leader s

ඖෂධ ලබා ගැනීමේදී සහ නිකුත් කිරීමේදී ඖෂධ වේදීන් සියලු දෙනාට සාමූහික වගකීමක් ඇති බව, කොළඹ ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාගාරයේ ඖෂධවේදි චරිත ලක්මාල් අමරදිවාකර ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
 

එහිදී පැමිණිල්ලේ 71 වන සාක්ෂිකරු වන කොළඹ ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාගාරයේ ඖෂධවේදි චරිත ලක්මාල් අමරදිවාකර සාක්ෂි ලබාදීම සිදු කළේය. 

 
තමන් 2017 වසරේදී ඖෂධ වේදියෙකු ලෙස යාපනය රෝහලේ සේවයට එක්වූ අතර ජාතික රෝහලේ සේවයට එක්වීමෙන් අනතුරුව 2017 වසරේදී ඇඳ ඉහපත් අංශයේ රාජකාරී භාරගත් බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
නික්ෂේපන සහ වෙනත් ඖෂධ ලබාදීම එම අංශයෙන් සිදු කරන බවද එහිදී අදාළ රෝගියාගේ නමට ඖෂධ නිකුත් කිරීමක් සිදුකරන බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"2023 වසරේදී ඔබ ඇඳ ඉහපත් අංශයේ සේවය කලාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ කාලය තුළ තමන් ඇඳ ඉහපත් අංශයේ සේවය කළ බවය.
 
එම අංශයේ ඖෂධ වේදීන් හත් දෙනකු සේවය කරන අතර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය භාරව ඖෂධ වේදීන් හතර දෙනෙකු කටයුතු කරන බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
ඖෂධයේ වැදගත්කම සහ වටිනාකම හේතුවෙන් ඖෂධ වේදීන් හතර දෙනා මාරුවෙන් මාරුවට සතියක් එකට වරක් අදාළ ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කරන අතර එම ඖෂධය ඇනවුම් කිරීම සහ නිකුත් කිරීම හතර දෙනාටම කළ කළ හැකි බවද, අවශ්‍ය තොගය බැලන්ස් කිරීම සහ ඒ සම්බන්ධව සියලු ඖෂධ වේදීන්ට සම වගකීමක් පවතින බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
"අදාළ ඖෂධ බැලන්ස් කිරීමට පොත් කීයක් තිබුණද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර ඖෂධ වේදීන් හතර දෙනාටම සෞඛ්‍ය 37 නමින් හඳුන්වන ලේඛන තිබූ බව සඳහන් කළ සාක්ෂිකරු කවුළු අංකය අනුව ඖෂධ වේදින් නම් කර සිටින බවද ඒ අනුව තමන් කවුළු අංක එක ලෙස හඳුන්වන බවද සඳහන් කළේය. 
 
"මුලින්ම ඖෂධ තොගයක් ඇනවුම් කරන්නේ කොහොමද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්‍ෂිකරු සඳහන් කළේ පළමුව අතේ ඇති තොගය ගණනය කර සතියකට අවශ්‍ය ඖෂධ තොගය සමඟ ගළපා බලා ඖෂධ ගබඩා භාර ඖෂධවේදියාට අදාළ ඇනවුම ඉදිරිපත් කරන බවය. එහිදී ඔහු තමන් අත ඇති තොග අනුව අදාළ ඇනවුම නිකුත් කරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය තැන්පත් කිරීමේ පහසුකම් සීමිත වන බැවින් සතියකට අවශ්‍ය තොගය පමණක් ඇනවුම්කර ඒ සඳහා පවතින ශීතකරණයේ ගබඩා කර තබන බවද සාක්‍ෂිකරු සඳහන් කළේය. 
 
ඇඳ ඉහපත් අංශයේ ශීතකරණ විස්සක් පමණ ඇති අතර ප්‍රමාණයෙන් විශාල ශීතකරණය හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය තැන්පත් කිරීම සඳහා භාවිතා කරන බවද එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙක,අට ප්‍රමාණයේ තබා ගැනීමට කටයුතු කරන බවද එම උෂ්ණත්වය මැන බැලීම සඳහා උෂ්ණත්වමානයක් එහි ඇති බවද සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය. 
 
