leader s

පිළිකා රෝගීන්ට ඖෂධ ලබා දීමේදී එය ලියාපදිංචි ඖෂධයක් ද යන්න පිළිබඳව සැලකිලිමත් වන බව අපේක්ෂා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය උමා ගෞරී සරවනමුත්තු මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
 
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකු ට එරෙහි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදෙමින් ඇය මේ බව කියා සිටියාය
 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
 
එහිදී අටවන විත්තිකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් නීතිඥවරයා ගෙන් විමසීමක් කළේය. 
 
වෙනත් අධිකරණයක මේ වන විට පැවැත්වෙන නඩු විභාගයකට ඔහු සහභාගි වන බව නීතිඥ නයන්න විජේසුන්දර මහතා එහිදී අධිකරණයට දන්වා සිටියේය. 
 
"ස්වාමීනි, එම විත්තිකරුට මහාධිකරණයේ තවත් නඩුවක් තිබෙනවා .එම විනිසුරුතුමන්ලාත් මෙම ලිපිය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැත්වෙන නඩු විභාගය ගැන දන්නවා .ඔහු එම අධිකරණයේ පෙනී නොසිටියහොත් අත්අඩංගුවට ගැනීමක් කළ හැකියි. ඒ නිසා ඔහුට එම අධිකරණයෙන් පිටත් වී මෙම අධිකරණයේ පෙනී සිටීමට පැමිණිය නොහැකියි. එම නඩු කටයුත්ත අවසන් වූ වහාම ඔහු මේ අධිකරණයට පෙනී සිටිනවා" යනුවෙන් නීතිඥවරයා සඳහන් කළේය. 
 
මඳ වේලාවක් ගත වීමෙන් අනතුරුව අටවන විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටි අතර දිනයට නියමිත සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කෙරිණි.
 
එහිදී අටවනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර මහතා පෙර දින සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසන අවස්ථාවේදී මතු කළ ප්‍රශ්නය සම්බන්ධයෙන් වන නියෝගය විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශ කරන ලදී. 
 
පෙර දින හරස් ප්‍රශ්න යොමු කරමින් සාක්ෂිකාරියට අටවන චූදිත 2022 /10/10 දින පෙරවරු දහයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි බවට යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට විරෝධය පළ කරමින් පැමිණිල්ල සඳහන් කළේ මීට පෙර මෙවැනි ප්‍රශ්නයක් මෙම සාක්ෂිකාරියට යොමු වූ අතර නොතැනියාව පිළිබඳ ස්ථාවරය ඉදිරිපත් කිරීමට අපරාධ නඩුවේ දාන සංග්‍රහයේ 126(1)අ-ආ දක්වා ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය. ඒ අනුව "නොතැනියාව" පිළිබඳ ස්ථාවරයක් ඉදිරිපත් කළ නොහැකි බවට පැමිණිල්ල විසින් විරෝධයක් මතු කරන ලද බව අදාළ විරෝධය අදාළ නියෝගය ප්‍රකාශ කරමින් විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය. 
 
 
 
මීට පෙර අවස්ථාවේදී හරස් ප්‍රශ්න ඉදිරිපත් කළේ අටවන චූදිත විදේශගත වී සිටි බවට සඳහන් කරන ප්‍රශ්නයක් බවද එහිදී නොතැනියාව යන කාරණය අදාළ වුවද මෙම අවස්ථාවේදී  මතු කරන ප්‍රශ්නය අදාළ ස්ථානයේ විත්තිකරු නොසිටීම සම්බන්ධයෙන් වන බව සඳහන් කළ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා "අපරාධයක් සිදුවූ ස්ථානයේ තමන් නොසිටි බව සඳහන් කිරීම පමණක් සිදුකර එම අවස්ථාවේ වෙනත් ස්ථානයක බව සටහන් නොකිරීම "නොතැනියාව "නොවන බව' සඳහන් කළේය. ඒ අනුව "නොතැනියාව" අදහස් නොවන බැවින් විත්තියේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයට ඉඩ දෙන බව විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා සඳහන් කළේය. 
 
මේ අනුව අදාළ ප්‍රශ්නය නැවත වරක් නීතිඥවරයා විසින් සාක්ෂිකාරියට යොමු කළ අවස්ථාවේදී ඇය සඳහන් කළේ එදින සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු තමන් සටහන් කළ බවය. එම සටහන්වල "chaired by honorable minister "ලෙස සඳහන් කර ඇති අතර එම සටහන වැරැදි බවට මේ වන තෙක් කවුරුත් තමන්ට දැන්වීමක් නොකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ස්වාමීනි අදාළ සාකච්ඡාව ආරම්භ කළ වේලාව සටහන් කළා. අත්සන් ලේඛනය බැලුවා. එතුමාගේ නම සටහන් වලින් ඉවත් කරන්න කියලා පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කවුරුන් කිව්වේ නෑ. "යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය.
 
