"සාක්ෂිකාරියට මම ප්‍රශ්නයක් යොමු කළා ස්වාමීනි,ඇය පිළිතුරු දෙන්න සූදානම් වන විට මගේ උගත් මිතුරිය මැදට පැන විරෝධතා මතු කරන්නේ පිළිතුරු ඇගවෙන ලෙසයි. මෙය දිගින් දිගටම සිදු වුණා. මෙය නතර විය යුතුයි" යනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇති නඩුවේ තුන්වැනි සාක්ෂිකාරිය වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂකවරියක වන දීපිකා බුලත් සිංහල මහත්මිය ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කරන අවස්ථාවේ දී නීතිඥවරයා මේ ප්‍රකාශය සිදු කළේය.
දිනපතා විභාගයට ගැනෙන මෙම නඩුවේ සාක්ෂි විමසීමේ කටයුතු අධිකරණ නිවාඩු කාලය හේතුවෙන් කල් තබා තිබූ අතර එම නිවාඩු කාලය අවසන් වීමෙන් අනතුරුව නැවත නඩු කටයුතු ඊයේ ආරම්භ කරන ලදි.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂක වරියක වන දීපිකා බුලත් සිංහල මහත්මිය ගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම පළවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා විසින් සිදු කරන ලදි.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනයේ සීදූව ප්‍රදේශයේ පිහිටා ඇති පරිශ්‍රය පරීක්ෂා කිරීම සඳහා තවත් නිලධාරීන් සමග තමන් අවස්ථා තුනකදී ගිය බවත් එම අවස්ථා තුනටම අදාළව වාර්තා සකස් කළ බවත් ඇය එහිදී සඳහන් කළාය.
එහෙත් එම දින වකවානු පිළිබඳව තමන්ට මතකයක් නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

එම අවස්ථාවේදී මාලිගා කන්ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ 24 ගොනුවේ ඇමුණුම් අංක 6 ලෙස ලකුණු කර ඇති වාර්තාවක් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ නීතිඥවරයා" එහි දිනය 2023 ඔක්තෝම්බර් 25 ලෙස සටහන්ව තිබීම නිවැරදිදැයි" ප්‍රශ්න කර සිටියා සිටියේය.
එය නිවැරදි බව සඳහන් කළ සාක්ෂිකාරිය අදාළ වාර්තාව සකස් කිරීම සඳහා තමන් භෞතිකව සහභාගි වූ බව සඳහන් කළාය.
ඔක්තෝම්බර් මස 10 වැනි දින වන අදාළ වාර්තාව සකස් කිරීමට තමන් සහභාගී නොවූ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
දෙවන අවස්ථාවේ පරිශ්‍රය පරීක්ෂා කිරීමට යාමට තමන් සහභාගි වූ බවත්, එම අවස්ථාවේදී එහි විදුලි බලය නොතිබීම හේතුවෙන් නිසි පරිදි පරීක්ෂා කිරීම් සිදුකළ නොහැකි බව සඳහන් කළ සාක්ෂිකාරිය ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් වන ඒ.එස් පෙරේරා මහින්ද සිරි,කුමාර බාලසූරිය යන නිලධාරින් එම අවස්ථාවට සහභාගි වූ බව සඳහන් කළාය.
අදාළ ස්ථානය පරීක්ෂා කොට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරන ලෙස තමන්ට උපදෙස් ලැබී තිබුණු බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
"හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය අදාළ ආයතනයේ නිෂ්පාදනය කර තිබෙනවාද යන්න පිළිබඳව සොයා බලන ලෙස" තමන්ට පැවරී තිබූ නමුත් අදාළ ඖෂධය නිෂ්පාදනය කිරීමට සක්‍යතාවයක් එම ආයතනයට තිබෙනවාද යන්න පිළිබඳව සොයා බලන ලෙස උපදෙසක් ලැබී නොතිබූ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් සහිතව තමන් ඇතුළු නිලධාරීන් පිරිස එම ස්ථානයට යන විට එහි විදුලි බලය නොතිබූ බවද තම තමන් සතුව තිබූ ජංගම දුරකථන වල එළිය ආධාරයෙන් එම ගොඩනැගිල්ල ඇතුළත නිරීක්ෂණය කළ බව ද එම ආයතනය තුළ තිබී කිසිදු නිෂ්පාදනයක් හෝ ලේබලයක් තමන්ට සොයාගැනීමට නොහැකි වූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
නීතිඥවරයා: සම්පූර්ණ ගොඩනැගිලි පරිශ්‍රයම පරීක්ෂා කළාද?
