leader s

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමනයට ලක්වන රසායනාගාරයක් ලංකාවේ නොමැති බව අපේක්ෂා රෝහලේ රසායනික ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව සාක්ෂි ලබාදෙමින් සිටියදී ඉදිරිපත් වූ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.

 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
 
එහිදී පැමිණිල්ලේ 20වන සාක්ෂිකාරිය ලෙස නම්කර සිටින අපේක්‍ෂා රෝහලේ රසායනික ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය රජිතා සමරසිංහ මහත්මිය සාක්ෂි ලබාදීම සිදු කළාය.
 
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් සාක්ෂි දීම ආරම්භ කළ අවස්ථාවේදී සාක්ෂිකාරියගේ අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත් කෙරිණි. එම අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සාක්ෂිකාරියගේ ප්‍රවීණත්වය සහ පළපුරුද්ද සුදුසුකම් පිළිබඳව පිළිගැනීමක් සිදුකිරීමට සූදානම් දැයි විත්තියේ නීතිඥවරුන්ගෙන් විමසීමක් කළේය. 
 
ඒ පිළිබඳව පිළිගැනීමක් කළ හැකි බවට එම නීතිඥවරු එහිදී සඳහන් කළහ.
 
ඒ අනුව ඇයගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න විමසීමකින් තොරව සාක්ෂි මෙහෙයවීම සිදු කරන ලදි. 
 
"රසායන ව්‍යාධිවේදය යන්නේ කුමක්දැයි "නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ රුධිරයේ සියලු රසායනික තත්ත්වයන් පිළිබඳව පරීක්ෂා කර බැලීම එහිදී සිදු කරන බවය. එහිදී අදාළ රෝගී තත්ත්වයන්, විශේෂයෙන්ම පිළිකා රෝගය ඇතුළු රෝගී තත්ත්වයන්, රෝගීන්ට ලබාදන ඖෂධ මොනවාද, ලබා දෙන ඖෂධයන් වලින් ප්‍රතිඵලයක් ලබාගත හැකිද යන්න පිළිබඳව මෙහිදී කරුණු විමසා බැලීමක් සිදු කරන බව ඇය සඳහන් කළාය.
 
 අපේක්ෂා රෝහ‍ලේ සිටින රෝගීන්ගේ පමණක් නොව දිවයින පුරා රෝහල් වලින් මෙම පරීක්ණය සිදුකිරීම සඳහා වන සාම්පල් සෑම දිනකම ලැබෙන බව රසායනාගාරයට ලැබෙන බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"අදාළ රසායනාගාරයේ ප්‍රධානියා කවුරුන්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විමසා සිටි අවස්ථාවේදී තමන් එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන බව සඳහන් කළ සාක්ෂිකාරිය සාම්පල භාර ගැනීම සඳහා ඒ සඳහා සුදුසුකම් ඇති පළපුරුදු නිලධාරීන් පිරිසක් කවුළු වල සේවයේ යොදවා සිටින අතර  ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු ඇතුළු පිරිසක් එම රසායනාගාරයේ කටයුතු කරන බවද , සාම්පල භාරගෙන ඒ පිළිබඳව විශේෂ පරීක්‍ෂණ කටයුතු කිරීම රසායනාගාරයේ එය මගින් සිදු කරන බවද ඇය සඳහන් කළාය. 
 
"පරීක්ෂණ සිදු කිරීම සඳහා වන රුධිර සාම්පල කොහොමද ලැබෙන්නේ ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ රුධිරයේ සාම්පල test tube එකක් ලෙස ලැබෙන බවය. ඒවා හඳුනා ගැනීම සඳහා barcode එකක් ඇතුළත් කරන අතර එම barcode එක අදාළ සාම්පලය සමඟ ලැබෙන request letter එකෙහි ද එක සඳහන්ව ඇති බව ඇය ප්‍රකාශ කළාය.
 
"මෙහිදී සිදු කරන්නේ ප්‍රෝටීන් පිළිබඳ පරීක්ෂාවද?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ, තරලයන් පිළිබඳ ප්‍රෝටීන් පරීක්ෂාව එහිදී සිදු කරන බවය.
 
