පවතින නීතිය අනුව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් (වැඩ බලන) උත්තරා අරුණ කාන්තී මුණසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව සාක්ෂි දුන් ලබා දෙමින් සිටි අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
නඩු විභාගය ඉකුත් 10 වැනිදා ප්‍රමාද වී ආරම්භ වූ අතර මෙම නඩුවට සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක අදාළ ව නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටිමට සිදු වූ බැවින් තමන්ට මෙම අධිකරණයට පැමිණීමට ප්‍රමාද වූ බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියාය.
එහිදී පෙරවරු 09.45 ට නඩු විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට පැමිණි නොසිටීම හේතුවෙන් අධිකරණ කටයුතු පැයකට වැඩි කාලයක් ප්‍රමාද වී ආරම්භ වීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සහ නීතිඥ නයන්න විජේසුන්දර මහතා විනිසුරු මඩුල්ල හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩුවකට පෙනී සිටීමට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට ඇති බැවින් අධිකරණ කටයුතු මඳක් ප්‍රමාද වී ආරම්භ වන බව පෙරවරුවේ තමන් දැනගත් බවත්, ඒ අනුව අධිකරණය රැඳී සිටි නමුත් පැයකට අධික කාලයක් ගත වූ බවත් එහිදී නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සඳහන් කළේය. "ස්වාමීනී අපිටත් වෙනත් අධිකරණවල නඩු තිබෙනවා. ජනාධිපති නීතිඥවරුත් මෙම නඩුව වෙනුවෙන් මෙම අධිකරණයේ පෙනී සිටිනවා. අනෙකුත් නඩුවල තත්ත්වයන් කළමනාකරණය කරගෙන තමයි මේ අධිකරණයේ පෙනී සිටින්නේ. මෙය කාලය නිකරුණේ ගත කිරීමක්. එම නඩුවට පෙනී සිටීමට තිබෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දන්නේ අද උදේ නෙමෙයි .නඩුවක් පසුගිය මැයි 15 වෙනිදාත් තිබුණා. එදත් මේ වගේම සිද්ධියක් වුණා. මේ පිළිබඳව කලින් අධිකරණයට දැනුම් දෙන්න හෝ තිබුණා. මෙය අධිකරණයේ ගෞරවය ක්‍රියා කලාපය පිළිබඳ ප්‍රශ්නයක් .මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා." යනුවෙන් නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සඳහන් කළේය.

එහිදී ඒ පිළිබඳව කරන දැක්වූ ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නවාන මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක් කර තිබුණේ නම් ඒ අවස්ථාව වන විට තමන් පෙනී සිටිය යුතුව තිබූ ,වෙනත් අධිකරණ වල පවතින නඩු වලට තමන්ට පෙනී සිටීමේ හැකියාවක් තමන්ට තිබූ බවය. එහෙත් මෙකී නොසලකා හැරීමේ ක්‍රියාව නිසා තමන්ගේ කාලයත්, මෙම අධිකරණය කාලයත් නිකරුණේ නාස්තිය ට පත් වූ බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඒ පිළිබඳව සලකා බලන ලෙස විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටින බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඉන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සඳහන් කළේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු සාක්ෂියට සිතාසි මත අධිකරණයට කැඳවා නැවත කැඳවීමේ කොන්දේසිය මත මුදා හැර ඇති බවය. එම සාක්ෂිකරුවන් අතුරෙන් මාස ගණනකට පෙර සිතාසි නිකුත් කළ සාක්ෂිකරුවන්, විත්ති පාර්ශවයට කිසිදු දැනුම් දීකින් තොරව හදිසියේම සාක්ෂි ලබා දීමට කැඳවීම නිසා ඔවුන් ගෙන් හරස් ප්‍රශ්න විමසීම් සිදු කිරීමේදී දැඩි අපහසුතාවයකට පත්වන බව නීතිඥවරයා සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී සඳහන් කළේය.
එම සාක්ෂි ඊළඟ දිනයේදී සාක්ෂි ලබාදීම සඳහා කැඳවන සාක්ෂිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව පෙර දිනයේ දී අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියට නියෝග කරන ලදී.
