවුද, එහි රඳා පවතින උෂ්ණත්වය, විශ්ලේෂණයට ලක් කළ යුතු ඖෂධය නිවැරදිව තිබෙනවාද, සහ සාම්පල් ප්‍රමාණය යන කරුණු පිළිබඳව එහිදී අවධානය යොමු කරන බවය.
එහිදී "අදාළ සාම්පල භාරගත නොහැකි තත්ත්වයක පවතිනවා නම් ඒවා නැවත බාර දීම සිදුකරන බව"ද සාක්ෂිකාරිය සඳහන් කළාය
"N.D.Q.A.L ආයතනයට ස්වාධීනව සාම්පල ලබාගැනීමේ හැකියාවක් තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර "රෝහල් සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇති ඖෂධ සම්බන්ධයෙන් සාම්පල් ලබා ගැනීමේ හැකියාව තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කළා"ය .අදාළ සාම්පල් ලබාගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ සහ අදාළ ලේඛනයන්ට අනුව සිදුකළ අතර එම මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීම අනිවාර්යෙන්ම සිදුකරන බව සාක්ෂිකාරිය කියා සිටියාය
"එහිදී එම ඖෂධයන් වල උෂ්ණත්වය කොහොමද තීරණය කරන්නේ? 2_8 සෙල්සියස් ලෙස ශීත දාමයක තැබිය යුතු ඖෂධයක උෂ්ණත්ව ඒකාග්‍රතාවය බිඳී ඇත්නම් ඖෂධ භාර ගන්නවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි ඖෂධ භාර ගැනීමක් සිදු නොකරන බවය. එවැනි අවස්ථාවලදී අදාළ ගැටලු සහගත තත්ත්වය නිසා එම සාම්පල භාර නොගන්නා බව ලිඛිතව දැනුම් දීම මෙන්ම දුරකථන මගින් දැනුම් දීමක්ද කරන අතර බව සාක්ෂිකාරිය කියා සිටියාය
ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂක විද්‍යායතනයේ (N.D.Q.A.L) රසායනාගාර තුනක් තිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය එම රසායනාගාර වල ඒ ඒ අංශවල ඖෂධ ගබඩා කර තිබෙන බවද සඳහන් කළේය. එම අංශවලට ලැබෙන සාම්පලවල ඒකාග්‍රතාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඒවා නිසි පරිදි ගබඩා කිරීමට අවශ්‍ය ශීතකරණ ගබඩා තුළ තිබෙන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"එම අංශවල ආරක්ෂාව භාරව ඇත්තේ කා හට දැ"? යි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ අංශ ප්‍රධානියාට එම වගකීම පැවරෙන බවය.

විශ්ලේෂකයින් එම ඖෂධ සාම්පල් ලබා ගැනීමේදී අංශ ප්‍රධානියා දැනුවත් කර ඒ හරහා සාම්පල ලබා ගැනීම සිදුකරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය. අංශ ප්‍රධානින් එම ඖෂධ විශ්ලේෂණ කිරීම් අධීක්ෂණයට යටත්ව සිදු කරන අතර ඖෂධ භාර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඖෂධවේදීන් සිටින බව ද අදාළ ඖෂධ අත්සන් තබා භාර ගැනීම සිදුකරන බවද සඳහන් කළ සාක්ෂිකාරිය එම අත්සන් තැබූ විට අදාළ ඖෂධයේ වගකීම එම නිලධාරියාට පැවරෙන බව සඳහන් කළාය.
