සුභ ඇවිත් රජ වීම නිසා ලංකාවට අළුත් දේශපාලන තාලයක් ලැබුණේය. ඒ ප්‍රභූ විරෝධය හෙවත් නිර්ප්‍රභූවාදයයි. මේ සුභ රජුගේ දේශපාලන තාලය ගැන කථාව
විටින් විට ඇවිත් ලංකාවේ බල තාලය වේ. ඒ ගැන විමසා බලන විට එය සුභ රජුගෙන් නිශ්ශංකමල්ල රජුට ද එතැනින් කාලිංග මාඝ රජු දක්වා ද ඇවිත් ඇති විදිය දැකිය හැක.
නිර්ප්‍රභූවාදයේ උච්චස්ථානය සටහන් කළේ ආක්‍රමණිකයෙකු වූ කාලිංග මාඝ රජුය. නමුත් එහි ආරම්භකයා වන්නේ ලාංකීක පොළවේ උපන් නිර්ප්‍රභූවරයෙකු වූ සුභ රජුය. එමෙන්ම නිර්ප්‍රභූවාදයේ න්‍යායාත්මක දේශපාලන දර්ශනය ලංකාවේ මතවාදී තලයේ තහවුරු කළේ නිශ්ශංකමල්ල රජතුමාය. නිශ්ශංකමල්ල රජතුමා කාලිංගයෙන් පැමිණ ලංකාවේ ජන ධූරාවලියට එක් වූ ආගන්තුකයෙකි. ඉතිහාසයේ මේ තුන් ඈදුණු චරිත තුන ගෙන විමසා බලන්න අවශ්‍ය වේ. මෙම තිදෙනා නිසා සිදු වූ නැගීම මහජන අවශ්‍යතාවයක් හෝ රාජ්‍ය උවමනාවක් නියෝජනය කළ බවට අනුමාන කිරීමට හැකියාවක් නැත.
ඒ මොකද කීවොත් මේ තිදෙනාම බලෙන් රාජ්‍ය බලය පැහැරගත් අය නිසාය. එබැවින් මේ දේශපාලන බලහත්කාරයන් සිදුවන කාලයේ ලංකා දේශපාලන සමාජ දේහය ගැන සියුම් විමසීමක් කළ යුතුය. මෙහිදී පෙනෙන දෙයක් වේ. එනම් රාජ්‍යය තුළ හිඩැසක් මතුවීම හෝ ගතානුගතික බවක් ඇතිවී ඇති ආකාරයක් දක්නට හැකි වීමය. එම නිසා ඒ ගැන කතාව දිගු කතාවකි. එම කතාව පසෙකට තබා දිගට පසුව ලියමි. විමසිය යුත්තේ මේ තුන්දෙනාගේ රාජ්‍ය තාලය ගැනය.
සුබ රජු ප්‍රභූන්ව සහ වංශවතුන්ව ඝාතනය පටන් ගත්තේය. එමෙන්ම ලංකා ලේඛක වංශය සංහාරය කරන්නට විය. එසේ ඔහු ලබා දුන් දේශපාලන ආවේශය නිශ්ශංකමල්ල රජු අතට ගන්නේ අමුතුම ලෙසටය. ඒ ලංකා රාජ්‍යයේ පාලකයා ලෙසට පදවි දරමින්ම ලංකා සමාජය පන්තිමය ලෙසට ද කුල ධුරාවලියන් ලෙස ද ස්ථාන ගත කරමින්ය. ඔහු විසින් තම රාජ්‍ය ආඥාව ලෙස වංශවතුන්ට රජකම දැරීම තහනම් කළේය. ප්‍රධාන වංශ කුලය වූ ගොවිගම ධුරාවලිය බල්ලන්ට හා කපුටන්ට සම කරමින් ඔවුන්ව රජකමට තහනම් කොට ආඥා පැනවීය. එසේ අණ පනවා නොනැවතිණි. ඔහු එම අණ කළු ගලේ කොටා සටහන් කලේය. එසේ සටහන් කොට පොළොන්නරු අග නුවර රාජ සභා අංගනයේ ස්ථාපිත කර තැබීය. ඒ සදා නොමැකෙන ලෙසය. එය අදත් කියවිය හැකි ලේඛනයකි.