අනතුරුව පැමිණිල්ලේ 181වන සාක්ෂිකාරිය වන අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් (වැඩ බලන) උත්තරා අරුණ කාන්තී මුණසිංහ මහත්මිය ගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම 08 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ආරම්භ කළේය.
සාක්ෂි විමසන අවස්ථාවේදී අවධානයට යොමු කළ පැ. 448 ලෙස ලකුණු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධයෙන් සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නීතිඥවරයා "2020 වන විට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද එම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව කැබිනට් මණ්ඩල සංදේශ නිකුත් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ යේ සකස් වී ඇති බව පෙන්වා දෙමින් එහි 4 වන ඡේදයේ සාමූහික වගකීම සම්බන්ධයෙන් සඳහන් වනවා නේද ?"යනුවෙන් සාක්ෂිකාරිය ගෙන් විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ එහි එවැනි සඳහනක් ඇති බවය.
"එහි සඳහන් වෙනවා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සහ ඊට අදාළ තීරණවල රහස්‍ය භාවය රැක ගනිමින් කටයුතු කළ යුතු බව. රහස්‍ය භාවය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ?සාක්ෂිකාරිය ඔබ ඒ ගැන දන්නවාද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ අමාත්‍ය මණ්ඩලය තීරණ වලට එළඹී එම තීරණ දැනුම් දෙන තුරු ඒ සම්බන්ධයෙන් වන සියලු තොරතුරු රහස්‍ය ලෙස තබා ගැනීම සිදුකරන බවය .එය රහස්‍ය භාවය ලෙස හඳුන්වන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවක් හා ඒ සම්බන්ධයෙන් කතා කරන සියලු තොරතුරු වල රහස භාවය යටතට ගැනෙනවා ද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට "ඔව්" යන පිළිතුරු ලබා දුන්නාය.
"තීරණයකට ආවම කැබිනට් මණ්ඩලය සාමූහිකව බැඳී සිටින තීරණය තමයි දැනුම් දෙන්නේ?" යැයි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය එලෙස එවැනි තීරණය ලෙස දැනුම් දෙන බව කියා සිටියාය.
කෙසේ වුවද අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇමැතිවරයා සිදුකළ කාර්යය හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් සටහන් තබා ගැනීමක් සිදු නොකරන බවද, ඊට හේතුව රහස්‍ය භාවය ආරක්ෂා කිරීම සඳහා ඇති වගකීම වන බවද, සාක්ෂිකාරිය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
එහි ඇති 52(1) එක වගන්තියට සාක්ෂිකාරයගේ අවධානය යොමු කළ නීතිඥවරයා ඒ අනුව කැබිනට් අමාත්‍යංශයක ලේකම්වරු පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරන්නේ දැයි සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය. සාක්ෂිකාරිය ඊට "ඔව්" යන පිළිතුරු ලබා දුන්නාය.
'කැබිනට් අමාත්‍යාංශයක ලේකම් පත්කිරීම සම්බන්ධයෙන් අදාළ ඇමතිවරයාට කිසිම වගකීමක් නැද්ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් යමක් කීමට තමන් නොදන්නා බවය. "ස්වාමීනී, මා නියෝජනය කරන්නේ අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය, අමාත්‍යංශ ලේකම්වරු පත් කරන්නේ ජනාධිපති විසින්. ඒ සම්බන්ධ සියලු කටයුතු කරන්නේ ජනාධිපති කාර්යාලය. නමුත් ඒ බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බව මා පිළිගන්නවා." යැයි සාක්ෂිකාරිය පැහැදිලි කිරීමක් කළාය.
එම අවස්ථාවේදී අධිකරණය හමුවේ ලකුණු කර ඇති 75 ගොනුවේ පළමුවන පිටුවේ ඇති ජනාධිපති කාර්යාලය ලිපි ශීර්ෂය යටතේ මෙම නඩුවේ 6 වන චූදිත වන චන්ද්‍රගුප්ත තේනුවර මහතාට නිකුත් කර, අමාත්‍ය මණ්ඩල කාර්යාල යටත් පිටපත් කර ඇති ලිපිය සාක්ෂිකාරියගේ අවධානයට යොමු කරන බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළාය.