සාක්ෂිකාරිය: නිෂ්පාදනාගාරය තිබූ තැන විතරයි බැලුවේ, තවත් ගොඩනැගිලි කීපයක් තිබුණු බව මතකයි .එක ගොඩනැගිල්ලයි නිරීක්ෂණය කලේ.
නීතිඥවරයා: අනෙකුත් ගොඩනැගිලි නිරීක්ෂණය නොකිරීමට හේතුවක් තිබුණද?
සාක්ෂිකාරිය: ඒක මම දන්නේ නෑ ආහාර සහ ඖෂධ පරීක්ෂක නිලධාරීන් තමයි බලධාරීන්. මා එම අවස්ථාවට සහභාගී වූයේ තාක්ෂණික නිලධාරිනියක් ලෙස යි. නිෂ්පාදනාගාරය ලෙස නම් කර තිබෙන නිසා අදාළ ගොඩනැගිල්ල පරීක්ෂා කළා.
නීතිඥවරයා :අනිත් ගොඩනැගිලි වල නිෂ්පාදනාගාර තිබුණද කියා බැලුවේ නැද්ද?
සාක්ෂිකාරිය: මා ඒ පිළිබඳව බැලුවේ නෑ. අනිත් නිලධාරීන් බැලුවද කියලා දන්නේ නෑ
නීතිඥවරයා: මේ වාර්තාවේ ගොඩනැගිලි කිහිපයක් ඇති බව හෝ නිෂ්පාදනාගාරය එක ගොඩනැගිල්ලක් ලෙස සඳහන් කර එය පරීක්ෂා කළ බව පමණයි තියෙන්නේ
සාක්ෂිකාරිය: ඔව්, එම ගොඩනැගිල්ලේ රසායනාගාරයක් ලිපි ගොනු කිහිපයක් තිබුණා. අනිත් ගොඩනැගිලි වල මොනවද තිබ්බේ යන්න දන්නේ නෑ.
නීතිඥවරයා: ඔබේ වාර්තාවේ එකේ සිට පහ තෙක් සඳහන් කර ඇත්තේ භෞතික තත්ත්වය ගැන 5 සිට තෙක් කාරණාවල සඳහන්ව ඇත්තේ නිරීක්ෂණය කළ කරුණු සම්බන්ධයෙන් එහි සඳහන් වෙනවා. හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නිෂ්පාදන, අමුද්‍රව්‍ය හෝ ලිපි ලේඛන කිසිවක් නොතිබූ බව එය හොඳටම විශ්වාසද?
සාක්ෂිකාරිය: අපි ටෝච් එක භාවිතා කරලා අවශ්‍ය හැම තැනම බැලුවා. එම ස්ථානවල ඒවා තිබුණේ නෑ.
නීතිඥවරයා: ඒ සඳහා ප්‍රමාණවත් ආලෝකයක් තිබුණා ද?
සාක්ෂිකාරිය: අප සියලු දෙනාම ෆෝන් වල ටෝච් ගහලා තමයි එය පරීක්ෂා කළේ.
නීතිඥවරයා: විදුලිය සපයා ගන්න වෙනත් ක්‍රමයක් ගැන බැලුවේ නැද්ද?
