2018 සිට මෑතක් දක්වා ශ්‍රී ලංකාවේ සමාගම් සංස්ථාගත කිරීම සම්පූර්ණයෙන් ම පද්ධතියක් හරහා ඉතා හොඳින් ක්‍රියාත්මක විය.
එහෙත් මේවනවිට මේ පද්ධතියේ පොදු කොන්ත්‍රාත් ලියාපදිංචිය, Port City අක්වෙරළ සමාගම් ලියාපදිංචිය ද ඇනහිට තිබේ.
වරින්වර අක්‍රිය වන පද්ධතියක්
අප කළ සොයා බැලීමකදී හෙළිදරව් වූයේ මෙතෙක් එම මෘදුකාංගය සඳහා සේවා සපයන ලද සමාගම සමග ඇති කරගෙන තිබූ ගිවිසුම මැයි මස 31 වැනිදායින් අවසන් වූ බවයි.
එසේ සිදු වූයේ සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂක වරයාගේ අන්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් බව පැවසේ.
සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව පසුව එය තමන්ගේ යටතට පත්කර ගැනීමට ක්‍රියා කලේ ය.
මේ සඳහා උපදේශකවරයෙක් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ සහායෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශය එක්ව eRoC පද්ධතියේ සේවා සැපයීම සඳහා ක්‍රියා කෙරිණි.
පසුගිය ජූනි මස දොළොස් වැනිදා පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත විය. මෙම කණ්ඩායමට eroc පද්ධතිය නැවතත් සක්‍රීය කිරීමට නොහැකි විය. සුමානයකට පමණ පසුව කලින් සේවා සැපයූ සමාගමට කිසිදු ගෙවීමක් සිදු නොකර සහ කිසිම ගිවිසුමක් නොමැතිව පද්ධතිය යථා තත්ත්වයට පත් කරන ලෙස දැනුම් දී එම සමාගම ලවා නැවතත් පද්ධතිය යථා තත්ත්වයට පත්කර ගත්තේ ය. ඉන් අනතුරුව දින කීපයක් පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වී නැවත වාරයක් පද්ධතිය වරින් වර ක්‍රියා විරහිතවිය.
රජයට දෛනිකව මිලියන ගණනක් අහිමිවේ
අද වන විට පද්ධතියක් මුළුමනින්ම පාහේ අක්‍රිය තත්ත්වයක පවතී. සමහර දින වල රාත්‍රී කාලයේ සහ අලුයම කාලයේ පද්ධතිය ක්‍රියාත්මක වී ඇත.
මෙම තත්ත්වය තුල මේවනවිට රජයට දෛනිකව මිලියන ගණනක් අහිමිවී ඇත.
මීටත් අමතරව සමාගම් රෙජිස්ට්‍රා දෙපාර්තමේන්තුවේ සේවකයින්ට පද්ධතියක් නොමැති වීම හේතු කොටගෙන කිසිදුකාරියක් ඉටු කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැත.
ජුනි මස දොළොස්වෙනි දා සිට සතියක පමණ කාලයක් සමාගම් මැදුරේ කිසිම සේවකයකුට තමන්ගේ රාජකාරී ඉටු කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් ද රජයට විශාල පාඩුවක් සිදුවිය. මාසික වේතනයෙන් හතරෙන් එකක් පමණ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන රජයට දරන්නට සිදුවිය.
සේවකයන් සිය ගණනක් සේවා කරන මෙම ආයතනයේ පද්ධතිය ක්‍රියා විරහිත වීම නිසා රජයට අමතර පාඩුවක් සිදුවිය. දැනට සමාගම් සංස්ථාගත කිරීමට දින දහයක්වත් ගතවනු ඇත. සමාගම් දහසකට අධික ප්‍රමාණයක් සංස්ථාගත කිරීම ප්‍රමාද ව ඇත. නාමය වෙන් කරවා ගැනීම් පවා ඇති බව නිලධාරීන් පවසයි. එමෙන්ම වාර්ෂික වාර්තා ද දහස් ගණනක පෝලිමක පවතී. මේ සඳහා මාස ගණනක් ගත වනු ඇතැයි අපේක්ෂා කරයි.
වෘත්තියේ ඉදිරි ගමන ද ඉතාමත් අහිතකර තත්ත්වයක
මෙම ව්‍යාපෘතිය නිසා එසැණින් සහතික පිටපත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් මහජනතාවට අත්විඳින්නට හැකි විය. නමුත් මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ සහතික පිටපත් ලබා ගැනීම ඇනහිට ඇත. හදිසි සහතික පිටපත් අත්‍යවශ්‍ය කෙනෙක් වෙතොත් සමාගම් මැදුරට පැමිණ පැරණි ක්‍රමයට මුදල් ගෙවා සහතික පිටපතක් ලබා ගැනීමට හැකියාව ඇත.
සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව ඇමතු විට ඔවුන් පවසන්නේ පරිගණක පද්ධතිය හරහා ගෙවීම් සිදු නොකරන ලෙසයි. හේතුව ලෙස දක්වන්නේ සමහර ගනුදෙනු සොයාගත නොහැකි පරිදි පද්ධතිය තුළ සැඟවෙන බවයි. සමාගම් ලේකම්වරු පවසන්නේ මේ සම්බන්ධව Accounts section අංශයට දැනුම් දුන් විට පවසන්නේ පද්ධතිය යථා තත්ත්වයට පත්වෙන්න තුරු මෙවන් සිදුවීම් ඇතිවිය හැකි බවයි. සමාගම් ලේකම්වරුන් පවසන්නේ ඔවුන්ගේ රැකියාව කිරීමට නොහැකි බවයි. ඔවුන්ගේ සේවාවන් ලබන්නන් ඉතාමත් අසතුටට පත්ව ඇති බැවින් මෙම වෘත්තියේ ඉදිරි ගමන ඉතාමත් අහිතකර බව ද ඔවුන් පවසයි.
ආපස්සට යන වැඩ බලන අධ්‍යක්ෂවරයා
සමාගම් මැදුරේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂකතුමා පවසන්නේ ලබන පහළොස්වෙනි දා වන විට නව පද්ධතියක් දියත් කරන බවයි. නමුත් මෙවන් සංකීර්ණ පද්ධතියක් ඉතාමත් සුළු කාලයකදී දියත් කිරීමට ඔවුන් සතුව තාක්ෂණය නොමැති බව අපි දන්නෙමු.
මෙසේ කියා අධෛර්යයන්ට පත් කරන නිලධාරියා පිළිබඳ විශේෂයෙන් ම විමර්ශනයක් සිදුකළ යුතුව ඇත. සමාගම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුවේ ඉතා දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු සමග මොහුගේ අභිප්‍රාය වන්නේ නැවතත් මැනුවල් ක්‍රමයට යාමට ය. මෙමගින් ඉතාමත් අහිතකර බලපෑම් සිදු වෙන්නේ ලංකාවේ කොඳු නාරටිය වන් Corporate Sector එකට ය.
මේ වන විට Port city ලියාපදිංචිය ද සම්පූර්ණයෙන් ඇනහිට ඇත. එමෙන් ම Public Companies වල mandatory filing කලට වේලාවට සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
(විශේෂ ලියුම්කරුවකු විසිනි )