"ඖෂධ විශ්ලේෂණය කාගේ හෝ සුපරික්ෂාවකට යටත්ව සිදු කරනවාද?" යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසීමක් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සිදුකළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ ඖෂධ පරීක්ෂා කිරීමට ඖෂධවේදී සිටින අතර අධීක්ෂණය කිරීම ඖෂධ විශ්ලේෂකයන් මෙන්ම අංශ ප්‍රධානීන් විසින් සිදු කරන බවය
"තත්ත්ව විශ්ලේෂණයෙන් පසුව අවසන් ප්‍රතිඵලය නිකුත් කරන්නේ කොහොමද?"යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට අදාළ තත්ත්ව සහතිකයක් නිකුත් කරන බවද අංශ ප්‍රධානී, සහකාර අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂක විසින් වෙන් වෙන්ව අධීක්ෂණය කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
තමන් ඕස්ට්‍රේලියාවේදී පශ්චාත් උපාධිය ලෙස "Master of science in pharmacy" පාඨමාලාව හැදෑරූ අතර "ප්ලාස්ටික් බෝතල් වල ඖෂධ ගබඩා කිරීම සම්බන්ධයෙන් එහිදී තමන්ගේ පර්යේෂණ වාර්තා" සිදුකළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ N.D.Q.A.L ආයතනය 2015 දී ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සමග N.M.Q.A.L ආයතන බවට පත්වූ බවද, N D Q L ආයතනය NMRA බවට පත් වූ බවද ඒ වන විට එහි ඖෂධ වේදීන් 10 දෙනෙකු සහ විශ්ලේෂකයන් 13 දෙනකු පමණක් සිටි බව ද සඳහන් කළාය. 2015 වසරේදී ඖෂධවේදීන් කිහිප දෙනෙකු විශ්‍රාම ගිය අතර විවිධ හේතූන් මත නිලධාරින් නොමැති වීම හේතුවෙන් තම ආයතනයේ ඖෂධ විශ්ලේෂකයන් පස් දෙනෙකු සහ ඖෂධ වේදීන් හය දෙනකු පමණක් 2023 වසර වන විට සිටි බව සාක්ෂිකාරිය කියා සිටියාය.
එම කාර්ය මණ්ඩලය සීමා සහිත වීම හේතුවෙන් ඇතැම් විශ්ලේෂණ කටයුතු කළ නොහැකි වූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
තම ආයතනය "දළ වශයෙන් ඖෂධ විශ්ලේෂණ වාර්තා 1000 කට අධික ප්‍රමාණයක් මසකට නිකුත් කළ බව"ද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ ආයතනයට සාම්පල ලබා ගැනීමේ හැකියාව තිබුණාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර අදාළ පනත යටතේ රෝහල්වලින් සහ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඖෂධ සාම්පල ලබා ගැනීමේ හැකියාව තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.ඒ සඳහා අධිකාරියේ අවසරය නිලධාරීන්ට ලබා දී තිබූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
"සෑම අවස්ථාවකදීම සාම්පල ලබාගැනීමේ හැකියාව තිබුණද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී "ස්වාමීනී අපේ කාර්ය මණ්ඩලය සීමා සහිත වුණා. ඒ නිසා සාම්පල ලබාගැනීම අඩු වුණා." යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරක් ලබා දුන්නාය . එසේම සෑම සාම්පලයක්ම පරීක්ෂා කිරීමේ පහසුකම් හෝ හැකියාව තම ආයතනයට නොමැති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"2015 සිට 2023 අතර කාලයේදී ඔබේ ආයතනය ප්‍රමුඛත්වය ලබා දුන්නේ කුමන සාම්පල බලන්නද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ එම කාලය වන විට ඖෂධ සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබුණු බවය. රෝගීන්ට ඇතිවූ අසාත්මිකතා සංකූලතා සහ රෝගීන් මියයාම හේතුවෙන් එවැනි පැමිණිලි ලැබී තිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: මොන මොන වගේ පැමිණිලි ද ලැබුණේ
සාක්ෂිකාරිය: 2023 දී ඇස් වලට භාවිතා කළ ඖෂධයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණා, රෝගීන්ගේ ඇස් අන්ධ උනා කියලා. සාම්පල පරීක්ෂාවෙන් පසුව එය නුසුදුසු ඖෂධයක් බවට හඳුනාගත්තා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය :පැමිණිලි ලැබෙන්නේ කොහෙන්ද
සාක්ෂිකාරිය: රෝහල්වලින් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒ සම්බන්ධයෙන් N.M .Q.A.L එකට ැපැමිණිලි කිරීමේ ක්‍රමවේදයක් තිබුණාද?
