leader s

ඖෂධයක් withhold කළ බව පරිගණක පද්ධතිය හරහා දැනගත හැකි බව ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාලයේ ඖෂධවේදී මහින්ද ප්‍රේමලාල් කටුපැලැල්ල මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇති නඩුවේ පැමිණිල්ලේ හතරවන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලදි.
 
එහිදී පැමිණිල්ලේ 65 වන සාක්ෂි කරු ලෙස නම් කර සිටින ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාලයේ ඖෂධවේදී මහින්ද ප්‍රේමලාල් කටුපැලැල්ල මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාදීම සිදු කළේය.
 
ඖෂධවේදීයකු ලෙස සුදුසුකම් ලැබූ තමන් පොලිස් රෝහලේ සේවය කිරීමෙන් අනතුරුව ජාතික රෝහලට පැමිණි බවත්, 2015 වසරේ සිට අභ්‍යන්තර ඖෂධාගාරයේ ශීත ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කළ බවත්  ඔහු එහිදී සඳහන් කළේය.
 
 "ශීත ඖෂධ යනු කුමක්දැ"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ජනරාල්වරිය  සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කලේ සෙල්සියස් අංශක  දෙකත්  අටත් අතර පවතින ඖෂධ  "ශීත ඖෂධ" ලෙස හඳුන්වන බවය."ශීතාගාරය ට අදාළ ඖෂධ ලැබෙන්නේ  කුමන ස්ථානයකින් ද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ වෛද්‍ය සැපයුම් ඒකකයෙන්  අදාළ ඖෂධ ලැබෙන බවය.
 
වෛද්‍ය සැපයුම් ඒකකයට ඇනවුම් යොමු කිරීමෙන් අනතුරුව අදාළ ඖෂධ ලබාගැනීම සිදුකරන බවත් ,එම ඇනවුම් පද්ධතිය හරහා සිදුකරන බවත් එකී පද්ධතියට පිවිසීමේ හැකියාව තමන්ට තිබූ බවත් සාක්ෂිකරු කියා සිටියේය .එලෙස ඇනවුම් කරන ඖෂධ ලබා ගැනීම ක්‍රම දෙකක් යටතේ සිදුකරන බව සඳහන් කළ සාක්ෂිකරු වෛද්‍ය සැපයුම් එක්කය විසින් අදාළ  ඖෂධ ඔවුන්ගේ ශීත ලොරි වලින් ගෙනවිත් භාර දෙන අවස්ථා ඇති බවද ,එසේ නොමැති වුවහොත් තමන් ශීත බොක්ස් රැගෙන ගොස් ඒ තුළ බහා  ඖෂධ රැගෙන එන බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
 
ශීත ඖෂධ ගබඩා කිරීම සඳහා ජාතික රෝහලේ අඩි 6 × 13 කාමර  හතරක් පවතින අතර එම ශීත ගබඩාව දොරවල් තුනකින් සමන්විත වන බවද සාක්ෂිකරු සඳහන් කළේය. එම ශීත ගබඩාවල වගකීම තමන්ට සහ තමන් නොමැති අවස්ථාවලදී වැඩ ආවරණය කරන භද්‍රා මහත්මියට ම ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"මෙම ඖෂධය විගණනයකට ලක් කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒවා විගණනයට ලක් කරන බවත් එහි වගකීම තමන්ට මෙන්ම භද්‍රා මහත්මිය දෙදෙනාට සමව බෙදී යන බවත්ය. 
 
"අදාළ ශීත කාමරවල උෂ්ණත්වය පවත්වාගෙන යන්නේ කෙසේද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර  සාක්ෂිකරු සඳහන් කළේ උෂ්ණත්ව දාමය පිළිබඳව දවසකට දෙවරක් පරීක්ෂාවකට ලක් කරන බවය.  උෂ්ණත්වමාන සවිකර ඇති අතර ඒවා ඇසුරින් උෂ්ණත්වය පරීක්ෂා කර බලන බව ද විදුලිය නොමැති අවස්ථාවලදී ක්ෂණිකව ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි ජනක යන්ත්‍ර ඇති අතර විදුලි බල මණ්ඩලයේ ඒකකයක් එහි  ස්ථාපිත කර ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
"භාරගත් ඖෂධ සම්බන්ධයෙන් ඔබට පැවරෙන වගකීම කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එම ඖෂධ ගබඩා කර කිරීමේ වගකීම තමන්ට පැවරී ඇති බවය. ඖෂධ ලබාගැනීමේදී data logos භාවිතා කිරීමක් සිදු නොකරන බවද එවැනි උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ වෙනත් ආයතනයකින් තමන්ට ලබාදී නොමැති බවද සාක්ෂිකරු සඳහන් කළේය. ඖෂධවල ශීත දාමය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම සඳහා cool packets ඇති බව ඔහු කියා සිටියේය.  
 
"වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඖෂධ රැගෙන ඒමේදී එම ඒකකයේ ශීත ගබඩාවෙන් කෙලින්ම ජාතික රෝහ‍ලේ ශීත ගබඩාවට රැගෙන ඒමක් සිදුකරනවා ද, එසේත් නොමැති නම් අතරමග රඳවා තැබීමක් සිදු කරනවාද යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ සෘජුවම ජාතික රෝහල වෙත එම ඖෂධ රැගෙන ඒම සිදුකරන බවය. අනතුරුව ඒවා ඖෂධ නිකුත් කිරීමේ කවුළු වෙත නිකුත් කරන බව සාක්ෂිකරු සඳහන් කළේය.  
 
"කවුළු වලට අවශ්‍ය ඖෂධ නිකුත් කරන්නේ කොහොමද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අවශ්‍ය ඖෂධ ලේඛණය ඇනවුම් කර තමන් වෙත ඉදිරිපත් කළ යුතු බවය. 
 
අදාල ඇනවුම් පිළිබඳව තොරතුරු drug order book එකේ සඳහන් කරන අතර එහි ඇති තොගය බලා ඖෂධ නිකුත් කිරීම සිදුකරන බව සඳහන් කළ සාක්ෂිකරු එම නිකුත් කිරීම් වලට සාපේක්ෂව පද්ධතිය තුළ ඇති ඖෂධ ප්‍රමාණය අඩුකිරීම පසු දින හෝ ඊට  පසු දින සිදු කරන බව සඳහන් කළේය.
 
"ඊට අමතරව කාටද ඖෂධ බෙදා දෙන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඖෂධ නොමැති රෝහල් වලට එම ඖෂධ ලබාදීම සිදුකරන අතර ආයතන අතර හුවමාරුවක් ලෙස එය සිදුවන බවය. කෙලෙස ආයතන අතර ඖෂධ හුවමාරුවක් සඳහා වන ඉල්ලීම අදාළ රෝහලේ අධ්‍යක්ෂක විසින් පද්ධතිය හරහා කළ යුතු අතර  එම ඖෂධ තොගය සූදානම් කිරීමෙන් අනතුරුව තමන් ඒ බව ඔවුන්ට දැනුම් දෙන බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
බොහෝ අවස්ථාවලදී ඔවුන් ඖෂධ රැගෙන යාම සඳහා cool box රැගෙන එන අතර ඊට ඖෂධ ගබඩා කිරීම ශීතාගාරය තුළදී සිදුකරන බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"තවත් කාට හරි එම ඖෂධ නිකුත් කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ NMQAL සඳහා ඖෂධ නිකුත් කිරීමක් සිදුකරන බවය .බොහෝ අවස්ථාවල එම ආයතනයේ නිලධාරීන් විසින් එම ඖෂධ යන අතර  සඳහා ඖෂධ සකස් කර දීම තමන් විසින් සිදු කරන බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
ඖෂධයක්  withhold කළ විට එය පද්ධතිය තුළ ඇති notice board එක හරහා දැක ගැනීමේ අවස්ථාව තමන්ට ඇති බව සඳහන් කළ සාක්ෂිකරු ඒ පිළිබඳව කවුළු වලට දැනුම් දීම තමන් විසින් සිදු කරන බවද කවුළු වල සිටින නිලධාරීන්ට එම පද්ධතියට පිවිසීමේ හැකියාවක් නොමැති බවද ප්‍රකාශ කළේය. 
 