"එම රැස්වීමට අදාළ පැමිණීමේ ලේඛනය ඔබ දැන් ඔබ ළඟ තියෙනවද?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න අවස්ථාවේදී මේ වන විට තමන් ළඟ එම ලේඛනය නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ඔබ ඊයේ කිව්වා අද ඔබට එරෙහි විමර්ශනයක් තියෙන බව.අද ප්‍රකාශයක් ලබාදීමට ඇති බවත් ඔබ ප්‍රකාශ කළා.?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අවස්ථාවේදී "ස්වාමීනි එම විමර්ශන නිලධාරියාට මම දැනුම් දුන්නා මම අධිකරණ නියෝගයක් මත සාක්ෂි ලබාදෙන බව. මා නොමැතිව විමර්ශනය කරගෙන යාමට යන බව සඳහන් කළ අවස්ථාවේදී මා නැතුව පරීක්‍ෂණය සිදු කරන්න එපා කියලා ඔවුන්ට කිව්වා" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.  
 
"ඇයි ඔබ ඉල්ලීමක් කළේ ඔබ නැතුව පරීක්ෂණය කරන්න එපා කියලා. "යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර " ස්වාමීනී මට එරෙහි පරීක්ෂණය කරන අවස්ථාවේදී මම ඉන්න ඕන. මට විරුද්ධව තියෙන චෝදනා විභාගයට ගන්න නිසා" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය 
 
"එම පරීක්ෂණයට වරදකරු නොවුනොත් ඔබට වෙනද වගේම රාජකාරී කරගෙන යන්න පුළුවන් නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "මේ වන විටත් තමන් සුපුරුදු පරිදි රාජකාරි කටයුතු කරගෙන යන බව"ය .
 
"ඔබ මීට පෙර කටයුතු කළේ අමාත්‍ය කාර්යාලයේ .මේ වන විට වෙනත් අංශයක ඉන්නේ. ඔබ කිසිදු විශ්වාසයකින් තොරව වැඩ කරන නිසා තමයි ස්ථාන මාරු කර ඇත්තේ කියලා මා යෝජනා කරනවා." යනුවෙන් නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එම යෝජනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවය. 
 
නීතිඥවරයා: වරදකරු වුනොත් ඔබට රැකියාව අහිමි වෙනවා නේද?
 
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනි , වැටුප් වර්ධකයක් පමණයි අහිමි වෙන්නේ. එහෙම තමයි ඔවුන් කිව්වේ 
 
නීතිඥවරයා: ඒ කියන්නේ ඔබ කියන්නේ දැනටමත් කතා කරගෙන ඉන්නේ? 
 
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනි ආයතන සංග්‍රහයේ තියෙන්නේ එහෙම තමයි.
 
නීතිඥවරයා : වරදකරු වුනොත් එය personal file එකට යනවා නේද?
 
එම අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අදාළ ප්‍රශ්නය ඇසීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ නමුත් විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අදාළ ප්‍රශ්නය විමසීමට අවසර ලබා දුන්නේය.
 
ඒ අනුව අදාළ ප්‍රශ්නය නැවත විමසූ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ වරදකරු වුවහොත්  ඒ සම්බන්ධයෙන් පුද්ගලික ලිපිගොනුවට ඇතුළත් වන බවය.
 
නීතිඥවරයා : මොකක්ද ඔබට තියෙන චෝදනාව?
 
සාක්ෂිකාරිය: මාධ්‍යයට තොරතුරු දුන්නා කියලා. අසත්‍ය ප්‍රකාශ කළ බවට. ඇමතිතුමා හඳුනන කෙනෙක්ගෙ fb එකේ තමයි ඒක ගියේ 
 
නීතිඥවරයා: ඒ කියන්නේ ඔබ අසත්‍ය ප්‍රකාශ කළා කියලා විනය පරීක්ෂණයක් යනව නේද?
 
සාක්ෂිකාරිය: එහෙමයි ස්වාමීනි,
 
නීතිඥවරයා:  ඔබ එම විනය පරීක්ෂණය තමන්ට වාසිදායක නියෝගයක් ලැබේ යැයි අපේක්ෂාවෙන් පැමිණිල්ලට වාසිදායක ලෙස සාක්ෂි ලබාදෙන පුද්ගලයෙක් බවට මා යෝජනා කරනවා.
 
සාක්ෂිකාරිය : නැත ස්වාමීනී ,එය ප්‍රතික්ෂේප කරනවා.
 
