පණ්ඩුකාභය රජතුමාගේ එකම පුත්‍රයා මුටසීව කුමරුය. පියාගේ ඇවෑමෙන් රජවන මුටසීව රජතුමාගේ ජානයෙන් උපන් පුතුන් දසදෙනෙකි.
එමෙන්ම දියණියන් දෙදෙනෙකි. එවිට මුටසීව රජතුමාගේ දෙටු (ජ්‍යෙෂ්ඨ - වැඩිමහල්) පුත්‍රයා රාජ නියාමන සම්ප්‍රදායන් අනුව රජවිය යුතුය. ඒත් ඔහුට රජකම අහිමි වී යයි.
"අභයතිස්ස" ලෙස නම් ලද මේ මුටසීව රජුගේ ලොකු පුත්‍රයා 'තනේගල කුමරු' සේ ජනතාවගේ නමක් ලද පුත්‍රයාය. ඒත් ඉතිහාසය දන්නා අය ඔහු ගැන නොලියා ඔහුගේ මල්ලී දෙවන තිස්ස - පියතිස්ස හෙවත් දෙවනපෑතිස්ස රජපුත් රාජ සමය ගැන කතා කරයි. වාර්තා කරයි. තවමත් නිමක් නැතිව ලියමින් සිටි.
දෙවන තිස්ස - පියතිස්ස හෙවත් දෙවනපෑතිස්ස රජපුත් රාජ සමය
සැබවින්ම රාජකීය සම්ප්‍රදායන් කඩවෙමින් කුමරු දෙවනපෑතිස්සට රජකම හිමිවන්නේ කෙසේ ද. රාජකීය සම්ප්‍රදාය අනුව රජකම හිමි වුව ද රජ පදවිය නොලඳ කුමරු අභයතිස්ස හෙවත් තනේගල කුමරු ඉතිහාසයේ මතු කිරීම් වලින් ඉවතට ගියේ මන්ද. ලංකා ඉතිහාස කතිකාවට බට නුතනයන් මේ තරම් අන්ධානුකරණයේ ගිලි විචාරශිලී නොවන්නේ මන්දැයි වටහා ගත නොහැකි තරම්ය.
අභයතිස්ස කුමරුට හෙවත් තනේගල කුමරුට රජකම අහිමි වීම
විජය රජුගේ පුතු ජීවහත්ථට රජකම අහිමි වු සැටි දන්නේය. දුටු ගැමුණු රජුගේ පුතුට රජකම අහිමි වීම දන්නේය. පළමු විමලධර්මසුරිය පුතු අස්ථාන කුමරුට රජකම අහිමි වු බව හොඳටම දනිමි. මේ වගේ රජකම අහිමි වු රාජකීය පුතුන්ගේ දිග කතාවක් ගැන දන්නා තරම් දැනිම් ඇත. ඒත් පුදුමය අභයතිස්ස කුමරුට හෙවත් තනේගල කුමරුට රජකම අහිමි වීම තබා ඒ නමින් යුතු පුතෙක් සිටි බවවත් මතු වී නැති වීමයි. දෙවනපෑතිස් රජතුමාගේ රාජ්‍ය පරිච්ජේදය දුටුගැමුණු රාජ පරිච්ජේදය හැරුණු විට වඩාත් සමාජකරණය, අධ්‍යාපනකරණය හා ශාස්ත්‍රකරණය සහ මහජනකරණය වී ඇති පුවතය. ඒත් අපි කිසිවෙක් දෙවනපෑතිස් පුවතට බැඳි ඔහු ගැන නොදන්නා තරම් නිහඬ වුයේ කිමද.
දැන් ඉතිහාස මංසන්ධියේ නැවති ආපසු හැරෙන්නට ආරාධනා කරමි. තනේගල කුමරු හෙවත් "අභයතිස්ස" කුමරුව මේ තරම් දරුණු අමතක කිරීමකට ලක් වු පුවත ඇස ගැටිණි. ඔහු සොයා යන්නට සිත උපන් හැඟිම් වලින් පුරාවෘත්ත විත්ති අන්දර මැදින් ගොස් ශාස්ත්‍රීය දත්ත සමඟ කිමිදෙමි. පලක් ඇති තැන ඇත්තේ හදවත් පපුවේ නිදන් කළ මිනිස් මතක තතු වල බව දැනිණි. මන්නාරම් තොටේ තොටියන් අතර දිවි ගෙව්වේය. ඒ සිලාවතුරට මෝටාර් වැසි පතිත වෙච්ච කාලයේය.
තනේගල කුමරු හෙවත් අභයතිස්ස කුමරුගේ අශ්වයා
වංශ කතාව ලියා තබන මුටසීව රජුගේ වැඩිමහල් පුතු හෙවත් දෙවනපෑතිස් රජතුමාගේ අයියා වු තනේගල කුමරු හෙවත් අභයතිස්ස කුමරුගේ අශ්වයා ගැන අමුතු කතාවක් හමුවිය. ඉතින් මුලින් , මැදින් , අගින් ඔහු සොයන ඉව වැටුණේ මේ විදියටය. ඒත් කුමරුගේ අශ්වයා සොරා ගත් කතාව මට එක්විටම විමලධර්මසුරිය රජුගේ පුතු සිහි කළේය. මන්ද පළමු විමලධර්මසුරිය රජතුමාගේ පුතු අස්ථාන කුමරුට කිරුළ අහිමි කළේ ගම්පෙළ තෙරුන් හෙවත් සෙනරත් රජුය. එම උපාය යෙදෙව්වේ අස්ථාන කුමරුගේ කොණ්ඩ කුරුළු සුරතලා මරා දැමීමෙන්ය.
