leader s

පිළිකා ඖෂධවල ක්ෂුද්‍ර ජීවී පරීක්ෂාව හැර වෙනත් පරීක්ෂාවක් සිදුකිරීම සඳහා පහසුකම් ජාතික ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ විද්‍යාගාරය සතුව නොමැති බව අතර එවැනි ඖෂධ පරීක්ෂා කරන  නිලධාරීන්ටත් අවදානමක් ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂකවරියක වන දීපිකා බුලත්සිංහල මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

 

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇති නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී සාක්ෂි ලබා දෙමින් ඇය බව සඳහන් කළාය.

 
පැමිණිල්ලේ 03වන සාක්ෂිකාරිය ලෙස නම් කර සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂකවරියක වන දීපිකා බුලත් සිංහල මහත්මිය ගෙන් වැඩිදුර මූලික සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය විසින් සිදු කරන ලදි.
 
"NMQAL ආයතනයේ තිබූ සාම්පල කිහිපයක් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යැවූ බව ඔබ සඳහන් කළා.ඒවා රැගෙන ගියේ එහි කාර්යාල කාර්ය සහයකයකු විසින් බවද ඔබ ප්‍රකාශ කළා. ඊට අදාළ තොරතුරු ඇතුළත ලේඛන වල ඡායා පිටපත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහි මුල් පිටපත් කොහෙද තිබෙන්නේ? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය කියා සිටියේ 12 වන චූදිත ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා විසින් නිකුත් කළ ආවරණ ලිපියක් එම සාම්පල සමග යැවූ බවත් එහි මුල් පිටපත වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තිබිය යුතු බවත්ය. අදාළ සාම්පල භාරගත් බවට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරියකු විසින් අත්සන් තබා ඇති නමුත් එම අත්සන කාගේද යන්න නිශ්චිතව හඳුනාගත නොහැකි බවද සාක්ෂිකාරිය ලේඛන පරීක්ෂා කර බලමින් සඳහන් කළාය. 
"2023 /11 /29 දින වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂකවරයා විසින් ඔබේ ආයතනයට රිටොක්සි මැබ් ඖෂධ සාම්පල 40ක් ඔබේ භාරයට ඒවා තිබෙනවා එහි අත්සන් තබා ඇත්තේ වී .ඕ. ඒ විජේවික්‍රම මහතා විසින්.ඒ කුමන මීටිමක ප්‍රතිඵලයක් ලෙසද කියා අවබෝධයක් තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ MRI අධ්‍යක්ෂ මණ්ඩලය පවත්වා ඇති MSR රැස්වීමකදී  ඒ බව තීරණය කර ඇති බවය.
 
"live ealth biophama නිෂ්පාදනය කළ බව කියන රිටොප්සි මැබ් සාම්පල ප්‍රථම වරට පැමිණියේ මේ සමගද?"යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියගෙන් විමසූ  අතර සාක්ෂිකාරිය සඳහන් කළේ, එම ලිපිය සමග අදාළ කුවිතාන්සිය එවා තිබූ බවත් එහි වයල් 40 ක් ඇති බව සඳහන් වන බවත්ය. එහි දිනය 2023/11/29 ලෙස සඳහන් වන බවද එම සාම්පල එදිනම බාරගෙන ඇති බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
"එම ඖෂධ නිවැරදි ශීතදාමයේ පැවතියාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒවා නිවැරදි ශීතදාමයේ තිබූ බවත්,ඒ අනුව එම සාම්පල භාර ගැනීම ඉශානී නමැති ඖෂධවේදිනිය විසින් සිදු කළ බවත්ය. අදාළ සාම්පල ශීතකරණ වල තැන්පත් කළ අතර ලියාපදිංචි කිරීම 2023 12/15 දින සිදුකළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"මෙම සාම්පලය ලියාපදිංචි කිරීම other යන කාණ්ඩයේ යටතේ සිදු කළේ කුමන හේතුවක් මතදැ"යි පැහැදිලි කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියට කියා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ එම ඖෂධය ඒ වන විටත් වෛද්‍ය සැපයුම් අංශය විසින් withdraw කර ඇති බවට සඳහන් වූ බවය. ඒ අනුව අදාළ සටහන යෙදීම කර ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.  
 