"ඔබගේ සේවා වාරය අවසන් වීමෙන් පසු ඊළඟට ඔබගේ වාරය එන තෙක් අත ඇති තොගය ශීතකරණයේ තබා ගැනීම කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න  කළ අවස්ථාවේදී සාක්‍ෂිකරු සඳහන් කළේ බොහෝ අවස්ථාවලදී අත ඇති තොගය ඊළඟට සේවයේ යෙදෙන ඖෂධ වේදියාට ලබා දීමක් සිදු කරන බවය. අවශ්‍ය නම් තමන්ගේ ශීතකරණයේ තමන්ගේ ඊළඟ වාරය එනතෙක් එම ඖෂධ ගබඩා කර ගැනීමේ හැකියාව ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. එසේ තබා ගැනීම කලාතුරකින් සිදුවන බවද ඔහු  සඳහන් කළේය. 
 
"ඔබට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ ශීත දාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවාද ?" ප්‍රශ්නය නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඖෂධවේදීන් ලෙස ශීතදාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවබෝධයක් ඇති බවය .ඖෂධ වේදය හැදෑරීමේදී ඒ සම්බන්ධව හදාරා ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඇඳ ඉහපත් අංශයේ ඇති  හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගබඩා කර තිබෙන ශීතකරණයට පිවිසීමට වෙනත් පුද්ගලයන්ට හැකියාව තිබෙනවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ වෙනත් කිසිදු පුද්ගලයෙකුට එම ශීතකරන ඇති ස්ථානයට පිවිසීමට හැකියාවක් නැති බවය .ඖෂධ වේදීන් හත්දෙනාම වගකීමෙන් කටයුතු කරන අතර සෑම අවස්ථාවකදීම අදාළ ශීතකරණ සම්බන්ධයෙන් අධීක්ෂණයක් ඇති බව ද විදුලිය විසන්ධි වීමකදී විනාඩි කිහිපයක් ඇතුළත එය යථාවත් කරන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
 
"ඔබ ඔබලාගේ රාජකාරී පළමු දිනය ලෙස සලකන්නේ කවදාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ සෙනසුරාදා දිනය රාජකාරි සතියේ ආරම්භක දිනය ලෙස සලකන බවය. 
 
ඖෂධ ඇනවුම් කිරීමේදී ගබඩා බාල නිලධාරියා සෞඛ්‍ය 37 පොත සමග ඇඳ ඉහපත් අංශයට අදාළ තොගය cool box හෝ  ඍජු ෆෝම් box වල අසුරා සීල් කර ගෙන විත් දෙන අතර එහි  ලේබලයේ සඳහන් ඖෂධ ප්‍රමාණය, කල් ඉකුත් වීමේ දිනය යනාදිය පිළිබඳව අවධානය යොමු කර ඇඳ ඉහපත් පත් අංශයේ ඇති ශීතකරණ වලට එම ඖෂධ මාරු කිරීමක් කරන බවද, එම අවස්ථාවේදී issue note එක ලැබෙන බවද සාක්ෂිකරු කියා සිටියේය.  
එහිදී හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කාණ්ඩය පිළිබඳව දැනුවත් වන අතර එම කාණ්ඩය ඇසුරෙන් අදාළ නිෂ්පාදකයා කවුරුන්ද යන්න පිළිබඳව දැනගත හැකි බවද සාක්ෂිකරු එහිදී කියා සිටියේය. 
 
වාට්ටුවට ඖෂධ නිකුත් කිරීමේදී  සෞඛ්‍ය 37 පොත සමග ඇඳ ඉහපත් රැගෙන එන අතර වාට්ටු වලින් cool box රැගෙන පැමිණෙන බවද, එම cool box ශීතකරණය අසලටම ගෙන ගොස්  අදාළ නිලධාරියා ඉදිරියේම ඖෂධ ඊට බහා සීල් තබා ලබාදීමක් සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
ගබඩාවෙන් ඖෂධ ලබා ගැනීමේදී ඒවා විවෘත කර තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරන බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ජාතික රෝහලේ දුරින්ම ඇති වාට්ටුවට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය නිකුත් කිරීමේදී එය එම ස්ථානයට රැගෙන යාමට කොපමණ වේලාවක් ගත වෙනවාද?
 
සාක්ෂිකරු: විනාඩි දහයක් ඇතුළත එම වාට්ටුවට ළඟාවිය හැකියි. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: තමන් ඇනවුම් නොකළ ඖෂධ නිකුත් කිරීමේ අවස්ථාවන් තිබෙනවාද? 
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එහිදී ශීත දාමය පිළිබඳව සැලකිලිමත් වන්නේ කොහොමද?
 