medicine 3
 
අනතුරුව රෝහල් වාට්ටුවල ඇති ඖෂධ රෝගීන්ට ලබාදීම සිදු නොකරන ලෙස දුරකථන මගින් රෝහල් වලට වාට්ටු වලට දැනුම් දෙන බවද , අදාළ සාම්පල ඖෂධ එකතු කර නැවත ශීතාගාරයට ගෙනවිත් ගබඩා කරන බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
මෙවැනි තීරණයක් ගත්විට ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමට යම් කාලයක් ගන්නා අතර ඖෂධ භාවිතා කිරීම කඩිනමින් වැළැක්වීම සඳහා දුරකථන මගින් අදාළ දැනුම්දීම් සිදුකරන බවද , පද්ධතිය තුළ ඇති  notice board එක  හරහා එම දැන්වීම සිදු කරන බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"2023 ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා ශීත දාමයේ සටහන් ඔබට හඳුනාගත හැකිද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ  එම සටහන් හඳුනාගත හැකි බවය. තමන් විසින් අදාළ සටහන් යෙදූ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
අනතුරුව එම ලේඛනය හඳුනාගත් සාක්ෂිකරු දෛනිකව උෂ්ණත්වය සටහන් කළ වේලාවන් දෙකක් පිළිබඳව සඳහන් වන අතර ඒ වන විට අදාළ ශීත කාමරවල තිබූ උෂ්ණත්වය අගය එහි සඳහන් කර ඇති බව කියා සිටියේය. 
 
"2023/07 /25 වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඉල්ලා සිටි ඖෂධ ලේඛනයක් හඳුනාගත හැකිද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ප්‍රශ්න කර සිටි අතර තමන්ට එය හඳුනාගත හැකි බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
අනතුරුව එම සටහන් පරීක්ෂා කර බැලූ සාක්ෂිකරු එහි ඖෂධ දෙකක් ඇතුළත් වන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වයල් 500ක්සම්බන්ධයෙන් සටහන් වන බවද කියා සිටියේය.  
 
"එහි  date time යන ස්ථානයේ 07/15 ලෙස සඳහන් වන්නේ  කුමක්ද යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අතර  සාක්ෂිකරු සඳහන් කළේ සාමාන්‍යයෙන් සැපයුම වලට අදාළ ෆයිල් ගොනුගත කිරීමක් තමන් සිදු නොකරන බවය. ඖෂධ කවුළු වෙත ලබාදීම සිදුකරන අතර මෙම ඖෂධය සම්බන්ධයෙන් වන සටහන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වූ බැවින් පද්ධතියෙන් එම සටහන ලබා ගත් දිනය එලෙස සඳහන් කර ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඉල්ලා තිබුණු ප්‍රමාණයට ඖෂධ ලැබීම සිදුවුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී  සාක්ෂිකරු සඳහන් කළේ ඉල්ලා තිබූ ප්‍රමාණයම නොලැබුණු බවය .වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩා පාලන නිලධාරීන් විසින් මුද්‍රණය කර තිබූ ලේඛනයකට අනුව එසේ ලැබී තිබුණේ වයල් 106ක්  පමණක් බව සාක්ෂිකරු කියා සිටියේය. එම වයල් 106 කවුළු වලට නිකුත් කළ බවත් මීට අදාළ ලේඛන තමන්ට හඳුනාගත හැකි බවත් සාක්ෂිකරු සඳහන් කළේය. 
 
immuniglobin mecicine
 
අනතුරුව අදාල සටහන් පරීක්ෂා කර බැලූ සාක්ෂිකරු ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ 0603205 දරණ කාණ්ඩ අංකය හතරවන කවුළුවට වයල් 146 හයක් ලබාදුන් බව සඳහන් කළේය .
 
අනතුරුව එක් එක් කවුන්ටරයට නිකුත් කළ ඖෂධ සම්බන්ධයෙන් ලේඛනයේ ඇති  සටහන් පිළිවෙල අනුව  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න විමසීම සිදු කළාය.
 
