රෝගීන්ගේ රුධිරයේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා IVIG ලබා දෙන අතර තමන් පරීක්ෂාවට ලක් කළ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ලේබලය සහිත කුප්පියේ තිබූ ද්‍රාවණයේ අවම ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගත වූ බව විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇති නඩුවේ පැමිණිල්ලේ හතරවන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලදි.
එහිදී මෙම නඩුවේ හතරවන සාක්ෂිකරු ලෙස සිටින වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්ති විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතා, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් මූලික සාක්ෂි ලබාදීම සිදු කළේය.
Live ealth biotech pharma private limited මගින් බෙදා හරින ලද ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ලබාදීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමෙන් පසු ඒ පිළිබඳව තොරතුරු සහ ඡායාරූපය ඇතුළත්ව තමන්ට ලැබුණු වට්ස්ඇප් පණිවිඩ සෆ්රැක් කමිටුවේ අවධානයට ලක් කිරීම පිණිස යොමු කළ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
අදාළ පණිවිඩ පරීක්ෂා කිරීමට ලැබුණු අතර එම කමිටුවේ minutes sectary ලෙස සේවය කළ උදේශිකා විජේරත්න විසින් ඒ බව සිය අවධානයට යොමු කළ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. මාතලේ සහ මහනුවර රෝහල් වලින් අදාල ඖෂධය භාවිතා කළ රෝගීන්ට අසාත්මිකතා ඇතිවූ බව සඳහන් කරමින් එවන ලද වාර්තා දෙකක් තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය. මාතලේ රෝහලින් ආසාත්මිකතා ඇතිවූ රෝගීන් දෙදෙනකු පිළිබඳව වාර්තා වූ බව සඳහන් කළ සාක්ෂිකරු ඊට අදාළ වාර්තාවන් අධිකරණය හමුවේ හඳුනාගත්තේය.
"මාතලේ රෝහලේදී මෙම එන්නට ලබාදුන් ගවුඩර් නමැති රෝගියාට ඇතිවූ අහිතකර ප්‍රතිවිපාක ගැන බැලුවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව තමන් අවධානය යොමු කළ බවය .ඔහුට බරපතල අසාත්මිකතාවයක් ඇතිව තිබුණු අතර එම අසාත්මිකතාවයන් හඳුනා ගැනීමට වෙනම පරීක්ෂණ නොමැති බවත් රෝග ලක්ෂණ මගින් එම අසාත්මිකතා හඳුනාගත හැකි බවත් සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා අදාළ ආසාත්මිකතා වාර්තා වූ වහාම එම රෝගියාට ඖෂධ ලබාදීම කළ යුතු බව සඳහන් කළේය.

ඇග කැසීම, රුධිර පීඩනය අඩුවීම, ස්වසන පද්ධතියේ ආබාධ, ආහාර මාර්ග පද්ධතියේ ගැටලු යනාදිය Anaphylaxis හෙවත් බරපතල ආසාත්මිකතාවයන් හඳුනා ගැනීමේ රෝග ලක්ෂණ බව ඔහු එහිදී සඳහන් කළේය. මෙම රෝගියාට ද එවැනි බරපතල ආසාත්මිකතා තත්ත්වයක් ඇතිවී තිබූ බව ද එම තත්ත්වය IVIG එන්නත ලබාදීමෙන් පසුව ඇතිවූ බවද එම වාර්තාවල සඳහන් වූ බව සාක්ෂිකරු කියා සිටියේය.
අදාල ඖෂධය live ealth biopharma private limited ආයතනය නමින් බෙදා හැර තිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
අනික් රෝගියා සම්බන්ධ වාර්තාවන් පරීක්ෂා කිරීමේදී ඔහුට Anaphylaxis හෙවත් බරපතල ආසාත්මිකතාවක් ලෙස හඳුනාගත නොහැකි අතර ඔහුට වෙව්ලීම පමණක් ම ඇතිවී තිබූ බව සඳහා සාක්ෂිකරු සඳහන් කළේය .එම වෙව්ලීමේ තත්ත්වය live ealth biopharma private limited ආයතනය විසින් ලබා දුන් "IVIG එන්නත" ලබාදීමෙන් අනතුරුව ඇති වී ඇති බව අනාවරණය වූ බව සාක්ෂිකරු සඳහන් කළේය .
