leader s

2022/2023 කාලයේදී ඖෂධ සාම්පල රාශියක් ලැබී තිබුණද සේවක හිඟය හේතුවෙන් එම සියලු ම සාම්පල පරීක්ෂා කිරීමට නොහැකි වූ බව ජාතික ඖෂධ තත්ත්ව රසායනාගාරයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ දීපිකා බුලත් සිංහල මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.

 
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇති නඩුව විභාග කරන විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලදි.
 
පැමිණිල්ලේ තුන්වන සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදෙමින් සිටි ජාතික ඖෂධ තත්ත්ව රසායනාගාරයේ වැඩ බලන අධ්‍යක්ෂකවරියක සහ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂකවරියක වන දීපිකා බුලත් සිංහල මහත්මියගෙන් මූලික සාක්ෂි විමසීම පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් මීට පෙර සිදුකර  අවසන් කරන ලදි.
 
පළවන දෙවන සහ තුන්වෙනි විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම ද අවසන් කෙරිණ.
 
ඇයගෙන් හරස් ප්‍රශ්න විමසීම් සිදු නොකරන බව 4-11 දක්වා වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියහ. 
 
ඒ අනුව දොළොස් වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂාන් ද අල්විස් මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරමින්" ඖෂධයක් withhold කිරීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?"  යනුවෙන් ප්‍රශ්න කර සිටියේය.
 
ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය සඳහන් කළේ ඖෂධයක් තාවකාලිකව පාවිච්චි කිරීම නතර කිරීම withhold කිරීම යනුවෙන් හඳුන්වන බවය.
 
එවැනි අවස්ථාවක අදාළ ඖෂධය සම්බන්ධයෙන් කාලය රැගෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂාවන් සිදු කර ගැටළුවක් නොමැති බව අනාවරණය වුවහොත් නැවත භාවිතයට ගැනීමට අවසර ලබාදීමක් කළ හැකිද යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එලෙස සිදු කළ හැකි බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
එහෙත් "ඖෂධයක් withdraw කළ විට එය කිසිදු ආකාරයකින් භාවිතා කළ නොහැකි බව" නීතිඥවරයා කියා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය එය අනුමත කළාය. ඒ අනුව "එලෙස ඖෂධයක් withdraw කිරීම සරල කරුණක් නොවන බව පිළිගන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය එය පිළිගන්නා බව සඳහන් කළාය. 
 
 
අධිකරණය හමුවේ 2 v 54 ලෙස ලකුණු කර ඇති ඊමේල් පණිවිඩයට සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නීතීඥවරයා එය ඇයට ලැබුණා දැයි ප්‍රශ්න කර සිටියේය.
 
 තමන්ට ඒ ලැබුණු බව සාක්ෂිකාරිය කියා සිටි අතර  එය එම ඖෂධය  withhold කිරීමටත් දෙන ලද පළමු පණිවිඩය දැයි නීතිඥවරයා යොමු කළ ප්‍රශ්නයට "ඔව්" යන පිළිතුර ඇය ලබා දුන්නාය. 
 
ඖෂධයක් withhold  කිරීම හෝ withdraw කිරීම  සෆ්රැක් කමිටුව  විසින් ගන්නා ලද සාමූහික තීරණයක්  වන අතර එකී තීරණය ප්‍රකාශයට පත් කිරීම පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන විධායක නිලධාරියා විසින් සිදුකරන බව හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියා සිටියාය.
 
තමන් එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවද සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.  
 
"එම කමිටුව විසින් ගනු ලබන්නේ සාමූහික තීරණ ද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සෑම අවස්ථාවකදීම සාමූහික තීරණ නොගන්නා නමුත් රසායනාගාරය මගින් නිර්දේශ කළ විට එම නිර්දේශයන් මත සාමූහික තීරණයන් ගනු ලබන බව සාක්ෂිකාරිය කියා සිටියාය. ඒ අනුව withdraw කරන තීරණය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගන්නා බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
  
විනිසුරු විරාජ් වීරසූරිය මහතා :ඖෂධයක අහිතකර ප්‍රතිවිපාක ඇත්නම් ඒ ගැන මුලින්ම දැනුම් දෙන්නේ කාටද? 
 
සාක්ෂිකාරිය:  pharmaco vigilant division  එකට ඒ බව දැනුම් දෙනවා ස්වාමීනී 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: එවැනි ගැටලුවක් සෆ්රැක් කමිටුවට දැනුම් දීමට හැකියාව තිබෙනවාද?
 