තමන්ට රසායනික ව්‍යාධි වේදය පිළිබඳ වසර විස්සක පමණ පළපුරුද්දක් ඇති අතර එම වසර විස්ස පුරාවටම ප්‍රෝටීන් පිළිබඳ ව පරීක්ෂාවන් සිදු කර ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"එම ප්‍රෝටීන් සම්බන්ධයෙන් කරන විශේෂ පරීක්ෂාවේ දී කාණ්ඩ පහකට බෙදා බලනවා. වැදගත්ම එක වන්නේ "ගැමා ග්ලොබියුලින් (Gama globulin) කියන එක. එය පිළිකා වලට හේතු වෙනවා. ඒ අනුව එය රෝගයක් නිශ්චය කර ගැනීමට භාවිතා කරනවා එය ඉතාම වැදගත්. "multiple myeloma "කියන රෝගී තත්ත්වය හඳුනාගැනීමට Gama globulin පරීක්ෂණය ඉතාම වැදගත් වෙනවා. එහිදී මොනක්ලෝනල් ප්‍රෝටීන් (Mona chronal protein ) බෑන්ඩ් එකක් හැදෙනවා. එමඟින් තමයි හඳුනා ගන්නේ රෝගියෙකුගේ තත්ත්වය පිළිබඳව" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
"එසේ Mona chronal protein බෑන්ඩ් එකක් හැදුනු විට එළඹෙන නිගමනය කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාර විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ අදාළ සාම්පලය ඇති රෝගියාට රෝගය ඇති බවට තීරණය කර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට නිර්දේශ කරන බවය. 
 
"ඔබේ සේවා කාලය තුළ මෙවැනි පරීක්ෂණ කොපමණ ප්‍රමාණයක් කර තිබෙනවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ වසර විස්ස පුරාම තමන් අදාළ පරීක්ෂණ සිදුකර ඇති බවය. දිනකට පරීක්ෂණ විස්සක් පමණ විස්සක් තිහක් පමණ සිදුකරන අතර සතියකට එබඳු පරීක්ෂණ දෙසීයක් තුන්සීයයක් පමණ සිදු කරන බවද ඇය සඳහන් කළාය. 
 
"මොන ක්ලෝනල් ප්‍රෝටීන් නොතිබීම රෝගී තත්ත්වයක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ එය රෝගී තත්ත්වයක් නොවන බවය. 
 
"මොන ක්ලෝනල් ප්‍රෝටීන් බාහිරව ලබාදීමක් සිදු කරනවාද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ලින්ෆෝමා (lymphoma)රෝගීන් සඳහා එය ලබාදෙන බවය.
 
 
"ලිව්කේමියා රෝග නිධානය සොයා ගැනීම සම්බන්ධයෙන් ඔබේ රසායනාගාරයේ පරීක්ෂණ කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර  එවැනි පරීක්ෂණ තම රසායනාගාරයේ සිදු නොකරන බවද ඒ සම්බන්ධයෙන් රෝග නිශ්චය කිරීමක් නොකරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
"ඔබේ රසායනාගාරයේ රුධිරයේ මොන කොටසද පරීක්ෂා කරන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියගෙන් විමසීමක් කළාය.
 
එහිදී ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ රුධිර සාම්පල ලැබුණු විට ඉන් සීරම් සකස් කර ගැනීමක් සිදුකරන බවය. සීරම් සාම්පල ගබඩා කර තබාගෙන පරීක්ෂණ සිදුකරන බව ද, සාම්පල තිහක් එකවර අදාළ යන්ත්‍රයට යොමු කර පරීක්ෂණ කටයුතු සිදු කිරීම කරන බවද, එතෙක් එම රුධිර සාම්පල සිය රසායනාගාරයේ ඇති විශේෂ ශීතකරණයේ තැන්පත් කර තිබෙන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
එම රසායනාගාරයේ ඇති සාම්පල ලබාගැනීමේ ප්‍රවේශය තමන්ගේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයාට පමණක් ඇති අතර එය ලොක් කිරීමෙන් අනතුරුව යතුර ආරක්ෂක අංශයට භාරදීම සිදුකරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. අදාළ සීරම් සාම්පල සෙල්සියස් අංශක බින්දුවට අඩු උෂ්ණත්වයේ තබාගත යුතු බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
"අදාළ රුධිර සීරම් සාම්පල පරීක්ෂා කරන බව දැනගන්නේ කොහොමද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ පරීක්ෂණ සිදු කළ යුතු බව තමන් විසින් තීරණය කරන බවය. අදාළ පරීක්‍ෂණ සිදුකිරීම දවසක් හැර දවසක් සිදුකරන අතර සාම්පල එන පිළිවෙලට අංකනය කර සාම්පල 30ක් ලැබීමෙන් අනතුරුව එම සාම්පල 30 එකවර පරීක්ෂණය සඳහා යොදා ගන්නා බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
විශේෂ යන්ත්‍රයක් ඔස්සේ එම පරීක්‍ෂණ සිදුකරන අතර එහි ඇති gel plate එකකට පරීක්ෂණ සිදු කරන අතර ඊට සාම්පලයෙන් බින්දුව බින්දුව බැගින් දමන අතර එම gel plate මත සීරම් එකේ ඇති ප්‍රෝටීන වෙන් වී රැඳී පවතින බව ඇය සදහන් කළාය. 
 