"ඔබ කිව්වා ආසාත්මිකතා ඇති රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කරන බව .ඒවා ලැබෙන්නේ කොහොමද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී
ස්වාමීනී, එම රුධිර සාම්පල පරික්ෂා කරන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින්. රෝගීන්ගේ රුධිර සාම්පල ටියුබ් වල දමා එවනවා. ඇතැම් අවස්ථාවල අයිස් වල බහා එවනවා . අදාළ ටියුබයේ මූඩිය එහි ඇති රුධිරය පිටතට නොයන පරිදි තදකර වසා තබනවා. එම ටියුබ්ය පැය 24 ක් හෝ කාමර උෂ්ණත්වයේ තැබුවත් වෙනසක් වන්නේ නෑ. යනුවෙන් සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දුන්නේය.
"ඔබේ ප්‍රතිශක්තීකරණ අංශයටද ඒවා ලැබෙන්නේ?" යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර " 2024 වසර වන තෙක්ම මම එහි ප්‍රධානියා ලෙස කටයුතු කළා. වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂක අංශ දහයක් පමණ තිබෙනවා. දෛනිකව සුළු සේවකයෙකු ගොස් රෝහල්වලින් අදාල ටියුබ් සහ ෆෝම් අරගෙන එනවා. ඒවා පරීක්ෂාවට ලක් කරනවා. එහිදී එම රුධිර සාම්පලයෙන් රුධිර ප්ලාස්මා රුධිර ලබා ගැනීම සිදුකරනවා"ඇති යනුවෙන් සාක්‍ෂිකරු කියා සිටියේය.
"රුධිර සාම්පලයකින් සීරම් එක, හෙවත් ප්ලාස්මා වෙන් කර හඳුනා ගන්නේ කෙසේද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කර සිටියේ අදාළ සාම්පලයට විද්‍යාගාරය මගින් අංකයක් ලබාදෙන බවය. එම අංකය අදාළ ටියුබයට ද යොදන අතර එය පරිගණකයේ ද අන්තර්ගත වන බව ඔහු සඳහන් කර සිටියේය
ප්ලාස්මා සහ රුධිරය සහිත ශීතකරණ වලට සාමාන්‍ය පුද්ගලයන්ට ළඟාවිය නොහැකි අතර රසායනික තාක්ෂණික නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් වන වගකීම පැවරී ඇති බව සඳහන් කළ සාක්ෂිකරු තමන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කටයුතු කරන විට එම කටයුතු සම්බන්ධයෙන් රසායනික තාක්ෂණික නිලධාරීන් හතර දෙනකු සිටි බව සඳහන් කළේය.
රසායනාගාරය සම්පූර්ණ වශයෙන් වායු සමනය කර ඇති අතර සවස හතරට එය එම වායු සමීකරණ විසන්ධි කරන බවද නමුත් ශීතකරණයට විදුලි සැපයුම අත්හිටුවීමක් සිදු නොකරන බව ඔහු සඳහන් කළේය. හදිසි අවස්ථාවකදී විදුලිය ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් ජෙනරේටර් සකස් කර ඇති බවද සාක්ෂිකරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
ඖෂධයක අඩංගු "IVIG ප්‍රෝටීන සොයා ගැනීම සඳහා වන පරීක්ෂණ සිදුකිරීමට රසායනාගාරයක් මෙරට තිබෙනවාද යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර එවැනි පරීක්ෂණ කළ හැකි යන්ත්‍ර ඇතැම් පෞද්ගලික රෝහල්වල ඇති අතර ඇතැම් රජයේ රෝහල් වලද ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය. එහෙත් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ ඇති IVIG තත්ත්වය පරීක්ෂා කිරීම වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් පමණක් ම සිදු කරන අතර එහිදී රුධිර ප්ලාස්මාවේ ඇති IVIG පරීක්ෂාවකට ලක් කරන බවද ඔහු සඳහන් කර සිටියේය.
