සෑම කැබිනට් තීරණයක්ම විගණකාධිපතිවරයා වෙත යොමු කරන බව අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අතිරේක ලේකම් (වැඩ බලන) උත්තරා අරුණ කාන්තී මුණසිංහ මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව සාක්ෂි ලබා දෙමින් සිටි අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැවත ප්‍රශ්න කිරීම් සිදුකළ අවස්ථාවේදී ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී මෙම නඩුවේ 6 වන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන මහතා සාක්ෂිකාරිය ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
පෙර දින සාක්ෂි ලබාදුන් පැ. 448 ලකුණු කර ඇති කැබිනට් සංදේශයකට සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නීතිඥවරයා "එම කැබිනට් සංදේශය 2020/08/16 දින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අත්සන් කරන ලද අමාත්‍ය මණ්ඩලය සංදේශයක් ද?"යි සාක්ෂිකාරිය ගෙන් විමසා සිටියේය.
එහි එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන ඇති බව සාක්ෂිකාරිය කියා සිටියාය.
"එහි අංක තුන යටතේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු කරුණු විශේෂයෙන් දක්වා තිබෙනවා නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණ ගත යුතු කරුණු පමණක් ඉදිරිපත් විය යුතු බව එහි සඳහන් වන බවය.
"අපේක්ෂිත අරමුණු සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුගත විය යුතු බව එහි දැක්වෙන බව"ද සාක්ෂිකාරිය සඳහන් කළාය. එසේම "රාජ්‍ය මූල්‍ය සීමාවල සිට තීරණ ගත යුතු බව" සඳහන් වන බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
"රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බව එහි තිබෙනවා නේද ? යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය" එවකට සිටි ජනාධිපතිවරයා විසින් තමයි මෙය ඉදිරිපත් කළේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අදාළ කමිටුවට පත් කරෙත් ජනාධිපති විසින්. මට ඒ ගැන දැනුමක් නෑ." යනුවෙන් සඳහන් කළාය.

එම කැබිනට් සංදේශය අනුව යම් ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම කමිටුවට පත් කිරීමට යෝජනා වී තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය එවැනි සඳහනක් ඇති බව කියා සිටියාය.
මෙම කැබිනට් සංදේශය සමඟ අදාළ මාර්ගෝපදේශය අමුණා ඇති බව පෙන්වා දුන්නේ යම් හෙයකින් ඉදිරිපත් කරනු ලබන සංදේශය මාර්ගෝපදේශ වලට අනුගත නොවන අවස්ථාවකදී කළ යුතු දේ එහි දක්වා ඇති බව සඳහන් වන බව ද, එවැනි අවස්ථාවක ඒ සම්බන්ධයෙන් වගකීම අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සතුව පවතින බවද නීතිඥවරයා මතු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවාද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට "ඔව් "පිළිතුරු ලබා දුන්නාය.
"අදාළ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර ඇති පැ. 448 දරණ කැබිනට් සංදේශයේ iv ඡේදයේ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් සඳහන් වනවා නේද?"යි නීතිඥවරයා විමසූ අවස්ථාවේ සාක්ෂිකාරිය කියා සිටියේ එවැනි සටහනක් ඇති බවය.
"ජාතියේ හිත සුව පිණිස කටයුතු කළ යුතු සුවිශේෂී අවස්ථාව යටතේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එහි සඳහන් වෙනවා. එවැනි අවස්ථාවකදී ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි ප්‍රසම්පාදන රෙගුලාසි ආදිය බැහැරවන බව එහි තිබෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එසේ එම රෙගුලාසි වලින් බැහැරව කටයුතු කිරීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගතයුතු කරුණක් ලෙස දක්වා ඇති බවය.
"එලෙස කටයුතු කර ඇති අවස්ථාවන් ගැන ඔබ දන්නවාද ?"යනුවෙන් සාක්ෂිකාරිය ගෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ තත්ත්වයන්ට නිශ්චිත උදාහරණ දැක්විය නොහැකි බව ය.
"ඔබ සාක්ෂි ලබාදෙන විට මාර්ගෝපදේශවල ඇති ආකෘතිය ගැන සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔබ කිව්වේ නියමිත ආකෘතියක් නැති බව. නමුත් අවධානය යොමු විය යුතු කරුණු දැක්විය යුතු බව ඔබ ප්‍රකාශ කළා?" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය තමන් එවැනි සාක්ෂියක් ලබාදුන් බව සඳහන් කළාය.