සාක්ෂිකාරිය: නෑ එහි යනකම් අපි ඒ ගැන දන්නේ නෑ. විදුලි බලය නොමැති බව දන්නේ නෑ
මෙම වාර්තාව කඩිනමින් ලබාදීමට තමන්ට උපදෙස් ලැබුණු බව සඳහන් කළ සාක්ෂිකාරිය අධිකරණ කටයුත්තක් හේතුවෙන් එය කඩිනමින් ලබාදීමේ වගකීම තිබූ බවද සඳහන් කළාය.

එම පරීක්ෂා කරන ස්ථානයේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය නොතිබූ අතර නිෂ්පාදන ලේබලයක් හෝ නොතිබූ අතර නමුත් යම් ද්‍රාවණය සහිතව එන්නත් බෝතල් කිහිපයක් තිබුණු බවත් ඒවා අදාළ නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබූ බවත් සඳහන් කළ සාක්ෂිකාරිය මේ වන විට ඒවා කොතැනක තිබේද යන්න පිළිබඳව තමන් නොදන්නා බව කියා සිටියාය.
අදාල ගොඩනැගිල්ලේ ඉවත් කළ යතුරු වෙනුවට ආහාර සහ ඖෂධ පරීක්ෂකවරු විසින් අලුතින් ඉබි යතුරු යෙදීමක් සිදු කළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
මේ පරීක්ෂණාගාරය සම්බන්ධයෙන් නැවත වරක් පරීක්ෂා කරන ලෙස 2029 ජනවාරි මස 10 වන දින මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් තම ආයතන ප්‍රධානියාට ලැබුණු බව සඳහන් කළ සාක්ෂිකාරිය එම දැන්වීම ප්‍රකාරව අදාළ වාර්තාව සකස් කිරීම සඳහා තමන් එහි ගිය බව සඳහන් කළාය.
අදාළ පරිශ්‍රය නිරීක්‍ෂණය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සභාපතිව සිටි වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් සකස් කළ ලේඛනයක් සාක්ෂිකාරියට පෙන්වා සිටි අතර එහි ඇති අත්සන එම වෛද්‍යවරයාගේ බවට සාක්ෂිකාරිය විසින් හඳුනා ගනු ලැබීය.
එම වාර්තාවේ අදාල නිරීක්ෂණ කටයුත්තට සහභාගී වූ පිරිස් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සෝකෝ පොලිස් නිලධාරීන්, මෙම නඩුවේ පළමු වන විත්තිකරු වන සුදාත් ජානක ප්‍රනාන්දු යන අය සහභාගී වූ බව සඳහන්ව තිබීම සම්බන්ධයෙන් නීතිඥවරයා සාක්ෂිකාරියකයෙක් අවධානය යොමු කළ අවස්ථාවේදී ඇය සඳහන් කළේ එම නිලධාරීන් අදාළ අවස්ථාවට සහභාගී වූ බවත් එහිදී ගොඩනැගිලි සියල්ලම පරීක්ෂාවකට ලක් නොකළ බවත්ය.
එදින එම ස්ථානයට යන විට එහි විදුලි ආලෝකය තිබූ බවත් එම ගොඩනැගිල්ලේ ඒ ඒ ලේබල් කර තිබූ බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
"මුල් අවස්ථාවේ අදාළ පරිශ්‍රය නිරීක්ෂණය කරන අවස්ථාවේදී එලෙස ලේබල් කිරීමක් කර තිබුණාදැ"යි නීතිඥවරයා විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේත් තමන්ට ඒ පිළිබඳ විශේෂ මතකයක් නොමැති බවය .මුල් අවස්ථාවේදී එහි යන විට එම ගොඩනැගිල්ලේ ආලෝකයක් නොතිබූ බවත්, ආලෝකයක් වැටෙන ස්ථානයක් තිබුණාද යන්න පිළිබඳව තමන්ට නිවැරදි මතකයක් නොමැති බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
නීතිඥවරයා: ඔබ ඇතුළු කණ්ඩායම ඔය ස්ථානයට ගියේ දහවල් කාලයේ නෙ. විදුලිය නැතත් සාමාන්‍ය පරිදි ආලෝකයක් එතන තියෙන්න ඇති නේද?
