leader s

සියවසේ මහා හොරකම හෙවත් “කිරි හරක් ව්‍යාපෘතිය” ගැන මාධ්‍ය රැසක අරුම පුදුම වාර්තා පළවි තිබේ.  


ඇමරිකානු ඩොලර් 11,093,108.22 ක මුදලක් දේශපාලනඥයින් හා නිලධාරීන් විසින් හොරකම් කළ බවත්, එකම කිරි හරකෙකු හෝ රටට නොලැබී ඇති බවත් එම වාර්තාවලින් කියවේ.

 



එදිරිවාදිකම් පිරිමසා ගැනීමට භාවිත කළ කතාවක් ද...?

1. ''2014 ඇමති බැසිල් රාජපක්ෂ සහ ‍ලේකම් නිහාල් ජයතිලක සමයේ ආරම්භ වූ ව්‍යාපෘතියකින් යහපාලන රජය සමයේ ඇමති පී. හැරිසන්/විජිතමුණි සොයිසා සහ ලේකම් රේණුකා ඒකනායක හරකුන් 20,000 කට අත්තිකාරම් ගෙවා ඇතත් එකම හරකෙකු වත් ලංකාවට ලැබී නැත.''

2. ''ගෙවන්වනු ලැබූ හරකුන් මිය ගොස් ඇති අතර ඔවුන් කිරි දෙන්නේ ද නැත. මුදල් ගෙවීමට කිසිදු අනුමැතියක් නැති අතර එය ‘ශ්‍රී ලංකාවේ තනි පුද්ගලියෙකු සිදු කළ විශාලතම මුල්‍ය වංචාව'' යැයි ද සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

මෙම සටහන ජනමාධ්‍ය මගින් හොරු ඇල්ලීම ගැන වන වාර්තා, අපරාධ විමර්ශන බාහිර පාර්ශව මගින් දේශපාලනීකරණය කිරීම නැතිනම් සිය පුද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට පාවිච්චි කිරීම ගැන කතාවකි. මෙය ලංකාවේ සියලු ම රාජ්‍ය නිලධාරීන්, අපරාධ විමර්ශකයින්, දේශපාලනඥයින් ද සිවිල් වැසියන් ද අධ්‍යයන කළ යුතු කතාවකි.

 

2014 ආරම්භ වන ‘කිරිහරක් ව්‍යාපෘතිය’ ට පෙර 2007 දී මෙරටට කිරි හරක් ගෙන්වා ඇත. පශු විශේඥයින්ට අනුව එය සාර්ථක වැඩකි. විගණනයන අනුව එහි ‘දුබලතා’ ඇත. විශේෂඥ මතය සහ දුෂණය/වගවීම පිළිබඳ විමර්ශකයින්ගේ මතය අතර පරස්පරයකි. හරියට සිරකරුවන්ට ජනාධිපති සමාව ගැන නීතිපති සහ බන්ධනාගාර අධිකාරි ගේ කතා වගේය. මහේෂි ගේ මොළයේ සැත්කම් ගැන මාධ්‍ය වාර්තා වගේය.

 

ගණුදෙනුවට පාදක වන්නේ විගණන වාර්තා දෙකකි. එම වාර්තාවල සදොස් තැන් පවතින්නේ නිලධාරීන් නිවැරදි දත්ත ලබාදී නැතිකම, නිලධාරීන් විසින් ඉතා වැදගත් ලේඛන සැඟවීම, ප්‍රශ්නගත සිද්ධියට කිසිදු සම්බන්ධයෙක් නැති 2007 ගෙන්වූ කිරි හරක් ගැන වාර්තාවක් ද විගණනය විසින් පටලවා ඇති නිසා ය.

 Anton Pereraඇන්ටන් පෙරේරා

 

‘කිරි හරක් වංචාව පිළිබඳ පැමිණිලිකරු අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරයා ය.  ඔහු අමාත්‍යාංශ ගණකාධිකාරි, ව්‍යාපෘති ගණකාධිකාරි සහ ස්ටියරිං කමිටු සමාජික යන වගකීම් තුන ම දැරූ ඇන්ටන් පෙරේරා ය.

ජනමාධ්‍ය මගින් ඔහු මෙම පැමිණිල්ලට විශාල ප්‍රචාරයක් පුවත්පත් සාකච්ඡා පවත්වමින් ලබා දී ඇත.

කිරිහරක් ගණුදෙනුව කුමක් ද?