එම gel plate එක මත ඇති ph අගය හේතුවෙන්  ශරීරයේ ඇති ප්‍රෝටීන ඍණ අගයක් ගන්නා අතර  ඊට විදුලිය ලබාදීමක් සිදුකරන බවද එලෙස විදුලිය ලබාදීමේදී ම ප්‍රෝටීන ධන ආරෝපිත පැත්තට ගමන් කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
"ප්‍රෝටීන එක එක විදිහයි. කරන්ට් එක නැවතුනාම ප්‍රෝටීන ටික වෙන් වී තිබෙනවා එයට කහපාට ඩයි එකක් දාලා වියළීම කළ විට ප්‍රෝටීන් වෙන් වෙන්ව ඇති බව පැහැදිලිව පේනවා. සිරස් තීරු ලෙස රෝගියාගෙන් රෝගියාට වෙන් වෙන්ව තැන්පත්ව තිබීම දකින්න පුළුවන්. එම නිසා එම තරලයේ ඇති ප්‍රෝටීන වර්ග මොනවාද කියලා හොයාගන්න පුළුවන්. එය ස්කෑන්ක් කළ විට ප්‍රස්ථාරයක් ලැබෙනවා. ප්‍රස්ථාරයේ ඉමියුනෝග්ලොබියුලීන් ඇති ස්ථානය ගැන මා දන්නවා. ඒ අනුව අදාළ ප්‍රෝටීනය හඳුනා ගැනීම සිදුකරනවා" යනුවෙන් විශේෂඥ වෛද්‍යවරිය දීර්ඝ විස්තරයක් කළාය. 
 
"මල්ටිපල් මයිලෝමා(multiple myeloma ) රෝගීන් සොයා ගැනීමේ පරීක්ෂණ විස්සක් පමණ දවසට කරන බව ඔබ සඳහන් කළා. එවැනි රෝගීන්ගේ පරීක්ෂණ නැවත වරක් සිදු කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ අදාළ රෝගියාට ප්‍රතිකාර කරන අතරතුරත් ඔහුගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීම සඳහා සඳහා ලැබෙන බවය. පරීක්ෂාවෙන් පසු ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරයාට සිය නිර්දේශය ලබා දීමක් සිදුකරන අතර  එම ප්‍රතිකාර ලබාදෙන අතරතුර සහ ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුවත් නැවත පරීක්‍ෂණ වලට ලක් කරන බව ද සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය. 
 
"ඔය කියන යන්ත්‍රයෙන් පරීක්ෂණ කටයුතු සිදුකර ප්‍රතිකාර ලබාදුන් අවස්ථා කොපමණ තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ වසරකට එවැනි පරීක්‍ෂණ දාහක් දෙදාහක් පමණ සිදුකර ප්‍රතිකාර කටයුතු සඳහා නිර්දේශ කිරීම් සිදු කරන බවය.
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: යම් සීරම් එකක තියෙන්නේ Monoclonal protein බව සොයාගත හැකිද?
 
සාක්ෂිකාරිය :එහෙමයි ස්වාමීනි 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඖෂධයක හෝ ද්‍රාවණයක මොන ක්ලෝනල් ප්‍රෝටීන් තියනවාද කියලා ඒ ක්‍රමය යටතේ සොයා ගන්න පුළුවන්ද?. 
 
