leader s

මිලියන 380න් පටන්ගෙන බිලියන 13 දක්වා ගිය අභ්‍යන්තර මෙහෙයුම, විගණන අසාර්ථකත්වය සහ මහ බැංකුවේ නියාමන බිඳවැටීම


ඊපීඑෆ් සහ රක්ෂණ සංස්ථාවේ මහජන මුදල් අවදානමක: ක්‍රිප්ටෝ හරහා මුදල් විශුද්ධිකරණය වූ හැටි හෙළිවෙයි


සාමාන්‍ය පුරවැසියෙකු ලංකාවේ බැංකුවකින් රුපියල් ලක්ෂයක ණයක් ඉල්ලුවොත්, ඇපකරුවන් සොයමින්, ඔප්පු තිරප්පු පෙන්වමින් රස්තියාදු විය යුතු වාර ගණන ඔබට අමුතුවෙන් කිව යුතු නැත.

නීතියේ රැහැනින් සාමාන්‍ය මිනිසාගේ ගෙල සිරකරන මේ කුරිරු මූල්‍ය ක්‍රමය ඇතුළතම, කිසිදු බාධාවකින් තොරව රුපියල් බිලියන දහතුනකට අධික මහජන මුදලක් වසර ගණනාවක් තිස්සේ හොර රහසේම පිටතට ගලා ගියා යැයි කිව්වොත්... ඔබ එය විශ්වාස කරනවාද?

ජාතික සංවර්ධන බැංකුව හෙවත් එන්.ඩී.බී (NDB) බැංකුව තුළින් වාර්තා වූ රුපියල් බිලියන 13.2 ක මේ මහා මූල්‍ය වංචාව, හුදෙක් තාක්ෂණික දෝෂයක් හෝ තනි පුද්ගලයෙකුගේ සොරකමක් නොවේ. මෙය මෙරට වාණිජ බැංකු ඉතිහාසයේ සමස්ත අභ්‍යන්තර පාලන පද්ධති, බාහිර විගණන යාන්ත්‍රණ සහ මහ බැංකුවේ නියාමන ක්‍රියාවලීන් එකවර අකර්මණ්‍ය වූ, සැලසුම් සහගත... අතිශය බරපතල මෙහෙයුම් බිඳවැටීමකි.

දින 4ක් ඇතුළත 35 ගුණයකින් ඉහළ ගිය වංචාවේ ප්‍රමාණය

මේ මහා පරිමාණ කොල්ලය සමාජයට හෙළිවන ආකාරයම අතිශයින් සැකකටයුතුය.

පසුගිය අප්‍රේල් දෙවැනිදා, බැංකුව විසින් මුලින්ම කොළඹ කොටස් හුවමාරුවට දන්වන්නේ මෙය රුපියල් මිලියන 380 ක වංචාවක් පමණක් බවයි. නමුත් පුදුමයකට මෙන්, දින හතරක් යන්නටත් මත්තෙන් අප්‍රේල් 6 වැනිදා ඔවුන්ට පිළිගන්නට සිදුවන්නේ සැබෑ පාඩුව බිලියන 13.2 ක් බවයි. ඒ කියන්නේ මුල් අගය මෙන් 35 ගුණයකි!

වසර ගණනාවක් පුරා සිදු වූ මේ දැවැන්ත මූල්‍ය අපහරණයේ සැබෑ පරිමාව හඳුනාගන්නටවත් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වයට මුල් අවස්ථාවේ හැකියාවක් නොතිබීමෙන්, ඔවුන්ගේ ආයතනික පාලනයේ නිරුවත මනාව සමාජගත වේ.

සෙෆ්ට්ස් (CEFTS) පද්ධතිය සහ නිවාඩු දින ඉලක්ක කළ සූක්ෂම මෙහෙයුම

මෙය පිටතින් පැමිණි හැකර්වරුන්ගේ සයිබර් ප්‍රහාරයක් නොව, බැංකුවේ අභ්‍යන්තර පද්ධතියේ සිදුරු හොඳින්ම දන්නා සේවකයින්ගේම රහසිගත මෙහෙයුමකි.

ලංකාපේ ආයතනය මෙහෙයවන 'සෙෆ්ට්ස්' (CEFTS) අන්තර් බැංකු පියවීම් පද්ධතිය හරහා ක්‍රියාත්මක වූ මේ වංචාවේ ප්‍රධාන ඉලක්කය වූයේ සති අන්ත සහ රජයේ නිවාඩු දිනයි. ඒ, ඉහළ නිලධාරීන්ගේ නිරීක්ෂණයන් මේ දිනවල අවම බව ඔවුන් හොඳින්ම දැන සිටි බැවිනි.

මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ රතු නිවේදන මඟහරින්නට, විශාල මුදල් එකවර යවනවා වෙනුවට... කුඩා අගයන්ගෙන් යුත් ව්‍යාජ ගනුදෙනු තුන්දහසකට අධික ප්‍රමාණයක් ඉතා සූක්ෂම ලෙස පද්ධතියට ඇතුළත් කර තිබේ. දශකයකට ආසන්න කාලයක් තිස්සේ දත්ත ඇතුළත් කරන පහළ මට්ටමේ නිලධාරියෙකුට මෙවැනි කොල්ලයක් බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවීමම, සමස්ත බැංකු පද්ධතියේම ආරක්ෂාව මුළුමනින්ම ප්‍රශ්න කරන්නකි.

බාහිර විගණන සමාගම්වල භූමිකාව සහ පීඩබ්ලිව්සී (PwC) - ඩිලොයිට් ලැදියාවන් අතර ගැටුම

මෙතරම් දැවැන්ත මුදලක් බැංකුවේ ශේෂ පත්‍රයේ සඟවා තබන්නේ කෙසේද? ඔවුන් ඊට පිළිතුර සොයාගත්තේ "වෙනත් මූල්‍ය වත්කම්" කියන නොපැහැදිලි ගිණුම් ශීර්ෂය යටතේය.

2023 වන තුරු බිලියන 1.9 ක පමණ සාමාන්‍ය අගයක තිබූ මේ ගිණුම් ශේෂය, 2025 අවසන් වන විට කිසිදු ව්‍යාපාරික සාධාරණීකරණයකින් තොරව බිලියන 12.22 දක්වා සිව් ගුණයකින් ඉහළ ගොස් ඇත. ජාත්‍යන්තර මට්ටමේ කීර්තිමත් ගිණුම්කරණ සමාගමක් වන අර්නස්ට් ඇන්ඩ් යන්ග් (Ernst & Young) ආයතනය වසර ගණනාවක් පුරා එන්.ඩී.බී බාහිර විගණකවරුන් ලෙස කටයුතු කරමින්, මේ සා විශාල අසාමාන්‍යතාවයක් හඳුනා නොගෙන මූල්‍ය වාර්තාවලට අනුමැතිය ලබාදීම හුදෙක් වෘත්තීය නොසැලකිල්ලක්ද, නැතහොත් ඊට එහා ගිය වංචාවට හවුල්වීමක්ද යන්න අදටත් අභිරහසකි.

අනෙක් අතට, මේ අර්බුදය සමනය කිරීමට ගන්නා පියවර පවා සැකකටයුතුය. වංචාව විමර්ශනයට පත් කළ ජාත්‍යන්තර විගණන ආයතනය වන 'ඩිලොයිට් ඉන්දියා' (Deloitte India) හි මූලික විෂය පථය කෙටුම්පත් කිරීමට චෝදනාවට ලක්වූ එන්.ඩී.බී බැංකුවටම අවස්ථාව ලබාදීම කෙතරම් ඛේදවාචකයක්ද?

එසේම, එන්.ඩී.බී විගණන කමිටුවේ සභාපතිවරයා පී.ඩබ්ලිව්.සී (PwC) ආයතනයේ හිටපු කළමනාකාර හවුල්කරුවෙකු වීමත්, ඩිලොයිට් ආයතනයට මෙම විගණනය පවරනු ලැබීමත් අතර පවතින්නේ අතිශය බරපතල ලැදියාවන් අතර ගැටුමකි . මේ සියල්ල මැද, "මෙය සුපරීක්ෂාකාරීත්වයේ අඩුවක් පමණක්" යැයි කියමින් ප්‍රධාන විධායක නිලධාරියා අත් පිසදා ගැනීමට උත්සාහ කිරීමත්, ඩිජිටල් තාක්ෂණ විශේෂඥයෙකු වන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු හදිසියේම ඉල්ලා අස්වීමත් මේ මහා වංචාවේ තවමත් නොවිසඳුණු අඳුරු පැතිකඩවල් වේ.

මහ බැංකුවේ නියාමන අසාර්ථකත්වය සහ කෝප් (CoPF) කමිටු හෙළිදරව්ව

අනෙක් අතට, රටේ මූල්‍ය පද්ධතියේ මුරබල්ලා වන ශ්‍රී ලංකා මහ බැංකුව මේ ව්‍යසනය හමුවේ කටයුතු කළ ආකාරය ඊටත් වඩා ඛේදනීයයි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හෙවත් 'කෝප්' (CoPF) කමිටුව හමුවේ මේ නියාමන අසාර්ථකත්වයේ තරම මනාව දිගහැරුණි.

බැංකුවක වත්කම් ගිණුමක් බිලියන 1.5 සිට 13.2 දක්වා එකවරම ඉහළ යද්දී එය මහ බැංකුවේ රේඩාර් පද්ධතියට හසු නොවීමත්, සැකකටයුතු ගනුදෙනු තුන්දහසක් සිදුවෙද්දී මූල්‍ය බුද්ධි ඒකකයට (FIU) එකදු සැකකටයුතු වාර්තාවක් හෝ ජනනය නොවීමත් කිසිසේත්ම අහඹුවක් විය නොහැක. ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට අදාළ ලේඛනවලට අනුමැතිය දීමේදී මහ බැංකුව හුදෙක් විවේචනයකින් තොර "තැපැල් පෙට්ටියක්" ලෙස කටයුතු කර ඇති බවට කෝප් කමිටුව කළ බලවත් චෝදනාවෙන්, මේ නියාමන බිඳවැටීමේ සැබෑ තරම පෙනී යයි.