"Live ealth biotech pharma ආයතනය මගින් මගින් සපයන ලද හියුමන්ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව අදාල ඖෂධය with hold කිරීමට තීරණය කර තිබූ අතර  එකී ඖෂධය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා විසින් ද පැමිණිල්ලක් කර තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
සංකූලතා වාර්තා වන විට කවුළු අංක හතට යවා තිබූ එම ඖෂධයේ වයල් 226න් 20ක් නිකුත් කර තිබූ බවද 206ක් ඉතිරි වී පැවති බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
එම ඖෂධය නිකුත් කිරීම නතර කිරීම සඳහා වන නියෝගයක් වෛද්‍ය සැපයුම් ඒකකයෙන් තමන්ට නොලැබුණු අතර පද්ධතිය හරහා අදාළ ඖෂධ නිකුත් කිරීමට තමන්ට කිසිදු බාධාවක් නොතිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
ඒ අනුව අදාල ඖෂධ වාට්ටු වලට නිකුත් කිරීම තමන් සිදුකළ බවද සාක්ෂිකරු කියා සිටියේය. අගෝස්තු 15 දින එම ඖෂධයෙන් වයල් 1000ක් නැවත ඉල්ලා සිටි අතර වයල් 360ක් ලැබුණු බවද ඒවා කවුළු වෙත බෙදා දීම සිදුකළ බවද සාක්‍ෂිකරු කියා සිටියේය.
 
"ඒ වන විටත් එම ඖෂධ රෝගීන්ට ලබා නො දීමට දැනුම් දීමක් වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ විසින් සිදුකර තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි දැනුම්දීමක් කර නොතිබූ බවය. 
 
live ealth biotech pharma ආයතනයේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය  with hold කිරීමට පියවර ගෙන ඇති බවට දැන්වීමක් පද්ධතියේ notice board එක  හරහා දර්ශනය වූ අතර එම දැන්වීම තමන්ට හඳුනාගත හැකි බව සාක්ෂිකරු කියා සිටියේය .පද්ධතියට පිවිසෙන  අවස්ථාව වන විටම අදාළ දැන්වීම දැක ගත හැකි වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
"notice board එකේ කරුණු 26ක් තියෙනවා පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ පද්ධතියට අවසන් වරට ඇතුල් කළ දැන්වීම මුලින්ම ප්‍රදර්ශනය වන බවය.
 
live ealth biotech pharma නිෂ්පාදනයක් අත්හිටුවා ඇති බව එහි දක්වා තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
එම දැන්වීම දුටු තමන් වාට්ටු වලට එම ඖෂධ නිකුත් කිරීම නතර කිරීමට සහ රෝගීන්ට අදාළ ඖෂධය ලබා දුන් නොදීමට කටයුතු කරන ලෙස දුරකථන මාර්ගයෙන් අදාල අංශ වෙත දැනුම්දීම් කළ බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
ඒ අනුව වාට්ටු වල තිබූ ඖෂධ නැවත ගෙන්වා ගැනීමක් කළ බවද ඒවා ශීතාගාරයේ තැන්පත් කර තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
ඊට අදාළ සටහන් තමන් විසින් ගොනුගත කර තිබූ අතර විශ්‍රාම යන විටද එම සටහන් තිබු නමුත් අධිකරණයට ඉදිරිපත් කර ඇති ගොනුවේ අදාළ සටහන් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"මූලිකව මොන කවුළු වලින්ද අදාළ ඖෂධ ලැබුණේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී 2023/09/ 21 වැනි දින කවුළු අංක 08 න් වයල් 152ක් ලැබුණු බවද, 09/23 දින වයල් 128ක් ලැබුණු බවද සඳහන් කළ සාක්ෂිකරු ඒවා බාරගත් බවට තමන් අත්සන් තැබූ බව සඳහන් කළේය. 
 
"තවත් වයල් ලැබී තිබුණාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ, සැප්තැම්බර් මස 07 වැනිදා වයල් 95 ක් කවුළු අංක 08 න් ලැබුණු අතර  අදාළ ලේඛන හඳුනාගත හැකි බවය. 
 
"අදාළ ඖෂධ බාරගන්නා විට සීල් කර තිබුණාද?" යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කරේ ඇතැම් කුප්පි බහා තිබූ කාඩ්බෝඩ් ආවරණ එම අවස්ථාවේ නොතිබූ බවය. නමුත් එම කුප්පි සීල් කර තිබූ බව සඳහන් කළ සාක්ෂිකරු ඉඩකඩ මදි වීම හේතුවෙන්ම වාට්ටු වල ඖෂධ ගබඩා කිරීමේ පහසුව සඳහා පෙට්ටි ඉවත් කර තැබීම ඇතැම් අවස්ථා වලදී සිදු කරන බව සඳහන් කළේය.
 