සාක්ෂිකාරිය: සංකූලතා ගැන වාර්තා සමඟ සාම්පල් ලබාදෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය :"ADR "යනු කුමක්ද ?
සාක්ෂිකාරිය : සංකූලතා ගැන සටහනක්. Adverse drug reaction ලෙස එය හඳුනා ගත හැකියි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය :ඒ සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වන විට පශ්චාත් වෙළඳ පර්යේෂණ සම්බන්ධයෙන් විමර්ශන අඩු වුණාද?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී පැමිණිලි වැඩි නිසා එය අඩු වුණා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ADR කීයක් වාර්තා වුනාද?
සාක්ෂිකාරිය මාසයකට 100කට අධික පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඒ සම්බන්ධයෙන් ද එකොළහකකින් යුතු පිරිසකගෙන් පරීක්ෂණ කටයුතු සිදු කළේ.?
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනී අපිට සීමිත සේවක සංඛ්‍යාවක් තමයි හිටියේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය :රටට ගෙන එන අමුද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීමේ හැකියාව තිබුණද?
සාක්ෂි කාරිය: අපට එම හැකියාව තිබුණේ නෑ, නමුත් සීමිත නිලධාරීන් පිරිසකට එම අවසර එම බලය ලබාදී තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය :ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීම් සිදුකිරීමේදී සාම්පල ලබාදීම සිදු කරනවා ද
සාක්ෂිකාරිය: ඖෂධ නියාමන අධිකාරිය විසින් එය ලබාදෙනවා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: විශ්ලේෂණ කටයුතු සඳහා ඖෂධ භාවිතා කරන්නන් විසින් සහ පැමිණිලි ආකාරයෙන් සාම්පල ඉදිරිපත් කරන ලෙස ඔබ සඳහන් කළා
සාක්‍ෂිකාරිය: එසේය ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: අධිකාරිය විසින් සාම්පල ලබාදීමක් කරනවද?
සාක්‍ෂිකාරිය: 2015 අංක 05 දරණ ජාතික ඖෂධ නිෂ්පාදන අධිකාරි පනත යටතේ අධිකාරිය විසින් සාම්පල ලබාදීම සිදු කළ යුතුයි .එසේ නොමැති නම් අධිකාරිය එම බලය අප වෙත පැවරිය යුතුයි
ඖෂධ විශ්ලේෂණ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ යම් ඖෂධයකට සම්බන්ධ පාමකෝපියාව එම ඖෂධයේ පිරිවිතර වල සඳහන් වන බවය. බී පී ලෙස බ්‍රිතාන්‍ය පාමකෝපියාව ද , IP ලෙස ඉන්දියන් පාමකෝපියාව ද ,Eup ලෙස යුරෝපියානු පාමකෝපියාව ද යනාදී ලෙස පාමකෝපියා සඳහන් කර ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළාය. එම පාමකෝපියා ඇතුළත් පොත් වසරින් වසර නිකුත් කරන අතර එම නව සංස්කරණ මිලදී ගැනීම තම ආයතන විසින් සිදුකරන බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඖෂධයක පිරිවිතර සටහන් කරන සම්මත ක්‍රමය අනුව BP, IP, යනාදී වශයෙන් පාමකෝපියා කිහිපයක් සටහන් කළ හැකිද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී" එවැනි දෙයක් කිසිදු අයුරකින් සිදු විය නොහැකි බව" සාක්ෂිකාරිය කියා සිටියාය .
ඖෂධයක් සකස් කිරීමේදී එයට අදාළ පිරිවිතර සඳහන් කළ යුතු අතර සෑම පාමකෝපියාවක් ම එක ඖෂධයකට අනුකූල විය නොහැකි බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
"එවැනි පාමකෝපියාවන් කිහිපයක් ඖෂධයක ඇතුළත් නම් එය ප්‍රශ්නගත ඖෂධයක් ලෙස හැඳින්විය හැකි බවද" සාක්ෂිකාරිය කියා සිටියාය.