"ස්වාමීනි, මෙම සාක්ෂිකාරිය අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේ තමයි නියෝජනය කරන්නේ. ඇයට ජනාධිපති කාර්යාලය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්නට බැහැ. ඒ නිසා මේ ප්‍රශ්නයට මම විරුද්ධ වෙනවා" යනුවෙන් ඇය සඳහන් කළාය.
එහිදී නීතිඥවරයා සඳහන් කළේ "මේ කියන ලිපිය අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලේකම්වරයාට පිටපත් වී ඇති බවත් ඒ බව එහි සඳහන් වන බවත්ය.
අදාළ "ලිපිය හඳුනා ගන්නවාදැ"යි සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අතර තමන්ට එය හඳුනාගත හැකි බව සාක්ෂිකාරිය කියා සිටියාය .කෙසේ වුවද එහි මුල් පිටපත තමන් දැක නොමැති බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
"ජනාධිපති කාර්යාලයෙන් පිටපත් අමාත්‍ය මණ්ඩලයට කාර්යාලයට යොමු කළ බවට සඳහනක් මෙහි තිබෙනවා නම් එසේ නොකර ජනාධිපති ලේකම් කාර්යාලය බොරු කරන්නේ නෑ නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ප්‍රශ්නයට ද තමන් විරුද්ධ වන බව සඳහන් කළාය.
ඇය සදහන් කළේ මෙම ලේඛනයේ ඡායාස්ථ පිටපත් පමණක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය.
මෙම ලේඛනය ලකුණු කිරීමේ අවශ්‍යතාවයක් ඇති බව සාක්ෂි නීතිඥවරයා සඳහන් කළේය
නීතිඥවරයා එහිදී කියා සිටියේ "ස්වාමීනි මෙම ලේඛනය ලබා ගත්තේ පැමිණිල්ල විසින්ම ලබා දුන් ගොනුවකින්. ඒ අනුව පැමිණිල්ල සතුව එම ලේඛනය තිබෙනවා"යනුවෙන් සඳහන් කළේය.
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේ මෙම ලේඛනය ඔප්පු කිරීමේ භාරයට යටත්ව ලකුණු කිරීමට අවසර දෙන බවය.
එහිදී නැවත විරෝධතාවයක් පළ කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය " ස්වාමීනි මෙම සාක්ෂිකාරිය මෙම ලිපි දකින්නේ නැතුව කොහොමද ඒ ගැන සාක්ෂි ලබාදෙන්නේ? මෙම ප්‍රශ්න කිරීමට මා විරුද්ධයි" යනුවෙන් සඳහන් කළ අවස්ථාවේදී "ස්වාමීනී මෙම ලිපිය අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයට පිටපත් කර තිබෙනවා. සාක්ෂිකාරිය නියෝජනය කරන්නේ එම ලේකම් කාර්යාලය අනුව මේ සාක්ෂිකාරියගෙන් මේ ප්‍රශ්නය විමසිය හැකියි" යනුවෙන් නීතිඥවරයා කියා සිටියේය.
එම ප්‍රශ්නය විමසීම සඳහා ඉඩ ලබාදෙන බව සභාපති විනිසුරුවරයා එහිදී කියා සිටියේය." ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) යටතේ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයෙක් අමාත්‍යවරයාගේ විධානයන්ට සහ පාලනයට යටත්ව මෙහෙයවන්නේ කියලා තියෙනවා නේද?" යැයි නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අවස්ථාවේදී "ඔව් එය හරි, එහෙම තියෙනවා" යනුවෙන් ඇය පිළිතුරක් ලබා දුන්නාය.
"එහෙම තිබ්බත් අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කරන්න ඕන ලේකම්වරු පිළිබඳව ව්‍යවස්ථාමය නියාමයන්ට අනුව නේද?යන ප්‍රශ්නය යොමු කළ අවස්ථාවේදී ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය තමන් එම ප්‍රශ්නයට විරුද්ධ වන බව ප්‍රකාශ කළාය.
එහිදී විනිසුරු සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අදාළ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන ලෙස සාක්ෂිකාරියට දන්වා සිටියේය.