 
 
අධිකරණය හමුවේ ලකුණු කර ඇති 10v53 සහ10v63 රැස්වීම් සටහන් යතුරු ලියනය කර දෘඪ පිටපත් අරන් රැගෙන දුන් බවට සාක්ෂිකාරිය කළ සදහන් සම්බන්ධයෙන් කරුණු විමසීමක් කළ නීතිඥවරයා "එම සටහන් ලබාදීමේදී delivery book හෝ යමක සටහන් තබා ගැනීමක් කළාද?" යනුවෙන් විමසීමක් කළේය.
 
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ delivery book සටහන් තබා ගැනීම බාහිර කරුණු සම්බන්ධයෙන් සිදුකරන නමුත් මෙහිදී එවැන්නක් සිදු නොකළ බවය. 
 
"මෙවැනි සටහන් ලබාදීමේදී කවදාවත් එහෙම සටහන් කරගන්නේ නෑ .එහෙම ක්‍රමවේදයක් තිබුණේ නෑ ස්වාමීනී" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
එම අවස්ථාවේදී නීතිඥවරයා "මම ඔබට යෝජනා කරනවා ,එහෙම බාර දුන් බවට සටහන් පෙන්වන්න බැරි එහෙම සටහනක් ඔබ භාර දුන්නේ නැති නිසා බව" යනුවෙන් ප්‍රකාශ කළ අතර සාක්ෂිකාරිය "එම යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව" සඳහන් කළාය. 
 
තමන් අමාත්‍ය කාර්යාලයේ වසර පහකට අධික කාලයක් සේවය කළ බවත් මේ වන විට සැලසුම් අංශයේ සේවය කරන බවත් සඳහන් කළ සාක්ෂිකාරිය තමන්ට කණගාටුවක් ඇති බව සඳහන් කළාය.
 
ඔබ කැමතිද ඇමතිවරයාගේ කාර්යාලයේ සේවය කරන්න?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "ස්වාමීනි විශේෂ කැමැත්තක් නෑ වසර පහෙන් පහට අපි මාරු වෙනවා යනුවෙනි.
 
"ඔබ මේ පරීක්ෂණයෙන් නිර්දෝෂ වෙයි කියලද බලාපොරොත්තු වෙන්නේ?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය " එසේය ස්වාමීනී" යනුවෙන් සඳහන් කළාය. 
 
"ඔබට තියෙන චෝදනාව අසත්‍ය ප්‍රකාශ කිරීම නේද" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය ඊට ද එසේය ස්වාමීනී" යනුවෙන් පිළිතුරු ලබා දුන්නාය.
 
මෙම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව දහවන විත්තිකරු වෙමින් පෙනී සිටි නීතිඥ රවිහංස විජේසිංහ මහතා සාක්ෂිකාරියට හරස් ප්‍රශ්න කිහිපයක් යොමු කරමින් 10v63 සහ10v53  ලේඛන සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම පිළිබඳව කරුණු විමසා සිටියේය.
 
 
"මෙම ලේඛන ඔබ විසින් සකස් කළ ලේඛන ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එය තමන් විසින් සකස් කළ බවට නම සඳහන් වන බවය. 
 
"එම ලේඛනවල නිරවද්‍යතාවය සෞඛ්‍ය ලේකම් විසින් අත්සන් කරලා තියෙනවා නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය "එසේය ස්වාමීනී" යනුවෙන් පිළිතුරක්  ලබා දුන්නා ය.
 
ඉන් අනතුරුව 11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකාරියට ප්‍රශ්න කිහිපයක් යොමු කළේය. 
 
"ඔබ ඊයේ සාක්ෂි ලබාදීමේදී මෙම රැස්වීමට සහභාගි වූ කෙනෙක් බවට A .K සුදර්ශන මහතා හඳුනාගත්තා. ඒ රැස්වීම් වල මාතෘකා ලෙස සඳහන් වන්නේ කුමක්ද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී අදාළ මිනිට්ස් දෙකේ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇති මාතෘකාවන් පරිවර්තනයන් කරමින් සාක්ෂිකාරිය සඳහන් කළේ  09/05 දින පැවති රැස්වීම ඖෂධ හිඟතාවයට අදාළ විශේෂ පාර්ශව කරුවන්ගේ රැස්වීම ලෙස සඳහන් වන බවය.
 
"10/10 වන දින රැස්වීම ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් ඒකකය, ඖෂධ නීතිගත සංස්ථාව ,රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග පැවති බව"ට සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
"මෙහි ආයතන හතරක නියෝජිතයින් සහභාගි වෙලා තියෙනවා නේද ?යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න අවස්ථාවේ සාක්ෂිකාරිය සඳහන් කළේ ඉහත සඳහන් ආයතන හතරේ නියෝජිතයන් ඊට සහභාගි වී ඇති බවය. 
 
