ප්රජාතන්ත්රවාදය සහ අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් විපක්ෂ නායකයන් සහ සිවිල් සංවිධාන ඒකාබද්ධ ප්රකාශයකට අත්සන් තබයි
ලබන 24 වැනිදා පොල්දූව මංසන්ධියේදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට තීරණය කෙරේ
පොදු සම්මුතියක් වෙනුවෙන් විපක්ෂයේ එකඟතාව
ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්යස්ථානයේ කැඳවීමකට අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ රැසක නායකයන් සහ සිවිල් ක්රියාකාරීන් පිරිසක් කොළඹදී එක් වේදිකාවකට ඊයේ (17) එක්විය. රටේ ප්රජාතන්ත්රවාදී ව්යුහය, අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම පුරවැසි අයිතිවාසිකම් රැකගැනීම මුල්කරගනිමින් රජය විසින් ගෙන ඒමට නියමිත බව කියන 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව මෙහිදී ඒකාබද්ධ ප්රකාශයකට අත්සන් තබා ඇත.
මෙම ඒකාබද්ධ ප්රකාශයට එළඹීමෙන් අනතුරුව පැවති විශේෂ නායකත්ව හමුවේදී තීරණය වී ඇත්තේ යෝජිත සංශෝධනයට විරෝධය පළකිරීම සඳහා එළඹෙන 24 වන දින ඒකාබද්ධ මහජන විරෝධතා ව්යාපාරයක් දියත් කිරීමටයි.
24 වනදා විරෝධතාව සහ කළු ඇඳුම් විරෝධය
තීරණය කර ඇති පරිදි එදින පෙරවරු 9.00ට කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තු පිවිසුම් වටරවුම ආසන්නයේ පිහිටි පොල්දූව මංසන්ධිය වෙත මහජනතාව ඒකරාශී කිරීමට පක්ෂ නායකයන්ගේ එකඟතාව හිමිව තිබේ. ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් ක්රියාත්මක වන මෙම විරෝධතාවට රජය කිසියම් බාධාවක් එල්ල කළහොත් ඊට විපක්ෂයක් ලෙස සාමූහිකව මුහුණදෙන බව ද මෙම හමුවේදී නියෝජිතයෝ අවධාරණය කළහ.
තවද, මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කිරීමට රජය කටයුතු කළහොත්, ඉන් අනතුරුවද අඛණ්ඩ ඒකාබද්ධ වෘත්තීය හා දේශපාලන ක්රියාමාර්ග වෙනුවෙන් මෙම සාමූහිකත්වය ඉදිරියට ගෙන යන බවට ද මෙහිදී තහවුරු වී ඇත.
පක්ෂ නායකයන් සහ සිවිල් ක්රියාකාරීන්ගේ සහභාගිත්වය
මෙම අවස්ථාව සහ ඉන් අනතුරුව පැවති මාධ්ය හමුව සඳහා විවිධ දේශපාලන මත දරන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.
ඒ අතර
* ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන්
* ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න
* එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ,
* දමිළ ප්රගතිශීලි සන්ධානය පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන්, පී.දිගම්බරම්,
* ශ්රී ලංකා නිදහස් පක්ෂය සභාපති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා,මහලේකම් දුමින්ද දිසානායක,
* නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක,
* ඒකාබද්ධ විපක්ෂය මහාචාර්ය මහාචාර්ය ජී.එල්. පිරිස්,
* ජාතික නිදහස් පෙරමුණ විමල් වීරවංශ,
* පිවිතුරු හෙළ උරුමය නීතිඥ උදය ගම්මන්පිල,
* ශ්රී ලංකා මහජන පක්ෂය හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අසංක නවරත්න,
* ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෛද්ය ජී වීරසිංහ
* ලංකා සම සමාජ පක්ෂය පේෂල සේරසිංහ,
* එක්සත් ජනරජ පෙරමුණ බන්දුල චන්ද්රසේකර,
* අරුණළු ජනතා පෙරමුණ වෛද්ය කේ.ආර්.ක්රිෂ්ණා
* නව ලංකා නිදහස් පක්ෂය සෙනල් වෙල්ගම
* මහජන එක්සත් පෙරමුණ නීතීඥ තිස්ස යාපා
* ජනතා සේවක පක්ෂය ජයන්ත විජයසිංහ
* සර්ව ජන බලය ජගත් පුෂ්ප කුමාර
* නව ජනතා පෙරමුණ උපතිස්ස කුමාරතුංග
* ජනසෙත පෙරමුණ බත්තරමුල්ලේ සීලරතන හිමි
සත්ය ගවේශකයෝ නීතිඥ ප්රේමනාත් දොළවත්ත සහභාගී වී සිටියහ.
ප්රජාතන්ත්රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්යස්ථානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න,නීතිඥ ශිරාල් ලක්තිලක, දීප්ති කුමාර ගුණරත්න, නිශාන්ත ශ්රී වර්ණසිංහ, සමන් රත්නප්රිය, රවී කුමුදේශ්, නීතිඥ ආශා කහවත්ත සහභාගී වූහ.