සාක්‍ෂිකාරිය :ඔව් ස්වාමීනි, රුධිරය හෝ වෙනත් ද්‍රාවණයක ඇති ප්‍රෝටීන් ප්‍රමාණය සොයා ගත හැකියි. තරලය කුමන ආකාරයේ එකක් වුවත් එකම ප්‍රෝටීන් ප්‍රමාණය පිළිබඳව තමයි මෙහිදී පරීක්ෂණය සිදු කරන්නේ.
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය :ඔබට යම් ඖෂධයක් ලැබුණද එහි ඇති මොන ක්ලෝනල් ප්‍රෝටීන පිළිබඳව සොයා බැලීම සඳහා?.
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි.
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය2024/02/27 වන විට දින NMRA ආයතනයේ හිටපු විධායක නිලධාරී වෛද්‍ය සචින් සේමගේ විසින් සාම්පල දෙකක් ලබා දුන්නා ද?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී එම සාම්පලවල රිසිට් පත් අත්සන් තබා භාර ගැනීම සිදුකළේ මා විසින්.
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එම සාම්පල රැගෙන ආවේ මොන තත්ත්වයේ ද?.
 
සාක්ෂිකාරිය: ඒවා ice packets දාලා වහලා ice box එකක වහලා තිබුණේ. රිටොප්සි මැබ් mg වයල් දෙකක් තිබුණා. ඒවායෙහි මොන ක්ලෝනල් ප්‍රෝටීන් තිබෙනවාද කියන එක පරීක්ෂා කර බලන්න කියලා ඉල්ලීමක් කර තිබුණා. එම සාම්පල මගේ අතටම තමයි දුන්නේ. මම ඒවා මගේ රසායනාගාරයේ වෙනමම ගබඩා කළා. 2-8 උෂ්ණත්වයේ තිබුණා 
 
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එම පහසුකම රසායනාගාරයේ තිබෙනවාද?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම සාම්පල දෙක ලේබල් කළේ කොහොමද?
 
සාක්ෂිකාරිය :එහිදී ලැබුණු පළමු වන product එක R2 ලෙසත්, දෙවෙනි product එක R1 ලෙසත් නම් කළා.
 
එම ඖෂධ දෙකට අදාළව වාර්තා දෙකක් තමන් සකස් කළ අතර අදාළ සාම්පල ලැබීම 2024 පෙබරවාරි 27 දින සිදු වූ අතර ඊට අදාළ වාර්තා සකස් කිරීම පෙබරවාරි 28 වැනිදා සිදුකළ බව සඳහන් කළ සාක්ෂිකාරිය අධිකරණය හමුවේ ඇති එම වාර්තා හඳුනා ගැනීමක් කළාය. 
 
අදාළ වාර්තාව NMRA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට අමතා සකස් කර තිබූ අතර පිටු හයකින් යුත් වාර්තාව තමන් විසින් අත්සන් කර තිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
එම සාම්පල අදාළ ප්‍රෝටීන පරීක්ෂා කරන යන්ත්‍රයට ඇතුළත් කර පරීක්ෂාවන් සිදු කළ අතර එක් සාම්පලයක ප්‍රෝටීන තිබූ බවත් අනිත් සාම්පලයේ කිසිවක් නොතිබූ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය.  ඒ බව වාර්තාවේ සඳහන් වන බව ඇය පෙන්වා දුන්නාය.
 
එහිදී product 1 ලෙස නම් කර තිබූ ඖෂධ සාම්පලයේ කිසිවක් නොතිබූ අතර product 2 ලෙස නම් කර තිබූ සාම්පලයේ ප්‍රෝටීන හොඳින් තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
අදාළ ඖෂධ සාම්පල පරීක්ෂා කිරීම තවත් රෝගීන් විසි අට දෙනෙකුගේ රුධිර තරල සමග යන්ත්‍රයට ඇතුළත් කර සිදුකළ අතර එම වාර්තාවේ බව සඳහන්ව ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"ඔබ මේ වාර්තාව සකස් කලේ 2024 දෙකයි 27 බට ලැබුණු නිෂ්පාදන ආශ්‍රයෙන්ද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එදින ලැබුණු නිෂ්පාදන දෙකක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකළ බවය.
 
