චක්‍රලේඛය ලැබීමට පෙර සංකූලතා වාර්තා වූ වහාම අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බව මාතර මහ රෝහලේ ඖෂධවේදි උපාලි සූරිය ආරච්චි මහතා ස්ථිර ත්‍රිපුද්ගල පුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළේය
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
පැමිණිල්ලේ 112වන සාක්ෂිකරු ලෙස නම්කර සිටි මාතර මහ රෝහලේ ඖෂධවේදි උපාලි සූරිය ආරච්ච මහතා එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබා දුන්නේය.
ඖෂධවේදියෙකු ලෙස පත්වීමෙන් පසුව බදුල්ල මහා රෝහලේ සේවය කළ තමන් 2003 වසරේ සිට මාතර රෝහලට අනුයුක්තව සේවය කරන අතර 2017 වසරේදී ශීතදාම ඖෂධ හා කායික රෝග ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරන බවද සාක්ෂිකරු සඳහන් කළේය.

"රිටොප්සිමැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ගබඩා කරන්නේ මොන ස්ථාන වලද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ මාතර රෝහලේ ඖෂධ ගබඩා කිරීම සඳහා ශීතාගාරයක් ඇති බවය. අඩි 10×12 ප්‍රමාණයේ ශීතාගාරයට සියලු පහසුකම් ඇති අතර iceman නම් සමාගමක් මගින් එහි නඩත්තු කටයුතු කරන බවද විදුලිය නොමැති අවස්ථාවලදී විදුලි ජනක යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"එම ශීතාගාරයේ ඔබ නොමැති අවස්ථාවලදී ඖෂධ භාරව කවුද කටයුතු කරන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ශීතාගාරය භාරව තවත් ඖෂධවේදීන් තිදෙනෙකු සිටින බවය.
"මෙම ශීතාගාරයේ ඇති ඖෂධ විගණනයට ලක් වෙනවාද?" යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අභ්‍යන්තර විගණනයට මෙන්ම වාර්ෂිකව සිදු කරන විගණනය ට ද මෙය ලක්වන බවය. එහිදී ඖෂධ වේදීන් සියලු දෙනාට සම වගකීමක් පැවරෙන බව ඔහු සඳහන් කළේය.
"ඖෂධ නිකුත් කරන්නේ කුමන වේලාවකද?" යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ සාමාන්‍ය රාජකාරී වේලාව තුළදී ඖෂධ නිකුත් කිරීම සිදු කරන බවය. වාට්ටු වලට ලබාදීම සඳහා අභ්‍යන්තර ඖෂධාගාරයට ඖෂධ නිකුත් කරන අතර සේවය අවසානයේදී ශීතාගාරය යතුරු ලා යතුරු පුවරුවේ තබා කාර්යාලයීය යතුර එහි පවතින පොලිස් මුර පොළ වෙත භාරදෙන බව සාක්ෂිකරු සඳහන් කළේය.
"යතුර නැවත භාරගන්නා තෙක් එහි භාරකාරත්වය තියෙන්නේ පොලිස් ස්ථානය සතුවද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අතර සාක්ෂිකරු ඊට "ඔව්" යන පිළිතුරු ලබා දුන්නේය.
"ශීතාගාරය සඳහා ඖෂධ ඇනවුම් කරන්නේ කෙසේද?"යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ තමන් විසින් එම ඇනවුම ස්වස්ථා පද්ධතිය ඔස්සේ සිදුකරන බවය. වෛද්‍ය සැපයුම් අංශය ඒ අනුව අදාළ ඖෂධ ප්‍රමාණය සපයන අතර එම ඖෂධ ලබාදීම ක්‍රම දෙකක් යටතේ සිදුවන බව ද සාක්ෂිකරු සඳහන් කළේය.