ඒ අනුව අදාළ රැස්වීමට සහභාගි වූ පුද්ගලයන් ගණනාවකගේ නම් සාක්ෂිකාරියට කියවා සිටි නීතිඥවරයා ඔවුන් අදාළ රැස්වීමට සහභාගි වූවාද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එහි නම සඳහන් ඇතැම් පුද්ගලයන් තමන් නොහඳුනන බවය. නමුත් ඔවුන්ගේ නම සහ තනතුර සඳහන් වූ ආකාරයට මෙම සටහනින් ඒවා සටහන් කළ බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය.
 
"ඔබ කර ඇත්තේ උපුටා ගැනීමක් නේද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේ සාක්ෂිකාරිය සඳහන් කළේ අත්සන් ලේඛනයේ තිබූ නම් සහ තනතුරු ඊට ඇතුලත් කළ බවය.
 
" ඔබ සඳහන් කර ඇත්තේ සාකච්ඡාවට ගත් කරුණු නේද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය පිළිගත්තාය. 
 
"ලන්සු ලේඛනය සමග WOR සහතිකය ඉදිරිපත් කළ යුතු බවට EOI කමිටුව විසින් සිදුකර ඇති නිර්දේශය සහ ඒ සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රායෝගික ගැටලුවක් පිළිබඳව අදාළ සාකච්ඡාවේදී අවධානයට යොමු වුණාද?" යනුවෙන් නීතිඥවරයා හරස් ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ අදාළ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස එහිදී උපදෙසක් ලබාදී ඇති බවය. 
 
"එහිදී WOR නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී උපදේශය සම්බන්ධ වගකීම කා වෙත පවරා තිබේද ?"යන්න පිළිබඳව සාක්ෂිකාරියගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය සඳහන් කළේ තමන්ට ඒ පිළිබඳව අවබෝධයක් නොමැති බවය." ස්වාමීනී එහි වෙන දේ ගැන මට අවබෝධයක් නෑ කතා කරන දේ මම ලිව්වා. Process එක කිව්වාම එය කුමක්ද කියලා මම දන්නේ නෑ . එහි ඇති වචනවලින් වචන සටහන් කර ගැනීම පමණයි මම සිදු කළේ යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"යම් ඖෂධයක් විශේෂයෙන් ම පිළිබඳව යම් මෙහිදී කතා කළාද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය "cancer drugs ගැන මෙහිදී කතා කරා නමුත් විශේෂයෙන් ඖෂධයක් ගැන පමණක් කතා කළේ නෑ "යනුවෙන් ප්‍රකාශ කළාය. 
 
"10v63 ලේඛනය බලන්න එහි තියෙනවද සැපයුම්කරුවකු පිළිබඳව විශේෂයෙන් සටහනක් කර?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි විශේෂ  සටහනක් නොමැති බවය. 
 
රැස්වීම් සටහන් ලබා තබා ගැනීමේදී විශේෂයෙන් ලියන්න කියලා හස්ත සංඥාවෙන් කියන කරුණු සටහන් කර ගැනීමක්ද තමන් සිදුකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය .එම අවස්ථාවේදී  විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා " හස්ත සංඥාව" යනුවෙන් ඔබ අදහස් කළේ කුමක්ද ?"යනුවෙන් සාක්ෂිකාරියගෙන් විමසීමක් කළේය.
 
එවිට සාක්ෂිකාරිය තම අත හසුරුවමින් එම හස්ත සංඥාවන් පෙන්වා ඒ ආකාරයෙන් තමන්ට අදාළ සටහන් තබා ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවක් කියා සිටියාය. 
 
"ඔබ කියන්නේ ඔබ කියපු ඔබ ලියපු දේ නිවැරදියි කියලද?" යනුවෙන් නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ" ස්වාමීනී, මට ඇසුන දේ ලිව්වා" යනුවෙනි. 
 
හරස් ප්‍රශ්නය විමසීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් මෙම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව නීතිඥවරු දන්වා සිටියහ.
 
 
ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය  නැවත ප්‍රශ්න විමසීම සිදුකළ අතර ඇය සාක්ෂිකාරියගෙන් විමසා සිටියේ "ඔබ  අතින් ලියූ සටහන් නැවත භාර දීමක් සම්බන්ධයෙන් හයවන චූදිත හරස් ප්‍රශ්නවලදී ප්‍රශ්න කළා. කවුරුන් හෝ එම සටහන් ඔබෙන් ඉල්ලලා තියෙනවාද" යනුවෙන් විමසීමක්  කළාය. 
 
පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය එවැනි ඉල්ලීමක් කිසිවෙකු විසින් සිදු නොකළ බව සඳහන් කළාය.
 
"මෙම මිනිට් සටහන් අත්සන් කර ඇති ලේකම්වරයා අදාළ රැස්වීම් වලට සහභාගි වුණාද?' යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ "ඔහු එම රැස්වීම්වලට සහභාගී වූ බවට ඇති මෙම සටහන් නිවැරදි නොවන බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත්ය. 
 
අටවන චූදිත වෙනුවෙන් ලකුණු කරන ලද ඌනතාවයන් පිළිබඳව සාක්ෂිකාරියගේ අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "මෘදු පිටපත් විනාශ නොකළ හේතු කුමක්ද කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොකිව්වේ ඇයි? යනුවෙන් ප්‍රශ්න කරා ඊට පස්සේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?" යනුවෙන් විමසීමක් කළ අතර  සාක්ෂිකාරිය සඳහන් කළේ " ස්වාමීනි, මගෙන් අහපු ප්‍රශ්න වලට මම උත්තර දුන්නා. එහෙම ප්‍රශ්නයක් ඇහුවා නම් මම උත්තර දීලා ඇති "යනුවෙනි.
 
"ඔබට යෝජනාවක් කළා ඔබ පැමිණිල්ලට පක්ෂපාති සාක්ෂි ලබාදෙන බවට .මේ නඩුවේ පැමිණිල්ල හෝ විත්තිය කියන්නේ කවුරුන්ද යන්න පිළිබඳව හෝ අවබෝධයක් ඔබට තිබෙනවාද?" යනුවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ඒ පිළිබඳව තමන්ට අවබෝධයක් නොමැති බවය. අසත්‍ය ප්‍රකාශ කිරීමට තමන්ට හේතුවක් නොමැති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"සටහන්වල නම් සඳහන් කළේ එම රැස්වීම්වලට සහභාගී වූ භෞතිකව සහභාගී වූ අයගේ නම් ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "මෙම සියලු දෙනා එම ස්ථානයේ සිටීම හේතු කරගෙන අදාළ නම් ඇතුළත් කිරීම සිදුකළ බව"ය. 
 
එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමත් සමඟ සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීම අවසන් කරන ලද අතර පැමිණිල්ලේ සාක්ෂිකාරියක වූ අපේක්ෂා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය උමා ගෞරී සරවනමුත්තු මහත්මිය සාක්ෂි ලබාදීම සිදු කළාය. සිංහල සහ ඉංග්‍රීසි භාෂා මිශ්‍ර කර තමන් සාක්ෂි ලබාදීම සිදු කරන බව ඇය අධිකරණයට දන්වා සිටියාය
 
එහිදී ඇය සඳහන් කළේ තමන් මේ වන විට කොළඹ අපේක්ෂා රෝහලේ සේවය කරන බවය. මෙම නඩුවට හේතු වී ඇති කාලයේදී තමන් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති ලෙස කටයුතු කළ බව ඇය සඳහන් කළාය. 
 
එම අවස්ථාවේදී සාක්ෂිකාරියගේ ප්‍රවීණත්වය සහ සුදුසුකම්, විශේෂඥ භාවය පිළිබඳව විත්තියේ නීතිඥවරුන් විසින්ද පිළිගැනීමක් සිදු කරන ලදී. 
 
අනතුරුව සාක්ෂිකාරියගෙන් සාක්ෂි විමසීම ආරම්භ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය" යම් රෝගියෙකු විශේෂයෙන් හඳුනාගත් විටද පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට යොමු කරන්නේ" යනුවෙන් ප්‍රශ්නයක් යොමු කළාය.  
 
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ" විවිධාකාරයේ පිළිකා වර්ග ඇති බවත් සාමාන්‍ය වෛද්‍යවරයෙකු වෙතින් ප්‍රතිකාර ලබාගැනීමේදී මතුවන තත්ත්වයන් මත ඒ ඒ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කරන බවය. වසා ග්‍රන්ථි වල ඇති වන පිළිකා සෛල මර්ධනය කිරීම සඳහා රිටොප්සි මැබ් ඖෂධය, කිමෝ සමග මිශ්‍ර කර රෝගීන්ට ලබා දීමක් සිදුකරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
එලෙස එම ඖෂධ සති තුනෙන් තුනට රෝගීන්ට ලබා දිය යුතු බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
සැපයුම්කරුවෙකුගෙන් එම ඖෂධ ලබා ගැනීමේදී අදාළ ඖෂධය ලියාපදිංචිද නැද්ද යන්න පිළිබඳව තමන් විශේෂයෙන්ම අවධානය යොමු කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
සේලයින් එකකට දමා අදාළ ඖෂධ ලබාදීම සිදුකරන අතර අදාළ ඖෂධ වලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එලෙස ඖෂධ මිශ්‍ර කරල ලබාදීමක් සිදු කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
තමන් විසින් භාවිතා කර ඇති රිටොප්සිමැබ් ඖෂධ විදේශ රටවලින් ආනයනය කරන ලද ඒවා වන අතර ලංකාව තුළ එම ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා තාක්ෂණය නොමැති බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"පිළිකා රෝග ඖෂධ තේරීම කරන කොට විශේෂයෙන්ම බලන්නේ මොකක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ එම අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පිළිබඳව දැඩි අවධානය යොමු කරන බවය.  
විශේෂඥ වෛද්‍යවරිය විසින් මූලික සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකාරියකගෙන් හරස් ප්‍රශ්න කීපයක් විමසා සිටියේය. 
 