"ස්වාමීනී, ජනාධිපතිතුමා තමයි ලේකම්වරුපත් කරන්නේ. 1979 ලේකම්වරු සඳහා වන ව්‍යවස්ථාවක් තියෙනවා. ලේකම්වරුට පරිපාලනමය පරිපාලනය සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තියෙනවාද කියලා මට දැනුමක් නෑ. සියලුම රාජ්‍ය නිලධාරීන් මුදල් රෙගුලාසි ආයතන සංග්‍රහය නීති රීතිවලට අනුව කටයුතු කළ යුතුයි" යනුවෙන් ඇය සඳහන් කළාය.
"පරිපාලන සේවයේ නිලධාරියෙකුට ඇමතිවරයා ජනාධිපතිවරයා අගමැතිවරයා හෝ කවුරු හෝ යම් දෙයක් කරන්න කියා උපදෙසක් දුන්නොත් එය කළ යුත්තේ නීතිමය රාමුවක් ඇතුළත ද?" යන ප්‍රශ්නය නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදීද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම ප්‍රශ්නය සම්බන්ධයෙන් විරෝධතාවයක් ඉදිරිපත් කළාය.
කෙසේ වුවද අදාළ ප්‍රශ්නයට අවසර දෙන බව සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය.
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ "ස්වාමීනී අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය නියෝජනය කරමින් සාක්ෂි ලබාදීමට මා පැමිණියේ .මට සාක්ෂි දෙන්න පුළුවන් එම අමාත්‍ය මණ්ඩලයේ සම්බන්ධ තීරණ පිළිබඳව පමණයි. "යනුවෙනි.
" ඔබ පරිපාලන සේවයේ හිටිය නිසා මේ ගැන පැහැදිලි කරන්න, රාජ්‍ය නිලධාරියෙක් ම පවතින නීතිමය රාමුව තුළ කටයුතු කළ යුතුයි නේද ?"යන ප්‍රශ්නය නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය ස්වාමීනී, පවතින නීතිය අනුව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතුයි කියන එක " පිළිතුරක් ලෙස ලබා දුන්නාය.
අනතුරුව සාක්ෂිකාරයගේ අවධානය පැය 448 A(2) වෙත යොමු කරමින් "එය අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනා සහ සන්දේශ පිළියෙළ කිරීමේදී අවධානය යොමු කළ යුතු කොටසක් නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළේය.
ඊට "ඔව්" යන පිළිතුරු සාක්ෂිකාරිය ලබාදීමෙන් අනතුරුව "එහි තිබෙනවා නේද අමාත්‍ය මණ්ඩලය සම්මත කරන යෝජනාව වගකීම අමාත්‍ය මණ්ඩලය වෙත පැවරෙන බව" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අතර සාක්ෂිකාරිය ඊට ද "ඔව්" යන පිළිතුරු ලබා දුන්නාය.
"ඉන් අදහස් කරන්නේ අදාළ යෝජනාවේ වගකීම ඇමතිවරයා ගන්නවා කියන එකද?' යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ " එම කාරණය කැබිනට් මණ්ඩලය සාකච්ඡා වී තීරණයකට පැමිණි විට ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමකින් බැඳී සිටින බවය.

"අමාත්‍ය මණ්ඩලය සංදේශයක නිරවද්‍යතාවය පිළිබඳ වගකීම අමාත්‍යංශ ලේකම්වරයාට පැවරෙන බවට සඳහනක් එහි තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළ අවස්ථාවේදී එවැනි සටහනක් ඇති බවද පරිපාලන කටයුතු සිදුකිරීම අමාත්‍යාංශ ලේකම් විසින් සිදුකරන බවද, සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ඇමතිවරයාගේ උපදෙස් මත සංදේශ සකස් කිරීම ලේකම්වරයා විසින් සිදුකළ යුතු අතර ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස නිවැරදි තොරතුරු ලබාගෙන අදාළ සංදේශ සකස් කල යුතු බව ඉන් අදහස් වන බව" සාක්ෂිකාරිය කරුණු පැහැදිලි කරමින් සඳහන් කළාය.
"අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු සහ අත්‍යවශ්‍ය කරුණු සම්බන්ධ කරුණු සහ ආකෘති අදාළ මාර්ගෝපදේශ වල දැක්වෙනවා නේදැ" නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි සඳහනක් ඇති බවය.
මෙහි එක් කොටසකට අදාළව සාක්ෂිකාරිය විසින් සාක්ෂි ලබාදී ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
නීතිඥවරයා : අමාත්‍ය මණ්ඩල සංදේශයකට නියමිත ආකෘතියක් නැති බව එහි සඳහන් වනවා නේද
සාක්ෂිකාරිය : ඔව් ස්වාමීනි
නීතිඥවරයා එහිදී පිළිපදින්න ඕන මෙයයි කියා සෘජු ආකෘතියක් නෑ?
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී
නීතිඥවරයා: කරුණු අනුව සංදේශයේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්.
සාක්ෂිකාරිය: ඔව්, ස්වාමීනී
නීතිඥවරයා: එහි තිබෙනවා නේද සංදේශයක් තුළ අත්‍යවශ්‍යයෙන්ම අවධානයට යොමු විය යුතු කරුණු පහක් සම්බන්ධයෙන්. සංදේශයේ මාතෘකාව, පසුබිම, විස්තරය, සහ සාධාරණීකරණය, යෝජනා සහ නිර්දේශ, අත්සන සහ දිනය ඊට අදාළ වන බව?
සාක්ෂිකාරිය :ඔව් ස්වාමීනී
නීතිඥවරයා: පිළිපදින්න ඕන මෙයයි කියා සෘජු ඍජු ආකෘතියක් නෑ?
සාක්ෂිකාරිය: එවැනි ආකෘතියක් පිළිබඳව සඳහනක් නෑ
කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් වූ විට ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය භාෂා ත්‍රිත්වයෙන් ලැබිය යුතු අතර පිටපත් විස්සක් ලැබිය යුතු බවය. ඒවා ලියාපදිංචි කර සංදේශ අංශයට යොමු කරන අතර අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් එය සලකා බලා අනු කමිටුවකට යොමු කරනවාද නැතහොත් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනවාද යන්න පිළිබඳව අවශ්‍යතාවය මත තීරණය කරන බව සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
තොරතුරු නොමැති නම් කැබිනට් ලේකම්වරයාට අදාළ අමාත්‍යාංශයට නැවත එය යොමු කිරීම සඳහා බලය ඇති බවද සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
"යම් සංදේශයක් ලැබුණු විට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විස්තර ලේකම්වරයා ගෙන් ඉල්ලා සිටිනවාද? යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ " එසේ විස්තර ලබා ගැනීමක් සිදු නොවන නමුත් විෂය අනුව නිරීක්ෂණ ලබා ගැනීම සිදුකරන බවය.
එය අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් සිදුකරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"හදිසි ප්‍රසම්පාදනය යටතේ වෛද්‍ය උපකරණ ලෙස ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩල කාර්යාලය ලැබුණේ කවදාද?"යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "එය 2022වසරේ මැයි මස 31 වැනිදා ලැබුණු බව" සාක්ෂිකාරිය කියා සිටියාය.
"ඊට අදාළ අමාත්‍ය මණ්ඩලයට රැස්වීම 2022/06/05 පැවැත්වීමට නියමිතව තිබූ බව හරිද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "එය සෘජුවම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකර 03 වෙනිදා පැවති රාජ්‍ය වියදම් පිළිබඳ අනුකාරක සභාවට ඉදිරිපත් කර ඇති බවය.
එහි නිර්දේශ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ලැබී ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.
අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කරන කරුණු සම්බන්ධයෙන් ලිඛිත සටහන් තබා නොගන්නා බව සාක්ෂිකාරිය මූලික සාක්ෂි වලදී ප්‍රකාශ කර නමුත් එම රැස්වීමට සහභාගි වූවන්ගේ ලැයිස්තුවක් ඇති බව නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේය.
විසින් මීට පෙර කරන ලද නියෝගයක් මත සාක්ෂිකාරිය විසින් එම නාම ලේඛන අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර මේ අවස්ථාව වෙන විට එහි ඡායාස්ථ පිටපත් පමණක් අධිකරණයේ හමුව ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා එම ලේඛනය අධිකරණය හමුවේ ලකුණු කිරීමට තමන්ට අවශ්‍ය බව කියා සිටියේය.
ඒ අනුව අදාල ඡායාස්ථ පිටපත් මත අදාළ ලකුණු කිරීම් සිදුකරන ලෙස නීතිඥවරයාට දන්වා සිටි විනිසුරු මඩුල්ල එම ලේඛන වල මුල් පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සාක්ෂිකාරියට නියම කළේය.