"සෞඛ්‍ය ඇමති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල 2022/05/03 ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය බලන්න ,එහි මාර්ගෝපදේශවල ඇති කරුණු ඇතුළත් වෙනවා. මාතෘකාව ලෙස අර්බුදයන් තුළ ඖෂධ ,උපාංග සහ උපකරණ මිලදී ගැනීම සඳහන් වෙනවා" යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා "මාර්ගෝපදේශයට අනුමැතිය ගත් කැබිනට් සංදේශය බලන්න ,එය හරියට ලියුමක් වගේ එකක් නේද?" යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ "ස්වාමීනී, නිශ්චිත ආකෘතියක් නෑ කියලා තමයි කියලා තියෙන්නේ. එවිට එවැනි ආකෘතියක් නැති ඒවා ඉදිරිපත් වෙනවා. මෙය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සංදේශයක්" යනුවෙන් කියා සිටියාය.
"කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ යුතු මාර්ගෝපදේශ" ඇතුළත් කැබිනට් සංදේශයේ මාර්ගෝපදේශවල ඇති මොකුත් නෑ?" යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි කරුණු සඳහන් නොවන බවය.
"පැ. 39 ලෙස අධිකරණය හමුවේ ලකුණු කර ඇති කැබිනට් මණ්ඩල සංදේශය සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපි ශීර්ෂය යටතේ ඉදිරිපත් කර තිබෙනවා නේද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ කුමන අංශයෙන් ද එය ඉදිරිපත් වී ඇත්තේ? එහි ඇති මගේ අංකය යනුවෙන් සඳහන් වන්නේ කුමක්ද?"යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර සාක්ෂිකාරිය "ස්වාමීනී, අමාත්‍ය මණ්ඩල කාර්යාලයට කැබිනට් සංදේශ අමාත්‍යාංශවල ඒ ඒ අංශ වලින් ඉදිරිපත් වන්නේ නෑ. එය අදාළ අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ තමයි ඉදිරිපත් වෙන්නේ ,මෙම සංදේශයේ මගේ අංකය කියන එක ගැන මට දැනුමක් නෑ." යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය.
"පැ.39 සංදේශය මාර්ගෝපදේශ අනුව නෑ කියලා අමාත්‍ය මණ්ඩල ලේකම් විසින් ප්‍රතික්ෂේප කර තියෙනවද?"යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එවැනි ප්‍රතික්ෂේප කිරීමක් සිදුකර නොමැති බවය.
"එසේ වූ විට ඊළඟ පියවර එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම නේද ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එය අමාත්‍ය මණ්ඩලය ට ඉදිරිපත් කළ යුතු බව සාක්ෂිකාරිය කියා සිටියාය.
" එම කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවාද ?" යනුවෙන් නීතිඥවරයා විමසූ අතර ඊට පිළිතුරු දෙමින් "ස්වාමීනි, මෙය ඉදිරිපත් කළේ රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ සමග. එම රාජ්‍ය අනු කාරක සභාව විසින් නිර්දේශයන් ඉදිරිපත් කර තිබෙනවා. එම නිර්දේශයන් වලට අනුමැතිය ලැබී තිබෙනවා, යැයි සාක්ෂිකාරිය කියා සිටියාය.
පැ 44 ලෙස ලකුණු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණේ කවදාද?" යනුවෙන් නීතිඥවරයා විමසුව අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ 2022 ඔක්තෝම්බර් 25 වැනි දින එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී ඇති බවය
"එදින එම සංදේශය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසූ අවස්ථාවේදී "ඔව් ස්වාමීනී, එම සංදේශයේ හතර ඡේදයේ I,ii සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය ගැනීම සිදුවී තිබෙනවා. 6 V 56 ලේඛනයේ I,ii තීරණවලට අනුව මෙම සංදේශයේ ඇති කරුණු සම්මත වූ කරුණු ලෙස සැලකීමටත්, ඒ අනුව අදාළ බලධාරීන්ට එම කටයුතු කිරීමටත් බලය පවරා තිබෙනවා" යැයි සාක්ෂිකාරිය සඳහන් කළාය.