රිටොප්සිමැබ් ඖෂධයට තවත් ඖෂධ මිශ්‍ර කර ලබාදීම සම්බන්ධයෙන් ලබා දුන් සාක්ෂිය පිළිබඳව විමසූ  නීතිඥවරයා" ADR එකක් වාර්තාවන් වුවහොත් ඒකට හේතුව කුමක්ද කියලා සොයා ගැනීම කරන්නේ කෙසේද?"යි ප්‍රශ්න කළේය.
 
එහිදී සාක්ෂිකාරිය සඳහන් කළේ සෘජුව එය හඳුනාගත නොහැකි නමුත් කිමෝ ප්‍රතිකාරය දිගින් දිගටම ලබා දෙද්දී දක්වන ප්‍රතිචාරයට වඩා මිශ්‍ර කරල ලබාදීමේදී ADR වාර්තා වන්නේ නම් ඊට හේතුව අනෙක් ඖෂධය බවට සැක කළ හැකි බවය. 
 
අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා මෙරට පහසුකම් නොමැති බවට ලබා දුන් සාක්ෂිය සම්බන්ධයෙන් විමසීමක් කළ නීතිඥවරයා" ඒ පිළිබඳව ඔබ පරීක්ෂණයක් කර තිබෙනවාද?"යි විමසීමක් කළේය.
 
සාක්ෂිකාරිය සඳහන් කළේ තමන් එවැනි පරීක්ෂණයක් කර නැතත් ඊට අදාළ තාක්ෂණය මෙහි නොමැති බව දන්නා බවය. 
 
"ඔබ කිව්වා ටෙක් එකේදී cool temperature එක බලනවා කියල ඇයි ඒ?" යනුවෙන් නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් ඇය " සමහර ඖෂධ transport කරන කොට සහ storage කරන විට cool එක වෙනස් වෙන්න පුළුවන්. එසේ වුනොත් ඒ ඖෂධයෙන් වැඩක් නෑ" යනුවෙන් සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළාය.
 
"එසේ වුණොත් ඖෂධයේ ගුණාත්මක භාවය අඩුවෙන්න පුළුවන්ද ?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය එසේ ගුණාත්මක භාවය අඩුවිය හැකි බවත් කියා සිටියාය. 
 
මෙම ඖෂධය කිමෝ නොමැතිව තනිවම රෝගියෙකුට ලබාදෙන අවස්ථා තිබෙනවාද නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ එවැනි ඖෂධ ලබාදීමක් සිදු කරන බවය. 
 
එම හරස් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව 11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සාක්ෂිකාර විශේෂඥ වෛද්‍යවරිය වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළේය.
 
"රෝගීන්ට ලබා දෙන ඖෂධ ලබාදීම් සම්බන්ධයෙන් වගකීම ඇත්තේ කවුරුන් සතුව ද?"යි නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී "වෛද්‍ය සැපයුම් ඒකකය සතුව එම වගකීම ඇති බව" සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"ඔබ නිර්දේශ කරන ඖෂධ ප්‍රමාණයක් ලබාදීමට වෛද්‍ය සැපයුම් ඒකකයට වගකීමක් තිබෙනවා නේද ?"යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර "ඔව් අපි ප්‍රමාණය ලියනවා. රෝගියාගේ උස සහ බර අනුව එය ලබාදීම කළ යුතුයි" යනුවෙන් සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
එම ප්‍රශ්න විමසීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීමත් මෙම සාක්ෂිකාරියගෙන් සිදු නොකරන බවට නීතිඥවරුන් විසින් අධිකරණයට දන්වා සිටින ලදී.
 
අනතුරුව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විසින් නැවත ප්‍රශ්න යොමු කිරීම සාක්ෂිකාරිය වෙත සිදු කළාය. 
 
