"ස්වාමීනී, සාක්ෂිකරුට බාධාවකින් තොරව සාක්ෂි ලබාදීමට අවස්ථාව ලබාදිය යුතුයි ඊට පැමිණිල්ල බාධා කරනවා" යනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන කර සිටියේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිල දී ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ එකසිය හැට එක්වන සාක්ෂිකරු ලෙස නම්කර සිටින වෛද්‍ය සැපයුම් ඒකකයේ වෛද්‍ය සැපයුම් සහායක දර්ශන බණ්ඩාර රත්නායකගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකරන අවස්ථාවේදී නීතිඥවරයා මේ බව කියා සිටියේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය , තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී පැමිණිල්ලේ එකසිය හැට එක්වන සාක්ෂිකරු ලෙස නම්කර සිටින වෛද්‍ය සැපයුම් ඒකකයේ වෛද්‍ය සැපයුම් සහායක දර්ශන බණ්ඩාර රත්නායකගෙන් වැඩිදුර සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සිදු කරන ලදී.
එහිදී ගබඩා අංක 6 ට ඖෂධ ලබා ගැනීමට අදාළව සැපයුම්කරු විසින් ලබා දෙන ලද invoice පත් සහ ඊට අදාළව නිකුත් කරන ලද GRN සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සිදු කරන ලදී.
එහිදී invoice පත් සහ GRN කට අදාළව වෙන් වෙන්ව හඳුනා ගනිමින් සාක්ෂි විමසීම සිදු කෙරිණි.
සැපයුම්කරු විසින් invoice පත්‍ර ඉදිරිපත් කළ අවස්ථාවලදී එම invoice පත්‍රවල පිටුපස කොටු මුද්‍රාව සහ එහි ඇති අත්සන් සැලකිල්ලට ගත් බව සාක්ෂිකරු කියා සිටියේය.
2023 ජූලි 18 වැනිදා වන විට CIU මුද්‍රාව තැබීම සම්බන්ධයෙන් ලබා දී තිබූ උපදෙස් පිළිබඳව තමන් නොදන්නා නමුත් එම මුද්‍රාව නොතිබීම බඩු භාර ගැනීමට බාධාවක් නොවූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"ඒ කාලය වන විට paperless කියලා ක්‍රමයක් ඔබ දැන සිටියාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ ස්වස්තා පද්ධතිය භාවිතා කළේ paperless ක්‍රමයක් ලෙස බවය.
එහිදී 354 දරණ invoice පතට අදාළව හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වයල් 250ක් ඇති බව සඳහන් වන අතර ඊට අදාළ GRN පත්‍රය හඳුනාගත හැකිදැයි සාක්ෂිකරුගෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී ඔහු එය හඳුනාගත හැකි බව සඳහන් කළේය.
එම GRN පත්‍රයේ බඩු භාර ගැනීමේ දිනය 2023.07.09 ලෙස සඳහන් ව තිබීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ දිනය සහ, අදාළ වේලාව පද්ධතිය මගින් ස්වයංක්‍රීයවම එහි සටහන් කරන බවය.

පැ. 357 දරණ invoice පතට අදාළව වයල් 250ක් භාරගෙන ඇති අතර invoice පතේ ඊට අදාළ කොටු මුද්‍රාව තබා ඇති බවද, ඒ අනුව ඊට අදාළ GRN සකස් කිරීම සිදුකළ අතර එහි දාතමය ලෙස 2023.07.24 ලෙස සඳහන් වන බවද සාක්ෂිකරු දී සඳහන් කළේය. එහි බඩු භාර ගත් බවට තමා විසින් අත්සන් තබා ඇති අතර එම අත්සන හඳුනාගත හැකි බවද සාක්ෂිකරු අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.
ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කර ඇති පැ. 360 ,පැ. 363,පැ.369,පැ.371,පැ.374,පැ. 377,පැ.380,පැ.383,පැ.336,පැ. 341,පැ.344,පැ.346 යන invoice පත්‍ර සහ ඊට අදාළ භාණ්ඩ භාර ගැනීම සම්බන්ධ GRN පත්‍ර සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් වෙන් වෙන්ව ප්‍රශ්න කර සිටි අතර ඊට අදාළ ගොනුව පරීක්ෂා කර බලමින් සාක්ෂිකරු සාක්ෂි ලබාදීම සිදු කළේය.
