leader s

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ඇනවුම් කිරීමේදී සහ නැවත භාර ගැනීමේදී සෙල්සියස් අංශක 2-8 ශීත දාමය ආරක්ෂා කර ගැනීමට සෑම විටම කටයුතු කළ බව ජාතික රෝහලේ  වාට්ටු භාර හෙද සොයුරියන්, හෙද නිලධාරීන් පිරිසක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. 

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබා දෙමින් සාක්ෂිකරුවන් 15 දෙනෙකු විසින් මේ බව ප්‍රකාශ කරන ලදී.

   
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
 
එහිදී පෙර නඩු දිනයේ දී නිකුත් කරන ලද සිතාසි මත මෙම නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසි හතර දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර ජාතික රෝහලේ  හෙද සොයුරියන්, හෙද නිලධාරීන් ඖෂධවේදීන් ඇතුළු පිරිසකගෙන් ඔවුන් සමන්විත විය. 
 
එහිදී සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු සාක්ෂි ලබා ගැනීමකින් තොරව මුදා හැරීමට අධිකරණය තීරණය කළ අතර සාක්ෂිකරුවන් 15 දෙනකුගෙන් සාක්ෂි ලබා ගැනීම සිදුකෙරිණ.
 
අනතුරුව සාක්ෂි මෙහෙයවීම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් සිදු කරන ලදී. 
 
එහිදී පැමිණිල්ලේ 59 වන සාක්ෂිකරු වන ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධ ගබඩාවේ ඇඳ ඉහපත් අංශයේ ඖෂධ වේදියෙකු වන රොෂාන් තරංග විසින් සාක්ෂි ලබාදීම සිදු කළේය. 
 
කවුළුවෙන් ඖෂධ වාට්ටුවට ඖෂධ නිකුත් කිරීමෙන් අනතුරුව නැවත වාට්ටුවෙන් කවුළුවට එම ඖෂධ ලැබීම සම්බන්ධයෙන් පෙර දින ලබාදුන් සාක්ෂියට අදාළව ප්‍රශ්නයක් සාක්ෂිකරු වෙත යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ඖෂධ ගබඩා කිරීම සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියාය.
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ වාට්ටුවෙන් ගෙන එන ඖෂධ නිසි පරිදි සීල් කර ඇති දැයි පරීක්ෂා කර බලන අතර නිසි පරිදි ශීත දාමය ආරක්‍ෂා වන පරිදි ශීතකරණයක තැන්පත් කරන බවය. වාට්ටුවට ලබා දෙන සහ වාට්ටුවෙන් ලැබෙන ඖෂධ පිළිබඳව සටහන් කිරීම සෞඛ්‍ය 37 ක් පොත ඔස්සේ සිදුකරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
  
"2023/07/29 දින ඔබ මොකක්ද කර තිබෙන රාජකාරීය?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එදින තමන් මධ්‍යම ගබඩාවෙන් ඖෂධ ඇනවුම් කර තිබෙන බවය.වයල් 160ක් එහිදී ඉල්ලා ඇති අතර වයල් 146ක් ලැබී ඇති බව ලේඛන පරීක්ෂා කර බලමින් සඳහන් කළ සාක්ෂිකරු ඒ එම වයල් ප්‍රමාණය ලබාගත් බවට අත්සන් තබා ඇති බව කියා සිටියේය. 
 
එම වයල් 146න් 106ක්ම live ealth bio pharma ආයතනයේ නිෂ්පාදිත ඖෂධය වූ අතර එහි කාණ්ඩ අංකය ලෙස A732230401 ලෙස ලේඛන වල සඳහන්ව ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
අනික් ඖෂධ ප්‍රමාණය Reliance සමාගම විසින් නිෂ්පාදිතය ඖෂධ වන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: මීට පෙර මෙම live ealth bio pharma සමාගමේ ඖෂධ ලැබී තිබෙනවාද 
 
සාක්‍ෂිකරු :නෑ ස්වාමීනි දිගටම ලැබී තිබුණේ Reliance සමාගමේ 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : ඔබද මුලින්ම මේ ඖෂධ ගබඩාවෙන් ලබා ගැනීම සිදුකළේ?
 
සාක්ෂිකරු :එහෙමයි ස්වාමීනී 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඇඳ ඉහපත් අංශයට මෙම ඖෂධ පළමුවරට ආවේ ඔබේ ඇනවුමක් අනුවද?
 
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඇඳ ඉහපත් අංශයේ ශීතකරණයක ඒවා තැන්පත් කළාද?
 