වැඩකරන ජනතාවගේ ඊපීඑෆ් (EPF) සහ එටීඑෆ් (ETF) අරමුදල් අවදානමක

කවුරු කොහොම මොනවා කිව්වත්, මේ මහා කොල්ලයේ සෘජු වින්දිතයන් බවට පත්ව ඇත්තේ වෙන කවරෙකුවත් නොව, අහිංසක මහජනතාවමය.

එන්.ඩී.බී බැංකුවේ කොටස්වලින් 31%කට ආසන්න ප්‍රමාණයක් අයත් වන්නේ සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවක භාරකාර අරමුදල (ETF) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි මහජන මුදල් නියෝජනය කරන රාජ්‍ය ආයතනවලටයි. දැනටමත් බැංකුවේ ලාභාංශ ගෙවීම් අත්හිටුවා, ෆිච් රේටිංස් ණය ශ්‍රේණිගත කිරීම් පවා පහත හෙළා ඇති පසුබිමක, මේ අහිමි වන්නේ මෙරට වැඩකරන ජනතාවගේ දහඩිය මහන්සියෙන් උපයාගත් විශ්‍රාම අරමුදල්ය.

මේ වන විට රහස් පොලීසිය මගින් සේවකයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රුපියල් මිලියන 390 කට අධික මුදලක් නියාමනයෙන් තොර 'ක්‍රිප්ටෝකරන්සි' (Cryptocurrency) හරහා විදේශයන්ට විශුද්ධිකරණය කර ඇති බවට හෙළිවීමෙන්, මේ ජාලයේ අන්තර්ජාතික සබඳතා මනාව පැහැදිලි වේ.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මුනිවත සහ ඉදිරි පියවර

කොහොම නමුත් මේ සමස්ත ඛේදවාචකයේම තවත් පිළිකුල් සහගතම කාරණයක් තිබේ. ඒ මෙරට ප්‍රධාන ධාරාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මේ සම්බන්ධයෙන් අනුගමනය කරන බිහිරි නිහඬතාවයයි.

දේශපාලනඥයෙකුගේ සුළු අක්‍රමිකතාවක් හෝ සාමාන්‍ය මිනිසෙකුගේ සුළු සොරකමක් දින ගණනාවක් පුරා උදේ සවස ප්‍රධාන සිරස්තල බවට පත්කරන ජනමාධ්‍ය, රුපියල් බිලියන 13.2ක දැවැන්ත මහජන මුදල් කොල්ලයක් ඉදිරියේ මුනිවත රකින්නේ ඇයි? මූල්‍ය ආයතන හරහා ලැබෙන වෙළඳ දැන්වීම් ආදායම් අහිමි වේවි යැයි යන බිය සහ ආයතනික බලපෑම් හමුවේ, මාධ්‍ය ආයතන විසින් වෘත්තීය ආචාරධර්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී විනිවිදභාවය මෙසේ අමතක කර දැමීම අතිශය බරපතල තත්ත්වයකි. කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරමින් මේ මහා වංචාව මාධ්‍ය හරහා යටපත් කිරීමට දරන උත්සාහය, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරකි.

එහෙත් මේ අඳුරු කලාපය තුළ හැංගී සිටින මූල්‍ය ජාවාරම්කරුවන් එකක් හොඳින් තේරුම් ගත යුතුය. ඒ, මේ ලැබී ඇත්තේ ඔවුන්ට ඉතා තාවකාලික සුවයක් පමණක් බවයි. දශක ගණනාවක් තිස්සේ රට ගිලගෙන සිටි දූෂිත මූල්‍ය හා දේශපාලනික පද්ධතිය මුලිනුපුටා දමමින්, වත්මන් ආණ්ඩුව විසින් පවතින සිස්ටම් එක සුද්ද කරමින් ඉන්න මේ මොහොතේ... කිසිදු වංචාකරුවෙකුට නීතියෙන් පලා යාමට ලැබෙන්නේ ඉතා කෙටි කාලයක් පමණි.

මහ බැංකුවේ තැපැල් පෙට්ටි ක්‍රමවේදයටත්, විගණන සමාගම්වල අඳුරු ගනුදෙනුවලටත්, මාධ්‍ය ආයතනවල මුදලට යටවූ නිහඬතාවයටත් තිත තබන දිනය වැඩි ඈතක නැත. සැබෑ මූල්‍ය විනිවිදභාවයක් වෙනුවෙන්, ජනතාවගේ දහඩිය මුදල් කොල්ලකෑ සියලු දෙනාට නීතියෙන් නිසි දඬුවම් ලබාදෙන තුරු... රෙඩ් ඇලර්ට් ඒ දෙස ඉතා සෝදිසියෙන් බලා සිටියි.

 

whatsapp 202507155

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්