"ඔබ මීට පෙර සඳහන් කරා IVIG අඩංගු කුප්පියක ඇති IGG පරීක්ෂා කිරීම සඳහා අවස්ථාවක් ලැබුණු බව. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය පවසා සිටි අවස්ථාවේදී
"ඔව්, ස්වාමීනි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් එම සාම්පල ලැබුණා. සාම්පල චෙක් කරන ලෙස සෆ්රැක් කමිටුව විසින් ගන්නා ලද තීරණයක් මත එම පරීක්ෂාවන් සිදු කළා."යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළේය

අදාළ සාම්පල 2023 /10/12 දින වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබුණු අතර තමන් ඊට අත්සන් යොදා එය භාරගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
"සාම්පල නිවැරදි උෂ්ණත්වය යටතේ නිසි ලෙස ගබඩා කර ලැබුණේද?" යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන්ට ඒ ලැබුණු ආකාරය පිළිබඳව මේ වන විට මතකයක් නොමැති බවය. එහෙත් නිසි ලෙස ලබාදීම සිදු නොකළේ නම් තමන් එය භාර ගැනීමක් කිසි ලෙසකින්වත් සිදු නොකරන බව ඔහු කියා සිටියේය
IVIG එන්නත සෙල්සියස් අංශක 2_8 උෂ්ණත්වයක ගබඩා කළ යුතු අතර එසේ නොමැතිව කාමර උෂ්ණත්වයේ පැවතියේ නම් එය තමා විසින් බාර ගැනීමක් සිදු නොකරන බව සඳහන් කළ සාක්ෂිකරු 2023/10/12 දින අදාළ සාම්පල තමන් භාරගන්නා විට නිර්දේශිත ආකාරයට රැගෙන විත් තිබෙන්නට ඇති බව සඳහන් කළේය. එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා විසින් ලබා දෙන ලද ලිපියක් ද ඒ සමග ලැබුණු බව සාක්ෂිකරු කියා සිටියේ ය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ කිව්වා IVIG වල ඇති IGG පරීක්ෂා කිරීම සඳහා ප්‍රථම වරට තමයි මෙම අවස්ථාව ලැබුණේ කියලා .ඒ පිළිබඳව අධිකරණයට පැහැදිලි කිරීමක් කරන්න.
සාක්ෂිකරු: මෙම සාම්පලය ලැබුණේ මෙම නඩුවට අදාළව පැය 418 ලෙස ලකුණු කර ඇති කුප්පිය හා සමාන කුප්පිය ක එහි ඇති ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට needle එකක් ඇතුලත් කොට මයික්‍රෝ ලීටර් ප්‍රමාණයක් ලබා ගැනීම සිදු කළා. ඕනෑම දියරයක ඕනෑම කොටසක ඇති සාන්ද්‍රණය එක හා සමාන වන බැවින් මයික්‍රෝ ලීටර් ප්‍රමාණයක් ලබා ගැනීම මගින් වෙනසක් සිදුවන්නේ නෑ
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එහිදී සොයා ගත් දෙයක් තියෙනවාද?
සාක්ෂිකරු: මෙහි අවම IGG මට්ටමක් තමයි තිබුනේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: අදාළ කුප්පියේ ඇති ලේබලයේ IGG කොපමණ ප්‍රමාණයක් සහිත බවක් සඳහන් වෙනවාද?
සාක්ෂිකරු: 5G ml 5000 ඇති බව සඳහන් වෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඊට අදාළ සාම්පල නිරීක්ෂණය කරන විට හඳුනාගත්තේ කුමක්ද?
සාක්ෂිකරු: එහි අඩංගු IGG ප්‍රමාණය මිලිග්‍රෑම් 75 ට වඩා අඩුයි. අපේ පරීක්ෂා කිරීම සඳහා වූ kitඑකේ අවම ප්‍රමාණය 75 යි. IGG ප්‍රමාණය නිවැරදිව තිබෙනවා නම් මිලිග්‍රෑම් 3000ක් ලෙස පැවතිය යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: අදාළ කරුණු ඇතුළත් වාර්තාව අත්සන් කළේ කවුද?
සාක්ෂිකරු එය අත්සන් කලේ මම. මීට අදාළව 2022 ඔක්තෝර් මස 12 වෙනිදා ලැබුණු සාම්පල පිළිබඳ වාර්තා NMRA ආයතනයට යැව්වා. එම වාර්තාව හඳුනාගත හැකියි. එම වාර්තාවේ දිනය 2023 /11/14 දාහතර ලෙස සඳහන්ව තිබෙනවා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: අදාළ වාර්තා NMRA ආයතනයට යැව්වේ ඇයි? ඔවුන්ගෙන් සාම්පල ලැබුණු නිසාද?