සාක්ෂිකරු: එහි ඇති විශේෂ ශීතකරණයේ ඒවා තැන්පත් කළා .2023.07.29 වැනිදා කවුළුව බාර ගැනීමේ සිදුකළේ කවුළු අංක අටෙන් ඒ වන විට වයල් එකසිය තිස් හයක් ලැබුණා. තවත් 186 ක් ඇනවුම් කර තිබුණා 
 
අනතුරුව අදාළ ලේඛනය පරීක්ෂා කර බැලූ සාක්‍ෂිකරු 2023/07/ 30 දින සිට 2023/08/06 දින තෙක්  ඖෂධ ඇනවුම් කිරීම සහ තම කවුළුවට ඖෂධ ලැබීම සම්බන්ධයෙන් ඇති සටහන් පිළිබඳව සාක්ෂි ලබා දීම සිදු කළේය. 
 
එම රාජකාරිය සතියෙන්නැවත රාජකාරී ආරම්භ කිරීම අගෝස්තු මස 27 වැනිදා කවුළු අංක 08න් බාරගත් අතර එහිදී වයල් 08ක් ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
අනතුරුව එම සතිය තුළදී ඇනවුම් කළ සහ ලැබුණු ඖෂධ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් සාක්ෂිකරු 09/01දින වයල් එකසිය හැටක් ඇනවුම් කළ අතර එම වයල් 160ම ලැබුණු බවද එම ඖෂධ සියල්ල live ealth bio pharma ආයතනයේ නිෂ්පාදන වන අතර එහි කාණ්ඩ අංකය ලෙස A732230402 සඳහන්ව තිබූ බව ප්‍රකාශ කළේය. 
 
ඒ සමඟම එම සාක්ෂිකරුගේ මූලික සාක්ෂි විමසීම අවසන් කළ අතර ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ. ඒ අනුව ඔහුගෙන් නැවත ප්‍රශ්න විමසීමක් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින් සිදු නොකරන ලදී. 
 
ඉන් අනතුරුව පැමිණිල්ලේ 93 සාක්ෂි වන සාක්ෂිකාරිය වන ජාතික රෝහලේ 83 වාට්ටුව භාර හෙද සොයුරිය වන චමරි උදයංගනී විසින් සාක්ෂි ලබාදීම සිදුකරන ලදී.
 
තමන් 2014 වසරේ දී මෙම වාට්ටුවේ ප්‍රධාන හෙදි සොයුරිය ලෙස පත් වූ අතර සිය සේවා කාලයේ තුළ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කර ඇති බව සඳහන් කළ සාක්ෂිකාරිය ඒ සම්බන්ධව හෙද පුහුණු පාඨමාලාවේ දී අධ්‍යාපනය ලබා ඇති බවද සඳහන් කළාය. 
 
කොළඹ ජාතික රෝහලේ 83 වාට්ටුව අධීක්ෂණය කිරීම තමන් විසින් සිදුකරන අතර විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය සහ රෝහල් අධ්‍යක්ෂකගේ අනුමැතිය සහිතව වාට්ටුවට අවශ්‍ය  හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ලබා ගැනීම සිදුකරන බව ඇය සඳහන් කළාය. 
 
ඖෂධ ලබා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහායකයකුට අවශ්‍ය cool box ලබාදී මධ්‍යම ඖෂධ ගබඩාවට යවන බවද ඊට පෙර එම ගබඩා භාරකරුට දුරකථනයෙන් අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් සහ එය රැගෙන යාමට පැමිණෙන බව දන්වමින් ඇමතුමක් ලබාදෙන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය 
 
අදාළ ඖෂධ ගබඩාවේ ඇති ශීත කාමරය තුළදීම එම ඖෂධ cool box තුළ ට ගබඩා කිරීම සිදු කරන අතර ඒවා සීල් කර රැගෙන එන බවද ඇය කියා සිටියාය .අනතුරුව එම ඖෂධ වල කාණ්ඩ අංකය ඖෂධය සහ කල් ඉකුත් වීමේ දිනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර වාට්ටුවේ ඇති විශේෂ ඖෂධ ගබඩා කරන ශීතකරණයේ එම ඖෂධ ගබඩා කිරීම සිදුකරන බවද එම කටයුතු සඳහා විනාඩි දෙක තුනක් පමණක් වැය වන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
තමන් සේවයේ නොමැති  අවස්ථාවලදී හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ඇනවුම් කරනවාද යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එවැනි ඇනවුම් කිරීම් සිදුවන බවය. 
 