සාක්ෂිකාරිය: මට ඒ පිළිබඳව මතක නෑ.
නීතිඥවරයා: ඔබ කියන්නේ එම ගොඩනැගිල්ලේ දොර ජනෙල් කිසිවක් නැතුව තිබූ බවද?
සාක්ෂිකාරිය: ඒ පිළිබඳව මට මතකයක් නෑ.
නීතිඥවරයා: ඔබ අදාළ ගොඩනැගිල්ලේ ස්වරූපය ගැන අසත්‍ය සාක්ෂි දෙන බවට මා යෝජනා කරනවා.
සාක්ෂිකාරිය: ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.
නීතිඥවරයා: පසුව අවස්ථාවේදී එහි යන විට ආලෝකය තිබුණා සැකකටයුතු කිසිවක් නොතිබූ බව සඳහන් කරනවා.
සාක්ෂිකාරිය : එසේය ස්වාමීනී,
නීතිඥවරයා: දියර වර්ගයක් ඇතුළත් කුප්පි පහක් එහි තිබී සොයාගත් බව ඔබ කිව්වා කවුරුන් භාරයටද ඒවා ගත්තේ?
සාක්ෂිකාරිය: ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ බාලයට භාරයට.
නීතිඥවරයා: ඔබ ඒවා පරික්ෂා කරාද?
සාක්ෂිකාරිය: නෑ ඒ කුප්පි වල තියෙන්නෙ මොනවද කියලා දන්නේ නෑ ."ඒවා රසායනාගාරය තුළ විවෘත කිරීමෙන් යම් අහිතකරය බලපෑමක් ඇතිවිය හැකියි" යන සැකය නිසා ඒවා පරීක්ෂා කළේ නෑ.
අදාළ කුප්පි අධිකරණයට ඉදිරිපත් කළාද යන්න පිළිබඳව තමන් නොදන්නා බව නීතිඥවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය.
එම කුප්පි වල අහිතකර බැක්ටීරියාවන් තිබෙනවාද යන්න පිළිබඳව දැනීමක් නොමැති වීම හේතුවෙන් ඒවා පරීක්ෂාවට ලක් නොකර බව ඇය සඳහන් කළාය
එම අවස්ථාවේදී නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ "අහිතකර බැක්ටීරියා තිබෙනවාද යන්න පිළිබඳව පරීක්ෂාවක් කළ යුතුයි නේද?" යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.
එම කුප්පි වල තිබූ ද්‍රාවණය කුමක්ද යන්න පිළිබඳව දැන ගැනීමේ හැකියාවක් නොමැති වීම හේතුවෙන් ඒවා පරීක්ෂා කිරීම විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ කළ යුතු බවත් බැක්ටීරියා පරීක්ෂා කිරීමේ විශේෂ ක්‍රම තිබෙන බවත් සඳහන් කළ සාක්ෂිකාරිය කෙසේ වුවද මෙම කුප්පි පරීක්ෂාවට ලක් නොකළ බව සඳහන් කළාය.

"එම කුප්පි පරීක්‍ෂා කිරීම අවදානම් නිසා පරීක්‍ෂා නොකරම අවදානම් බවට වාර්තා කළාද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර එහිදී තවත් කුප්පි 12ක් හමුවූ බවත්, ඉන් කුප්පි පහක් භාරයට ගත් බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
අදාළ කුප්පි තෝරා ගැනීම සිදුකළේ කුමන පදනමක් මතද යන්න පිළිබඳව නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී තමන් ඒ පිළිබඳව නොදන්නා බව සඳහන් කළ සාක්ෂිකාරිය ඒ සඳහා බලය ඇත්තේ ඖෂධ සහ ආහාර පරීක්ෂකවරුන්ට බව සඳහන් කළාය.
එම ගොඩනැගිල්ලේ තිබුණු විදුලිය රහිත ශීතකරණයක තිබූ කුප්පි රැගෙන නිලධාරීන් රැගෙන ගිය ශීත පෙට්ටියක ඇසුරු බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්සාක්ෂිකාරිය සඳහන් කළාය.