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිවන එකඟතාවයක් මත රාජ්‍ය දෙක අතර ගනු දෙනුවක් වන මෙයට ණය පහසුකම් සලසන බැංකුව හැර වෙනත් කිසිදු බාහිර පාර්ශවයක් සම්බන්ධ නැත.

එය ලංකා නිලධාරීන් සහ ඔස්ට්‍රේලියානු නිලධාරීන් අතර ව්‍යාපාරයකි. එබැවින් අල්ලස් ලබා ගැනීමට හැකියාවක් නොමැති තරම් ය.

පශු සම්පත් විශේෂඥයින්, පරිපාලන, ගණකාධිකාරී සේවාවල නිලධාරීන් 86 ක් මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලියට සෘජුව සම්බන්ධවී ඇත. ඒ අතර කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ අමාත්‍යවරුන් 8ක්, අමාත්‍යාංශ ලේකම්වරුන් 15ක්, අතිරේක ලේකම්වරුන් සහ පශු වෛද්‍යරුන්  10කි. පශු සම්පත් විෂය පිළිබඳ මෙරට ප්‍රවීනතමයින් 11 කට වැඩි පිරිසක් මෙයට වි‍ශේෂඥ සහාය ලබාදී ඇත.

ගනුදෙනුවේ සියලු තීරණ ගැනීමට අමාත්‍යාංශ ගණකාධිකාරි, ව්‍යාපෘති ගණකාධිකාරී, මිලදී ගැනිමේ මෙහෙයුම් කමිටු සමාජික ලෙස ගණකාධිකාරි ඇන්ටන් පෙරේරා දායක වී ඇත. දැන් පැමිණිලිකරු ද ඔහුමය.

 

ausi098475y

රාජ්‍ය නිලධාරීන් සිදු කරන ආකාරයට විධිමත් තාක්ෂණික වාර්තාවක් මත පදනම්ව, අමාත්‍යාංශ නිර්දේශ මත භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියානු රජයට අත්තිකාරම් මුදල් ගෙවා ඇත. එයට විධිමත් බැංකු රක්ෂණ, සුරැකුම් ලබා ඇත. අත්තිකාරම් ගෙවූ භාණ්ඩයක් ලබාදීමට විකුණුම්කාර පාර්ශවය අසමත් වන විට ‘බේරුම්කරණ ක්‍රියාවලියක්’ ආරම්භ කළ යුතු ය. ලංකා රජය සහ නිලධාරීන් එය මේ දක්වා ආරම්භ කර නැත.

 

අපරාධමය වරද කුමක් ද...?

වාහනයක් මිලදී ගැනීමේ දී එය රක්ෂණය කරනු ලබයි. රක්ෂණය කරනු ලබන්නේ අනතුරකින් පාඩුවක් සිදුවුව හොත් එය පියවා ගැනීමට ය. කිරි හරක් ගණුදෙනුවේ ‘පාඩුවක්/හානියක්’ සිදුව ඇත. ගණාකාධිකාරි පවසන්නේ ‘සුරැකුමක්/රක්ෂණයක්’ නොමැති බව ය. නමුත්, රක්ෂණ ලේඛනය ගණකාධිකාරිවරයාගේ සේප්පුවේ තිබි ඇති නමුත් විගණනයට, විමර්ශකයන්ට ලබා දී නැත.

ලංකාවට විදේශීය හරක් ගෙවන්වීමට විරුද්ධව ප්‍රචාරය ආරම්භ කළේ කිරිපිටි සමාගම් හා පුද්ගලික අංශයේ කිරි නිෂ්පාදකයින් ය. ආණ්ඩුවට හරකුන් ගෙන්වීමට අනුමැතිය නොදුන් රාජ්‍ය නිලධාරින් පුද්ගලික අංශයට (උදා වටවල) කිරි ගවයන් ගෙන්වීමට අනුමැතිය ලබාදී ඇත.

 

මෙම ගණුදෙනුවේ දුෂණය යන ප්‍රධානතම චෝදනාව එල්ල වන්නේ අත්තිකාරම් ගෙවීමට බැංකු සුරක්ෂාවක් (ඉන්ෂුවරන්ස්) ලබා නොමැතිකමින් ලංකා රාජ්‍යයට පාඩු කර ඇත සහ තනි මතයට කටයුතු කර ඇත යන්න ය. මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති ‘බැංකු සුරක්ෂාව’ විමර්ශකයින්ගෙන් සැඟවීම අපරාධමය වරදකි. අනෙක් අතට බැංකු සුරක්ෂාවක් ඇති විට එමගින් පාඩුව පියවා ගැනීම විධිමත් පරිපාලන වගකීමකි. ව්‍යාපෘති කාර්යාලයක්, මෙහෙයුම් කමිටුවක්, විශේෂඥ  කමිටු රැසක් මගින් ලබාදුන් නිර්දේශ අනුව මෙම ව්‍යාපෘතිය සිදු කර ඇත.

 

ඇන්ටන් පෙරේරාගේ කතාව

AUS vijitha 3 1024x683

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් නිල සංචාරයක් සඳහා පසුගියදා දිවයිනට පැමිණියේය.

 

ඕස්ට්‍රේලියාව සහ ලංකාව අතර ඉතා සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇත. ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ද පසුගිය මාසයේ මෙරටට පැමිණියේ ය. මේ ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික න්‍යාය පත්‍රයට ඇතුළත් වූයේ නම්,  මේ මුදල් ලංකාවට සරලව ම නැවත ලබා ගැත හැකි ය.  (අදාළ සමාගම මේ මුදල් ඔවුන්ගේ ගිණුමේ පවතින බව මේ සමඟ ඇතැයි සිය වාර්ෂික වාර්තාවේ දක්වයි) 

 

පාර්ලිමේන්තුවේ දී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මේ පැමිණිලිකරුට එරෙහිව බලවත් චෝදනා රැසක් එල්ල කළේ ය. එයට ප්‍රතිචාර දක්වමින් ඇන්ටන් පෙරේරා විසින් චමුදිත සමරවික්‍රම සමග 2025.06.22 දින සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇත.


ඔහු එහි දී පහත කරුණු ඉදිරිපත් කරයි.


''මේකට අදාල එහෙම බොන්ඩ් එකක් නෑ''

මෙය පූර්ණ අසත්‍යයකි. එහි බාරකරු ගණකාධිකාරීවරයා ය.

''මොකද මේ කෝටි 174ක්  සල්ලි ගෙවලා තියෙන්නේ 2018 ද? ඇන්ටන් විගණකාධිපතිට 2018 කියලා තියෙනවා ද?

(චමුදිත ගේ කතාව බලන්න)

''මොකද මමත් විගණකාධිපතිට දැනුම් දීලා තිබුණා'' යැයි ඇන්ටන් පෙරේරා චමුදිත සමඟ පවසයි. ඒ අනුව පැහැදිලි ලෙසම විගණකාධිපති කාර්යාලය නොමඟ යවා ඇත්තේ පැමිණිලිකරු විය යුතු ය.

ඔස්ට්‍රේලියා සමාගමේ විගණන වාර්තාවේ දැක්වෙන්නේ ලංකා රජය විසින් මුදල් ගෙවූ නමුත් ගවයන් ලබා නොගත් බැවින් ඩොලර් 742,000 ක් සිය ගිණුමේ පවතින බවය.

 (විගණන වාර්තාවට අදාල සටහන මතු පළකර ඇත)  

WhatsApp Image 2025 07 02 1at 6.53.11 AM copy
ඇන්ටන් වරද්දාගත් අනෙක් දේවල්

 

අද වන විට රටේ කිසිදු වැදගත් ටෙන්ඩරයකට, තාක්ෂණික ඇඟයීමකට රාජ්‍ය නිලධාරීන්, විශේෂඥයින් ඉදිරිපත් නොවන තත්ත්වයක් මතුව ඇත. එයට හේතුව, ඉතා සරලව විසඳාගත හැකි ගණුදෙනුවක්, රාජ්‍ය නිලධාරීන් 86ක් සැකකරුවන් කරමින් සිදුවන විමර්ශනය සහ මාධ්‍ය මඩගැසීම නිසා ය. සියලු රාජ්‍ය නිලධාරීන් හොරුන්, වංචනිකයින් ලෙස සලකා, ලේබල් ගසා ‘රාජ්‍යයක් (STATE)’ පවත්වාගෙන යා නොහැකි ය. දේශපාලන හෝ පුද්ගලික එදිරිවාදිකම් හේතුවෙන් අල්ලස් කොමිසමට, රහස් පොලීසියට පැමිණිලි කිරීමේ වෘත්තීය නොවන සම්ප්‍රදායක් අප රටේ ඇත. 2015 දුෂණ විරෝධී රැල්ල, 2019 පිස්සු පූසා කොමිසම, 2017 ‘ටෝප් ටෙන් හොරු’, 2024 සහ 2025 එක දිගට දේශපාලනඥයින් සහ පාක්ෂිකයින් විසින්  අල්ලස් කොමිසමටත්, පොලිස් මුල්‍ය අපරාධ ඒකකයත්, රහස් පොලීසියටත් යොමු කරන (සමහර නොමගයවනසුලු) පැමිණිලි පිළිබඳ විමර්ශණ අංශ සංවේදී විය යුතුව ඇත.