 එවැනි ඖෂධ නැවත ලබාදීමේදී කාඩ්බෝඩ් පෙට්ටිය රහිතව ලබාදුන් බවද සාක්ෂිකරු කියා සිටියේ ය.
 
"එලෙස ලබාගත් ඖෂධ වලින් වයල් 90ක් ඔබ NMQAL වෙත ලබා දුන්නාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එම ආයතනයේ නිලධාරීන් පැමිණ  එම සාම්පල රැගෙන ගිය බවය. කාණ්ඩ අංක 403 යටතේ තමන් ළඟ තිබූ වයල් 30 ක් ලබාදුන් බවද 402 කාණ්ඩය වාට්ටු වලින් ලැබුණු ඖෂධ වලින් ලබාදුන් බවද ඒ සියල්ලගේම පෙට්ටිය තිබු බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"අදාළ ඖෂධ NMQAL ලබාගත් බවට සටහන් තිබෙනවාද?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ 2023/10/10 දින එම ඖෂධ භාරගෙන ඇති බවට සටහනක් ඇති බවය. 
 
සීල් තබා අධිකරණය හමුවේ තිබූ කාඩ්බෝඩ් පෙට්ටියක බහා ඇති  වයල් දෙකක් සාක්ෂිකරුට පෙන්වීමෙන් අනතුරුව එය අදාළ ඖෂධය ඇතුළත් වයල් බවට සාක්ෂිකරු හඳුනාගත්තේය.
 
අදාළ පෙට්ටිය නිරීක්ෂණය කළ සාක්ෂි කරු එහි තමන්ගේ අත්සන ඇති බව හඳුනාගත්තේය.
 
"එම අත්සන ඇති වයල් එක කාටද භාර දුන්නේ" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එය ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැමිණි අතර ඔහුට එය ලබා දුන් බවය. එ සඳහා වන ඉල්ලීමක්  කර තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය .කෙසේ වුවද අදාළ වයල් එක බාරදුන් නිලධාරියා ගේ නම තමන් නොදන්නා බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2023 අගෝස්තු මස 1 සිට ඔක්තෝම්බර් 7 කාලය වන විට වෛද්‍ය සැපයුම් අංශයේ  අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ කවුරුන්ද?
 
සාක්ෂිකරු :ඒ පිළිබඳව මතකයක් නෑ.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ ඔහු සමග රාජකාරී කර තිබෙනවාද? 
 
සාක්ෂිකරු :පෞද්ගලික මට්ටමෙන් නෑ. සාමාන්‍ය ලෙස රාජකාරිය කර තිබෙනවා.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂක ගෙන් ලිපි ලැබිලා තියෙනවද?
 
සාක්ෂිකරු: ජාතික රෝහලේ අධ්‍යක්ෂක හරහා ලිපි එවන ලද ලිපි ලැබී තිබෙනවා.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වයල් 90ක් NMQAL එකට දෙන ලෙස ලිපියක් ලැබුණද?
 
සාක්ෂිකරු: ඔව්, එවැනි ලිපියක් ලැබුණා 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම ලිපිය අත්සන් කර තිබුණේ කවුරුන්ද?
 
සාක්ෂිකරු: වෛද්‍ය වික්‍රමනායක මහතා. ඊට පෙර ලැබුණ ලිපි වලින් ඔහු ඔහුගේ අත්සන දැක තිබෙනවා. 
 
ඒ සමගම සාක්ෂිකරුගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් කල බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේය.
 
අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ හතරවන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමක් නොකරන අතර පස්වන විත්තිකරු වෙනුවෙන් ප්‍රශ්න කිහිපයක් විමසීම සිදුකරන බවය. 
 
2023 / 10/10 වන විට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සාම්පල 90ක් NMQAL ආයතනයට යැවීම සම්බන්ධයෙන් දැනුම් දීමක් කළ බවට සාක්ෂිකරු ලබා දුන් සාක්ෂිය සම්බන්ධයෙන් නීතිඥවරයා එහිදී  විමසා සිටියේය.
 
"ඔබ සඳහන් කළා 10/09 දින ඔබට දුරකථනයෙන් දැනුම් දුන් බව අදාළ සාම්පල NMQAL ලබා දෙන ලෙස. එම දැනුම් දීම කළේ කවුරුන්ද යන්න පිළිබඳව ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ "අදාළ දුරකථන ඇමතුම සුජිත් විසින් ලබා දුන් බව"ය. 
 