ඒ සම්බන්ධයෙන් වාර්තාව සභාපතිවරයාට ඉදිරිපත් කළ අතර ඔහු එය අධිකරණයට ඉදිරිපත් කළාද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
අදාළ සාම්පල කවුරුන් බාරයට ගත්තාද යන්න පිළිබඳව තමන නොදන්නා බව සඳහන් කළ සාක්ෂිකාරිය අදාළ වාර්තාව සකස් කරන අවස්ථාව වන විට තමන් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ බැලීමක් සිදු නොකළ බව සඳහන් කළාය.
"ඔබේ අංශයට මෙම සාම්පල් දහය පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ඉදිරිපත් කළාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර එවැනි ඉදිරිපත් කිරීමක් සිදු නොවූ බව සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී "ඒවා පරීක්ෂා කිරීමකින් තොරවම අහිතකර තත්ත්වයන් ඇති බවට වාර්තාවේ සඳහන් කළාද ?"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරය ගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ සාම්පල තිබූ ආකාරය සහ එම සාම්පල තමන් දුටු බවත් එම කරුණු මත ඒවා අහිතකර විය හැකි බවට සෑහීමකට පත් වී වාර්තාව සකස් කල බවත්ය.
පළමු වරට හමුවූ කුප්පි සහ තිබූ ස්ථානය පිළිබඳව තමන්ට විශේෂ මතකයක් නොමැති අතර ශීතකරණයක තිබූ කුප්පි අතුරින් සාම්පල පහක් ලබාගත් බව තමන්ගේ මතකයේ ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.
"හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය නිෂ්පාදනයට ගන්නා යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් ඔබට දැනීමක් තිබෙනවාද ?"යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරය ගෙන් විමසීමක් කළ අතර තමන් ඒ පිළිබඳව නොදන්නා බව ඇය සඳහන් කළාය.
එම ගොඩනැගිල්ලේ තිබුණු වීදුරු දොරෙන් අදාළ උපකරණ නිරීක්ෂණය කළ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
නීතිඥවරයා: ඔබ සීදුවේ පිහිටි අදාළ ගොඩනැගිලි පරිශ්‍රය පරීක්ෂා කිරීමට ගියේ අධිකරණ නියෝගයක් අනුව?
සාක්ෂිකාරිය: එසේය, ස්වාමීනි අපි ගියේ මෙම ඖෂධය හැදුවා ද කියලා බලන්න.
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා:එම ඖෂධ හදලා තියෙනවද කියලා බැලුවද?
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනි, නිෂ්පාදිත සාම්පල තියෙන්න ඕනේ. අමුද්‍රව්‍යය තිබිය යුතුයි
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා :එකින් එක පරීක්ෂාවට ලක් කරනවාද?
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනි.
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා :තමුන් මොකටද එම ස්ථානයට ගියේ?
සාක්ෂිකාරිය: මේ ඖෂධය හැදුවාද කියා බලන්න
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: හැදුවද කියලා බැලුවද?
සාක්ෂිකාරිය :ඔව්, ස්වාමීනී.
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: ඒ කොහොමද
සාක්ෂිකාරිය නිෂ්පාදිත අමුද්‍රව්‍ය හෝ සාම්පල තිබෙනවාද කියලා බැලුවා. අපිට ඒ මොකුත් හමුවුණේ නෑ.
නීතිඥවරයා: ලේඛන බලන්න ලැබුණද?
සාක්ෂිකාරිය: විදුලිය නොතිබුණු නිසා ලේඛන බලාගන්න බැරි වුනා. ස්වාමීනී සැප්තැම්බර් 25 දින.
නීතිඥවරයා: මීට පෙර ඔබ සාක්ෂි ලබාදීමේදී කිව්වා ඔබේ ආයතනයට රෝහල්වලින් සාම්පල ලැබුණු බව. ජාතික රෝහලින් සාම්පල 20 ක් ඊට පසුව සාම්පල බැගින් 90 ක් සහ තවත් මාතර රෝහලින් තොගයක් ලැබුණු බව ඔබ කිව්වා. ඒවා කොහොමද ලැබුණේ?