සාක්ෂිකරු: අදාළ ඖෂධ නියමිත උෂ්ණත්වයේ තබා ගැනීම සෑම ඖෂධ වේදියෙක් සතුව ඇති වගකීමක්. තොගයක් පිළිබඳ වගකීම ඇනවුම් කරන ඖෂධවේදියා සතු වෙනවා.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: වාට්ටු වලින් ඔබේ ඇඳ ඉහපත් අංශයට නැවත ඖෂධ භාර දීමක් සිදු කරනවාද?
 
 සාක්ෂිකරු: ඔව්.රෝගීන්ට අදාළ එන්නත ලබාදීම නතර කිරීමට වෛද්‍යවරුන් තීරණය කරන අවස්ථාවකදී හෝ අදාළ රෝගියා මිය ගිය අවස්ථාවකදී එවැනි එලෙස ඖෂධ නැවත ලැබෙනවා.
 
 එම අවස්ථාවේදී නියමිත පරිදි cool box වල ice packets අතුරා ඒ මැද ඖෂධ තබා ගෙනවිත් භාර  දෙනවා.
 
මෙම පිළිතුර ලබාදීමෙන් අනතුරුව සාක්ෂිකරු 2023 වසරේ අගෝස්තු මස සේවය කළ දින සම්බන්ධයෙන් අදාළ පොතේ ඇතුළත් සටහන් පිළිබඳව සාක්ෂි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සිදු කළාය. ඒ අනුව අගෝස්තු 06 වැනිදා කවුළු අංක හතරේ තිබූ ඖෂධ වයල් එකසිය අසූවක් ලබා ගෙන ඇති බවද, එදින ම  47-B වාට්ටුවට වයල් තුනක් නිකුත් කළ ඇති බවද,අගෝස්තු මස 07 වැනිදා 47-B වාට්ටුවට තව වයල් පහක් නිකුත් කර ඇති බවද, අගෝස්තු 08 වැනිදා අසූ තුන වාට්ටුවට වයල් නවයක් සහ අසූ නමය වාට්ටුවට වයල්  හතරක් නිකුත් කර ඇති අතර වාට්ටුවකින් වයල් පහළොවක් ආපසු ලැබී ඇති බවද සාක්ෂිකරු සඳහන් කළේය. අගෝස්තු 9 වනිදා 84 වාට්ටුවට වයල් හතරක් ,48 B වාට්ටුවට වයල් විසි දෙකක් නිකුත් කර ඇති අතර දහතුන වාට්ටුවෙන් වයල් දහ අටක් ලැබී ඇති බව සාක්ෂිකරු එහිදී කියා සිටියේය.
 
"අගෝස්තු නම වැනිදා ඔබ මොකද්ද තිබෙන රාජකාරිය ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දීම ලේඛන පරීක්ෂා කර බලමින් සිදු කළේය.
 
අගෝස්තු 9 වැනිදා 84 වෙන වාට්ටුවට වයල් හතරක්, 48 B වාට්ටුවට වයල් විසි දෙකක්, නිකුත් කර ඇති අතර දහතුන වාට්ටුවෙන් වයල් 18 ක් ලැබී ඇති බව සාක්ෂිකරු කියා සිටියේය.
 
අගෝස්තු 10 වැනිදා අසූ හතර වාට්ටුවට වයල් හතරක් ,පනහ වාට්ටුවට වයල් පහක්, අගෝස්තු 11 වැනිදා පනහ වාට්ටුවට වයල් විසි එකක්, 84 වාට්ටුවට වයල් පනහක් ,12 වැනිදා හතළිස් නමය වාට්ටුවට වයල් 11 ක් නිකුත් කර ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. තමන් ළඟ තිබූ ඖෂධ තුලනය කර බැලීම 13 වැනිදා සිදුකළ අතර 08/06 වැනිදා වයල් එකසිය අසූවක ප්‍රමාණයක් බාරගෙන 13 වැනිදා වන විට වයල් 149 ක් බාර දීමට හැකි වූ බවද එම සියලු ඖෂධ කවුළු අංක 07 වෙත ලබාදුන් බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
අංක 07 දරන කවුළුවේ සුරංගනී නමැති ඖෂධ වේදිනිය සේවය කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය 
 
"ඖෂධ වේදනී සුරංගනී මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරනවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ ඇය මේ වන විට එහි සේවය නොමැති බවත් විදේශගත වී සිටින බවත්ය. 
 