"ඔබ පෙර දිනයේ සාක්ෂි ලබාදෙන විට ප්‍රකාශ කළා NMQAL ආයතනය විසින් පිළිකා නාශක ඖෂධ පරීක්ෂාවන් නොකරන බව  ඊට හේතුවක් තිබෙනවාද ?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියට යොමු කළ අතර එහිදී ඇය සඳහන් කළේ අදාළ ඖෂධ පරීක්ෂා කිරීම විශේෂ ආරක්ෂාකාරී තත්ත්වයකදී කළ යුතු බවය. එවැනි සාම්පලයක් පරීක්ෂා කිරීම ආයතනයේ විසින් සිදුකර නොමැති බවද, එවැනි ඖෂධයක් පරීක්ෂා කිරීමේදී එය පරීක්ෂා කරන නිලධාරියාට ද අවදානමක් ඇති බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් කියා සිටියාය.  
මෙම සාම්පල වලට අදාළව සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ඩී. ඕ. ඒ. විජය වික්‍රම මහතා විසින් අත්සන් යොදා ඇති අතර "මේවාට ප්‍රමුඛත්වය දී පරීක්ෂා කර බලා මේ සම්බන්ධ වාර්තා කඩිනමින් නිකුත් කරන ලෙසට ඔහු සඳහන් කර ඇති බවද අදාළ සාම්පල භාරගෙන ඉෂානි නමැති ඖෂධ වේදිනිය විසින් ඊට අදාළ සටහන් යොදා තිබූ බවද සාක්ෂිකාරිය ක් කියා සිටියාය. 
 
අදාළ සාම්පල පරීක්ෂා කිරීම සඳහා අපේක්ෂා රෝහලට යවන ලෙස සභාපතිවරයා විසින් තමන්ට දැනුම් දී තිබූ අතර  ඒ වන විටත් එම සාම්පල ශුද්‍ර ජීවී විද්‍යා අංශයේ ශීතකරණ වල ගබඩා කර තිබූ බවද අදාළ උපදෙස් අනුව ඒවා අපේක්ෂා රෝහලට යැවීමට කටයුතු කළ බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"අදාළ සාම්පල අපේක්ෂා රෝහලට යැවීමේ අරමුණ කුමක්දැයි?" නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කර සිටි අතර Monchlorate anti protein පිළිබඳ පරීක්ෂාව සිදුකර වාර්තාවක් ලබා ගැනීම එහි අරමුණ බවද සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. අදාළ සාම්පල භාරගත් බවට අපේක්ෂා රෝහල නිලධාරියකු විසින් ආවරණ ලිපියේ අත්සන් තබා තිබූ අතර  විමර්ශනවලදී එම ආවරණ ලිපිය ඉදිරිපත් කළාද යන්න පිළිබඳව නිවැරදි මතකයක් නොමැති බව සාක්ෂිකාරිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වෛද්‍ය රජිත සමරසිංහ අදාළ ලිපියේ තැබූ අත්සන හඳුනාගත හැකිදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළා ය. එම අත්සන තමන්ට හඳුනාගත හැකි බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
 
"ඊයේ ඔබ සාක්ෂි ලබා දුන්නා හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සාම්පලයේ බැක්ටීරියා තිබූ බව. බැක්ටීරියා ඇතිවීමට ශීත දාමය බලපෑමක් කරනවාද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ අධික උෂ්ණත්වයකට රත් කිරීම මගින් බැක්ටීරියා මිය යාමට හැකියාව ඇති බවය .ශීත දාමය ඛණ්ඩනය වුවද බැක්ටීරියා  එලෙසම පවතින බව ඇය සඳහන් කළාය. බැක්ටීරියා සාමාන්‍ය පරිසරයකදී විනාශ නොවන බවත් සාමාන්‍ය පරිසරයේත් සිරුරු තුළත් බැක්ටීරියා වාසය කරන බව සඳහන් කළ සාක්ෂිකාරිය පහළ උෂ්ණත්වයකදී බැක්ටීරියා විනාශ නොවන අතර ඉහළ උෂ්ණත්වයකදී බැක්ටීරියා මිය යන බව සඳහන් කළාය
 