 
"ඒ ප්‍රඩක්ට් එකේ මොකුත්ම තිබුණේ නෑ. ඒ බව මම වාර්තාවේ සඳහන් කළා" යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබා දුන්නාය.
 
"Immuno fixation යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැ?"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය මෙම පරීක්ෂණවල ඉදිරි පියවරක් බවය. 
 
"අදාළ සාම්පලයේ කුමන වර්ගයේ මොන ක්ලෝනල් එකක්ද කියන එක සොයාගන්නේ ඒ පරීක්ෂණයෙන්. එය අපි අදාළ මැෂින් එකේදී ම සිදු කරනවා. එහිදී අති විශේෂ පියවරයන් කිහිපයක් තියෙනවා. ඒ අනුව තමයි මොන ඉමියුනෝග්ලොබියුලීන් ද එහි තියෙන්නේ කියලා සොයා ගන්නේ " යනුවෙන් සාක්ෂිකාරිය පැහැදිලි කිරීමක් කළාය
 
මෙම ඖෂධය සම්බන්ධයෙන් එම පරීක්ෂාව සිදු කළාද යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර වඩා හොඳ තහවුරු කර ගැනීමක් සඳහා මෙම පරීක්ෂාව සිදුකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. එහිදීද ප්‍රඩක්ට් 1 ලෙස සඳහන් සාම්පලයෙක් කිසිවක් සොයාගත නොහැකි වූ අතර එය අදාළ වාර්තාවේ කමෙන්ට් යන ස්ථානයේ තමන් සඳහන් කළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
 
"මෙම පරීක්ෂාව සිදු කරීමේදී එකම ලෙඩාගේ පරීක්ෂණ හය තැනක සිදුකරනවා තරලයේ බිංදුව බිංදුව බැගින් දාලා පරීක්ෂාව වෙන වෙනම සිදු කරනවා" යනුවෙන් සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය. 
 
පරීක්ෂණය සඳහා යොදාගත් product 2 සාම්පලය සම්බන්ධයෙන් වන සටහන් අදාළ වාර්තාවේ පිටු අංක හතරේ සඳහන් වන බව කියා සිටි සාක්ෂිකාරිය එහි එක පීක් එකක් තිබුණා. ඉන් අදහස් වන්නේ ප්‍රෝටීන තිබෙන බවයි.ඒ බව අදාළ වාර්තාවේ සඳහන් කළා යනුවෙන් කියා සිටියාය. 
 
"ඔබ මේ පරීක්ෂණ පුද්ගලිකව සිදු කළාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් විසින් එම පරීක්‍ෂණ සිදුකළ අතර ඒ සඳහා යොදාගත් සාම්පල් යහපත් තත්ත්වයේ තිබෙන බවට සහ නිවැරදි තත්ත්වයේ තිබූ බවට සෑහීමකට පත්වන බවය.
 
එම අවස්ථාවේදී අධිකරණය හමුවේ මුද්‍රා තබා තිබූ ඖෂධ කුප්පි දෙකක් ඇතුලත් කාඩ්බෝඩ් පෙට්ටියක මුද්‍රා ඉවත් කර විවෘත කර සාක්ෂිකාරියට පෙන්වූ අතර තමන් පරීක්‍ෂණ සිදු කළ සාම්පලය සහ මෙම සාම්පලය එකම කාණ්ඩයේ වන බවට ඇය විසින් හඳුනාගන්නා ලදී. 
 
එම සාම්පල පරීක්ෂාවට අදාළ වාර්තාවේ සඳහන් වගුවක් වෙත අවධානය යොමු කළ සාක්ෂිකාරිය එහි ප්‍රඩක්ට් එක ලෙස සඳහන් කර ඇත්තේ live ealth bio pharma සමාගමේ නිෂ්පාදනය වන බවත් එහි ප්‍රෝටීන කිසිවක් නොතිබූ බවත් සඳහන් කර ඇති බව කියා සිටියාය. 
 