 

දැනට මෙම පැමිණිල්ලේ සැකකරුවන් ලෙස නම් කර ඇති ලේකම්වරුන්, වෘත්තිකයින්, අතිරේක ලේකම්වරුන්, විගණකාධිපතිවරයා වෙත බොරු තොරතුරු ලබාදුන් නිලධාරීන් පිළිබඳ, සුරැකුම් පත්‍රය සැඟවූ අය පිළිබඳ විධිමත් විමර්ශනයක් ඉල්ලා සිටීම වැදගත් ය.  එමගින් විමර්ශන ආයතන වෙත ව්‍යාජ පැමිණිලි ගලා ඒම මෙන් ම, පුද්ගලික ඉදිරිවාදිකම්, දේශපාලන න්‍යාය පත්‍ර මත කාලය කා දැමීම වළක්වා ගත හැකි වනු ඇත.

අනෙක් අතට, මෙරට සියලු ම රාජ්‍ය නිලධාරීන් මෙම විමර්ශනය පිළිබඳව වන ලේඛන සාක්ෂි, වාර්තා අධ්‍යයන කිරීම තුළින් උගත හැකි පාඩම් රැසකි.  නිලධාරීන් තමන් විසින් සිදු කරන සියලු ම රාජකාරි කටයුතු පිළිබඳ විධිමත් වාර්තා තමා භාරයේ සුරුකිව තබා ගැනීම එයින් පළමු වැන්න ය.  

තමන්ට සෘජු සම්බන්ධයක් නොමැති ව්‍යාප්‍යාති, මිලදී ගැනීම් සඳහා දායක නොවීම දෙවැන්න ය.

විගණකාධිපති, විමර්ශන නිලධාරීන්ට පරම සත්‍යය පැවසීම සහ ඔවුන්ගේ විමර්ශන අවුල් කරන පටලැවීම් සිදු නොකිරීම,  තෙවැන්න ය.

වැදගත්ම දේ, සිය වගකීම ඉටු නොකර ජනමාධ්‍ය සංදර්ශන පවත්වන දේශපාලනඥයින්, සිවිල් ක්‍රියාකාරීන් හා දුෂිත නිලධාරීන්ට යටත් නොවී සිටීම, අනාවරණය ලක් කිරීම (අවම වශයෙන් සිය ආයතන ප්‍රධානියාට ලිඛිතව දැනුම් දී තිබීම ) සිව්වැන්න ය.

‘Let’s Bomb somewhere’  තියරිය

සියවසේ වංචාව යැයි අරුත් ගන්වා ඇති විගණකාධිපතිවරයා වෙත වැරදි සහ ව්‍යාජ තොරතුරු ලබාදීමෙන් ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව යැයි ලේබල් ගසා ඇති බේරුම්කරණ ක්‍රියාවලියකින් සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් පාඩුව පියවාගත හැකි ගණුදෙනුව පිළිබඳ වැදගත් ලේඛන රැසක් පහත දිගුවේ වේ.

බුද්ධිමත් සහ අවංක රාජ්‍ය නිලධාරින්ට සිය රැකියාවට ද, ආත්ම ගෞරවය ද රැකගෙන රස්සාව කිරීමේ මාවත එමගින් විවර කර ගත හැකිවනු ඇත.

cattle1cattle2cattle3cattle4cattle5cattle6cattle7
අද ලංකාවේ සෑම දවසකට සැරයක් ‘Let’s Bomb somewhere’  තියරිය ක්‍රියාත්මක ය. දවසේ ප්‍රවෘත්තියට දේශපාලනඥයින්ගේ ‍හිසට පමණක් බෝම්බ හෙලා ප්‍රමාණවත් නැත. දැන් රාජ්‍ය නිලධාරීන්ගේ හිසට බෝම්බ හෙළන යුගය යි. පුළුවන් නම් බේරිලා ඉන්න.

 
(විශේෂ ලියුම්කරුවකු විසිනි)


* මෙම ලිපිය විශේෂ ලේඛකයෙකු විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා විසින් දරනු ලබයි.

* එසේම, මෙම ලිපිය සංවාදයට විවෘත අතර ඔබේ අදහස් comment හි පලකරන්න

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්