සාක්ෂිකාරිය අපේ නිලධාරීන් ගිහිල්ල ගෙනාවා ස්වාමීනී, එය ගිහින් ගෙනාව ද කියලා ලේඛන මගින් සොයා ගන්න පුළුවන්. ඊට අදාළ ලේඛනයක් තියෙනවා. එහි ගියේ තියෙනවා ගිහින් ගෙනාව ද ,ගෙනත් දුන්නද කියන එක සම්බන්ධයෙන්.
අනතුරුව එම කරුණු ඇතුළත් ලේඛන හෙවත් work sheet සාක්ෂිකාරිය ගේ අවධානයට යොමු කළ නීතිඥවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ කලේය.
පළවන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කිරීමෙන් අනතුරුව මෙම නඩුවේ තුන්වන විත්තිකාරිය වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා විසින් සිදුකරන ලදී.
සාක්ෂිකාරිය විසින් මීට පෙර සාක්ෂි දෙනු ලැබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය freeze dried format එකකින් තිබිය හැකිදැයි නීතිඥවරයා විමසීමක් අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එලෙස එම ඖෂධය පැවතිය හැකි බවය.
අදාළ ඖෂධයක් ගබඩා කළ යුතු උෂ්ණත්වය සම්බන්ධයෙන් work sheet වල සඳහන්ව තිබෙනවාද යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එම උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙක සිට අට දක්වා ලෙස සඳහන්ව ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.

මෙම ඖෂධ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වීමෙන් අනතුරුව සාම්පල කිහිපයක් ජාතික රෝහලෙන් සහ මාතර රෝහලෙන් තමන්ගේ ආයතනයට පරීක්ෂාව කිරීම සඳහා ලැබුණු බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
එම සාක්ෂි විමසීමෙන් අනතුරුව දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළාය.
එහිදී තමන්ට ඉදිරිපත් වූ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ 2015 වසරේ වනතෙක් NDQAL පැවති සිය ආයතනය ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත මගින් NMQAL බවට පත්කළ බවය.
එම අධිකාරියේ ඇති කිරීමේ පරමාර්ථය "ප්‍රත්‍යක්ෂ, ආරක්ෂාකාරී හා නිවැරදි ඖෂධ සාධාරණ මිලකට මහජනතාවට ලබාදීම නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට" ඔව්" යන පිළිතුරු ලබා දුන්නාය.
"2022 /2023 කලේදී හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් හෝ රිටොප්සි මැබ් ඖෂධ අංග සම්පූර්ණ වශයෙන් පරීක්ෂා කිරීමේ පහසුකම් NMQAL රසායනාගාරයට නොතිබූ බව සඳහන් වෙනවා නේද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය "ඔව් "යන පිළිතුරු ලබා දුන්නාය.
එම කාලයේදී අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ කවුරුන්ද? යන්න පිළිබඳව නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී අජිත් ප්‍රියදර්ශන මහතා එම තනතුරේ කටයුතු කළ බවත් ඔහුගේ අත්සන හඳුනාගත හැකි බවත් සඳහන් කළ සාක්ෂිකාරිය ඔහු විසින් වෛද්‍ය සැපයුම් එකකයේ අධ්‍යක්ෂකවරයාට ඒවා ඇති ලිපියක පිටපතක් අධිකරණය හමුවේ හඳුනා ගත්තාය.
අදාළ ලිපිය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය ජෙනරාල්වරිය විරෝධය පළ කළ අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම ලේඛණය ද්වීතික සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට ඔප්පු කිරීමේ භාරයට යටත්ව ඉදිරිපත් කිරීමට අවසර දීමට පිළිතුරු මඩුල්ල තීරණය කළේය.