එවිට මේ කතාව අනුව අභයතිස්ස කුමරුගේ අශ්ව සුරතලා රැගෙන ආවේ ශාලි පබ්බත බ්‍රාහ්මණයාය. එවිට මේ ශාලි පබ්බත බ්‍රාහ්මණයා ගැන මන්නාරම් වැල්ලේ තොටියන් කියන කතාව බරපතල බව වැටහුණේය. එනම් අශෝක අධිරාජයා හා දෙවනපෑතිස් කුමරු අතර දුතයා ලෙස කටයුතු කළේ ශාලි පබ්බත බ්‍රාහ්මණයාය. එය මහාවංශයේ ද ලේඛන ගතව ඇති ශාස්ත්‍රිය දත්තයක් වේ.
අභයතිස්ස කුමරුගේ අශ්ව සුරතලා රැගෙන ආවේ ශාලි පබ්බත බ්‍රාහ්මණයාය
එසේ නම් දැන් ශාලි පබ්බත බ්‍රාහ්මණයා විසින් ඉටු කරන රාජ්‍ය දුත කාර්යය ඉතිහාසයේ සොයා බැලිය යුතුයැයි සිතුවෙමි. දෙවනපෑතිස් කුමාරයා රජවන්නටත් පෙර අශෝක කුමරු රජවන්නටත් පෙර දෙදෙනා මිතුරන් වී සිටි බව නිල ලේඛන වලින් පැහැදිලිය. මේ මිතුදම අතර මැද්දේ ස්ථානගත වන ශාලි පබ්බත බ්‍රාහ්මණයා කවුද. ඔහු එසේ ස්ථානගත වන්නේ කවර අරමුණකින් ද . ඔහුට මේ ලංකා - භාරත රාජ්‍ය බල කේන්ද්‍රයේ තීරක භූමිකාවේ දුතකාර්‍යයන්ට උරුමකම ලැබුණේ කෙසේ ද . එසේ නම් ශාලි පබ්බත බ්‍රාහ්මණ ගැන සොයා යා යුතු යැයි සිතුනේය.
ඔහු ගැන සොයා ගත් විට ලංකාවේ මිනිසුන් තුළින්ම අයුක්තියට පත් අභයතිස්ස කුමරු සොයා ගැනීමට මාවත පෑදේ. මේ පුවත නිසා ජනතාවගේ පපුවේ ලියන තතු ලෙහෙසි පහසු නැති බව වැටහුණේය. මන්ද ලංකා - භාරත නෑකම අතර බලවත් කතාව වන්නේ දෙවනපෑතිස් රජතුමාට දෙවන අභිෂේකයක් සිදු කරන මොහොතය.
මේ සඳහා මැදිහත් වු ප්‍රධාන චරිතය වන්නේ ද ශාලි පබ්බත බ්‍රාහ්මණයාය. එවිට දෙරටේ රජුන් අතර ඔහුට මේ ප්‍රබල භූමිකාව හිමිවුයේ කෙසේ ද. ශාලි පබ්බත බ්‍රාහ්මණ ලංකා සමාජයේ ප්‍රබලයෙකු ලෙස තහවුරු වන්නේ කෙසේ ද. මොහු අශෝක රජුගේ දේශපාලන ව්‍යපාරය විසින් ස්ථානගත වු චරිතයක් ද?. දෙවනපෑතිස් රජුගේම චරිතයක් ද? .
නොවේ නම් චානක්‍ය හෙවත් කෞටිල්‍ය ආචාර්යවරයාගේ දේශපාලන උපාය මාර්ග ගත සිතියමේ ස්ථානගත වීමක් ද . මේ ඉතිහාසයේ අමුතු මාවතේ මතක තැන් පාදා ගැනීමට වටිනා නිමිතිය. මේ නිතිමි හාරාගෙන නොගොස් ඒ සමයේ එකී විස්තර සොයා ගත නොහැක. අභයතිස්ස රජකුමරු හෙවත් තනේගල කුමරු ද සමඟ ශාලි පබ්බත සැඟවී ගොස්ය. ඔහු ගැන කතනය අවශ්‍ය වන්නේ මුටසීව රජුගේ දෙටු පුතු වු තනේගල කුමරු සෙවීමටය. ඒවගේම භාරත - ලංකා නෑ බැඳුමන්වල මුල් වියමන් සොයා යන්නටය. ශාලි පබ්බත බ්‍රාහ්මණයා විසින් අලුත් පර්යේෂණයක් මාගේ සිතිවිලි අන්දරයට ගෙනාවේ මේ විදියට ය.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම