"පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වුවත් අධිකරණයට පැමිණි විට ඔවුන් අධිකරණයේ සාක්ෂිකරුවන්. සාක්ෂිකරුවන් ට බලපෑමක් වන අයුරින් කටයුතු කරනවා නම් එය අධිකරණය කිසිසේත්ම අනුමත කරන්නේ නෑ" යනුවෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය.
"ස්වාමීනි විත්තිකරුවන් ට සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයි. මිනිස්සු දොළොස් දෙනෙක් ජීවිතය ඉල්ලා හැමදාම මේ අධිකරණයේ පෙනී සිටිනවා.පැමිණිල්ල සාක්ෂිකාරියට බලපෑමක් කළේ.එය සාධාරණ නඩු විභාගයකට බාධාවක්" යනුවෙන් නීතිඥ නයන්ත විජේසුන්දර මහතා කළ කරුණු දැක්වීමකින් අනතුරුව මේ බව සඳහන් කරන ලදී.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව සාක්ෂි දුන් අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් (වැඩ බලන) උත්තරා අරුණ කාන්තී මුණසිංහ මහත්මිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සිටි අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විරෝධතාවක් පළ කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිඥවරයා මේ බව සඳහන් කළේය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී පෙර දින මෙම නඩුවේ සාක්ෂි ලබා දුන් කරාපිටිය රෝහලේ ඖෂධවේදී සිරිනාග ඉන්ද්‍රජිත් කොහොඹත් මහතා වැඩිදුරටත් සාක්ෂි ලබා දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරු ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"යම් ඖෂධයක් withhold කිරීම නිසා නතර කර තිබූ බවට ඔබ සාක්ෂි ලබා දුන්නා නේද? withhold කර තිබියද එය පද්ධතිය හරහා දැනුම් දෙන බව ඔබ සඳහන් කළා?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ස්වස්තා පද්ධතියට පිවිසෙන විට එම දැන්වීම පෙනෙන්නට ඇති බවය.
"එම දැන්වීමේ ඉහළ ඇති කතිර සලකුණ ඉවත් කර නේද අනිත් කටයුතු කළ හැකි වන්නේ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු ඊට "ඔව් "යන පිළිතුරු ලබා දුන්නා දුන්නේය.
ඖෂධය නැවැත්වීම සම්බන්ධයෙන් ස්වස්තා පද්ධතියට ප්‍රවේශය ඇති සෑම නිලධාරියකුටම sms පණිවිඩයක් ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළේය. මෙම ඖෂධය with hold කර ඇති බව තමන් වෙබ් අඩවියෙන් දැනගත් බව ඔහු කියා සිටියේය.

"එම දැන්වීම සම්බන්ධයෙන් ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කට උත්තරේ සඳහන් කළාද ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන්ට මතකයක් නොමැති බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයෙහි එම දැන්වීම සම්බන්ධයෙන් සඳහන් නොවන බව නීතිඥවරයා යෝජනා කළ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊට විරෝධය පළ කළාය.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යමක් ප්‍රකාශ නොකර එය මුල්වරට අධිකරණය හමුවේ ප්‍රකාශ කරන අවස්ථාවක පමණක් ඌණතාවයක් ලෙස දැක්විය හැකි බවද අධිකරණයට ප්‍රකාශ නොකරන යමක්, ඌනතාවයක් ලෙස සලකුණු කළ නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී පෙන්වා දුන්නාය.
අදාළ ඖෂධය with hold කිරීමට අදාළව නිකුත් කරන ලද 2 v 28 ලෙස අධිකරණය හමුවේ ලකුණු කර ඇති චක්‍රලේඛය සාක්ෂිකරු හඳුනාගත් අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රශ්න කළේ ද යන්න පිළිබඳව තමන්ට මතකයක් නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.
"ඔබ මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දෙන විට ප්‍රකාශ කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ 'එහිදී මගෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා මේ ලේඛනය ගැන ඇහුවා ද කියලා මට මතක නෑ" යනුවෙනි.
"ස්වස්තා පද්ධතියේ මේ දැන්වීම තිබූ බවට ඔබෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී ප්‍රශ්න කළාද" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ප්‍රශ්නයට විරෝධතාවය පළ කළාය.
සාක්ෂි ආඥාපනත අනුව එවැනි ප්‍රශ්න විමසා අනුසන්දනය කිරීමක් කළ නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නාය.
එහිදී නීතිඥවරයා සඳහන් කළේ මෙහිදී අනුසන්දනය කිරීමක් සිදු නොකරන නමුත් පරස්පරතාවය හෝ ඌනතාවය දැක්වීමට අවශ්‍ය වන බැවින් එම යෝජනාව සිදුකරන බවත්ය.
ඒ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කළ විනිසුරු මඩුල්ල විත්තිය විසින් විමසනු ලබන්නේ විමර්ශනයේදී නිලධාරීන් විසින් සාක්ෂිකරුගෙන් ප්‍රකාශය ලබා ගන්නා අවස්ථාවේදී අදාළ දැන්වීම පිළිබඳව ප්‍රශ්න කළාද යන්න පිළිබඳව වන බවත්, අදාළ විමර්ශනය නිසි පරිදි සිදු කළාද යන්න පිළිබඳව ප්‍රශ්න කිරීමට විත්තියට අයිතියක් ඇති බව ප්‍රකාශ කළේය.
ඒ අනුව එය සාක්ෂි ආඥා පනත අනුව විමසිය නොහැකි ප්‍රශ්නයක් නොවන අතර ඒ අනුව ප්‍රශ්නයට ඉඩ දෙන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
කෙසේ වුවද එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන්ට මතකයක් නොමැති බවය.
එම කරුණු ඌනතාවයන් ලෙස නීතිඥවරයා විසින් අධිකරණයේ අවධානයට යොමු කරන ලදි.
"2023 සැප්තැම්බර් 21 වන විට live ealth bio pharma සමාගමේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ withhold කර ඇති බවට දැන්වීම් පළ කර තිබූ බවට මා යෝජනා කර සිටිනවා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ ඖෂධය ලබාදීම අවහිර කළ නමුත් දිනය සම්බන්ධයෙන් තමන්ට මතකයක් නොමැති බවය.
"එම කරුණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ නොකළ බවට මා යෝජනා කරනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු ඒ සම්බන්ධයෙන්ම තමන්ට මතකයක් නොමැති බව සඳහන් කළේය.
අනතුරුව එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු නොකරන බව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.
අනතුරුව එම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න කිරීම සිදුකළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය" අදාළ දැන්වීම අනුව කුමන නිෂ්පාදකයාගේ නිෂ්පාදන දැ?"යි ප්‍රශ්න කර සිටියේය .එහිදී සාක්ෂිකරු සඳහන් කළේ live ealth bio pharmaceutical private limited ආයතනයේ නිෂ්පාදන එසේ අත්හිටුවා තිබූ බවය.
"ඔබට මතකයක් තිබෙනවාද A 401 සහ 402 කාණ්ඩවලට අයත් ඖෂධ ඔබේ ගබඩාවට ලබාගත් බව?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ එමඟින් ඖෂධ වයල් ලබාගත් බවට මතකයක් ඇති බවය.
"චක්‍රලේඛය මගින් අත්හිටුවා ඇති නිෂ්පාදකයාගේ නිෂ්පාදන ඔබේ ඖෂධ ගබඩාවේ තිබුණාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී එවැනි ඖෂධ නොතිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
"එවැනි චක්‍රලේඛයක් ලැබුණු විට ගබඩා භාරකරුට ඇති වගකීම කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු සඳහන් කළේ "එම ඖෂධය රෝගීන්ට ලබාදීම නැවැත්වීම සිදු කළ යුතු බව"ය.
තමන් විසින් අභ්‍යන්තර කවුළු වලට ඒ බව දැනුම් දී එම ඖෂධය නිකුත් කිරීම නතර කළ අතර එම අවස්ථාවේ සිට වාට්ටු වලට ඖෂධ නිකුත් කිරීම අත්හිටුවන ලෙස දැනුවත් කළ බවද එම කවුළු හරහා වාට්ටුවල සිටින හෙදියන් දැනුවත් කිරීමට කටයුතු කළ බවද සාක්ෂිකරු සඳහන් කළේය.
"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කරන අතරතුර ඔබ ලබා දුන්නේ කුමන ලේඛනද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ඖෂධ ලබාගත් STV පිටපත් අභ්‍යන්තර කවුළු වලට ඖෂධ නිකුත් කළ issue note එකක් cool room වල තත්ත්වය ඇතුළත් වාර්තා තමන් ලබා දුන් බවය.
කරාපිටිය රෝහලට අවශ්‍ය වන ඖෂධ ප්‍රමාණය පිළිබඳව ඇස්තමේන්තු කර වෛද්‍ය සැපයුම් ඒකකයට අදාළ ඇස්මේන්තුව ලබාදීමක් සිදුකරන බව සඳහන් කළ සාක්ෂිකරු එම ඇස්තමේන්තුව ඉක්මවා යන විටදී ඖෂධ නිකුත් කිරීමක් නොකරන බව කියා සිටියේය.
අනතුරුව පැමිණිල්ලේ 96වෙනි සාක්ෂිකාරිය වන ජාතික රෝහලේ ස්නායු වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරිනි බුද්ධිකා හර්ෂණී ජයමාන්න සාක්ෂි ලබාදීම සිදු කළාය.
තමන් ජාතික රෝහලේ ස්නායු වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ වසර 11 ක් පමණ සේවය කළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
තමන් ඉමියුනෝග්ලොබියුලීන් සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර උෂ්ණත්ව දාමය පිළිබඳව දැනුමක් ඇති අතර අදාළ ඖෂධය 2-8 උෂ්ණත්වයේ ගබඩා කළ යුතු කරමින් ඇය සඳහන් කළාය.
මම ඒකකයේ වෛද්‍යවරයාගේ නිර්දේශය මත රෝහල් අධ්‍යක්ෂවරයා ගේ අනුමැතිය සහිතව ඖෂධ ඇනවුම් කිරීම සිදුකරන අතර ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය රැගෙන ඒම සඳහා cool box සකස් කර ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය කාර්ය සහායක වරයකු ඒ සඳහා පිටත් කර යවන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
එම ඖෂධ රැගෙන ඒමෙන් පසු ශීත දාමය ආරක්ෂාව වන පරිදි වාට්ටුව තුළ ඇති ශීතකරණයක එම ඖෂධ තැන්පත් කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
රෝගීන්ට ඖෂධ ලබා දීමේදී එය කාමර උෂ්ණත්වයට පත් කරන අතර එක් වයලය ක් ලබා දී එහි හතරෙන් තුනක් පමණ අවසන් වන විට අනෙක් වයලය ශීතකරණයෙන් පිටතට ලබා ගන්නා බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.

2023 සැප්තැම්බර් මස 22 ස්නායු රෝග දැඩිසත්කාර ඒකකයේ තිබූ ඖෂධ වයල් 12ක් මධ්‍යම ඖෂධ ගබඩාවට භාර දී ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
එම මූලික සාක්ෂි විමසීමෙන් අනතුරුව පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය රෝගීන්ට කෙලින්ම ලබා දෙනවා ද ,එසේ නොමැති නම් සේලයින් සමඟ මිශ්‍ර කර දෙනවාදැයි විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය සෘජුව ලබාදෙන ඖෂධයක් බවය.
අනතුරුව විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විරාජ වීරසූරිය මහතා සාක්ෂිකාරියට ප්‍රශ්න කිහිපයක් යොමු කරමින් ප්‍රශ්නගත ඖෂධයේ නිෂ්පාදන කරු කවුරුන්දැයි විමසීමක් කළේය.
සාක්ෂිකාරිය සඳහන් කළේ තමන්ට ඒ පිළිබඳව මතක් පැහැදිලි මතකයක් නොමැති බවය.
"එසේ අත්හිටවනු ලැබුවේ live ealth bio pharma සමාගමේ ඖෂධ බවට මතකයක් තිබෙනවාද?" යනුවෙන් විනිසුරු විරාජ් වීරසූරිය මහතා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව මතකයක් නොමැති බවය.
මධ්‍යම ඖෂධ ගබඩාවට නැවත ලබා දුන් ඖෂධ කාණ්ඩ අංකය කුමක්දැයි තමන්ට මතකයක් නොමැති බව ද ඒ පිළිබඳව සටහනක් තබා නොමැති බව ද සාක්ෂිකාරිය සඳහන් කළාය.
ඉන් අනතුරුව පැමිණිල්ලෙහි 181 වන සාක්ෂිකාරිය වන අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් (වැඩ බලන) උත්තරා අරුණ කාන්තී මුණසිංහ මහත්මිය සාක්ෂි ලබාදීම සිදු කළාය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශු වෛද්‍ය වේදය පිළිබඳව මූලික උපාධිය ලබා ගත් බව ද 2006 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ බවද 020 වසරේ සිට අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ සේවය කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
ජේෂ්ඨ සහකාර ලේකම්වරියක ලෙස අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කටයුතු කළ තමන් මේ වන විට අතිරේක ලේකම් ( වැඩ බලන) ලෙස කටයුතු කරන බවද අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ රාජකාරී කටයුතු කර වසර හයක අත්දැකීම් ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"අමාත්‍ය මණ්ඩල ඒත් ලේකම්වරයාගේ වගකීම කුමක්දැ"යි සාක්ෂිකාරිය ගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලයට තීරණ ගැනීම සඳහා ලේකම් සහ නිලධාරීන් විසින් සහාය ලබාදෙන බවය. අමාත්‍ය මණ්ඩල හමුවීමක් සිදුවීම සැලසුම් කිරීමේ සිට තීරණ ගැන අවසානය වන තෙක් එම කටයුතු සිදුකරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ කාටද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී ජනාධිපතිවරයාට අගමැතිට හෝ අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකුට එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරන බව සාක්ෂිකාරිය කියා සිටියාය.
අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීමෙන් අනතුරුව ද අමාත්‍යවරයා විසින් අත්සන් කරන ලද පිටපත ආවරණ ලිපිය සමඟ ඡායා පිටපත් සමග ඉදිරිපත් කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
කැබිනට් මණ්ඩල සංදේශයක් සහ කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් අතර ඇති වෙනස සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම කළ සාක්ෂිකාරිය කැබිනට් සංදේශ ඉදිරිපත් කිරීමේදී නිරීක්ෂණ කැඳවීම් සිදුකරන බවද සඳහන් කළාය.
අදාළ නිරීක්ෂණ ලබා දුන් ගැනීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සකස් කරන අතර එළඹෙන සතියේ ඉදිරිපත් කරන පත්‍රිකාව සිකුරාදා දින අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් වෙත යොමු කරන බවද සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය.
"රැස්වීමට ලේකම්වරයා සහභාගී වනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ අතිරේක ලේකම්වරියක හෝ වරයෙකු ඊට සහභාගි වන බවය.
අදාළ කැබිනට් රැස්වීම අවසන් වන තෙක් රැඳී සිටින අතර අමාත්‍ය මණ්ඩල ලේකම් විසින් අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
"අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලේකම් වරයාගේ වගකීම කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී එළඹෙන තීරණය එලෙසම සටහන් කර ගැනීමේ වගකීම ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
"පැ.163 ලෙස අධිකරණය හමුවේ ලකුණු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට අත්සන් තබා ඇත්තේ කවුරුන්ද?" යන්න පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ සෞඛ්‍ය ඇමති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නම සඳහන් මුද්‍රාවක් එහි සටහන්ව ඇති අතර එම සංදේශයේ ඉංග්‍රීසි පිටපතෙහි ඔහුගේ අත්සන සඳහන්ව ඇති බවය.
සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් සම්බන්ධයෙන් සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය එම සංදේශය රාජ්‍ය වියදම් පිළිබඳ කාරක සභාවට 2022 ඔක්තෝම්බර් මස 5 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී 2022 ඔක්තෝම්බර් මස 03 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සිදු කළාය.
"න්‍යාය පත්‍රයට ඇතුළත් නොවී තිබියදී සංදේශයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේදැ"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි පියවරක් ගැනීම සඳහා අවස්ථාවන් දෙකක් ඇති බවය.
සෘජුවම අමාත්‍යවරුන් විසින් එවැනි සංදේශ ඉදිරිපත් කරන අතර කාර්යාලයට ලැබී න්‍යාය පත්‍රයට ඇතුළත් වී නොමැති අවස්ථාවල අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉල්ලීම මත ඒවා රැගෙන ගොස් ජනාධිපතිවරයාට පෙන්වා ඔහුගේ අනුමැතිය යටතේ ඉදිරිපත් කිරීම සිදුකරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"අධිකරණය හමුවේ පැ 163 ලෙස ලකුණු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සහ 163A ලෙස නම්කර ඇති ඉංග්‍රීසි පිටපත රාජ්‍ය වියදම් අනුකාරක සභාවට ඉදිරිපත් කිරීමට තිබියදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමක් සිදුවුණා ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර එම සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ බව ඇය සඳහන් කළාය.
"අපේක්ෂිත අනුමැතියට සහ විසඳුමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේ දී අපේක්ෂිත අනුමැතිය ලැබී ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
පැමිණිල්ලේ මූලික සාක්ෂි විමසීමෙන් අනතුරුව මෙම නඩුවේ 08 වැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජේසුන්දර මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"ඔබ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරිනියක් නේද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් පරිපාලන සේවය පළමුවන ශ්‍රේණියේ නිලධාරිනියක් බවය. තුන්වන ශ්‍රේණියේ නිලධාරිනියක ලෙස පරිපාලන සේවයට එක්වූ තමන් උසස් වීම් දෙකක් ලබා දුන් මේ වන විට පළමු වන සේවයේ පසුවන බවය බවද තමාට ඉහළින් විශේෂ ශ්‍රේණිය පවතින බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
සාක්ෂිකාරිය මෙරට සහ විදේශීය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබමින් ලබාගත් පශ්චාත් උපාධි සම්බන්ධයෙන් විමසීමක් කළ නීතිඥවරයා "ඔබ ලබාගත් පශ්චාත් උපාධි සම්බන්ධයෙන් පැමිණිල්ල ප්‍රශ්න කළේ නෑ . ප්‍රශ්න කළේ පශු වෛද්‍ය උපාධිය ගැන පමණයි නේද"? යැයි සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව විමසීමක් නොකළ බවය.
"ඔබට ආයතන සංග්‍රහය ගැන දැනුමක් තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී තමන්ට ඒ පිළිබඳව දැනුමක් ඇති බව සාක්ෂිකාරිය සඳහන් කළාය.
මූලික සාක්ෂි විභාගයේදී කැබිනට් මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සාක්ෂිකාරියට කළ පෙන්වාදීම සම්බන්ධයෙන් විමසීමක් කළ නීතිඥවරයා "අධිකරණය හමුවේ පැ. 448 A ලෙස නම් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීම එවකට සිටි ජනාධිපති වරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයකට අනුව සිදුකර තිබෙනවා නේදැ"යි සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය.
ඊට සාක්ෂිකාරිය "ඔව්" යන පිළිතුරු ලබා දුන්නාය. පැය 48 අමාත්‍ය මණ්ඩල සංදේශයේ හතරවන ඡේදයට අවධානය යොමු කළ නීතිඥවරයා එහි අමාත්‍ය මණ්ඩලයට සාමූහික වගකීමක් තිබීම සම්බන්ධයෙන් වන කොටසක් ඇතුළත් වන බව පෙන්වා දෙමින් "ඔබ අමාත්‍ය මණ්ඩලය කාර්යාලයේ වසර පහක පමණ සේවය කළ ජේෂ්ඨ නිලධාරිනියක් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම කියන්නේ කුමක්ද යනුවෙන් විමසීමක් කළේය.
මෙම මේ වසර වන විට අමාත්‍ය මණ්ඩලයේ වසර හයක සේවා කාලයක් සම්පූර්ණ කරන බව සඳහන් කළ සාක්ෂිකාරිය "තීරණයක් ගත්තාම විසම්මුතික අදහස් තිබුණත් එය සටහන් කරගන්නේ නෑ. සාමූහික ලෙස තමයි තීරණය ගන්නේ" යනුවෙන් ඊට පිළිතුරු ලබා දුන්නේය දුන්නාය. අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල්වරිය "සාමූහික වගකීම ගැන කතා කරන්නෙ නෑ කියා ඇය කිව්වේ? ප්‍රශ්නය ඇහුවේ ආකාරයට නෙවෙයි" යනුවෙන් සඳහන් කළාය.
"ස්වාමීනි මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවශ්‍ය යි. සාක්ෂිකාරිය ප්‍රශ්නවලට පිළිතුරු දීමට දැනුවත් කමක් තියෙන නිලධාරිනියක්. ඇයට මග පෙන්වීම් කිරීම අවශ්‍ය නෑ" යනුවෙන් නීතිඥ නයන්ත විජේසුන්දර මහතා එහිදී සඳහන් කළේය.
එම අවස්ථාවේදී සාක්ෂිකාරිය ව අධිකරණ ශාලාවෙන් පිටතට යැවූ අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සිය විරෝධතාවය පැහැදිලි කිරීමෙන් අනතුරුව අධිකරණය පෙන්වා දුන්නේ නීතිඥවරයා විසින් ප්‍රශ්න කළේ 'කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම" සම්බන්ධයෙන් වන බවය.

අනතුරුව සාක්ෂිකාරියව නැවත අධිකරණය හමුවට කැඳවූ අතර සමූහික වගකීම සම්බන්ධයෙන් නීතිඥවරයා නැවත වරක් සාක්ෂිකාරියකින් විමසා සිටිය අවස්ථාවේදී ඇය සඳහන් කළේ " අමාත්‍ය මණ්ඩලය ගන්නා තීරණ සම්බන්ධයෙන් විසම්මුතික අදහස් තිබුණත් ඒ සම්බන්ධයෙන් සටහන් කිරීමක් සිදු නොකරන බව"ය.
"මා යෝජනා කරනවා කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බව" යනුවෙන් නීතිඥවරයා පවසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය ද එය අනුමත කළාය.
ඔබ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක් ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාව ගැන යවස්ථාවේ හතළිස් තුන දෙක අනුව ඒ අවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට බැඳීම් සිටින බව සඳහන් වෙනවා යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය ඔව් යන පිළිතුරු ලබා දුන්නාය ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාවේ තිබෙන එම වගකීම තමයි මෙම කැබිනට් සංදේශයේ තියෙන්නේ නේද යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී ද සාක්ෂිකාරිය ඔව් යන පිළිතුරු ලබා දුන්නාය
"කැබිනට් මණ්ඩලයේ යම් කරුණක් සාකච්ඡා කරන්න වන විට විසම්මුතික මතයක් ඉදිරිපත් වුවත් එය සටහන් කර ගන්නේ නැති බව ඔබ සඳහන් කළා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "ඔව්, එහිදී සටහන් වෙන්නේ බහුතර මතය මත ගන්නා අවසානාත්මක තීරණයයි "යනුවෙන් සඳහන් කළාය.
"කැබිනට් මණ්ඩල සංදේශයක් හෝ වෙනත් විෂයක් සාකච්ඡාවට බඳුන්වන අවස්ථාවලදී කැබිනට් මණ්ඩල ලේකම්වරයා සහ තවත් නිලධාරීන් ඉන්නවාද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ කැබිනට් මණ්ඩල ලේකම්වරයාට අමතරව අතිරේක ලේකම් වරයෙකු හෝ වරියකුත් කැබිනට් මණ්ඩලය තුළ සිටින බවත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් හැර සිටින නිලධාරීන් දෙදෙනා ඔවුන් පමණක් වන බවත්ය.
"ඔබ අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ වසර හයක් සේවය කළ බව කිව්වා. ඔබ කැබිනට් සාකච්ඡා වලට සහභාගි වෙලා තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "තමන් එවැනි සාකච්ඡා වලට සහභාගී වී ඇති බවත් දළ වශයෙන් එවැනි රැස්වීම් කීයකට සහභාගි වී තිබෙනවාද? යන්න පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බවත්" සාක්ෂිකාරිය සඳහන් කළාය.
"නීතිඥවරයා:කැබිනට් ණ්ඩලයේදී ඇමතිවරුන්ට අදහස් දැක්වීමට අවශ්‍ය අවස්ථාව තියෙනවද?"
සාක්ෂිකාරිය: ඒ සඳහා අවකාශ තිබෙනවා.
නීතිඥවරයා විසම්මුතික අදහසක් තිබුණත් කියන්න පුළුවන්?
සාක්ෂිකාරිය: ඔව් කියන්න පුළුවන්.
නීතිඥවරයා :යමකට එකඟ වන්නේ නැත්නම් ඒකත් කියන්න පුළුවන්.
සාක්ෂිකාරිය: ඔව්, ඒ බව කියන්න පුළුවන්
නීතිඥවරයා: කාටවත්ම බලපෑමක් කරන්නේ නෑ කවුරුත් කට පියාගෙන ඉන්න, කතා කරන්න එපා කියලා?
සාක්ෂිකාරිය :ඔව් ,මගේ සේවා කාලය තුළ එවනි තත්ත්වයක් දැක නෑ
එම අවස්ථාවේදී සාක්ෂිකාරිය සතුව ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාව තිබෙන බව අධිකරණයේ අවධානයට ලක් කළ නීතිඥවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් සටහන් වන අතර 43(2), වගන්තිය යටතේ අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම පිළිබඳවත්43(3) යටතේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපති හෝ අගමැතිවරයා කටයුතු කරන බවත් සඳහන් වීම සම්බන්ධයෙන් සාක්ෂිකාරියගේ අවධානය යොමු කළේය.
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ මූලාසනය හොබ වන්නේ ජනාධිපතිවරයා විසින් බවය.
2022 මැයි සහ ජුනි මස වන විට ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ බවත් පෙන්වා දුන් නීතිඥවරයා "සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් සංදේශය ඉදිරිපත් කරන විට එහි මූලාසනය ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු විසින් දරා තිබිය යුතුයි නේද?" යනුවෙන් සාක්‍ෂිකාරියගෙන් විමසීමක් කළ අතර සාක්ෂිකාරිය ඊට "ඔව්" යන පිළිතුරු ලබා දුන්නාය.

"ජනාධිපතිවරයා මූලාසනය හොබවන පුද්ගලයා ලෙස මොන වගේ භූමිකාවක්ද කරන්නේ?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "රැස්වීම මෙහෙයවන්නේ ජනාධිපතිතුමා අවසානාත්මක තීරණය දැනුම් දෙන්නෙත් ජනාධිපතිතුමා. කැබිනට් සංදේශය සාකච්ඡාවට ඉදිරිපත් වූ විට ඒ සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබඳව අපි ජනාධිපතිවරයාගෙන් විමසනවා" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය
"ජනාධිපතිතුමා තනි තීරණ ගන්නේ නෑ කැබිනට් මණ්ඩල සාමාජිකයන් විසින් තීරණය ගනු ලබනවා. ඒ තීරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ හැමෝම බැඳී සිටිනවා?" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එය අනුමත කළාය.
"කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ විට එය සාකච්ඡාවට ගැනීමේදී ජනාධිපතිට හෝ ඇමතිවරයෙකුට එහි තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් මොකද කරන්නේ? "යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ " වැඩිපුර තොරතුරු දැන ඉදිරිපත් කිරීමට ඒ එහිදී ඉල්ලීම් කළ හැකි බව"ය . අදාළ සංදේශය ඉදිරිපත් කරන ඇමතිවරයාට ද වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඊළඟ කැබිනට් රැස්වීම තෙක් කල් තබන ලෙස ඉල්ලීමක් කළ හැකි බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
නීතිඥවරයා :මේ නඩුවේදී පැමිණිල්ල විසින් කැබිනට් සංදේශක් සහ එහි ඉංග්‍රීසි පිටපතක් 163 සහ 163 A ලෙස ඔබගේ අවධානයට ලක් කලා. ඒ කැබිනට් සංදේශය සම්බන්ධයෙන් ඕනෑම ඇමතිවරයකු ට වැඩි විස්තර ඉල්ලන්න අවකාශ තිබුනද?
සාක්ෂිකාරය: ඔව් ස්වාමීනී,අවකාශ තිබුණා
නීතිඥවරයා ඒක කොහොමද ඔබ දන්නේ?
සාක්ෂිකාරිය: එම කැබිනට් තීරණය අනුමත කරන්න කලින් කියන්න පුළුවන් ඊළඟ රැස්වීමේදී එය සලකා බලන්න කියලා.
නීතිඥවරයා: ඔබ ළඟ තියෙන ලිපි ගොනුවල කොහේවත් නෑ, කිසිම ඇමතිවරයක් එවැනි ඉල්ලීමක් මෙම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් කළ බවට?
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනී
එම අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩල මාර්ගෝපදේශය වෙත අවධානය යොමු කළ නීතිඥවරයා " එහි සඳහන් වෙනවා අමාත්‍යාංශ ලේකම්වරයකු විසින් කටයුතු කළ ආකාරය පිළිබඳව නේද?" යනුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය "කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමේදී කළ යුතු සහ නොකළ යුතු කරුණු මෙහි තියෙනවා, ලේකම්වරයාගේ වගකීමක් තමයි ඉදිරිපත් කළ යුතු කරුණු පමණක් ඉදිරිපත් කිරීම. අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීවරයා ලේකම්තුමා .ඔහු තමයි එම කටයුතු කරන්නේ" යනුවෙන් සාක්ෂිකාරිය පිළිතුරු ලබා දුන්නාය.
"අමාත්‍යාංශයක පරිපාලන අධිකාරිය වන්නේ අමාත්‍යාංශ ලේකම් ද?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී "අදාළ අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත පරිපාලන කටයුතු ලේකම්වරයා විසින් සිදුකරන බවද එම කටයුතු සිදුකිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා බැඳී සිටින බව"ද සාක්ෂිකාරිය සඳහන් කළාය
"අමාත්‍යාංශ ලේකම්වරයා බැඳී සිටිනවාද නීතිය අනුව කටයුතු කරන්න?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සෘක්ෂිකාරිය සඳහන් කළේ "ඔව් අනිවාර්යයෙන්ම එය අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් වුවත් නීතිය අනුව කටයුතු කළ යුතුයි" යනුවෙන් සඳහන් කළාය.
"දේශපාලන තීරණයක් වුවත් වෙනත් තීරණයක් වුවත් ලේකම්ට බලයක් තියෙනවා නීතියට අනුව කටයුතු කරන්න" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී නැගී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "ස්වාමීනි, ඒ සම්බන්ධයෙන් මා විරෝධය පළ කරනවා ඒ ගැන අහන්න බෑ" යනුවෙන් සඳහන් කළාය.
"ඇමති සහ ලේකම් ගැන ඔවුන් අතර ඇති සම්බන්ධය ගැන ම තමයි මේ ප්‍රශ්නය අහන්නේ ප්‍රශ්නය අහන්න පුළුවන්" යනුවෙන් සභාපති විනිසුරුවරයා හිදී ප්‍රකාශ කළේය.
නීතිඥවරයා:ඔබතුමිය අතිරේක ලේකම් කෙනෙකු ලෙස කටයුතු කරන්නේ, කැබිනට් මණ්ඩලයේ වසර හයක් සේවය කර තිබෙනවා. ඔබට රාජකාරීමය දැනුමක් තිබෙනවාද ඇමතිවරයා සහ ලේකම් අතර ඇති සහ සම්බන්ධය පිළිබඳව?