අදාළ ලිපියට අවධානය යොමු කර නීතිඥවරයා එහි ඖෂධ පරීක්ෂා කිරීම සඳහා පහසුකම් නොමැති බවට ඇති සඳහනක් සම්බන්ධයෙන් සාක්ෂිකාරය ගෙන් කරුණු විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ප්‍රතිදේහ ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට සිය ආයතනයේ රසායනාගාරයට පහසුකම් නොමැති බවය.
වෛද්‍ය සැපයුම් ඒකකයකට ලැබෙන ඖෂධ එහි තත්ත්ව පාලන අංශය විසින් රසායනාගාරයට යොමු කළ බව සාක්ෂිකාරිය මීට පෙර සාක්ෂි ලබාදෙමින් සඳහන් කළ අතර එම ඖෂධ අතරට රිටොප්සි මැබ් ඖෂධයද ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් නීතිඥවරයා සාක්ෂිකාරිය ගෙන් කරුණු විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ ඖෂධ සම්පූර්ණ වශයෙන් පරීක්ෂා කිරීමේ පහසුකම් තම රසායනාගාරයට නොමැති අතර ශුද්‍ර ජීවී පරීක්ෂාව පමණක් සිදුකිරීමේ පහසුකම් ඇති බවය.
රිටොප්සි මැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ රසායනාගාර පරීක්ෂාවට යොමු කර තිබූ නමුත් එහි ඇති ප්‍රධාන සංඝටකයන් හඳුනා ගැනීමේ පහසුකම් සිය රසායනාගාරයට නොමැති බවද සඳහන් කළ සාක්ෂිකාරිය එම පහසුකම දැනටත් එහි නොමැති බව කියා සිටියාය.
"ඔබ මීට පෙර සාක්ෂි වලදී සඳහන් කළා adverse drug reaction පිළිබඳව ඉන් අදහස් වන්නේ කුමක්ද ? යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය
ඉන් අදහස් වන්නේ අදාළ ඖෂධය ලබා ගැනීමෙන් අනතුරුව බරපතල තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් කළාය.

ඇස් අන්ධ වීම, මරණය සිදුවීම යනාදිය එවැනි තත්ත්වයන් බව සඳහන් කළ සාක්ෂිකාරිය තමන් අදාළ රසායනාගාරයේ සේවයට පැමිණි 1994 වසරේ සිට මේ වන තෙක්ම වරින් වර එවැනි තත්ත්වයන් වාර්තා වූ බව සඳහන් කළාය.
තමන් විද්‍යාඥවරියක වන අතර විවිධ හේතූන් මත වර්ෂ දෙයක තත්ත්වය වෙනස් විය හැකි බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. අමුද්‍රව්‍ය නිසි ලෙස යොදා නොගැනීම ,නිෂ්පාදන ක්‍රියාවලියේදී නිසි පරිදි කටයුතු නොකිරීම, නිවැරදි උෂ්ණත්වයේ ගබඩා කර නොතිබීම, වැනි හේතූන් මත අදාල ඖෂධය ලබා ගැනීමෙන් අනතුරුව advance drug reaction ඇතිවිය හැකි බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
"එවැනි තත්ත්වයන් වාර්තා වූ විට withhold කිරීම හෝ withdraw කිරීමක් සිදු කරනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි කටයුතු සිදුවන බවය.
අදාළ කටයුතු සලකා බැලීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතුව "සෆ්රැක් " නමැති කමිටුව ඇති බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා, ඖෂධ වේදය පිළිබද මහාචාර්යවරුන් ,විශේෂඥවරුන් යනාදී පිරිසකගෙන් සමන්විත වන බවද සඳහන් කළාය .කෙසේ වුවද එහි සාමාජිකයින් කුමන තරාතිරමක අයද යන්න පිළිබඳව තමන්ට නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැකි බව සඳහන් කළ සාක්ෂිකාරිය ඖෂධයක් හේතුවෙන් එක් මරණයක් වාර්තා වූ අවස්ථාවක පවා එම කමිටුව රැස්වන බව ද සඳහන් කළාය
2023 වසර වන විට තමන් NMQAL හි වැඩ බලන අධ්‍යක්ෂක ලෙස කටයුතු කර අතර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සාම්පල පරීක්ෂා කිරීම් සඳහා ලැබී තිබුණු බව ද, අදාළ ඖෂධ පරීක්ෂා කිරීමේ පහසුකම් තම විද්‍යාගාරයට නොමැති බැවින්ට අදාළ ශුද්‍ර ජීවී පරීක්ෂාව පමණක් සිදුකළ බවද සඳහන් කළාය.
