සංඝමිත්තා මහත් රහත් තෙරණිය සමඟ වැඩම කරවන ස්ත්‍රී රහත් තෙරණියන් සොයමින් යන ගමන පටන් ගතිමි. මේ 1998 මුල් කාලයේය. වත් විත්ති ප්‍රවාද සොයමින්
ඇවිදින්නට විය. ඒ අතර ඉතිහාසයේ ශාස්ත්‍රීය දත්ත සොයා යමින් සිටිමි. දීපවංශ කතුවරියන් වහන්සේලා සටහන් තබා ඇති දත්ත දිගේ ඇවිද යමින් බොහෝ දුරක් ගමන් කළෙමි. එහෙත් ස්ත්‍රී ශාසනික තතු ඉතිහාසය ධර්ම ග්‍රන්ථ වලින් පවා ලුහුඞුව පටුව ගොස් ඇති විමතිය කුමක්ද. ඒ විමතිය පුරුෂ ශාසනයට එරෙහිව ස්ත්‍රීවාදී අවලාදයක් සේ නැග එන තර්කයෙන් වටහා ගැනීමට නුසුදුසුය. එය සත්‍ය දකින්න ඉඩ අහුරා ප්‍රතිපක්ෂ තර්කනය මතු කරන දෘෂ්ඨිවාදයක් නිසා ඉන් මිදී සිතන්න වීමි.
සංඝමිත්තා මහත් රහත් තෙරණිය සමඟ වැඩම කරවන ස්ත්‍රී රහත් තෙරණියන්
අහම්බෙන් දෙදහස වසරේ වැල්වැටිතුරේ බලා යන්නට හැකි වූ දවස මගේ දිගු පිපාසාව සජීවී මොහොතක් වෙත ලං කලේය. ඇත්තටම මහායාන හා ථේරවාද ලෙස බුදු දහමෙහි දහම් සාරය විභේදන කරන්න මත්තෙන් ශ්‍රී ලංකාවේ සිටි බෞද්ධ ජනයාගෙන් යාපා පටුනේ නායකයා වූ "සමිද්ධි" ගැන විත්ති අන්දරයන් පපුවේ ලියා තබා ගත් ප්‍රජාව එක්ක කතාවේ ගිලී ගියෙමි. තම සහෝදර ජාතියේ බස නොදන්නා සොහොයුරෙක් ලෙස මම පත්වූ ලතැවිල්ල මට දෙමළ හද පපුව දෙස විතරක් නොව ලංකාව දෙසට ඇස් ඇර බලන්න බලපෑවේය. ඒත් වඩාත් ගැඹුරට කරුණු වැදුනේ 2005 ජනාධිපතිවරණ සටන් සමයේ හමු වූ අමුතු දෙමළ ජාතිකයන් නිසාය.
යෙහෙළි තෙරණියන්ගේ වත ලියන්නට මම තව දුර ඇවිද යා යුතු යැයි සිතා තවත් සොයන්නට වීමි. එසේ සොයන විට තවත් අළුත් මාවතක් හමුවිය. ඒ අම්මා සහ පුතාය.ඒ කිව්වේ සංඝමිත්තා අම්මා සහ සුමන පුත්‍රයාය.සංඝමිත්තා මහ රහත් තෙරණිය සිරිලක වඩම්මන්නට පෙර එතුමියගේ පුත්‍රයා සුමන ලංකාවට වැඩම කොට සිටියාය. ලංකාවේ බෞද්ධ සමාජය මේ අමුතුම මව් - පුතු බන්ධනය ගැනද ගුප්ත නිහඞකමට ගිලී සිටී. ඒ මන්දැයි සිතිය යුතු තරම්ය. සංඝමිත්තා කුමරිය දේවියක්ව අම්මාවක් වෙමින් ගැබේ දරමින් ශාසන ප්‍රාර්ථනා දැරූ අමුතු ස්ත්‍රියකි.ඇගේ කුසින් උපන් පුතු සුමන වූ අතර ඒ පුත්‍ර සුමන ලෙසට ළමා වියේම මහණ වේ.ඒ සුමන හිමි තම මාමා වූ මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ ලංකාවට වඩින්නේය. එනමුත් සිතුවමකවත් ඒ කුඩා සාමනේර රහතුන් නැත්තේ මන්ද. නමින් උන් වහන්සේ ඇත්තේ උවද රූ සටහන් වල හිරිමල් සුමන රහතුන් වෙනුවට අපිට හමු වන්නේ වැඩීගිය මහ රහතුන්ය. සුමන හිමියන් විශේෂ කොට සිතුවම් කරන්නට ලාංකික ශිල්පීන් මනාප නොවුනේ මන්ද . නොවේ නම් එවන් සිතුවම් මැකී ගියාද. සංඝමිත්තා පවත ලියා තැබූ විට මේ මව් - පුතු කථාව අධිනිශ්චය වී එළියට නාවේ කවර හේතුවකටද?. මම දැන් සංඝමිත්තා මහ රහත් උත්තමාවියගේ යෙහෙළි තෙරණියන් සොයා යන්න ගිය ගමනේ අතර මැදය.ඒ අතර මැද සිටිමින් සංඝමිත්තා මවගේද සුමන පුතාගේද ලොව්තුරු සෙනෙහසේ නිරාමිස අන්දරයේ ගිලී ගියෙමි.