"අමාත්‍ය මණ්ඩල තීරණය සම්මත වන ආකාර දෙකක් ඇති බවත්, සංදේශ ඉදිරිපත් කරන ඇමතිවරයාගේ ඉල්ලීම මත අදාළ සංදේශය ඉදිරිපත් කරන දිනයේදී ම සම්මත කිරීමට කටයුතු කිරීම එක් අවස්ථාවක් බවත්, සාමාන්‍ය ක්‍රමය යටතේ ඊළඟට පැවැත්වෙන කැබිනට් රැස්වීමට අදාළ සංදේශ ඉදිරිපත් කර අනුමත කරගැනීම අනෙක් ක්‍රමය බවත්" සඳහන් කළ සාක්ෂිකාරිය" ඉදිරිපත් කරන දිනයේදී ම සම්මත වූ සංදේශය ලෙස සටහන් යොදන බව" කියා සිටියාය.
"ඒ අනුව ද මෙම කැබිනට් මෙම සන්දේශය සම්මත වූ බව සලකන බව සඳහන් කර තිබෙන්නේ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය ඊට "ඔව්" යන පිළිතුර ලබා දුන්නාය.
අධිකරණය හමුවේ 103 ලෙස ලකුණු කර ඇති ගොනුවට සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නීතිඥවරයා 2022/10/06 දිනැති අමාත්‍ය මණ්ඩල කාර්යාලය යන ලිපි ශීර්ෂය යටතේ ඇති ලිපිය හඳුනා ගන්නවා ද?"යි විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ "එය හඳුනාගත හැකි බවත්, එහි අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙකු වූ W.M.D.J ප්‍රනාන්දු මහතාගේ අත්සන ඇති බවත්" ය.
එම ලිපිය සහ 2022/11/01 දරණ අමාත්‍ය මණ්ඩල තීරණය අතර වෙනස කුමක්දැයි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ 2022/11/01 දින දරණ ලේඛනය අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන සම්පූර්ණ වාර්තාව වන අතර 2022/10/06 දරණ ලේඛණය එදිනම සංදේශය සම්මත කළ බව තීරණය වූ බවට ඉදිරිපත් කරන ආකෘතිය බවය.
"අදාළ ලිපිය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත වෙත FAM යොමු කර ඇති බව" සාක්ෂිකාරිය කියා සිටියාය
"පැ.163 B ලේඛනය මගින් අමාත්‍ය මණ්ඩල තීරණයක් ක්‍රියාත්මක කළ යුතු බවට අදාළ ආයතන හා අමාත්‍යංශ වෙත දන්වා තිබෙනවාද?"යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවය.

"අමාත්‍ය මණ්ඩල තීරණයක් විගණකාධිපති වෙත යොමු කරන්නේ යොමු කරන හේතුව කුමක්ද?" නීතිඥවරයා විමසීමක් කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ සෑම කැබිනට් තීරණයක්ම එසේ විගණකාධිපතිවරයා වෙත යොමු කිරීමක් සිදුකරන බවය. අදාළ පියවර ගැනීම සඳහා නිලධාරීන්ට එය යොමු කරන බවද සාක්ෂිකාරිය එහිදී කියා සිටියාය.
"ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම කුමක්ද?" යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ "අදාළ සංදේශයේ ඇති කරුණු අනුව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක් වන බවය.
"එසේ නොකළ විට සිදුවන්නේ කුමක්ද?" යන්න නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී " එවැනි තත්ත්වයක් පිළිබඳව තමන්ට වැටහීමක් නොමැති බවද , ඒ සම්බන්ධයෙන් සාක්ෂියක් ලබාදිය නොහැකි බවද සාක්ෂිකාරිය කියා සිටියාය.
"එසේ නොකිරීම රාජකාරිය පැහැර හැරීමක් හෝ නොසලකා හැරීමක් ලෙස සැලකිය හැකිද?"යි නීතිඥවරයා විමසීමක් කළ අතර තමන්ට ඒ කරන වැටහීමක් නොමැති බවද ක්‍රියාත්මක කළ යුතු ආකාරයට ක්‍රියාත්මක වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් බව"ද ඇය සඳහන් කළාය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව සෙසු සාක්ෂිකරුවන් වෙනුවෙන් හරස් මෙම සාක්ෂිකාරිය ගෙන් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න කිරීම සිදු කළාය.