 
ඇයගේ අත් අකුරු සහ අත්සන තමන්ට හඳුනාගත හැකි බව සඳහන් කළ සාක්ෂිකරු  ඖෂධ ලබා ගැනීමට අදාළව  සුරංගනී විසින් සටහන් කර තිබූ සටහනක් අධිකරණය හමුවේ හඳුනා ගැනීමක් කළේය.
 
එහිදී ඖෂධ වේදිනී සුරංගනී විසින් පවත්වාගෙන ගිය 178/19 දරන පොත ආශ්‍රිතව  සාක්ෂි ලබා දුන් සාක්ෂිකරු ඇය විසින් අගෝස්තු මස 13 වැනිදා අසූ හතර වාට්ටුවට වයල් දාසයක්, අගෝස්තු 14 වෙනිදා 16 වට්ටුවට වයල් විසිපහක්, හතර වාට්ටුවට වයල් අටක්, අසූ තුන වාට්ටුවට වයල් පහක්, ලබාදී ඇති අතර පනහ වාට්ටුවෙන් වයල් අට අටක් ලැබී ඇති බව එහි සඳහන් වී තිබෙන බව කියා සිටියේය . අගෝස්තු 15 වෙනිදා හය වාට්ටුවෙන් වයල් 40ක් 49 වාට්ටුවෙන් වයල් හත් හයක් ද 16 වැනිදා 18 වාට්ටුවෙන් වයල් හතරක් ද ලැබී ඇති බව  සඳහන් කළ සාක්ෂිකරු අගෝස්තු 15 වැනිදා ඇය වයල් 202 ක් ඇනවුම් කර  ඇති බව සඳහන් කළේය.
 
එහිදී  A732230401 කාණ්ඩයෙන් ඇයට ඖෂධ ලබාදී ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය. 2023 අගෝස්තු 20 වැනිදා සුරංගනී විසින් කවුළු අංක 08 හි සිටින සප්නා නමැති ඖෂධවේදනියට වයල් 261 ක් භාරදී ඇති බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
තමන් නැවත රාජකාරී ආරම්භ කිරීම සැප්තැම්බර් මස 10 වෙනිදා සිදුකළ අතර සුරංගනී නැමැති ඖෂධවේදිනිය තරංග නැමැති ඖෂධවේදියාගෙන් වයල් 160ක් ලබාගෙන ඇති බව එහි සඳහන් වන බවද සාක්‍ෂිකරු සඳහන් කළේය. සැප්තැම්බර් මස 3 වෙනිදා කවුළු අංක හතරට හතරෙන් ලැබුණු වයල් එකසිය හැටක් සමග සම්පූර්ණ වයල් 260න් රාජකාරිය ආරම්භ කළ අතර 73 කාණ්ඩයෙන් වයල් සීයක් ලැබී ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
  
ඖෂධ ලබාගැනීම සහ නිකුත් කිරීම සම්බන්ධ සෑම රාජකාරියක් ම ඇඳ ඉහපත් අංශයේ ඖෂධවේදීන් හත් දෙනාම සාමූහික වගකීමක් ලෙස සිදුකරන බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
සාක්ෂිකරුගේ මූලික සාක්ෂි විමසීමෙන් අනතුරුව පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ය විමසීම සිදු කළේය. 
 
"ඇඳ ඉහපත් අංශයේ පවතින ශීතකරණ රසායනාගාර ශීතකරණ ද?සාමාන්‍ය ගෘහස්ථ ශීතකරණ ද යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන්ට ඒ පිළිබඳව දැනීමක් නොමැති බවය. 
 
කෙසේ වුවද තමන් රසායනාගාර ශීතකරන දැක තිබෙන බවද සාක්ෂිකරු කියා සිටියේය. එම රසායනාගාර ශීතකරණ හා සමාන ශීතකරණ තම අංශය නොමැති අතර ගෘහස්ථ ශීතකරණ හා සමාන ශීතකරණ ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 
 
"එම ශීතකරණ වල උෂ්ණත්වය රැක ගන්නේ කෙසේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ සඳහා ශීතකරණය තුළ උෂ්ණත්වමානයක් ලබා ඇති බවය. එය දිනකට දෙවරක් නිරීක්ෂණය කරන බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"උෂ්ණත්ව තත්ත්වයන් පිළිබඳව සටහන් තැබීම සිදු කරනවාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එවැනි සටහන් තබා ගැනීමක් සිදු නොකරන බවය. 
 