තමන් සේවයේ නොමැති අවස්ථාවක වලදී තමන් ළඟට සිටින ජ්‍යෙෂ්ඨතම හෙද නිලධාරිනිය ට එම වගකීම පැවරෙන අතර ඇය විසින් එය සිදුකරන බවද එකී ඖෂධ ගෙනවිත් ගබඩා කරන ආකාරය , එම වාට්ටුවේ සිටින හෙදියන් සියලු දෙනාටම නිරීක්ෂණය වන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
එහිදී අදාළ ඖෂධය ඇතුළත් කාඩ්බෝඩ් පෙට්ටිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව සඳහන් කළ සාක්ෂිකාරිය එම ඖෂධ විශේෂ ශීතකරණයේ තැන්පත් කරන අතර එම ශීතකරණයේ උෂ්ණත්වය 2-8 අතර  පවතින බව නිරීක්ෂණය කිරීම උෂ්ණත්ව මානයක් මගින් සිදු කරන බවද කියා සිටියේය. 
 
"විදුලිය විසන්ධි වන අවස්ථාවකදී ශීතදාමය ආරක්ෂා කර ගන්නේ කෙසේද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ ජාතික රෝහලේ කිසිදු අවස්ථාවක විදුලි විසන්ධි වීමක් සිදු නොවන බවය. එසේ සිදු  වුවහොත් ක්ෂණික ක්‍රියාත්මක වීම සඳහා ජෙනරේටර් පද්ධතියක් ජාතික රෝහල සතුව තිබෙන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"රෝගීන්ට දීම සඳහා මෙම ඖෂධ සියල්ල එකවර එළියට ගන්නවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ මෙම ඖෂධ ශීත දාමය පවතින බැවින් රෝගියෙකුට ලබා දීමට පෙර කාමර උෂ්ණත්වයට පත්වන තෙක් එළියේ තබන බවය.
 
 එම ඖෂධය හතරෙන් තුනක් පමණ රෝගියාට ලබා දී අවසන් වන විට අනෙක් ඖෂධ වයලය ලබාගන්නා අතර ඖෂධ තොගය ම කිසිදු අවස්ථාවක ශීතකරණයෙන් බැහැරව එළියේ තබා ගැනීමක් සිදු නොකරන බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"වාට්ටුවට ලබාදෙන ඖෂධ නැවත ලබාගැනීම සිදුවන අවස්ථා තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ එලෙස ඖෂධ ලැබීම් නිරන්තරයෙන් සිදුවන බවය. 
 
අදාළ ඖෂධය ලබා දීම රෝගියාට ලබා දීම අනවශ්‍ය බවට වෛද්‍යවරයා විසින් තීරණය කළ අවස්ථාවක, සහ ආසාත්මිකතා ඇති වූ අවස්ථාවලදී, හෝ ඖෂධය අත්හිට වූ අවස්ථාවකදී එලෙස නැවත මධ්‍යම ඖෂධ ගබඩාවට ලබාදීම සිදු කරන බව සාක්ෂිකාරිය කියා සිටියාය.  
"එම ඖෂධය ගබඩා කර තබන ශීතකරණය ඇත්තේ වාට්ටුවේ කොහෙද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය වාට්ටුවේ nursing station ලෙස හඳුන්වන ස්ථානයේ ඇති බවය. අදාළ ශීතකරණය විවෘත කිරීම හෙද නිලධාරීන්ට පමණක් සිදු කළ හැකි බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"2023/09/15  දින වයල් දහනමයක් ඔබ මධ්‍යම ඖෂධ ගබඩාවට භාරදී තිබෙනවාද ?"යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එලෙස ඖෂධ ලබාදීමක් කළ බවත්, තමන්ට අදාළ ලේඛන හඳුනාගත හැකි බවත්ය.
 
අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ලේඛනය සාක්ෂිකාරියගේ අවධානයට යොමු කිරීමෙන් අනතුරුව ඇය ඒවා හඳුනා ගැනීම සිදු කළාය. 
 
එම සාක්ෂිකාරියගේ මූලික ප්‍රශ්න කිරීම් අවසන් කිරීමෙන් අනතුරුව ඇයගෙන් හරස් ප්‍රශ්න විමසීම් සිදුව නොකරන බව විත්තියේ නීතිඥවරුන් විසින් දැනුම් දුන් අතර  නැවත ප්‍රශ්න කිරීමක්ද සිදු නොකරන ලදී. 
 
අනතුරුව ජාතික රෝහලේ වාට්ටු අංක 49 භාර හෙද නිලධාරිනිය වන සුජීකා ප්‍රියන්ති ද සිල්වා සාක්ෂි ලබාදුන් අතර තමන් 49 වාට්ටුවේ අධීක්ෂණ නිලධාරිනිය ලෙස කටයුතු කරන බව කියා සිටියාය. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ලබා ගැනීම විශේෂඥ වෛද්‍යවරියගේ නිර්දේශය සහ රෝහල් අධ්‍යක්ෂකගේ අනුමැතිය යටතේ සිදුකරන බව සඳහන් කළ සාක්ෂිකාරිය සිය වාට්ටුවේ ශීතකරණ තුනක් ඇති අතර අදාළ ඖෂධය 2-8 උෂ්ණත්වයේ ඖෂධ ගබඩා කර තබන්නා සුවිශේෂී ශීතකරණයේ ගබඩා කර තබන බවද සඳහන් කළාය. 
 
ඖෂධ ලබා ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨතම කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයකුට යොමු කරන අතර එම ඖෂධ cool packets ඇතුළත් cool box වල බහා නිසි උෂ්ණත්වයේ රැගෙන එන බවද ඒවා තුලදී ශීතකරණයට ඇතුළත් කිරීම කඩිනමින් සිදු කරන බවද කියා සිටියාය. 
 
අදාළ ඖෂධය ලබා ගැනීමේදී එය බහා ඇති කාඩ්බෝඩ් පෙට්ටිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවද එහි මුද්‍රා කඩා තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
එම සාක්ෂිකාරියගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් කළ අවස්ථාවේදී හරස් ප්‍රශ්න විමසීමක් හෝ නැවත ප්‍රශ්න විමසීමක් සිදු නොකළ අතර පැමිණිල්ලේ 81 වන සාක්ෂිකාරිය ලෙස නම්කර සිටි ජාතික රෝහලේ 48 A වාට්ටුවේ ප්‍රධාන හෙද නිලධාරිනි උපමාලි සන්ධ්‍යා හිඟුරුගමගේ සාක්ෂි ලබාදීම සිදු කළාය. 
 
ඊට පෙර සාක්ෂි ලබාදුන් හෙද නිලධාරිනියන් ලබාදුන් සාක්ෂි හා සමානම සාක්ෂියක් ඇයද ලබා දුන්නාය. 
 
ඉන් අනතුරුව විත්තියේ නීතිඥවරුන් ඇමතූ සභාපති විනිසුරුවරයා මෙම සාක්ෂි සමාන එක හා සමාන කරුණු අන්තර්ගත වන බැවින් ඉතිරි සාක්ෂිකරුවන්ගේ සාක්ෂිය සම්බන්ධයෙන් පිළිගැනීමක් කළ හැකිදැයි විමසීමක් කළේය.
 
එහිදී පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරෙන්ද්‍ර බානගල මහතා සඳහන් කළේ එවැනි පිළිගැනීමක් කළ නොහැකි බවය.එසේ පිළිගැනීමක් කිරීමට තමන්ට සිය සේවා දායකයා ගෙන් උපදෙසක් ලැබී නොමැති බව සඳහන් කළ නීතිඥවරයා සාක්ෂිකරුවන් ලබා දෙන සාක්ෂියේ ස්වභාවය මත හරස් ප්‍රශ්න විමසීම සිදු කරනවාද නැද්ද යන්න තීරණය කරන බව ප්‍රකාශ කළේය.
 
පැමිණිල්ල විසින් සාක්ෂි මෙහෙයවීම සිදුකරන්නේ කාවරාකාරයෙන්ද යන්න පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බැවින් එම සාක්ෂිකරුවන් පිළි ගැනීමට කළ නොහැකි බවට ඔහු කරුණු ඉදිරිපත් කළේය. 
 
ඒ අනුව සෙසු සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය. 
 
 
ඉන් අනතුරුව ජාතික රෝහලේ වාට්ටු  අංක 16 භාර හෙද සොයුරිය වන සේපාලි නිශාන්ති පතිරණ විසින් සාක්ෂි ලබාදීම සිදුකරන ලදී. 
 
ඇය සඳහන් කළේ තමාට ද හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් පළපුරුද්දක් ඇති අතර එම ඖෂධය වාට්ටුවට ලබා ගැනීම විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ සහ රෝහල් අධ්‍යක්ෂකගේ අනුමැතියට යටත්ව සිදු කරන බවය. 
 
අදාල ඖෂධ ලබා ගැනීම සඳහා cool container box ඇති බවද වාට්ටුවේ සිටින අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය කාර්ය සහායක එම කාර්යය සඳහා යොදවන බවද සාක්ෂිකාරිය කියා සිටියේය. 
 
"අදාළ ඖෂධ වාට්ටුවට ආවහම මොකද කරන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ ඖෂධයේ තබා ඇති මුද්‍රාව කැඩී තිබේ ද යන්න පිළිබඳව අවධානය යොමු කරන බවය.
 
ජාතික රෝහලේ විදුලිය විසන්ධි වීමක් සිදු නොවන බවද ඇය සඳහන් කළාය.
 