සුමන හිමි තම මාමා වූ මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ ලංකාවට වඩින්නේය
පිරිමි අපට අපේ මනස අතුරා දිවයන මහා සංකල්පය අම්මාම වන්නේ ය. අම්මා කෙනෙක් යනු පුතුන්ගේ මහා චෛතසිකයය. එමෙන්ම මහා දරාගැනීම් හා පරිකල්පන ආල රසයෙහි ආදර විජිතය යැයි හැඟේ. එවිට ලක්දිව අති සියුම් පිරිමින් ලියු ගද්‍ය පද්‍ය වලටවත් මේ අම්මා පුතා එකට මුණ ගැසුනේ නැත්තේ ඇයිදැයි පුතෙකු වූ මාගේ හද ගැඹරේ දුක් ගීයක් සේ නින්නාද වේ. එය හෘදය ඉරිතලා ගිය දුකඛ්‍යාවේගයක් වූයේය. යමින් සිටි පර්යේෂණය සංඝමිත්තාවන්ගේ යෙහෙළි තෙරණියන්ය. නමුත් මගදී මුණ ගැසුනේ අම්මා පුතාය. ඒ සමඟ මාව වෙනම තැනක ස්ථාන ගත වේ. පුත්‍රයන්ගේ මාතෘ ආවේගය පරිකල්පනීය පරාසයේ පුළුල් කතාවකි. කොහොම නමුත් හැඟුම්කරණයෙන් මිදී බලන්න බැරි ඉතිහාස ගංගාවට ඇද වැටුනේ මේ විදියටය. ඉතින් අම්මයි පුතයි එකට තබමින් සොයා විමසමින් ආදරයෙන් හදාරමින් තවමත් සොයමි. අතීත නූතන කිසිම භාව හැඟුමකට මේ ඉසියුම් සංවේදී පුවත හසු නොවීම මවිතයක්මය. තෙරණි ශාසනය අතුරුදන් වූ නිසා මෙහෙම වූවා යැයි සිතිය හැකිය.ඒත් පුරුෂයන් තුල අම්මා කෙරෙහි පිහිටා ඇති සොබාවික මානව භාවමය අන්දර අනුව පුත්‍රයන් අතින් එය ගිලිහී යා හැකිද. ශාසනික වාර්තා පීරන්නට වීමි. ලංකා සිතුවම් කරණයේ සිතුවම් පුරා එබී බැලීමි. සෙල් ලිපි පුවරු ලිපි ජන කවි අන්දර විත්ති මේ කිසිවක මේ අම්මා පුතා එකට හමු නොවන්නේය.
ඉතිහාසය සපුරා වාර්තා තැබූ මෙවන් සුවිශේෂ ප්‍රභූ මහරහත්වරියක් හා මහරහත්වරයෙකුගේ කථා පුවතට මෙසේ සිදුවීම කියා දෙන්නේ කවරක්ද. ඉතිහාසය විසින් පිටමං නොකළ පුවතක් ජන විඥාණයෙන් පිටමං වූයේ කෙසේද. තවත් ඇතුලට ගොස් විමසිය යුත්තේ ඉතිහාසය පිටමං නොකල සිදුවීමක් නිර්මාණාත්මක පරිකල්පනය මානවයන් විසින් පිටමං කලේ මන්ද යන්නය. අපගේ ඉතිහාසයේ මානව හැඟුම් වලට ආගමික ජාතික අර්ථයෙන් හෝ කවර අරුතින් බැලුවද මේ අම්මා පුතුගේ සුවිශේෂ කථාව පිටමං වී යාමට සදාචාරමය සංස්කෘතික හේතු ද නොවීය. මේ සොයා යාමට ඇති දන්නා ප්‍රබල තතු ඇති කථාවකි. එනම් පුතෙකු සේ අම්මා කෙනෙකුට ඇති අචින්ත්‍යය ආදර අන්දරයය.ඒ නිසා මේ ගැන සෙවීමේ පිපාසාව ප්‍රබලය.
ඉතිහාසය සපුරා වාර්තා තැබූ මෙවන් සුවිශේෂ ප්‍රභූ මහරහත්වරියක් හා මහරහත්වරයෙකුගේ කථා පුවත
තංගම්මා ජෙගධරන් අම්මා හමු වූයේ යෙහෙළි තෙරණියන් ගැන සොයමින් හිදින විටය.ඈ මට හමු වූ මා සෙව් අම්මා පුතා සොයමින් සිටි එකම ලාංකිකයාය. ඒත් මට හඩන්න කඳුලක් දී ඇය ඒ ශාප සමයේ සමුගෙන ගොස් තිබුණි. සංඝමිත්තා තෙරණිය දඹකොල පටුනට සැපත් වූ විට එතුමියට සවන් දෙන්නට පැමිණි උතුරු ලංකාවේ නාග කන්‍යාවන් ගේ පවත අසා බලන්න කවුරුවත් නැත. ඉතින් ඉමක් කොණක් නැති හිස් තැනකි. අම්මා හා පුතා ගැන සෙවීම නතර නොකරමි. එය දිගින් දිගට හැම අතම හැම තතුවකින්ම සොයා යමි. ලියමින් ගොස් ලියා අවසන් කරන්න සිතමි. එක් විටෙක හද අතුරා නැගෙන ඒ කතාවකි. එනම් අවසානය දක්වා සෙවිය හැකිද. සෙවිය හැකි වුවද ලිවිය හැකි වේද. ඉතිං ලියා තැබිය යුතුමය. දන්නා දේම ලියන ලෝකයේ හැංගුණු දේද, අමතක වූ දේද, මඟ හැරුණු දේද ලියමි. ඒ ලිවීම මවකට ඇති අචින්ත්‍යය ආදරයෙන්ම ලියමි.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම