ප්‍රතිශක්තීකරණ ඌනතාවයෙන් පෙළෙන රෝගීන්ට ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ලබාදීම අත්‍යවශ්‍ය වන අතර එය ලබා දීම සිදු නොකළහොත් ඔවුන්ට දුක්බර මරණයක් හිමි විය හැකි බව විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇති නඩුවේ පැමිණිල්ලේ හතරවන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලදි.
එහිදී මෙම නඩුවේ හතරවන සාක්ෂිකරු ලෙස කර සිටින වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්ති විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතාගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම පළමු වන විත්තිකරු වන අයිසොලේස් බයෝ ටෙක් පමා හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සිදු කළේය.
මෙම ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් කළ පරීක්ෂණයට අදාළව සාක්ෂිකරු විසින් මීට පෙර ලබාදුන් සාක්ෂිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසා සිටි නීතිඥවරයා Beckmann cooler යනුවෙන් ඇති පරීක්ෂණ උපකරණය සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළේය.
එම යන්ත්‍රය භාවිතා කිරීමේ අරමුණ ලෙස හියුමන් සීරම්, මස්තිෂ්ක තරලය සහ ප්ලාස්මාව පරීක්‍ෂා කිරීම ලෙස සඳහන්ව කර ඇතත් ප්‍රථම වතාවට ඖෂධයක ඇති IGG පරීක්ෂා කළ බවට කළ සඳහන සම්බන්ධයෙන් නීතිඥවරයා එහිදී සාක්‍ෂිකරු ගෙන් විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු "ස්වාමීනී IVIG කුප්පියක ඇති IGG ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි පරීක්ෂා කර බලන්නේ නෑ. එය පරීක්ෂා කර බලන්නේ නිෂ්පාදකයා විසින්. මිනිසුන්ගේ රුධිරයේ, ප්ලාස්මා වල සහ මොලේ තරලයේ IGG තිබෙනවා. ඉමියුනෝග්ලොබියුලීන් වල IGG තියෙනවා. මෙම kit එකෙන් කරන්නේ IGG වලට ප්‍රතිවිරුද්ධ තරලයක් නිකුත් කිරීමයි. ඒක සීරම් එකක තිබ්බත් ඖෂධයක තිබ්බත් එක හා සමානයි. එය IGG එක්ක පමණයි සම්බන්ධ වෙන්නේ සීරම් වල තිබ්බත් කුප්පියක තිබ්බත් IGG වල වෙනසක් වන්නේ නෑ. සීරම් වල වෙනත් ප්‍රෝටීන් තියෙනවා. ඒකෙන් anti IGG වලට මැදිහත්වීමක් තිබෙනවාද දන්නේ නෑ. සාමාන්‍යයෙන් එසේ සිදුවන්නේ නෑ" යනුවෙන් එහිදී සඳහන් කළේය.
නීතිඥවරයා: රෝගීන්ගේ IGG බලන්න මැෂින් එක හදලා තියෙන්නේ. ඔබේ මතය තමයි කුප්පියේ IGG එක හා සමානයි කියන එක.
සාක්ෂිකරු :මෙහි තියෙන්නේ යම් පුද්ගලයෙක්ගේ IGG ද කුප්පියක තියෙන IGG ද යන්න වෙනම දෙයක්. මිනිසුන්ගේ රෝග ලක්ෂණ ටෙස්ට් කරන්න තමයි මැෂින් එක හදලා තියෙන්නේ. බොහෝමයක් බෙහෙත්වල IGG ටෙස්ට් කරන්න හදලා නෑ
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: "හදලා නෑ" කියන්නේ කුමක්ද?