"පැ. 448 ලෙස ලකුණු කර ඇති ලේඛනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය තීරණයක් අනුව ගත් බවට හරස් ප්‍රශ්න වලදී ලබා දුන් සාක්ෂිය සම්බන්ධයෙන් කරුණු විමසමින් "ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලයට යම් වගකීමක් තියෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "එය පළමුවන ඡේදයේ සඳහන් වන බව"ය.
ඊට අමතර අමතරව ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ගතයුතු බවට සාක්ෂිකාරිය මීට පෙර ලබා දුන් සාක්ෂියක් සම්බන්ධයෙන් කරුණු විමසූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය සංදේශයට අදාළ 2020/08/09 දිනැති ගැසට් නිවේදනයට සාක්ෂිකාරියගේ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට රාජකාරී පැවරීමක් කර තිබෙනවාද?"යි විමසීමක් කළාය.
එහිදී අටවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත්‍ර විජේසුන්දර මහතා ඊට විරෝධය පළ කරමින් "ස්වාමීනී ,මෙම ප්‍රශ්නයට මම විරුද්ධයි. හරස් ප්‍රශ්නවලදී ගැසට් නිවේදනයක් ගැන සාක්ෂිකාරියට ප්‍රශ්න යොමු කළේ නෑ. එසේ යොමු නොකළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න සිදුකිරීම වැරදියි." යනුවෙන් සඳහන් කර සිටියේය.
එහිදී සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා " ගැසට් නිවේදනය හරස් ප්‍රශ්නවලදී අවධානයට ලක් නොකළ නමුත් අදාළ ලේඛනයේ ඇති කරුණු සම්බන්ධයෙන් ලබා දුන් සාක්ෂිය පැහැදිලි කර ගැනීම සඳහා ගැසට් පත්‍රය අදාළ කර ගත හැකි බව" සඳහන් කළේය. ඒ අනුව එම ප්‍රශ්නයට ඉඩ දෙන ලදී.
"අදාළ ගැසට් නිවේදනය ඇමතිවරයාට පැවරෙන පොදු කාර්යභාරය ගැන සඳහන් වන අතර අමාත්‍යංශ ලේකම්වරයාට පැවරෙන වගකීම සම්බන්ධයෙන් සටහනක් තිබෙනවාද?"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළාය.
මේ වගකීමක් පිළිබඳව එහි සඳහන් වන බව සාක්ෂිකාරිය කියා සිටියාය.
කැබිනට් සංදේශයක් රාජ්‍ය වියදම් කළමනාකරණ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී එසේ ඉදිරිපත් නොකර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අදාළව සාක්ෂිකාරිය ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය "අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් හැර වෙනත් සාමාජිකයන් අදාළ කාරක සභාවේ සිටිනවාද?"යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසීමක් කළාය.
එම කමිටුවේ අදාළ නිලධාරී කමිටුවක් සිටින බවද, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම් අමාත්‍ය මණ්ඩල ලේකම් එහි සාමාජිකත්වය දරණ බව"ද සාක්ෂිකාරිය සඳහන් කළාය
එහිදී සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "ඇමතිවරුන්ට අමාත්‍ය මණ්ඩලය තුළත් , අදාළ කමිටුවත් තුළත් තිබෙන්නේ එකම කාර්ය භාරයද?" යනුවෙන් විමසීමක් කළේය.
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ "අදාළ කමිටුවේදී කැබිනට් තීරණයක් ගැනීම එහිදී සිදු නොකරන බවය. යම් කැබිනට් සංදේශයකින් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම අදාළ කමිටුව මගින් සිදුකරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"කැබිනට් මණ්ඩලයේදී එම නිර්දේශ සැලකිල්ලට ගන්නවාද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී " එම නිර්දේශ අනුමත කර සිටීම හෝ එය වෙනස් කිරීමේ හැකියාව ඇමති මණ්ඩලයට ඇති බව " සාක්ෂිකාරිය සඳහන් කළාය.
"ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එම නිලධාරීන්ට හැකියාවක් තිබෙනවා දැ"යි විමසා සිටි අවස්ථාවේදී "ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හැකියාව ඇති අතර වෙනත් කිසිවකුට ඒ සඳහා මැදහත් වීමක් සිදුකළ නොහැකි බව"ද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"8v13 රැස්වීම් වාර්තාව අනුව එම රැස්වීම පවත්වා ඇත්තේ කොහේද?"යි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී "එය සවස තුනට ජනාධිපති කාර්යාලය පවත්වා ඇති බව" සාක්ෂිකාරිය සඳහන් කළාය.
"සංදේශයක් සකස් කිරීමේදී ඕනෑම අයෙකුගේ නිර්දේශ ලබා ගන්න පුළුවන් බවට ඔබ මීට පෙර සාක්ෂියක් ලබා දුන්නා. එයින් අදහස් කළ කුමක්ද?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට තමන්ට කැමති නිර්දේශ ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව"ය.
"සංදේශය ඉදිරිපත් කරන ඇමතිවරයාට ම එහිදී නිර්දේශ ඉදිරිපත් කළ හැකිද?" යනුවෙන් විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ හැකි බවත් ,අනුමැතිය අවශ්‍ය කාරණය සංදේශයේ සඳහන් විය යුතු බවත්, ඊට වැඩි තොරතුරු ඉදිරිපත් කිරීම සටහනක් ලෙස ඉදිරිපත් කළ හැකි බවත්" සාක්ෂිකාරිය කියා සිටියාය.
"එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදීම සිදුකරන අතර එහිදී ගන්නා තීරණය සම්බන්ධයෙන් සාමූහිකව වගකීමට ඇමති මණ්ඩලය බැඳී සිටින බවද "සාක්ෂිකාරිය සඳහන් කළාය.

"විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් ඇතිවෙන හදිසි තත්ත්වය මත දඩ මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් වන යෝජනාවක් පිළිබඳව ඔබ ප්‍රකාශ කළා .එහිදී අවසරය දී ඇත්තේ කුමන කාරයේ ප්‍රසම්පාදනයන් වලට අදාළව ද ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රශංසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුව අය කරන දඩ මුදල් සම්බන්ධයෙන් එකී සටහන ඇති බව"ය.
" ප්‍රසම්පාදන යටතේ හදිසි ප්‍රසම්පාදන වලට අදාළ මාර්ගෝපදේශ තිබෙන බව ඔබ දන්නවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර සාක්ෂිකාරිය තමන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බව සඳහන් කළාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : ඔබ ප්‍රසම්පාදන කොමිසමේ කටයුතු කර තිබෙනවා ද?
සාක්ෂිකාරිය: ඔව්, අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කර තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : ප්‍රසම්පාදන කොමිසමේ අධ්‍යක්ෂකවරියකට හදිසි ප්‍රසම්පාදනය කටයුතු සම්බන්ධයෙන් දැනීමක් නැද්ද
සාක්ෂිකාරිය: ඒ සම්බන්ධයෙන් දැනීමක් නෑ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඇති බව දන්නවා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබේ අධ්‍යාපන සුදුසුකම් එහෙම ගැන කතා කළානෙ. මේ සම්බන්ධයෙන් ඔබට දැනීමක් නැද්ද?
සාක්ෂිකාරිය: හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සාක්ෂියක් ලබාදීමට තරම් දැනුමක් නෑ.
"සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ඔබෙන් සාක්ෂි විමසීමක් කළා. ඒ අනුව ඇමතිවරයා විසින් ලබාගත් ඇමති මණ්ඩ තීරණයට, ඇමති මණ්ඩලයේ සාමූහික වගකීමක් තිබෙනවාද? යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසූ අවස්ථාවේදී "එවැනි සාමූහික වගකීමක් ඇති බව" සාක්ෂිකාරිය සඳහන් කළාය.
"අමාත්‍යාංශයක ලේකම්වරයා කාගේ උපදෙස් මත ක්‍රියාත්මක විය යුතු බවද මාර්ගෝපදේශවල සඳහන් වන්නේ?" යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය යොමු කළ අවස්ථාවේදී
"සිය අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක විය යුතු බව එහි සඳහන් වන බව" සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය
අදාළ නැවත ප්‍රශ්න විමසීමෙන් අනතුරුව මෙම සාක්ෂිකාරියගේ සාක්ෂි ලබාගැනීම අවසන් කළ අතර මෙම නඩුවේ තුන්සිය පනස් එක එක්වන පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රසායන විද්‍යා ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය තමාරා හේරත් විසින් සාක්ෂි ලබාදීම සිදු කළාය.
ඇයගේ ප්‍රවීණත්වය සහ සුදුසුකම් පළපුරුද්ද සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් පිළිගැනීමක් සිදු කළේය.