"ඔබ ගබඩාවෙන් රෝහල්වලට ඖෂධ නිකුත් කළේ කුමන ලේඛන මතද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ STV ලේඛනය මත අදාළ භාණ්ඩ නිකුත් කළ බවය.
STV ලේඛනය මත අදාළ ආයතනයට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය සටහන් වන අතර එය පරීක්ෂා කර බලා ,ශීත ගබඩාවෙන් අවශ්‍ය ප්‍රමාණය ගණනය කර අදාළ ආයතන වෙත භාර වීමක් සිදුකරන බව සාක්ෂිකරු සඳහන් කළේය.
"ඔබ සේවය කරන ගබඩාවෙන් සෙල්සියස් අංශක 2-8 ශීත දාමයේ සහ සෙල්සියස් අංශක 25 ට අඩු ඖෂධ නිකුත් කිරීම සිදුකරන බවට සාක්ෂියක් ලබා දුන්නා .ඒ සඳහා වෛද්‍ය සැපයුම් සහකාර නිලධාරීන් තුන්දෙනෙකු සිටින බවට ඔබ සඳහන් කළා .පද්ධතියට මේ තුන්දෙනා කෙසේද log වන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ අදාළ පද්ධතියට උදෑසන ම එක් නිලධාරියකු log වන බවය. අනතුරුව දෛනික කටයුතු කිරීම එම මුර පදය යටතේම සිදු කරන බව සාක්ෂිකරු සඳහන් කළේය.
එහිදී අදාළ STV ලේඛන පරීක්ෂා කර බලා ඒ ඒ රෝහල්වලට අවශ්‍ය ඖෂධ ප්‍රමාණය සකස් කරන බවද, STV පත්‍රය මුද්‍රණය කර ඒ සමඟ අවශ්‍ය වයල් ප්‍රමාණය අදාළ රෝහලට හෝ ආයතනයට යවන බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"මීට පෙර සාක්ෂි ලබාදීමේදී සඳහන් කළා ඖෂධ ලබාදීම ක්‍රම දෙකකට කරන බව, ආයතනයට පැමිණ ඖෂධ ලබා ගැනීම මෙන්ම ඔබ විසින් ගෙන ගොස් භාරදෙන බව. මේ දෙකෙන් කවර ක්‍රමයක්ද භාවිතා කළේ යන්න පිළිබඳව හඳුනා ගන්න පුලුවන්ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළාය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව STV පත්‍රයේ සටහන් තබන බවය. ඖෂධ රැගෙන යාමට පැමිණි විට ශීතාගාරයට ගොස් අදාළ ලියකියවිලි පරීක්ෂා කර බලා අවශ්‍ය ප්‍රමාණය නිකුත් කිරීම සිදුකරන බවද, ශීත දාමය ඇති ලොරි රථවල ඒවා පිටත් කිරීම සිදුකරන බවද සාක්ෂිකරු සඳහන් කළේය. මේ වන විට වෛද්‍ය සැපයුම් ඒකකය සතුව එවැනි වාහන තුනක් ඇති බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
"ශීතාගාරයෙන් ඖෂධ ලබාදීමේදී අයිස් පැකට් දමා ලබාදෙන අවස්ථා හැරුණුවිට විට අයිතම වෙනත් ආකාරයකට ලබාදෙන අවස්ථා තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ලොරි රථ තුළට cool pack රැගෙන ගිහින් ගොස් ලබා දීමක්ද සිදුකරන බවය. එලෙස භාණ්ඩ නිකුත් කළේ කවුරුන් වෙතද යන්න පිළිබඳව සටහන් ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය.
පැ. 423 ලෙස ලකුණු කර ඇති ලේඛනයට අවධානය යොමු කළ සාක්ෂිකරු ගබඩාවෙන් ඖෂධ රැගෙන බෝ පිටිය මහතාට ලබා දුන් බව එහි සඳහන් වන බව කියා සිටියේය.