නිෂ්පාදකයා විසින් අදාළ පාමකෝපියාව නිවැරදිව සටහන් කිරීම අත්‍යවශ්‍ය බවත් එම නිෂ්පාදකයාගේ එම සටහන අනුව සැපයුම් ඒකකය සහ රෝහල්වල ඇතුළු ආයතන අදාළ ඖෂධ ගබඩා කිරීම් සිදු කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.

Intravenous injection රෝගියාගේ රුධිර වාහිනී වලට ලබාදෙන අතර එවැනි ඖෂධයක් freeze dried ආකාරයෙන් හෝ ද්‍රාවණයක ආකාරයෙන් දිය හැකි බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය. එහෙත් එලෙස ලබාදෙන ඖෂධ තබා ගත යුතු උෂ්ණත්වය එහි පිරිවිතර සමඟ හෝ ලේබලයේ නිෂ්පාදකයා විසින් සඳහන් කළ යුතු අතර එකම ඖෂධයක් freeze dried ආකාරයෙන් හෝ ද්‍රාවණයක් ආකාරයෙන් සකස් කිරීම production line දෙකකදී සිදුවන අතර අදාළ ඖෂධය එම දෙයාකාරයෙන්ම එකම කාණ්ඩ අංකය යටතේ ලබාදිය නොහැකි බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
freeze dried ආකාරයෙන් අදාළ ඖෂධය ලබාදෙන විට එය රෝගීන්ට ලබාදීම සඳහා සකස් කල යුතු ආකාරය පිළිබඳව ලීෆ්ලට් එකේ සඳහන් කළ යුතු බවද සාක්ෂිකාරිය කියා සිටියාය
"එකම කාණ්ඩය තුළ liquid සහ powder හදන්න පුළුවන්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර "එවැන්නක් කිසි කිසිසේත්ම සිදුවිය නොහැකි බව" සාක්ෂිකාරිය කියා සිටියාය. අදාළ නිෂ්පාදන සඳහා අමු ද්‍රව්‍යයන් වල වෙනස්කම් ඇති අතර ඖෂධයේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ නිෂ්පාදන වන ආකාරයද වෙනස්වන බැවින් එකම කාණ්ඩ අංකයක් ඊට ඇතුළත් විය නොහැකි බව සාක්ෂිකාරිය වැඩිදුරටත් එහිදී සඳහන් කළාය.
අදාළ ඖෂධය රඳවා ගත යුතු උෂ්ණත්වය නිශ්චිත වශයෙන්ම නිෂ්පාදකයා විසින් සටහන් කළ යුතු අතර උෂ්ණත්ව තත්ත්ව දෙකක් එකම ඖෂධයකට සඳහන් කළ නොහැකි බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
අදාළ නිවැරදි උෂ්ණත්වය නිවැරදිව සටහන් කිරීම නිෂ්පාදකයාගේ වගකීමක් වන අතර රෝහල් ඇතුළු ආයතන වල අදාළ ඖෂධ ගබඩා කිරීම එම උෂ්ණත්වය අනුව සිදුකරන බවද, එය එහි වන වෙනස් වීමක් රෝගීන්ට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
2023 වසර කාලයේදී ඖෂධ සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් රෝහල්වලින් ලැබී තිබුණු අතර අඩු කාර්ය මණ්ඩලයක් පැවතීම හේතුවෙන් සියලුම ඖෂධ පරීක්ෂාවට ලක් කළ නොහැකි වූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් වූ පළමු පැමිණිල්ල ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා විසින් සිදු කළ පැමිණිල්ල කට අනුව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් .කේ. වික්‍රමසිංහ විසින් සිදුකළ අතර අදාළ ඖෂධය ලබාදුන් රෝගීන් තිදෙනකු ට සංකූලතා ඇතිවූ බව වාර්තා වී තිබූ බවද , ඔවුන්ගේ ඇඳ ඉහ පත් ඒ සමග ඉදිරිපත් කර තිබූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
කෙසේ වුවද අදාළ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා හෝ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් කිසිදු දැනුම්දීමක් කර නොතිබූ බව සාක්ෂිකාරිය කියා සිටියාය
සාක්ෂිකාරිය විසින් එම පිළිතුර ලබාදීම සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