1999 වසරේදී වෛද්‍යවරියක ලෙස පත් වූ තමන් 2021 වසරේදී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස උසස් වූ අතර වසර දොළහක අත්දැකීම් ඇති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
තමන් වෛද්‍ය පර්යේෂණ ආයතනය කටයුතු කරන අතර සීරම් ප්‍රෝටීන් ඇතුළු රසායනික පරීක්ෂණ ගණනාවක් එහිදී දී සිදු කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය .අදාළ පරීක්ෂාවන් සිදු කිරීම සඳහා විශේෂ යන්ත්‍රයක් ඇති අතර මිනිස් රුධිරයේ ඇති රුධිර ප්ලාස්මා, මස්තිෂ්ක තරලය, මිනිස් මූත්‍රා පරීක්ෂා කිරීම එහිදී සිදුකරන බවද, එහි ඇති ප්‍රෝටීන් සම්බන්ධයෙන් පරීක්ෂාවකට ලක් කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
"පරීක්‍ෂණ වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා තත්ත්ව පරීක්‍ෂණ සාම්පලයක් සමඟ රෝගීන්ගේ සාම්පල් ඇතුළත් කරන බවද සාම්පල තිහ බැගින් හෝ හත බැගින් එලෙස එක් වතාවකදී සිදු කරන බව"ද සාක්ෂිකාරිය සඳහන් කළාය. "එහි ඇති ප්ලේට් එක ඉහළ PH අගයකින් යුක්ත වන අතර එම අගයේ දී ප්‍රෝටීන ඍණ අගයක් ගන්නා බවද ඊට විදුලිය සැපයූ විට ධන අගයකට ආරෝපණය වීමට ගමන් කරනා බවද එහිදී ප්‍රෝටීන වෙන්වීමක් සිදුවන බව"ද සාක්ෂිකාරිය කියා සිටියාය.
"පරීක්ෂා කරන සාම්පලයේ ප්‍රෝටීන තිබේනම් එම ප්‍රෝටීන වෙන් වෙන්ව ඇති බවද ඒ සම්බන්ධයෙන් අදාළ වාර්තාවේ පැහැදිලිව ඒවා තීරයක් ලෙස සටහන් වන බව"ද සාක්ෂිකාරිය සඳහන් කළාය .
"මෙම සීරම් පරීක්ෂාව සිදු කරන්නේ කුමන හේතුවක් මත ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසූ අවස්ථාවේදී "Multiplemyloma කියන රෝග තත්ත්වයේදී monoclonal albumin ප්‍රමාණය රෝගය නිශ්චය ට ඉතාම වැදගත් වෙනවා. ප්‍රතිකාර කිරීමේදී අදාළ ප්‍රතිකාරයට ප්‍රතිචාර දක්වනවා ද, රෝගී තත්ත්වය වැඩි වෙනවාද? අඩු වෙනවාද ?යන්න පිළිබඳව එහිදී තීරණය කිරීමට හැකියාව ලැබෙනවා. monoclonal ප්‍රෝටීන් ප්‍රමාණය අනුව එය තීරණය වෙනවා". යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය
ඒ සම්බන්ධයෙන් ලැබෙන වාර්තා අර්ථ නිරූපණයක් කිරීම තමන් විසින් සිදුකරන බව සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය
"2011 වසරේ සිට මේවා 2023 වසර වන තෙක් මේ සම්බන්ධයෙන් වන වාර්තා කීයක් අර්ථ නිරූපණය කර තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී එක අවස්ථාවක එවැනි වාර්තා කිරීම් හයක් හතක් පමණ සිදු කරන බවත් සතියකට එවැනි අවස්ථා දෙකක් ඇති බවත් ඒ අනුව ගණනය සිදු කළ හැකි බවත් සාක්ෂිකාරිය කියා සිටියාය.
"අදාළ වාර්තාව සම්බන්ධයෙන් වන කරුණු සම්පාදනය කරගන්නේ පරීක්ෂණය සිදු කරන යන්ත්‍රය ආශ්‍රයෙන් ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී
" යන්ත්‍රයෙන් ස්වයංක්‍රීයව අදාළ වාර්තාව ලැබෙන බව" සාක්ෂිකාරිය සඳහන් කළාය.
"එසේ ලබාගන්නා ප්‍රතිඵලය අනුවද Multiplemyloma රෝගී තත්ත්වය හඳුනාගන්නේ" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ එම රෝගය හඳුනාගෙන අදාළ ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍යවරුන් විසින් එවැනි පරීක්ෂණ වාර්තා කියවා ගැනීම සිදුකරන බවය

"තම ආයතනයේ වෛද්‍යවරියක ගෙන් ලැබුණු දැනුම්දීමක් අනුව ලැබුණු සාම්පලයක් සම්බන්ධයෙන් තමන් පරීක්ෂණයක් සිදුකළ බවත්, එහිදී ප්‍රෝටීන කිසිවක් නොමැති බව අනාවරණය කරගත් බවත් එම වාර්තාවේ කාර්යාලය පිටපතක් තමන් අධිකරණයට රැගෙන ආ බවත්" සාක්ෂිකාරිය එහිදී සඳහන් කළාය.ඒ අනුව අදාළ වාර්තාව අධිකරණය විසින් ලේඛනයක් ලෙස ලකුණු කිරීම සිදුකරන ලදී.
එහිදී තවත් වාර්තාවක් සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ අතර එම වාර්තාවේ product 2 ලෙස සඳහන් කර ඇති සාම්පලයේ ප්‍රෝටීන ඇති බව එම වාර්තාවේ සඳහන් වන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
එම සාක්ෂිකාරියගෙන් මූලික සාක්ෂි ලබාගැනීමෙන් අනතුරුව පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.
"මේ පරීක්ෂණය සිදු කිරීම සඳහා භාවිතා කරන යන්ත්‍රය මිනිස් පටක පරීක්ෂා කිරීමට මෙන්ම ඖෂධ හෝ වෙනත් ද්‍රාවණ පරීක්ෂා කිරීම සඳහා යොදාගත හැකි බවට නිෂ්පාදකයා විසින් තහවුරු කර තිබෙනවාද?"යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළ එවැනි තහවුරු කිරීමක් නැති බවය."කෙසේ වුවද අදාළ යන්ත්‍රයට ඇතුළත් කරන සාම්පල වල ප්‍රෝටීන තිබේනම් එම ප්‍රෝටීන හඳුනා ගැනීම සිදුකළ හැකි අතර අදාළ සාම්පලය කුමක්ද යන්න පිළිබඳව එහිදී ගැටළුවක් ඇති නොවන බව" සාක්ෂිකාරිය සඳහන් කළාය.
"පරීක්ෂණවලදී සාම්පල වල ඇති antibody වලට anti antibody එකතු කිරීම තමයි සිදුකරන්නේ .එහිදී ප්‍රෝටීන වෙන් වෙන්ව පිහිටීමක් සිදුවනවා. එහිදී අදාළ ප්‍රෝටීන මොනවාද යන්න හඳුනාගත හැකියි. මේ පරීක්‍ෂා කළ සාම්පලයේ කිසිදු ප්‍රෝටීනයක් තිබුණේ නෑ" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
"පරීක්ෂණය repeat කළාද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී "Repeat "කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නෑ. පළමු අවස්ථාවේදීම දැන ගත්තා ප්‍රෝටීන නැති බව. එවැනි අවස්ථාවක දෙවැනි පරීක්‍ෂණයක් සඳහා යොමු වන්නේ නෑ. එය විශාල වියදමක්" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළේය.
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විසින් නැවත ප්‍රශ්න කිරීමක් සිදුවූ අතර එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළේ
"අදාළ යන්ත්‍රයේ පරීක්‍ෂණ වල නිවැරදිභාවය අධිකරණයේදී ඉදිරිපත් කරන ලද වාර්තාව මගින්ද පැහැදිලි වන බවය. එහිදී product 2 ලෙස සඳහන් වන සාම්පලයේ ප්‍රෝටීන ඇති බව වාර්තාව අනුව පෙනී යන බව" සඳහන් කළ සාක්ෂිකාරිය "යන්ත්‍රය නිසිලෙස කටයුතු නොකරන්නේ නම් එලෙස සටහන් විය නොහැකි බවද ඒ අනුව යන්ත්‍රය නිවැරදි ප්‍රතිඵල ලබා දෙන බව එයින්ම ඔප්පු වන බවද " සඳහන් කළාය.
ඒ සමගම එම සාක්ෂිකාරියගෙන් සාක්ෂි විමසීම අවසන් කළ අතර දිනයට නියමිත සාක්ෂි විභාගය අවසන් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
නෙල්කා මැදගෙදර
(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න