අනතුරුව "එම කැබිනට් රැස්වීමට සහභාගී වූ ඇමතිවරුන් කවුරුන්දැ'?යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය එහි සඳහන්ව ඇති නාම ලේඛනය ප්‍රකාශයට පත් කළාය
එහිදී සාක්ෂිකාරයාගේ අවධානය තවත් ලේඛනයකට යොමු කර නීතිඥවරයා එහි වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ සාමාජිකයන්ගේ නම් සඳහන් වන බවද සිය එම සියලුම සාමාජිකයන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වන බවද පෙන්වා දුන්නේ පෙන්වා දුන් අවස්ථාවේදී සාක්ෂිකාරිය එය පිළිගත්තාය.
මෙම කැබිනට් සන්දේශය ඉදිරිපත් කරන කාලය වන විට කැබිනට් මණ්ඩල ප්‍රධානියා ලෙස එවකට ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති අතර රාජ්‍ය වියදම් පිළිබඳ අනුකාරක සභාවේ ද සභාපතිත්වය ඔහු විසින් හොබවා ඇති බව අදාළ ලේඛන පරීක්ෂා කර බලමින් සාක්ෂිකාරිය සඳහන් කළාය.
අදාළ කැබිනට් සංදේශය ඔක්තෝම්බර් මස 05 වැනිදා පැවැත්වෙන පැවැත්වීමට නියමිත කැබිනට් අනුකාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් එය ඔක්තෝම්බර් මස තුන්වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් ඊට පෙර එය ඉදිරිපත් කර ඇති බව සාක්ෂිකාරිය නීතිඥවරයා විමසූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
රාජ්‍ය වියදම් පිළිබඳව කැබිනට් අනුකාරක සභාවේ සාමාජිකයින් සියලු දෙනා මෙම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට සහභාගි වී ම තිබෙන බවට ලේඛන ඉදිරිපත් කළ නීතිඥවරයා අදාළ කැබිනට් සංදේශය එම කාරක සභාවට ඉදිරිපත් නොකළද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිම හේතුවෙන් එම කාරක සභාවේ සාමාජිකයන් වන ඇමති මණ්ඩල සාමාජිකයින් මෙම කැබිනට් සංදේශයේ ඇති කරුණු පිළිබඳව දැනුවත්ව සිටි බවට සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියාය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති කැබිනට් මණ්ඩලයේදී මෙම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් කිසිදු ඇමතිවරයකු විසින් විරෝධයක් දක්වා නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා" ඊට කිසිදු බාධාවක් කිසිවෙකු විසින් පනවා තිබුණේ නෑ නේද?" යනුවෙන් විමසීමක් කළේය.
එවැනි බාධාවක් නොතිබූ බව සාක්ෂිකාරිය කියා සිටියාය.
කෙසේ වුවද මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කිරීමේදී කිසිවකු විසින් විරෝධතාවයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය.
කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරන අවස්ථාවේදී අදාළ ඇමතිවරයාට කරුණු දැක්වීමට අවස්ථාව තියෙනවාද? යනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා එහිදී සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය.
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ සමහර අවස්ථාවලදී එවැනි කරුණුත් දැක්වීම සිදුකරන නමුත් සෑම අවස්ථාවකදීම එසේ සිදු කරන බවය.
"තමන්ගේ සංදේශයක් ඉදිරිපත් කරන විට ඔහු කරුණු දැක්වීමක් කරන්නේ නැද්ද ?" යනුවෙන් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නැවත වරක් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි කරුණු දැක්වීමක් සෑම අවස්ථාවකදීම සිදු නොකරන බවය. "
ඔබ මූලික සාක්ෂිවලදී ප්‍රකාශ කළා මෙම කැබිනට් සංදේශය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල න්‍යාය පත්‍රයට ඇතුළත් කර නොතිබූ බව. එහෙත් එය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක් කර තිබෙනවා එසේ කළ හැකිද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "ස්වාමීනී, න්‍යාය පත්‍රයේ නොමැති අවස්ථාවලදී අදාළ සංදේශය පිළිබඳව ජනාධිපතිවරයාට යොමුකර ඔහුගේ ලබා ගැනීම සිදු කිරීමෙන් අනතුරුව තමයි කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කරන්නේ "යනුවෙනි.