එහිදී සාක්ෂිකාරිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සඳහන් කළේ ඇතැම් ඖෂධ හේතුවෙන් අතුරු ආබාධ මෙන්ම මරණ පවා සිදුවිය හැකි බවය.
 
"බරපතළ රියැක්ෂන් එන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන් රෝගියාගෙන් රෝගියාට එය වෙනස් වෙනවා. ඒකට අදාළ පිළියම් කරනවා පිළියම් මුලින්ම රෝගියාට දීල අපි බලනවා ඒකට දක්වන ප්‍රතිචාරය මොනවද කියලා. ඖෂධ ලබාදීමේදී safety and efficiency කියන එක හරිම වැදගත්" යනුවෙන් සාක්ෂිකාරිය කියා සිටියාය. 
 
"විත්තියෙන් පෙනී සිටි නීතිඥවරයා ඔබෙන් ඇහුවා ඖෂධ වලින් shortages මොනවද තියෙන්නේ කියලා?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය කියා සිටියේ මම 2024 වසරේදී තමයි පිළිකා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යාතනයේ සභාපතිවෙලා හිටියේ. ඒ කාලේ නම් shortages එහෙම තිබුණේ නෑ" යනුවෙනි.
 
එම සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීමෙන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි අංක 40 ලෙස නම් කර සිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නියාමන වැඩ පාලන අර්ජුන දයාසේන පද්මපෙරුම මහතා සාක්ෂි ලබාදීම සිදු කළේය. 
 
අධිකරණයට ඉදිරිපත් කර ඇති පැ 433 ලේඛනය සාක්ෂිකරුගේ අවධානයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඒ සම්බන්ධයෙන් එය හඳුනාගත හැකිදැයි සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. 
 
එම ලේඛනය හඳුනාගත හැකි බවත් 2025 පෙබරවාරි 11 වන තියෙන වෛද්‍ය සැපයුම් ඒකකයෙන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සාම්පල සියයක් සහ රිටොප්සිමැබ් වයල් සියයක් ලබා  ගැනීමට අදාළ කරුණු එහි ඇතුළත් වන බවය.
 
අදාළ ඖෂධ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ලක්සිරි මහතාද, NMQAL ආයතනයේ නිලධාරීනියක්ද තමන් සමග ගිය අතර අංකය 6 ගබඩාවේ ශීත ඖෂධ අංශයේ දී එම ඖෂධ භාර ගැනීම සිදුකළ අතර ගබඩා භාරකරු බණ්ඩාර මහතා ද එහි සිටි බව ඔහු සඳහන් කළේය.
 
2-8  උෂ්ණත්වය ආරක්ෂා වන පරිදි ඍජු ෆෝම් පෙට්ටියක බහා අයිස් පැකට් දමා කොලිටි ලොග් එක බැගින් එම පෙට්ටි වලට සවි කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.
 
අනතුරුව එම පෙට්ටි වලට සීල් තබා අත්සන් තැබූ බව ද සාක්ෂිකරු සඳහන් කළේය.
 
"මේවා කොහේටද අරගෙන ගියේ?" යන්න නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "ජර්මනියේ ප්‍රාන්ත රජයට අයත් රසායනාගාරයට ඒවා රැගෙන ගිය බව"ය.
 
"වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවේ සිට ජර්මනියේ එම රසායනාගාරයට භාරදෙන තෙක් ශීත දාමය ආරක්ෂා කළ යුතු බවට දන්නවාද?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය පියවර ගත් බවය. ඊට අදාළ Advice note එකට අත්සන් තැබූ බවසඳහන් කළ සාක්ෂිකරු එය තමන්ට හඳුනාගත හැකි බව ප්‍රකාශ කළේය. 
 
අනතුරුව සාක්ෂිකරුට කුප්පියක් ඇතුලත් කාඩ්බෝඩ් පෙට්ටියක් පෙන්වා සිටි අතර සාක්ෂිකරු සඳහන් කළේ මෙම පෙට්ටිය ඇතුළත් කාණ්ඩයේ නොව වෙනත් කාණ්ඩයකට අයත් වයල් විසින් තමයි තමන් විසින් රැගෙන ගිය බවය. 
 