සාක්ෂිකරු: ඔව් ඒ හේතුව නිසා තමයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එහි ඇති සාම්පලය පිළිබඳව ඇති විස්තරය කුමක්ද?
සාක්ෂිකරු: 2023 ඔක්තෝබර් 12 වැනිදා NMRA ආයතනය විසින් එවා තිබුනේ live ealth biotech pharma private limited ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද සාම්පල. එය පරීක්ෂා කරන ලෙස කාණ්ඩ අංකයක් සඳහන්ව තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එම පරීක්ෂණයේ ප්‍රතිඵල කුමක්ද IGG සාන්ද්‍රනය 1000mlකට 75 mg ටත් අඩු ලෙස සඳහන් වුණා. එය පරීක්ෂා කළ යන්ත්‍රයේ අවමය අගය ලෙස සඳහන්ව ඇත්තේ 75 යි. ඊටත් අඩු අගයක් තමයි අදාළ සාම්පල යේ ඇතුළත් වුණේ. එම ප්‍රමාණය කොපමණද කියලා කියන්න බැහැ ඒ අනුව IGG මට්ටම පහළ මට්ටමක පවතින බවට Comment ලෙස සඳහන් කළා.
මෙම පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව තමන් අදාළ සාම්පල "Electrophoresis" නමැති පරීක්ෂණය සිදුකිරීම සඳහා යොමු කළ බවද එහි ප්‍රෝටීන් තිබෙනවා නම් ඒවා සංඝටකවලට වෙන් කිරීමේ හැකියාවක් ඇති බවද සාක්ෂිකරු සඳහන් කළේය. මෙම කුප්පියේ තිබුණු ද්‍රාවණයේ කිසිදු ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගතව නොමැති බව එම පරීක්ෂණයේදී තහවුරු කරගත් බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"රෝගීන්ට ලබා දුන්නේ මෙම IGG ලබා දුන්නේ කුමන කාලයේදී ද ,ඊට පෙර වෙනත් brand වලින් ද එය ලබා දුන්නේ" යනුවෙන් විනිසුරු විරාජ වීරසූරිය මහතා එහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ පෙර අවස්ථාවලදී වෙනත් brand වලින් අදාළ ඖෂධය ලබාදුන් බවය .මෙම නිෂ්පාදනය පිළිබඳව සැප්තැම්බර් මාසයේදී දැනගත් නමුත් එය කවදා සිට රෝගීන්ට ලබා දුන්නේ ද යන්න පිළිබඳව නොදන්නා බව ඔහු කියා සිටියේය.
සාමාන්‍යයෙන් රෝගියෙකුට IVIG ලබාදීම සති හතරෙන් හතර සිදු කරන අතර IGG අවම මට්ටමේ ඇති රෝගියාට IVIG ලබාදෙන විට IGG සමාන මට්ටමකට පත්වන බව සාක්ෂිකරු සඳහන් කළේය .
"ඔබ සඳහන් කළා සංකූලතා මතුවූ බව කියන එම රෝගීන් තුන්දෙනාටම Live ealth biopharma සමාගමේ IVIG ලබාදුන් බව" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම නිෂ්පාදනය රෝගීන්ට ලබා දුන් නමුත් ඔවුන්ගේ ප්‍රතිදේහ වැඩිවීමක් සිදුවී නොමැති බවය . එම කරුණ තමන්ගේ වාර්තාවේ ප්‍රතිඵල තහවුරු කිරීම සඳහා හේතු වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය .රෝගීන්ගේ නම් ඇතුලත් කිරීම් වෘත්තීය සදාචාරත්වය ට පටහැනි බැවින් අදාළ වාර්තා වලින් එම රෝගීන්ගේ නම් ඉවත් කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
මෙම කරුණු ඇතුළත් කොට තමන් විසින් නිකුත් කරන ලද 2023/11/14 දිනැති වාර්තාව හඳුනා ගත හැකි බව සාක්ෂිකරු සඳහන් කළේය.
ඒ සමගම මෙම සාක්ෂිකරුගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් බව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය.