එහි ප්‍රඩක්ට් 2 ලෙස සඳහන් වන සාම්පලයේ ප්‍රෝටීන තිබූ අතර එය Reliance සමාගම විසින් නිෂ්පාදනය කර තිබූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
ඉන් අනතුරුව සාක්ෂිකාරියගෙන් මූලික ප්‍රශ්න කිරීම අවසන් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන් අතර පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
"ඔබ හඳුනා ගත්තා පරීක්ෂණ සඳහා ලැබුණු සාම්පල ඔබ තමයි බාරගත්තේ කියලා. ඒ කුමන තත්ත්වයක් යටතේ ද ලැබුණේ ?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර එහි cool chain  එක maintain වන පරිදි ලැබුණු බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
"එම නිෂ්පාදන cool pack එකේද ආවේ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ  cool box එක තුල cool pack සහිතව එම සාම්පල ලැබුණු බවය. 
 
"අයිස් වල උෂ්ණත්වය බිංදුවයි නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "වටේට තිබුණු අයිස් වල උෂ්ණත්වය බිංදුව වුනත් අදාළ සාම්පල freeze වෙලා තිබුණේ නෑ. එය හොඳ තත්ත්වයේ තිබුණා "යනුවෙනි.
 
"ඔබ මෙම සාම්පල භාරගන්නා විට එම  cool box ඇතුලේ data logger එකක් තිබුනාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර එවැන්නක් නොතිබූ බව සඳහන් කළ සාක්ෂිකාරිය එම සාම්පල NMRA ආයතනයේ සිට තමන්ට ලැබුණු නමුත් එම ආයතනයට කුමන ස්ථානයකින් ලැබුණු ඒවාදැයි නොදන්නා බව කියා සිටියාය.  
 
"ඔබේ රසායනාගාරය තත්ත්ව පාලන සහතික ඇති රසායනාගාරයක්ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එම ආයතන විසින්ම සිදු කරන අභ්‍යන්තර තත්ත්ව පාලනයක් නීතිපතා සිදුකරන අතර ජාත්‍යන්තර ආයතන මගින් ඔවුන්ගේ සාම්පල  ලබාදී සිදු කරන පරීක්‍ෂණ ප්‍රතිඵල මත අදාළ අගය කිරීම් කරන බවය.  
 
නීතිඥවරයා :ඔබේ රසායනාගාරය ලෝක සෞඛ්‍ය සංවිධානය නියමිතයන්ට ලක් වූ රසායනාගාරයක් ද?
 
සාක්ෂිකාරිය :එහෙම ඒවා ලංකාවේ නෑ ස්වාමීනී 
 
නීතිඥවරයා: ඔබ කිව්වා රුධිර සාම්පල් පරීක්ෂා කරන යන්ත්‍රයේ ඖෂධ පරීක්ෂා කිරීම් සිදුකළ බව. මීට පෙර එවැනි දේ කර තිබෙනවාද?.
 
සාක්ෂිකාරිය: එම යන්ත්‍රයේ මෂ්තිස්ක තරලය මුත්‍රා සහ රුධිරයේ තරල පරීක්ෂණ සිදු කර තිබෙනවා ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ කර නෑ.
 
නීතිඥවරයා ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ කළේ ප්‍රථම වතාවටද 
 
සාක්ෂිකාරිය :ඔව් ස්වාමීනී.
 
නීතිඥවරයා: ඖෂධ පරීක්ෂා කිරීමට මෙම යන්ත්‍රයට හැකියාව ඇති බවට සෑහීමකට පත්වන්න පුළුවන්ද?
 
සාක්ෂිකාරිය: පුළුවන් ස්වාමීනී, රුධිරයේ වුවත් බෙහෙතක වුවත් මොනක්ලෝනල් හඳුනා ගැනීමමයි සිදු කරන්නේ. විද්‍යාත්මක මූලධර්මය එයයි 
 
නීතිඥවරයා: එසේ කළ හැකි බවට තක්සේරුවක් තිබෙනවා ද?
 
සාක්ෂිකාරිය:නෑ එහෙම එකක් නෑ 
 
ඖෂධ නිෂ්පාදනයට තමන් සහභාගි වී නොමැති බවත් තමන්ට ඖෂධ සම්බන්ධයෙන් දැනුමක් නොමැති බවත් සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.
 
තමන් දන්නා පරිදි මෙවැනි ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර ලංකාවේ නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී නීතීඥවරයා ප්‍රශ්න කර සිටියේ" ඔබ ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කර තිබෙනවාද?" යනුවෙනි .එවැනි පර්යේෂණයක් සිදු කර නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළාය 
 
"අදාළ ඖෂධය එහි සඳහන් පාමකෝපියාව අනුව පරීක්‍ෂණ වලට ලක් කළ යුතු බව ඔබ දන්නවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ තමන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බවය. 
 