මෙම නඩුවට අදාළ live elth biotech pharma ආයතනය නිෂ්පාදනය කළ සාම්පල වල ඇති ද්‍රාවණයට සීත දාමයේ බලපෑමක් ඇතිවූ බව කියන්න පුළුවන්ද?" යැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සංඝටක වලට ශීත දාමයේ බලපෑමක් ඇතිවිය හැකි නමුත් ශුද්‍ර ජීවින් එම ද්‍රාවණයට ඇතුළු වීමේ හැකියාවක් නොමැති බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය 
 
ඔය සාම්පල සාමාන්‍ය උෂ්ණත්වයකදී තබා ගැනීම කලහොත් බැක්ටීරියා ඇතුළු විය හැකිදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ නිෂ්පාදකයා විසින් නියමිත පරිදි මුද්‍රා තබා තිබේ නම් එලෙස බැක්ටීරියා ඇතුළු වීමේ හැකියාවක් නොමැති බවත්, මෙම සාම්පල නිවැරදි ලෙස මුද්‍රා තබා තිබූ බවත් ය.
 
" Certificate of analysis යන්න නිෂ්පාදකයෙකු විසින් ඉදිරිපත් කරන්නේ කවර කරුණක් මත දැයි විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ යම් නිෂ්පාදනයක් නිවැරදි සහ  අදාළ නිෂ්පාදනය කළ යුතු නියම තත්ත්වයෙන් පවතින බවටත් සම්මත ගුණාත්මක භාවයෙන් යුතු බවටත් සහතික කිරීම එමඟින් සිදුකරන බවය. 
 
"යම් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් එම සහතිකය ලබාදෙන්න පුළුවන් නිෂ්පාදනයට පසුවද පෙරද? යනුවෙන් ‍නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකාරිය කියා සිටියේ නිෂ්පාදනයකට පෙර එවැනි සහතිකයක් නිකුත් කළ නොහැකි බවය. 
 
2023/04/01 කළ නිෂ්පාදනයකට 2022 අප්‍රේල් 01 දින සහතිකයක් නිකුත් කළ හැකිදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය කියා සිටියේ එවැනි දෙයක් කිසිසේත්ම සිදුවිය නොහැකි බවය 
 
නිෂ්පාදිත දිනයෙන් පසු දිනයක් එහි සඳහන් විය යුතු බව ද ,නිෂ්පාදනයක් සිදුකිරීමට පෙර එම සහතිකය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවද සාක්ෂිකාරිය අවධාරණය කළාය. 
 
ඒ සමඟම සාක්ෂිකාරියගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දන්වා සිටියාය. 
 
අනතුරුව පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළේය.
 
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් NMQAL ආයතනයේ නොමැති බවට මූලික සාක්ෂි විභාගයේදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්  නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය. 
 
" biological ඖෂධයක් එය පරීක්ෂා කර බැලීමට පුහුණුව ලැබූ කිසිවෙකු අප ආයතනය නෑ," යනුවෙන් සාක්ෂිකාරිය ඊට පිළිතුරක් ලබා දුන්නාය. 
 
 
"ලංකාවේ රෝගීන්ට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය කොපමණ කාලයක සිට ලබා දෙනවා ද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර ඒ පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළාය. අදාළ ඖෂධය පරීක්ෂා කිරීම සඳහා තම ආයතනයට මෙම ප්‍රශ්නගත ඖෂධ ලැබෙන තෙක් එම ඖෂධ ලැබී නොතිබූ බවද ඊට පෙර ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නැති බවද සඳහන් කළ සාක්ෂිකාරිය ඒ අනුව ඒවා පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවූ බවද කියා සිටියාය. 
 
