*වංචනිකයන් රැකීමට දේශපාලන සහ ආගමික බලපෑම්: නීතිගරුක ව්‍යාපාරිකයන් අසරණ වන අයුරු අනාවරණය වෙයි
*විමර්ශන කමිටු පත්කළත් අවසානයක් නැති අතුරුදහන් වන ලිපිගොනු: මුදල් අමාත්‍යවරයාගේ අවධානයට
හොර ලේඛන ජාවාරම සහ නීතිගරුක ව්‍යාපාරිකයන්ට සිදුවන අසාධාරණය
මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දිනපතා නීත්‍යානුකූලව කටයුතු කරමින්, නියමිත වේලාවට බදු වාර්තා ගොනුකර බදු මුදල් ගෙවන ව්‍යාපාරිකයන් දහස් ගණනක් සිටිති. රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, රාජ්‍ය ප්‍රසම්පාදන ආයතන සහ වෙනත් රාජ්‍ය ආයතන වෙත ඉදිරිපත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු බදු නිදහස් කිරීමේ සහතික, තහවුරු කිරීමේ ලිපි සහ පිළිගැනීමේ ලේඛන ලබාගැනීමට මෙම ව්‍යාපාරිකයෝ දීර්ඝ කාලයක් පෝලිම්වල රැඳී සිටිති. රජයේ ටෙන්ඩර් ලබාගැනීමට, ගෙවීම් ලබාගැනීමට සහ විවිධ අනුමැතීන් ලබාගැනීමට මෙම ලේඛන අත්‍යවශ්‍ය වේ.
කෙසේ වෙතත්, බදු ගෙවීම් පැහැර හරින සහ නීත්‍යානුකූලව කටයුතු නොකරන ඇතැම් ව්‍යාපාරිකයන් කෙටි මාර්ග ඔස්සේ ව්‍යාජ දේශීය ආදායම් ලේඛන සකස් කිරීමේ ප්‍රවණතාවක් මතුව තිබේ. ඇතැම් ගණකාධිකාරීවරුන්, උපදේශකයන් සහ මැදිහත්කරුවන්ගේ සහාය ඇතිව සකස් කෙරෙන මෙම ව්‍යාජ ලේඛන මගින් හිමිවිය යුතු නැති වරප්‍රසාද ලබාගැනීමට කටයුතු කරමින් සිටිති. මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැවටීමක් පමණක් නොව, නීත්‍යානුකූලව බදු ගෙවන සමස්ත ව්‍යාපාරික ප්‍රජාවටම කරනු ලබන දැවැන්ත අසාධාරණයකි.
නතර වන විමර්ශන සහ බලපෑම් මත යටයන ලිපිගොනු
මෙවැනි ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පූර්ණ බලතල පවතී. ඇතැම් අවස්ථාවලදී නීතිගරුක සහ විමසිලිමත් නිලධාරීන් විසින් මෙවැනි සැකකටයුතු ලේඛන හඳුනාගෙන, සාක්ෂි රැස්කර, පරීක්ෂණ කමිටු පත්කර, ප්‍රකාශ සටහන් කරගනිමින් විමර්ශන ආරම්භ කළද, පසුව එම පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැතිව යටයන බව වාර්තා වේ. සති ගණනක්, මාස ගණනක් සහ වසර ගණනක් ගියද අදාළ වංචනිකයන්ට එරෙහිව නීතිමය හෝ විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමක් හෝ මහජනතාවට කරුණු පැහැදිලි කිරීමක් සිදු නොවේ.
මේ සම්බන්ධයෙන් කරන ලද සොයාබැලීම්වලදී අනාවරණය වී ඇත්තේ, මෙලෙස චෝදනා එල්ල වන ඇතැම් පාර්ශ්ව නීතිමය සහායට අමතරව බලපෑම් කළ හැකි ප්‍රබල පුද්ගලයන්ගේ පිහිට පතන බවයි. දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ බලපෑම් කළ හැකි පාර්ශ්ව හරහා විමර්ශන නතර කිරීමට බලපෑම් එල්ල වන බවට තොරතුරු වාර්තා වේ. මෑතකදී සිදුවූ එවැනි එක් සිදුවීමකදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු කෙරෙහි බලපෑම් කළ හැකි ප්‍රමුඛ ආගමික නායකයෙකුගේ මැදිහත්වීම මත බරපතල චෝදනාවක් සහිත පරීක්ෂණයක් කිසිදු දඬුවමකින් තොරව නතර කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.
සුපිළිපන්න රටක් සහ පද්ධතිය පිළිබඳ විශ්වාසය
මෙවැනි බලපෑම් මත විමර්ශන යටපත් කිරීම මගින් සමස්ත බදු පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය බිඳවැටෙන අතර, නීතිගරුක නිලධාරීන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ උනන්දුව පිරිහීමට ලක්වේ. නීතිය සහ සත්‍යයට වඩා බලපෑම් සහ සබඳතාවලට තැනක් හිමිවන බවට වන සංඥාව සමාජගත වීම තුළින්, "අන් අයට ගැලවී යා හැකි නම් අප පමණක් නීතියට අනුව කටයුතු කරන්නේ මන්ද?" යන ප්‍රශ්නය නීතිගරුක බදු ගෙවන්නන් තුළ මතුවේ.
වත්මන් රජය දූෂණ විරෝධී වැඩපිළිවෙලක් සහ 'සුපිළිපන්න රටක්' ගොඩනැගීමේ සංකල්පය ඉදිරියට ගෙන යන වටපිටාවක, හුදු සපථ කිරීම්වලින් ඔබ්බට ගොස් සාධාරණත්වය සහ නීතියේ ආධිපත්‍යය ක්‍රියාවෙන් පෙන්වීම අත්‍යවශ්‍ය කාරණයකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ව්‍යාජ ලේඛන සම්බන්ධ සෑම චෝදනාවක්ම ස්වාධීනව විමර්ශනය කිරීමත්, ඊට එල්ල වන බලපෑම් අනාවරණය කිරීමත්, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමත් බදු පද්ධතියේ විශ්වාසනීයත්වය රැකගැනීම උදෙසා අත්‍යවශ්‍ය වේ.