අදාල ඖෂධ රෝගීන්ට ලබාදීමේදී එක් වයලයක් ලබා දෙන අතර එය ශරීරගත වීම සඳහා පැය භාගයක කාලයක් පමණ ගතවන බවද ඉන් අනතුරුව අනෙක් ඖෂධය ලබාදීම සිදුකරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 2023/08/23 වැනිදා මධ්‍යම  ඖෂධ ගබඩාවෙන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ වයල් 16යේ වාට්ටුවට ලබාගත් බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ඖෂධය හේතුවෙන් සංකූලතා වාර්තා වූයේ ඔබේ වාට්ටුවේ ද?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය "ඔව්" යන පිළිතුරු ලබා දුන්නාය. 
 
"එම සංකූලතා වාර්තා වූ ඖෂධය නිෂ්පාදනය කර තිබුණේ සමාගමද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී එම නිෂ්පාදනය live ealth bio pharma සමාගම විසින් සිදු කර තිබූ බවත් එහි කාණ්ඩ අංකය A73220402 ලෙස සඳහන්ව තිබූ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"එම ඖෂධය රෝගීන්ට ලබා දුන් විටදී ආසාත්මිකතා වාර්තා වුණා ඔබට මතකද" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට හොඳ මතකයක් ඇති බවය. අදාළ ඖෂධය රෝගීන් තුන්දෙනෙකුට ලබාදුන් අතර  උදය පෙරේරා නැමැත්තාට ඇති වූ ආසාත්මිකතාවය වාට්ටුව තුලදීම යථා තත්ත්වයට පත් කරගත් බව සඳහන් කළ සාක්ෂිකාරිය "එම රෝගියා පිළිබඳව මට හොඳට මතකයි cid නමැති පහළ ගාත්‍රාවේ දුර්වලතාවයක් නිසා ප්‍රතිකාර ගන්න පැමිණි රෝගියෙක් .ඔහු ඇවිදගෙන තමයි ආවේ. සනීප වෙන තත්වයේ හිටපු රෝගියෙක්. ඔහුට මෙම ඖෂධය ලබාදීමෙන් පසුව ආසාත්මිකතා දැඩි ලෙස ඇතිවුණා. ඔහුව පසුව විශේෂඥ වෛද්‍ය වාට්ටුවක ට මාරු කළා. ඔහු මිය ගිය බව පසුව ආරංචි වුණා. ඔහුට cid රෝගී තත්ත්වය උස්සන්න වූ බවට මම හිතනවා ."යනුවෙන් සාක්ෂිකාරිය ප්‍රකාශ කර සිටියාය. 
 
එසේම අදාළ ඖෂධය තවත් රෝගීන් දෙදෙනෙකුට ලබා දුන් අතර දැඩි සංකූලතා වාර්තා වූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"2023 /08/ 23 වැනිදා වන විට ඔබ ඔබේ වාට්ටුවෙන් වයල් තුනක් මධ්‍යම ඖෂධ ගබඩාවට භාර දීලා තිබෙනවා. ඒ ඇයි?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය එහිදී සඳහන් කළේ ඖෂධය withdraw කිරීම මත එම ඖෂධ මධ්‍යම ඖෂධ ගබඩාවට යැවූ බවය.
 
"ඖෂධය ඇනවුම් කළේ සැප්තැම්බර් මාසයේ. අගෝස්තු මස 23 වැනිදා මෙම ඖෂධය ඔබ ඔබේ වාට්ටුවෙන් මධ්‍යම ඖෂධ ගබඩාවට යවා තිබෙනවා. ඊට හේතුව තමයි මම විමසන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැවත වරක් විමසා සිටි අතර සාක්ෂිකාරිය පසුව සඳහන් කළේ එම ඖෂධය විශේෂඥ වෛද්‍යවරයා විසින් omit කිරීම නිසා  එලෙස මධ්‍යම ගබඩාවට ලබා දුන් බවය.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:  අගෝස්තු මස 23 වැනිදා වයල් තුනක් බාර දී තිබෙන්නේ ඇයි
සාක්ෂිකාරිය: එම ඖෂධය රෝගියාට ලබා නොදීමට වෛද්‍යවරුන් තීරණය කර නිසා නැවත ලබා දුන්නා ස්වාමීනි. 
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එහි 2020/9/10 දින ඔබ වයල් පහක් භාරගෙන තිබෙනවාද?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 2023/09/21, ඔබ වාට්ටුවට වයල් 25ක් භාරගෙන තිබෙනවාද?
 
සාක්ෂිකාරිය: විසි එක් වැනිදා වන විට අප සන්තකය වයල් තිහක් තිබුණා. ඒ තිහට මෙම ඖෂධ භාර ගත්තා.
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: එම ඖෂධ ගබඩාවට භාර දුන්නාද?
 