"ඖෂධ යැව්වේ cool ලොරියකද? එහෙමත් නැත්නම් නිකං ලොරියකද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන්ට ඒ පිළිබඳව මතකයක් නොමැති බවය
"පැ. 424 ලෙස ලකුණු කර ඇති STV පත්‍ර හඳුනාගත හැකිද ?"යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ඉදිරිපත් කළ අවස්ථාවේදී එය හඳුනාගත හැකි බව සාක්ෂිකරු සඳහන් කළේය. එම STV පත්‍රය අනුව ඒ 732230401කාණ්ඩයෙන් වයල් 226 ක් ජාතික රෝහලට නිකුත් කර ඇති බව ද එම ඖෂධ ඍජු ෆෝම් පෙට්ටියක බහා cool packets පැකට් ඇතුලත් කොට භාර දුන් බව සාක්ෂිකරු සඳහන් කළේය.එම ඖෂධ තොගය 2023 /08/15 දින ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අධිකරණයට ඉදිරිපත් කර ඇති 55 ලෙස ලකුණු වී ඇති පළමුවන ලේඛණය සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළාය.
NMQAL ආයතනයට වයල් දෙකක් නිකුත් කිරීමට අදාළව සටහනක් ඇති බව ප්‍රකාශ කළ සාක්ෂිකරු එය 6 ගබඩාවේ ශීතාගාරයෙන් නිකුත් කර ඇති බව සඳහන් කළේය.
"එම ඖෂධ වයල් දෙක කාටද නිකුත් කළේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ නිශාන් මහතාට එම ඖෂධ දෙක නිකුත් කළ බවය.
"එම ඖෂධ රැගෙන ගියේ නිශාන් මහතාගේ අත්සන දන්නවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඔහුගේ අත්සන තමන් නොදන්නා බවය. නමුත් ඔහු නමින් දන්නා බව සඳහන් කළ සාක්ෂිකරු අදාළ ඖෂධ නිකුත් කර ඇත්තේ වෛද්‍ය සැපයුම් සහකාර මධුශංක විසින් බව ද මේ වන විට ඔහු විදේශගතව සිටින බවද සඳහන් කළේය.
"NMQAL ආයතනයට 2-8 ශීතදාමයේ ඖෂධ නිකුත් කර තිබෙනවාද?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට මතකයක් නොමැති බවය.
"පැ. 415 ලෙස ලකුණු කර ඇති ලේඛනය හඳුනාගත හැකි දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අතර අදාළ ලේඛනය හඳුනාගත හැකි බව සඳහන් කළ සාක්ෂිකරු රිටොප්සිමැබ් 500ml ක වයල් 40ක් නිකුත් කිරීමට අදාළව සටහන් එහි ඇති බව සඳහන් කළේය. එම ඖෂධ මධුශංක මහතා විසින් භාරදී ඇති බව සඳහන් වන බව සාක්ෂිකරු කියා සිටියේය.
"එම ඖෂධ ශීත දාම ඖෂධ භාර දෙන පිළිවෙළටම ද භාර දුන්නේ?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ශීතාගාරය තුළ ඍජු ෆෝම් පෙට්ටි තුළට cool pack යොදා අදාළ ඖෂධ එහි බහා NMQAL ආයතනයට භාරදීම සඳහා ලබාගත් බවය.එසේ ලබාගත් නිලධාරියා කවුරුන්ද යන්න පිළිබඳව හඳුනාගත නොහැකි බව සඳහන් කළ සාක්ෂිකරු 2023-11.29 එය භාරදී ඇති බව සඳහන් කළේය.