සාක්‍ෂිකරු: ස්වාමීනි ලැබ් එකක උපකරණ හදලා තියෙන්නේ රෝගීන්ගේ පටක බලන්න. ලෝකයේ එක අවස්ථාවකවත් බෝතලයක IGG බලන්න හදලා තියෙනවා කියා මා හිතන්නේ නෑ. දියරයක් තිබ්බත් තරලයක තිබ්බත් රියැක්ෂන් එක වෙනස් වන්නේ නෑ. එය හඳුනා ගැනීමට anti IGG එකක් තිබෙනවා.මේ මැෂින් එක හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ තරල ටෙස්ට් කිරීමට. එයින් කියන්නේ නෑ බෙහෙත් වල ඇති IGG පරීක්ෂා කළ නොහැකි බව.
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: ඔබ කියන්නේ වෛද්‍ය උපකරණයක දත්ත රෝගීන් diagnosis කිරීමට බාධාවක් නෑ කියලද?
සාක්‍ෂිකරු: ඔව්
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: එවැනි පරීක්ෂාවක් කළ එක් අවස්ථාවකට උදාහරණයක් දෙන්න පුළුවන්ද?
සාක්ෂිකරු: දැනට එහෙම කරන්න බෑ ස්වාමීනී, ඖෂධ පිළිබඳව එසේ පරීක්ෂා කිරීම් කර නෑ. මෙය unique දෙයක්. මූලධර්මය එකයි. IGG හඳුනා ගැනීම තමයි මෙහිදී කරන්නේ.
" ඖෂධයක ඇති IGG හඳුනා ගැනීම සඳහා නිෂ්පාදකයන් විසින් සිදුකරන පරීක්ෂණයක් ඇති බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු තමන් ඒ පිළිබඳව නොදන්නා බව ප්‍රකාශ කළේය.
"නිෂ්පාදකයින් විසින් ඖෂධ පරීක්ෂා කිරීම කරන බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහා කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ස්වාමීනී, මා රිලයන්ස් සමාගමේ ඖෂධයක් ද පරීක්ෂාවට ලක් කළා. එහිදීත් මේ උපකරණයම භාවිතා කළා. එහිදී IGG ප්‍රමාණය 3000 වැඩිය තිබුණා" යැයි සාක්ෂිකරු සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් මීට පෙර සාක්ෂි ලබාදීමේදී සඳහන් කළේ නෑ නේද යනුවෙන් නීතිඥවරයා එහිදී සාක්ෂිකරුගෙන් කරුණු විමසා සිටියේය.
තමන් එවැනි සඳහනක් නොකළ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"Reliance life science සමාගමේ ඖෂධ පරීක්ෂා කළ බවට වාර්තාවේ සඳහන් කළාද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි සඳහනක් නොකළ බවය.
අදාළ උපකරණයේ පරීක්ෂා කිරීමේ වපසරිය 75- සිට 3000 අතර ඇති බවට සාක්ෂිකරු මීට පෙර කළ සඳහන සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළ නීතිඥවරයා "IGG ප්‍රමාණය 30000ට වැඩි වූ අවස්ථාවක එය සංඛ්‍යාත්මකව ගණනය කිරීමට හැකියාවක් නැහැ නේද? "යනුවෙන් සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළේය.
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි ගණනය කිරීමක් කළ නොහැකි බවය.
අදාල කුප්පියේ තිබූ IVIG වල IGG පරීක්ෂාව තහවුරු කිරීම සඳහා දෙවැනි පරීක්ෂාවක් සිදුකළ බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
"එම පරීක්ෂාව ඔබ විසින් සිදුකළාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එය තමන් විසින් නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය. "ඒ සඳහා භාවිතා කළ සාම්පල සාක්ෂිකරු විසින් ලබා දුන් බවට වාර්තාවේ කොතැනක හෝ සඳහන්ව තිබෙනවා ද ?"යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි සටහනක් ද නොමැති බවය.
තමන් විසින් එම්. එල්. ටී .නිලධාරියාට අදාළ සාම්පල ලබාදුන් බවද ඔහු ඒ සම්බන්ධයෙන් කුමක් හෝ සටහනක් කර තිබෙනවාද යන්න පිළිබඳව තමන් නොදන්නා බවද සාක්ෂිකරු කියා සිටියේය.