"සුජිත් යන පුද්ගලයා ඔබ හඳුනනවා ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඔහුගේ නම දන්නා නමුත් පුද්ගලයකු ලෙස ඔහුව නොහඳුනන බවය.
 
සුජිත් නමැත්තා වෛද්‍ය සැපයුම් ඒකකයේ ඖෂධවේදියෙකු ලෙස කටයුතු කරන බව දන්නා බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
ඔහු මෙම නඩුවට සම්බන්ධ බව ඔබ දන්නවාද යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව තමන් පසුකාලීනව දැනගත් බවය. පුවත්පත්වලින් ඒ පිළිබඳව වැඩිදුරටත් දැනගත් බව සාක්ෂිකරු තවදුරටත් සඳහන් කළේය. 
 
"ඒ සම්බන්ධයෙන් ඔබ කුමක්ද දැනගත්තේ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඔහු මෙම නඩුවේ විත්තිකරුවෙකුව සිටින බව දැනගත් බවය. 
 
"ඔහු හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන්ට එම පුද්ගලයාව හඳුනා ගත නොහැකි බවය. 
 
නීතිඥවරයා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයට ගිහින් අරගෙන ආවේ ඔබ, මධ්‍යම ඖෂධ ගබඩාවේ ගබඩා කළෙත් ඔබ, අදාළ කවුළුවලට බෙදා හරින්නෙත් ඔබ නේද ?"
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි 
 
නීතිඥවරයා අදාළ ඖෂධය ඉවත් කළ යුතු බවට වන දැන්වීම පද්ධතියට ඇතුල් කළේ කවුරුන්ද කියා ඔබ දන්නවාද?
 
සාක්ෂිකරු: නෑ ස්වාමීනි, එම දැන්වීම දාලා තිබුණේ කවුරුන්ද යන්න පිළිබඳව මම දන්නේ නෑ. 
 
ඒ සමගම ම සාක්ෂිකරුගෙන් පස්වෙනි විත්තිකරු වෙනුවෙන් සිදුකළ හරස් ප්‍රශ්න වීම සීම අවසන් කළ අතර පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
ජාතික රෝහලේ ඖෂධ ගබඩා කිරීම සඳහා පවතින ශීතාගාර සම්බන්ධයෙන් සාක්ෂිකරු ලබාදුන් සාක්ෂියට අදාළව හරස් ප්‍රශ්න යොමු කළ නීතිඥවරයා "එහි ශීත කාමර හතරක වෙන් වෙන් වශයෙන් පවතිනවා ද එකම ගොඩනැගිල්ලක පවතිනවා ද?" යනුවෙන් විමසීමක් කළේය.
 
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එකම ගොඩනැගිල්ලක් තුළ වෙන් වෙන් කාමර හතරක් ලෙස එය පවතින බවය. 2-8 උෂ්ණත්වය අදාළ ශීත කාමරවල පවත්වාගෙන යන බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
එම ශීත කාමරවලට පිටින් අගුලු සහිත දොරක් ඇති බවද, ඊටත් පිටින් ලොකු ලී දොරක් ඇති බවද, ඊටත් පිටින් තවත් දොරක් ඇති බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
එම ශීතාගාර වලට අදාළව අධිකරණයට ඉදිරිපත් කර තිබූ ලේඛන සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නීතිඥවරයා " මේ මේ ශීත කාමරය යනුවෙන් මෙම ලේඛන අනුව හඳුනා ගන්නේ කෙසේද ?" යන ප්‍රශ්නය සාක්ෂිකරුට ඉදිරිපත් කළේය.  එහිදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ ශීතාගාර එක සිට හතර දක්වා අංකනය කර ඇති බවය. එම අංකනය යටතේ හඳුනා ගැනීම් කළ හැකි බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
මේ ලේඛනවල සෙට් 1,2,3,4 ලෙස ඇත්තේ එය බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
" එම ලේඛනය නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව ඇත්තේ ඔබ එය ආයතනයේ අයකුටම පමණයි නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු "ඔව් "යන පිළිතුරු ලබා දුන්නේය. 
 