සියලු ලේඛකයන්ට රජුන්ගේ වර්ණනාව, පුරසාරම ලියනවා හැර කිසිඳු නිර්මාණාත්මක කටයුත්තකට ඉඩ නොතැබීමය. එබැවින් නිශ්ශංකමල්ල රජතුමා ලංකාවේ වැඩිම ලේඛන පිහිට වු රජු වී ඇත. ඔහු ලේඛකයන් ලවා සැතපුම් කණුවේ (ගව්ව) පවා තම නම කෙටවීම කළ සටෝපකාරයෙකි. මේ විදියට 'නිශ්ශංක ගව්ව' සේ දුර දක්වන මාර්ග කණුව පවා එකල නම් කළේය.
දැන් බැලිය යුත්තේ මේ නිශ්ශංකමල්ල රජුගේ ප්‍රතික්‍රියාව දෙසය. ඔහු සුබ රජු ආරම්භ කළ ප්‍රභූ සංහාරය මතවාදීව ස්ථාපිත කළේය. එසේම සුබ රජතුමා ඇති කළ ලේඛක සංහාරය වෙනත් අයුරින් ක්‍රියාවට නැංවීය. ඒ නම් ලේඛකයන් රාජ්‍ය ගැති නිවටයන් බවට පත් කරන තම ප්‍රතිරූපයේ වහලුන් කර තැබීමය. ඒ ලේඛකයන් ආත්මීයව සංහාරය කරමින්ය. වඩාත් අපුරු කතාව නම් නිශ්ශංකමල්ල රජු යුව රජ පදවිය අහෝසි කර දැමු පළමු ලංකා රාජ්‍ය නායකයා වීමය. ඔහු 'ලක්විජය සිඟු' නමින් නව පදවියක් ඇති කොට තැබුවේ ඒ සඳහාය. මෙතුවක් රජතුමාගෙන් පසු ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළේ යුව රජුය. යුව රජු යනු රාජ්‍යයේ මතු නායකත්වයට අවශ්‍ය පුහුණුව ලබන නුතන අර්ථයෙන් ජනාධිපති විධායකය වන විට ව්‍යවස්ථාදායක තැන අගමැති වන ක්‍රමය හා සමාන වී තිබුණි.
නිශ්ශංකමල්ල රජතුමා දුටුවේ පලවා හරින ලද ප්‍රභූන් "යුව රජ" පදවිය හරහා යළි නැගිටීමට හැකි බවය. එබැවින් රාජ්‍යයේ දෙවැනි බලගතු ධුරය නිශ්ක්‍රීය රූකඩ ස්වභාවයට පත් කිරීම ඔහුගේ වෑයම විය. එය ඉටු විය. මේ තත්ත්වය ඉන්පසු ලංකාවේ බොහෝ රාජ්‍ය පාලකයන් තුළ මතු වු දුබලතාවයකි. ඒ ශක්තිමත් දෙවැනියාට බිය වීමේ චින්තනයට ද දිරි දෙන ව්‍යසනයක මාවතක් වේ. නිශ්ශංකමල්ල රජතුමා යුව රජ පදවිය අහෝසි කර 'ලක්විජය සිඟු' නමින් රාජ්‍යයේ දෙවන පදවිය නිශ්ක්‍රිය කරමින් එය නිර්ප්‍රභූවරුන්ට පමණක් පැමිණිය හැකි තත්ත්වයකට පහත හෙළීය. මෙය නූතන ලංකාවේ ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයේ ද දැකිය හැකි වූ තත්ත්වයකි. ඔහු ද ශක්තිමත් දෙවැනියත් පලවා හැරීමට පාර තැනුවේය. ඒ ලලිත් ඇතුලත්මුදලි මහතා හා ගාමිණී දිසානායක මහතාගේ බලය නිෂ්ක්‍රීය කරමින්ය .