ඉන් අනතුරුව මෙම නඩුවේ පළමු වන විත්තිකරු වන අයිසොලෙස් බයෝ ටෙක් පාමා ආයතනයේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
ජානමය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්ට IVIG ලබාදෙන බවට මීට පෙර කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම රෝගීන්ට ලබා දිය යුතු ප්‍රතිකාර සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට නිර්දේශ කිරීම තම ආයතනය විසින් සිදුකරන බවය. ඊට අදාළ ප්‍රතිකාර කටයුතු ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කරන බව සාක්ෂිකරු සඳහන් කළේය.
"එම රෝගීන් කුමන හෝ අවස්ථාවක ඔබගේ අංශයට යොමු කරනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී අදාළ රෝගීන් තම ආයතනයේ සායන සඳහා යොමු කරන බවත්, ඔවුන්ගේ තොරතුරු ගොනුගත කර තබා ගැනීම සිදුකරන බවත්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්‍ෂණ කටයුතු සඳහා එම තොරතුරු යොදාගන්නා බවත් සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
තම අංශය විසින් ලෙඩුන් පරීක්ෂා කිරීමක් සිදු නොකරන අතර ඔවුන්ගේ ලේ සාම්පල පරීක්ෂා කිරීම සිදුකරන බවද සාක්ෂිකරු වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

"ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් ජානමය ඌනතා ඇති රෝගීන්ට බාහිරින් IVIG ලබාදිය යුතු බවට ඔබ නිර්දේශ කරනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර ඖෂධ ලබා දිය යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් නිර්දේශයක් සිදුකරන බව සාක්ෂිකරු කියා සිටියේය .එම එන්නත් ලබාදීම ලංකාවේදී නම් රෝහල්වලදී සිදු කරන අතර වෙනත් රටවල පෞද්ගලික අංශය විසින් ද එය සිදුකරන බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
"රෝගියෙකුට IVIG ලබාදුන් පසු එය මොන නිෂ්පාදකයාගේ ද , කුමන කාණ්ඩයේ ද යන්න පිළිබඳව රෝගියාට දැන ගැනීමට හැකියාවක් තිබෙනවාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ, ඖෂධ ලබාදීම රහසිගත ක්‍රියාවක් නොවන බැවින් රෝගියෙකුට අවශ්‍ය නම් රෝහල් කාර්යය මණ්ඩලය විමසා ඒ පිළිබඳව දැන ගැනීමේ අවස්ථාව ඇති බවය.
නීතිඥවරයා: ඔබ සඳහන් කළා ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ලබාදීමෙන් අනතුරුව රෝගීන් කිහිප දෙනෙකුට සංකූලතා ඇතිවූ බව වාර්තා වූ බව. ඒ කුමන රෝහලේ ද?
සාක්ෂිකරු: මාතලේ රෝහලෙන් රෝගීන් දෙදෙනෙකු පිළිබඳව වාර්තා වුණා. රෝගීන් දෙදෙනාටම ආසාත්මිකතා ඇති බව ඔවුන් වාර්තා කළා. එහිදී පවුඩර් නමැති රෝගියාට බරපතල අසාත්මිකතාවක් ඇති වී තිබුණා. එම දිනය සඳහන් වුණේ සැප්තැම්බර් මස 4 වැනිදා ලෙසයි. අදාළ ඖෂධය සම්බන්ධයෙන් වට්සැප් පණිවිඩයක් ලැබුණා. එදින දහවල් දොළහයි විස්සට අදාළ එන්නත රෝගියාට ලබාදීම ආරම්භ කර ඇති අතර පස්වරු එකයි, පනහ වන විට ඔහුගේ රෝග ලක්ෂණ මතු වූ බව සඳහන් වුණා. අදාළ ඖෂධයේ ඇසුරු මෙහි ඡායාරූපයක් whatsapp මගින් ලැබුණා
නීතිඥවරයා: බෝතලේ ඡායාරූපයක් ඔබට ලැබුනේ නැද්ද?
සාක්ෂිකරු: එහි තවත් ඡායාරූපයක් තිබුණා. එහෙත් එය පැහැදිලි නෑ එය නිසැකවම බෝතලේ ඡායාරූපයක් විය යුතුයි.
නීතිඥවරයා :මේ ඇසුරුම කොහොමද රෝගියෙකුට ළඟට යන්නේ?