"එම ශීතාගාර යම් තාක්ෂණික ක්‍රමවේදයකට පාලනය වෙනවාද?" යනුවෙන් නීතිඥ වරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ මෙම ගබඩා දිගු කාලයක සිට පවතින ගබඩා බවය. එහි එකේ සිට හතර දක්වා අංකනය කර ඇති අතර  කාමර උෂ්ණත්වය සම්බන්ධයෙන් තමන් කටයුතු කළ බවද ඊට අදාළ සටහන් තමන් සහ තම සහායකයා විසින් තබා ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. තමන් සේවය නොකරන අවස්ථාවලදී වැඩ ආවරණය කරන නිලධාරිනිය විසින් සටහන් තබන බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
එම අවස්ථාවේදී නීතිඥවරයා "වැඩ බලන නිලධාරිනිය විසින් සටහන් කළා කියන එක හඳුනා ගැනීමට සටහනක් තිබෙනවාද?' යනුවෙන් විමසීමක් කළ අතර එවැනි සටහනක් නොමැති බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
අදාළ ශීත කාමරයේ උෂ්ණත්වය තාක්ෂණිකව පවත්වාගෙන යාමේ වගකීම විදුලි බල මණ්ඩලය සතු වන බවද සාක්ෂිකරු පැවසීය. 
 
"ශීතාගාර යම් කාලයක් තුළ නිසි පරිදි නඩත්තු වෙනවා කියලා සොයා බැලීමට වාර්තාවක් තිබෙනවාද ?"යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර එවැන්නක් තමා ළඟ නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
අදාළ ශීතදාමය පවත්වා ගැනීම සඳහා data loggers නොමැති බවද ඔහු පැවසීය . එහිදී ශීත දාමය පවත්වාගෙන යාම සඳහා ඍජුෆෝම් පෙට්ටි සහ coll packets භාවිතා කරන බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ශීතාගාරයේ පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක 2-8  බවත් අයිස් පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක  බින්දුව බවත් සාක්ෂිකරු හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
 
පළමු වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුට හරස් ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.
 
තම සේවා කාලය තුළදී ඖෂධ වලින් සංකූලතා මතුවූ අවස්ථා දැක ඇති බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
ඖෂධයක් තාවකාලිකව අත්හිටුවා ඇති අවස්ථාවකදී එය පද්ධතියේ Notice board එක හරහා දැක ගැනීමේ හැකියාව ඇති බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව අධිකරණයෙන් ප්‍රශ්න කිහිපයක් සාක්ෂිකරු වෙත යොමු වූ අතර  විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකරුගෙන් විමසීමක් කරමින් "සංකූලතා වාර්තා වූ මෙම ඖෂධ අත්හිටු වීමෙන් අනතුරුව  බාහිර වෙනත් ආයතන වලින් අදාළ ඖෂධය ලබා ගැනීමේ හැකියාව තිබෙනවාද ?" යන්න පිළිබඳව විමසීමක් කළේය.
 
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ එලෙස ඖෂධ ලබා ගැනීමක් සිදුකළ බවය 
 
"සංකූලතා වාර්තා වීමෙන් අනතුරුවත් මාසයක කාලයක් ජාතික රෝහලේ තුළ මෙම ඖෂධය සංසරණය වුනාද ?"යනුවෙන් විනිසුරු විරාජ් වීරසූරිය මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එම ඖෂධය ජාතික රෝහලේ භාවිතයට ගත් බව ය.
 
අදාළ ඖෂධය සම්බන්ධයෙන් quality loge එකක් 2023/02/21 දින පද්ධතියට ඇතුලත් කිරීම සිදු කළේ තමන් විසින් බව සාක්ෂිකරු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 
 