ඊට" ඔව්" යන පිළිතුර ලබා දුන් සාක්ෂිකාරිය මෙම කාණ්ඩ අංක සඳහන් ඖෂධ වයල් රෝගීන්ට ලබාදීම සඳහා ඉන් අනතුරුව භාවිතා නොකළ බව ප්‍රකාශ කළාය. 
 
සහ එම මූලික සාක්ෂි විමසීමෙන් අනතුරුව සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර භානගල මහතා විසින් සිදුකරන ලදී. 
 
"මෙම ඖෂධය ලබාදීමේදී සංකූලතා වාර්තා වීම් පිළිබඳව අවධානයට ලක්  වුණාද ?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු වූ බවය. 
 
නීතිඥවරයා: හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය රෝගියෙකුට දීමට පෙර නිරීක්ෂණය කරන විශේෂ ලක්ෂණ තිබෙනවාද? 
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී, රෝගීන්ගේ නාඩි බලනවා ,රුධිර පීඩනය පිළිබඳව අවධානය යොමු කරනවා, ඔවුන් යහපත්ව සිටිනවාද යන්න පිළිබඳව අවධානය යොමු කරනවා. 
 
නීතිඥවරයා: ඊට පෙර පූර්ව ආරක්ෂණ ක්‍රමයක් ලෙස ඖෂධ ලබාදීමක් කරනවාද?
 
සාක්ෂිකාරිය :ඔව් ස්වාමීනි, රෝගීන්ගේ ඉතිහාසය හා නිරීක්ෂණ අනුව තමයි එම ඖෂධ ලබාදීම සිදුකරන්නේ. 
 
නීතිඥවරයා: මෙම අධිකරණය හමුවේ පැ. 405(V) ලෙස සඳහන් කර ඇති රෝගියාට එම ඖෂධය ලබාදුන් බව ඔබ හඳුනාගත්තා?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
 
නීතිඥවරයා: මේ රෝගියාට මෙම ඖෂධයේ මාත්‍රා කීයක් ලබා දී තිබෙනවාද? 
 
සාක්ෂිකාරිය :ඒ පිළිබඳව මතකයක් නෑ ස්වාමීනි, හතරවන මාත්‍රාව දෙන විට සංකූලතා ආ බව මතකයි. 
 
නීතිඥවරයා: එම රෝගියාට එක, දෙක, තුන ,මාත්‍රාවන් ලබාදුන් කාලය පිළිබඳව සටහනක් නෑ නේද?
 
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනි
 
නීතිඥවරයා: මෙම රෝගියාගේ ඇති රෝගී ලක්ෂණ ලෙස ඇල්කොහොල් ඇති බව occ ලෙස සටහන් කර තිබෙනවා 
 
සාක්ෂිකාරිය: එම සටහන යොදන්නේ ඇල්කොහොල් කලාතුරකින් භාවිතා කරනවා කියන එක අදහස් කරන්නයි.
 
නීතිඥවරයා: ඔහු හැමදාම බොනවා කියලා පුද්ගලික දැනීමක් ඔබට නෑ?
 
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනි 
 
නීතිඥවරයා: එම රෝගියා මියගිය බව කිව්වේ කොහොමද? කොහොමද ඔබ දැන ගත්තේ?
 
සාක්ෂිකාරිය :ආරංචි මාර්ගවලින් දැන ගත්තා ස්වාමීනි, අප සොයා බලනවා අපේ රෝගීන්ට මොකද වුණේ කියලා.
 
නීතිඥවරයා: ඔබේ සේවා කාලය තුළ ඔබේ වාට්ටුවේ රෝගීන් කී දෙනෙකු මාරු කර යවා තිබෙනවාද?
 
සාක්ෂිකාරිය :ගොඩ දෙනෙක් සිටිනවා ස්වාමීනි, මෙම රෝගියා විශේෂයි. ඔහුට Anaphylaxis තත්ත්වය ඇතිවුණා. ඔහු හොඳින් වාට්ටුවට ඇවිදගෙන ආ රෝගියෙක්. ඔහු බලා ගත්තේ ඔහුගේ දියණිය. ඔහුගේ බිරිඳ මිය ගිහින්. ඒ නිසා ඒ රෝගියා පිළිබඳව මතකයි. 
 
නීතිඥවරයා: ඔබේ සේවා කාලය තුළ Anaphylaxis තත්ත්වයක් ඇති වූ පළමු රෝගියා මොහුද? 
 
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනි 
 
නීතිඥවරයා: අවසන් රෝගියා මොහු ද?
 