"එහි ලැබ් නම්බරයක් හෝ සාම්පල් නම්බරයක් සඳහන්ව නෑ නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැන්නක් අදාළ වාර්තාවේ සඳහන්ව නොමැති බවය.

"පරීක්ෂාවට ලක් කළේ කුමන සාම්පල ද යන්න පිළිබඳව මෙම වාර්තාව මගින් සොයාගත හැකිද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළ අතර ඔහු සඳහන් කළේ එවැනි හඳුනා ගැනීමක් කළ නොහැකි බවය.
"ස්වාමීනී, අපේ ලැබ් එකේ IVIG ඇති බ්‍රෑන්ඩ් එකක් වෙන තිබුණේ නෑ මෙය පමණයි තිබුණේ. ඒවා තියෙන්නේ වෛද්‍ය සැපයුම් ඒකකයේ. අප දෙපාර්තමේන්තුවේ ඒ වන විට තිබුණේ live earth බ්‍රෑන්ඩ් එක පමණයි. ඒ නිසා පරීක්ෂාවට ලක් කළේ මෙය පමණක් බව ප්‍රකාශ කළ හැකියි." යනුවෙන් සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
"ඔබ ඔය කරන ප්‍රකාශය මෙම වාර්තාව බලලා වෙනත් අයෙකුට තේරුම්ගත හැකිද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ප්‍රශ්නය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළාය.
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා පෙන්වා දුන්නේ "මේ වාර්තාව බලන කෙනෙකුට "මොන වගේ සාම්පලයක් ද පරීක්ෂා කළේ කියලා තේරුම් ගන්න පුළුවන්ද?" කියන තමයි එම ප්‍රශ්නෙන් අහන්නේ. ඒ නිසා එම ප්‍රශ්නය යොමු කිරීම කළ හැකියි" යනුවෙන් සඳහන් කළේය.
ඒ අනුව එකී ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකරු සඳහන් කළේ ස්වාමීනි මෙය එක document එකක් පමණයි. එහිදී මා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජය වික්‍රම මහතාට සටහනක් දැම්මා මෙය අයිසොලෙස් සාම්පලය බවට සදහන් කළා. අදාළ සාම්පලය බව සනාථ කිරීමට තමයි එය කළේ" යනුවෙනි.
මෙම ඖෂධය භාවිතා කළ බව කියන රෝගීන් තිදෙනකු සම්බන්ධයෙන් කළ සඳහන සම්බන්ධයෙන් විමසීමක් කර නීතිඥවරයා " එම රෝගීන්ගේ පරීක්ෂණ වලට අදාළ මුල් පිටපත් අධිකරණයට ඉදිරිපත් කර තිබේදැයි " විමසීමක් කළේය.
එහි මුල් පිටපත තමන් NMRA ආයතනයට යැවූ බව සඳහන් කළ සාක්ෂිකරු "IGG level tags" යනුවෙන් එහි සඳහන් කර ඇති බව කියා සිටියේය.
මෙම ඖෂධයට අදාළ ප්‍රෝටීන් වාර්තාව chemical pathology අංශය විසින් සිදු කළ බවද සාක්ෂිකරු කියා සිටියේ ය.
මෙම කුප්පියෙහි ඇතුළත් ද්‍රාවණය තනුක කර පරීක්ෂණය කිරීම කළ යුතුව තිබුණා නේ දැයි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එහි IGG ප්‍රතිශතය 75 ට අඩු ලෙස පැවති බවය. එවැන්නක් තනුක කළහොත් ඍණ අගයක් පැමිණි හැකි බවත් , එවැනි අවස්ථාවකදී තනුක කිරීමක් සිදු නොකරන බවත් සාක්ෂිකරු කියා සිටියේය.