වෛද්‍ය සැපයුම් එක්කෙනෙක් ලබාදුන් ශීතකරන පහසුකම් සහිත වාහනයකින් තමන් සහ ලක්සිරි මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් කළ අතර එහිදී සාමාන්‍ය ලගේජ් ගෙන එන කොටසේ අදාළ සාම්පල රැගෙන ගිය බවද ,ශීත දාමය ආරක්ෂාව වන අයුරින් කටයුතු කර තිබීම නිසා සාමාන්‍ය කොටසේ එම භාණ්ඩ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
ජර්මනියේ ගුවන්තොටුපළට රැගෙන ගිය එම ඍජු ෆෝම් පෙට්ටි අදාළ රසායනාගාරය වෙත රැගෙන ගිය බවද සාක්ෂිකරු සඳහන් කළේය 
 
එම මූලික සාක්ෂි විමසීමෙන් අනතුරුව පළමු වෙන විත්තිකරු වෙනුවෙන් පෙනී සිට නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය .
 
තමන් ජාතික ඖෂධ අධිකාරියේ ඖෂධ වේදියකු ලෙස කටයුතු කළ බවත් මෙම ලේකම්වරයාගේ කාලයේ වෙනත් ස්ථානයකට මාරු කිරීමක් කළ අතර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව නැවත ඖෂධ අධිකාරියේ සඳහා පැමිණි බවත් සාක්ෂිකරු කියා සිටියේය.
 
 
"පළමුවන චූදිත හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රැස්වීමක් පැවති බව ඔබ සඳහන් කළා කවුද ඒක මෙහෙයවූයේ ?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේදී තමන් විසින් එම රැස්වීම මෙහෙයවූ බවත් ඊට අදාළ ලිපිගොනුවක් තිබේද යන්න පිළිබඳ තමන්ට මතකයක් නොමැති බවත් සාක්ෂිකරු කියා සිටියේය. 
 
එහිදී නීතිඥවරයා "ඔබ කිසිදු සැලකිල්ලකින් තොරව කටයුතු කරන රාජ්‍ය නිලධාරියකු බව යෝජනා කරනවා." යනුවෙන් සඳහන් කළ අවස්ථාවේදී සාක්ෂිකරු එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
 
මෙම චූදිතට අයත් අයි සොලෙස් බයෝටෙක් පාමා සමාගම දීර්ඝ කාලයක පටන් gmp ලබා ගැනීම සඳහා අයදුම් කර ඇති බව දන්නවාද?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ ඒ බව දන්නා බවත් gmp ලබාදීම සඳහා එම ආයතනයට සුදුසුකමක් නොමැති බවත්ය. 
 
මෙම අයිතිකරුට අයත් පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා තමන් ගිය අතර අයිතිකරු රළු ආකාරයෙන් බැන වැදී හැසිරීම නිසා එම පරීක්ෂාවන් නිසි පරිදි සිදු කරගත නොහැකි වූ බවද සාක්ෂිකරු සඳහන් කළේය. 
 
අදාළ කර්මාන්ත ශාලාවේ ඡායාරූප බවට ඡායාරූප කිහිපයක් නීතිඥවරයා විසින් සාක්ෂිකරුගේ අවධානයට ලක් කළ අතර "ඒවා එම සමාගමට තිබෙනවාද යන්න පිළිබඳව තමන්ට සැක සහිත බවත් තමන්ගේ ස්ථානයේ තිබුණේ නිවසක් වැනි පෙනුමක් ඇති තට්ටු තුනක ගොඩනැගිල්ලක් බවත්" සාක්ෂිකරුය කියා සිටියේ ය.
 
එම ආයතන පරිශ්‍රයට යන අවස්ථාවේදී ඊට අදාළ ලිපිගොනුවක් රැගෙන ගියේ දැයි නීතිඥවරයා ප්‍රශ්න කළ අතර එවැන්නක් රැගෙන නොගිය බව සාක්ෂිකරු කියා සිටියේය.
 
"මා නැවත යෝජනා කරනවා ඔබ වගකීම් විරහිත නිලධාරියෙක් කියලා" යනුවෙන් නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී සාක්ෂිකරු එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
 
අදාළ ඖෂධ සාම්පල ගුවන් මගින් රැගෙන යන අවස්ථාවේදී එහි බර පිළිබඳව තමන් අවධානය යොමු නොකළ බව සාක්ෂිකරු කියා සිටියේය.එසේම ඒවා ජර්මන් රසායනාගාරයට ලබා දීම  හෝ ශීත දාමය සම්බන්ධයෙන් ලියකියවිලි කිසිවක් තමන් සතුව මේ අවස්ථාවේදී නොමැති බව සාක්ෂිකරු කියා සිටියේය.
 
එම අවස්ථාවේ නීතිඥවරයා "මා නැවත වරක් ඔබට යෝජනා කරනවා ඔබ කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන රාජ්‍ය නිලධාරියෙක් බවට" යනුවෙන් ප්‍රකාශ කළ අතර සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය.
 

ඒ සමගම එදිනට නියමිත සාක්ෂි ලබා ගැනීම අවසන් කරන ලදී.

 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න  

 

නවතම පුවත්