"ඒ අනුව න්‍යායපත්‍රයේ නැති කැටුම් සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ තීරණය කරන්නේ ජනාධිපතිවරයා විසින්ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය" ඔව්" යන පිළිතුරු ලබා දුන්නාය.
"ඇමතිවරයාට හිතූ හිතූ විදියට ඉදිරිපත් කිරීමට බෑ නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ "ස්වාමීනි, ඉල්ලීමක් කලාම ඒ ගැන විස්තර අපි ජනාධිපතිවරයාට දැනුම් දෙනවා. ඔහු අනුමැතිය ලබා දුන්නොත් පමණක් සාකච්ඡාවට ගන්නවා" යනුවෙනි.
"ඒ අනුව මෙම කැබිනට් සංදේශය සාකච්ඡාවට ගන්න ඇත්තේ ජනාධිපතිගේ අනුමැතිය මත නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරීය ඊට ද "ඔව්" යන පිළිතුර ලබා දුන්නාය.

"එම කැබිනට් සංදේශයට අනුමැතිය ලැබිලා තියෙනවද?" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළ අවස්ථාවේදී "මෙම සංදේශයට ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාව මගින් නිර්දේශ ඉදිරිපත් කර තියෙනවා. එම නිර්දේශ සඳහා අනුමැතිය ලැබී තිබෙනවා" සාක්ෂිකාරිය පිළිතුරක් ලබා දුන්නාය
එම අවස්ථාවේදී අධිකරණය හමුවේ ලකුණු කර ඇති පනස් නමය ගොනුව වෙත සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නීතිඥවරයා එහි ඇති කැබිනට් සංදේශය 2022.04.25 වෙනි දින එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ඉදිරිපත් කළ ඇති බව පෙන්වා දුන්නේය.
එම කැබිනට් පණ්ඩලයේ මණ්ඩල එම කැබිනට් සංදේශයෙන් නිර්දේශය යටතේ "විනිමය අනුපාත ඉහළ යෑම නිසා ඖෂධ සහ භාණ්ඩවලට අයකරන දඩ මුදල් අයකර ගැනීමකින් තොරව ගෙවීම් කරන ලෙස ඇති යෝජනාවකට අනුමැතිය ලැබී තිබෙනවා නේද?' යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ 2012 අප්‍රේල් 25 වැනි දින එවැනි අනුමැතියක් ලබා ඇති බවය.
අටවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා සිය හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව ම නඩුවේ තහවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. එහිදී අධිකරණය හමුවේ පැය 54 ලෙස ලකුණු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා 2022 ජූලි මස වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුරය අවසන් වී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ බව ඔබ දන්නවා නේද ? "යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසා සිටියේය.
එය තමන් බව දන්නා බව සාක්ෂිකාරිය කියා සිටියේය.
"එම කාලයේදී අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ජනාධිපතිවරයා බව ඔබ දන්නවාද ?"යනුවෙන් විමසූ අවස්ථාවේ සාක්ෂිකාරිය තමන් එය දන්නා බව කියා සිටියේය.
"එම අවස්ථාවේදී අමාත්‍ය ධුරවල යම් යම් වෙනස්කම් ඇතිවුණා. සමහර දුර අහිමි වුණා සමහර දුර මාරු උනා 54 ලේඛනයේ දෙක හත ඡේදයේ තිබෙනවා නේද? යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එවැනි සටහනක් ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය
"අදාළ කැබිනට් සංදේශයට අදාළව නිර්දේශ දෙකක් ඇති අතර එහි ඇති එක් යෝජනාවක් වන රාජ්‍ය අමාත්‍යංශය ලේකම්වරයාව සිටි ආර්.එම් එස් කේ රත්නායක මහතා අතිරේක ලේකම්වරයකු ලෙස පත්කිරීමට ඇති නිර්දේශයට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා නේද?" යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය.
ඇය සඳහන් කළේ අදාළ නිර්දේශය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විමසා ඒ අනුව පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට නිර්දේශ කර ඇති බවය.
ඒ සමගම දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය එඅධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරුවෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