"IGG ප්‍රතිශතය 3000ට වඩා වැඩි වීමේ අවධානමකුත් තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර ඊට" ඔව්" යනුවෙන් පිළිතුරු දුන් සාක්ෂිකාර විශේෂඥ වෛද්‍යවරයා එවැනි අවස්ථාවක තනුක කිරීමේ ගැටලුවක් මතු නොවන බව සඳහන් කළේය.
IGG ප්‍රතිශතය 3000ට වඩා වැඩි වන අවස්ථාවකදී එය තනුක කිරීමේ ක්‍රමවේදයක් තිබෙන අතර මෙම කුප්පියේ තිබූ ද්‍රාවණයේ IGG 75 ට අඩුව පැවති නිසා තනුක කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවූ බව සාක්ෂිකරු සඳහන් කළේය. එවැනි තනුක කිරීමක් කිරීම සඳහා මෙම ද්‍රාවණයේ ප්‍රතිදේහයක් අඩංගුව නොතිබූ බව සාක්ෂිකරු අවධාරණය කළේය.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති 419 සහ 420 යන වාර්තා සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා එහි එක් ලේඛනයක් මුල් පිටපතක් ලෙසත් අනිත් ලේඛනය කාබන් පිටපතක් ලෙසත් පැවතීම සම්බන්ධයෙන්ද සාක්ෂිකරු ගෙන් කරුණු විමසීමක් කළේය.
"ඔබ ප්‍රතිශක්තීකරණ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළත් ඔබගේ පශ්චාත් උපාධිය තිබෙන්නේ වෙනත් අංශයක නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් පශ්චාත් උපාධිය ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයෙන් සිදුකළ බවය. ඒ වන විට ප්‍රතිශක්තීකරණ වෛද්‍යවරුන් නොසිටි අතර තමන් විදෙස් ගත වී ඊට අදාළ පුහුණුව ලැබූ බව සාක්ෂිකරු සඳහන් කළේය. අනතුරුව ප්‍රතිශක්තිකරණ වෛද්‍යවරයකු ලෙස ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සේවයට එක් වූ අතර මේ වන විට ප්‍රතිශක්තීකරණ වෛද්‍යවරුන්ට අධ්‍යාපනය ලබාදීම ද සිදුකරන බව සඳහන් කළේය.
"මෙම ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇසීමෙන් පසු එම ඖෂධය ලබාදෙන ලද රෝගීන් සියයකට වැඩි සංඛ්‍යාවක ගේ වාර්තා පරිශීලනය කර බව ඔබ සඳහන් කළා .ඔවුන්ගේ සංකූලතා තත්ත්වයන් පිළිබඳව සොයා බැලුවාද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අවස්ථාවේදී තමන් පරීක්ෂා කළ වාර්තාවන්ට අනුව ඇනපිලැක්සස් හෙවත් අධි සංකූලතා තත්ත්වයන් මතු වූ රෝගීන් අට දෙනෙකු පමණ හඳුනා ගත් බව සාක්ෂිකරු කියා සිටියේය.
අදාළ ඖෂධය භාවිතා කිරීම නිසා ආසාදිත වූ සහ IVIG එන්නත් ලබා දුන් සියලු රෝගීන්ගේ ඇද ඉහ පත් ගෙන්වූ බව සඳහන් කළ සාක්ෂිකරු තමන් එවැනි වාර්තා 13 ක් පරිශීලනය කළ බව සඳහන් කළේය.
"එම IVIG ලබාදුන් රෝගීන් සංඛ්‍යාව කීයද යන්න පිළිබඳව දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය. අදාළ ඖෂධයෙන් කොපමණ ප්‍රමාණයක් රෝගීන්ට ලබා දුන්නාද යන්න පිළිබඳවද තමන් නොදන්නා බව සාක්ෂිකරු කියා සිටියේය.
ඒ සමගම පළමු වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කළ අතර සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු නොකරන බවය.