වෛද්‍ය සැපයුම් ඒකකය ඔවුන් සතු ශීතාගාර සහිත ලොරි වලින් අදාළ ඖෂධය ගෙනැවිත් භාර දෙන අතර එසේ නොමැති අවස්ථාවලදී තමන් වෛද්‍ය සැපයුම් ඒකකයට ගොස් එම ඖෂධය ලබා ගැනීම සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
"ඖෂධ ගෙනවිත් භාරදෙන විට රිටොප්සිමැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ගේන්නේ කොහොමද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ වෛද්‍ය සැපයුම් ඒකකය ඔවුන්ගේ cool lorry මගින් ඒවා ගෙනවිත් බාර දෙන බවය. එම ලොරි පැමිණීමට පෙර ඒ බව දැනුම් දෙන බවද අදාළ ලොරි රථ ශීතාගාරය අසලටම ගත හැකි අතර තමන් cool careers ගෙන ගොස් අයිස් පැකට් මැද අදාළ ඖෂධ ගබඩා කරගෙනවිත් ශීතාගාරයේ තැන්පත් කරන බව සාක්ෂිකරු සඳහන් කළේය.
"එම ඖෂධ නිසි උෂ්ණත්වයේ තිබෙනවාද යන්න සහතික කර ගැනීමට බලන්නේ මොනවද ?"යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ ඖෂධය විවෘත කර තිබේද යන්න පිළිබඳව එහිදී අවධානය යොමු කරන බවය. කාඩ්බෝඩ් කාටුන් එකක් නම් එය සෙලෝ ටේප් වලින් ආවරණය කර තිබිය යුතු බවද සාක්ෂිකරු සඳහන් කළේය
"රිටොප්සි මැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ භාර ගන්නා විට ඊට අදාළ කාණ්ඩ අංකය සඳහන් කර තිබෙන බව බලනවාද?" යන ප්‍රශ්නය යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එහිදී අනිවාර්යයෙන්ම කාණ්ඩ අංකය පිළිබඳව අවධානය යොමු කරන බවය.
"කාණ්ඩ අංකයෙන් නිෂ්පාදකයා සොයා ගත හැකිද යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ STV පත හරහා නිෂ්පාදකයා සොයා ගැනීමේ හැකියාවක් නොමැති බවය. ඖෂධයේ ඇති ලේබලය බලා අදාළ නිෂ්පාදකයා සොයාගත හැකි බව සාක්ෂිකරු කියා සිටියේය.
"වෛද්‍ය සැපයුම් ඒකකයට ගොස් ඖෂධ ගෙන ඒම ඔබ මීට පෙර කර තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කළේ "ස්වාමීනි අපි AC සහිත වාහනවල cool packets සහිත careers අරගෙන යනවා. වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩා අංක 6 යේ ශීතකරණ තිබෙනවා. එතනින් ඖෂධ ලබා ගන්නවා. එතැනදී එම නිලධාරීන් බහාලුම් වලට දාලා එම ඖෂධ ලබා දෙනවා යනුවෙනි. එහිදී කාණ්ඩ අංකය, කල් ඉකුත් වීමේ දිනය, ඖෂධයේ නම යනාදිය පිළිබඳව අවධානය යොමු කරන බව ද විවෘත කර ඇති ඖෂධ භාර ගැනීමක් නොකරන බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
අදාළ ඖෂධ මාතර රෝහලේ ශීතාගාරයටම රැගෙන යන අතර එහිදී එම බහාලුම් විවෘත කර ශීතාගාරයේ තැන්පත් කිරීමක් සිදුකරන බව සාක්ෂිකරු කියා සිටියේය .
"ශීතාගාරයෙන් ඖෂධ නිකුත් කිරීම කරන්නේ කෙසේද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඖෂධ නිකුත් කිරීම කොටස් දෙකක් යටතේ සිදු කරන බවය. වාට්ටු වලට ඖෂධ නිකුත් කිරීම අභ්‍යන්තර ඖෂධාගාරයෙන් සිදු කරන බවද සාක්ෂිකරු සඳහන් කර සිටියේය .වෙනත් කටයුතු සඳහා අවශ්‍ය වන ඖෂධ බාහිර ඖෂධාගාරයට නිකුත් කිරීමක් කරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
අදාළ ශීතාගාරයේ thermometerය පිළිබඳව සහ ඖෂධ ගබඩා කර ඇති ආකාරය දැක්වෙන ඡායාරූප තමන් පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බව සාක්ෂිකරු සඳහන් කළ අතර අදාළ ඡායාරූප අධිකරණය හමුවේදී ඔහු විසින් හඳුනා ගන්නා ලදී.