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය නැවත ප්‍රශ්න කිරීම් සිදුකළ අතර එහිදී සාක්‍ෂිකරු සඳහන් කළේ අදාළ ඖෂධය with hold කළ යුතු බවට තමන්ට දුරකථන ඇමතුම් දුන් සුජිත් නමැති නිලධාරියා අධිකරණයේ සිටින මෙම සුජිත් ද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවය. 
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඖෂධ වර්ග වයල් දෙකක් ඉදිරිපත් කර තිබූ අතර එක් වයල් එකක් පමණක් ලබා දීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එම අවස්ථාවේදී තමන් අදහස් කළේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය පමණක් බවය. අදාළ වයල් වලින් එකක් රිටොප්සිමැබ් ඖෂධය වන අතර ඒ පිළිබඳව තමන් සඳහනක් නොකළ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
එම නැවතත් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව එම සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම අවසන් කළ අතර පැමිණිල්ලේ හැට එක්වන සාක්ෂිකරු ලෙස නම්කර සිටින වෛද්‍ය සැපයුම් ඒකකයේ වෛද්‍ය සැපයුම් සහායක දර්ශන බණ්ඩාර රත්නායකගෙන් සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සිදු කරන ලදී. 
 
තමන් 2014 වසරේ සිට වෛද්‍ය සැපයුම් සහායකවරයෙකු ලෙස කටයුතු කරන අතර වෛද්‍ය සැපයුම් ඒකකය අංක 6 දරණ ගබඩාව භාරව "ශීත දාම ඖෂධ "සහ "සෙල්සියස් අංශක 25ට අඩු "ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
building lock
 
ඖෂධ ගබඩා කිරීම සඳහා වන ශීතාගාර වෛද්‍ය සැපයුම් ඒකකයේ ගොඩනැගිල්ලක ඉහළ මහලේ සහ පහළ මාලයේ පිහිටා ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. අදාළ ගබඩා භාරව සහකාර අධ්‍යක්ෂක -ගබඩා කටයුතු කරන බවද , ගබඩා යතුරු ලෑම සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන් කටයුතු  කරන බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
තම සේවා මුරය අවසන් වීමෙන් අනතුරුව අදාළ ශීත කාමර යතුරු ලෑම සිදුකරන අතර යතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙන බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"ශීතාගාරයක පවතින උෂ්ණත්වය ඉතා අඩුවන බැවින් එවැනි උෂ්ණත්වයකදී කොපමණ වේලාවක් රාජකාරී කළ හැකිදැ"? යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ විනාඩි දහයක් හෝ පහළොවක් අඛණ්ඩව කටයුතු කළ හැකි බවය.
 
අනතුරුව ශීත කාමරයෙන් පිටතට පැමිණ ටික වේලාවකින් අනතුරුව නැවත ශීත කාමරයට පිවිස රාජකාරි කටයුතු කරන බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
භාණ්ඩ ලබාදීමේදී ඊට අදාළ invoice පත් සැපයුම්කරු රැගෙන පැමිණෙන අතර අදාළ ඉන්වොයිස් පතේ සඳහන් වූ ප්‍රමාණය පරීක්ෂා කර GRN පතට ඇතුළත් කිරීම තමන් විසින් සිදුකරන බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
ලේබලයේ ඇති ශීත දාමය පරීක්ෂා කර බලා ඊට අනුව ගබඩා කිරීම සිදුකරන බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
අදාල ගබඩාවෙන් ඖෂධ ලබාගැනීම මෙන්ම නිකුත් කිරීමද සිදු කරන අතර විශාල ඖෂධ ප්‍රමාණයක් ලැබීමේදී සැපයුම් සහායකයන් තිදෙනාම වරින් වර රාජකාරී කටයුතු කරන අතර තිදෙනාටම එම කටයුතු වල වගකීම බෙදී ඇති බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
අදාල ඖෂධ ලැබීම් සහ නිකුත් කිරීම් සිදුවන අවස්ථාවේදී නිකුත් කිරීම් වලට ප්‍රමුඛත්වය ලබාදෙන බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"එලෙස ඖෂධ නිකුත් කිරීම් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන්නේ කුමන හේතුවක් මතදැ"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ රෝගීන් හට ලබාදීම සඳහා රෝහල්වලින් අදාළ ඖෂධ ඉල්ලීම් සිදු කරන බැවින් ඖෂධ නිකුත් කිරීමට කඩිනමින් කටයුතු කරන බවය. දුර බැහැර ප්‍රදේශවල රෝහල්වලින් ද එලෙස ඖෂධ රැගෙන යාමට පැමිණ සිටින අවස්ථාවලදී සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
එම සාක්ෂිය විමසන අතරවාරයේදී එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලද අතර වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස දෙවැනි දාට කල් තබන ලදී.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

 

whatsapp 202507155

නවතම පුවත්