2025/02/11 දිනැති advice notice එක හඳුනාගත හැකිද යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ ඒ හඳුනාගත හැකි බවය. එම ලේඛනය අනුව රිටොප්සිමැබ් ඖෂධයේ වයල් 100 හා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ වයල් 100 උසාවි නියෝගයකට අනුව නිකුත් කර ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය. එම ඖෂධ NMQAL ආයතනයේ අර්ජුන පද්මපෙරුම මහතාට ලබා දුන් බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
ජර්මනිය වෙත යැවීම සඳහා සකස් රිටොප්සිමැබ් ඖෂධයේ වයල් 100 හා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ වයල් 100 ඇතුලත් cool box ඇතුලට data logos ඇතුළත් කර බවද සාක්ෂිකරු සඳහන් කළේය
"අදාළ ඖෂධ භාර දීමට සකස් කළේ ඔබද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමා විසින් එම ඖෂධ ගණන් කර ලබාදීමක් සිදුකළ බවය.
අදාළ ඖෂධ වෙන් වෙන් වශයෙන් ගණන් කොට ඒවායෙහි මුද්‍රා නිසි පරිදි තිබෙනවාද යන්න පරීක්ෂා කර බලා cool box තුළට අදාළ යොමු කර ඒ අතරට ඩේටා ලොග් එකක් ඇතුළත් කළ බවද,සාක්ෂිකරු කියා සිටියේ ය.
සහකාර අධ්‍යක්ෂක පද්මපෙරුම මහතාට වයල් සීයක් නිකුත් කර තිබූ අතර ඒවා වෛද්‍ය සැපයුම් අංශයේ තිබූ ඒවා බවත් වෙනත් කිසිදු රෝහලකින් හෝ ආයතනයකින් ලැබුණ ඒවා නොවන බවත් සාක්ෂිකරු කියා සිටියේය.
පැ. 433 යටතේ ඔබට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වයල් 100ක් නිකුත් කර තිබෙනවා. ඒ සඳහා වයල් ලැබී තිබුනේ කොහෙන්ද" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එය කරාපිටිය රෝහලෙන් ලැබුණු බවය.
එම සාක්ෂිකරුගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දැනුම් දීමෙන් අනතුරුව දෙවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
එහිදී සාක්ෂිකරුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී තමන් අපොස උසස් පෙළ රසායන විද්‍යාව සමත් බවත්, ගබඩා කළමනාකරණය සම්බන්ධයෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් මෙරට රජයේ වියදමින් හදාරා ඇති බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වුවද අදාළ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ කාලය හෝ එහි අධ්‍යයන කාල සීමාව කුමක්ද යන්න පිළිබඳව තමන්ට මතකයක් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.
Invoice පත් සමග ලැබෙන සැපයුම් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් සහකාර අධ්‍යක්ෂකවරයාට දැනුම් දෙන අතර 2023 කාලයේදී සහකාර අධ්‍යක්‍ෂ ලෙස උපාලි මහතා කටයුතු කළ බව සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
නීතිඥවරයා ඔබ සාක්ෂි ලබාදීමේදී 93 ගොනුවේ invoice පත්‍ර හතරක් හඳුනා ගත්තා
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී
නීතිඥවරයා: ඒවාට අදාළ ඖෂධ සම්බන්ධයෙන් වන තොරතුරු ඇතුළත් වෙනවා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි,
නීතිඥවරයා:රිටොප්සිමැබ් ඖෂධ වලට අදාළ GRN පත්‍රවල මොනවද අඩංගු වෙලා තියෙන්නේ.
නීතිඥවරයා: ගබඩාවේ දී invoice එකේ තොරතුරු පරීක්ෂා කර බලා බලනවාද?
සාක්ෂිකරු: Quantity, කල් ඉකුත් වීමේ මේ දිනය සහ කාණ්ඩ අංකය බලනවා.
නීතිඥවරයා ඔබ GRN පත්‍රය අත්සන් කරන්නේ invoice සහ GRN වල ඇති තොරතුරු නිවැරදියි යන පදනම් මත නේද ?
සාක්ෂිකරු:ඔව් ස්වාමීනී.
නීතිඥවරයා: එහි තොරතුරු වැරදි නම් අත්සන් කරනවාද?
සාක්ෂිකරු:නෑ ස්වාමීනී
නීතිඥවරයා: භාණ්ඩ භාර ගැනීම සම්බන්ධයෙන් දැන ගැනීමට ඇති අවසානාත්මක ලේඛණය GRN පත්‍රය නේද?