සාක්ෂිකාරිය:  ඖෂධ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මත තමයි සෆ්රැක් කමිටුව රැස්වෙන්නේ. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා : NMRA එක පාදක කරගන්නේ pharmaco vigilant අංශයේ තීරණ මත ද , නැත්නම් තනියම තීරණ ගන්න අවස්ථාවන් තිබෙනවාද?
 
සාක්ෂිකාරිය: එම තීරණ රසායනික පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස ලබාගත හැකි ස්වාමීනි.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා :ඖෂධයක අහිතකර ප්‍රතිවිපාක ගැන රෝහල් පද්ධතිය දැනුවත් කරන්නේ කෙසේද?
 
සාක්ෂිකාරිය: ඊමේල් මගින් පුළුවන් ස්වාමීනී, ඒ වගේම pronto පද්ධතියෙන් පුළුවන්. 
 
 විනිසුරු විරාජ් වීරසූරිය  මහතා:  ඵලදායී වෙන්නේ ෆොන්ටෝ පද්ධතියේ දාන එකද MSD වෙබ් අඩවියේ පළ කරන එකද?
 
සාක්ෂිකාරිය ඒ දෙකම හොඳයි ස්වාමීනි pronto පද්ධතිය මගින් තමයි රෝහල් සහ ගබඩා වලට ඒ බව දැනුම් දෙන්නේ. 
 
 
මෙම ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය  withdraw කිරීමට 2023/09/20 දින සෆ්රැක් කමිටුව විසින් තීරණය කර ඇති අතර ඒ වන විට තමන් ජාතික තත්ත්ව පර්යේෂණ රසායනාගාරයේ වැඩ බලන අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
අදාළ තීරණය රෝහල් වලට දැන ගැනීමේ හැකියාව පළමු වරට ලැබී ඇත්තේ කවදාදැයි විනිසුරු විරාජ් වීරසූරිය මහතා ප්‍රශ්න කළ අවස්ථාවේදී තමන්ට ඒ පිළිබඳව දැනීමක් නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
අනතුරුව ලේඛනවලට අවධානය යොමු කළ සාක්ෂිකාරිය ඔක්තෝම්බර් මස 13 දින රෝහල්වලට එම පණිවිඩය ලැබී ඇති බව සඳහන් කළාය. 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: සෆ්රැක් කමිටුව විසින් සැප්තැම්බර් මස 22 වැනිදා ගනු ලැබූ තීරණය අවසන් තීරණය ද?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: එය අවසාන තීරණය නම් රජයේ රෝහල්වලට දැනුම් දීම කළ යුතුව තිබුණා නේද?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ඒ අනුව වහාම කටයුතු කර තිබෙනවාද?
 
සාක්ෂිකාරිය : ස්වාමීනි චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ 10/13 දිනයි. NMRA  ඒ තීරණය ගෙන ඇත්තේ 09/21 දින යි.ඒ දින අතර ගැප් එකක් තිබෙනවා.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: 2 v 24 ලේඛණයේ සඳහන් වෙන්නේ NMRA වෙබ් අඩවියේ පළ වූ බව පමණයි.
 
සාක්ෂිකාරිය :ඒ බව වෛද්‍ය සැපයුම් ඒකකයට දැනුම් දී තිබෙනවා ස්වාමීනි 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා :2v 28 ලේඛණය පරිදි සෆ්රැක් කමිටුවේ තීරණය ගැනීමෙන් දවස් 13 කට පසුවත් ,ඒ තීරණය ගෙන දින 12කට පසුවත් MSD එක මගින් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා . මේ ආයතන දෙක එක ළඟද තියෙන්නේ?
 
සාක්ෂිකාරිය :NMRA  ආයතනය රෝහල් පරිශ්‍රයේත් MSD ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය පරිශ්‍රයෙත් තමයි පිහිටලා තියෙන්නේ. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: පයින් යා හැකි  දුරකින් නේද මේ ආයතන තියෙන්නේ? දින 12 කට අඩු කාලයකදී මෙය circulate වුණා කියලා දැන ගන්න තියෙනවාද?
 
සාක්ෂිකාරිය: නැත ස්වාමීනී
 
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: NMRA වෙබ් සයිට් එකේ මේ බව පළ කළ බව කිව්ව නේ. ඖෂධයක් පාවිච්චි කරන්න කලින් වෙබ් එක බලනවද?
 
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනි MSD එක මගින් නිකුත් කරන චක්‍රලේඛය තමයි වඩා වැදගත් වෙන්නේ.
 