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කිරීම සිදු කළාය.
එහිදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු "අදාළ කුප්පියේ තිබූ ද්‍රාවණය පරීක්ෂා කළ ආකාරය පිළිබඳව සහ මිනිස් රුධිර පටක පරීක්ෂා කිරීම "සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය

ඖෂධය ලබාදෙන රෝගීන් වර්ග දෙකක් සිටින බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. ස්වයං ප්‍රතිදේහ නිෂ්පාදනය නොවන ප්‍රතිදේහ ඌනතා ඇති රෝගීන්ට ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ලබාදිය යුතු බවද සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබ ඒ රෝගීන්ට මාසෙන් මාසෙට එම ඖෂධය ලබා දෙනවා ද? "යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී එසේ ඖෂධ ලබාදීමක් සිදු කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
ප්‍රතිශක්ති ඌනතා රෝගීන් ජීවත්ව සිටින තාක් කල් එම එන්නත ලබාගත යුතු බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
"මහනුවර රෝහලින් වාර්තා වූ රෝගියා ප්‍රතිශක්ති ඌනතා ඇති රෝගියෙක්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී එම රෝගියා එවැනි රෝගියෙකු බව සාක්ෂිකරු කියා සිටියේය. එවැනි රෝගීන් කිහිප දෙනෙකුට ලබාදෙන IGG මාත්‍රාව තීරණය කිරීම ඔහුගේ තත්ත්වය අනුව තීරණය කරන බව සාක්ෂිකරු කියා සිටියේය." එලෙස ප්‍රෝටීන් ලබා ගන්නා රෝගීන්ගේ ජීවිත ඒ ඖෂධ මත රඳා පවතිනවා ද ?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට "ඔව්" යන පිළිතුරු ලබා දුන් සාක්ෂිකරු එවැනි රෝගීන්ගේ ඇඟ තුළ ඇති වයිරස් මරා දැමීම සඳහා ප්‍රතිදේහ ලබාදීම කළ යුතු බව සඳහන් කළේය.
ආහාර මාර්ග පද්ධතියේ හෝ ස්වසන පද්ධතියේ හෝ ඇතිවන වෛරසය රුධිරය මගින් රෝගියාගේ මොළයට ගෙන යෑම සිදුකරන බවත් එය වැළැක්වීම සඳහා එම ඖෂධය ලබාදිය යුතු බවත් සාක්ෂිකරු කියා සිටියේය. එවැනි අවස්ථාවක අදාළ ඖෂධය ලබාදීම සිදු නොකළහොත් එම රෝගියා මිය යාමේ අවදානමක් ඇති බව ද සාක්ෂිකරු සඳහන් කළේය. එසේම නිව්මෝනියා තත්ත්වය වැඩි වීම හේතුවෙන් පෙනහළු ආසාදනය වී රෝගීන් මියයාම සිදුවන බවද සාක්ෂිකරු සඳහන් කළේය. එබැවින් IVIG ප්‍රතිදේහ නැති රෝගීන්ට මෙම ඖෂධය ලබාදීම අත්‍යවශ්‍ය බවත් එවැනි ඖෂධ ලබා නොදීම හේතුවෙන් දිනකින් හෝ දෙකකින් අදාල රෝගීන් මිය යෑමක් සිදු නොවන නමුත් දිගු කාලයක් ඉතා දුක්ඛිත තත්ත්වයට පත්ව මිය යාමට එම රෝගීන්ට සිදුවන බව සාක්ෂිකරු කියා සිටියේය.
"මෙම රෝගීන්ට ලබාදුන් ඖෂධ මොනවද කියලා විස්තර කරන්න පුළුවන්ද ?" යනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විමසීමක් කළ අතර මාතලේ සහ මහනුවර රෝහලේ වෛද්‍යවරුන් විසින් තමන්ට ලිඛිතව දැන්වීමක් කර තිබූ බවද මෙම ඖෂධය ලබා දුන් එම රෝගීන් දෙදෙනාම ඇනපිලැක්සිස් තත්ත්වයට ලක්ව තිබූ බවද සාක්ෂිකරු කියා සිටියේය.