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ස්වාමීනි මෙම ප්‍රශ්නය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මා විරුද්ධ වෙනවා. මෙම සාක්ෂිකරුට පිළිතුරු දිය හැක්කේ ඔහුගේ රාජකාරිය තුළ පමණයි. මගේ උගත් මිත්‍රයා උත්තර අඟවන ප්‍රශ්න අහනවා සාක්ෂිකරුවන් සාක්ෂිකරු නොමග යැවීමට කරන උත්සාහය ට මා විරුද්ධයි.
නීතිඥවරයා: ස්වාමීනී මා සාක්ෂිකරු ට ප්‍රශ්නයක් යොමු කළා. ඔහු උත්තර දෙන්න හදන විට ඊට බාධා කිරීමට මගේ උගත් මිතුරිය නැගිටලා උත්තරය ඇඟවෙන විදියේ ප්‍රකාශයක් කරනවා. ඒ අවස්ථාවේදී මා ඔහුට නිදහසේ උත්තර දීමට බාධාවක් ඇති බවට කළ ප්‍රකාශය සලකා අධිකරණය සාක්ෂිකරු පිටතට යැව්වා ඊට පෙර අවස්ථා ගණනකදී එසේ කර තිබෙනවා. විත්තියේ නීතිඥවරයකු ලෙස මට අයිතියක් තියෙනවා සාක්ෂි අඥා පනතට අනුව උත්තරේ ඇඟවෙන ප්‍රශ්නයක් අහන්න. ඊට නීතිමය බාධාවක් නෑ ස්වාමීනී. නමුත් මගේ ප්‍රශ්න කිරීමට පැමිණිල්ල බාධා කරනවා. මෙය දිගින් දිගටම මීට පෙරත් සිදු කළා. යොමු කරන ප්‍රශ්නය දන්නේ නැත්නම් සාක්ෂිකරුට දන්නේ නෑ කියලා කියන්න පුළුවන්.ඒ ගැන උත්තර දීමට ඔහුට අවකාශයක් තිබෙනවා. පැමිණිල්ලේ බාධාවකින් තොරව අධිකරණයේ නිරීක්ෂණයන්ට සහ මතයන්ට යටත්ව ප්‍රශ්න ඇසීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටිනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: අවස්ථාද ගණනකදී බාධා කිරීම් කරමින් විරෝධය පළ කළා යනුවෙන් මගේ උගත් මිත්‍රයා සඳහන් කළා. ඔහුට කිසිම බාධාවක් කළේ නෑ. සාක්ෂි ආඥා පණත අනුව එවැනි ප්‍රශ්න යොමු කිරීම වැරදියි. ඊට විරුද්ධ වීමට පැමිණිල්ල ට අයිතියක් තියෙනවා.
මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ හරස් ප්‍රශ්න විමසීමේදී පැමිණිල්ල ට මෙන්ම විත්තියට උත්තරය ඇඟවෙන ප්‍රශ්න ලබාදිය හැකි බවය .ඊට නීතිමය බාධාවක් නොමැති බව එහිදී සඳහන් කෙරිණ. සාක්ෂිකරුගේ නීති විරෝධී ලෙස ප්‍රශ්න අවස්ථාවක ඊට පස්සේ විරෝධය දැක්වීමට පැමිණිලිකාර පාර්ශ්වයට අවස්ථාව ඇති අතර මෙහිදී මෙම සාක්ෂිකරු පිළිතුරු දීමට පෙර ඔහු අධිකරණයෙන් පිටතට යැවීම නිසා බාධාවක් සිදු නොවූ බව අධිකරණයේ නිරීක්ෂණය බවද එහිදී සඳහන් කෙරිණ.මෙහිදී GRN පත්‍රයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු GRN පත්‍ර නිකුත් කර ඇති පුද්ගලයකු නිසා අදාළ ප්‍රශ්නයට පිළිතුරු දීමේ හැකියාව ඔහුට ඇති බවට විනිසුරු මඩුල්ල තීරණය කළේය. ඒ අනුව අදාළ ප්‍රශ්නය ඇසීමට අවසර දෙන ලදී.