අදාළ සාම්පල දෙක පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ වාර්තාව සමඟ එහි එම සාම්පල තිබූ බඳුන් NMRA ආයතනයට යැවීමට කටයුතු කළ බව සාක්ෂිකාරිය  එහිදී කියා සිටියාය.
 
මෙම පරීක්ෂණ සිදු කර පිළිවෙල හෝ උපකාර සම්බන්ධය සහස් ක්‍රමවේදය ගැන සම්බන්ධයෙන් වන සටහන් පරිගණකයේ ඇති අතර මෙම අවස්ථාවේදී ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බව සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
මෙකී සාම්පල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා නොදුන් බව සඳහන් කළ සාක්ෂිකාරිය ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙන පළමු අවස්ථාව මෙය බවද සඳහන් කර සිටියාය. 
 
"2-8 ශීතාදාමයේ අදාළ ඖෂධ තබාගත යුතු බවට ඔබට දැනීමක් තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී" නෑ ස්වාමීනී, රසායනික ද්‍රව්‍ය ගැන පමණයි මට අවබෝධයක් ඇත්තේ ඖෂධ ගැන දැනීමක් නෑ." යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටි අතර විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විරාජ් වීරිසූරිය මහතා ප්‍රශ්න කිහිපයක් ඇයට යොමු කළේය.
 
එහිදී අදාළ සාම්පල නිෂ්පාදනයේ මොනක්ලෝනල් අඩංගු නොවන බවට අනාවරණය කර ගැනීම මත මෙය ඖෂධයක් ද කියා කියන්න පුළුවන්ද? යනුවෙන් විනිසුරු විරාජ් වීරසූරිය මහතා විමසීමක් කළේය.
 
"ස්වාමීනි, මෙහි මොකවත්ම තිබුණේ නෑ. වතුර වගේ තමයි තිබුණේ. ප්‍රෝටීන් කිසිවක්ම තිබුණේ නෑ." යනුවෙන් සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය. 
 
"එය ඖෂධයක් නැද්ද කියන එක කියන්න පුළුවන්ද?" යනුවෙන් විනිසුරු විරාජ් වීරසූරිය මහතා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය,"එය ප්‍රෝටීන් තියෙන ඖෂධයක් නෙමෙයි. ඇති වෙනත් දේ මොනවාද කියන යන්න පිළිබඳව මේ පරීක්ෂණය මගින් සොයා ගන්නට බෑ". යනුවෙන් කියා සිටියාය. 
 
ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් සාක්ෂිකාරියට නැවත ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර එහිදී රසායනාගාරය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළාය.
 
මීට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ "රසායනාගාරයේ අභ්‍යන්තරව සහ බාහිර ලෙස quality control කරනවා .බාහිර වශයෙන් පිටරටින් එවන සාම්පල් පරීක්ෂා කිරීම සිදුකරනවා. ඒවා analyse කරලා ලබාදුන් විට අපේ තත්ත්වය පිළිබඳව ඔවුන් වාර්තාවක් එවනවා. අභ්‍යන්තර තත්ත්ව පරීක්ෂාව දිනපතා සිදු කරන එකක්. එහිදී පරීක්ෂණ සඳහා යොදාගන්නා යන්ත්‍ර, පරිසරය නිසි පරීක්‍ෂාවට ලක් කරනවා" යනුවෙන් පිළිතුරු ලබා දන්නාය.
 
"ඔබ ලබා දෙන රසායනික වෛද්‍ය වාර්තා අනුව වෛද්‍යවරු ප්‍රතිකාර කළ රෝගීන් සුව වූ අවස්ථා තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි අවස්ථා ගණනාවක් ඇති බවය.
 
වෛද්‍යවරුන් විසින් තමන්ගේ වාර්තා ඉහළින් පිළිගන්නා අතර වසර විස්සක් පුරා එලෙස ප්‍රෝටීන වාර්තා ලබාදීම සිදුකරන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
 
අදාළ පරීක්ෂණයේ නිර්දේශ මත ප්‍රතිකාර කර  සුව වූ රෝගීන් සිටින බවද සාක්ෂිකාරිය එහිදී වැඩිදුරටත් කියා සිටියාය. 
 