නීතිඥවරයා: ඔබ වගකීමෙන්ද කියන්නේ එවැනි පරීක්ෂණයක් සිදුකර නැති බවට 
 
සාක්ෂිකාරිය: මගේ දැනීමේ හැටියට එවැනි දෙයක් කර නෑ 
 
නීතිඥවරයා: ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා දෙන්න මතකය හැටියට හෝ දැනීමේ හැටියට නෙමෙයි 
 
සාක්ෂිකාරිය :ඒ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළේ නෑ ස්වාමීනි. පැමිණිල්ල ලැබී තිබෙනවාද කියා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර නොහැකියි. මගේ දැනීමේ හැටියට සාම්පල් ලැබී නෑ. එසේ සාම්පල ලැබුණා නම් ඒ පිළිබඳව පරීක්ෂා කළ බවට මතකයේ තිබිය යුතුයි. 
 
නීතිඥවරයා: ඔබ කියන්නේ පර්යේෂණ කළේ නෑ කියලද පැමිණිලි කළේ නෑ කියලද?
 
සාක්ෂිකාරිය: පරීක්ෂා කළේ නෑ ස්වාමීනි.
 
නීතිඥවරයා: ඔබ සවින් සේමගේ කියන ප්‍රධාන විධායක නිලධාරීවරයා යටතේ කටයුතු කර තිබෙනවාද? 
 
සාක්ෂිකාරිය: එසේය ස්වාමීනි 
 
එම ප්‍රධාන විධායක නිලධාරීවරයා යටතේ පරීක්ෂණ සිදුකිරීම සඳහා යොමු කර ඇති ඖෂධ සාම්පල සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්‍ෂිකාරිය ලේඛන පරීක්ෂා කර බලමින් සඳහන් කළේ අදාළ ඖෂධය භාවිතය අත්හිටවීමක් සිදුකර ඇති බවය.
 
කෙසේ වුවද මෙම live elth biotech pharma ආයතනය  නිෂ්පාදනය කළ සාම්පලය පරීක්ෂාව සඳහා ලැබුණු බවද Reliance Life science ආයතනය නිෂ්පාදනය කළ ඖෂධ පරීක්ෂාව සඳහා ලැබුණු බවට මතකයක් ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"රෝහල් වලට ගොස් සාම්පල එකතු කර ගැනීමක් කලාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එවැනි සාම්පල එකතු කිරීමක් නොකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
එහෙත් අධිකරණය හමුවේ ලකුණු කර ඇති 408 v ලේඛනය අනුව එවැනි සාම්පල් එකතු කරගැනීමක් පිළිබඳව සඳහන් වන අතර පිළිබඳව නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ සාම්පල එකතු කර ගැනීමක් සිදුවී ඇති නමුත් ඒ පිළිබඳව අදාළ ඖෂධ වේදීන් විසින් වාර්තාවක් තබා නොමැති බවය.
 
අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු නිලධාරිනිය විසින් නිකුත් කරන ලද ලේඛනයක් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ නීතිඥවරයා එහි ඇතුලත් කරුණු සම්බන්ධයෙන් සාක්ෂිකාරිය ගෙන් විමසීමක් කළාය. 
 
එකී ප්‍රශ්න කිරීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරෝධය පළ කරමින් කරුණු ඉදිරිපත් කළාය. 
  
 
ඒ සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම සාක්ෂිකාරිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ කටයුතු කර ඇති බැවින් අදාළ ලේඛනය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ හැකි බවය. 
 
ඒ අනුව අදාල ලේඛණය ඇසුරෙන් සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න විමසීම නීතිඥවරයා විසින් සිදුකළ කරන ලදී 
 
"එම ලිපියේ හතරවන ඡේදයේ සඳහන් වෙනවා ඉන්දියාවේ Reliance Life science සමාගම පිළිබඳව. "එම සමාගම ලංකාවට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ලබාදුන් බවට දැනීමක් තිබෙනවාද ?" යන ප්‍රශ්නය නීතිඥවරයා සාක්ෂිකාරියට යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි සමාගමකින් ඖෂධයක් ලැබුණු බවට මතකයේ ඇති බවය.  
 