ඒ අනුව නීතිඥවරයා "යම් ඖෂධයක් නිසි ලෙස භාර ගත්තාද යන්න පිළිබඳව දැක්වීමට ඇති ලේඛනය GRN පත නේද?" යනුවෙන් ප්‍රශ්න කර සිටියේය. ඊට "ඔව් "යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු ලබාදුන් අවස්ථාවේදී නීතිඥවරයා "එය තමයි සාමාන්‍ය ක්‍රමවේදය නේද?" යනුවෙන් ප්‍රශ්නයක් යොමු කළේය .ඊට ද සාක්ෂිකරු "ඔව් "යන පිළිතුර ලබා දුන්නේය.
භාණ්ඩ තොග ගබඩාවට භාරගත් බවට සහතික කරන අවසන් ලේඛනය GRN පත නේද? යන ප්‍රශ්නය ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු ඊට ඔව් යන පිළිතුරු ලබාදුන් අතර "එහි මුල් පිටපත ගිණුම් අංශයට යවන්නේ ඇයි යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවය.

තමන් භාණ්ඩ ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටකට උත්තර දෙකක් ලබා දුන් බවට සාක්ෂිකරු සඳහන් කළේය.
"ගබඩාකරණය යන ඩිප්ලෝමාවෙන් මොනවද හැදෑරුවේ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ගබඩාකරණය සම්බන්ධ කරුණු අධ්‍යයනය කළ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"ඔබ GRN එක සකස් කරන්නේ සහකාර අධ්‍යක්ෂකවරයා නිවැරදි ලෙස අත්සන් තබා ඇති බව බව පිළිගෙන නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු ඊට "ඔව්" යන පිළිතුරු ලබා දුන්නේය.
දෙවන විත්තිකරු වෙනුවෙන් සාක්ෂි විමසීමෙන් අනතුරුව පළවෙනිම විත්තිකරු වෙනුවෙන් පෙනි සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"ඔබට ගබඩා අංක 6 දී රාජකාරිය කිරීම සඳහා රාජකාරිය ලැයිස්තුවක් ලබාදී තිබුණාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී එවැනි රාජකාරී ලැයිස්තුවක් කිසිදු අවස්ථාවක ලබා දී නොතිබූ බව සාක්ෂිකරු කියා සිටියේය.
"සාමාන්‍ය ගබඩාකරුවෙකුට වඩා ශීත ඖෂධ ගබඩාකරුවකු විශේෂයි නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන්ට ඒ සම්බන්ධයෙන් විශේෂ තාක්ෂණ දැනුමක් නොමැති බවය. සැපයුම්කරු විසින් ලබා දෙන ප්‍රමාණය ගණනය කර ලබා ගැනීම පමණක් තමන් සිදුකරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
නීතිඥවරයා: ඖෂධයක් බාර ගැනීමේදී යම් උෂ්ණත්වයක් සඳහන් කර තිබුණොත් එවැනි උෂ්ණත්වයක රඳවා ගැනීමේ වගකීමක් තියෙනවා නේද?
සාක්ෂිකරු :ඔව් ස්වාමීනි
නීතිඥවරයා :නියමිත උෂ්ණත්වය පවතිනවා ද යන්න බැලීමේ ක්‍රමවේදයක් තියෙනවාද?
සාක්ෂිකරු:ඒ සඳහා උෂ්ණත්වමාන තියෙනවා දෛනික උෂ්ණත්වය බැලීමක් එහිදී සිදු කරනවා. උෂ්ණත්වය වෙනස් වුවහොත් එලාම් එකක් ක්‍රියාත්මක වෙනවා උෂ්ණත්වය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරීන් පැයෙන් පැයට අවධානය යොමු කර පහළ මාලයේ එය ප්‍රදර්ශනය කරනවා.
නීතිඥවරයා: උෂ්ණත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ආරක්ෂක අංශයේ නිලධාරීන් ද
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී ගැටලුවක් ආවොත් නඩත්තු අංශයට දැනුම් දෙනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ට දැනුම් දී යථාවත් කරනවා.