සාක්ෂිකරු :ඒ ගැන මම දන්නේ නෑ. අවශ්‍යතාවයක් තියෙනවා නම් හෙදියකගෙන් හෝ මේ ඇසුරුම ඉල්ලා ගත හැකියි. එය ලොකු ප්‍රශ්නයක් නොවෙයි.
නීතිඥවරයා: ඔබ රෝහලක වාට්ටුවක රෝගීන්ට ප්‍රතිකාර තර තිබෙනවාද?
සාක්ෂිකරු: ඔව් වෛද්‍ය සිසුවෙක් ලෙසත් සාමාන්‍ය වෛද්‍යවරයකු ලෙසත් කටයුතු කරද්දී ප්‍රතිකාර කර තිබෙනවා.
නීතිඥවරයා: එවැනි අවස්ථාවල ඖෂධ පෙට්ටිය ආවරණ රෝගීන් අතට පත්වන අවස්ථා දැක තිබෙනවාද?
සාක්ෂිකරු: රෝගියාට අවශ්‍ය නම් රෝගියාට ලබාදෙන ඖෂධ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකියි.
නීතිඥවරයා: මෙම ඡායාරූපයේ එව්වේ අදාළ රෝගියා ද?
සාක්ෂිකරු: නෑ ඔහුට ප්‍රතිකාර කළ මගේ වෛද්‍යවරයා . නමුත් මේ රෝගියා පසුව අපේ සායනයට ආවා. ඔහු තමන්ට ඇති වූ සංකූලතා ගැන සඳහන් කළා.
"මෙම ඖෂධය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ පසුව එය සෞඛ්‍ය පද්ධතියෙන් ඉවත් කිරීමට තීරණය කළේ කවදාදැයි" නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එම දිනය සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි මතකයක් නොමැති බවත් එය ඔක්තෝම්බර් මාසයේදී දිනයක් විය හැකි බවත් සාක්ෂිකරු කියා සිටියේය.
මෙම ඖෂධය ලබාදීමට පෙර ප්‍රදානයක් ලෙස ලැබුණු ඖෂධයකින් මරණ තුනක් වාර්තා වූ බවට ඇති සටහනක් කෙරෙහි සාක්ෂිකරුගේ අවධානය යොමු කළ නීතිඥවරයා "අදාළ ඖෂධය ලියාපදිංචි කර නෑ ලියාපදිංචි නොකළ ඖෂධයක් ප්‍රදානයක් ලෙස ලැබිය හැකි හැකිද ?"යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය.
එවැන්නක් සිදුවිය හැකි බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
සාම්පල පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනයට රැගෙන ඒම සම්බන්ධයෙන් සාක්ෂිකරු ලබාදුන් සාක්ෂියට අදාළව ප්‍රශ්නයක් යොමු කළ නීතිඥවරයා ඒවා නිසි උෂ්ණත්වය ගබඩා කර තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඩේටාලොගර් භාවිතා කිරීමක් සිදු කරනවාදැයි විමසීමක් කළේය.
එවැනි ඩේටා ලොගර් භාවිතා කිරීමක් සිදු නොකරන බව සාක්ෂිකරු සඳහන් කළේය.
"ඖෂධ සාම්පල ලබාදීම කවරාකාරයෙන් සිදුවන්නේ ද යන්න පිළිබඳව සටහනක් තබා ගැනීම සිදු කරන්නේදැ"යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැනි සටහනක් තබා ගැනීම සිදු නොකරන බවද සාක්ෂිකරු සඳහන් කළේය.

"මීට පෙර මෙම ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ලබාදීම සිදු කළේ වෙනත් සැපයුම්කරුවන්ගෙන් ලබාගත් නිෂ්පාදන භාවිතා කිරීමෙන් ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ රිලයින්ස් සමාගමෙන් අදාළ ඖෂධ දිගින් දිගටම ලබාගත් බවය.