සාක්ෂිකාරිය : නෑ. ඒ ගැන අත්දැකීමක් නෑ .
නීතිඥවරයා: කැබිනට් මණ්ඩලයේ කාලයක් සේවය කිරීම නිසා ඇමති හා ලේකම් අතර තියෙන නීතිමය සම්බන්ධය ගැන කියන්න පුළුවන්ද?
එම අවස්ථාවේදී අසුනින් නැගී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකාරියට "ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න එපා" යනුවෙන් සඳහන් කළ අතර එම ප්‍රශ්නයට විරෝධය පළ කරන බව සඳහන් කළාය.එම අවස්ථාවේදී සාක්ෂිකාරිය" මට ඒකට උත්තරයක් දෙන්න බෑ "යනුවෙන් කියා සිටියාය.
නීතිඥවරයා: ස්වාමීනි මේ ගැන මා සඳහන් කළ යුතුයි මෙම විරුද්ධ වීම වැරදියි. සාක්‍ෂිකාරිය ට උත්තර දෙන්න එපා කිව්වා .ඒ සමගම ඇය එම උත්තර ලබා දෙන්න බෑ කිව්වා .පැමිණිල්ලේ මෙම හැසිරීම ප්‍රශ්නයක්. නීතිපතිවරයාට මෙය පැමිණිලි කර කළ යුතුයි.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: සාක්ෂිකාරිය උත්තරය ලබාදීමට පෙර විරුද්ධත්වය දැක්වීමට තමයි එම මැදිහත්වීම කළේ කියන එක අධිකරණයේ අදහස. ඊට පෙරත් සාක්ෂිකාරිය එවැනි උත්තර ලබා දී තිබුණා.පැමිණිල්ල ට අවශ්‍ය නම් සාක්ෂිකාරියට යමක් කීමට පැමිණිල්ල ට අවශ්‍ය නම් එය අධිකරණයට දිය යුතුයි .එවිට අධිකරණයට මැදිහත් වී එය කළමනාකරණය කළ හැකියි.
නීතිඥවරයා: ස්වාමීනී මෙය බරපතල තත්ත්වයක්. මෙතන මිනිසුන් 12ක් තමන්ගේ ජීවිත දොළහක් වෙනුවෙන් දිනපතා අධිකරණය හමුවේ පෙනී ඉන්නවා .යම් හෙයකින් ඔවුන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවෙනවා. මට නිහඬව ඉන්න පුළුවන්, නමුත් විත්තිකරුවන්ට සාධාරණ නඩු විභාගයක් අවශ්‍යයි. එම නඩු විභාගය ලබාදීමට ගරු අධිකරණය උත්සාහ කරනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියට උත්තර දෙන්න එපා කිව්වා. ඒ වහාම ඇය උත්තර දීම ප්‍රතික්ෂේප කළා .එය විත්තිකාරියට බලපෑම් කිරීමක්. සාධාරණ නඩු විභාගයකට බාධාවක්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: ස්වාමීනී, මෙහිදී මගේ උගත් මිත්‍රයා කතා කරන්නේ ඔහුගේ සේවා දායකයන් ගැන. නීතිපතිවරයා පෙනී සිටින්නේ මේ රටේ දහස් ගණනක් වූ රෝගීන් වෙනුවෙන්. ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කිරීමට මට අයිතියක් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නීතිඥවරයා සහ නියෝජ් සොලිස්ටර් ජෙනරාල්වරිය කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශ කරමින් "අදාළ ප්‍රශ්නයට විරෝධය පළ කිරීමට පැමිණිල්ල විසින් අවස්ථාවේදී කටයුතු කළ බව අධිකරණයේ හැඟීමයි. සාක්ෂිකාරියට" පිළිතුරු දෙන්න එපා" යනුවෙන් කළ සඳහන අධිකරණයේ ද අවධානයට ලක්වුණා. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වුණත් අධිකරණයට පැමිණි විට ඔවුන් අධිකරණයේ සාක්ෂිකරුවන්. ඔවුන්ට බලපෑම්වන ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් අනුමත කරන්න බෑ. සාක්ෂිකරුට යමක් කීමට තිබෙනවා නම් එය අධිකරණයට දන්වා සිටින්න. ඒ එවිට ඒ කළමනාකරණය කරන්න අධිකරණයට පුළුවන්" යනුවෙන් සඳහන් කළේය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කළ විනිසුරු මඩුල්ල වැඩිදුර විභාගය කල් තැබීමට නියම කළේය.
ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකාරියට නියම කරන ලදී.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය එඅධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

