කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ආන්දෝලනයක් ඇති කළ ප්‍රවාහන සමාගමේ කොටස් මිල ඉහළ යෑමේ සිදුවීම, මේ වන විට රාජ්‍ය මට්ටමේ අභ්‍යන්තර පරීක්ෂණයක් දක්වා වර්ධනය වී ඇති අතර, අදාළ ටෙන්ඩරය සකස් කළ රාජ්‍ය නිලධාරීන් දැඩි අර්බුදයකට ලක්ව ඇත.
මෙම සිදුවීම හුදු මූල්‍ය සමපේක්ෂණයක් පමණක් නොව, දූෂණ විරෝධී සහ දේශපාලනමය වශයෙන්ද පුපුරන සුලු තත්ත්වයක් නිර්මාණය කර තිබේ.
පසුගිය සති කිහිපය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක කොටස් මිල රුපියල් 1,400 සිට 2,400 සීමාව දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ යෑම පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග, රජයේ ඉහළම තීරණ ගන්නන්ගේ දැඩි අවධානය මේ වෙත යොමුවී ඇත.
වාර්තා වන ආකාරයට, මෙම මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින්, ටෙන්ඩර් ක්‍රියාවලියේ විනිවිදභාවය සහ කොටස් වෙළෙඳපොළේ සැකකටයුතු ගනුදෙනු පිළිබඳව සොයා බැලීම සඳහා ක්ෂණික අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරනු ඇති බවට විශ්වාසදායී ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම තත්ත්වයත් සමග, බිලියන ගණනක් වටිනා low-floor බස් රථ සැපයීමේ ටෙන්ඩරය සඳහා ලංසු කැඳවීමේ ලේඛනය සකස් කළ රාජ්‍ය නිලධාරීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන්ම, එක් සමාගමකට පමණක් වාසි සැලසෙන පරිදි "වාර්ෂික පිරිවැටුප රුපියල් බිලියන 6 ඉක්මවිය යුතුය" යන මතභේදාත්මක කොන්දේසිය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට බලධාරීන් හමුවේ පිළිතුරු සැපයීමට සිදුවනු ඇත.
මේ අතර, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) වෙත මාධ්‍යවේදීන්, ආයෝජකයින් සහ සිවිල් සංවිධාන වලින් නොකඩවා ප්‍රශ්න කිරීම් සහ චෝදනා එල්ල වෙමින් පවතී.
ටෙන්ඩරය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම අදාළ සමාගමේ කොටස් මිල ඉහළ යෑම "අභ්‍යන්තර ගනුදෙනු" (insider trading) හරහා සිදුවූවක් ද යන්න පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ඉල්ලා ඔවුන් දැඩි බලපෑම් කරමින් සිටී.
විපක්ෂයේ දේශපාලනඥයින් දැනට මෙම සිදුවීම පිළිබඳව උපදෙස් මත නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළද, ඔවුන් ඔක්තෝබර් 17 වන දින ටෙන්ඩරය විවෘත කර ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන තෙක් සූදානමින් බලා සිටින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ටෙන්ඩරය අපේක්ෂිත සමාගම වෙතම හිමිවුවහොත්, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටතදී ආණ්ඩුවට එරෙහිව දැවැන්ත දේශපාලන සටනක් දියත් කිරීමට ඔවුන් සියලු සාක්ෂි ඒකරාශී කරමින් සිටින බව වාර්තා වේ.
සබැඳි පුවත :
ප්‍රවාහන ක්ෂේත්‍රයේ සමාගමක කොටස් මිලෙහි අස්වාභාවික ඉහළ යෑම - රාජ්‍ය ටෙන්ඩරයක් පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක් පිළිබඳ සැකයක් !