මෙවන් රාජ්‍ය විලාසිතා හුදී ජන ආකර්ශනයේ උපරිමයට හේතු වන්නට ඇත. එනමුත් බැලිය යුත්තේ නිශ්ශංකමල්ල රජුගේ ප්‍රතික්‍රියාවේ අවසානයය. ඒ අනුව මහා පරාක්‍රමබාහු රජතුමා අනුරාධපුර යුගයේ බිඳවැටීම මැනවින් වටහා ගෙන ගොඩනැඟු පොළොන්නරු රාජධානියට අත් වු ඉරණමය. පොළොන්නරු රාජධානිය ද නිර්ප්‍රභූ රාජ්‍යවාදයට පත් වීමෙන් පසු සිදු වුයේ නිශ්ශංකමල්ල රජුගෙන් පසු ලංකාවේ මහා යුගය සහමුලින්ම අවරට යාමය. එම මහා යුගය අවසාන කළේ සුබ හා නිශ්ශංකමල්ල රජවරු දෙදෙනාගේ මතවාදී ආගමනය වු කාලිංග මාඝ රජතුමා විසින්ය.
නිශ්ශංකමල්ල රජතුමා නිර්ප්‍රභූ වීරයා වෙමින් ඇති කළ තුලහාර නම් ජනසවි සහනාධාර ක්‍රමය සුබසාධන වාදය ලංකාවේ දේශපාලන විලාසිතාව කළේය. එමෙන් ම ආගමික පුජා උත්සව හා ලෞකික විරෝධී නීති අණපනත් මඟින් ප්‍රමෝදයට තිත තැබුවේය. සමාජීය ප්‍රමෝද කලාපයට අත තැබීම නිර්ප්‍රභූ වාදයේ පොදු ලක්ෂණය බවට පත්වේ. එය සුබ රජතුමාගේ ද නිශ්ශංකමල්ල රජුගේ හා කාලිංග මාඝ රජුගේ ද පොදු බවකි. එය ඉන්පසු පැමිණි නිර්ප්‍රභූ ලක්ෂණ සහිත සියලු නායකයන් තුළ දිස්වන පොදු සම්‍යතාවයක් ද වේ. සමාජයක පැවැති රාජ්‍ය තුලනය ප්‍රභූ - නිර්ප්‍රභූ ලෙස බෙදීම් රේඛාවකට තුඩු දෙන මෙම බියකරු රාජ්‍ය දේශපාලන ක්‍රමය ගැන ඇති වු බිය නිසා ලංකා සමාජය ඉන්පසු නිර්ප්‍රභූන්ට නම්මා ගැනීමට ද අපහසු විය. ඒ වගේම නිර්ප්‍රභූ වාදයට බිය වීමෙන් සිදු වුයේ ගතානුගතික වාදයේ ගිලි යාමය.
ලංකාවේ රාජ සම්මත යුගයේ නිර්ප්‍රභූ රාජ්‍ය නායකයන් තිදෙනා විසින් ඇති කළ කම්පනයේ ප්‍රතිඵලය වුයේ නිර්ප්‍රභූ වාදයේ පිළිතුර ගතානුගතික වාදය වීමය. එය ක්‍රි.ව. 12 වන සියවසේ සිට ක්‍රි.ව.18 වන සියවස දක්වා ලංකා රාජ්‍ය පාලනය දෙස බලන විට පැහැදිලි වේ. ලංකාවේ වැඩ වසම් යුගය තහවුරු වූයේ මෙහෙමය. නරේන්ද්‍රසිංහ රජුගෙන් සිංහල රාජ වංශය අවසන් වූ විටදී දකුණු ඉන්දීය නායක්කාර ප්‍රභූන්ට රට භාර දෙන්නට වූයේ සුබ නිශ්ශංකමල්ල හා කාලිංග මාඝ විසින් ඇති කර තිබූ කම්පනය නිසාය ඉතින් බහු ජනසම්මත අනුරාධපුරය බිහිකළ ලාංකිකයන්ට අවසානයේ බ්‍රිතාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගන්න සිදු වුයේ ඒකය.
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී
රාවාෂ පසුගිය ලිපි :
ලේඛකයාගේ වෙනත් ලිපි : වායාම