"එලෙස ලබාගත් ඖෂධ හේතුවෙන් රෝගීන් 19 දෙන තුළ ආසාත්මිකතාවයන් සහ දෙදෙනෙකුට ඇනපිලැක්සිස් තත්ත්ව ඇති වූ වාර්තා වී ඇති බවට සඳහන් වෙනවා. ඒ පිළිබඳව NMQAL ආයතනයට තොරතුරු වාර්තා වී තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ" එවැනි අවස්ථාවකදී අදාළ ආයතන හෝ රෝහල් විසින් ඒ පිළිබඳව පැමිණිලි කරනවාද, නැද්ද," යන්න පිළිබඳව තීරණය කරන බවය. 
 
ආයතනය යනුවෙන් රෝහල් හෝ වෛද්‍ය සැපයුම් ඒකකය අදහස් කළ බව සඳහන් කළ සාක්ෂිකාරිය ඒ පිළිබඳව ආයතනයට ලබා දෙනවාද යන්න පිළිබඳව තීරණය කරන්නේ රෝහල් අධ්‍යක්ෂවරු සහ sufract evaluation committee එක විසින් බවය. 
 
අදාළ කමිටුවට තමන්ට සහභාගී වූ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"ඇනපිලැක්සිස් තත්ත්වය යනු ආසාත්මිකතා තත්ත්වයක් බව ඔබ ප්‍රකාශ කළා. ඔබේ දැනීමේ හැටියට එය සංකූලතාවයක් ලෙස හැඳින්විය හැකිද?"
 
එය උග්‍ර සංකූලතාවයක් ලෙස හැඳින්විය හැකි බව සඳහන් කළ සාක්ෂිකාරිය ඇතැම් ආසාත්මිකතාවන් වාර්තා වන විට රෝගීන් මිය ගිහින් ඇති අතර ඇතැම් අවස්ථාවලදී ආසාත්මිකතා වාර්තා විය හැකි බවද සඳහන් කළාය.
 
"සෆ්රැක්ට් කමිටුව විසින් ගන්නා තීරණය ඇනපිලැක්සිස්  තත්ත්වයේ බරපතලතාවය මත වෙනස් වෙන්න පුළුවන්ද ?" යයි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එසේ විය හැකි බව ප්‍රකාශ කළ නිසා සාක්ෂිකාරිය ඒ සම්බන්ධයෙන් පැමිණිලි රසායනාගාරයට ලැබුණු බවට මතකයක් ඇති බව සඳහන් කළාය. 
 
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න විසින් 2023/08/28 දින සියලුම මාධ්‍ය ආයතන වෙත නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සාක්ෂිකාරයගේ අවධානයට යොමු කළ නීතිඥවරයා එහි ඖෂධ වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ගැටලු මතුවූ ඖෂධ සම්බන්ධයෙන් එහි ඇති සටහන අවධානයට යොමු කරමින් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
මෙහි සඳහන් ඖෂධ සම්බන්ධයෙන් තමන් පරීක්ෂණ පැවැත්වූ බව මතකයේ ඇති බවත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කට උත්තර ලබාදුන් අවස්ථාවේදී ඒ පිළිබඳව සටහන් කළාද යන්න පිළිබඳව නිවැරදි මතකයක් නොමැති බවත් සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. 
 
අදාළ ඖෂධයක් භාවිතා කිරීම හේතුවෙන් මාතෘ මරණයක් වාර්තා වී ඇති බවද නීතිඥවරයා ප්‍රකාශ කළේය. 
 
මෙරට රෝහල්වල තිබෙන ඖෂධ පරීක්ෂා කිරීම සඳහා ඇති රාජ්‍ය බලයක් සහිතව ඇති ආයතනය NMQAL වන නමුත් ඒ පිළිබඳව සදහන් කරමින් ලබාදුන් සහතිකයක් හෝ එවැනි සහතිකයක් දුන් ආයතනයක් නොමැති බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
තම ආයතනයට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සාම්පල 30 බැගින් 90 ක් ජාතික රෝහල මගින් ලැබුණු අතර මාතර රෝහලින් සාම්පල 30ක් ලැබුණු බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
ජාතික රෝහලින් ඖෂධ නිකුත් කළ දිනයේදීම ඒවා තමා ආයතනයට ලැබී තිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය මාතර රෝහලින් 2023/10/10 දින නිකුත් කරන ලද සාම්පලය තම ආයතනයට ලැබී ඇත්තේ 2023/10/11 දින බව සඳහන් කළාය. ඒවා ලියාපදිංචි කිරීම 2023/10/27 දින සිදුකර ඇති බවද ඇය ප්‍රකාශ කළාය.
 