"ඖෂධය ලබා ගැනීම සඳහා ඔබ ලබා දුන් ඇනවුම හඳුනාගත හැකිද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී අදාළ ඇනවුම තමන් ස්වස්ථා පද්ධතිය හරහා 2023-07-31 වැනිදා සිදු කළ අතර වයල් 80 ක් එමගින් ඉල්ලා සිටි බවද අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගත් බවද සඳහන් කළේය. එකී පිටපත ඔහු විසින් අධිකරණයේදී හඳුනා ගන්නා ලදී.
ඒ අනුව වෛද්‍ය සැපයුම් ඒකකය ඊට අදාළ STV එක නිකුත් කර ඇති අතර A 732230401 යන කාණ්ඩයෙන් වයල් එක් 72 ක් එම ඒකකයේ cool lorryයක් බහා ගෙනවිත් දුන් අතර තමන් ඒවා බාරගත් බව සාක්ෂිකරු සඳහන් කළේය. එම වයල් බාර ගැනීම අගෝස්තු මස පළවෙනිදා සිදුකළ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. ඒවා ශීතාගාරයේ තැන්පත් කළ අතර අගෝස්තු මස පස් වැනිදා අභ්‍යන්තර ඖෂධ ආකාරයට අදාල වයල් 72 ම ලබාදුන් බව සාක්ෂිකරු සඳහන් කළේය.
"එම කාණ්ඩ අංකයේ ඖෂධ නැවත ශීතාගාරයට ලැබීමක් සිදුවුණා ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ අදාළ ඖෂධය ලබාදීමේදී සංකූලතා ඇතිවීම හේතුවෙන් රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය ගේ උපදෙස් මත රෝහල් අධ්‍යක්ෂක විසින් අදාළ ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කළ අතර එම ඖෂධ ශීතාගාරයට ගෙනවිත් වෙනම ස්ථානයක ගබඩා කර තිබූ බවය.
සෑම විටම අදාළ ඖෂධයේ ශීත දාමය පවත්වාගෙන යාමට කටයුතු කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
අදාල ඖෂධ ඉවත් කරන ලෙස සඳහන් දැන්වීමක් ස්වස්ථා පද්ධතියේ තමන් නොදුටු බව සඳහන් කළ සාක්ෂිකරු සංකූලතා මතු අවස්ථාවේදීම අදාළ ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරිය සහ රෝහල් අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් මත කටයුතු කළ බව සඳහන් කළේය.
අදාල ඖෂධය වෙනුවට රිලයින්ස් සමාගම මගින් ලබාගත් ඖෂධය භාවිතා කරන ලෙස උපදෙස් ලැබුණු බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"අදාළ චක්‍රලේඛය කාටද ලැබෙන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එය රෝහල් අධ්‍යක්ෂවරයාට ලැබෙන බවය. තමන් එය download කර ලබා ගැනීමක් සිදුකරන බව සාක්ෂිකරු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
"ඔබ වාට්ටු වලට නිකුත් කළ වයල් ප්‍රමාණයම නැවත ලැබුනා ද" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ නිකුත් කළ වයල් ප්‍රමාණයෙන් වයල් 46 ක් පමණක් නැවත ලැබුණු බවය. අනෙකුත් වයල් සංඛ්‍යාව රෝගීන්ට ලබා දී තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
ලැබුණු ඖෂධ ශීතාගාරයේ තැන්පත් කළ අතර 20/09 දින ලැබුණු උපදෙස් මත ඉන් වයල් 30ක් ජාතික ඖෂධ තත්ත්ව රසායනාගාරය වෙත යොමු කිරීමට කටයුතු කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී අදාළ ඖෂධ cool packets මැද අසුරා තමන් විසින්ම එම ආයතනයට ගොස් භාර දුන් බව සාක්ෂිකරු වැඩිදුරටත් එහිදී කියා සිටියේය.