සාක්ෂිකාරිය:නෑ ස්වාමීනී 
 
නීතිඥවරයා: එම තත්ත්වය මත ඔබේ සේවා කාලය තුළ එක්අයෙක්ද මිය ගියේ?
 
සාක්ෂිකාරිය ඊට පෙර රෝගියෙකු මිය ගිය බව මතකයි. 
 
මෙම ඖෂධය ලබාදීමෙන් අනතුරුව පලිසේන සහ ජයතිලක යන්නේ රෝගීන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා ගත් බවද, එම ඖෂධය ලබාදීමෙන් පසුව ඇති වූ තත්ත්වයන් පිළිබඳව ඇඳ ඉහපත් වල සඳහන් වන බවද සඳහන් කළ සාක්ෂිකාරිය මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එම ඇඳ ඉහපත් තමන් සතුව නොහැකි බව ප්‍රකාශ කළාය. 
 
රෝගීන්ට ලබාදීමෙන් අනතුරුව අදාල ඖෂධ කුප්පි තමන් භාරයේ ඇති කාමරයක රඳවා තබන බවද විමර්ශන සඳහා අවශ්‍ය වූ විට එම කුප්පි ලබාදීමේ හැකියාව ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ස්වාමීනි live ealth ආයතනය විසින් ලබා දුන් ඖෂධ පෙට්ටි දුටු ගමන් වෙනසක් දැනුනා. එය නිකම්ම නිකං කාඩ්බෝඩ් පෙට්ටියක්. වෙනත් ඖෂධ වගේ ඉටි කොලයකින් ආවරණය කර තිබුණේ නෑ " යැයි සාක්ෂිකාරිය ප්‍රකාශ කළ අවස්ථාවේදී නීතිඥවරයා විමසා සිටියේ" ඉටි ආවරණයක්කින් මුද්‍රා තබා නොතිබූ  ඖෂධ ඔබට ලැබුණු බවට හොඳටම විශ්වාසද?" යනුවෙනි. 
 
ඊට පිළිතුරු දුන් සාක්ෂිකාරිය තමන්ට ඒ පිළිබඳව හොඳින් මතකයේ ඇති බව සඳහන් කළාය. 
 
"එවැනි නිසි තත්ත්වයෙන් අසුරනයක් නොමැති විට ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර කුමක්ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව ගබඩාවට දැනුම් දීම පමණක් කළ හැකි බවය. 
 
මෙම ඖෂධයේ පෙට්ටිය සම්බන්ධයෙන් සටහන් කිරීමක් හෝ පැමිණිලි කිරීමක් කිසිදු අවස්ථාවක නොකළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ලේ සාමාජික මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කරමින් "මෙම ප්‍රශ්නගත live ealth ආයතනයේ ඖෂධ ලබා ගැනීම සිදුකරන විට වාට්ටුවේ තවත් ඖෂධ තිබුණාද?" යන්න පිළිබඳව විමසීමක් කළේය. 
 
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ එම ඖෂධය වාට්ටුවේ නොතිබූ අතර එය Balance Nil ලෙස අදාළ සටහන්වල සඳහන්ව ඇති බවය. 
 
"ඖෂධ ගබඩාවේ වෙනත් නිෂ්පාදකයෙකුගේ නිෂ්පාදන තිබුණාද කියා ඔබ දන්නවාද" යනුවෙන් විනිසුරු විරාජ් වීරසූරිය මහතා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවය 
 
එම ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය විසින් නැවත ප්‍රශ්න කිරීම් කිහිපයක් ද සිදුකරන ලදී. 
 
එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව සෙසු විත්තිකරුවන්ගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදී. 
 
අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි අංක 307 දරන ජාතික රෝහලේ වාට්ටු අංක 50 හෙද සොයුරිය වන නදිකා දේදුණු, පැමිණිල්ලේ අංක 67 දරන ජාතික රෝහලේ 56 ඒ වාට්ටුවේ හෙද සොයුරිය වන රේණුකා චිත්‍රාංගී වනසිංහ, පැමිණිල්ලේ සාක්ෂි අංක 317 දරණ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී කුමුදු මල්කාන්ති, පැමිණිල්ලේ සාක්ෂි 36 දරණ ජාතික රෝහලේ 48 බී වාට්ටුවේ හෙද සොයුරිය වන චමිලා ප්‍රසාදිනි පැමිණිල්ලේ සාක්ෂි අංක අනූ එක දරන ජාතික රෝහලේ 41 වාට්ටුවේ හෙද සොයුරිය වන ලීනාප්‍රියංගනී, සාක්ෂි අංක 319 දරණ 47 බී වාට්ටුවේ ප්‍රධාන හෙද නිලධාරිනිය වන සුරංගි හිමාල චන්දිමා කුමාරි, පැමිණිල්ලේ සාක්ෂි අංක 110 දරණ හෙද නිලධාරිනී දුෂාන්ති අනෝමා ධර්මසේන යන අය පිළිවෙලින් සාක්ෂි ලබාදුන්හ.  ඉන් පෙර ඊට පෙර සාක්ෂි ලබාදුන් හෙද නිලධාරියන් ලබා දුන් සාක්ෂිය ප්‍රකාරවම අදාළ  ඖෂධය සිය වාට්ටු වලට ලබා ගැනීම ගබඩා කිරීම සහ නැවත ඒවා ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් විසින් සාක්ෂි ලබා දෙන ලදී. 
 