එම සාම්පල භාර ගැනීම තම ආයතනයේ ඖෂධවේදිනියක වන ඉෂානී විසින් සිදුකර ඇති අතර අදාළ සාම්පල අයිස් පැක් තුළ නිසි ශීත දාමයේ ගෙන ආ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
අදාළ සාම්පල භාරගත් බවට ඉශානී විසින් අත්සන් තබා ඇති අතර වෙනත් සටහනක් තබා නොමැති නමුත් ඇයගේ අත්සන තමන් සහ ආයතනය වැඩ කරන නිලධාරීන් දන්නා බැවින් ගැටලුවක් ඇති නොවන බව සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"ඔබ එම සාම්පල ගෙන අයිස් පැක් දැක්කා ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ තමන් එවැන්නක් නොදුටු බවය. එම සාම්පල ශීතකරණයේදී අදාළ සාම්පල නිරීක්ෂණයට ලක් කළ බවය. 
 
ඒ හැර අදාළ සාම්පල කුමන තත්ත්වයක් යටතේ ගෙන එනවාද ? එම බහාලුමේ ප්‍රමාණය කොපමණද? යන්න පිළිබඳව තමන් නොදන්නා බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
විශ්ලේෂණ කටයුතු සඳහා ඖෂධ සාම්පල විශාල ගණනක් ලැබෙන අතර එම සාම්පල ගෙන එන්නේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳව නිවැරදි මතකයක් නොමැති බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
building lock
 
අධිකරණ මගින් තමන්ගේ නමට කරන ලද නියෝගයක් මත ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ බෙදා හැරීම්කරු ලෙස සඳහන් කර ඇති අයිසොලේස් බයෝ ටෙක් පාමා  සමාගමේ සීදුව ප්‍රදේශයේ ඇති රසායනාගාර ගොඩනැගිල්ලක් පරීක්ෂාවට තම ආයතනයේ තවත් නිලධාරීන් තිදෙනකු සහ තවත් අය සමග තමන් ගිය බවත් එම අවස්ථාවේදී එය ඉබි යතුරු දමා තිබූ අතර ඒවා කඩා ඉවත් කිරීමට අදාළව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට සිදුවූ බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
ඊට අදාල අධිකරණ නියෝගය ලබාගෙන දෙවැනි අවස්ථාවේ එම ස්ථානයට යන විට එහි විදුලිය නොතිබූ බවද තමන් අත තිබූ ජංගම දුරකථනය ආධාර කොටගෙන ඇතුළත නිරීක්ෂණය කළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය .එම තත්ත්වය පිළිබඳව අධිකරණයට දැනුම් දීමක් කළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
"එම ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සංකීර්ණ පරිසරය පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර එම ආයතනය සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට අවසර දී නොතිබූ බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
ඒ සම්බන්ධයෙන් G.S.P ලබා ගැනීමට අයදුම් කර තිබූ බව ඔබ දන්නවාද? යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ මෙම නිරීක්ෂණ චාරිකාව G.S.P  ලබාදීම සඳහා නොව වෙනත් පසුබිමක් මත සිදුකළ බවය.
 
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර තමන් දැක නොමැති නමුත් වෙනත් ඖෂධ නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාර තමන් නිරීක්ෂණය කර ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
අදාල ගොඩනැගිලි පරිශ්‍රයට ගිය අවස්ථාවේදී එහි ඉබි යතුරු කඩා විවෘත කිරීම ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් විසින් නීතිමය ක්‍රියාමාර්ගයට අනුව සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් වන බලතල ඔවුන් සතුවන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
එම කරුණ ප්‍රකාශ කිරීමත් සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න    

 

නවතම පුවත්