යම් ඖෂධයක් withdraw කිරීම සෆ්රැක් කමිටුවේ තීරණය මත සිදුවන්නේ දැයි නීතිඥවරයා එම අවස්ථාවේදී සාක්ෂිකාරියගෙන් විමසා  සිටි අතර සෑම අවස්ථාවකදීම එසේ සිදු නොවන බව ඇය සඳහන් කළාය. 
 
"නිල බලයෙන්ම සෆ්රැක් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඔබ කටයුතු කරනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය  ඊට" ඔව් "යන පිළිතුරු ලබා දුන්නාය.
 
 " එසේ නම් ඔබ සහභාගී වූ එම කමිටුවක දී මෙම ඖෂධය withdraw කිරීමට තීරණය ගෙන තිබෙනවා නේද?, ඒ  පිළිබඳව ප්‍රශ්න කරන විට ඇයි වෙනත් පිළිතුරු දෙන්නේ" යනුවෙන් නීතිඥවරයා විමසීම විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ කමිටුවේ රැස්වීම් වලට සහභාගි වී මේ වන විට වසර තුනක් පමණ ගතවී ඇති අතර තමන්ට ඒ පිළිබඳව පැහැදිලි මතකයක් නොමැති බවය. 
 
පැමිණිලි නැතත් අවශ්‍ය නම් NMQAL එකට ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂා කළ හැකිදැයි විනිසුරු විරාජ වීරසූරිය මහතා එහිදී සාක්ෂිකාරිය ගෙන් විමසීමක් කළ අතර" විශේෂ දැනුම් දීමක් කරන්න තිබුණා නම් පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ,මෙම ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලෙස  විශේෂ දැනුම් දීමක් කර නොතිබූ බවත්" සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය 
 
"ඔබ ආයතනයට අවශ්‍ය නම් ස්වේච්ඡාවෙන් අදාළ පරීක්ෂා කටයුතු කරන්න පුලුවන්ද?" යනුවෙන් විනිසුරු විරාජ් වීරසූරිය මහතා නැවත ප්‍රශ්නයක් යොමු කළ අතර  ඒ සඳහා NMRA අවසරය ලබා ගත යුතු බව ඇය  ප්‍රකාශ කළාය.
 
female Lawyer
 
තමන් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥවරියක් බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ඇති කිරීමෙන් පසුව NMQAL ආයතනයේ සේවක සංඛ්‍යාව 11 තෙක් අඩු වූ බවට සාක්ෂිකාරිය මීට පෙර ලබා දුන් සාක්ෂිය සම්බන්ධයෙන්  විනිසුරු විරාජ් වීරසූරිය මහතා කරුණු විමසීමක් කළේය. 
 
ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් සාක්ෂිකාරිය සඳහන් කළේ 2015 වසරේදී  NDQAL ආයතනය NMQAL ආයතනය ලෙස අධිකාරියට අනුයුක්ත කළ අතර ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් හත් දෙනකු පමණ එම අවස්ථාවේදී ඉන් ඉවත්ව ගිය බවය. ඉන් අනතුරුව විද්‍යාඥයන් හය දෙනකු පමණක් එහි ඉතිරි වූ අතර ඖෂධවේදීන් සෑහෙන ප්‍රමාණයක්ද ආයතනයෙන් ඉවත්ව ගිය බව ඇය සඳහන් කළාය. 2023 සැප්තැම්බර් මාසය පමණ වන විට එම ආයතනයේ සේවක සංඛ්‍යාව අධ්‍යක්ෂක සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ද ඇතුළුව එකොළොස් දෙනෙකුට සීමා වී තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
  
තම ආයතනයට ඖෂධ විශ්ලේෂකයන් 26 දෙනෙකු කාඩරයේ සිටින නමුත් සැබවින්ම සිටියේ 13 දෙනෙකු බවද ඖෂධවේදීන් 29 දෙනෙකු කාඩරයේ සිටින බවත් සැබැවින්ම සිටියේ 25 දෙනෙකු පමණක් බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: "ඔබ කිව්වා සේවක හිඟය නිසා පරීක්ෂාවන් සිදු කර නොහැකි බව. අවසානයේ මරණයක් සිදුවූ පසුව පරීක්ෂා කළ බව කිව්වා.
 