ඒ සමගම එම සාක්ෂිකරුගෙන් මූලික සාක්ෂිය විමසීම අවසන් බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළ අතර දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේය.
"ඔබ කිව්වා "live ealth bio pharma සමාගමේ ඖෂධ return කළ බව. ඒ කවදා ඉඳලද ?" යනුවෙන් ප්‍රශ්නයක් යොමු කළ අතර සැප්තැම්බර් මස 20 වැනිදා සිට එය සිදුකළ බව සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය.
එම ඖෂධය රෝගීන් කිහිප දෙනෙකුට ලබාදීමේදී ආසාත්මිකතා ඇතිවීම හේතුවෙන් එය ලබා නොදෙන ලෙස තමන්ට දැනුම් දීමක් ලැබුණු අතර අදාළ ඖෂධ සම්බන්ධයෙන් NMRA ආයතනයෙන් ඒ වන විටත් චක්‍රලේඛයක් නිකුත් කරව තිබූ බව තමන් නොදන්නා බව සාක්ෂිකරු සඳහන් කළේය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමක් මෙම සාක්ෂිකරුවන් සිදු නොකරන බවයි ඔවුන්ගේ නීතිඥවරු විසින් අධිකරණයට දන්වා සිටින ලදී.
මෙහිදී සාක්‍ෂිකරුට ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු විරාජ් වීරසූරිය මහතා "මාතර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මැදිහත්වීම මත ද එම ඖෂධය අත්හිටුවීමට තීරණය කළේ" යනුවෙන් විමසා සිටි අතර සාක්ෂිකරු සඳහන් කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය.

"මේ ඖෂධයේ භාවිතා කිරීම හේතුවෙන් රෝගියෙකු මිය ගිය බව දන්නවද? වෙනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි මරණයක් පිළිබඳව තමන් නොදන්නා බවය.
අනතුරුව එම සාක්ෂිකරුට නැවත ප්‍රශ්න කිහිපයක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් යොමු කරන ලදී.
එම සාක්ෂි විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ පැ.සා. 113 ලෙස නම්කර සිටින මාතර රෝහලේ ඖෂධ වේදීනියක වන යටියන විදානගේ නෙවිලා චාන්දනී සාක්ෂි ලබාදීම සිදු කළාය.
1993 වසරේදී ඖෂධ වේදනියක ලෙස සේවයට එක් වූ තමන් 2015 වසරේ සිට මාතර රෝහලේ අභ්‍යන්තර ඖෂධාගාරයේ සේවය කරමින් සිටින බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
ශීත දාමය පවත්වාගත යුතු ඖෂධ ගබඩා කිරීම සඳහා ශීතකරණ පහක් අභ්‍යන්තර ඖෂධ ගබඩාවේ ඇති අතර රිටොප්සිමැබ් ඖෂධය සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය එහි පස්වන ශීතකරණයේ තැන්පත් කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය
"ශීතකරණ වල ආරක්ෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද?" යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී ක්ෂණිකව ක්‍රියාත්මක වන ජෙනරේටර් පද්ධතියක් ඇති බවය.දෛනික රාජකාරියෙන් අනතුරුව අදාළ ශීතාගාරයේ යතුරු තමන් සතුව තබා ගන්නා බව සඳහන් කළ සාක්ෂිකාරිය තමන් සමඟ තවත් ඖෂධවේදීන් පස්දෙනකු මෙම අභ්‍යන්තර ඖෂධාගාරයේ සේවය කරන අතර ඔවුන් සියලු දෙනාටම ඒ සම්බන්ධ සම වගකීම් පැවරෙන බව සඳහන් කළාය.
"එය අභ්‍යන්තරය විගණනයට ලක් කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ අභ්‍යන්තර විගණනය මෙන්ම විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විගණනයන්ට ද මෙය යටත් වන බවය.
රෝහල් ශීත ගබඩාවෙන් ශීතදාම ඖෂධ රැගෙන ඒම තමන් විසින් සිදුකරන අතර තමන් සේවයේ නොමැති අවස්ථාවලදී එම කටයුත්ත වෙනත් ඖෂධවේදනීය හෝ ඖෂධවේදීයකු විසින් සිදුකරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.වාට්ටු වලට ලබාදීමට අවශ්‍ය ඖෂධ සතියකට වතාවක් තමන් ගබඩාවෙන් ඇනවුම් කර ලබා ගන්නා බවද ඊට අදාළ සටහන් පොත් වල සඳහන් කර අත්සන් තබන බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ඖෂධ රැගෙන ඒමේදී cool box එම ඖෂධ රැගෙන එන අතර ඒවා සෙලෝ ටේප් වලින් ආවරණය කර ඇති අතර ගබඩාවට ගෙනා සැනින් ඒවා ශීතකරණයේ තැන්පත් කරන බව ඇය සඳහන් කළාය.
අභ්‍යන්තර ඖෂධ ගබඩාව වෙත මෙම ඖෂධ ගෙන ඒම සඳහා විනාඩි දෙකකටත් අඩු කාලයක් ගතවන බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
"හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ඔබ ලබාගෙන තිබෙනවා ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී 2020 /08/05 දින වයල් 72 ක් ලබා ගත් බව සිටියේ සාක්ෂිකාරිය සඳහන් කළාය.
අනතුරුව ඒවා වාට්ටු වලට නිදහස් කළ අතර එසේ වාට්ටු වලට නිදහස් කිරීමේදී විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය සහ රෝගියාගේ ඇඳ ඉහපත පරීක්ෂා කර බලන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
පසුව අදාළ ඖෂධ රෝගීන්ට ලබාදීමේ දී මතුවූ සංකූලතා හේතුවෙන් නැවතත් ඒවා ලබා ගෙන ප්‍රධාන ගබඩාව වෙත ලබාදීම සිදුකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.

මූලික සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු නොකරන බව විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ. ඒ අනුව ඇයගෙන් නැවත ප්‍රශ්න කිරීමක් සිදු නොකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියාය. ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන මාතර දිස්ත්‍රික් මහ රෝහලේ වාට්ටු භාර හෙද නිල සොයුරියන් වන චන්ද්‍රිකා මල්කාන්ති, ප්‍රියන්තා සහ හෙද සොයුරු අනුර අබ්සේකර ගුණවර්ධන විසින් සාක්ෂි ලබාදෙන ලදී.
අපි අතර ඖෂධ ආකාරයෙන් ශීතදාම ඖෂධ ලබාගෙන වාට්ටුවේ ඇති ශීතකරන වල තැන්පත් කරන ආකාරය සහ වෛද්‍ය නිර්දේශය මත අදාළ ඖෂධ රෝගීන්ට ලබා ලබාදීම සම්බන්ධයෙන් ඔවුහු සාක්ෂි ලබා දුන්නහ.
මෙම ප්‍රශ්නෙකට ඖෂධය ලබාදීමෙන් අනතුරුව රෝගීන්ට සංකූලතා ඇතිවීම හේතුවෙන් එය තවදුරටත් ලබාදීම අත්හිටු වූ බවත් ඒවා නැවත අභ්‍යන්තර ඖෂධ ගබඩාව වෙත ලබාදුන් බවත් ඔවුහු සඳහන් කර සිටියහ. එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
අනතුරුව පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන වෛද්‍ය සැපයුම් එකකයේ වෛද්‍ය සැපයුම් සහකාර මනෝජ් බෝපිටිය විසින් සාක්ෂි ලබාදීම සිදු කළේය.
වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ වයල් 106ක් cool packet සහිත බහලුම් වල බහා ජාතික රෝහලට ලබාදීමට කටයුතු කළ බව ඔහු සඳහන් කළේය.
මෙම සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසීමක් විත්තියේ නීතිඥවරුන් විසින් නොකළ අතර ඒ අනුව නැවත ප්‍රශ්න කිරීමක්ද සිදු නොකරන ලදී.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය එඅධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