එම අවස්ථාවේදී අදාළ සාම්පල කුප්පිය සහිත පෙට්ටියේ තිබූ හෑන්ඩ් Bill එක පරීක්ෂාකළ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "එහි සඳහන් පරිදි අදාළ සාම්පලයේ ඇතුලත් රසායනික  ද්‍රව්‍ය කුමක්දැ?"යි විමසීමක් කළේය.
 
 igg කැපා මොන ක්ලෝනෙල් ඇන්ටිබොඩි ලෙස එහි සඳහන්ව ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය ය.
 
"ඔබ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කළ වාර්තාව අනුව එහි සඳහන් වයල් එකක එම උනොත් නොබියුලින් අයි gg capa කියන ප්‍රෝටීනය තිබුණු බවට නිරීක්ෂණය කළාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි නිරීක්ෂණයක් නොකළ බවය. 
 
 එම සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව පැමිණිල්ලේ එකසිය හැත්තෑ එක් වන සාක්ෂිකරු ලෙස නම්කර සිටින කරාපිටිය මහ රෝහලේ ඖෂධවේදී විසින් සාක්ෂි ලබාදීම සිදුකරන ලදී. 
  
 
තමන් කරාපිටිය රෝහලේ ප්‍රධාන රසායනාගාරයේ සේවය කරන බවත් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය අංශක 2-8 අතර ශීත දාමයේ පවත්වාගත යුතු බවට අවබෝධයක් ඇති බවත් සාක්ෂිකරු කියා සිටියේය. 
 
කරාපිටිය රෝහලේ අදාළ ඖෂධ ගබඩාවේ උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා 15×20 ප්‍රමාණයේ ශීත කාමරයක් ඇති අතර ඖෂධ ගබඩා කිරීම එහි සිදුකරන බවද එකී ගබඩාවේ භාරව තමන් කටයුතු කරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
කරාපිටිය වෛද්‍ය රෝහලට අවශ්‍ය ඖෂධ ස්වස්ථා පද්ධතිය ඔස්සේ සැපයුම් ඒකකයෙන් ඇනවුම් කරන අතර ඒවා රැගෙන යාම තමන් විසින් සිදුකරන බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
"ඔබ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ඉල්ලා තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ 2020/07/31ක එම ඖෂධයේ වයල් 240ක් ඉල්ලා ඇති බවය. 
 
එහෙත් එහිදී වයල් 144 ක් ලැබුණු අතර තමන් වෛද්‍ය සැපයුම් ඒකකයට ගොස් එම ඖෂධ රැගෙන ආ බව සඳහන් කළ සාක්ෂිකරු තම ඖෂධ ගබඩාවේ ඖෂධ තිබියදී වුවද තොග තත්ත්වය සලකා බලා වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඖෂධ ලබා ගැනීම සඳහා ඇනවුම් සිදුකරන බව කියා සිටියේය. 
 
"ඔබේ ගබඩාවේ ඇති ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ලබා දෙන ලෙස ඉල්ලීමක් ලැබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ තමන් ළඟ තිබූ කුප්පි සීයක් බාර දෙන ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් සිය රෝහල් අධ්‍යක්ෂවරයාට දන්වා තිබූ බවය.
 
ඒ අනුව 2025 පෙබරවාරි 10 වැනිදා අදාළ කුප්පි100 සූදානම් කර තිබූ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
 
එම සාම්පල වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීම සඳහා කුල් බොක්ස් එකක වහලා තැන්පත් කිරීම කර තමන් සතුව තිබූ උෂ්ණත්වමානයක් එහි ඇතුළත් කළ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
අදාළ සාම්පල බාරගත් බවට වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්සන් තබා ඇති බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
මූලික ප්‍රශ්න කිරීම අවසාන කිරීමෙන් අනතුරුව පළමුවන සහ දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්වරු විසින් මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
එම හරස් ප්‍රශ්න විමසීම සිදු කරන අතරවාරයේදී දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය. 
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි. 
 
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ. 
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය එඅධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න    

 

නවතම පුවත්