සාක්ෂිකාරිය: ස්වාමීනි ඒ වන විට සාම්පල 241ක් පරීක්ෂා කිරීම් සඳහා ලැබී තිබුණා. ජූලි මාසය වන විට සාම්පල 227ක් ලැබී තිබුණා. ඒ වන විට ඖෂධ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී තිබුණා. මිනිසුන්ට ඖෂධ වල තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් තිබුණා. යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළා ය.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ඔබ සාක්ෂි දෙමින් කිව්වා නේද මරණයක් සිදු වුවහොත් හෝ ඉහළ නිලධාරීන් ප්‍රමුඛතාවය දෙන ලෙස නියෝග කළහොත් පමණයි පරීක්ෂණ කටයුතු සිදු කළේ කියලා. එය හරිද?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: NMRA පනතේ පරමාර්ථය කුමක්ද? එම අධිකාරිය පිහිටුවීමෙන් පසු පරීක්ෂා කිරීමේ මහජනතාවගේ සුභ සිද්ධිය සඳහා කළාද?, නැතිනම් පනතට සීමා වුණා ද?
 
සාක්ෂිකාරිය: කළ හැකි උපරිම දේ කලා ස්වාමීනී, සේවක හිඟය නිසා පරීක්ෂාවන් කළ නොහැකි වුණා.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ප්‍රත්‍යක්ෂ නිවැරදි ඖෂධ ලබාදීම සඳහා පනතෙහි ඇති පරිදි කටයුතු කිරීමට බැරි වුණාද? රෝගීන් මියගියාට පස්සෙද පරීක්ෂණ කටයුතු සිදු කළේ ?කවුරුන් හෝ කියා තිබුණාද රෝගීන් මියගිය හොත් හෝ ඉහළ නිලධාරියෙකු දැනුම් දුන් පසුව පරීක්ෂණ කටයුතු කළ යුතු බවට?
 
සාක්ෂිකාරිය :එහෙම සඳහනක් තිබුණේ නෑ ස්වාමීනී, අපට ඒ සම්බන්ධයෙන් guidance ලැබී තිබුණේ නෑ. සේවක හිඟය තිබුනත් සේවකයන් බඳවා ගන්න අපිට බෑ. අධිකාරිය විසින් බඳවා ගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කළ සේවකයන් තමයි මෙම ආයතනයට අනුයුක්ත කළේ 
 
මෙම සේවක හිඟය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමක් නොකළේ දැයි විනිසුරු විරාජ් වීරසූරිය මහතා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය කියා සිටියේ බලධාරීන් දැනුම් වත් කිරීම් සිදුකළ නමුත් නිසි පිළිතුරක් නොලැබුණු බවය. 
 
"එහෙම තත්ත්වයක් යටතේද ඔබ වැඩ බලන අධ්‍යක්ෂක ධූරය භාර ගත්තේ?"යනුවෙන් විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ භාර ගැනීමට තමන්ට රාජකාරිමය වගකීමක් තිබූ බවය. 
 
"NMRA  ආයතනය පිහිටුවීමේ පරමාර්ථ තිබුණත් ඒ අනුව කටයුතු සිදුවී නෑ ,පර්යේෂණ කටයුතු සිදුවන්නේ නෑ, රෝගීන් මැරුණු පසුව තමයි පරීක්ෂණ කටයුතු සිදුවන්නේ, යනාදිය පිළිබඳව දැනුවත් කිරීමක් බලධාරීන් වෙත සිදුකර තිබුණාද ?" යනුවෙන් විරාජ වීරසූරිය මහතා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර තමන් දන්නා පරිදි එවැනි දැනුවත් කිරීමක් කර නොතිබූ බව ඇය සඳහන් කළාය. 
 
සේවක හිඟය වළක්වා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළා නම් සිදු වූ හානිය අවම කර ගැනීමට තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
සමගම සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න හරස් ප්‍රශ්නය විමසීම සහ අධිකරණයේ ප්‍රශ්න යොමු කිරීම අවසන් වූ අතර පැමිණිල්ල වෙනුවෙන් නැවත ප්‍රශ්න විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සිදුකරන ලදී. 
 
අදාළ ප්‍රශ්නගත ඖෂධය withdraw කිරීමට සැප්තැම්බර් මස 21 වැනිදා තීරණය කර ඇති නමුත්  ඊට ලිඛිත දැනුම් දීම හෙට දින සිදුකරන බව අදාළ ඒ මේල් පණිවිඩය සඳහන් වුවද එලෙස හෙටක් යන දිනයක සිදුකළ දැනුම් දීමක් පිළිබඳව අනාවරණය වී තිබේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එහිදී සාක්ෂිකාරි ගෙන් විමසීමක් කළාය. එවැනි ලිපියක් නිකුත් කිරීමක් පිළිබඳව සඳහනක් නොමැති බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
 
2020 සැප්තැම්බර් 2 වැනිදා මෙම ඖෂධය අත්හිටුවන විට වෛද්‍ය විජිත් ගුණසේකර ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළාද? යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ වන විට ඔහු එම ධුරයේ කටයුතු කළ බව ය.
 