නීතිඥවරයා: ඔබ කිව්වා ඖෂධාගාරයෙන් වාට්ටු වලට ඖෂධ රැගෙන යන බව එය සිදු කරන්නේ කෙසේද?
 
සාක්ෂිකරු: Cool box වල Cool packets දාලා ලබා දෙනවා. 
 
නීතිඥවරයා: ඒ සඳහා කොපමණ වෙලා යනවාද?
 
සාක්ෂිකරු: විනාඩි දෙකක් හෝ තුනක් පමණ යනවා.
 
නීතිඥවරයා: ඖෂධ ශීත පෙට්ටි වාට්ටුවට ලබාදීමට කොපමණ වෙලාවක් යනවාද? 
 
සාක්ෂිකරු: විනාඩි දහයක් පමණ යනවා. 
 
නීතිඥවරයා: ඔබ දන්නවද ජාතික රෝහල අක්කර 400කින් යුතු බව?.
 
සාක්ෂිකරු: නැහැ, ස්වාමීනි ඔබ දන්නවාද දකුණු ආසියාවේ විශාලතම රෝහල කොළඹ ජාතික රෝහල බව?
 
නීතිඥවරයා: වාට්ටු වල තියෙන ශීතකරණ මොන වගේද?
 
සාක්ෂිකරු: ඒ පිළිබඳව දැනීමක් නෑ.
 
නීතිඥවරයා: ඖෂධ ගෙන යාමේදී ඩේටාලොගර් පාවිච්චි කරනවද?
 
සාක්ෂිකරු: නෑ ස්වාමීනී.
 
නීතිඥවරයා: වාට්ටු වලින් ඖෂධ රැගෙන යාමට එන අයට ඖෂධ ලබා දෙන්නේ කවුද?
 
සාක්ෂිකරු: ඖෂධවේදීන් විසින්ම ඖෂධ ලබා දී මුද්‍රා තබනවා. ඒවා ඔවුන් රැගෙන එන cool box ශීත කරණ අසලටම රැගෙන ගොස් තමයි ඇසිරීම කරන්නේ. ඔවුන් ඉදිරිපිටම සිදු කෙරෙනවා 
 
නීතිඥවරයා: ඒ කියන්නේ ඔවුන්ට ශීතකරන ඇති පරිශ්‍රයට යන්න පුළුවන්ද?
 
සාක්ෂිකරු: අවස්ථාවට අනුකූලව ඔවුන්ට එම ස්ථානවලට පුළුවන්. 
 
මෙහිදී නීතිඥවරයා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ වාට්ටු වලින් නැවත  ලබා දෙන ඖෂධ ලබා ගැනීමේදී එය වාට්ටුවට නිකුත් කළ සහ ලබාදීම අතර වන කාල පරාසය පිළිබඳව සැලකිලිමත් වනවාද යන්න පිළිබඳව විමසීමක් කළේ ය.
 
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ පිළිබඳව සැලකීමක් නොදක්වන බවය. 
 
 
"බාරගත් ඖෂධ මධ්‍යම ඖෂධ ගබඩාවට ලබා දුන් අවස්ථාවක් මතකද ?යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එවැනි අවස්ථාවක් පිළිබඳව මතකයක් නොමැති බවය. ඖෂධ භාරගන්නා අවස්ථාවේදී එම ඖෂධයේ නිෂ්පාදකයා කවුරුන්ද යන්න පිළිබඳව සැලකීමක් නොදක්වන බවද සාක්ෂිකරු කියා සිටියේය. එහිදී ඖෂධයේ නම, කාණ්ඩ අංකය සහ කල් ඉකුත් වීමේ දිනය පිළිබඳව පමණක් අවධානය යොමු කරන බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේය. 
  