වෙනත් සමාගමකින් සපයන ලද IVIG ලබාදීම හේතුවෙන් මරණ තුනක් වාර්තා වීම සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ මහනුවර සහ රාගම රෝහලේ එවැනි මරණ දෙකක් සිදුවූ බවය. ඔවුන් දෙදෙනාටම හෘද වාහිනී වල රුධිර කැටි ගැටි ගැසීමේ රෝගී තත්ත්වයන් තිබූ එම රුධිර කැටි දිය කිරීම සඳහා ඖෂධ ලබාදීම හේතුවෙන් ඔවුන්ගේ රුධිර පට්ටිකා අඩුවී තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය. එවැනි අවස්ථාවකදී IGG ලබාදීම සිදුකළහොත් රුධිරය කැටි ගැසීමේ තත්ත්වය හේතුවෙන් එවැනි මරණ සිදුවිය හැකි නමුත් මෙම ඖෂධය ලබාදීම හේතුවෙන් එවැනි සංකූලතා ඇතිවිය නොහැකි බව සාක්ෂිකරු සඳහන් කළේය. කෙසේ වුවද මෙවැනි තත්ත්වයකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ඉල්ලා සිටි බවද සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය.
නීතිඥවරයා: ඔබට එම ඖෂධයේ පෙට්ටිය හෝ කුප්පිය නිරීක්‍ෂණය කිරීමට අවස්ථාවක් ලැබුණේ නෑ?
සාක්ෂිකරු: එවැනි අවස්ථාවක් ලැබුණේ නෑ.
නීතිඥවරයා :මා ඔබට යෝජනා කරනවා ප්‍රශ්නගත ඖෂධය සම්බන්ධයෙන් ඔබ ද්වේශ සහගතව සාක්ෂි ලබාදෙන බවට.
සාක්ෂිකරු : ඔව් ස්වාමීනී මා එය පිළිගන්නවා. මෙම ඖෂධය හේතුවෙන් සංකූලතා මතුවීම හොඳ තත්ත්වයක් ලෙසයි මම දකින්නේ. සංකූලතා ඇතිවීම නිසා මේ ඖෂධය පරීක්ෂා කර අත්හිටුවීමට තීරණය කළා. එසේ නොවුනා නම් දිගින් දිගටම රෝගීන්ට මෙය ලබාදීම සිදුකරනවා. එම එන්නත දිගින් දිගටම ලබා දීමේදිත් IGG වැඩි නොවුනහොත් රෝගීන්ට ලබාදෙන මාත්‍රාව තව තවත් වැඩි කරනවා. ඒ හේතුවෙන් රෝගීන් වැඩි සංඛ්‍යාවක් මිය යාමට අවස්ථාව තිබුණා. අප වෛද්‍යවරුන් ලෙස රෝගීන්ගේ ජීවිත ගැන ඉතා අවධානයෙන් කටයුතු කරනවා. මෙවැනි ඖෂධයක් ලබාදීම හේතුවෙන් රෝගීන් මිය යාම සම්බන්ධයෙන් කණගාටුවක් තිබෙනවා.
නීතිඥවරයා :ඔබ මෙම ඖෂධයේ සැපයුම්කරු සම්බන්ධයෙන් ද්වේෂ සහගතව සාක්ෂි ලබාදෙන බවට මා යෝජනා කරනවා.
සාක්ෂිකරු. නෑ එය වැරදියි.මා දන්නා සත්‍ය තොරතුරු පමණයි මා කියන්නේ.
නීතිඥවරයා :තවදුරටත් මා යෝජනා කරනවා රෝගීන් සම්බන්ධයෙන් දෙන සාක්ෂි ඔබ පක්ෂග්‍රාහීව ලබාදෙන බවට.
සාක්ෂිකරු :එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා
"මෙම ප්‍රශ්නගත ඖෂධය ලබා දුන් රෝගීන්ගේ ඇද ඉහ පත් කැඳවීමක් කළ බවට සඳහන් වෙනවා. එය කවුරුන් විසින්ද සිදු කළේ? " යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් සිදුකළ බවය.
දිවයින පුරා ඇති රෝහල්වල මෙම ඖෂධ ලබාදුන් රෝගීන් එකසිය දොළහක ගේ පමණ ඇඳ ඉහ පත් ලැබී තිබුණු බවත් ඉන් අට දෙනෙකුට බරපතල සංකූලතා ඇති වූ බවත් මාතලේ මහනුවර සහ ජාතික රෝහල් වලින් ඒවා වාර්තා වී තිබුණු බවත් සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
එම පිළිතුර ලබාදීමත් සමග එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