"අදාළ ඖෂධය ගැන තහවුරු කිරීමක් කර ගත්තේ රෝගීන් තිදෙනෙකු ගෙන් පමණද?" යනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විමසා සිටි අවස්ථාවේදී අදාළ ඖෂධය ලබාදුන් රෝගීන්ගෙන් දෙදෙනෙකුට බරපතල සංකූලතා ඇතිවූ බවත් එක් රෝගියකු ඖෂධවේදියෙකු වීම හේතුවෙන් ඔහු ඖෂධය පිළිබඳව විමසීමක් කර ඇති අතර තමන්ට ලබා දුන් මෙම අලුත් ඖෂධය පිළිබඳව පසුව තමන්ට වට්සැප් මඟින් දැනුම් දුන් බවද සාක්ෂිකරු කියා සිටියේය.
"එන්නත් ලබා දුන් පසු ADR තත්ත්වයක් මතුවන්නේ නම් ඒ පිළිබඳව සෆ්රැක් කමිටුවට දැනුම් දීම වැදගත් ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී එය ඉතා වැදගත් සහ අනිවාර්ය කාරණයක් බව සාක්ෂිකරු කියා සිටියේය. එසේ දැනුම් දුන් පසු අදාළ ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සෆ්රැක් කමිටුවට හැකි වන අතර තව තවත් රෝගීන්ට එම ඖෂධය ලබාදීමට වැළැක්වීම ක් එහිදී සිදුකළ හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. එසේ නොවුනහොත් මෙවැනි ඖෂධ භාවිතා කිරීම් නිසා රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යෑම පවා සිදුවිය හැකි බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ සමගම එම සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම අවසන් කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැනුම් දුන් අතර පැමිණිල්ලේ 165 වන සාක්ෂිකරු ලෙස නම් කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ ,වෛද්‍ය සැපයුම් සහකාර කුමාර කුෂාන්ත හේමන්ත විසින් සාක්ෂි ලබාදීම සිදු කළේය.

තමන් ගබඩා අංක හයේ සේවය කරන අතර 2026 අගෝස්තු 17 ට පෙර තොග පරීක්ෂා කිරීම් අංශයේ සේවය කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.
එහිදී වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබෙන තොගයට අදාල ඉන්වොයිස් පත් වල දත්ත pronto සහ ස්වස්ථා පරිගණක පද්ධති වලට ඇතුළත් කිරීම තමන් විසින් සිදු කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
එහිදී ඉන්වොයිස් පතෙහි සඳහන් අංකය, කාණ්ඩ අංකය, ප්‍රමාණය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය යනාදිය පද්ධතියට ඇතුළත් කරන බව සඳහන් කළ සාක්ෂිකරු එහි ඇති කොටු සිල් එක තුළ ඉහළ නිලධාරියකු විසින් අනුමත කර අත්සන් තබා ඇත්නම් අදාළ ඉන්වොයිස් පත් භාර ගන්නා බව සඳහන් කළේය.
එම ඉන්වොයිස් පත සැපයුම්කරු විසින් තම අංශයට රැගෙන එන අතර එය එහි තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීමෙන් අනතුරුව එය නැවත භාර දීමක් සිදු කරන බවද සඳහන් කළේය.
එලෙස මෙම ප්‍රශ්න ගත ඖෂධය සැපයීම් කළ බව කියන අයිසොලෙස් බයෝ ටෙක් පාමා සමාගම වරින් වර වෛද්‍ය සැපයුම් ඒකකයට භාණ්ඩ සැපයූ invoice පත් හතක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමක් සිදු කළේය. එහි හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු තමන් දන්නා බවත් ඔහු කොරෝනා සමයේදී භාණ්ඩ සැපයීම සඳහා වෛද්‍ය සැපයීම් ඒකකයට පැමිණි බවත් ප්‍රකාශ කළ සාක්ෂිකරු ඔහු මෙම අධිකරණයේ විත්තිකරුවකු ලෙස සිටින බව හඳුනාගත්තේය.