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුට හරස් ප්‍රශ්න යොමු කරමින් "හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්  ඖෂධය නතර කිරීමට අදාළ ලේඛණය ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී හඳුනාගත්තා නේද ?" යනුවෙන් විමසීමක් කළේය. තමන් එය එහිදී හඳුනා ගත් බව ප්‍රකාශ කළ සාක්ෂිකරු එම ලේඛනය සම්බන්ධයෙන් ප්‍රධාන ගබඩා භාරකරු විසින් ඖෂධ වේදීන් දැනුවත් කළ බවද කවුළු වල සිටින ඖෂධ වේදීන්ට ස්වස්ථා පද්ධතියට පිවිසීමේ හැකියාවක් නොමැති බවද කියා සිටියේය.  
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් මෙම සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව නීතිඥවරුන් විසින් දැනුම් දෙන ලදී. 
 
අනතුරුව සාක්ෂිකරු වෙත අධිකරණයේ ප්‍රශ්න යොමු කිරීම සිදුකරන ලදී.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: මෙම ඖෂධ ලබාදුන් නිෂ්පාදකයා කවුද කියලා දන්නවද?
 
සාක්ෂිකරු: ස්වාමීනි අපිට වැඩිපුරම ලැබුණේ රිලයින්ස්  ඖෂධ. තවත් නිෂ්පාදනයක් ආවා. ඒකේ නම හරියටම මතක නෑ.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: නිෂ්පාදකයා පිළිබඳව පසුව දැනගන්න ලැබුණද? 
 
සාක්ෂිකරු:ඔව් ස්වාමීනී අයිසොලෙස් වගේ නමක් තමයි තිබුණේ.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා:ඔබ නිකුත් කළේ කුමන සමාගමේ ඖෂධ ද? 
 
සාක්ෂිකරු: සමාගම් දෙකේම ඖෂධ නිකුත් කර තිබෙනවා
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා:වාට්ටු වලින් නැවත ඖෂධ ලැබෙන්නේ කුමන තත්ත්වයක් යටතේද?
 
සාක්ෂිකරු:රෝගියා මියගිය හොත් එලෙස ඖෂධ return කරනවා.රෝගියාට ඖෂධය ලබාදීම නතර කළ විටත් ඖෂධ ලබාදීම සිදුකරනවා.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා:අසාත්මිකතා ඇතිවූ අවස්ථාවලදී එසේ කරනවා ද?
 
සාක්ෂිකරු:ස්වාමීනි මෙම ඖෂධය අමාරු රෝගීන්ට තමයි දෙන්නේ. ආසාත්මිකතා හෝ වෙනත් හේතු මත මිය යන්න පුළුවන්.එසේම වෛද්‍ය නිර්දේශය මත නතර කරන්නත් පුළුවන්. Quality fail එකක් උනත් ඒවා නැවත ලබාදීම සිදුකරනවා.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා:වෙනත් රෝහල්වල ආසාත්මිකතා ඇති වුනොත් ඔබේ රෝහලේ එය නතර කරනවාද?
 
සාක්ෂිකරු: එවැනි අවස්ථාවක් පිළිබඳව මට දැනීමක් නෑ 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: live ealth සමාගමේ ඖෂධ නිසා ආසාත්මිකතා වාර්තා වූ බවට දැනීමක් තියෙනවද?
 
සාක්ෂිකරු:මගේ කාලය තුළ එසේ වුණේ නෑ ස්වාමීනි.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා:quality log එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවද?
 
සාක්ෂිකරු:දන්නවා ස්වාමීනී මා දන්නා තරමින් ගබඩාවේ ඖෂධවේදියා ලැබ් එකට යැවීමේදී quality log භාවිතා කර තිබෙනවා. කවුළුව භාර ඖෂධවේදියාට quality log භාවිතා කිරීමට ලැබෙන්නේ නෑ.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා:කොළඹ ජාතික රෝහලේ මේ ඖෂධය නිසා සංකූලතා වාර්තා වූයේ මොන දිනවලදී ද? 
 
සාක්ෂිකරු: ස්වාමීනි 2023 අගෝස්තු 19 සහ ඊට පසුව. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා:එසේ සංකූලතා වාර්තා වී තිබියදීත් ඔබ මෙම ඖෂධය වාට්ටු වලට නිකුත් කර තිබෙනවා නේද? 
 
සාක්ෂිකරු: මා නිකුත් කර නෑ ස්වාමීනී, ඖෂධවේදී සුරංගනී විසින් නිකුත් කර තිබෙනවා.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ඔබ දැන සිටියාද මෙම ඖෂධය සම්බන්ධයෙන් ඒ.ටී.ආර් තුනක් වාර්තා වී ඇති බව. 
 