නීතිඥවරයා:ඔබ ඩිප්ලෝමා පාඨමාලාවේ දී ශීත ගබඩාව සම්බන්ධයෙන් අධ්‍යාපනය ලැබුවා මතක ද?
සාක්ෂිකරු නැහැ ස්වාමීනි.
නීතිඥවරයා: ඔබ රාජකාරිය කරන අවස්ථාවේදී data loger පාවිච්චි කරලා තියෙනවාද?
සාක්ෂිකරු: නෑ ස්වාමීනී ,ජර්මනියට ඖෂධ භාරදීම සඳහා සකස් කරන අවස්ථාවේදී data logger භාවිතා කළා
නීතිඥවරයා: ඒ අවස්ථාවේදී පමණද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
"අදාළ ඖෂධ තොගය සකස් කරන විට ඒවා විදේශගත කිරීමට සකස් කරන බව දැන සිටියාද?" යනුවෙන් නීතිඥ වරයා ප්‍රශ්න කළ අවස්ථාවේද ඒ පිළිබඳව තමා දැනුවත්ව සිටි බව සාක්ෂිකරු සඳහන් කළේය. කෙසේ වුවද එහි ඇතුලත් කරේ dry ice ද සාමාන්‍ය අයිස් ද යන්න පිළිබඳව තමන්ට මතකයක් නොමැති බව සාක්ෂිකරු සඳහන් කළේය.
පළමු වන විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව තුන්වන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
අනතුරුව එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකරු වෙත දුරකථන අංකයක් ඉදිරිපත් කරමින් එම අංකය හඳුනනවා දැයි විමසීමක් කළේය.
එම අංකය තමන් නොදන්නා බව සාක්ෂිකරු සඳහන් කළේය.
අංකය මෙම ප්‍රශ්නගත ඖෂධ සැපයීම සිදු කළ අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනයේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දුට අයත් වන බව ප්‍රකාශ කළ නීතිඥවරයා සාක්ෂිකරුගේ දුරකථන අංකයෙන් එම දුරකථන අංකයට ඇමතුම් ලබාගෙන ඇති බව පෙන්වා දුන්නේය.
"ඒ අනුව 2023 මැයි මාසයේ සිට 2023 සැප්තැම්බර් මාසය දක්වා වන කාලය තුළ සාක්ෂිකරු සහ සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා අතර දුරකථන සංවාද එකසිය අසූ නමයක් පවත්වා ඇති බව පිළිගන්නවාද? "යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඔහු සමග රාජකාරීමය කතාබහ සිදුකර ඇති නමුත් දුරකථන සංවාද ප්‍රමාණය පිළිබඳව මතකයක් නොමැති බවය.
සෙසු විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමක් මෙම සාක්ෂිකරු ගෙන් සිදු නොකරන බව නීතිඥවරුන් විසින් දීමෙන් අනතුරුව විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කර සිටියේ GRN පත්‍ර සකස් කිරීමේදී අදාළ සැපයුම්කරු කවුරුන්ද යන්න පිළිබඳව සැලකිලිමත් වනවාද යන්න පිළිබඳව ය.
තමන් ප්‍රමාණය පිළිබඳව පමණක් සැලකිලිමත් වන බව සඳහන් කළ සාක්ෂිකරු සැපයුම්කරු පිළිබඳව සොයා බැලීමක් නොකරන බව එහිදී සඳහන් කළේය.
"යම් ඖෂධයක අහිතකර ප්‍රතිවිපාක ඇත්නම් ඒ පිළිබඳව සිස්ටම් එකේ පෙන්නනවා ද?" යනුවෙන් විනිසුරු විරාජ් වීරසූරිය මහතා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි පෙන්වීමක් සිදු නොකරන බවය. එහෙත් ඖෂධයක් withdraw කළ විට එය පද්ධතිය මගින්ම අවහිර කරන බව සාක්ෂිකරු සඳහන් කළේය.
එම ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරිකරුගෙන් නැවත ප්‍රශ්න කිරීම සිදු කළාය.
ඉන් අනතුරුව එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