2023 වසරේදී ස්වස්ථා පරිගණක පද්ධතිය හඳුන්වා දීමෙන් අනතුරුව paperless, seal Less ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර එහිදී පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කිරීම පමණක් සිදු කළ බව සාක්ෂි කරුණු සඳහන් කළේය.
ඒ සඳහා වන උපදෙස් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායක මහතා විසින් ලබා දුන් බවද සාක්ෂිකරු කියා සිටියේ ය. වෛද්‍ය සැපයුම් එකකයේ අධ්‍යක්ෂකවරයා මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස අධිකරණයේ සිටින බව සාක්ෂිකරු විසින් හඳුනා ගන්නා ලදි.
නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරියගේ මූලික සාක්ෂි විමසීම අවසන් කිරීමෙන් අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂකවරයාව සිටි කපිල වික්‍රමනායක මහතා 2023 වසරේදී විදේශගත වූ බව තමන් දන්නා බවත් ඔහු පැමිණි දින වකවානු පිළිබඳව තමන්ට පැහැදිලි මතකයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ස්වස්ථා පද්ධතිය හඳුන්වා දීමෙන් අනතුරුව paperless , seal Less ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ ඩිජිටල් කරන එක කොටසක් ලෙස නේද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු ඊට ඔහු යන පිළිතුරු ලබා දුන්නේය.
එහිදී සීල් තැබීම හෝ පත්‍රිකා පිරවීමක් සිදු නොකළ නමුත් ඉන්වොයිස් පතෙහි අඩංගු සියලු කරුණු පද්ධතියට ඇතුළත් කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.
එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු නොකරන බව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඔහුගෙන් නැවත ප්‍රශ්න කිරීම සිදුකළ අතර එම සාක්ෂිකරුගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව ජාතික තත්ත්ව රසායනාගාරයේ ඖෂධවේදිනියක කළ ලෙස කටයුතු කරන ඉශානී සඳමාලී පැමිණිල්ලේ පනස් හතර වන සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදීම සිදු කළාය.
තත්ත්ව රසායනාගාරය ජාතික ඖෂධ නියාමන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව එහි පරීක්ෂණ කටයුතු කළ එකම ඖෂධවේදිනිය තමන් බවත් අධ්‍යක්ෂකවරියගේ අධීක්ෂණ යටතේ අදාළ පරීක්‍ෂණ කටයුතු සිදු කළ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.
පරීක්ෂාවන් සිදු කිරීම සඳහා තම රසායනාගාරයට ලැබෙන සාම්පල පිළිබඳ තොරතුරු පොත් දෙකක සටහන් කරන බවයි සඳහන් කළ සාක්ෂිකාරිය අධ්‍යක්ෂකවරියගේ අනු දැනම මත පරීක්ෂා කළ යුතු බවට ලැබෙන සාම්පල සියල්ල පරීක්ෂාවට ලක් කරන බවද සඳහන් කළාය

අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නැමැති ලේබලයක් ඇතුළත් කුප්පිය සහ එහි ඇසුරුම නිරීක්‍ෂණය කළ සාක්ෂිකාරිය එහි ඇතුළත් ද්‍රව්‍යයට සමාන ද්‍රවයක් තම රසායනාගාරය තුළ තමන් විසින් පරීක්ෂාවට ලක් කළ බව සඳහන් කළාය.
එකී පරීක්ෂාවන් සිදු කරන ආකාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් සිදු කරමින් ඇය පැහැදිලි කළාය.
එකී පැහැදිලි කිරීම සිදුකරන අතරවාරයේදී එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