පැමිණිල්ලේ සාක්ෂි අංක හැට අට දරණ ජාතික රෝහලේ ප්‍රධාන ඖෂධ ගබඩාවේ ඖෂධ වේදි අයෝමි ප්‍රශංසා වික්‍රමසිංහ මහත්මිය සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ තමන් ප්‍රධාන ඖෂධ ගබඩා භාරකරු වන කටුපැලැල්ල මහතාගේ උපදෙස් මත ඔහු නොමැති අවස්ථාවල ඖෂධ ගබඩාවේ සේවා කටයුතු වල නිරත වන බවය මධ්‍යම ඖෂධ ගබඩාවට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ලබා ගැනීම සඳහා තමන් වෛද්‍ය සැපයුම් ඒකකට යන බවය.එම අවස්ථාවලදී ඖෂධ ගබඩා කර ගැනීම සඳහා cool box  රැගෙන යන අතර එම ඖෂධ දෙක අට කාණ්ඩයේ උෂ්ණත්ව දාමයේ පවත්වා ගැනීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන බව ඇය සඳහන් කළාය.
 
අදාළ ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ලබා ගැනීමෙන් අනතුරුව එම cool box සීල් කරන අතර  ඒවා වෛද්‍ය සැපයුම් ඒකකයේ සිට ජාතික රෝහලට රැගෙන එන බව ඇය සඳහන් කළාය. 
 
ඉන් අනතුරු පැමිණිල්ලේ හැට හතර වන සාක්ෂිකරු වන ජාතික රෝහලේ ගබඩා භාරකරුවකු වන පැතුම් එරංග මධුසංක සාක්ෂි දෙමින් තමන් විසින් අංක හය ගබඩාවෙන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ලබා ගෙන මාතර රෝහලට ගෙන ගොස් බාර දුන් බවද ,එම ඖෂධ ප්‍රවාහනය කිරීම ලොරි වල සිදුකළ බවද එහි ඩෑෂ් බෝඩ් එකේ අදාළ උෂ්ණත්වය පිළිබඳව සටහන් වන බැවින් එය පහසු කටයුත්තක් වූ බවද සඳහන් කළේය.
 
පැමිණිල්ලේ 74 වන සාක්ෂිකරුවන ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක රන්ජන් කපිල විතාන සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ කටු පැලැල්ල මහතා විසින් ලබා දෙන ලද ලියකියවිලි සහ ඖෂධ ආයතන කිහිපයකට ලබාදීම තමන් විසින් සිදුකළ බවය 
 
එම ලේඛන භාරගත් බවට සටහන්ව ඇති ලේඛනය සාක්ෂිකරු විසින් හඳුනාගන්නා ලදී 
 
සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු නොකරන බව විත්තියේ නීතිඥවරුන් විසින් දන්වන ලදී. 
 
අනතුරුව දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කළ අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විනිසුරු මඩුල්ලට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරුවන් කිහිපදෙනෙකු සහ පළමු වන විත්තිකරු අතර ඇති වූ දුරකථන සංවාද සම්බන්ධයෙන් ඩයලොග් සහ මොබිටෙල් ආයතනයේ සාක්ෂිකරුවන් මගින් සාක්‍ෂි මෙහෙයවීමට අවශ්‍යව ඇති බවය. 
 
අදාල දුරකථන අංක මගින් ලබාගත් දුරකථන ඇමතුම් ලබාගෙන තිබෙනවාද යන්න හැර වෙනත් සාක්ෂි මෙහෙයවීමක් සිදු කිරීමට නොමැති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී දන්වා සිටියාය.
 
අදාල දුරකථන වාර්තා මේ වන විටත් පාර්ශව කරුවන්ට ලබාදී ඇති බැවින් එම ඇමතුම් ලබාගැනීම සම්බන්ධයෙන් පිළිගැනීමක් කළ හැකිද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේදී දැනුම් දෙන ලෙස භාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දීමක් කළේය.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය එඅධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න     

 

නවතම පුවත්