එම ඖෂධය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් සෆ්රැක් කමිටුවේ නිර්දේශ මත අදාළ ඖෂධ withhold කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා කරුණු විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඊට අදාළ ඊමේල් පතක් තමන්ට ද ලැබී තිබූ බවය.
මීට අදාළ ඊ මේල් පත උදේශිකා විජේරත්න නැමැති ඖෂධවේදිනියක් විසින් සකස් කර සෙසු ආයතන සහ නිලධාරීන්ට යොමු කර තිබූ අතර එහි අදාළ ඖෂධයේ නිෂ්පාදකයා ලෙස live ealth biotech pharmaceutical ලෙස සඳහන්ව ඇත්තේ යතුරු ලියන දෝෂයකින් දැයි නීතිඥවරයා විමසා සිටිය අවස්ථාවේදී එවැන්නක් සිදුවිය හැකි බව සාක්ෂිකාරිය කියා සිටියාය.

"එය යතුරු ලියන දෝෂයක් විය හැකිද?" යන්න පිළිබඳව නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊට විරෝධය පළ කරමින් එවැන්නක් පිළිබඳව කොතැනක හෝ සඳහන් වන්නේද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමක් කළාය.
අදාළ කරුණු සම්බන්ධයෙන් pronto පද්ධතිය හරහා දැනුවත් කිරීමක් කළ කර තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ නීතිඥවරයා pronto පද්ධතිය සම්බන්ධයෙන් ප්‍රශ්න විමසීම සිදු කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ඇයගෙන් එම පද්ධතිය පිළිබඳව ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළාය.
"සාක්ෂිකාරියට මම ප්‍රශ්නයක් යොමු කළා ස්වාමීනි, ඇය පිළිතුරු දෙන්න සූදානම් වන විට මගේ උගත් මිතුරිය මැදට පැන විරෝධතා මතු කරන්නේ පිළිතුරු ඇගවෙන ලෙසයි. මෙය දිගින් දිගටම සිදු වුණා. මෙය නතර විය යුතුයි"
ඒ සම්බන්ධයෙන් නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඊමේල් පත් සාක්ෂිකාරියක් ද යොමුවී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කළ හැකි බව සඳහන් කරමින් අදාළ ප්‍රශ්නයට අවසර ලබා දුන්නේය.
එහිදී නීතිඥවරයා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ අදාල ඖෂධය withhold හෝ withdraw කර ඇති බව පද්ධතියට ඇතුලත් කිරීමෙන් අනතුරුව එය පිවිසිය හැකි රජයේ රෝහල් සහ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ඕනෑම අයෙකුට ඒ පිළිබඳව හැකියාව ඇති බවය.
අදාළ කරුණ ප්‍රසිද්ධ කිරීම සඳහා නියාමන අධිකාරියේ වෙබ් කළමනාකරු වෙත යොමු කර තිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය
ඖෂධය withhold කිරීම සඳහා ලැබූ තීරණය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියට උඩුගත කිරීමට කටයුතු කර තිබූ බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය.
අදාළ ඖෂධ පරීක්ෂා කිරීම සඳහා NMQAL ආයතනයට බල කිරීම සඳහා හැකියාවක් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂකවරයාට නොතිබූ බවට නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය "එසේ විය හැකියි" යනුවෙන් සඳහන් කළාය.
එම කරුණ ප්‍රකාශ කිරීමත් සමගම දෙවන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ බව නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදි.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