සාක්ෂිකරු: දැනගෙන හිටියේ නෑ ස්වාමීනී.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: මෙම ඖෂධය නතර කර තිබියදීත් ඖෂධ නිකුත් කිරීම සිදු කළාද?
 
සාක්ෂිකරු: නිශ්චිත දැනුම් දීමක් එන තෙක් එය නැවැත්වීමේ හැකියාවක් අපට නෑ ස්වාමීනී, ඉහළ නිලධාරීන් විසින් එය දැනුම් දිය යුතුයි.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ආසාත්මිකතාව වාර්තා වී තිබුණේ 16 වාට්ටුවෙන්. එකම රෝහලේ වාට්ටුවක වෙන දේ ඔබ දන්නේ නැද්ද?
 
සාක්ෂිකරු: ඖෂධය නවත්වන්න කියා නියෝගයක් එන්න ඕන .එතකන් ඒක නවත්වන්න බැහැ. ඒ සඳහා බලයක් අපට නෑ .
 
එම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හත් වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්දු මනතුංගආරච්චි මෙනෙවිය විසින් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න කිහිපයක් විමසීම සිදු කළාය.
 
එහිදී සාක්ෂිකරු කියා සිටියේ live health bio pharma ආයතනයේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලිපියක් මගින් වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දීමක් කර ඇති බවය.
 
එම ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සාක්ෂිකරුට නැවත ප්‍රශ්න කිහිපයක් යොමු කළාය කරන ලදී. 
 
ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි අංක 70 ලෙස නම්කර සිටින ජාතික රෝහලේ ඖෂධ වේදි සප්නා බණ්ඩාර විසින් සාක්ෂි ලබාදුන් අතර ඇය ඖෂධ නිකුත් කිරීම සහ ලබා ගැනීමට අදාළ පොත් පරිහරණය කරමින් සාක්ෂි ලබාදීම සිදු කළාය. 
 
lowyer woman
 
ඇඳ ඉහපත් අංශයේ ශීතකරණ වල උෂ්ණත්වය පරීක්ෂා කිරීම දිනකට දෙවරක් සිදු කරන අතර ඒ පිළිබඳව සටහන් තබා ගැනීමක් සිදු නොකරන බව සාක්ෂිකාරිය එහිදී සඳහන් කර සිටියාය. 
 
පළමු වන විත්තිකරු වෙනුවෙන් ඇයට හරස් ප්‍රශ්න යොමු කරමින් නීතිඥ හරෙන්ද්‍ර බානගල මහතා "වාට්ටුවකින් ඖෂධ නිකුත් කර නැවත ලැබීම අතර කාලය එම ඖෂධ භාර ගැනීමේදී සලකා බලනවාද?" යනුවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් සාක්ෂිකාරිය ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවත් ඖෂධයේ කාලය ඉකුත් වීම තෙක් අදාළ ඖෂධ භාරගන්නා බවත් සඳහන් කළාය. 
 
සෙසු විත්තිකරුවන් වෙනුවෙන් එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකළ අතර ඇයගේ සාක්ෂි විමසීම අවසන් කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ ,69 වන සාක්ෂිකරු වන ජාතික රෝහලේ ඖෂධවේදී රොෂාන් තරංග විසින් සාක්ෂි ලබාදීම සිදුකරන ලදී. 
 
තමන් ඇඳ ඉහපත් අංශය හතරවෙනි කවුළුව භාරව කටයුතු කරන අතර ඉරිදා දිනය සතියේ ආරම්භක දිනය ලෙස සලකමින් කටයුතු කරන බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය. 
 
වාට්ටු වලට නිකුත් කළ ඖෂධ නැවත ලැබීම් සිදුවන බව එහිදී කියා සිටි සාක්ෂිකරු quality fail, with hold වැනි හේතූන් මත ඖෂධ එලෙස ලැබී ඇති බවත් ඒවා අනෙකුත් ඖෂධ භාරගත් ආකාරයටම භාර ගැනීම සිදුකළ බවත් සඳහන් කළේය. 
 
ඒ සමගම එදිනට නියමිත සාක්ෂි විභාගය අවසන් කරන ලදී.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
  
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය එඅධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන. නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න    

 

නවතම පුවත්