හරස් ප්‍රශ්න විමසීමේදී අසත්‍ය ප්‍රකාශ කරන බවට සහ අධිකරණය නොමග යවන බවට විත්තියේ නීතිඥවරුන් සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ අසත්‍ය සාක්ෂිය ලබාදීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවය. 
 
මීට අදාළ රාජකාරී කටයුතු කර මේ වන විට වසර ගණනාවක් ගත වී ඇති අතර තමන්ට ඒ පිළිබඳව පැහැදිලි මතකයක් නොමැති බවද පවතින මතකය අනුව අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම පමණක් සිදුකළ බවද සාක්‍ෂිකාරිය එහිදී සඳහන් කළාය
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ හරස් ප්‍රශ්න විමසීම අවසන් කිරීමෙන් අනතුරුව දීපිකා බුලත්සිංහල මහත්මියගෙන් සාක්ෂි විමසීම අවසන් කරන ලදී. 
 
අනතුරුව මෙම නඩුවේ පැමිණිල්ලේ 4 වන සාක්ෂිකරු ලෙස නම්කර සිටින වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්ති විශේෂඥ වෛද්‍ය රජීව් සිල්වා මහතාගෙන් සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විසින් සිදුකරන ලදී. 
 
1986 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව පශ්චාත් උපාධිය ලබා දුන් ගැනීම සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී මෙම සාක්ෂිකරුගේ සුදුසුකම්, ප්‍රවීණත්වය, සහ විශේෂඥ භාවය,  විත්තියේ නීතිඥවරුන් විසින් පිළිගන්නා ලදී. 
 
ශුද්‍ර ජීවී විශේෂඥයෙකු ද ප්‍රතිශක්තිකරණ විශේෂඥයෙකු ද වන තමන් ,2000 වසරේ සිට පශ්චාත් උපාධිය ලබාගන්නා සිසුන්ට ඉගැන්වීම සිදුකරන බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
medicine inject 1
ප්‍රතිශක්තීකරණ විශේෂඥ භාවය යනු කුමක්දැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු ඒ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ශරීරයට බාහිර විෂබීජ ඇතුළත් වන විට ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින් ඒ විෂබීජ විනාශ කිරීම ප්‍රතිශක්තීකරණය යනුවෙන් හඳුන්වන බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
ප්‍රතිශක්තිකරණ ඌනතාවයන් සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සාක්ෂිකරු එහිදී සිදු කළේය.
 
එවැනි රෝගීන්ට ඖෂධ ලබා දීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු  අතර මෙම ප්‍රශ්නගත ඖෂධය ලබාදීමෙන් අනතුරුව ඒ පිළිබඳව තමන්ට දැනගැනීමට ලැබුණු  බව ද , එම අවස්ථාවේදීම ඒ පිළිබඳව සෆ්රැක් කමිටුවට දැනුම් දීමට කටයුතු කළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
එදින එදිනට නියමිත සාක්ෂි විමසීම සිදු කර අවසන් වන අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දැනුම් දීමක් කරමින්අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර ඉල්ලා සිටියාය.
 
ප්‍රශ්න ගත ප්‍රතිදේහ එන්නත් සාම්පල සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂාව සිදු කළ ජර්මානු ජාතික විද්‍යාඥවරියක එලෙස සාක්ෂි ලැයිස්තුවට ඇතුලත් කිරීමට අවශ්‍ය බව ඇය දැනුම් දුන්නාය.
 
දැනට ඊ මේල් මගින් සිතාසි බාර දී ඇති ජර්මානු ජාතික සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි ලබා ගැනීම zoom තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ස්ථීර පුද්ගල මහාධිකරණයට දන්වා සිටියාය.
 
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම නඩුවට අදාළව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි ලැයිස්තුව 350 තෙක් වැඩි කිරීමට අවසර ලබා දුන්නේය.
 
medicine 20260131
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
  
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
  
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 කට අධික සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න    

 

whatsapp 202507155

නවතම පුවත්